ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරන පොරොන්දු ඉටුකරන බවට ව්‍යාජ පොරොන්දුවක් දෙයි

Sri Lankan president issues bogus promise to fulfil election pledges

කේ. රත්නායක විසිනි, 2019 ජනවාරි 11

දේශපාලනික ව අපකීර්තිමත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනවාරි 8දා කියා සිටියේ “වංචාව හා දූෂනය” තුරන් කිරීම ඇතුලු මැතිවරන පොරොන්දුවල ඉතිරි වී ඇති සියල්ල මේ වසරේ ඉටුකරන බව යි.

මධ්‍යම පලාතේ ලග්ගල නව ගම්මානය හා වාරිමාර්ග ව්‍යාපෘතිය විවෘත කිරීමේ දී සිරිසේන දුන් පොරොන්දුව, ඔහු ජනාධිපති ධුරයට පත් වීමෙන් හතර වන වර්ෂය සලකුනු කලේය- ඔහු තේරී පත්වූයේ 2015 ජනවාරි 8 දා ය. මී ලඟ ජනාධිපතිවරනය 2020 ජනවාරියේ පැවැත්වීමට නියමිත අතර සිරිසේනගේ ධුර කාලය නොවැම්බරයේ අවසන් වනු ඇත.

සිරිසේනගේ සැඳහුම්, අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන ආන්ඩුව සමග දිගට ම පවතින ගැටුමෙහි කොටසක් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සන්ධානයක් ශක්තිමත් කරගැනීමට ඔහු දරන උත්සාහය සමග එකපෙලට පිහිටයි.

ඔක්තෝබර් 26 දා සිදුකල දේශපාලන කුමන්ත්‍රනයකින් සිරිසේන, වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා එම තනතුරට රාජපක්ෂ පත්කොට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරී ය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවකින් පසුව හා වොෂින්ටනයේ පීඩනය යටතේ වික්‍රමසිංහ යලි පත්කිරීමට සිරිසේනට බලකෙරුනි.

මූලෝපායික ව පිහිටා ඇති ඉන්දියන් සාගර දිවයින සමග ගෙවීගිය වසර හතර තුල වොෂින්ටනය ගොඩනගාගෙන ඇති මිලිටරි හා දේශපාලන සබඳතාවන්ට වන කිසිදු ආකාරයක වලකැපීමකට අවසර නො දෙන බව වොෂින්ටනය ඉඟිකලේ ය. බීජිනය වෙත රාජපක්ෂගේ ආර්ථික හා දේශපාලන දිශානතිය හේතුවෙන් එක්සත් ජනපදය කලින් ඔහුට විරුද්ධ වී තිබුනි.

“රටේ මහජනතාවගේ අභිලාෂයන් මුදුන් පත්කරවීමට අපි සෑහෙන කැපකිරීමක් කරලා තිබෙනවා” යැයි සිරිසේන ලග්ගල දී ප්‍රකාශ කලේ ය: “මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හා විමුක්තිය තහවුරු කිරීමටත්, සැකයෙන් හා බියෙන් තොර සමාජයක් ගොඩනැගීමටත්, නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරනයක් හා ජාතික ආර්ථික ශක්තිමත් කිරීමට අපක්ෂපාතී රාජ්‍ය සේවයක් ගොඩනැගීමටත්” තමන්ගේ ජනාධිපති ධූරය යටතේ වැදගත් පියවර ගෙන ඇතැයි ඔහු හාස්‍යජනක ලෙස කියා සිටියේ ය.

“වංචාව, දූෂනය හා අක්‍රමිකතා අවසන් කිරීමට” ඔහු ගෙනගිය උද්ඝෝෂනය අසාර්ථක වී ඇති බව පිලිගත් ඔහු, එහෙත් “ශක්තිමත් වැඩපිලිවෙලක් හරහා දූෂනය හා වංචාව ප්‍රතික්ෂේප කිරීම සඳහා අත්වැල් බැඳගන්නා” ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

සිරිසේනගේ ප්‍රකාශ හාස්‍යජනක ය. ඔහු හා ඔහු ව බලයට ගෙන ඒමට උදවු කල වික්‍රමසිංහ 2015 දී “සමගි ආන්ඩුවක්” ස්ථාපනය කල අතර ඔවුන්ගේ මැතිවරන පොරොන්දුවලින් කිසිවක් ඉටුකර නැත.

එජාපය නායකත්වය දුන් මැතිවරන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට 2014 නොවැම්බරයේ ඉවත් වන තෙක් සිරිසේන, රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතියෙකු විය. සිරිසේන හා ඔහුගේ ආධාරකරුවෝ සෑම ආකාරයක ම පොරොන්දු දුන් හ. එම පොරොන්දු අතරට ව්‍යවස්ථාව වෙනස් කිරීම, ආඥාදායක් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මානව අයිතීන් පුනස්ථාපනය, වාර්ගික වෙනස්කම් අවසන් කිරීම සහ ජීවන හා සමාජ කොන්දේසි වර්ධනය කිරීම අයත් විය.

රාජපක්ෂගේ 10-අවුරුදු ආඥාදායක පාලනය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී සිදුකල මිලිටරි අපරාධ සහ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මත තීව්‍ර කරන ලද ප්‍රහාර කෙරෙහි කම්කරුවන් හා දුගීන් අතර වූ කෝපය මෙම පොරොන්දු මගින් ගසාකන ලදී.

ජනාධිපති ධූරය දක්වා සිරිසේන එසවීම ක්‍රියාවට දමන ලද්දේ වොෂින්ටනයත් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු එහි දේශපාලන ආධාරකරුවනුත් විසිනි. එක්සත් ජනපදය රාජපක්ෂගේ වාර්ගික යුද්ධයට පිටුබලය දුන්න ද ඔහුගේ ආන්ඩුව ආයෝජන හා මිලිටරි දෘඪාංග පතා චීනය මත වාරුවීමට හතුරු විය. චීනයට එරෙහි ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි ප්‍රහාරයක් වැඩිදියුනු කරමින් සිටි වොෂින්ටනය ශ්‍රී ලංකාව පෙරලා එහි කක්ෂය තුලට ගෙන ඒමට අධිෂ්ඨානවත් විය.

සිරිසේන හා වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු එක්සත් ජනපදය, ඉන්දියාව හා යුරෝපීය බලයන්ට වාසිදායක ලෙස කොලඹ විදෙස් පිලිවෙත යලි දිශාගත කල අතර, දිවයින හා එහි මිලිටරි හමුදාවන් චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානම්වීම්වලට ඒකාග්‍ර කල හ.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය කෘෂිකාර්මික සහනාධාර සීමිත ව වැඩිකරමින් සමහර රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කල කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම ක්ෂනික ව ඇරඹී ය.

අස්ථාවර සමගි ආන්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දුන් පොරොන්දුව කිසිදා ඉටුකලේ නැත. ඒ වෙනුවට කලේ පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ඇතුලු ජනාධිපතිගේ බලතල කිහිපයක් කප්පාදු කිරීම පමනි. අන්ත-දක්ෂිනාංශික සිංහල බෞද්ධ සංවිධාන හා මිලිටරිය සැනසීමට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිලිබඳ කටයුතු කිරීම පසෙකට අතුගා දමන ලදී. දිවයිනේ උතුරේ හා නැගෙනහිරේ පවතින්නේ තථ්‍ය මිලිටරි පාලනයකි.

කොලඹ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් කම්කරු පන්තියේ පලල් කොටස් මෙන් ම ගොවීන් හා ශිෂ්‍යයන් අතරින් අරගල පැනනැංවී ය. ආන්ඩුව ඒවාට ප්‍රතිචාර දැක්වූයේ තර්ජන හා මර්දන පියවරයන් සමගිනි.

වික්‍රමසිංහගේ එජාපය හා සිරිසේනගේ ශ්‍රීලනිපය පසුගිය පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී අන්ත පරාජයන් තුලින් ආන්ඩුවට ඇති විරුද්ධත්වය ප්‍රකාශ විය. පලාත් පාලන ආයතනවල බොහෝ ආසන ජයග්‍රහනය කලේ ශ්‍රීලනිපයෙන් බිඳී ගොස් රාජපක්ෂට එක්වූ කන්ඩායමක් අලුතින් තැනූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසිනි.

එවිට සිරිසේන ගනන් බැලුවේ වැඩෙන විරෝධය සමග ගනුදෙනු කල හැකි හොඳ ම මාවත රාජපක්ෂ සමග පෙලගැසීම බව යි.

ජනවාරි 8 දා සිරිසේන කල කතාවේ දී ඔක්තෝබර් 26දා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස වික්‍රමසිංහ නෙරපීම හෝ පාර්ලිමේන්තුව කල්තැබීම හා පසුව එය විසුරුවා හැරීම ගැන වචනයක් වත් කීවේ නැත.

තම දේශපාලන කුමන්ත්‍රනය අසාර්ථක වූ තැන් පටන් එජාපය නායකත්වය දෙන ආන්ඩුවට වලකැපීමට හා තමන්ගේ ම බලතල ශක්තිමත් කරගැනීමට සිරිසේන උත්සාහ දරා ඇත. පසුගිය වසරේ අවසන් සමයේ නව කැබිනට්ටුවක් නිවේදනය කරන අවස්ථාවේ නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතේ ම තබාගත් සිරිසේන, රජයට අයත් ව්‍යවසායයන් හා මන්ඩලවල ප්‍රධානීන් ලෙස තෝරාගන්නා පුද්ගලයන්ගේ “යෝග්‍යතාව” ඇගයීම සඳහා තමන්ට ම වගකියන විශේෂ කමිටුවක් ස්ථාපනය කලේ ය.

ආසන 225 කින් යුත් පාර්ලිමේන්තුවේ සිරිසේනගේ ශ්‍රීලනිප කන්ඩායමට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 20 ක් පමනක් හිමිවන අතර, මන්ත්‍රීවරු 75 ක් රාජපක්ෂට හා ඔහුගේ ශ්‍රීලපොපෙට සහයෝගය දෙති.

ශ්‍රීලපොපෙ හා රාජපක්ෂ සමග සම්බන්ධ වෙමින් තම දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීමට සිරිසේන මංමුලා සහගත ව උත්සාහ දරයි. මෙම අර්බුදය ගසාකන රාජපක්ෂ, තමන් සිරිසේන සමග සන්ධානයකට සහයෝගය දෙන බව ඉඟි කල ද එම සන්ධානයට ශ්‍රීලපොපෙහි ආශීර්වාදය තිබිය යුතු බව පෙන්නුම් කලේ ය. තමන් ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීම රටට “අන්තරායන් තුනක්” නිර්මානය කර ඇති බව ප්‍රකාශ කරමින් 2015 දී තමන් ව ඉවත් කිරීම ගැන රාජපක්ෂ ප්‍රකාශයක් ද නිකුත් කලේ ය.

රාජපක්ෂ කියාසිටි පරිදි මේ අන්තරායන් වන්නේ: ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට තිබෙන බලතල වලක්වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය; ආර්ථිකය බිඳවැටීම; රටෙහි උතුර හා නැගෙනහිර දෙමල ප්‍රභූවට පවරා දීමේ තැතක් ලෙස ඔහු ව්‍යාජ ව අවධාරනය කල ආන්ඩුව විසින් රට බෙදීමට දරන උත්සාහය යනාදිය යි.

කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ විරෝධය මැඩලිය හැකි යයි අපේක්ෂාවෙන් සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම්වලට හා මිලිටරියට ආයාචනා කරමින් අන්ත දක්ෂිනාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමට රාජපක්ෂ උත්සාහ දරමින් සිටී.

සිරිසේන ආමන්ත්‍රනය කරන්නේ ද එම දක්ෂිනාංශික බලවේගවලට ම ය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ අරබයා කිසිදු මිලිටරි නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු යලි යලිත් විරුද්ධ වී ඇත.

අනාගත රාජපක්ෂ ආන්ඩුවක් කෙරෙහි එක්සත් ජනපදයේ හා අනෙකුත් මහා බලයන්ගේ ආකල්පය වෙනස් කිරීම සඳහා තමන්ගේ පක්ෂය ඔවුන් සමග සාකච්ඡා අරඹා ඇතැයි ද රාජපක්ෂ ප්‍රකාශ කලේ ය.

ජාමූඅ නියෝග කරන කප්පාදු පියවරයන්ගේ තවත් වටයක් සාධාරනීකරනය කිරීම සඳහා අගමැති වික්‍රමසිංහ ප්‍රකාශ කොට ඇත්තේ සිරිසේනගේ අසාර්ථක කුමන්ත්‍රනය “විශාල ආර්ථික” බලපෑමක් ඇති කල බව යි. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන නමැති තවත් දක්ෂිනාංශික ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම සඳහා ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය හා ඊනියා සිවිල් සමාජ කන්ඩායම් සමග සාකච්ඡා සඳහා ද වික්‍රමසිංහ ආරම්භකත්වය ගෙන ඇත.

මේ වසරට නියමිත ඩොලර් බිලියන 5.9ක නය ආපසු ගෙවීම ද ඇතුලු වැඩෙන ආර්ථික ගැටලු හා ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර ව ද වර්ධනය වන කම්කරු අරගලවල කොන්දේසි යටතේ, පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම ආඥාදායක පාලන රූප සූදානම් කරමින් සිටී.

පාලක ප්‍රභූව තුල දේශපාලන යුද්ධය අනවරත ව පවතින තතු යටතේ, කම්කරු පන්තිය කල යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන සියතට ගනිමින් තමන්ගේ ම මාවතක් සඳහා දේශපාලන ආරම්භකත්වය ගැනීම යි.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි:

වික්‍රමසිංහ යලි පත්කිරීම එක්සත් ජනපදයේ පැසසුමට ලක් වේ

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු

Share this article: