ලතින් ඇමරිකාව තුල සමාජවාදය ද ජාතිකවාදය ද: චාවේස් පාක්ෂිකයෙකුට පිලිතුරක්

Nationalism or socialism in Latin America: A reply to a supporter of Chavez

බිල් වෑන් ඕකන් විසිනි, 2013 මාර්තු 14

හියුගෝ චාවේස් හා සමාජවාදය.” නම් එහි මාර්තු 8 දා ඉදිරිදර්ශන තීරු ලිපියට ප‍්‍රතිචාර වශයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලිපි රාසියක් ලැබුනි. ඉන් කීපයක් දැඩි කෝපය ප‍්‍රකාශ කලේ ධනේශ්වර ජාතිකවාදය ලෙස පන්ති යෙදුම්වලින් නිර්වචනය කරමින් ද, ලතින් ඇමරිකාව තුල ඊට පෙර එවැනි තන්ත‍්‍රයන්ගේ ඓතිහාසික සන්දර්භය තුල තබමින් ද චාවේස්ගේ පාලනය මාක්ස්වාදී විශ්ලේෂනයකට යටත් කිරීමට අප උත්සාහ දැරුවේ යැයි පවසමිනි.

ඉදිරිදර්ශනයෙන් ඔහු ම "තැති ගැන්වුනි යි” පැවසූ බි‍්‍රතාන්‍යයේ එල්බී නැමත්තාගේ ලිපිය ඉන් කැපී පෙනුන අතර ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය: "අර්ධ-සත්‍ය හා සාංකල්පික අගතීන් සමග අධිරාජ්‍යවාදී මාධ්‍යය බොලිවාරියන් විප්ලවය අවමානයට ලක් කිරීමට උත්සාහ ගන්නා මොහොතක ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බිල් වෑන් ඕකන් එම මිථ්‍යාවන් පුනරුච්ඡුාරනය කරන්නේ එහි සාරාර්ථයෙන් ම ප‍්‍රති-මාක්ස්වාදී ආස්ථානයට සහාය දීමට ය.”

"අර්ධ-සත්‍යයන්” හා "අගතීන්” මොනවාද? ලියුම්කරුවා විරුද්ධ වන්නේ චාවේස් යටතේ වෙනිසියුලාව දරිද්‍රතාවේ තියුනු අඩුවීමක් දැක ඇති අතර රටේ දරිද්‍රතා අනුපාතය තවමත් ලතින් ඇමරිකානු සාමාන්‍යයට ඉහලින් පවතින බවත් අවුරුදු 14ක ඔහුගේ පාලනය පීඩිත රටක් ලෙස වෙනුසියුලාවේ සාරභූත තත්වය වෙනස් කිරීමට අසමත් වී ඇති බව හා තනි භාන්ඩයක් වන තෙල් අපනයනය සහ එරට පාරිභෝගික හා ප‍්‍රාග්ධන භාන්ඩවලින් අති විශාල කොටස ආනයනය සඳහා ප‍්‍රධාන බලවතුන් මත යැපෙන බවත් අප විසින් පෙන්වාදීමට ය.

මෙම වෛෂයික කරුනු ප‍්‍රතික්ෂේප කිරීමට, පන්ති යතාර්ථයන් නොසලකා හැරීමට හා වෙනුසියුලා තන්ත‍්‍රය ශුභවාදයෙන් ම පින්තාරු කිරීමට බලවත් උනන්දුවක් පවත්නේ ඇයි? ලිපියේ පහත සඳහන් පේලිය උත්තරය පැහදිලි කර යි: "බි‍්‍රතාන්‍ය වැනි අර්බුද ග‍්‍රස්ථ අධිරාජ්‍යවාදී ආන්ඩු රුදුරු ලෙස සුභසාධනයන් කපමින් හා නිවාස සඳහා කම්කරුවන්ට ඇති අයිතියට පහර දෙමින් සිටින විට වෙනිසියුලානු විප්ලවය මාක්ස්වාදීන්ට ඒත්තු ගන්වන්නේ විකල්පයක් පවතින බව පෙන්වාදීමට ය.”

අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයකට එරෙහිව වෙනිසියුලාව වැනි පීඩිත රටක් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය වැනි රටවල කම්කරු පන්තියට අවශ්‍ය වන අතර චාවේස් යටතේ පැවති ආර්ථික හා දේශපාලන පසුබිම එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය කම්කරුවන් සඳහා "විකල්පයක්” ලෙස ඉදිරිපත් කිරීම හාස්‍යජනක ය. ඔවුන්ට (කම්කරු පන්තියට) කිරීමට ඇත්තේ කුමක් ද? ඔවුන් සමාජවාදය කරා මෙහෙයවීම සඳහා ඇමරිකානු මිලිටරි ඇකඩමිය හෝ බි‍්‍රතාන්‍ය මිලිටරි ඇකඩමිය "ප‍්‍රගතිශීලී” කර්නල්වරයෙකු බිහිකරන තුරු බලා සිටීම ද?

එක්තරා ප‍්‍රමානයකින් මෙහි අපේක්ෂා කෙරෙන "විකල්පය” ඉහලින් පාත් කෙරෙන්නක් මිස බලය පිලිබඳ තමන්ගේ ම සංවිධාන ස්ථාපිත කිරීමට වෙරදරන කම්කරු පන්තියේ දේශපාලනිකව ස්වාධීන ව්‍යාපාරයක් තුලින් මතු වන්නක් නොවේ. චාවේස් පිලිබඳ අතිප‍්‍රශංසාව බැඳෙන්නේ එවැනි ඕනෑ ම ව්‍යාපාරයක් සම්පූර්නයෙන් ම ප‍්‍රතික්ෂේප කිරීම හා ඒ වෙතට වන පැලැපදියම් වෛරය සමග ය.

තමන්ගේ හෘදය සාක්ෂිය සනසා ගෙන තිබීමට හා කම්කරු පන්තියට "සමාජවාදය” ගෙනෙන යම් රාජ්‍ය නායකයෙකුට සහාය දීම මගින් තමන් ගැන ම සතුටුවීමට අවශ්‍ය අයගේ දේශපාලනය යි මේ. යතාර්ථයේ දී මෙය, තමන් විසින් ම නිදහස් වීමට කම්කරුවන් ගෙනයන අරගලයක් හරහා පමනක් පැන නැගිය හැකි සමාජවාදය පිලිබඳ සම්පූර්න අසත්‍යකරනයකි.

පන්ති අර්ථයෙන් ගත් විට, චාවේස් ගැන මිත්‍යාවන් ප‍්‍රචාරය කරන අය, බරක් ඔබාමා ගැන ඒ ආකාරයේ ම මිත්‍යාවන් පෝෂනය කරන සුලූධනේශ්වර තට්ටූන්ගෙන් වෙනස් කල නොහැකි තරම් ය. සැබවින් ම, තමන් එක්සත් ජනපද වැසියෙකු වී නම් තමන් ඔබාමාට සහාය දීමට ඉඩ තිබුන බව පවසමින් වෙනිසියුලානු ජනාධිපති තමන් විසින් ම ඉදිරිපත් කරන ලද මුඛ්‍ය කාරනයත් මෙය යි. ඔබාමා වෙනිසියුලා වැසියෙකු වී නම් ඔහු චාවේස්ට පිටුබලය දෙනු ඇතැ’යි තමන් විශ්වාස කරන බව චාවේස් කීවේ ය.

ලියුම්කරුවා තව දුරටත් ලියන්නේ, චාවේස් ධනේශ්වර ජාතිකවාදියෙකු ලෙස නිර්වචනය කිරීම "සාවද්‍ය පමනක් නොව කේන්ද්‍රීය කාරනයක් නොසලකා හරී” යනුවෙනි. ඔහු තව දුරටත් මෙසේ ලිය යි: "1914දී ලෙනින් ලියූ පරිදි, ‘ ඕනෑ ම පීඩිත ජාතියක ධනේශ්වර ජාතිකවාදයට පීඩනයට එරෙහිව යොමුවෙන පොදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයක් පවතින අතර අප සහාය දෙන්නේ මෙම අන්තර්ගතයට ය’. සමාජවාදය දෙසට වන ව්‍යාපාරය තල්ලු කරනු ලබන්නේ වෙනිසියුලානු පීඩිත මහජනතාව වන අතර එහි ප‍්‍රකාශනය සොයා ගැනුනේ හියුගෝ චාවේස්ගේ විප්ලවවාදී නායකත්වය තුල ය.”

මෙහි දී යමෙකුට මුනගැසෙන්නේ ලෙනින්ගෙන් සොරා ගැනුනු දිරවා නොගත් උපුටා ගැනීමක් සමග ඒකාබද්ධ වූ ස්ටැලින්වාදයෙන් හා සුලුධනේශ්වර රැඩිකල්වාදයෙන් ඇද ගන්නා ලද බාගෙට තැම්බූ හත්මාලුවකි.

ලියුම් කරුවා කියන බව පෙනෙන්නේ චාවේස් ධනේශ්වර ජාතිකවාදියෙකු ලෙස නිර්වචනය කිරීම මඩ ගැසීමක් බව හා ඔහු එසේ වුවත් එය නොතකා ලෙනින්ගේ උපදේශය මත පදනම්ව සමාජවාදය දෙසට වන "වෙනිසියුලාවේ පීඩිත මහජනතාවගේ” ව්‍යාපාරයේ ප‍්‍රකාශනය හා නායකත්වය ලෙස ඔහු තවමත් කොන්දේසි විරහිත සහයෝගයට සුදුස වන බව යි.

චාවේස් ධනේශ්වර ජාතිකවාදියෙකු ලෙස විස්තර කිරීමේ දී එම යෙදුම පාවිච්චි කරනු ලබන්නේ පරිහාස වදනක් ලෙස නො ව ඔහුගේ පාලනය ගුනාංගීකරනය කෙරෙන පන්ති අවශ්‍යතාවන්ගේ හා ක‍්‍රමවේදයන්ගේ දේශපාලනිකව නිශ්චිත නිර්වචනයක් ලෙස ය. ඔහුගේ සමාජ සත්කාරක වැඩසටහන් හා අර්ධ ජනසතු කිරීම් තිබියදීත් ඔහු නායකත්වය දුන්නේ එහි ආර්ථිකය තිරසාර ලෙස ධනපති වන රටක ධනේශ්වර ආන්ඩුවකට ය.

චාවේස් නායකත්වය දුන් ආන්ඩුව පදනම් වන්නේ අවුරුදු 14ට පෙර ඔහු පලමුවරට බලයට එන විට පැවති ආයතන හා නිලධරයන් මත, එනම් පලමු හා ප‍්‍රධාන වශයෙන් ආන්ඩුවේ පාලනය තුල ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරන සන්නද්ධ හමුදා මත ය.

වෙනිසියුලාවේ දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 70ට වගකියන්නේ පෞද්ගලික අංශය වන අතර එය චාවේස් පලමුවරට තෝරා ගැනුනු 1998ට වඩා වැඩි පංගුවකි. කම්කරුවන්ට ප‍්‍රතිවිරුද්ධව හාම්පුතුන් අත් පත් කර ගත් ධනයේ පංගුව, ඔහු බලයට පත් වී දශකයකට පසු, එනම් 2008දී වාර්තා ගත සියයට 48.8ට ලඟාවෙමින් නැග තිබුනි. වෙනිසියුලානු බැංකු වැඩියෙන් ම ලාභ ලබන අතර, 2012දී කොටස් මිල ගනන් සියයට 300කට පමන නැගීමත් සමග එහි කොටස් වෙලඳපොල ලෝකයේ ඉහලින් ම ක‍්‍රියාත්මකවන මොහොතේ ම (කම්කරුවන්ගේ) මූර්ත වැටුප් පහත වැටුනි.

මෙහි මඩ ගැසීමේ ඉලක්කය වාචේස් නො ව ලෙනින් ය. යොදා ගන්නා උද්ධෘත පාඨය ප‍්‍රචන්ඩකාරීව ඉරා ගැනෙන්නේ එහි සන්දර්භයෙනි, එනම් එවකට සාර්වාදී රුසියානු අධිරාජ්‍යයේ කොටසක් වූ පෝලන්තයේ ස්වයං නීර්නය අයිතිය පිලිගැනීම සඳහා ලෙනින් යෙ¥ ”නිෂේධනීය ඉල්ලීම” එහි ක‍්‍රියාමාර්ගය තුල ඇතුලත් කල යුතු දැ යි රුසියානු මාක්ස්වාදී ව්‍යාපාරය තුල කෙරුන සාකච්ඡාවෙන් වෙන් කර ගනිමිනි.

"නිෂේධනීය” වචනය යොදන ලද්දේ මාක්ස්වාදීන් වෙන්වීමට උපදෙස් නො දෙන නමුත් ඊට වෙනස් ව ජාතික බෙදීම් ජයගැනීමේ හා කම්කරු පන්තිය එක්සත් කිරීමේ මාවතක් ලෙස (වෙන්වීමේ) අයිතිය පිලිගැනීම පැහදිලි කිරීමට ය.

"කම්කරු පන්තිය ධනේශ්වර ප‍්‍රතිපත්තියට යට කිරීමට” එරෙහිව අනතුරු අඟවන එම ලිපිය කම්කරු පන්තිය සම්බන්ධයෙන් ගත් විට ජාතික ඉල්ලීම් "කම්කරු පන්ති අරගලයේ අවශ්‍යතාවන්ට යටත්” බව අවධාරනය කරයි. එය ප‍්‍රකාශ කලේ, "කම්කරු පන්තියට වැදගත් ම දේ නම් එහි පන්තියේ වර්ධනය යි. ධනේශ්වර සම්බන්ධයෙන් ගත් විට එයට වැදගත් වන්නේ නිර්ධන පන්තියේ අවශ්‍යතාවන්ට ඉදිරියෙන් "තම” ජාතික ඉල්ලීම් තල්ලු කිරීම මගින් මෙම වර්ධනයන්ට අවහිර කිරීම ය.”

තව ද, 1917දී ඔක්තෝබර් විප්ලවය කරා පෙරට ඇදුනු කාල පරිච්ෙඡ්දයේ දී ලෙනින් පිලිගත්තේ ට්‍රොට්ස්කි විසින් ඔහුගේ නොනවතින විප්ලව න්‍යාය තුල වර්ධනය කරන ලද ඉදිරිදර්ශනය වන රුසියාව වැනි ප‍්‍රමාද වූ ධනේශ්වර වර්ධනයක් සහිත රටක ධනේශ්වර විප්ලවය සමග ඓතිහාසිකව එකාබද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික කර්තව්‍යයන් ක‍්‍රියාවට නැගිය හැක්කේ බලය ගැනීමට හා සමාජවාදී පියවරයන් සඳහා පෙරට යාමට බල කෙරෙනු ඇති කම්කරු පන්තියේ නායකත්වය යටතේ පමනක් ය යන්න යි.

ට්‍රොට්ස්කිගේ ආස්ථානයේ හරය වූයේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය හා එහි අරගලය ජාතික ධනේශ්වරයට යට කිරීම ප‍්‍රතික්ෂේප කිරීම වන අතර එහි දී එම ධනේශ්වරයේ ප‍්‍රතිපත්ති කොතරම් "වමේ” ද යන්න කාරියක් නැත.

ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේ දී ඍජුව ම මෙම ප‍්‍රශ්නයට යොමුවුනේ මෙක්සිකෝවේ ජනාධිපති ලසාරෝ කාඩෙනාස්ගේ ජාතිකවාදී ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වන අතර මොස්කව් ස්ටැලින්වාදී නිලධරයේ මිනීමරුවන් විසින් ඔහු ලූහුබැඳ එමින් සිටි අවස්ථාවේ දී රුසියානු විප්ලවයේ නායකයාට මෙම ග‍්‍රහ ලෝකය මත දේශපාලන රැකවරනය ලබා දුන් එක ම ආන්ඩුව වූයේ කාඩෙනාස්ගේ ආන්ඩුව පමනි.

1938 මාර්තුවල දී, මැක්සිකානු තෙල් කම්කරුවන්ගේ වැඩිවන්නා වූ සටන්කාමී අරගලයන්ට හා එක්සත් ජනපදය - හා බි‍්‍රතාන්‍ය පාලනය කල තෙල් සංගතයන්ගේ උද්ධච්ඡ සතුරුකමට ප‍්‍රතිචාර දක්වමින් කාඩෙනාස් මැක්සිකානු තෙල් කර්මාන්තය මෙන් ම එරට දුම්රිය මාර්ග ද ජනසතු කලේ ඒවා කම්කරුවන්ගේ කලමනාකරනය යටතේ තබමිනි. ආසන්න වශයෙන් ශත වර්ෂ හතරෙන් තුනකට පෙර ඉතාමත් බලගතු අධිරාජ්‍යවාදී බලවතුන්ට එරෙහිව ගන්නා ලද මෙම පියවරවලට තිබුනේ වෙනිසියුලාවේ චාවේස් ආන්ඩුව විසින් ගන්නා ලද ඕනෑ ම පියවරකට වඩා දුර ගිය පෙරලිකාරී හා පෘථුල ලක්ෂනයන් ය.

කෙසේ නමුත්, ට්‍රොට්ස්කි දැඩිව අවධාරනය කලේ මෙම පියවර පන්ති සීමාවන් තුල නිර්වචනය කිරීම හා කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතාවන් හා කර්තව්‍යයන් නිරූපනය කිරීම පිලිබඳව ය. ඔහුට සියලු හේතු තිබුනේ කාඩෙනාස් ආන්ඩුවේ යහපත් චේතානාව පවත්වාගෙන යාම ගැන උත්සුකවීමට වූ නමුත් ඔහු ගැඹුරු මූලධර්මාත්මක විශ්ලේෂනයකට බැඳී සිටි අතර, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ තර්ජනයනට එරෙහිව ඔහු මෙම ආන්ඩුව ආරක්ෂා කිරීම බැහර නොකල එකකි.

ට්‍රොට්ස්කිගේ තක්සේරුව සපයන්නේ වෙනිසියුලාවේ චාවේස් බඳු තන්ත‍්‍රයන්ගේ ස්වභාවය වටහා ගැනීම හා ඔවුන් සම්බන්ධයෙන් මාක්ස්වාදීන් අනුගමනය කල යුතු ආකල්පය සම්බන්ධයෙන් ස්ථීර න්‍යායික පදනමකි.

ජනසතු කිරීමෙන් මාස කිහිපයක් තුල ඔහු මෙසේ ලිව්වේ ය: "කාර්මික වශයෙන් පසුගාමී රටක විදේශ ප‍්‍රාග්ධනය ඉටු කරන්නේ තීරනාත්මක ක‍්‍රියා කලාපයකි. ජාතික නිර්ධන පන්තිය සාපේක්ෂව ජාතික ධනේශ්වරයේ සාපේක්ෂ දුර්වලතාවය එබඳු ය. මෙය නිර්මානය කරන්නේ රාජ්‍ය බලයේ විශේෂ කොන්දේසීන් ය. ආන්ඩුව හැසිරෙන්නේ විදේශ හා දේශීය ප‍්‍රාග්ධනය අතර එනම්, දුර්වල ජාතික ධනේශ්වරය හා සාපේක්ෂව බලගතු නිර්ධන පන්තිය අතර ය. මෙය ආන්ඩුවට සපයන්නේ විශේෂ ආකාරයක බොනපාට්වාදී ස්වභාවයකි. එය එය විසින් ම ඉස්සෙන්නේ පන්තිවලට ඉහලින් බව කිව යුතු ය. සැබවින් ම, එය එය විසින් ම විදේශ ප‍්‍රාග්ධනයේ උපකරනයක් වෙමින් හා පොලිස් ඒකාධිපතිත්වයේ යදම් තුල නිර්ධන පන්තිය රඳවා ගනිමින්, නැතහොත් නිර්ධන පන්තිය සමග උපාමාරු දමමින් හා එමෙන් ම එයට සහන දීමට පවා දුර යමින්, හා ඒ අයුරින් විදේශ ධනපතියන්ගෙන් නිශ්චිත නිදහසක හැකියාව අත්පත් කර ගනිමින් එයට පාලනය කල හැක. (මෙක්සිකානු ආන්ඩුවේ- ඉං. ප) වර්තමාන ප‍්‍රතිපත්තිය පවතින්නේ දෙවැනි පියවර තුල ය: එහි ශ්‍රේෂ්ඨතම ජයග‍්‍රහනයන් වන්නේ දුම්රිය මාර්ග හා තෙල් කර්මාන්තවල අයිතිය පැහර ගැනීම යි.

"මෙම පියවර මුලූමනින් ම පවතින්නේ රාජ්‍ය ධනවාදයේ අධිකාරය ඇතුලත ය. කෙසේ වතු දු, අර්ධ යටත් විජිත රටක රාජ්‍ය ධනවාදය එය විසින් ම හඳුනා ගනු ලබන්නේ තමන් පුද්ගලික විදේශ ප‍්‍රාග්ධනයේ හා එහි ආන්ඩුවල දැඩි පීඩනය යටතේ සිටින බව සහ කම්කරුවන්ගේ ක‍්‍රියාකාරී සහයෝගය නොමැතිව එයට ම පැවතිය නොහැකි බවත් ය. සැබෑ බලය ඔවුන්ගේ අත්වලින් හැලෙන්නට ඉඩ නොදී කර්මාන්තවල ජනසතු කල ශාඛාවන්ගේ නිෂ්පාදනය පෙලගැස්වීම සඳහා වගකීමේ සැලකිය යුතු කොටසක් කම්කරු සංවිධාන මත තැබීමට ඔවුන් උත්සාහ කරන්නේ ඒ නිසා ය.

"මෙම කාරනයේ දී කම්කරු පක්ෂයේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ කුමක් ද? සමාජවාදයට මාවත ගමන් කරන්නේ නිර්ධන පන්තික විප්ලවය හරහා නො ව ධනේශ්වර ආන්ඩුව විසින් කර්මාන්වල නොයෙකුත් අංශ ජනසතු කිරීම හා ඒවා කම්කරු පන්තියේ සංවිධානටවලට බාරදීම හරහා යයි තක්සේරු කිරීම සැබවින් ම විනාශකාරී වැරද්දක් හා මුලුමනින් ම රැවටිල්ලකි.” (අවධාරනය ඈඳුනි)

වසර 75කට පෙර ට්‍රොට්ස්කි මෙම පේලි සටහන් කලාට පසු බොහෝ දේ - ලේ ගැන කීම අනවශ්‍ය ය- ගලා ගොස් හමාර ය. ස්ටැලින්වාදය හා ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය පැබ්ලෝවාදී සංශෝධනවාදී ප‍්‍රවනතාව විසින් පහර දෙන ලද නොනවතින විප්ලව න්‍යාය නැවත නැවතත් තහවුරු වී ඇත්තේ නිෂේධනාත්මකව ය. අප‍්‍රිකාවේ, ආසියාවේ හා මැද පෙරදිග පැරනි යටත් විජිත තුල අලුතින් නිදහස ලද රාජ්‍යවල සිට නිකරගුවාවේ සැන්ඩිනිස්ටා හා දකුනු අප‍්‍රිකාව තුල අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය හරහා ධනේශ්වර ජාතික ව්‍යාපාරයන්ගේ අනුප‍්‍රාප්තිය ඔප්පු කර ඇත්තේ තිරසාර ලෙස අධිරාජ්‍යවාදයට විරුද්ධවීමේ හෝ අතිමූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික ප‍්‍රශ්න, හා ඊටත් අඩුවෙන් සමාජවාදය සාක්ෂාත් කර ගැනීමේ අසමර්ථකම යි.

චාවේස් ශාන්තුවරයට පත් කිරීමට අවශ්‍ය එල්බී වැන්නන්ට මෙම ඉතිහාසය, වඩාත් විශේෂයෙන් ලතින් ඇමරිකාවේ ඉතිහාසය උදාසීනත්වය පිලිබඳ කාරනයකි. මියගිය වෙනිසියුලානු ජනාධිපති මත ඔහු ගොඩගසන අතිප‍්‍රශංසාව සහ කම්කරු පන්තිය චාවේස්ගේ දේශපාලනයට යටකිරීමට විරුද්ධවීම හේතුවෙන් ඔහු මාක්ස්වාදීන් හෙලදැකීම දෝංකාර නංවන්නේ ලතින් ඇමරිකානු කම්කරුවන්ට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන දෙමින් මුල් කාලයේ සුලු-ධනේශ්වර වම්මුන්ගේ මුලු තට්ටුවක් විසින් ගන්නා ලද ආස්ථානය යි.

ආර්ජන්ටිනාව තුල, තමන් සමාජවාදීන් පමනක් නො ව ට්‍රොට්ස්කිවාදීන් පවා කියා ගත් මෙම කන්ඩායම්, 1946 සිට 1955 හා නැවත 1973 - 74 ජනාධිපති වූ ජාතිකවාදී හමුදා නිලධාරී ජුවන් පෙරෝන්ට හා ඔහු මිය ගොස් අනුප‍්‍රාප්තික වූ විට ඔහුගේ බිරිඳට කම්කරු පන්තිය යටත් කිරීමට සහාය දුන්හ. බොලීවියාවේ දී 1970 සිට 1971 දක්වා කෙටි කාලයක් බලය දැරූ ජෙනරාල් ජේ.ජේ. ටෝරේස් සම්බන්ධයෙන් මිත්‍යාවන් ඇති කල ඔවුහු පේරුවල දී "විප්ලවවාදී ආන්ඩුවේ ජනාධිපති” නාමය යටතේ 1968 සිට 1975 දක්වා බලය දැරූ ජුවාන් ෆ‍්‍රැන්සිස්කෝ වෙලැස්කෝ අල්වරාඩෝට පිටුබලය සැපයූහ.

චාවේස් මෙන් ම ඔවුන් සියලු දෙනා ජනසතු කිරීම් ක‍්‍රියාත්මක කලහ, වාම-ජාතිකවාදී ප‍්‍රතිපත්ති වැලඳ ගත් අතර දුප්පතුන් සඳහා සමාජ සත්කාරක වැඩසටහන් ප‍්‍රවර්ධනය කලහ. මෙම සෑම සිද්ධියක දී ම ධනේශ්වර ජාතිකවාදය "සමාජවාදය” ලෙස ප‍්‍රචාරය කිරීමේ සුලූ-ධනේශ්වර දේශපාලනයේ ප‍්‍රතිඵලය වූයේ දසදහස් ගනනක් තම ජීවිතවලින් වන්දි ගෙවූ මිලිටරි කුමන්ත‍්‍රනවලට පූර්වයෙන් කම්කරු පන්තිය නිරායුධ කිරීම යි.

සමාජවාදයට නව මාවතක් ලෙස කස්ත්‍රෝවාදය හා සුලු ධනේශ්වර ගරිල්ලාවාදය මහිමත්වයට නැංවීම හරහා මෙම පරාජයන්ගේ මාවත සූදානම් කෙරුනි. මෙම ඉදිරිදර්ශනය උදව් කලේ කම්කරුවන්ගේ විප්ලවවාදී කන්ඩායම් හුදකලා කිරීමටත් ආන්ඩු සමග අසමාන සන්නද්ධ අරගල තුලට ඔවුන්ව මෙහෙයවීමට හා කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමට බාධා කිරීමටත් පමනි. එවැනි තන්ත‍්‍රයන්ට හා ක‍්‍රමවේදයන්ට සහාය දුන් කිසිම තැනක සමාජවාදය කරා මෙහෙයවුනේ නැත.

ලෝසවෙඅ "සමාජවාදය සඳහා එක ම අපේක්ෂාව ලෙස දකින්නේ එහි ම ට්‍රොට්ස්කිවාදී ප‍්‍රවනතාවේ දේශීය ශාඛා පිහිටවීම හරහා ය” යයි එල්බී චෝදනා කරන්නේ එය හරියට එක්තරා ආකාරයක නිකායික මුලාවක් වූවා ලෙස ය. එහෙත් ලතින් ඇමරිකානු ඉතිහාසයේ කටුක පාඩම නම් ධනේශ්වර හා සුලූ ධනේශ්වර ජතිකවාදයන්ට කම්කරු පන්තිය යටකිරීම මග පාදන්නේ පරාජයන්ට පමනකි යන්න ය. සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ කම්කරු පන්තියේ සම්පූර්න දේශපාලන ස්වාධීනත්වය හා විප්ලවවාදී මාක්ස්වාදී නායකත්වය ගොඩනැගීමේ පදනම මත පමනි.

එල්බී විරුද්ධ වන ඉදිරිදර්ශනය සාකච්ඡා කලේ සුලු-ධනේශ්වර පැරනි රැඩිකලුන් හා ව්‍යාජ-වම්මුන් සඳහා චාවේස් දැරූ ආකර්ෂනය යටින් පවතින පන්ති ගතිකයන් හා උත්සුකයන් ය. එය මෙසේ ප‍්‍රකාශ කලේ ය: "ඔවුන් චාවේස්ගේ 21වැනි සියවසේ සමාජවාදයට ඇද ගැනෙන්නේ නිශ්චිතව ම සමාජවාදී පරිවර්තනය සිදු කල හැක්කේ ධනවාදයට අවසානයක් තැබීමට හා තමන්ගේ ම අතට බලය ගැනීමට වන කම්කරු පන්තියේ ස්වාධීන හා දැනුවත් අරගලයක් හරහා පමනක් ය යන මාක්ස්වාදී සංකල්පයට වන ඔවුන්ගේ විරුද්ධත්වය නිසා ය. මෙම සුලුධනේශ්වර දේශපාලන කන්ඩායම් ඒ වෙනුවට ආකර්ෂනය වන්නේ ජනකාන්ත ආඥාපතියෙකු විසින් ඉහල සිට පනවනු ලබන විප්ලවයෙන් ධනවාදය බේරා ගැනීමට සැලසුම් කල ප‍්‍රතිපත්තියකට ය.”

මෙම තක්සේරුව මුලුමනින් ම එලියට පනින්නේ මෙම ප‍්‍රතිගාමී සුලු-ධනේශ්වර දේශපාලන තට්ටුවේ නියෝජිතයෙකු වන එල්බීගේ ලිපියෙනි.

**

එල්බීගේ ලිපිය

මාර්තු 8වැනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල "හියුගෝ චාවේස් හා සමාජවාදය” නමින් යුත් ලිපියෙන් මම සන්ත‍්‍රායට පත් උනෙමි. අර්ධ සත්‍ය හා දෘෂ්ටිවාදාත්මක අගතීන් සමග බොලිවාරියන් විප්ලවය අවමානයට ලක්කිරීමට අධිරාජ්‍යවාදී මාධ්‍යය උත්සාහ කරන අවස්ථාවක ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බිල් වෑන් ඕකන් එහි සාරාර්ථයෙන් ම ප‍්‍රතිමාක්ස්වාදී ආස්ථානයට සහාය පිනිස ප‍්‍රතිරාවය කරන්නේ එක ම මිත්‍යාවන් ය.

"ඔහුගේ ජනාධිපති ධුර කාලය තුල රටේ බෙහෙවින් ම දුගී ජන කොටස්වල සමාජ තත්වයේ සීමිත වුවත්, ඇති වූ ප‍්‍රගතිය ප‍්‍රතික්ෂේප කල නොහැකි ය. එය එක් රොක් වන ජනතාව පලකරන සහයෝගය තුලින් ප‍්‍රකට කෙරේ. සමාජ තත්වයන්ගේ සිදුව ඇති එම ප‍්‍රගතිය දුප්පත්කම අඩකින් අඩුවීම තුලින් පෙන්නුම් කල අතර එය තවමත් පවතින්නේ ලතින් ඇමරිකාවේ සාමාන්‍ය අනුපාතයට වඩා ඉහලින්” බව ලිපිය පිලිගනියි. සැබවින් ම, එක්සත් ජාතීන්ගේ ලතින් ඇමරිකානු ආර්ථික කොමිසමට අනුව වෙනිසියුලාවට දැන් ඇත්තේ ලතින් ඇමරිකාව තුල දරිද්‍රතාවය පිලිබඳ තුන්වැනි පහල මට්ටම යි. 1998 චාවේස් පලමුවරට තෝරාපත් කර ගත් අවස්ථාවේ දරිද්‍රතාව සියයට 50.4ක පැවතුනි. 2011 වන විට එය සියයට 27.8ට වැටී තිබුන අතර දිගට ම වැටේ. මෙම කාලයේ දී ම, මිලියන 2.5ක් පමන වෙනිසියුලානුවන් අන්ත දරිද්‍රතාවෙන් ගලවා ගත් අතර වෙනිසියුලාව කලාපය තුල (කියුබාවට පසුව) අසමානතාවය තුල පහල ම මට්ටම අත් කර ගැනීමට වසරින් වසර සියයට 2 බැගින් පහත යමින් "වෙනිසියුලාව ලතින් ඇමරිකාව තුල පෙර නුවූ විරූ” අසමානත්වයේ පහල යාමක් අත්කර ගත්තේ ය. (බෘකින්ග්ස් ඉන්ස්ටිටියුෂන්)

නූගත්කම අතු ගා දමා ඇති වෙනිසියුලාව ලදරු මරන අනුපතාය සජීවි උපත් 1000ට 25 සිට 13 දක්වා අඩුකරඇත. සියල්ලන් සඳහා නිදහස් සෞඛ්‍ය ආරක්ෂාව හා අධ්‍යාපනය සපයා ඇති අතර පසු ගිය දෙවසර තුල පමනක් ප‍්‍රජා නිවාස ඒකක 700,000ක් ඉදි කර ඇත. බි‍්‍රතාන්‍යය වැනි අර්බුද ග‍්‍රස්ත අධිරාජ්‍යවාදී රටවල් සුභසාධනය කුරිරු ලෙස කපා දමමින් හා කම්කරුවන්ගේ නිවාස සඳහා අයිතියට පහර දෙමින් සිටින අතර වෙනිසියුලානු විප්ලවය මාක්ස්වාදීන්ට විකල්පයක් ඇති බව පෙන්වීමට ඉඩකඩ සලසයි.

ලෝසවෙඅ මාක්ස්වාදයෙන් පලා යන්නේත්, මෙම කරුනු නොසලකා හරින්නේත් "‘බොලිවාරියන් විප්ලවය’ ජාතියක් වශයෙන් අධිරාජ්‍යවාදය මත යැපෙන හා එය විසින් මර්දනය කරන වෙනිසියුලාවේ තත්වය වෙනස් කිරීමට කිසිවක් කර නැත” යි යන ප‍්‍රතිගාමී ආස්ථානයට සහාය දීමට ය. වෙනිසියුලානුවෝ මෙය බොරුවක් බව දනිති. 20වැනි සියවසේ බොහෝ කාලයක් වෙනිසියුලාව පාලනය කරන ලද්දේ අධිරාජ්‍යවාදී තෙල් අවශ්‍යතාවන්ට ගැටගැසුනු දූෂිත ප‍්‍රභූවක් විසිනි. වෙනුසියුලාව ජාතික විමුක්තිය හා සමාජවාදය සඳහා සටන් කරන පීඩිත රටකි."චාවේස් ධනේශ්වර ජාතිකවාදියෙකු වීය” යන ලෝවෙසඅ තක්සේරුව අසත්‍ය පමනක් නොව කේන්ද්‍රීය කාරනය නොසලකා හැරීමකි. 1914 දී ලෙනින් සඳහන් කල පරිදි, " ඕනෑ ම පීඩිත ජාතියක ධනේශ්වර ජාතිකවාදයට පීඩනයට එරෙහිව යොමුවෙන පොදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයක් පවතින අතර අප කොන්දේසි විරහිතව සහාය දෙන්නේ මෙම අන්තර්ගතයට ය.” සමාජවාදය දෙසට වන ව්‍යාපාරය තල්ලු කරනු ලබන්නේ වෙනිසියුලානු පීඩිත ජනතාව විසින් වන අතර හියුගෝ චාවේස්ගේ විප්ලවවාදී නායකත්වය තුල එහි ප‍්‍රකාශනය සොයා ගැනුනි.

ලෝසවෙඅ හඳුනා ගැනීමට අසමත් වන්නේ චාවේස්ට සහයෝගය පැමිනියේ කොහෙන්ද කියා යි. 2002 අධිරාජ්‍යවාදීන් තල්ලුව දුන් කුමන්ත‍්‍රනය පරාජය කිරීමේ සිට කොමියුනවල වර්ධනය හා සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව ආකෘතීන් දක්වා විප්ලවවාදී ක‍්‍රියාදාමය කෙලින් ම රැුඩිකලීකරනය කර ඇත්තේ කම්කරු පන්තිය යි. "ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අර්බුදයේ බලපෑම යටතේ වෙනිසියුලාව තුල හා ලතින් ඇමරිකාව පුරා පන්ති අරගලය ත‍්‍රීව වනු ඇත” යි ලෝසවෙඅ පැවසීම නිවැරදි වුවත් එය සමාජවාදය සඳහා එක ම බලාපොරොත්තුව ලෙස දකින්නේ එහි ම ට්‍රොට්ස්කිවාදී ප‍්‍රවනාතවේ ශාඛා පිහිටුවීම හරහා ය. නමුත් වෙනිසියුලානු මහජනතාව සටන් කරමින් සිටින්නේ සැබෑ ලෝකය තුල ය. ඔවුන්ගේ වීරෝදාර නායකයාගේ අභාවයෙන් පසු ඔවුන්ගේ අරගලය ඉදිරියට ගෙන යාමේ දී ඔවුන්ට සමාජවාදී කියුබාවේ හා ලතින් ඇමරිකාව පුරා විප්ලවවාදී ව්‍යාපාරයේ සහයෝගය ඇත. පලස්තීනයේ සිට ග‍්‍රීසිය දක්වා පීඩිත ජාතීන්ගේ සහයෝගිතාව ඔවුන්ට ඇත. වෙනිසියුලාවේ කම්කරු පන්තියේ ජයග‍්‍රහනයන්ට පහර දීමෙන් ලෝසවෙඅ අවසන් වන්නේ සමාජවාදයේ සතුරාගේ පැත්තෙහි ය.

එල්බී

Share this article: