ශ්‍රී ලංකාවේ අගමැති, එක්සත් ජනපදය සමග ඇතිකර ගැනීමට යන ආරක්ෂක ගිවිසුම හුවා දක්වයි

Sri Lankan prime minister promotes US defence agreement

විජිත් සමරසිංහ හා කේ. රත්නායක විසිනි, 2019 ජූලි 15

ජූලි 10දා පාර්ලිමේන්තුවේ දී කතාකල අගමැති රනිල් වික්‍රමසිංහ, කොලඹ හා වොෂින්ටනය අතර අත්සන් තැබීමට සැලසුම් කර ඇති හමුදා තත්ත්ව ගිවිසුමේ (සෝෆා) භූ-මූලෝපායික ගම්‍යයන් වසං කිරීමට උත්සාහ කලේ ය. ගිවිසුමට අත්සන් කලහොත්, ඉන්දියන් සාගරයේ මූලෝපායික ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නිදහසේ භාවිතා කිරීමේ අයිතිය, එක්සත් ජනපදයට ලැබෙනු ඇත.

සෝෆා ගිවිසුමට 1995 මැද භාගයේ අත්සන් තබන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව ය. එම ගිවිසුම, චීනයට එරෙහි ආක්‍රමනශීලී මිලිටරි සූදානමට ගැලපෙන ගිවිසුමක් මගින් විස්ථාපනය කිරීමට එක්සත් ජනපදයට අවශ්‍යවී තිබේ.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මතු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් වික්‍රමසිංහ සැලසුම් කර ඇති සෝෆා ගිවිසුම ගැන අදහස් දැක්වී ය. 2015 දී එක්සත් ජනපද ගැති ආන්ඩුවට සහයෝගය දුන් ජවිපෙ, දැන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විරුද්ධවාදියෙක් බවපෙන්වීමට තැත් කරයි.

සාකච්ඡා පැවැත්වෙන බව පාර්ලිමේන්තුව හමුවේ පැවසූ වික්‍රමසිංහ “ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපාන ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. යෝජිත ගිවිසුම තුල අපට එකඟ විය නො හැකි දේවල් තිබෙනවා.” යයි පැවසීය. ආන්ඩුවට “එකඟ විය නො හැකි” වගන්ති කවරක් ද යන්න විස්තර නො කල ඔහු, සූදානම් කෙරෙන්නේ “සාම කාලයේ ලේඛනයක්” බව කුහක ලෙස පැවසීය.

එහෙත් ඔහු පිලිගත් පරිදි: “පොදුවේ මෙම ගිවිසුම මඟින් විදේශ රටක මෙහෙයුම් සිදුකරන එක්සත් ජනපද මිලිටරි භටයන් පිලිබඳ රාමුවක් සම්පාදනය කරනවා. එසේ සම්බන්ධවන පුද්ගලයන්ට බලතල හා වරප්‍රසාද සෝෆා ගිවිසුම මගින් සම්පාදනය කරනවා.”

ජුනි 30දා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පලකල, දැන් සාකච්ඡාවට ගන්නා කාන්දු වූ ඡේද පහලොවක් ඇති ලේඛනය, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා සන්නද්ධ හමුදාවන්ට පුලුල් බලතල ලබාදීමට නියමිත බව පෙන්වා දෙයි. ඒවාට අයත් වන්නේ:

* රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිලිබඳ වියානා සම්මුතිය යටතේ රාජ්‍යතාන්ත්‍රික මීසමක පරිපාලනමය හා කාර්මික කාර්ය මන්ඩලයට ලබාදෙන වරප්‍රසාද, වගකීමෙන් නිදහස් කිරීම් හා සමාව දීම යනාදිය සියලු එක්සත් ජනපද භටයන්ට ප්‍රදානය කල යුතු යයි කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය යෝජනා කරයි.එක්සත් ජනපදයේ අනන්‍යතාව සහ සාමූහික ගමන් හෝ පුද්ගලික සංචාරක නියෝගයක් සහිත පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීමට හා ඉන් පිටවීමට හැකි ය. එක්සත් ජනපදය, එහි දේශපාලනික උප අංශ හෝ එයට අයත් ප්‍රන්ත විසින් නිකුත් කරන සියලු වෘත්තීයමය බලපත්‍ර ශ්‍රී ලංකාව විසින් පිලිගනු ඇත. එක්සත් ජනපද භටයන් නිල රාජකාරී සිදුකරන අතර ඔවුන්ට නිල ඇඳුම් ඇඳ සිටීමට බලය ලැබෙන අතර, රාජකාරියේ යෙදී සිටිය දී ආයුධ රැගෙන යාමට ද ඔවුන්ට බලය ඇත.

* ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජනපද භටයන් සම්බන්ධ අපරාධ අධිකාරය එක්සත් ජනපද ආන්ඩුව දරන අතර, ශ්‍රී, ලංකාවේ නීතියට ඔවුන් යටත් නොවනු ඇත.

* එක්සත් ජනපද හමුදා වාහන, ගුවන්යානා, බෝට්ටු හා උපකරනවලට ශ්‍රී ලංකා භූමියට ඇතුලු වී රට තුල නිදහසේ ගමන් කල හැකි අතර ඔවුන් දේශීය බලධාරීන්ගේ පරීක්ෂාවෙන් නිදහස් ය.

* එක්සත් ජනපද හමුදාවන්ට වෙන් කල ගුවන් විදුලි සංඛ්‍යාත පරාසයක් ලබාදෙනු ඇති අතර, ඔවුන්ට තමන්ගේම විදුලි සංදේශ පද්ධතියක් මෙහෙයවිය හැක.

* එක්සත් ජනපද හමුදාවන් විසින් ශ්‍රී ලංකාව තුල සිදුකරන කිසිදු ගොඩනැගීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවක් දේශීය බදුවලින් නිදහස් ය.

වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී “ගිවිසුම මඟින් දිවයින තුල ස්ථාවර ව එක්සත් ජනපද හමුදා යෙදවීමක් සිදු වන්නේ නැතැ” යි ඒත්තු ගැන්වීමට උත්සාහ කල ද තම හමුදාවන්ට එවන් නිදහසක් වොෂින්ටනයට අවශ්‍ය වී ඇත්තේ මන්දැයි පැහැදිලි කිරීමට ඔහු අසමත් විය. නව සෝෆා ගිවිසුම සුලු කොට දැක්වීමට වික්‍රමසිංහ දරන උත්සාහයන්ට වෙනස්ව, ට්‍රම්ප් පරිපාලනයට කොලඹ සමග සමීපතම මිලිටරි සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍යවී තිබේ.

පෙබරවාරි මුල වොෂින්ටනයේ දී සෙනෙට් සන්නද්ධ සේවා කමිටුව ඇමතූ ඉන්දුපැකොම් ප්‍රධානී අද්මිරාල් ෆිලිප් ඬේවිඞ්සන්, ශ්‍රී ලංකාව “ඉන්දියන් සාගරය තුල වැදගත් මූලෝපායික මධ්‍යස්ථානයක් වන” බවත් “අපගේ මිලිටරි-මිලිටරි සබඳතා දිගට ම ශක්තිමත් වෙමින් පවතින” බවත් ප්‍රකාශ කලේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කර ජනාධිපති සිරිසේන 2015 දී බලයට පත්වූ තැන් පටන් මෙම සබඳතා නාටකාකාර ලෙස වර්ධනය කරනු ලැබිනි. සිරිසේන හා වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත වොෂින්ටනයටත්, චීනයට එරෙහි එහි දකුනු ආසියානු සගයා වන නව දිල්ලියටත් හිතවාදී වන පරිදි හා චීනයට එරෙහි ඔවුන්ගේ භූ-මූලෝපායික න්‍යාය පත්‍රයට ගැලපෙන පරිදි වහා ම වෙනස් කල හ.

2017 දී කොලඹ ආන්ඩුව, එක්සත් ජනපදය සමග වන අත්පත් කරගැනීමේ හා හරස් සේවා ගිවිසුම (ඇක්සා) අවිනිශ්චිත කාලයකට දීර්ඝ කලේ ය. 2007 දී පලමු වරට අත්සන් තබන ලද එම ගිවිසුමට අනුව, එක්සත් ජනපද මිලිටරියට ශ්‍රී ලංකාවේ වරායවල් හා ගුවන් තොටුපොලවල් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබාදුන්නේ ය.

මේ වසරේ මාර්තුවේ, දක්ෂිනාංශික එක්සත් ජනපද චින්තන තටාකයක් වන හෙරිටේජ් පදනමේ වාර්තාවක්, 2015 සිට කොලඹ සමග වර්ධනය කරගත් විවිධ හා සියලු වර්ගයේ මිලිටරි ගිවිසුම් හා ඒකාබද්ධ අභ්‍යාස ලැයිස්තුගත කරමින්, “2018 පසු භාගයේ සිට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය තුල නව ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස එක්සත් ජනපද නාවික හමුදාවට සේවය කරමින් සිට ඇත” යි සඳහන් කලේ ය.

චීනයට එරෙහි යුද්ධයක දී ඉන්දියානු සාගර කලාපය තුල මිලිටරිමය හා ආර්ථිකමය ලෙස චීනය කොටු කිරීම සඳහා, ශ්‍රී ලංකාව වොෂින්ටනයට මූලෝපායික ව වැදගත් වේ.

මතුපිට වෙනස්කම් සහිතව ගිවිසුම ගසා ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුව උත්සාහ දරද්දී, පාලක ප්‍රභූවේ අනෙක් කන්ඩායම් එක්කෝ නිහඬ ව සිටිති, නැතහොත් කුහක විවේචන ඉදිරිපත් කරති.

කලාපය තුල එක්සත් ජනපදයේ මිලිටරි තරකිරීම් සඳහා 2015 බලයට ආ තැන් පටන් පිටුබලය දුන් ජනාධිපති සිරිසේන, දැන් ගිවිසුමේ සමහර වගන්ති වලට තමන් විරුද්ධ යයි ව්‍යාජ ලෙස කියාසිටී.

මෑත පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී සිරිසේන වාචාල ලෙස ප්‍රකාශ කලේ: “ජාතිය පාවාදීමට උත්සාහ කරන සෝෆා ගිවිසුමට මම ඉඩ දෙන්නේ නැහැ.” 2017 දී ඔහු ඇක්සා ගිවිසුමට අත්සන් කල ද දැන් බොරුවට පවසන්නේ ඔහු එහි වගන්ති ගැන නො දැන සිටි බවත්, එහි කර්තෘවරුන් විසින් තමා රවටන ලද බවත් ය.

සමගි ආන්ඩුව කම්කරුවන් හා දුගීන් අතර අපකීර්තියට පත්වෙද්දී වික්‍රමසිංහ සමග දේශපාලනික ව විරසක වන තෙක් සිරිසේන, “ජාත්‍යන්තර ප්්‍රජාව”- එනම්, එක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව- සමග පවතින “විශිෂ්ට සබඳතා” ගැන උදම් ඇනී ය. පසුගිය වසරේ ඔක්තෝබරයේ දේශපාලන කුමන්ත්‍රනයකට උත්සාහ දරමින් සිරිසේන, වික්‍රමසිංහ නෙරපා රාජපක්ෂ අගමැති ධූරයට පත් කල විට, ඔහුගේ නියෝජිතයෝ එක්සත් ජනපදය ඇතුලු බටහිර තානාපති කාර්යාලවලට බඩගෑවේ, ඔවුන්ගේ නියෝග අනුගමනය කිරීම පිනිස රාජපක්ෂ සූදානම් බව දැනුම් දෙමිනි.

රාජපක්ෂ ඇතුලු විපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) නායකයෝ එක්සත් ජනපදය සමග වන සෝෆා හා අනෙකුත් ගිවිසුම් ගැන පැහැදිලිවම නිහඬ ව සිටිති. ආන්ඩුව රටේ ස්වෛරීත්වය පාවාදෙන බවට ප්‍රකාශ නිකුත් කරන්නේ වර්ගවාදී මහජන එක්සත් පෙරමුන හා ජාතික නිදහස් පෙරමුන (ජානිපෙ) වැනි ශ්‍රීලපොපෙහි දෙවන මට්ටමේ පක්ෂ හා නායකයන් පමනි.

සෝෆා ගිවිසුමට ජවිපෙ දක්වන විරුද්ධත්වය මුලුමනින් ම කුහක ය. 2007 දී ඇක්සා ගිවිසුමට විරුද්ධ වූ බවට ජවිපෙ කරන ප්‍රකාශ බොරුය. ඔවුන් එම ගිවිසුමට විරුද්ධ වූ බවට පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්තාවේ හෝ කිසිදු මාධ්‍ය වාර්තාවක සාක්ෂි නැත. 2001 සැප්තැම්බරයේ ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දියත් කරමින්, එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කල විට, ශ්‍රී ලංකාවේ අනෙකුත් පක්ෂ මෙන් එයට සහයෝගය දුන් ජවිපෙ, ශ්‍රී ලංකාවේ බටහිර රාජ්‍යය තාන්ත්රිකයන් සමග සබඳතා වර්ධනය කරගත්තේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධයට එක්සත් ජනපදයේ සහයෝගය ඉල්ලමිනි.

කම්කරුවන් හා තරුනයන් අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කෙරෙහිවන ගැඹුරු විරුද්ධත්වය හමුවේ සිරිසේන හා විරුද්ධ පක්ෂ, සෝෆා ගිවිසුමට තමන් විරුද්ධ යයි කියා සිටිති.

සැලසුම් කර ඇති සෝෆා ගිවිසුම සහ වොෂින්ටනය හා කොලඹ අතර නොකඩවා ගැඹුරු වන මිලිටරි සබඳතා, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ පදනම මත කම්කරු පන්තිය ප්‍රමුඛ යුද-විරෝධී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ඉදිරියට ගෙන එයි. මෙම සටනේ කොටසක් ලෙස කම්කරු පන්තිය, සෝෆා, ඇක්සා සහ කොලඹ හා වොෂින්ටනයත් අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුනුත් අතර වන ඍජු හා වක්‍ර ගනුදෙනුවලට විරුද්ධ විය යුතු ය.

කතුවරු නිර්දේශ කරන තවත් ලිපි:

අයිඑස්අයිඑස් ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කලේ ඇයි