හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගය ලෝක පන්ති අරගලයේ නව රැල්ල සමග අන්තර්ඡේදනය වෙයි

The ICFI’s program intersects with a new wave of working-class struggle

විජේ ඩයස් විසිනි, 2019 මැයි 11

මැයි 4 වන සෙනසුරාදා ජාත්‍යන්තර කමිටුව සිය 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය පැවැත්වීය. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාකයේ හයවන වාර්ෂික අන්තර්ජාල මැයි දින රැලියේදී, ධනේශ්වර ක්‍රමයේ ලෝක අර්බුදයේ විවිධ පැතිකඩවල් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පිලිබඳව ලෝක පක්ෂයේ හා ලොව පුරා ඊට සහාය දක්වන සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයන් 12 දෙනෙකුගේ දේශනවලට සවන්දීමට හැකි විය.

රැලියේදී පවත්වන ලද දේශන ඉදිරි දිනවලදී ලෝසවෙඅහි පලකෙරෙනු ඇත. පහත පල කරන්නේ ලෝසවෙඅ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පවත්වන ලද දේශනයයි. එහි ආරම්භය වශයෙන්, ලෝසවෙඅහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් පවත්වන ලද සමාරම්භක දේශනය මැයි 18 දාතමින් ද ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ක්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රියර් විසින් කරන ලද දේශනය මැයි 19 දාතමින් ද, ලතින් ඇමරිකානු කර්තෘ බිල් වෑන් ඕකන් විසින් පවත්වන ලද දේශනය මැයි 24 දාතමින් ද පල කෙරුනි.

***

ලෝකය පුරා පැනනැගෙන පන්ති සටනේ අලුත් රැල්ලෙහි දක්නට ලැබෙන සැලකියයුතු වෙනසක් නම්, වෘත්තිය සමිති දඬුඅඬුවෙන් ගැලැවී ගෙන තමන්ගේ අරගලයන්හි ඉරනම පාලනය කරගැනීම සඳහා ස්වාධීන ආරම්භකත්වයන් ගැනීමයි.

මාක්ස්වාදී විප්ලවවාදීන් වන අප සියලු දෙනා දන්නා පරිදි මෙම පියවර පමනක් මෙම අරගල වල ජයග්‍රහනය සහතික කිරීමට කිසිසේත්ම සෑහෙන්නේ නැත. එහෙත් කම්කරුවන් මුහුනදී සිටින නායකත්වයේ අර්බුදයෙහි තියුනු බව පිලිබඳ පැහැදිලි ඇඟවීමක් මෙන්ම තමන්ගේ අරගලයන් උදෙසා විකල්ප ක්‍රියා මාර්ගයන් ද නායකත්වයන් ද සෙවීමට කම්කරු පන්තිය යොමු වීමේ ප්‍රථම පියවර මෙය වන්නේය.

ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලියවිල්ලවන සංක්‍රමන ක්‍රියායමාර්ගය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ නම් කෘතියේ මානව වර්ගයාගේ අර්බුදය සංලක්ෂනය වී ඇත්තේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයෙනි යයි ලිවීය.

මෙම අර්බුදය ගැන කම්කරුවන් හැම දවසකම දැනුවත් වන්නේ නැත. එය සිදුවන්නේ සමස්තයක් ලෙස දේශපාලන ක්‍රමයේ ඇටුවන් බැහැපු කාල වකවානුවලය. කම්කරුවන් මේ අර්බුදය හඳුනාගන්නට ද ඒවාට විකල්ප විසඳුම් සෙවීම කරා යොමුවන්නට ද පටන්ගනී. දැන් අප ජීවත් වන්නේ ඉතිහාසයේ එවන් කාල පරිච්ඡේදයකය. මානව වර්ගයා ධනේශ්වර වගුරෙන් එලියට මෙහෙයාවා ගැනීමට කරන අරගලයේදී, කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කල සියල්ලන්ට ම එරෙහිව සටන් වැදුනු එකම ව්‍යාපාරය අපම පමනි. මෙම අරගලය තුල දී මෙම කාල පරිච්ඡෙදයේදී සෑම තැනකම කම්කරු පන්තිය සොයන්නා වූ ක්‍රියාමර්ගය සහ නායකත්වය සපැයීමේ කර්තව්‍යයට උර දීමට, අපි සූදානම් විය යුත්තෙමු.

සැම මහාද්වීපයකම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් අත් දකිමින් ඉන්නා නව අත්දැකීම් වල පිටුපස ඇති රහස මෙයයි. අපගේ මෑත කාලික අත්දැකීම්, පන්ති අරගලයේ වෛෂයික වර්ධනය ද ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉදිරිදර්ශනය ද අතර අන්තර්ඡේදනය මගින් බලගතු ලෙස තහවුරු වීමකි. වෘත්තිය සමිති නායකයන්ගේ අන නොතකා සිය අරගලය දියත් කල මෙක්සිකෝවේ මෙටමොරොස් කම්කරුවන් තරුන, ශිෂ්‍ය, වෘත්තික මෙන්ම මධ්‍යම පන්තික කොටස් වලින් පුලුල් සහයෝගයක් දිනාගත්තේය. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ඩෙට්‍රොයිට් නුවර දී කැඳවූ කම්කරු සාමාජිකයින්ගේ සම්මේලනය ට සුබ පැතුම් එවීමට ද ඔවුහු නොපසුබට වූහ. අරගල තුල දී කම්කරුවන්ගේ ජාත්‍යන්තර එක්සත් භාවය තහවුරු කරගැනීමට ඔවුන්ගේ හැරීම ද මෙම ක්‍රියාවෙන් පහැදිලි විය. එයට සමාජවාදී දිශාවනතියක් සැපයීමට සූදානම්ව සිටියේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පමනකි.

ඒ ආකාරයෙන් ම, ශ්‍රී ලංකාවේ සසප විසින්, 100,000ක් වතු කම්කරුවන් සහභභාගි වූ වැඩවර්ජනය අවස්ථාවේ ඇබොට්ස්ලී වත්තේ පිහිටුවන ලද කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව, අධිරාජ්‍යවාදී බලවතුන් ගේ යුද අපරාධ එලිදරව් කිරීම නිසා සිරගත කොට සිටින ජුලියන් අසාන්ජ් සහ චෙල්සී මැනිං නිදහස් කරන ලෙස ඉල්ලා පිකට් වැටකට සහභාගි වූහ. ඔවුහු එම ඉල්ලීම පිලිබඳ යෝජනාවක් සම්මත කරමින් ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර උද්ඝෝෂනය ට සහභාගි වීමට ඉදිරිපත් වූවෝ ය.

මෙම වර්ධනයන් එම රටවලට සුවිශේෂ වූ කිසියම් හුදෙකලා සංසිද්ධියක් ලෙස සැලකිය නොහැකිය. ඒවා වෛෂයිකව ජාත්‍යන්තරවාදී වු කම්කරු පන්තියේ විදාරනය වන අරගලවල පොදු වර්ධනය තුල අන්තර්ගතව ඇති විප්ලවීය විභවය සංකේතවත් කරයි.

එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකම ගුරුවරුන් වෙවා, ප්‍රන්සයේ “කහ බැනියම්” [යෙලෝ වෙස්ට්] ව්‍යාපාරය වේවා, අසල්වැසි ඉන්දියාවෙ කම්කරුවන් වේවා මේ සියලු දෙන මුහුනදී සිටින සමාජ තත්වය බෙහෙවින්ම එක සමාන ව පවතියි. මාස කිහිපයකට පෙර අපට අත්දැකිය හැකි වුනේ ඉන්දියාවේ රාජ්‍ය අංශයේ කම්කරුවන් දසලක්ෂ ගනනක් සම්බන්ධවූ මහ වැඩවර්ජනයකි.

සංවර්ධිත රටවල මෙන්ම ඓතිහාසික වශයෙන් පසුගාමී රටවල කම්කරුවන්ගේ සමාජ තත්වයන්හි සාමාන්‍යකරනයක් පෙන්නුම් කරන්නේ, යෝධ එක්සත් ජනපද මහා සංගතවල කඩාවැටීමේ රූපාකරයෙන් 2008දී මුලින් ඉස්මතුවූ ධනපති ආර්ථිකයේ දිග්ගැස්සුනු ගෝලීය බිඳවැටීමේ ප්‍රතිපලය එය වූ බවයි. මෙය චීනය ද ඇතුලු සෑම රටකම නොඉවසිය හැකි සමාජ ධ්‍රැවාන්තගත වීමක් නිර්මානය කර ඇත. ස්ටැලින්වාදී නිලධරය යටතේ ධනේශ්වර සංවර්ධනය නිර්බාධිතව සිදුවන රටක් ලෙස චීනය ගැන ගසන ලද පම්පෝරිය වේගයෙන් වියැකී යයි.

පාලක ප්‍රභූන් ගේ දකුනට හැරීම ධාවනය කරන්නේ මෙම ගෝලීය අර්බුදය විසිනි. තමන්ගේ ලෝක ආධිපාත්‍යය යලි තහවුරු කර ගැනීම සඳහා මානව වර්ගයා මත කුමන මහා විනාශයක් වුව කඩාපාත් කරමින් ලෝක යුද්ධයක් සූදානම් කිරීමේදී වොශිංටනය අධිරාජ්‍ය බලවතුන් අතර මුල් තැන ගෙන සිටී. බරක් ඔබාමා යටතේ අරඹන ලද ආසියාවට හැරීම දැන් ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උත්සන්න කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, චිනයට එරෙහි එක්සත් ජනපදයේ ආක්‍රමනික යුද්ධ මූලෝපායට වඩ වඩාත් බද්ධ කරගනිමින් ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සසප විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති දකුනු ආසියාවේ එක්සත් සමජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ඉදිරි දර්ශනය මෙම තතු තුල ඓතිහාසික අර්ථ භාරයක් දරා සිටී.

සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ, කාන්තාවන්, පිරිමින් සහ දරුවන් 250 කට අධික සංඛ්‍යාවක් මරනයට පත් කරමින්, 500 කට අධික සංඛ්‍යාවකට තුවාල කරමින් සිදු කෙරුනු ඛේදජනක සිද්ධි මෙය පහැදිලිව එලිදරව් කලෙ ය.

අයිඑස්අයිඑස් සංවිධානය විසින් මුස්ලිම් තරුනයින් කුඩා කන්ඩයමකගේ සහාය ඇතිව සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ මෙම ප්‍රතිගාමී ත්‍රස්තවාදී ප්‍රහාරයට ප්‍රමුඛ හේතුව වූයේ, මේ වන විට මැද පෙරදිග ජීවිත විශාල සංඛ්‍යාවක් ද සමාජ තතු ද මහා විනාශයක ට පත් කර තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධ මූලෝපාය ට සිරිසේන -වික්‍රමසිංහ ආන්ඩුව දක්වා තිබෙන සහයෝගය යි. මේ වනවිට එලිදරව් වී තිබෙන සියලු සාක්ෂි පෙන්නුම්කරන්නේ, ආන්ඩුව එම ප්‍රහාරය ගැන කල්තියා දැන ගෙන සිටි බව ද, එවැන්නක් ආන්ඩුවට විරුද්ධව පෙරලා පහර දීමට සැරසෙන කම්කරුවන් හා පීඩිතයන් භේද භින්න කිරීමට යොදාගත හැකි බව සැලකිල්ලට ගත් ආන්ඩුව එය වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් බව ද වේ.

මෙම ප්‍රහාරයන් “මෙවන් මට්ටමකට නගිතැයි ඔවුන් අපේක්ෂා කලේ නැතැයි බීබීසීයට කල ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බලලා මල්ලෙන් එලියට දැම්මේ ය. නොසිතා කරන ලද මෙම එලිදරව්ව පෙන්නුම් කලේ ආන්ඩුව කැමැත්තෙන් ම ප්‍රකෝපකරනයක් බලාපොරොත්තුව සිටි බවත් එහෙත් එය මෙතරම් විශාල පරිමාවක් ගනිතැයි අපේක්ෂා නොකල බවත් ය. ප්‍රහාරයන් පාලක ප්‍රභුව සිතුවාට වඩා උග්‍ර තත්වයකට පත් වූයේ, අයිඑස්අයිඑස් සංවිධානය ප්‍රමුඛ බලවතුන්ට එරෙහි සිය අසාර්ථක මදාවිය පරාජයට මුහුන දී සිටි තතු තුල මෙරට පාලක ප්‍රභූව අපේක්ෂා කරමින් සිටියාට වඩා ඈතට ප්‍රහාරය ගෙන ගිය හෙයිනි.

දැන්, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභුව ද, එක්සත් ජනපදය සහ එහි සගයන් ද වඩවඩාත් කුරිරු, ප්‍රජාතන්ත්‍ර විරෝධී, පොලිස් රාජ්‍ය පියවරයන් මුලු මහත් ජනතාවට එරෙහිව යොදාගනිමින්, ලංකාව අධිරාජ්‍යවාදී යුද යන්ත්‍රයේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම ට ත්‍රස්තවාදී ප්‍රහරවලින් ඉක්බිති තත්වය යොදා ගැනීමට හැරී ගෙන සිටිති. එෆ්බීඅයි සහ පෙන්ටගන් නිලධාරින් රොත්තක් “පරීක්ෂන වලට ආධාර කිරිමට” යයි දැනටමත් රටට පැමින සිටිති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සටන් කරනු ලබන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමර්ගය මත පදනම්ව ලෝක පරිමානව සටන් වදින කම්කරු පන්තියට පමනක් ම, අධිරාජ්‍යවාදි යුද්ධය ද පාලක පන්තියේ ෆැසිස්ට් වර්ගයේ පොලිස් රාජ්‍ය සලසුම් ද පරාජය කල හැකි වේ.

දුප්පත් ගොවියන්, පීඩිත ජනප්‍රජාවන්, රැකියා විරහිත තරුනයින්, සිසුන්, මධ්‍යම පන්තියේ කොටස් හා වෘත්තිකයින් අවසාන විග්‍රහයේදී පාලක ප්‍රභුවේ වාසියට වැඩකරන, අතිධාවනකාරී මෙන්ම ප්‍රතිගාමී ත්‍රස්තවාදී කල්ලි වලින් ඉවතට මෙහෙයවීමේ ඓතිහාසික හැකියාව ඇත්තේ දේශපාලනිකව ස්වාධීනවූ කම්කරු පන්තියටයි.

නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී න්‍යායේ අන්තර්ගත මේ ක්‍රියාමර්ගය මත පදනම් ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ වැදගත් කර්තව්‍යය රඳා පවත්නේ ගෝලීයව හැම රටක් තුල ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මහජන විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීම මතය.

Share this article: