සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 8 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 8

By the Socialist Equality Party (Sri Lanka), 23 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත.මෙහි 1, 2, 3, 4, 5,6 හා 7 වන කොටස් පිලිවෙලින් මැයි 3, 5, 9, 10, 12, 15 හා 19 දිනවල පල කෙරින.

18. සුලු ධනපති රැඩිකල්වාදයට එරෙහි විකොස අරගලය

18-1 විකොස පිහිටුවන ලද්දේ 1968 සිට 1975 දක්වා ජ ාත්‍යන්තරව දිග හැරුනු කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල රැල්ලක කඩාවැදීමත් සමග ය. ප‍්‍රන්සයේ මහත් කැලඹිලිකාරී මැයි ජූනි වැඩ වර්ජන ව්‍යාපාරය ද චෙකොස්ලොවේකියාවේ 1968 "ප‍්‍රාග් වසන්තය” ද පිටුපසින් 1969 ඉතාලියේ "උනුසුම් ග‍්‍රීෂ්මය,” හීත් ආන්ඩුව බිඳ දැමූ 1974 ජූලියේ බි‍්‍රතාන්‍යය පතල් කම්කරු වැඩ වර්ජනය හා පෘතුගාලයේ ද ග‍්‍රීසියේ ද ෆැසිස්ට් තන්ත‍්‍රයන් බිඳ වැටීම ඇතුලු අනුපිලිවෙලින් පැමිනි නැගිටීම් මාලාවක් දැකගත හැකි විය. මෙම අරගල, 1971 අගෝස්තුවේ එක්සත් ජනපද ඩොලරය හා රත්රන් පරිවර්ත්‍යතාව අවසන් වීම මගින් සලකුනු කල බ්‍රෙට්න්වුඩ්ස් මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම හා පශ්චාත් යුද කාලීන උත්පාතයේ අවසානය මගින් නිර්මානය කල ආර්ථික අර්බුදයේ නිමැවුම් විය. මෙම විප්ලවකාරී ව්‍යාපාරයන් පාවාදීමේ මුඛ්‍ය ක‍්‍රියාකලාපය ඉටුකරන ලද්දේ, අතීතයේදී ද ධනපති පන්ති පය ගසා සිටියා වූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ස්ටැලින්වාදී හා වෘත්තීය සමිති නිලධරය විසිනි. කෙසේ වුව ද 1964 ලසසපයේ පාවාදීමෙන් ජාත්‍යන්තර කමිටුව නිගමනය කල ආකාරයට, තම පැරනි පක්ෂ හා සංවිධානවල ද්‍රෝහීත්වයට එරෙහිව කම්කරු පන්තිය දේශපාලන අරගලයට පිවිසීම වැලැක්වීම මගින් තමන් ධනවාදය සඳහා වැදගත් දෙවන ආධාරකයක් බව විවිධ පැබ්ලෝවාදී සංවිධාන ඔප්පු කලේය.

18-2 ශී‍්‍ර ලංකාවේ ධනපති පන්තිය කෙලින්ම සම සමාජ පක්ෂය මත පය ගසාගෙන සිටි අතර එය, 1970 මැයි මස අති විශාල වැඩි ඡන්දයකින් බලයට පත්වී 1977 එහි නින්දිත පරාජය තෙක් බලයේ සිටි දෙවන බන්ඩාරනායක ආන්ඩුවට "ට්‍රොට්ස්කිවාදී” වහන්තරාවක් සම්පාදනය කලේය. මෙම කාලය පුරාවට ම සිය ජාත්‍යන්තර පැබ්ලෝවාදී හවුල්කරුවන් අනුගමනය කරමින් ලසසප(වි) හා එහි විවිධ කැබලි, වාමාංශික එක්සත් පෙරමුනට පන පෙවීම හා කම්කරු පන්තියේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ලසසප, කොප නම්මාගත හැකිය යන විවිධ කඩතුරාවන් සපයා දීම මගින් කම්කරු පන්තියේ නැගෙන විරුද්ධත්වය හමුවේ ශ‍්‍රීලනිප-ලසසප-කොප හවුල් ආන්ඩුවට මුක්කුව දුන්හ.

18-3 කලින් පැවති එජාප ආන්ඩුව කෙරෙහි පලවූ කම්කරු පන්තියේ උතුරා ගිය සතුරුකම මධ්‍යයේ, 1970 මැතිවරනය තුල දී විකොස, ශ‍්‍රීලනිප, ලසසප, කොප සභාගය සඳහා විවේචනාත්මක ඡන්දයකට කැඳවුම් කලේය. මෙම බරපතල උපායික වැරැද්ද මයිකල් බන්ඩා විසින් විකොසට යොමු කල ලිපියකින් පක්ෂයට මුනගස්වන ලද අතර ඔහු එම පිලිවෙත මෙසේ පැහැදිලි කලේය. "සංශෝධනවාදීන්ට හා රැඩිකල් ධනේශ්වරයට නොලැබිය යුතු සහනයකි. සත්තකින්ම දැන් කර්තව්‍ය විය යුත්තේ තවත් සභාගයකට දොර විවර කිරීම නොව, (අපට තවත් සභාග කීයක් අවශ්‍ය වන්නේ ද?) ඊට පටහැනිව ශ‍්‍රීලනිප සඳහා කිසිදු සහාය දීමක් ප‍්‍රතික්ෂේප කරන අතර, ශ‍්‍රීලනිපයෙන් කැඩී වෙන්වන ලෙස ලසසප-කොපට බල කිරීම මගින් කම්කරු පන්තිය ධනපති උගුලෙන් ගලවාගැනීම පිනිස වෙර දැරීමයි.”

18-4 කීර්ති බාලසූරිය හා විකොස ඊට දැක්වූ ප‍්‍රතිචාරය, මාක්ස්වාදී පක්ෂයක් මූලධර්මාත්මක නිවැරදි කිරීමක් සිදුකරන්නේ කෙසේ ද යන්න පිලිබඳ සම්භාව්‍ය නිදසුනක් සම්පාදනය කරයි. පලමුව පක්ෂ නායකත්වය බන්ඩාගේ ලිපිය හා වැරැද්දේ දේශපාලන ඇඟවීම් පිලිබඳව පක්ෂය තුල දීර්ග අභ්‍යන්තර සාකච්ඡාවකට මුල පිරූහ. වරද නිවැරදි කරමින් 1970 ජූලි මාසයේ ප‍්‍රසිද්ධ කල ප‍්‍රකාශයක් තුල විකොස මෙසේ පැහැදිලි කලේය. "බලය ගැනීමට සමත් පක්ෂයක් ගොඩනැගිය හැක්කේ ලසසප-කොප නායකයින්ට විරුද්ධව පමනි. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක ඉදිරිදර්ශනයක් මත පදනම් වෙමින් ලසසප-කොප නායකයින්ගේ සභාග ආන්ඩු ඉදිරිදර්ශනයට එරෙහිව කරන අරගලයකින් තොරව අපට, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්විය නොහැකිය. සභාග ආන්ඩුවෙන් හා සභාග පෙරමුනෙන් බිඳී වෙන්වන ලෙස සමසමාජවාදී හා ස්ටැලින්වාදී නායකයින්ට බලකිරීම වනාහි, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා අරගලය ගන්නා රූපාකාරයයි.”

18-5 විකොස ගත් නව උපායික යොමුව ලසසප හා කොප පිලිබඳ මිත්‍යාවන් ශක්තිමත් කිරීමක් නොව, බලය අල්ලා ගැනීම සඳහා කම්කරු පන්තිය හා ගම්බද ජනතාව ස්වාධීනව බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස ඔවුන්ගේ පන්ති සහයෝගිතා දේශපාලනය හෙලිදරව් කරන දේශපාලන අවියක් විය. හතරවන ජාත්‍යන්තරයේ සංක‍්‍රමනීය ක‍්‍රියාමාර්ගය සඳහන් කරන පරිදි, "කම්කරුවන් හා ගොවීන් පදනම් කොට ගෙන ඔවුන්ගේ නාමයෙන් කතා කරන සියලු පක්ෂවලින් හා සංවිධානවලින් අපි ධනේශ්වරයෙන් දේශපාලනිකව කැඩී කම්කරු-ගොවි ආන්ඩුව සඳහා අරගලයේ මාවතට අවතීර්න වන ලෙස ඉල්ලමු. මෙම මාවතට පිලිපන් කල්හි ධනේශ්වර ප‍්‍රතිගාමිත්වයට එරෙහිව ඔවුන්ට පූර්න සහයෝගය දෙන බවට අපි පිලින දෙමු. ඒ අතර ම අපි, "කම්කරු-ගොවි ආන්ඩුවේ" ක‍්‍රියාමාර්ගය විය යුතු යැයි අප අදහස් කරන සංක‍්‍රමන ඉල්ලීම් වටා උද්ඝෝෂනය වෙහෙස නොබලා වර්ධනය කරමු." [42]

18-6 කෙසේ වුවත් විකොස, හුදෙක් එම ක්ෂනික වැරැද්ද නිවැරදි කිරීමෙන් නතර නොවීය. මාක්ස්වාදියෙකු ලෙස බාලසූරිය, මෙම වැරැද්ද විශේෂයෙන් ම, සුලු ධනපති රැඩිකල්වාදයේ හා අවස්ථාවාදයේ නියෝජිත ආයතන හරහා පක්ෂය මතට ගෙන එනු ලැබූ සැලකිය යුතු දේශපාලන පීඩනයන්ගේ නිමැවුමක් බව වටහා ගත්තේය. "විකොස මත ක‍්‍රියාත්මක වූ එම සතුරු පන්ති පීඩනයන් වෙනත් රූපයකින් වෙනත් අවස්ථාවන්හි දී ද හිස එසවිය හැකි නිසා මෙම වැරැද්දේ මූලයන්” උකහා ගැනීම අත්‍යවශ්‍ය බව විකොස ප‍්‍රකාශනයෙන් කියා සිටියේය. සාකච්ඡාවෙන් ඉක්බිතිව බාලසූරිය, මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ සාරාර්ථය ප‍්‍රතිමූර්තිමත් කල ජවිපෙ පිලිබඳව පොතක් තරම් දිගු විශ්ලේෂනයක් කරා යොමු විය. ජවිපෙ ක‍්‍රියාමාර්ගය ගලා ආවේ එවකට මෝස්තරයක් බවට පත්ව තිබූ කැස්ට්‍රෝවාදයේ හා මා ඕවාදයේ ගොවි ගරිල්ලාවාදයෙනි. පැබ්ලෝවාදීන් විසින් ද මෙය උත්කර්ෂයට නංවන ලදී. ජවිපෙ සවිස්තරාත්මක හා විවේචනාත්මක විශ්ලේෂනයකට බඳුන් කිරීමේ දී බාලසූරිය, රැඩිකල් සිංහල ජනතාවාදයත් ඊට අනුගත වූ ලසසප හා ලසසප(වි) ද ඇතුලු එවන් සියලූ පක්ෂත් සමග විකොසට පවතින පන්ති බෙදුම්කඩනය ගැඹුරු කලේය.

18-7 සිය පොතේ පෙරවදන තුල බාලසූරිය, "මා ඕ සේතුංගෙන් හා චීන විප්ලවයෙන් අත්දැකීම් ලැබුයේ යැයි කියන බොහෝ කොටස්, විප්ලවය සම්බන්ධ ප‍්‍රශ්නය කෙසේ හෝ ගෙන යායුතු දීර්ඝ "මහජන යුද්ධයක්” නැත් නම් වෙන වර්ගයක සන්නද්ධ සටනක් පමනක් බවට පිරිහෙලීමට මහන්සි ගනිති. එම උත්සාහයන් හා විප්ලවය පිලිබඳ මාක්ස්වාදී අදහස් අතර කිසිම සම්බන්ධයක් ඇත්තේ නැත.

"පන්තීන් අතර පවතින අන්තර් සම්බන්ධතා හා ඒවායේ කටයුතු පිලිබඳව කෙරෙන අතිශයින් ම වෛෂයික තක්සේරුවකින් තොරව විප්ලවය සම්බන්ධ ප‍්‍රශ්නය ඉස්මතු කිරීම වත් කල නොහැකි ය”... "සාමකාමී විදිවලින් කම්කරු පන්තියට බලය පැහැර ගත නොහැකි බව ගැන මාක්ස්වාදීන් අවධාරනය කරන අදහසට ආයුධ සන්නද්ධ වූ පමනින් ජයග‍්‍රහනය සිකුරු ය යන මොට්ට සූත‍්‍රයත් සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත.

"තම අත්වල ආයුධ තිබිය දීත් කම්කරු පන්තිය ධනේශ්වරය අතින් තැලූම් කා පොඩිපට්ටම් වූ විප්ලවයන්ගේ අත්දැකීම් ගැන කිසි යම් ම හෝ ගරුත්වයක් ඇති අයෙකුට එබඳු අදහස් ඉදිරිපත් කල නොහැකි ය.” [43]

18-8 කැස්ට්‍රෝ, චේ ගුවේරා හා මා ඕ මෙන්ම ජවිපෙ ද ආවේනිකව ම කම්කරු පන්තියට සතුරු හා ප‍්‍රතිගාමී ජාතිකවාදය තුල මුල්බැස ඇති බව බාලසූරිය පැහැදිලි කලේය. "නිර්ධන පන්තිය” යන ජවිපෙ හි විකෘති කල යෙදුම තුල අර්ථ ගැන්වුනේ ගොවීන්ගේ පීඩිත ස්ථරයන්ය. එම සංවිධානය කම්කරුවන්ගේ ආර්ථික අරගල "කැඳ කෝප්ප සටන්” ලෙස පහත් කොට සැලකූ අතර ඒවා අධිරාජ්‍යවාදයට එරෙහි "දේශපේ‍්‍රමී” අරගලයෙන් පරිබාහිර යයි සැලකූහ. තමන් කැස්ට්‍රෝවාදීන් ලෙස වස්ගන්වාගත් ජවිපෙ, "දේශපේ‍්‍රමීන් කන්ඩායමක් විසින් සිදුකරන නැඟිටීමකට පාලක පන්තියේ බලයට වල කැපිය හැකි බව” කියා සිටියේය. ස්ටැලින්වාදීන් සේම ජවිපෙ ද ජාතික ධනේශ්වරයේ ප‍්‍රගතිශීලී ස්වභාවය පිලිබඳ අන්තරායකාරී මිත්‍යාව පෝෂනය කලහ. 1925-27 විප්ලවයේ දී ස්ටැලින් ගෙන ආ සූත‍්‍රයේ ම පුනරුච්ඡාරනයකට සමාන අයුරින් ඔවුන් ද "සියලු සමාජ පන්තීන් අතර ඇති අධිරාජ්‍ය විරෝධී වෛරය එක් ගොඩකට දැමූ කල එය දේශපේ‍්‍රමයට සමාන වන බව” ප‍්‍රකාශ කලේය.

18-9 ආරම්භයේ පටන් ම ජවිපෙ උද්ඝෝෂනය වාර්ගික ස්වභාවයක් ගත්තේය. එහි දේශපේ‍්‍රමයේ අර්ථය වූයේ සිංහල දේශපේ‍්‍රමයයි, අධිරාජ්‍ය විරෝධී අරගලයට "ඉන්දියානු ව්‍යාප්තවාදයට” එරෙහි සටන ද ඇතුලත්ය, එසේම "වරප‍්‍රසාදිත” දෙමල කථාකරන වතු කම්කරුවන් සිංහල කම්කරුවන්ගේ සතුරන් බව කියා සිටියේය. අනාවැකියක් සේ බාලසූරිය මෙසේ අනතුරු ඇඟවීය. "බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා ලාංකික ධනේශ්වරය තම පන්ති උවමනාකම් මත සිට වතු කම්කරුවන් වැනසීමට යත්න දරන කාලයක, ඉස්මතු වන සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධය ඒකාධිකාරී ධනවාදයේ නග්න උපකරනයක් බවට කෙලින් ම පරිවර්තනය වන බැවිනි. මේ ජාතිවාදය ෆැසිස්ට්වාදයට තුඩු දෙන එකක් වන අතර, ජනතා විමුක්ති පෙරමුන ලංකාව තුල බිහි කරන්නේ අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් උපයෝගී කර ගත හැකි කම්කරු විරෝධී බලවේගයකි.” (ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය, 121-122 පි.) පොත ප‍්‍රකාශයට පත්වීමට ප‍්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක රෝහන විජේවීර, ජවිපෙ බලයට පත්වුවහොත් බාලසූරිය එල්ලන බවට තර්ජනය කලේය.

18-10 විකොස සිය උපායික වැරැද්ද මූලධර්මාත්මකව නිවැරදි කිරීම, ඉදිරියේ වැටී තිබුනු දැවැන්ත දේශපාලන පරීක්ෂන සඳහා අත්‍යවශ්‍ය සූදානමක් විය. මාස කිහිපයක් තුල ජවිපෙ, "දේශපේ‍්‍රමීන් කන්ඩායමක් විසින් සිදු කරන නැඟිටීමකට පාලක පන්තියේ බලයට වල කැපිය හැකිය” යන සිය න්‍යාය ක‍්‍රියාවට නැංවීය. 1971 අපේ‍්‍රල් මාසයේ දී එහි සාමාජිකයෝ දිවයිනේ දකුනේ පොලිස් ස්ථාන ගනනාවකට ප‍්‍රහාර මාලාවක් එල්ල කලහ. ලසසපයේ හා කොපයේ පූර්න සහයෝගය ඇතිව බන්ඩාරනායක ආන්ඩුව ඊට ප‍්‍රතිචාර වශයෙන් රුදුරු රාජ්‍ය මර්දනයක් දියත් කලේය. පොලිසිය හා හමුදාව 15,000කට වැඩි ගම්බද තරුනයින් සංඛ්‍යාවක් මරා දමා 30,000ක් පමන අත්අඩංඟුවට ගත්හ. හදිසි නීතිය ප‍්‍රකාශ කරනු ලැබින. කුමන්ත‍්‍රන චෝදනා යටතේ ජවිපෙ නායකයින්ට නඩු පැවරීමට විශේෂ අධිකරනයක් පිහිටුවීම සඳහා කුරිරු නව නීතියක් සම්මත කරන ලදී.

18-11 පිහිටුවා යන්තම් වසර තුනක් ගතවීමෙන් පසුව එලඹි අවධිය විකොසට ගින්දර බෞතීස්මයක් විය. ජවිපෙ සමඟ පැවති මූලික දේශපාලන මතභේද තිබිය දී ම විකොස ජවිපෙට හා ගම්බද තරුනයින්ට එරෙහි රාජ්‍ය මර්දනයේ මිනීමරු ව්‍යාපාරයට එරෙහිව මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේ ය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් ආන්ඩුව, විකොස ප‍්‍රකාශන තහනම් කල අතර පක්ෂයට යටිබිම් බලා යාමට බල කෙරුනි. හදිසි නීති නොතකා පක්ෂය සිය දේශපාලන කටයුතු පවත්වාගෙන ගිය අතර ඊට දරුනු වන්දියක් ගෙවීමට සිදු විය. විකොස මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් වීරකෝන් හා එල්. ජී. ගුනදාස යන සාමාජිකයින් දෙදෙනා පොලිස් අත් අඩංඟුවේදී මරාදැමුනි.

18-12 කෙසේ වෙතත් විකොස මෙම දුෂ්කර අවස්ථාවේදී විනාශ නොවුනු අතර එයට මුහුන දී යලි හිස එසවූයේ තම දේශපාලන ප‍්‍රතිරූපය ද සැලකිය යුතු තරම් නංවා ගනමින් ය. නීති විරෝධී තත්වය හමුවේ පක්ෂය, රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ නිරත විය. තහංචි ලිහිල් කිරීමෙන් පසුව විකොස ගම්බද තරුනයින් ආරක්ෂා කිරීම පිනිස දිවයින පුරා උද්ඝෝෂනයක් දියත් කලේය. නොනවතින විප්ලව න්‍යායේ මූලික සංකල්ප මත පදනම් වෙමින් පක්ෂය, ධනේශ්වර රාජ්‍යයට එරෙහිව ගොවි ජනතාව සමග සන්ධානයක් ගොඩනැඟීමේ ක‍්‍රියාවලියෙහි කොටසක් ලෙස ගම්බද ජනතාව ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන වගකීමක් ඇති බව, කම්කරුවන්ට පැහැදිලි කලේය. ගම්බද තරුනයින්ට එරෙහි ප‍්‍රහාරය කම්කරු පන්තියට ම එල්ල කිරීමට නියමිත ප‍්‍රහාරයක පූර්ව රංඟනය යයි විකොස අනතුරු ඇඟවීය. "දේශපාලන සිරකරුවන් නිදහස් කරනු” යන පක්ෂයේ ඉල්ලීම, 1970 ගනන් මැද භාගයේ වර්ධනය වූ වැඩ වර්ජන ව්‍යාපාරය තුල කම්කරුවන් විසින් මතුකල සටන් පාඨයක් බවට පත් විය. 1978 වසරේ එජාප ආන්ඩුව විසින් මුදාහැරීමෙන් පසුව ජවිපෙ නායක විජේවීර, විකොස කාර්යාලය වෙත පුද්ගලිකව ම පැමින පක්ෂය ගෙන ගිය උද්ඝෝෂනය වෙනුවෙන් ස්තුතිය පල කලේය.

18-13 විකොස ආරක්ෂක උද්ඝෝෂනයේ එක් අංශයක් විශේෂයෙන් ම සඳහන් කිරීම වටනේය. ජවිපෙ නැගිටීමෙන් පසුව හදිසි නීති බලතල යටතේ තර්ජනයට ලක්වූ කලාකරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පක්ෂය වෙහෙස නොතකා මැදිහත් විය. විකොස උද්ඝෝෂනය හා නව නාට්‍ය, සිනමාව හා සාහිත්‍ය විමර්ෂනය පිලිබඳව එය සතු වූ වැඩෙන ප‍්‍රතිදානය පුලුල් පේ‍්‍රක්ෂක කොටසක, විශේෂයෙන්ම, එක්කෝ වෙනත් ආකාරයක විනෝදාංශ නොමැතිකම හෝ ඒවායේ වියදම් දැරිය නොහැකි තරුනයින් අතර, ආකර්ෂනයක් දිනාගති. පක්ෂය ට්‍රොට්ස්කිගේ "සංස්කෘතිය හා සමාජවාදය” යන මූලික පොත් පිංච පරිවර්තනය කර, කලාව කෙරෙහි මාක්ස්වාදී ප‍්‍රවිෂ්ටය විස්තාරනය කල අතර එම වැඩ කටයුතු අධිකාරවත් ධනේශ්වර දෘෂ්ටිවාදයන් සේම ස්ටැලින්වාදී "සමාජ යථාර්තවාදය” මත පදනම් වූ න්‍යායන් ද කීතුකර දැමීය. විකොස ලිපි ලේඛන කෙතරම් බලපෑමක් ඇතිකලේ ද යත්, ප‍්‍රමුඛ ශාස්ත‍්‍රාලිකයෙකු වූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර 1985 දී පක්ෂයේ වැඩ කටයුතුවලට ප‍්‍රසිද්ධියේ පහර නොදී බැරි තත්වයකට ඇද දැමීය. ඊට ප‍්‍රතිචාර වශයෙන් කීර්ති බාලසූරිය එවකට විකොස මධ්‍යම කාරක සභිකයෙක් වූ සුචරිත ගම්ලත් සමග එක්ව මාක්ස්වාදී සාහිත්‍ය විවේචනයේ ඓතිහාසික භෞතිකවාදී පදනම් විස්තාරනය කරමින් පොතක් ලියා පල කලේය. තමා විසින් ලියා පක්ෂ පුවත්පතේ පල කරන ලද බොහෝ විචාර තුලින් සහ ග‍්‍රන්ථ ති‍්‍රත්වයක් මගින් පියසීලි විජේගුනසිංහ මෙම න්‍යායික වර්ධනයට ප‍්‍රතිපදානය කලාය. ඇගේ අවසන් ග‍්‍රන්ථය 1989 දී විකොස හැරපියා ගිය හා පසුව පක්ෂයට සහ මාක්ස්වාදයට කටුක ලෙස පහර දුන් මහාචාර්ය සුචරිත ගම්ලත්ට එරෙහිව යොමු වූවකි.

18-14 අපේ‍්‍රල් නැගිටීමේ හා ඒ ආසන්න පසු අවධිය පක්ෂය තුල සැලකිය යුතු දේශපාලන දුෂ්කරතා නිර්මානය කලේය. බාලසූරිය ට්‍රොට්ස්කිවාදයට දිනාගැනීමට උපකාරී වූ අනුර ඒකනායක ද ඇතුලු ප‍්‍රමුඛ සාමාජිකයෝ ගනනාවක් පක්ෂය හැර ගියහ. පූර්ව උපායාත්මක වැරැද්ද පිලිබඳව කටයුතු කල ආකාරයෙන්ම බාලසූරිය අර්බුදයට ප‍්‍රතිචාර දැක්වූයේ එහි දේශපාලන මූලයන් පැහැදිලි කිරීමට උත්සාහ දරමිනි. ඒකනායක හා අනෙක් අයගේ භ‍්‍රෂ්ඨ ක‍්‍රියාව වටහා ගැනීමේ දී ඔහු, විකොස ඉතිහාසය හා පක්ෂය ගොඩනැඟීමට උරදුන් විවිධ ස්ථරයන් පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහි අරගලයේ දෘෂ්ටි ආස්ථානයෙන් විමසා බැලීමට යොමු විය. ජවිපෙ පිලිබඳ ඔහුගේ පූර්ව විශ්ලේෂනය මෙන්ම මෙම පක්ෂාභ්‍යන්තර ඉතිහාසය පිලිබඳ විශ්ලේෂනය ද මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ සියලු රූපාකාරයන්ගෙන් විකොසෙහි බිඳීම ගැඹුරු කලේය.

18-15 1972 දී බි‍්‍රතාන්‍යයට ගිය අවස්ථාවේ බාලසූරිය, "අපේ‍්‍රල් අර්බුදය හා පක්ෂ ඉතිහාසය” ලියවිල්ලේ ඉංග‍්‍රීසි පරිවර්තනය එස්එල්එල් නායක ජෙරී හීලිට පිලිගන්වා ඔහුගේ අදහස් විමසීය. කෙසේ වුවත් 1972 වන විට එස්එල්එල්, පැබ්ලෝවාදයට එරෙහි එහි පූර්ව අරගලය අතහැර දැමීමේ ක‍්‍රියාවලියකට අවතීර්න වී සිටියේය. අතීතයේ නම් සිදුවිය හැකිව තිබුනු ආකාරයට සපුරා වෙනස් ලෙසින්, 23 හැවිරිදි ට්‍රොට්ස්කිවාදී නායකයාට සහානුමතිකව උපදෙස් දීම වෙනුවට හීලි, විකොසට අවශ්‍ය වන්නේ ඉදිරි දර්ශනයක් මිස ඉතිහාසයක් නොවේ යයි පවසමින් ලියවිල්ල ඉවත දැමීය. බි‍්‍රතාන්‍යයේ සිටි විකොස සාමාජිකයෙකුට යැවූ ලිපියක් තුල බාලසූරිය, ඉදිරි දර්ශනය ඉතිහාසයට ප‍්‍රති පක්ෂව පිහිටුවීමේ මෙම සාවද්‍ය ආස්ථානයට පිලිතුරු දුන්නේය. "මෙය ඉදිරි දර්ශන ලියවිල්ලකට ආදේශකයක් නොව, ඒ සඳහා පූර්ව කොන්දේසියකි. අප ඉදිරිදර්ශන ලියවිල්ලක් අනුමත කර තිබෙන අතර එහි පරිවර්තනය අවසන්වූ විගස අපි එය ඔබ වෙත එවන්නෙමු. එහෙත් ඉදිරි දර්ශන ලියවිල්ලක් කෙටුම් පත් කිරීමේ දී අපි, කම්කරු පන්තියේ හා මාක්ස්වාදී ව්‍යාපාරයේ අතීත අරගල සමග අපේ සම්බන්ධතාවය ප‍්‍රථමයෙන් අවබෝධ කර ගත යුත්තෙමු. මෙම සම්බන්ධතාවය නිර්වචනය කර අවබෝධ කර ගැනීමකින් තොරව, එලඹෙන පන්ති සටන් තුල අප ඉටකල යුතු භූමිකාව ග‍්‍රහනය කල නොහැකි වනු ඇත. මෙයයි ඉතිහාසයේ වැදගත්කම.”[44]

18-16 විකොස නායකත්වයේ වැඩෙන දේශපාලන පරිනත භාවය සලකුනු කරමින් බාලසූරිය, හීලිගේ මතය නොතකා හරිමින් පක්ෂ ඉතිහාසයත් ඉදිරි දර්ශනයත් පාදක කරගත් ලේඛන දෙකක් 1972 පක්ෂ සමුලුවට ඉදිරිපත් කලේය. ඊලඟ සිව් වසර පුරා ඔහු, සමරක්කොඩි, බාලා තම්පෝ හා සමරක්කොඩිගේ ගෝලයෙකු වූ තුල්සිරි අන්ද්‍රාදිගේ දේශපාලනයට එරෙහිව, පක්ෂ පුවත්පත්වල පලකල දීර්ග ලිපි මාලාවක් මගින් ශ‍්‍රී ලංකාවේ පැබ්ලෝවාදී දේශපාලනයේ විවිධ නියෝජිතයින්ගෙන් පක්ෂයේ බෙදුම්කඩනය ගැඹුරු කලේය. 1968 දී ලසසප(වි)යෙන් කැඩී ගිය සමරක්කොඩි ඔහුගේ මාධ්‍යමික දේශපාලනය බෙදා හදාගත් හා ජාත්‍යන්තර කමිටුවට සතුරු ස්පාටසිස්ට් ප‍්‍රවනතාවය වෙත නැඹුරු විය. ලංකා වෙලඳ සංගමයට (සීඑම්යූ) නායකත්වය දුන් බාලා තම්පෝ යටතේ ලසසප(වි), ඔහුගේ සමිතියට අනුබද්ධිත උපාංගයක් ද සින්ඩිකල්වාදයේ හොරනෑවක් ද බවට පත් විය. එසේ වුවත් 1981 දක්වා ම එක්සත් ලේකම් මන්ඩලය එය ශ‍්‍රී ලංකාවේ සිය නිල ශාඛාව ලෙස පිලිගත්තේය.

19. බි‍්‍රතාන්‍ය එස්එල්එල්හි දේශපාලන පරිහානිය

19-1 විකොස ඉතිහාසයේ වැදගත්කම පිලිබඳව බාලසූරිය හා හීලි අතර ඇතිවූ නො එකඟතාවය පුලුල් ජාත්‍යන්තර ක‍්‍රියාවලියක් සංකේතවත් කලේය. එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය, 1971 සැප්තැම්බරයේ පිහිටුවූ ජර්මනියේ බුන්ඩ් සෝෂලිසට් ආබයිටර්, 1972 නොවැම්බරයේ දී පිහිටුවූ ඕස්ටේ‍්‍රලියාවේ සෝෂලිස්ට් ලේබර් ලීගය යන ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛා, පිහිටුවන ලද්දේ 1953 හා 1961-63 භේදයන්ගේ පාඩම්වල පදනම මතය. කෙසේ වෙතත් ඒ සමග ම එස්එල්එල්, 1950 ගනන්වල හා 1960 ගනන්වල මුල් භාගයේ එය සටන් වැදුනු මූලධර්ම කෙරෙන් ඉවතට හැරෙමින් මධ්‍යම පන්තික රැඩිකල්වාදයට අනුගත වෙමින් සිටියේය.

19-2 1966 ජාත්‍යන්තර කමිටුවේ තුන්වන සමුලුවෙන් ඉක්බිත්තේ, එවකට බි‍්‍රතාන්‍ය එස්එල්එල් වෙත සහාය පල කොට තිබූ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රන්ස ශාඛාව වූ ඔ’ගනයිසේෂන් කොමියුනිස්ට් ඉන්ටර්නැෂනල් හෙවත් ඕසීඅයි, හතරවන ජාත්‍යන්තරය "යලි ගොඩනැගීමේ” අවශ්‍යතාවය යලි වතාවක් මතුකරන්නට පටන් ගත්තේය. පැහැදිලිව පෙනෙන්නට තිබුනු පරිදි ඕසීඅයි, පැබ්ලෝවාදයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ අතිමූලික වැදගත්කම ප‍්‍රතික්ෂේප කල මාධ්‍යමික සංවිධාන වෙත අනුගතවීමක් මෙම වැකිය පිටුපස තිබුනි. එස්එල්එල් ඕසීඅයි යට විරුද්ධවූ නමුත් එයට ද එම පන්ති පීඩනයන්ට ම මුහුන දීමට සිදු විය. "හතරවන ජාත්‍යන්තරයේ ගැටලූ” යන 1966 සිය ලිපිය තුල ජෙරී හීලි තර්ක කලේ, එස්එල්එල්හි ප‍්‍රධාන කර්තව්‍යය වන්නේ බි‍්‍රතාන්‍ය තුල ශක්තිමත් දේශපාලන පක්ෂයක් ගොඩ නැගීම බවයි, එය ලෝකය පුරා අනෙකුත් රටවල විප්ලවවාදීන්ට ද එසේ කිරීම සඳහා "ආවේශයක්” සපයනු ඇති බවයි. මෙම ජාතිකවාදී සංකල්පය, හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමේ මූලික පදනම වූ ජාත්‍යන්තරවාදයෙන්, එනම්, ජාතික ශාඛා ගොඩනැගිය හැක්කේ සියලු ආකාරයේ ජාතික අවස්ථාවාදයන්ට එරෙහිව ලෝක පක්ෂය ගෙන යන ජාත්‍යන්තර අරගලයේ කොටසක් වශයෙන් පමනකි යන ආස්ථානයෙන් සැලකිය යුතු පසු බැසීමක් සලකුනු කලේය.

19-3 එස්එල්එල් පැබ්ලෝවාදයට එරෙහි අරගලයෙන් ඉවතට හැරීම, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ආරක්ෂා කිරීමට එහි කැපවීම දුබල කිරීමට තුඩු දුන්නේය. ඩේවිඩ් නෝර්ත් පසුව ලිවූ පරිදි: "1960 ගනන්වල අපර භාගයෙහි වියට්නාමය, චීනය හා පසුගාමී රටවල විප්ලවීය ව්‍යාපාර පිලිබඳ බන්ඩාගේ ලියවිලි සාමාන්‍යයෙන් නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායෙහි ප‍්‍රධාන මත දෙකක් ප‍්‍රතික්ෂේප කලේය: 1. පසුගාමී රටවල ප‍්‍රජාතන්ති‍්‍රක විප්ලවය සපුරාලිය හැකි වනුයේ කම්කරු පන්ති ආඥාදායකත්වය මගින් පමනි, 2. ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව පෙරලා දමනු ලැබීමෙන් තොරව සමාජවාදී සමාජයක් තහවුරු කිරීමක් ගැන සිතීමට නුපුලුවන. බන්ඩාගේ ලියවිලි, විජිත ධනේශ්වරය උදෙසා ක්ෂමාලාපයක හා ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලවය පිලිබඳ න්‍යාය පිලිගැනීමක ස්වභාවය ගත්තේය.”[45]

19-4 1967 ජනාවාරියේ නිව්ස්ලෙටර්හි ලියමින් බන්ඩා, මා ඕගේ ඊනියා ශ්‍රේෂ්ඨ නිර්ධන පන්තික සංස්කෘතික විප්ලවය අවිවේචනාත්මකව උත්කර්ෂයට නැංවීය. ඔහු මෙසේ පැවසීය: "මා ඕ නායකත්වය රතු භටයින්ගේ සහයෝගය ඇතිව ‘සමානාත්මතාවේ’ ධජය යටතේ මෙම කන්ඩායමට එරෙහිව සටන් වදියි. ඔවුහු වරප‍්‍රසාදිත භාවයට එරෙහිව, සිමාරහිත බලතලවලට එරෙහිව, චීනය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සටන් කරති: විවේචනය කිරීමට හා එම විවේචන මත පිහිටා ක‍්‍රියාකිරීමට තිබෙන අයිතිය උදෙසා: විනිශ්චයකරුවන්ට, පොලිසියට හා ඇමතිවරුන්ට ඔවුන්ගේ පිලිවෙත් පිලිබඳව මහජනතාව සැබවින්ම සිතන්නේ කුමක් ද යන්න පැවසීම උදෙසා ද ඔවුන් තමන්ගේ ක‍්‍රියාමාර්ග නිවැරදි කර නොගන්නේ නම් ඔවුන් එලියට දැමීම උදෙසා ද තිබෙන අයිතියට ඔවුහු සටන් කරති.”[46] 1966 මා ඕ දියත් කල සංස්කෘතික විප්ලවය, සමානාත්මතාවය සමඟ හෝ ඒ අර්ථයෙන් සංස්කෘතිය හෝ නිර්ධන පන්තිය සමග මෙලොව සම්බන්ධයක් නැත. මා ඕ රතු හමුදාව බලමුලු ගන්වනු ලැබුවේ, චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය තුල ඔහුගේ කට්ටිවාදී අරගලයේ කොටසක් ලෙසිනි. වඩාත් කැපී පෙනෙන පරිදි ෂැන්හයිහි කැරලිකාරී නැගිටීමක් මතුව ඒමෙන් පෙන්නුම් කල පරිදි, කම්කරුවන් අරගලයට මැදිහත්වූ වහාම කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයක් කෙරෙහි සෑම කල්හිම බියට පත්ව සිටි මා ඕ, විරෝධතා ව්‍යාපාරය මැඩීම පිනිස ඉක්මනින්ම මිලිටරිය වෙත හැරුනේය.

19-5 හතරවන ජාත්‍යන්තරයේ 1968 පෙබරවාරි කලාපයේ කතුවැකිය තුල බන්ඩා, "වියට්නාම් විප්ලවය හා හතරවන ජාත්‍යන්තරය” යන හිසින්, වියට්නාමය තුල හෝචී මිං ගෙන යමින් සිටි "දිග්ගැස්සුන මහජන යුද්ධය” වර්නනා කරමින්, "අද දිනයේ ‘ගරිල්ලා අරගලයේ’ ප‍්‍රමුඛ නිපුනයා” ලෙස මා ඕට හුරේ දැමීය. මෙසේ මා ඕවාදයට ප‍්‍රශංසා කිරීමෙන් සිදුවන්නේ ආසියාව පුරා කම්කරුවන් හා තරුනයන් නොමග යැවීම පමනක් බව එස්එල්එල් වෙත ලිපියක් යවමින් ලංකාවේ විරෝධය කන්ඩායම පෙන්වා දුන්නේය. ඉන් පසුව පලකල හතරවන ජාත්‍යන්තරය සඟරාව තුල, එම කතුවැකියෙහි අඩංගු වන්නේ මයික් බන්ඩාගේ "පුද්ගලික අදහස” බව ප‍්‍රකාශ කරන කුඩා සටහනක්, ප‍්‍රකාශිත අදහස් පිලිබඳ කිසිදු විවේචනයකින් තොරව පලකරන ලදී. එස්එල්එල් බන්ඩාගේ මා ඕවාදී ගැති ආස්ථානයන්ට එසේම පැවතීමට ඉඩ හැරීමෙන් සලකුනු කලේ, එස්ඩබ්ලිව්පීයට එරෙහිව 1961-1963 අවධියේ නොනවතින විප්ලවයේ න්‍යාය මූලධර්මාත්මකව ආරක්ෂා කිරීමට කල අරගලයෙන් එය බැරෑරුම් ලෙස පසුබැසීමක් සහ පැබ්ලෝවාදීන් විසින් කැස්ට්‍රෝගේ, මා ඕගේ හා හෝචී මිංගේ "සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැංවීමට අනුගත වීමකි.

19-6 නොනවතින විප්ලව න්‍යායෙන් එස්එල්එල් ඉවතට හැරීම, පසුගාමී ධනේශ්වර රටක් තුල පදනම් වූ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස විකොස දේශපාලන වැඩකටයුතු කෙරේ බැරෑරුම් බලපෑමක් ඇති කිරීමට නියමිත විය. 1971 ඉන්දු-පකිස්ථාන යුද්ධය මුල් කර ගෙන එස්එල්එල් හා විකොස අතර තියුනු මතභේද හටගත්තේය. බංග්ලාදේශ විමුක්ති අරගලයට සහයෝගය දැක්වීමේ නාමයෙන් නැගෙනහිර පකිස්ථානය තුලට ඉන්දියානු හමුදා මැදිහත්වීමට "විවේචනාත්මක සහාය” පලකරමින් එස්එල්එල් ප‍්‍රකාශනයක් නිකුත් කලේය. ඊට පටහැනිව විකොස ප‍්‍රකාශනය, මෙසේ සඳහන් කලේය: "කම්කරු පන්තියේ කටයුත්ත යුද වැදී සිටින ධනපති කොටස් එකකටවත් සහයෝගය දැක්වීම නොව, පන්ති සතුරාගේ කඳවුරේ ඇතිවන සෑම ගැටුමක් ම, උප මහාද්වීපයේ මිලියන ගනනක් පීඩිතයින්ගේ සමාජ හා ජාතික අපේක්ෂාවන් සාක්ෂාත් කලහැකි එකම මාවත වන සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැඟීම පිලිබඳ ඉදිරි දර්ශනයක් සහිතව, බලය අල්ලා ගැනීම සඳහා උපයෝගී කර ගැනීමයි.”[47]

19-7 "විවේචනාත්මක සහාය” පලකිරීමේ එස්එල්එල් ප‍්‍රකාශනය ගැන, තවමත් රාජ්‍ය මර්දනයේ කොන්දේසි යටතේ වැඩ කරමින් සිටි විකොස දැන ගත්තේ. ඉන්දියානු මිලිටරි මැදිහත්වීමට විරුද්ධව තමන්ගේ ප‍්‍රකාශනයෙන් සතියකට පසුවය. බාලසූරිය වහාම මෙසේ සඳහන් කරමින් ජාත්‍යන්තර කමිටුවේ ලේකම් ක්ලිෆ් ස්ලෝටර් වෙත ලිපියක් යැවීය. "බෙංගාලි ජනතාවගේ ජාතික විමුක්ති අරගලයට සහාය දීම හා සමාජවාදී පදනම් මත ඉන්දියාව ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ කිරීම, ඉන්දු-පකිස්ථාන යුද්ධයට විරුද්ධ නොවී කල නොහැකිය. ඉන්දියාව හා පකිස්ථානය ඇතුලතින් ම යුද්ධයට විරුද්ධ නොවී, ඉන්දියානු උප මහාද්වීපයේ බොහෝ ජාතීන්ගේ ස්වයං නිර්න අයිතිය ආරක්ෂා කල හැකි එකම මාවත වන ඒකාබද්ධ සමාජවාදී ඉන්දියාවක් පිලිබඳව කථාකිරීම මුලුමනින්ම විකාරයකි.” [48] ඉන්දියානු මිලිටරි මැදිහත්වීමට හේතුව හරියට ම, නැගෙනහිර හා බටහිර බෙංගාලය ඒකාබද්ධ කිරීමේ විප්ලවවාදී අරගලයක් මැඩ, 1947-48 වසරවල පිහිටුවන ලද ප‍්‍රතිගාමී රාජ්‍ය පද්ධතිය රැකගැනීම බව බාලසූරිය පෙන්වා දුන්නේය.

19-8 එස්එල්එල් ආස්ථානය කෙරෙහි විකොස දක්වන දැඩි විරුද්ධත්වය පල කිරීමෙන් පසුව බාලසූරිය, අති මූලිකව ම වැදගත් කාරනය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල දේශපාලන පැහැදිලිකම බව අවධාරනය කලේය. විකොස තමන්ගේ ප‍්‍රකාශනය ඉල්ලා අස් කරගත් බව පැහැදිලි කිරීමෙන් පසුව ඔහු මෙසේ ලිවීය. "ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය ආරක්ෂා කිරීම දුෂ්කර කාර්යයක් බව පැවසීම අවශ්‍ය නැත. එහෙත්, ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා සටන් නොකර අපට ජාතික ශාඛාවක් ගොඩනැඟිය නොහැකි තතු හමුවේ, ජාත්‍යන්තරය තුල පැහැදිලිකම අන් සියල්ලටමත් වඩා වැදගත් වේ. [49] කෙසේ වෙතත් මතුකර ඇති ප‍්‍රශ්න පිලිබඳව ජාත්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කරනවා වෙනුවට එස්එල්එල්, විකොස ලිපිය ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛාවන් අතට පත්කලේ නැති අතර, වඩ වඩාත් විකොස හුදෙකලා කිරීමට හැරීගත්තේ ය.

19-9 ඉන්දු-පකිස්ථාන යුද්ධය වටා පැවති දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡා කිරීම එස්එල්එල් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම, ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගයෙන් එම පක්ෂය පුලුල් ලෙස ඉවතට හැරීමේ කොටසක් විය. 1971 නොවැම්බරයේ දී එස්එල්එල්, ජාත්‍යන්තර කමිටුවේ අනෙක් එකම දිගුකාලීන ශාඛාව වූ ප‍්‍රන්ස ඕසීඅයි සමග තමන් භේද වු බව නිවේදනය කලේය. ඕසීඅයි හා එහි දේශපාලන පිලිවෙත මාධ්‍යමික යයි කරන ලද එස්එල්එල් ගුනාංගීකරනය නිවැරදි වුවත්, යටින් පැවති දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කිරීමට එස්එල්එල් කිසිදු උත්සාහයක් නොගත් අතර, ඒ වෙනුවට අවධාරනය කලේ භේදය සිදුවූයේ "මාක්ස්වාදී න්‍යාය” මුල්කරගෙන බව ය. ඩේවිඩ් නොර්ත් පසුව මෙසේ ලිවීය. "1971 සරත් සෘතුවේ දී ඕසීඅයි සමග අපරීක්ෂාකාරීව භේද වීම ස්ලෝටර්ට මෙසේ තර්ක කිරීමට අවස්ථාව ලබා දුන්නේය: ‘බි‍්‍රතාන්‍යයෙහි විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම පිලිබඳ අත්දැකීමෙන් ක‍්‍රියාමාර්ගය හා පිලිවෙත සම්බන්ධයෙන් එකඟතා ඇතිකර ගැනීමෙන් ඔබ්බට ඉතා ගැඹුරට යන පරිසමාප්ත හා දුෂ්කර අරගලයක් විඥානවාදී චින්තන ක‍්‍රම හා සටන් වදිනු වස් අවශ්‍ය වන බව ප‍්‍රදර්ශනය කෙරුනේය’. . . . කිසියම් ක‍්‍රියාමාර්ගයකින් මාක්ස්වාදී න්‍යාය ප‍්‍රකාශයට පත් වේ ද එබඳු න්‍යායකින් විප්ලවවාදී පක්ෂය ගොඩනැංවෙන බව ට්‍රොට්ස්කි සෑම විටම අවධාරනය කලේය. එහෙත් ස්ලෝටර් ක‍්‍රියාමාර්ගයට එරෙහිව න්‍යාය පිහිටුවමින් ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය සඳහා කල අරගලයෙන් ගොඩනගන ලද පක්ෂවල යුක්ති යුක්ත භාවයත් ශක්‍ය භාවයත් ප‍්‍රශ්නයට භාජනය කලේය.” [50]

19-10 1973 නොවැම්බරයේදී එස්එල්එල්, කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) බවට පරිවර්තනය කිරීම තුල එස්එල්එල්හි දේශපාලන පල්ලම් බැසීම ප‍්‍රකාශයට පත් වීමට නියමිත විය. කවිප පිහිටුවන ලද්දේ ජාත්‍යන්තර කමිටුව තුල කිසිදු සාකච්ඡ‍ාවකින් හා අවශ්‍ය කිසිදු ක‍්‍රියාමාර්ගික පැහැදිලි කමකින් තොරව, බි‍්‍රතාන්‍ය තුල ටෝරි විරෝධී ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ ජාතික උපායාත්මක දිශානතියක පදනම මතය. පසුකාලීනව කවිප, බි‍්‍රතාන්‍ය කම්කරු හා වෘත්තීය සමිති නිලධරයට අනුගතවීම, නොනවතින විප්ලවයේ න්‍යාය මුලුමනින්ම අතහැර දැමීමත් ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම පාවාදීමත් සමග එකට ගමන් ගත්තේය.

මතු සම්බන්ධයි

සටහන්:

[42] ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ:හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ දී සම්මත කෙරුන සංක‍්‍රමන ක‍්‍රියා මාර්ගය හා හතරවන ජාත්‍යන්තරයේ ව්‍යවස්ථා කම්කරු මාවත ප්‍රකාශන, 1988, 29පි.

[43] ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය: පෙරවදන, 1970 දෙසැම්බර් 11, කම්කරු මාවත ප‍්‍රකාශන, 3 වන මුද්‍රනය 2007, 11-12පි.

[44] Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම 14, අංක 1, 1987 මාර්තු 47 පි.

[45] අප රක්නා උරුමය: දෙවන කොටස, කම්කරු මාවත ප‍්‍රකාශන, 593 පි.

[46] අප රක්නා උරුමය: දෙවන කොටස, කම්කරු මාවත ප‍්‍රකාශන, 596 පි.

[47] Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම 14, අංක 1, 1987 මාර්තු, 37 පි.

[48] Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම 14, අංක 1, 1987 මාර්තු, 42 පි.

[49] Fourth International (හතරවන ජාත්‍යන්තරය), වෙලුම 14, අංක 1, 1987 මාර්තු, 43 පි.

[50] ඩේවිඩ් නොර්ත්, ජෙරී හීලි හා හතරවන ජාත්‍යන්තරය තුල ඔහුට හිමි තැන: කම්කරු මාවත ප‍්‍රකාශන, 30 පි.

Share this article: