එක්සත් සමාජවාදී පක්ෂය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනය ගැන මහජනයාට දෙස්දෙවොල් තබයි

විලානි පීරිස් සහ කේ.රත්නායක විසිනි, 2020 ජනවාරි 07

ව්‍යාජ වාම එක්සත් සමාජවාදී පක්ෂය (එසප) 2019 ජනාධිපතිවරනයෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලංකාවේ දකුනු පලාත්වල සිංහල ජාතිවාදය නැගීම ඉදිරියේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (ශ්‍රීලපොපෙ) අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරදවා විශාල ජයග්‍රහනයක් අත්පත් කරගත් බව ය.

ඡන්දය වැටී ඇති ආකාරය ගැන ගනන්හිලව් ඉදිරිපත් කරමින් නොවැම්බර් 27 ලියා ඇති එසප ප්‍රකාශය “ශ්‍රී ලංකාව භෞතික වශයෙන් එක රටක් ව පැවතිය ද යථාර්ථයේදී මතවාදීමය වශයෙන් රටවල් දෙකක් බවට පත් වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන” බව ද සඳහන් කරයි --එනම්, සිංහල බෞද්ධ අධිපතිවාදයට යටවූ දකුනු පලාත් සහ යුද්ධයේදී සිදු කල විනාශය නිසා රාජපක්ෂට එරෙහිව සිටින දෙමල මුස්ලිම් ජනයා වෙසෙන උතුරු-නැගෙනහිර වශයෙනි.

ලංකාවේ අනෙකුත් වාමාංශික වෙස්වලාගත්තවුන් හා බොහෝ ශාස්ත්‍රාලිකයන් ද මේ ආකාරයේ ම වාර්ගික ධ්‍රැවාන්තගතවීමක් ගැන මැතිවරන ප්‍රතිඵල ගැන අර්ථකථන ලියා ඇත. සැබවින්ම නම්, රාජපක්ෂගේ ජයග්‍රහනය ගැන එසප දෙස්දොවොල් තබන්නේ සිංහල, දෙමල, මුස්ලිම් කම්කරු පන්තියට හා දුගී ජනයාට ය. එසප ගනන්හිලව් අනෙක්පැත්ත හැරවී සජිත් ප්‍රේමදාස ජයග්‍රහනය කලේ නම් එහි විශ්ලේශනය කනපිට හැරවෙනු ඇත්තේ සිංහල බෞද්ධ අධිපතිවාදයේ මහා පරාජයක් ලෙස ය.

මෙය වනාහී මතුපිට තලයේ අතපත ගාන අනුභූතිවාදී “විශ්ලේනයකි.” කිසිදු ”‍වාම”‍ සංවිධානයක් සිංහල වර්ගවාදය තොරොම්බල් කරන ධනේශ්වර පක්ෂවල උගුලකට කම්කරුවන් හා පොදුවේ මහජනයා හසුවූයේ ඇයි ද යන්න ප්‍රශ්න නොකරති. ඊට හේතුව, එසේ සිදුවීම කෙරෙහි මේ පක්ෂවලට ඇති දේශපාලන වගකීම හෙලිවනු ඇති නිසා ය.

ජනාධිපතිවරනය ආසන්නයේ නව සමසමාජ පක්ෂය (නසසප) එජාපයට පන්දම් ඇල්ලීමේ දේශපාලන ක්‍රියාකලාපය උත්සන්න කලේ ප්‍රේමදාස “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු” ලෙස ව්‍යාජ ප්‍රශස්ති ලියමිනි. “ෆැසිස්ට් රාජපක්ෂ”‍ පරාජය කිරීමේ එකම සුදුස්සා ඔහු ලෙස හුවා දැක්වුනි.

එසප ප්‍රචාරය මඳක් වෙනස් විය. එසප නායක සිරිතුංග ජයසූරිය වෙනුවෙන් ලියූ රතු තරුව පුවත්පතේ ඔක්තෝබර් කලාපයේ ප්‍රධාන ලිපිය සඳහන් කලේ සජිත් ප්‍රේමදාස “ඉදිරිදර්ශනයක් නැති හිස් කෙනෙක්”‍ බවත් “ගෝඨාභය” හරහා හිට්ලර් මාදිලියේ පාලනයක් ගොඩනගන බව කියන”‍ රාජපක්ෂවරුන්ට “‍රට අන්ධකාර යුගයකට ඉඩ නොදීමට”‍ ක්‍රියා කල යුතු බවත් ය. ඉන් ඇඟවුම් කෙරුනේ ප්‍රේමදාස ගැන එලෙස ව්‍යාජ බස් තෙපලමින් ලිහිල් ආකල්පයක් ගත් එසප ඇඟවුම් කලේ ඔහු රාජපක්ෂට වඩා “අඩු නපුරක්” හා “වඩා ප්‍රජාතන්ත්‍රවාදී” බවකි.

“වාම” කන්ඩායම් වෘත්තීය සමිති ගනනාවක් දෙමල ජාතික සන්ධානය (දෙජාස) හා ශාස්ත්‍රාලිකයන් පිරිසක් ප්‍රේමදාස හුවා දක්වනු ලැබුවේ ඔහු ද නායකත්වය දුන් එජාප ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල රුදුරු ලෙස ක්‍රියාවට දැමීම ඇතුලු‍ ප්‍රහාර නිසා අපකීර්තියට ලක්ව ඊට එරෙහිව කම්කරුවන්ගේ අරගල වැඩිදියුනුවන තත්වයක ය.

මීට වසර පහකට පමන පෙර එවක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට එරෙහිව මහජන අරගල පුපුරා එන තත්වය යටතේ, 2015 ජනාධිපතිවරනයේ දී, ව්‍යාජ වාම පක්ෂ වෘත්තීය සමිති ශාස්ත්‍රාලිකයන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙජාස මෛත්‍රීපාල සිරිසේන වටා පෙලගැසුනාහ. අන්තිම මොහොත වනතෙක් මහින්දගේ හෙන්චයියකු වූ සිරිසේන පෙරට දමාගත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. එජාපය හා එහි නායක රනිල් වික්‍රමසිංහ සිරිසේනගේ මැතිවරන ව්‍යාපාරයේ මූලිකත්වය ගති. එය වනාහි, ආර්ථික වාසි තකා බෙයිජිනයට නැඹුරුවූ රාජපක්ෂ ඉවත්කර චීනයට එරෙහි සිය ආක්‍රමනකාරි වැඩපිලිවෙලට ලංකාව කෙලින් ම සම්බන්ධ කර ගැනීමට ඇමරිකාව මුල්වී දියත් කල මෙහෙයුමකි.

නසසප, එසප, පෙසප, ජවිපෙ, දෙජාස, බොහෝ වෘත්තීය සමිති හා ශාස්ත්‍රාලිකයන් එය ආවරනය කරමින් සිරිසේන වටා පෙලගැසුනේ රාජපක්ෂගේ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවස්ථාවක් ලැබී ඇති බවක් හුවා දක්වමින් විවිධ සූත්‍ර ජප කරමිනි.

මෙම ආවරනයන්ට මුවා වී බලය ගත් සිරිසේනගේ හා වික්‍රමසිංහගේ ආන්ඩුව ක්‍රියා කලේ චීනයට එරෙහි ඇමරිකානු යුද සැලසුම්වලට ලංකාව ගැටගසමින්, ජාමූආ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමමින්, දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදය අවුලු‍වමින් හා අරගලයට පිලිපන් කම්කරුවන්ට හා සිසුන්ට විරුද්ධව මිලිටරිය, පොලීසිය හා මර්දන නීති උසිගන්වමිනි.

පසුගිය අවුරුදු පහේ ව්‍යාජ වාම කන්ඩායම් හා වෘත්තීය සමිතිවල, දෙජාස සහ ජවිපෙ ක්‍රියාකලාපය වූයේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව නැගුනු අරගලවලට වල කැපීමයි. නසසපය ආන්ඩුව ප්‍රහාර සමග එකට සිටිමින් විශේෂයෙන්ම එජාප පාලනය ආරක්ෂා කලේ ය.

එසප හා පෙසප කම්කරුවන්ගේ අරගල ආන්ඩුවට බලපෑම් දැමීමේ හිස් ව්‍යාපාරවලට කොටු කර දියකර දැමීමට වෘත්තීය සමිති සමග හවුල් වූහ. දෙජාස දෙමල ජනයාගේ අරගල යටපත් කර ආන්ඩුව බේරා ගැනීමට ඉදිරිපත් විය.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමග මෙම සංවිධාන “අන්තවාදය” පරාජය කිරීමේ ප්‍රෝඩාවට මුවාවී ඒ හෝ මේ ආකාරයෙන් සිරිසේනගේ හදිසි නීති පාලනය සමග පෙලගැසුනාහ.

ජාත්‍යන්තර පන්ති අරගල ප්‍රවාහයේ කොටසක් ලෙස පැනනැගුනු ලංකාවේ කම්කරු අරගල යටපත් කිරීමට ව්‍යාජවාම කන්ඩාම් වෘත්තීය සමිති සමග ක්‍රියා කලේ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ධනේශ්වරයට පාවාදෙමිනි.

ආන්ඩුවට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගලවට මේ සංවිධාන එලෙස ඇබ ගැසීම නිසා ශ්‍රිලපොපෙට එක් අතකින් ආන්ඩුවේ එකම විරුද්ධවාදී සංවිධානය හැටියට පෙනී සිටීමින් සමාජවිරෝධය ගසාකෑමට ඉඩ සැලසුනි. අනෙක් අතින්, එම පාවාදීම් ශ්‍රීලපොපෙට වර්ගවාදී ප්‍රචාර උත්සන්න කිරීමට ඉඩ ලබා දුන්නේය. උතුරු-නැගෙනහිර ජනයා ප්‍රේමදාසට යට කිරීම සඳහා දෙජාසට මෙම වම්මුන්ගේ සහාය ලැබුනි. රාජපක්ෂගේ ජනාධිතිවරනයේ ජයග්‍රහනයේ දේශපාලන වගකීම මෙම සියලු‍ සංවිධාන වෙත පැටවී ඇත්තේ ඒ ආකාරයෙනි.

පාලක පන්තියේ සෑම කොටසක් මෙන්ම මෙම සංවිධාන ද සලිත වී සිටින්නේ සිංහල , දෙමල, මුස්ලිම් කම්කරුවන් වඩවඩාත් එක්සත්ව අරගලවලට එලැඹීම ගැනය. මෙම අරගල විසින් මතුකරනු ලැබුවේ, ඒවා ඒකාබද්ධ කර ජාත්‍යන්තර කම්කරු පන්තික අරගල සමග එකමුතුවකට ගෙන ඒම, ගම්බද දුගීන් හා තරුනයන් ඒ වටා රැලි කිරීම හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීමේ අවශ්‍යතාවය යි. ඉහත කී සියලු‍ සංවිධාන එම අරගලයට එකහෙලා විරුද්ධ වූහ.

එසප පාවාදීමේ අනෙක් තුච්ච ම අංශය වූයේ දෙමල කම්කරුවන් හා පීඩිතයන් දෙජාස ඇතුලු‍ දෙමල ධනපති පක්වෂලට යට කිරීමට ක්‍රියා කිරීමයි. දෙමල ජනතාවගේ ස්වයංනීර්න අයිතිය සඳහා පෙනීසිටි එකම සංවිධානය තම පක්ෂය බව එසප ප්‍රකාශය උජාරුවෙන් සඳහන් කර ඇත.

තවද, දෙමල පක්ෂ මැතිවරනය ආසන්නයේ ඉදිරිපත්කල ඉල්ලීම් 13ට එක හෙලා සහයෝගය දුන්නේ තම පක්ෂය බව කියා ඇත. මෙම යෝජනාවලට අත්සන් තැබූවන් අතර, ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), දෙමල ඊලම් මහජන විමුක්ති සංවිධානය, දෙමල ඊලම් විමුක්ති සංවිධානය, ඊලම් ජනතා විප්ලවවාදී පෙරමුන යන දෙජාසහි එක්වී සිටින සංවිධාන ද උතුරු පලාත් සභාවේ හිටපු මහ ඇමති සී. වී. විග්නේස්වරන් නායකත්වය දෙන දෙමල ජනතා සංසදය (ටීපීඑෆ්) ද වෙති.

“ෆෙඩරල් ව්‍යවස්ථාවක්,” විදේශගත වූවන් හා ජාත්‍යන්තර ආයතන විසින් ඍජු ආයෝජන සහ උතුරේ හා නැගෙනහිර මූල්‍ය හා සංවර්ධන ක්‍රියාකාරකම් “ඡන්දයෙන් පත්වුනු නියෝජිතයන්” විසින් පාලනය කිරීම එම ඉල්ලීම් 13 අතර විය. මෙම ඉල්ලීම් වනාහි කම්කරු පන්තිය ඒකාබද්ධ ව සූරාකෑම සඳහා දෙමල ප්‍රභූවට වරප්‍රසාද සහතික කරමින් කොලඹ පාලක පන්තිය සමග බලය බෙදීමේ ගනුදෙනුවක් සඳහා කෙරුනු නිහීන ආයාචනයකි. බලන්න: ශ්‍රී ලංකාවේ දෙමල පක්ෂ එජාප හා ශ්‍රීලංපොපෙ ජනාධිපති අපේක්ෂකයන්ට ආයාචනා කරන්නේ ඇයි? නොවැම්බර් 4, 2019.

මෙම ආයාචනය ආවරනය කිරීම සඳහා, දෙමල ජනතාව යුද්ධයේ දී අත්විඳි අනේක විනාශයන් ගැන ඉල්ලීම් ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කිරීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමද ඇතුලත් කර තිබුනි.

ඉහතකී දෙමල ධනේශ්වරයේ සියලු‍ පක්ෂ පසුගිය දශකයක් තිස්සේ මේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කොලඹ ආන්ඩු වටේ කැරකුනා පමනක් නොවේ. ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ඉල්ලීමේ නමින් අධිරාජ්‍යවාදී බලයන් විශේෂයෙන් එක්සත් ජනපදය සමග පෙලගැසුනු බව ප්‍රසිද්ධ ය. දෙජාස ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉත්තෙකු ලෙස වැඩට බැස සිටියි. එහෙත් එසප මෙම සංවිධාන සමග දේශපාලනිකව සහයෝගයෙන් කටයුතු කරයි. ඒවා සමග පෙරමුනකට ඒමට ද නොපසුබට ය.

එසප සම්බන්ධවී සිටින කම්කරුවන්ගේ ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ ටී.යු.සෙනන් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට නොවැම්බර් 12 දා ලියූ ලිපියක ජයග්‍රාහි ලෙස මෙසේ සඳහන් කලේය: ”‍මෙම ලිපිය ලියන මොහොත වනවිට, සිරිතුංග ජයසුරිය සහ ඤවිග්නේස්වරන්ගේ% දෙමල මහජන පක්ෂය සහ ඊලම් ජනතා විප්ලවවාදී පෙරමුන අතර රැස්වීම් පැවැත්වෙමින් තිබේ. දෙජාස හැර දෙමල පක්ෂ සියල්ලක්ම පාහේ සිරිතුංග ජයසූරියට චන්දය දීමට පක්ෂව සිටිති.”‍ ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටින ගමන්ම, අන්ත දෙමල ජාතික නායකයෙක් වන සිවාජිලිංගම් පෙර මැතිවරන වලදී ”‍සිරිට”‍ ඤසිරිතුංග ජයසූරියට% තමන් චන්දය දුන් බව ද “‍සිරි දෙමල ජනයාගේ හොඳම මිතුරා”‍ යයි කියූ බව ද සෙනන් ලියා ඇත.

සෙනන්, “‍සිරි දෙමල ධනපති පක්ෂවල හොඳම මිතුරා”‍ යයි ලියුවේ නම් මොන තරම් අපූරු ද? අවංක ද?

විග්නේස්වරන් “‍දෙමලු‍නි නැගිටිව්”‍ නම්වූ ව්‍යාපාරය ඊලම් ජනතා විප්ලවවාදී පෙරමුන ඇතුලු‍ සංවිධානවල අධාරය ඇතිව පසුගිය මාස කිහිපයකට පෙර යලි දියත් කලේය. [බලන්න: ශ්‍රී ලංකාව: දෙමල ජනතා කවුන්සිලය දෙමල ජාතිකවාදය ඇවිස්සීම සඳහා රැලියක් කැඳවුම් කරයි 2019, සැප්තැම්බර් 14] දකුනේ සිංහල ධනපති පක්ෂ මෙන්ම උතුරේ ජාතිකවාදී පක්ෂ දෙමල, සිංහල, හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීමට ඓතිහාසිකව ම විරුද්ධ ය.

සිරිතුංග ජයසූරියගේ එසප හා අනෙක් ව්‍යාජ වාම සංවිධානවල දේශපාලනයේ මූලික ලක්ෂනය නම් කම්කරුවන්ගේ පන්ති ස්වාධීනත්වයට වල කැපීමයි.

එසප දෙමල ධනපති පක්ෂවලට කම්කරුවන් හා පීඩිතයන් යට කිරීමට දෙසාබාන එසප අනෙක් සුත්‍රය “දෙමල ජනතාවගේ ස්වයංනීර්න අයිතිය සඳහා පෙනී සිටිම”‍ යන්නයි. ලෙනින් සිය වසකට පමන පෙර පීඩිත ජාතීන්ගේ ”‍ස්වයංනීර්න අයිතිය”‍ ට සහයෝගය දුන්නේ පිඩිත ජාතියේ ධනපති පන්තියේ වෙනම රාජ්‍යයන් පිහිටුවීමට හෝ ඔවුන්ගේ වරප්‍රසාද රැකීමට සහයෝගය දීමට නොවේ. එය වනාහි ”‍පීඩක ජාතියේ”‍ ධනපති පන්තියේ වර්ගෝත්තම වාදයට සහ පිඩිත ජාතියේ ධනපති පන්තියේ ජාතිකවාදයට එරෙහිව සටන් කරමින් කම්කරු පන්තියේ එකමුතුව පිහිටුවීම සඳහා අරගලයක් විය.

එල්ටීටීඊ යද ඇතුලු‍ ලංකාවේ දෙමල ධනපති පක්ෂ පක්ෂ අත මෙම ඉල්ලීම අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගය ඇතිව, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ භූදේශපාලන උවමනාවන්ට සේවය කරන රාජ්‍යයක් ඇටවීමේ ඉල්ලීමක් බවට පත්විය.

තිස් අවුරුදු යුද්ධය ද ඇතුලු‍ කොලඹ පාලක පන්තියේ රුදුරු මර්දනකාරී පාලනයට එරෙහිව දෙමල ජනයාගේ අරගලයේ කටුක නමුත් අතිශය වැදගත් පාඩම නම්, ජාතික පීඩනය අහෝසි කිරීම ගොවිජන ප්‍රශ්න විසඳීම ඇතුලු‍ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමේ එකම ක්‍රියා මාර්ගය වන්නේ, ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය බවයි-- එනම් කම්කරු පන්තිය සියලු‍ පීඩිතයින්ගේ නායකත්වය ගෙන සමාජවාදී විප්ලවය ජයග්‍රහනය කිරීමයි.

එසප සිය ‘වාම‘ කොම්පැනිය ද සමග එක්ව ධනපති පන්තියේ කඳවුරු වලට කම්කරුවන් ගැට ගැසීමට ක්‍රියා කිරීමෙන් පසුව රාජපක්ෂගේ ජයග්‍රහනය ගැන මහජනයාට දෙස්දෙවොල් තැබීම දේශපාලන පාවාදීම මෙන්ම අසාරදර්ශනය ආවරනය කරගැනීමේ තැතකි. තම පක්ෂයට ලැබූ ඡන්ද අඩුවීම ජාතිවාදයේ නැගීම නිසා සිදුවූ බව කියන එසපට හා ජයසූරියට ඊට එරෙහිව කල අරගලයක වාර්තාවක් ගැන කතාකල නොහැක. ඔවුනට ඇත්තේ ධනපති පක්ෂ සමග භජනය කිරීමේ ගඳගහන වර්තාවකි.

කෙසේ වෙතත්, අසාරදර්ශනය ආවරනය කර ගනිමින් කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගැසීමේ ඉදිරි පියවර ගැනීමට එසප සුදානම් වේ. ඉහත ප්‍රකාශයේ අවසානයේ මෙසේ සඳහන්වේ: ”‍සැම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇත යන කියමන අනුව ඉදිරියේ දිග හැරෙන අඳුරු කාලය තුළ දී පන්ති අරගලයට නායකත්වය දිය හැකි පුළුල් වමේ බලයක් ගොඩ නැගීමට අපි අදිටන් කර ගත යුතු ය.”‍

“‍රිදී රේඛාව”‍ යනු දැන්වත් “‍ඉදිරියේ දිග හැරෙන අඳුරු කාලය තුල”‍ පුලු‍ල් වමේ බලවේගයක් ගොඩනගා ගැනීමට අනෙක් සංවිධාන තල්ලු‍ කර ගැනීමට ඉඩ ලැබේයයි ගනන් බැලීම විය යුතු ය. එසප පසුගිය කාලයක් ම පෙසප හා අනෙකුත් වාම යයි කියා ගන්නා කන්ඩායම් හා පුද්ගලයන් සමග පෙරමුනක් ගසා ගැනීමට තැත් කලත් උපායික මතභේද නිසා එය කල නොහැකි විය.

2002 දී මෙම පක්ෂය, ජනාධිපති කුමාරතුංග සිය පාලනය අර්බුදයට යද්දී අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව කල්තබා ජවිපෙ සමග ඊනියා පරිවාස ආන්ඩුවක් තැනුවිට, වෘත්තීය සමිති සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමේ නමින් එජාපය සමග පෙරමුනකට බඩගෑවේය.

2009 දී ඔහු නසසප හා තවත් කන්ඩායම් සමග අවුරුදු ගනනාවක් එජාප නායකත්වයෙන් ගෙනගිය “‍නිදහසේ වේදිකාව”‍ නම්වූ තවත් පෙරමුනකට ගාල් වූයේ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පරාජය කිරීමේ නමිනි. 2015 දී ජයසූරිය, මහින්දගේ ඒකාධිපති පාලනය පරාජය කිරීමේ නමින් සිරිසේනට බලයට ඒමට වක්‍රව සහයෝගය දුන්නේ ය.

ඔහුට දැන් ප්‍රශ්නය වී ඇත්තේ රාජපක්ෂගේ වර්ගවාදී ආඥාදායක පාලනය සමග ගැටීමට කම්කරු පන්තිය ගමන් කිරීම වලක්වා ගන්නේ කෙසේද යන්නයි. ”‍පුළුල් වමේ බලයක් ගොඩ නැගීමට අපි අදිටන් කර ගනිමු”‍ යි ඔහු සිය සගයන්ට ආයාචනා කරන්නේ එහෙයිනි.

පසුගිය අවුරුදු දෙකේ ලංකාවේ කම්කරුවන් පෙන්වූ වඩවඩාත් තියුනුවන සටන්කාමිත්වය ජාත්‍යන්තර පන්ති අරගලයේ කොටසකි. ඔවුහු වැඩිකල් යන්ට මත්තෙන් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව තම අයිතීන් රැකගැනීම සහ දිනාගැනීම සඳහා අරගලයන්ට පිවිසෙනු ඇත. සෑම රටකම විප්ලවවාදී අරගල දිගහැරෙන ලෝක සමාජවාදී විප්ලවයේ දශකයකට ජාත්‍යන්තර කම්කරු පන්තිය අවතීර්නවී සිටී.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ එසප ඇතුලු‍ සංවිධාන දේශපාලනිකව පරාජය කරමින්, ධනේශ්වරයේ සෑම කොටසකින්ම බිඳ ගනිමින් කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය තහවුරු කොට සමාජවාදී ක්‍රියා මාර්ගයෙන් බලමුලු‍ ගැන්වීමට අවශ්‍ය විප්ලවවාදී පක්ෂය, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීමයි.

කියවන්න: ශ්‍රී ලංකාවේ ඒකාධිපති, වර්ගවාදී රාජපක්ෂ තන්ත්‍රයට විරුද්ධව සටන් කිරීම සඳහා කම්කරුවන් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල මත පදනම් විය යුතුය, 2019 දෙසැම්බර් 7

Share this article: