ජවිපෙ නායකයා ආයෝජකයන්ට හිතකර කොන්දේසි නිර්මානය කරන බවට සහතික වෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 නොවැම්බර් 15

ධනපති ජනාධිපති අපේක්ෂකයන්ගේ ආර්ථික පිලිවෙත් සම්බන්ධව නොවැම්බර් 7 වෙනිදා පැවති සංවාදයකදී ජාතික ජන බලවේගයේ (ජාජබ) ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟවදින ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක තමන් ජයග්‍රහනය කලොත් දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා හිතකර කොන්දේසි නිර්මානය කරන බවට රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ආයෝජකයන් ඉදිරියේ සපථ කලේය.

දිසානායකට අමතරව සජිත් ප්‍රේමදාස, රොහාන් පල්ලෙවත්ත, හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ අජන්තා පෙරේරා යන අපේක්ෂකයන් ද සහභාගිවූ ”‍ෆයර්සයිඞ් චැට්”‍ නම් වූ මෙම සංවාදය පැවැත්වුනේ අධිරාජ්‍යවාදී රටවල තානාපතියන් සහ දේශීය සහ විදේශීය ආයෝජකයන් 1000 ක් පමන ඉදිරිපිට ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ‘පනිවුඩය”‍ පටිගත කර එවා තිබුනි.

මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ මෙරට ජාත්‍යන්තර වෙලඳාම සහ ආයෝජන ප්‍රවර්ධනයට කටයුතු කරන මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වානිජ මන්ඩලය විසිනි.

“‍රටේ ඉදිරිමාවත රඳා පවතින්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවයක් මත”‍ බවත් “ආර්ථික වර්ධනයේ ඉලක්කයන් සඳහා පෞද්ගලික අංශයට ආරාධනා කරන”‍ බවත් තම ප්‍රතිපත්ති ගෙනහැර දක්වමින් දිසානායක සඳහන් කලේය. ඔහු තවදුරටත් සඳහන් කලේ ආර්ථිකය පුලු‍ල් කිරීම සඳහා නව සුලු‍ හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාරික පැලැන්තියක් නිර්මානය කර ඔවුන්ගේ “උන්මාදයක් රට තුල නිර්මානය”‍ කරන අතර රාජ්‍ය විසින් තෝරා ගන්නා ක්ෂේත්‍ර සඳහා වන සංවර්ධන සැලැස්මක් මත “පෞද්ගලික අංශය දායක කරගැනීම අපේ අපේක්ෂාව”‍ බවයි.

“පෞද්ගලික අංශයේ සමහර ක්ෂේත්‍ර වර්ධනය කරන අතර රාජ්‍ය අංශයේ සමහර ක්ෂේත්‍ර අත්හල යුතුය”‍ යි ඔහු සඳහන් කලේ පුද්ගලීකරනයට ජාජබ හා ජවිපෙ සූදානම අවධාරනය කිරීමට ය.

ආයෝජකයින් ආකර්ශනය කරගැනීම පිනිස වසර පහක “නිශ්චිත හා ස්ථාවර බදු ප්‍රතිපතියක් පෞද්ගලික අංශයට හදුන්වා දෙන”‍ බවකී ඔහු ඒ නිසා ආයෝජකයින් තමන් ගැන “අනවශ්‍ය ලෙස”‍ බියවිය යුතු නැතැයි ආයාචනය කලේය. ආයෝජකයන්ට බාධකයක් වී ඇති බදු මට්ටම් අහෝසිකර සාධාරන කොන්දේසි ඇති කරන බවට දිසානායක දෙන පොරොන්දුව මෙහිදී ද ඉදිරිපත් කෙරින.

අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ආයෝජකයන් ඉදිරියේ දිසානායක ගේ මෙම දීන සහතිකවීම සමස්තයක් ලෙස ජවිපෙ සහ ජාජබ ක්‍රියාමාර්ගයේ සාරය පෙන්නුම් කරයි. එය ජාත්‍යන්තර ප්‍රාග්ධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තියට නිර්දේශ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරන වලට අනුකුලව සකස් කර ඇත.

නව සුලු‍ හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාරික පැලැන්තියක “උන්මාදයක්”‍ රටතුල ඇතිකිරීම ගැන ඔහු කරන ප්‍රකාශය අතිශයින්ම ප්‍රතිගාමී අර්ථභාරයක් ගනී. මෙය වනාහි කම්කරු පන්තියට එරෙහිව යොදා ගත හැකි ප්‍රතිබලයක් නිර්මානය කර ගැනීමේ සැලසුමක කොටසකි.

නොවැම්බර් 7 දා සංවාදයේදී දිසානායක විස්තර කලේ “‍දේශයේ අපේක්ෂාව”‍ ලෙස නම් කර ඇති ජාජබ මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය තුල පුද්ගලික අංශය “ක්‍රියාකාරී සාමාජිකයෙකු”‍ ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නා බවට දුන් පොරොන්දු ය.

ප්‍රතිපත්ති ප්‍රකාශය රාජ්‍ය අංශය ගැන මෙසේ අවධාරනය කරයි: “පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන තත්වයට පත්කිරීම සඳහා විවිධ ආකෘතීන් යටතේ රාජ්‍ය, පෞද්ගලික හා ජනතා හිමිකාරිත්වය ඇති කිරීම”‍ හා “ස්වාධීන කලමනාකාරිත්වයක් යටතට”‍ එම ආයතන වල පරිපාලනය පැවරීම කරන බව ද ප්‍රකාශය අවධාරනය කරයි.

“හිමිකාරිත්වයෙන් කොටසක් සේවකයින්ට ලබාදීම හා ව්‍යාපාර කලමනාකරනයට සේවකයන් සම්බන්ධ කර ගැනීම දිරිගැන්වීම සහ සමාගම්වල කොටස් මිලදී ගැනීමට අවශ්‍ය මුල්‍ය පහසුකම් සලසන”‍ බවට ප්‍රකාශයේ කර ඇති සඳහන ධනපති සමාගම්වලට කම්කරුවන් ගැටගැසීමේ කූට උපායකි. මෙය එක්සත් ජාතික පක්ෂ (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩු ඇතැම් සංස්ථා සම්බන්ධයෙන් ක්‍රියාවට දැමුවේ ඒවායේ අර්බුදය කම්කරුවන් මත ම තබා කපා ඒවා දියකර දැමීමට ය. ලංකා ගමනා ගමන මන්ඩලය ඊට එක උදාහරනයකි.

“‍වතු ක්ෂේත්‍රය තුල අවම දෛනික වැටුප රුපියල් 1000 ක් කරන බවට මැතිවරන ප්‍රකාශයේ සඳහන් කර ඇත. කම්කරුවන් ඉල්ලා සිටි රුපියල් 1000 ක දෛනික වැටුප එකහෙලා ප්‍රතික්ෂේප කල සමාගම්වලින් තම පොරොන්දුව ඉටුකර ගන්නේ කෙසේදැයි ජාජබ අපේක්ෂකයා කියා නැත.

සිය වතු සමිතිය විටින්විට පසුගිය අවුරුදුවල කම්කරුවන්ට මාසික පඩියක් ගැන මුනිච්චාවට කල ප්‍රකාශ කුනුකුඩයට දමා ඇති ජවිපෙ එවෙනුවට දැන් කම්කරුවන් සූරාකෑම උග්‍රකිරීමේ සැලසුම් හදන්ට යයි. ප්‍රතිපත්ති ලියවිල්ලේ මෙසේ සඳහන් කර ඇත: “රජය, වැවිලි කර්මාන්ත, පර්යේෂන අංශ, අපනයන ප්‍රවර්ධන, විශ්ව විද්‍යාල හා වතු කම්කරු සංවිධාන යනාදී අංශයන් හා එක්ව ඵලදායිතාව වැඩිකර ගැනීමේ ක්‍රියාදාමයක්”‍ සකස් කිරීමට පියවර ගනු ඇත.

ජාජබ මෙම යෝජනාව ඍජුව ම මාට්ටු වන්නේ ඵලදායිතාවය ඉහල දැමීම සඳහා වැඩ ඉලක්ක ඉහල දැමීම හා ආදායම් බෙදීමේ ක්‍රමය යනුවෙන් හඳුන්වන වතු කම්කරුවන් අඳ ගොවි මට්ටටමට හෙලා සූරාකෑම උග්‍ර කිරීමට යෝජිත වතු සමාගම් වල සැලසුම් සමගය.

“‍ශ්‍රම වෙලඳපොල ශක්තිමත් කිරීම හා ශ්‍රමය කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගතහැකිවන පරිදි පවතින සියලු‍ නීති රීති සහ අනපනත් යාවත්කාලීන කිරීම හා නව නීති හඳුන්වාදීම”‍ මගින් ආයෝජකයින්ට රිසිසේ ශ්‍රම ලාබ ශ්‍රම සුරාකෑමට අවශ්‍ය නෛතික පදනම් තහවුරු කරන බව ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා ව්‍යාපාරිකයන්ට දී ඇති තවත් පොරොන්දුවකි.

ජවිපෙට හා ජාජබට අනුව, විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගතයුත්තේ, අධිරාජ්‍යවාදී ලෝකයට ගැලපෙන පරිදි ය. ගෝලීයකරනය හා ජාත්‍යන්තර ප්‍රාග්ධනය හා දේශපාලන මැදිහත්වීම් අතිශය තීව්‍ර යුගයකදී ...... රටේ ශක්‍යතා ඔප් නංවන හා ගෝලීය අවකාශය තුල පිලිගැනීමට බඳුන්වන ලොව විශිෂ්ට රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා අධිරාජ්‍යවාදයේ “නව ස්වරූපය ප්‍රවේශමෙන් හඳුනාගෙන”‍ ... “ජනප්‍රිය නොවන ආකෘතියකින්”‍ යුත් ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කොට ගත් ප්‍රතිපත්තියක් මත නව අධිරාජ්‍යවාදයට මුහුනදීමට අවශ්‍ය “ජාතික මනෝභාවය සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග නිර්මානය කරන”‍ බව එහි සඳහන් වේ.

මෑතක් වන තුරුම ජවිපෙ ව්‍යාජ අධිරාජ්‍යවාදී විරෝධයක් මවා පෑ නමුත් එක්සත් ජනපදය ඇතුලු‍ අධිරාජ්‍යවාදී බලයන් ඉදිරියේ නිර්ලජ්ජිත ලෙස දන ගැසීමට සූදානම් බව ජාජබ මැතිවරන ප්‍රකාශය තුලින් යලිත් සඥාවක් නිකුත් කර තිබෙනවා පමනක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව, මේ සා තියුනු ලෙස ප්‍රධාන බලයන් අතර භූදේශපාලන සතුරුකම් උද්ගතවී, න්‍යෂ්ටික අවිහරඹ කෙරෙන ලෝක යුද්ධයක තර්ජනය මතුවී ඇතැයි ඇතැම් ධනපති ප්‍රතිපත්ති සම්පාදකයෝ හා ධනපති පාලකයෝ පවා පිලිගනිති. එවන් තත්වයක, මේ සංවිධානවල “‍විදේශ ප්‍රතිපත්තිය”‍ වනාහි යුද්ධයක තර්ජනය කම්කරුවන්ගෙන් හා පීඩිතයින් ගෙන් හිතාමතාම වසන් කිරීමට ගෙතු එකකි.

“ජාතික ආරක්ෂාව”‍ තහවුරු කිරීම සඳහා ගැනීමට යන පියවරයන් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් කරන්නේ “නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කිරීම”‍, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට නව තාක්ෂනය හඳුන්වා දෙමින් “‍ආරක්ෂක සේවය කාර්යක්ෂම කිරීම”‍ පොලිසිය සහ මහජනතාව අතර සමීප සබඳතාවක් ඇති කිරීම පිනිස “පොලිස් මහජන සබඳතා කමිටු පිහිටුවීම”‍ ආදී පියවර ගන්නා බවයි.

ධනපති රාජ්‍යයේ පොලීසිය සහ සන්නද්ධ හමුදාවන් මහජනයා සඳහා පවතින සංවිධාන නොවේ. ඒවා ධනපති දේපොල සහ ඒ මත පාදක වූ ධනේශ්වර රාජ්‍ය රැකීමේ උපකරන ය. යෝජිත ඊනියා පොලිස් මහජන සබඳතා කමිටු ක්‍රියාත්මක වනු ඇත්තේ සමාජ අරගලයන්ගේ වර්ධනය තුල වැඩකරන ජනතාවට විරුද්ධව ඔත්තු බලන රාජ්‍ය යන්ත්‍රයේ උපකරන ලෙස ය.

“‍රාජ්‍ය ආරක්ෂාවට එරෙහිව සිදුවන බාහිර හා අභ්‍යන්තර, දේශපාලනමය, ආර්ථිකමය හා සංස්කෘතිකමය තර්ජනයන් හා පීඩාවන්ට මුහුන දීමට හා ඒවා ජය ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රනයක් සහ ගැටුම් නිරාකරන ක්‍රියාවලියක් අඛන්ඩව පවත්වාගෙන යන”‍ බව ප්‍රකාශය කියයි. අභ්‍යන්තර , දේශපාලනමය, ආර්ථිකමය හා සංස්කෘතිකමය “‍තර්ජනයන්”‍ නිසැකවම ධනපති රාජ්‍යයට එල්ලවන්නේ තම ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට වදින ප්‍රහාරයන්ට එරෙහිව රැඩිකලීකරනය වන කම්කරුවන්, පීඩිත දුගී ගොවීන් ඇතුලු පීඩිත ජනයා සහ ප්‍රජාතන්ත්‍රීය හා සංස්කෘතික අයිතීන් අහිමි කොට ඇති සුලු‍ ජන කන්ඩායම් වලිනි. ජාජබ අවධාරනය කරන්නේ ඒවා අඛන්ඩව මැඩලන බවය.

ජාජබ හා ජවිපෙ අනෙකුත් සියලු‍ ධනපති පක්ෂ පොලිස් රාජ්‍යයකට ජපකරන ”‍ජාතික ආරක්ෂාව තර කිරීම”‍ හයියෙන් බදාගෙන ඇත්තේ තම පාලනයක් යටතේ එයම සිදුවන බව පෙන්නුම් කරමිනි.

තමන්ගේත් සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ අතර වෙනස දිසානායක සිය වේදිකාවලදී මෙසේ සඳහන් කරයි: ”‍අද හොරු අල්ලන කතාවක් එකම වේදිකාවකවත් නැහැ. අපේ වේදිකාවේ විතරයි හොරු ගැන කියන්නේ. ඔය ගෝඨාභයගේ වේදිකාවේත් සජිත්ගේ වේදිකාවේත් හොරු පිරිලා, අන්තවාදීන් පිරිලා....

දිසානායක උජාරුවෙන් මෙසේ කියයි: “‍අපේ වේදිකාවේ හොරුන් නැහැ. අන්තවාදියොත් නැහැ. අපේ වේදිකාවේ ඉන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, විවිධ විෂයයන් පිලිබඳ විශේෂඥ දැනුම ඇති විද්වතුන්, කලාකරුවන්.”‍ ඔවුන් විනාශ කල රට “නැවත ගොඩනැගීම සඳහා කැපවීමකින් කටයුතු කල හැකි පිරිසක් තමයි අපේ වේදිකාවේ ඉන්නේ.”‍ තමන් බලයට ගෙන ආවොත් අවුරුදු 71ක් ඇතිකල විනාශය නතර කොට “වසර පහක් ඇතුලත අපි ලස්සන රටක් නිර්මානය කරන බවට සහතික වෙනවා.”‍

දිසානායක දිගටම කියාගෙන ගියේය: 1994 දී රට හදන්න කියල විහාර මහාදේවිය [චන්ද්‍රිකා කුමාරතුංග] ආවා. 2005 දී දුටුගැමුනු [ මහින්ද රාජපක්ෂ] ආවා. 2015 දී පොලොන්නරුවේ ගැමියා ආවා. ... කරපු එකම දේ තමයි ජාතීන් අතර ගැටුම් ඇති කෙරුවා, ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවා.”‍

හොරු ජාජබ/ජවිපෙ වේදිකාවේ සිටීද යන්න අපි නොදනිමු. එහෙත් ඉතිහාසයක් කියා දෙයක් ඇත. මේ “‍විද්වතුන්ටත්”‍ ජවිපෙටත් ඉතිහාසයක් කියා දෙයක් ඇත. ජවිපෙ දේශපාලන තක්කඩියන් ද බුද්ධිමය වංචනිකයින් ද 1994, 2005 හා 2015 පාලක පන්තිය සිදුකල සියලු‍ විනාශයන්ට දේශපාලනික ව වගකිවයුතු ය. ඔවුහු කම්කරුවන්ට හා දුගීන්ට විනාශය කැටුවාවූ පාලකයන් පිටුපස සීරුවෙන් සිටගෙන උන්හ.

කියවන්න:

ලංකාවේ ධනපති ආර්ථිකය ගොඩගැනීමට ජවිපෙ “‍ජාතික ආර්ථික”‍ වැඩපිලිවෙලක් තොරොම්බල් කරයි- 2019 ඔක්තෝබර් 31

ජවිපෙ “අලුත් වැඩපිලිවෙල”: ධනපති ක්‍රමය පිරියම් කර පවත්වා ගැනීමේ ප්‍රතිඥාවක් -2019 මාර්තු 14

Share this article: