ෆේස් බුක් - ගෝලීය වාරන ආයතනය

Facebook: The global censor

2018 දෙසැම්බර් 29

2018 වසර දක්නට ලැබුනේ ගූගල්, ෆේස්බුක් හා ට්විටර් විසින් අන්තර්ජාල කප්පාදුව අතිශය තීව්‍ර කෙරුනු හා ඒවා ලොව වටා තොරතුරු හුවමාරු කර ගැනීමේ හා සන්නිවේදනය කිරීමේ උපකරන වල සිට, භාවිත කරන්නන් කියන, කරන හා සිතන දේ පිලිබඳව පොලිසියක් ලෙස ක්‍රියා කරන දැවැන්ත වාරන ජාලයන් බවට පත් කෙරුනු වසරක් ලෙසය. 2017 අගෝස්තුවේදී, ගූගල් සමාගම එක්සත් ජනපද ආන්ඩුව සමග සම්බන්ධව සෙවුම් ප්‍රථිපල පාලනය කරමින් දේශපාලන සාකච්ඡාව හැඩ ගැස්වීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ගූගල් සමාගමට විවෘත ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කලේය. විවෘත ලිපිය මගින් භාෂනයේ නිදහස සම්බන්ධ ව්‍යවස්ථාමය රැකවරනයන් අහෝසි කිරීමේ භයානක පූර්වාදර්ශයක් ගූගල් සමාගම විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය මගින් සකස් කෙරෙන බවට අනතුරු ඇඟවූ අතර වාම පාර්ශ්වීය වෙබ් අඩවි “දේශපාලන වශයෙන් අසාධු ලේඛනගත කිරීම” යැයි ලෝසවෙඅ පවසන දෙය වහාම නතර කල යුතු බවට ඉල්ලා සිටියේය.

මාස දාසයකට පසු ගූගල් සහ එහි සහචරයන් දේශපාලන වාරනයක් සිදු කරමින් පවතින බවට විවෘත ලිපිය මගින් ඉදිරිපත් කල කේන්ද්‍රීය තර්කය ප්‍රතික්ෂේප කල නොහැකි වී ඇත. සිය සෙවුම් යන්ත්‍රය හරහා ගූගල් විසින් මූලිකත්වය දෙන තන්ත්‍රය ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ඇතුලු සියලු ප්‍රධාන එක්සත් ජනපද සමාජ මාධ්‍යයන් දක්වා විස්තාරනය වී ඇත.

“ලෝකයට ප්‍රකාශ කල හැකි දෙය ෆේස් බුක් පාලනය කරන්නේ කෙසේද” යන මැයෙන් සිකුරාදා පලවූ ලිපියක මුල් පිටුවක් තුල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත “ෆේස් බුක් සමාගමමත් විවෘතවම අවබෝධ කොටගෙන ඇති හෝ පිලිගෙන ඇති ප්‍රමානයට වඩා ගෝලීය කථනයේ වඩා බලගතු අධිකාරයක් ෆේස් බුක් වල ක්‍රියාවන් මගින් සිදු කරන බව” ලියයි. “ෆේස් බුක් වැඩි වේගයකින් සේවකයන් පවා අපහසුතාවයට පත් කරන ලෝකයේ වඩාත්ම බලගතු දේශපාලන නියාමකයෙකු බවට පත්ව ඇතැයි වාද කල හැකි යැ”යි ලිපිය පවසයි. “තහනම් කල යුතු ප්‍රකාශනයන් පිලිබඳ තීරනයන් දේශපාලන කථනය නියාමනය කරන අතර එය සිදු වන්නේ අන් කොන් වලින් කපා දැමීම ලෙස පමනක් නොවේ” යනුවෙන් ටයිම්ස් නිගමනය කරයි.

දේශපාලන වාරනයේ උපකරනයක් බවට ෆේස්බුක් පරිවර්තනය කිරීම පිලිබද ටයිම්ස් වාර්තාව පලවී පැය කිහිපයකට පසු ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් විසින් සිදු කරන ලද වසරාවසාන ප්‍රකාශයක් තුල හොඳින් පැහැදිලි කර ඇත.

“අපි 2016 සිටියාට වඩා, ඇතැම් විට වසරකට පෙර සිටියාට වඩා අද ඉතා වෙනස් සමාගමක්” සකර්බර්ග් ලියයි. අපේ සියලු සේවා තුල සිදු වන හිංසනයන් වැලැක්වීම ඉලක්ක කොට අපි ප්‍රතිපත්තිමය වශයෙන් අපගේ මූලධාතුව වෙනස් කොට ගෙන ඇති අතර හිංසනයන් වැලැක්වීම සඳහා වැඩ කිරීම පිනිස සමාගමේ විශාල කොටසක් අප ක්‍රමානුකූලව වෙනස් කොට ඇත. අපට දැන් ආරක්ෂාව පිලිබඳව වැඩ කරන පුද්ගලයන් 30,000 කට වඩා වැඩිපුර සිටින අතර ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන ගනනක් ආයෝජනය කරයි.”

“හිංසනයන් වැලැක්වීම” පිලිබඳ බිලියන පති ප්‍රධාන විධායක නිලධාරී ගේ අති-සංවේදී ප්‍රලාපයන් පිටපසු ලැග සිටීම වඩා අඳුරු යථාර්තයකි. බහුතරයක් ෆේස් බුක්වල රැකියාව කරන්නන් ලෙස සකර්බර්ග් ගෙනහැර දක්වන වෘත්තිකයන් 30,000 යෙදී සිටිනුයේ “හිංසන වැලැක්වීම” තුල නොව “භාෂනය වැලැක්වීම” තුලය. ඔවුන් ෆේස් බුක් භාවිතා කරන්නන්ගේ පනිවිඩ හුවමාරු කර ගැනීම් කියවයි, පිලිගත හැක්කේ හෝ නොහැක්කේ කුමන දේශපාලන අදහස්ද යන්න තීරනය කරයි, අනතුරුව ෆේස් බුක් භාවිතා කරන්නන් සහ පල කිරීම් ඉවත් කිරීම, තහනම් කිරීම හෝ බාධා කිරීම සිදු කරයි.

ෆේස්බුක් විසින් “දිනපතා ව්‍යාජ ගිනුම් මිලියන ගනනක් ඉවත් කරමින් සිටින” බවට සහ “වැරදි තොරතුරු හඳුනා ගෙන ඒවා බෙදා හැරීම අඩු කිරීමට” කටයුතු කරමින් සිටින බවට සකර්බර්ග් කයිවාරු ගසයි. ෆේස් බුක් විසින් “ත්‍රස්තවාදයට, වෛරී ප්‍රකාශනයට සම්බන්ධිත ඒවා සහ ඒවා කිසිවකු දැකීමට මත්තෙන් හඳුනාගෙන ඉවත් කිරීමට සියලු කෘතිම බුද්ධි පද්ධති” ගොඩනගා ඇත.

වෙනත් වචන වලින් කිවහොත් සෑම තනි ෆේස්බුක් පලකිරීමක්ම, විවේචනයක්ම, සහ පනිවිඩයක්ම එය සමාගමේ සම්පූර්න අත්තනෝමතික, විස්තර නොකරන ලද, අනියතාකාර හා විනිවිද පෙනෙන (සහ ඊටත් වඩා) ප්‍රමිතීන්ට හානි පමුනුවන්නේද නැද්ද යන්න තීරනය කර ගැනීමට මිනිසුන් මගින්, යන්ත්‍ර සූත්‍ර මගින් හෝ ඒ දෙආකාරයෙන්ම කියවා විශ්ලේශනය කරයි.

ඔබගේ පල කිරීම “පලස්තීන සිවිල් වැසියන් ඊස්රායලය විසින් ඝාතනය කිරීමේ විවේචනයක් බඳු “භාවප්‍රකෝපකාරී” වන බවට ෆේස්බුක් නිගමනය කලහොත් ඔබගේ පලකිරීම රහසිගතවම පහල දමනු ඇත. ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයට හිංසා කිරීමට එරෙහිව ඔබ විරෝධතාවය දැක්වුවහොත් ඔබගේ ප්‍රකාශනයන් මකා දමනු ඇත. එමෙන්ම ෆේස් බුක් පැහැදිලි කොට ඇති පරිදි විශේෂීකරනය නොකල නිශ්චිත අවස්ථාවන්වලදී එය භාවිතා කරන්නන්ගේ දේශපාලන ප්‍රකාශනයන් මත පදනම්ව පොලීසීය සහ බුද්ධි අශයන්ට එය තොරතුරු ලබා දෙයි.

“විශ්වසනීය මූලාශ්‍රවලින් ලැබෙන පුවත් ප්‍රවර්ධනය කිරීම සඳහා අපි පුවත් පෝෂනය වැඩි දියුනුකොට ඇත” සකර්බර්ග් තවදුරටත් පවසයි. “භාවප්‍රකෝපකරන වාදය සහ ව්‍යාජ තොරතුරු ඇතුලු සීමාසන්න බෙදා හැරීම් ස්වයංක්‍රීයවම අඩු කිරීමට පද්ධතියක් අපි වැඩිදියුනු කරමින් සිටිමු”

පැහැදිලි භාෂාවෙන් කිවහොත් ඔබට කීමට ඇති දේ (එය කුමක් වුවද) “සීමාවේ පවතින දෙයක්” වන බවට ෆේස්බුක් තීරනය කලහොත් ඔබට එය කීමට නොහැකි වනු ඇති අතර ඔබට කිසිවකුට අභියාචනා කිරීමටද නොහැකිය. “සකර්බර්ග් කලින් නම්කොට ඇති නිව්යෝක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් වැනි ඒවාද අයත් “විශ්වසනීය” මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීමට නියමිත අතර ඇමරිකන් රාජ්‍යයේ මෙම අර්ධ නිල ආයතන ප්‍රශ්නයට බඳුන් කරන අයට මුකවාඩම් බඳිනු ඇත.

ඉහත සඳහන් ටයිම්ස් ලිපිය නිගමනය කරන්නේ “අදහස වෛරී සහගත වන විට, එය අනතුරු දායක වන විට, නීති විශාරදයන්ට පවා විසඳීමට අපහසු අයුරින් පවතින සංකීර්න සන්දර්භ සහිත ප්‍රශ්න අඩු කිරීමට, සියලු ප්‍රශ්න සඳහා එක සමානව යෙදෙන රෙගුලාසි සකස් කිරීමේ සමාගමේ අරමුන, අතිධාවනකාරීය” යනුවෙනි.

එය භාවිතා කරන්නන්ට නිශ්චිත පද යොදා ගත හැකිද යන්න පිලිබඳව අධීක්ෂනය කිරීමේ අභ්‍යන්තර නීති සමාගමට පවතින බව එය සඳහන් කරයි. “බ්‍රදර්” හෝ “කොම්රේඞ්” බඳු වචන සීමාව පනිනවා විය හැකියැ”යි ටයිම්ස් ලියයි.

දිනකට ප්‍රකාශන කැබලි දාහක් පමන විමර්ශනය කිරීමට වූ පීඩනයකට ඔවුන් මුහුන දෙන බව නියාමකයන් පවසයි. සෑම ප්‍රකාශනයක් සඳහාම අටෙහි සිට දහය දක්වා තත්ත්පර ප්‍රමානයක් ඔවුන්ට ඇත.”

ලිපියේ අනාවරනය කිරීම් හි පුපුරන සුලු ගති ස්වභාවය තිබුනද එම වාර්තාව වූකලී එක්සත් ජනපද ආන්ඩුව සමග සම්බන්ධීකරනයකින් යුතුව සිය වාරන තන්ත්‍රය ක්‍රමානුකූල කිරීමට ෆේස් බුක් සමාගමට බල කිරීම එල්ල කර ගනිමින් ඉදිරිපත් කල එකකි. එක්සෙල් විසුරුම්පත් සහ පවර්පොයින්ට් ගොනු පිලිබඳ සංකීර්න ජාලයක් ලෙස ලිපිය මගින් විස්තර කරනු ලබන දෙය වෙනුවට අන්තර්ජාල වාරනයේ මූලික යෝජකයෙකු වන ටයිම්ස් පුවත් පත ෆේස් බුක් විසින් කල යුතුව තිබෙන ආකාරයේ කථනයන් පිලිබඳ ආන්ඩුවේ පැහැදිලි මාර්ගෝපදේශ මාලාවක් ඉල්ලමින් සිටී.

නමුත් එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධනයට අනුව, එමෙන්ම විවිධ ජාත්‍යන්තර මානව අයිතීන් පිලිබද එකඟතාවයන්ට අනුව යමෙකුට ප්‍රකාශකල හැකි සහ නොහැකි දේ කුමක්ද යන්න කිසිවකුට ප්‍රකාශ කිරීමට ආන්ඩුවට අයිතියක් නැත. භාෂනයේ හෝ ප්‍රකාශනයේ නිදහස සංක්ෂිප්ත කරමින් “කොන්ග්‍රසය කිසිදු නීතියක් සකස් නොකල යුතුය” යනුවෙන් පලමු සංශෝධනය මගින් ප්‍රකාශ කෙරේ.

ෆේස්බුක්හි වාරනය කෙරෙහි වූ ධාවනය ඇමරිකානු රාජ්‍යයේ සෘජු උසිගැන්වීම මත සිදුව ඇත. සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මන්ඩල විසින් මේ වසරේ සිදු කරන ලද දුසිම් භාගයකට අධික විමර්ශනයන් තුල එක්සත් ජනපද කොන්ග්‍රසයේ ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ වල නිලධාරීන්ද දැන් විස්තර කරමින් පවතින, ඕවේලියානු වාරන තන්ත්‍රයේ නිශ්චිත ප්‍රවර්ගයක් සමාගම විසින් ඇති කල යුතු බවට ඉල්ලා ඇත.

මේ සියල්ල ප්‍රකාශනයේ නිදහස විනාශ කිරීමට දැවැන්ත, ව්‍යවස්ථා විරෝධී, නීත්‍යානුකූල නොවන කුමන්ත්‍රනයකි.

වාරන ධාවනය පිටුපස පවත්නා හේතු සොයා ගැනීම දුෂ්කර නැත.

ප්‍රන්සයේ “කහ බැනියම්” ව්‍යාපාරය තුල වඩාත් පැහදිලි ප්‍රකාශනයක් අත් කරගත් කම්කරු පන්තියේ ජාත්‍යන්තර නැගිටීමකින් අවසන් වන කඳු ගැසුනු සමාජ අරගලයන්ගෙන් පිරි වසරක් බවට 2018 වසර පත්ව ඇත. ගෝලීය අවපාතයක තර්ජනයක් සමග එක්සත් ජනපද සහ අනෙකුත් රටවල් තුල දේශපාලන අර්බුදය ගැඹුරුවෙමින් සහ සහ ජාත්‍යන්තර ප්‍රතිමල්ලවභාවය ඉහල යමින් “නීත්‍යානුකූලභාවයේ අර්බුදයක්” ලෙස සිය නියෝජිතයන් විසින්ම දැකගන්නා අර්බුදයකට ධනපති රාජ්‍යය මුහුන දේ. වාමාංශික අදහස්වලට ප්‍රවේශ වීමෙන් සහ සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමෙන්, මහජනතාව වැලැක්වීම මගින් මේ අර්බුදය සමනය කිරීමට එය සාහසික ලෙස උත්සාහ කරමින් සිටී.

නමුත් එන වසරේද පන්ති අරගලයේ තවදුර ඉහල යාමක් දැකගත හැකි වනු ඇති අතර අන්තර්ජාල වාරනයට එරෙහිව අරගලයක් තුල එය ඔඩු දිවීමක්ද දැකගත හැකි වනු ඇත.

අන්ඩ්‍රේ ඬේමන්

Share this article: