රුසියානු විප්ලවයේ මේ සතිය

මැයි 8-14: ආන්ඩුවේ අර්බුදය මධ්‍යයේ බොල්ශෙවිකයෝ සමස්ත රුසියානු සමුලුව පවත්වයි

2017 මැයි 8

සහචර අධිරාජ්‍යවාදී ආන්ඩු වෙත යවන ලද කාන්දුවූ විදුලි පනිවිඩය පුවත්පත්වල පලවීමෙන් තාවකාලික ආන්ඩුව වෙව්ලුම්කද්දී, බොල්ශෙවික් පක්ෂ සමුලුව පැවැත්වෙන අතරතුර, පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ මෙන්ශෙවික් හා සමාජ විප්ලවවාදී නායකයන්ගෙන් රුසියාවේ ධනපති පාලනය රැකගැනීම සඳහා හවුල් ආන්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලීම් කෙරේ. තාවකාලික ආන්ඩුව හා යුද්ධය සම්බන්ධයෙන් ලෙනින් කෙටුම්පත් කල යෝජනාවට බහුතරයක්ගේ සහාය ලැබීමත් සමග ඔහුට සමුලුව තුල වැදගත් ජයග්‍රහනයක් අත්කර ගැනීමට හැකිවේ.

මැයි 9 (පැරනි අප්‍රේල් 26): මෙන්ශෙවිකයින් මූලිකත්වය ගෙන ඇති පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව, ජාත්‍යන්තර සාම සමුලුවක් ප්‍රකාශයට පත් කරයි

මෙන්ෂෙවික් නායක මැට්වේ ස්කොබලෙව් (1885-1938)

පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ මෙන්ෂෙවික් නායකයෝ, ඈඳාගැනීම් හා වන්දි ගෙවීම් වලින් තොර සාමයක් ඉල්ලා සිටින “ජාත්‍යන්තර සාම සමුලුවක්” සඳහා කැඳවුම් කරයි. සම්බන්ධකම් ගොඩනගා ගැනීම පිනිස මධ්‍යස්ථ හා සහචර රටවල්වල සංචාරය කිරීමට නියෝජිත මන්ඩලයක් පත් කෙරේ. මෙන්ෂෙවික් නායක මැට්වේ ස්කොබලෙව් පැවසුවේ, තමා කවරෙකු සමග හෝ, යක්ෂයා හා ඔහුගේ ආච්චි සමග පවා, සාකච්ඡා කිරීමට කැමති බවය. සාම සාකච්ඡාව ජූනි 1දා ස්ටොක්හෝම්හි පැවැත්වීමට සැලසුම් කර ඇත. ග්‍රීෂ්මය අවසන් වන විට පොදු සාමය කරා මෙය යොමු වනු ඇති බවට සහතික නිකුත්වී තිබුනි.

මෙම උපාමාරු දැමීම් සිදු වූයේ, අල්ලාගත් ප්‍රදේශ ඈඳාගන්නා බවට සාර් ඇතිකරගෙන තිබුනු රහස් ගිවිසුම් වලට තාවකාලික ආන්ඩුව බැඳී සිටින බවට පොරොන්දු වෙමින් විදෙස් කටයුතු ඇමති පවෙල් මිලියුකොව් විසින් මිත්‍ර පාක්ෂික අධිරාජ්‍යවාදී ආන්ඩු වෙත යවන ලද රහස් විදුලි පනිවිඩ ප්‍රසිද්ධයට පත්වීමත් සමගය. කාන්දුවූ විදුලි පනිවිඩ ප්‍රසිද්ධියට පත්වීම, මහජන පෙලපාලි අවුලුවනු ලැබූ අතර “අප්‍රේල් අර්බුදය” ලෙස ප්‍රකට ක්‍රියාවලියට මුල් විය. අපැහැදිලි අනාගත “සාම සමුලුවක්” ගැන ඒකපාර්ශවික නිවේදන නිකුත් කිරීමේ අරමුන, යුද්ධය කෙරෙහි මහජන විරුද්ධත්වය පීලිපැන්වීම හා අපකීර්තියට පත්ව සිටි මෙන්ෂෙවිකයන්ට විශ්වාසනීයත්වයක් ඇතිකර දීමය. ඔවුන් යුද්ධයට හා තාවකාලික ආන්ඩුවට සහාය දුන්නේය.

ධනපති ආන්ඩු අතර සාම ගිවිසුමක් ඇතිකර ගැනීමට යුද්ධය ගෙනයන්නේය යන සංකල්පය ලෙනින් ප්‍රතික්ෂේප කලේය. ලෙනින් මැයි 6දා ප්‍රව්දා පත්‍රයෙහි මෙසේ ලිවීය. “ලෝකයේ කම්කරුවන්ට තමන්ගේම ගිවිසුමක් ඇත. එනම් 1912 බැස්ල් ගිවිසුමයි... මෙම කම්කරු ගිවිසුම, විවිධ රටවල කම්කරුවන් ධනපතියන්ගේ ලාභ වෙනුවෙන් එකිනෙකාට වෙඩිතබා ගැනීම ‘අපරාධයක්’ ලෙස සැලකීය’ ලෝකයේ ජාත්‍යන්තරවාදී කම්කරුවන් සියලු ධනපති ආන්ඩු පෙරලා දැමීමත්, කුමන හෝ ධනපතියන් සමග ගිවිසුම් හා අවබෝධතා ප්‍රතික්ෂේප කිරීමත්, සියලු රටවල විප්ලවවාදී කම්කරුවන් විසින් සාර්වත්‍රික සාමයක්, ‘සෑම’ ජාතියකටම සැබෑ නිදහස ලබාදීමට සමත් සාමයක් වෙනුවෙනුත් පෙනී සිටියි.”

එවන් කිසිදු කොන්දේසියක් යටතේ යුද්ධය අවසන් කිරීම ගැන සලකා බැලීම මිත්‍ර පාක්ෂික අධිරාජ්‍ය වාදීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ තතු හමුවේ ජාත්‍යන්තර සාම සමුලුවක් රැස්කිරීමට දරන ලද මෙන්ෂෙවික් ප්‍රයත්නය අභාවයට පත් විය.

මැයි 11 (පැරනි අප්‍රේල් 28): පෙරමුනු තුල සහෝදරත්වය ඇතිකරගන්නා ලෙස සෙබලුන්ගෙන් ලෙනින් ඉල්ලා සිටියි

මෙන්ෂෙවික් නායක ඉරාක්ලි සෙරටෙලි (1881-1959)

මෙන්ෂෙවිකයන්ගේ හා සමාජ විප්ලවවාදීන්ගේ වැනෙනසුලු හා සම්මුතිවාදී පිලිවෙත් වලට එරෙහිව ලෙනින්, යුදවැදී සිටින හමුදාවල සෙබලුන් අතර වර්ධනය වන සහෝදරත්වය ප්‍රසිද්ධියේ වැලඳ ගත්තේය. “සහෝදරත්වයේ වැදගත්කම” යන හිසින් යුත් ලිපියක ඔහු මෙසේ ලියයි:

අර්ධ නිධනීන් හා දුගී ගොවීන්ගෙන් යුත් පීඩිත පන්තීන්ගේ අව්‍යාජ ඉව පිලිබඳ වැටහීමෙන් යුත් පන්ති විඥාත කම්කරුවෝ, සහෝදරත්වය සලකනු ලබන්නේ බැරෑරුම් අනුකම්පාවකිනි. පැහැදිලිවම සහෝදරත්වය, සාමය කරා මාවතකි. පැහැදිලිවම මේ මාවත දිව යන්නේ ධනපති ආන්ඩු හරහා, ඔවුන් සමග සන්ධාන හරහා නොව, ඔවුන්ට එරෙහිවය. පැහැදිලිවම මේ මාවත විවිධ රටවල කම්කරුවන් අතර සහෝදරත්වයේ විශ්වාසය ගොඩනගා, සවිමත් කර තහවුරු කිරීමට උදව් වේ. පැහැදිලිවම මේ මාවත බැරැක්ක සිරගෙවල්වල වෛරයට පාත්‍රව තිබෙන විනයගත කිරීම් ද සෙබලා ‘තම’ නිලධාරියාට ද ජෙනරාල්ට ද තම ධනපතියාට ද අන්ධ ලෙස කීකරු වීමේ විනය බිඳ හෙලීම අරඹනු ඇත. නිලධරුවන් බොහොමයක් එක්කෝ ධනපති පන්තියට අයත්ය, නැතිනම් එහි අවශ්‍යතා ආරක්ෂා කරයි. පැහැදිලිවම සහෝදරත්වය ජනතාවගේ විප්ලවවාදී මූලිකත්වය ගැනීමකි. එය පීඩිත පන්තීන්ගේ හෘද සාක්ෂිය, විඥානය හා දිරිය පුබුදුවාලයි, වෙනත් වචනයකින් කිවහොත් එය වනාහි, සමාජවාදී කම්කරු පන්ති විප්ලවයට තුඩු දෙන ඉනිමගේ හිනිපෙතිය.

දැන් සෙබලු, පැහැදිලි දේශපාලන ක්‍රියාමාර්ගයක් සාකච්ඡාවට ගන්නා සහෝදරත්වයේ ආකෘතියක් අනුගමනය කල යුතුය. අපි අරාජකවාදීන් නොවන්නෙමු. පුද්ගලයින්, කන්ඩායම් හෝ සාමාන්‍ය “ජනතාව” විසින් කරනු ලබන “ප්‍රතික්ෂේපයක්”, මගින් යුද්ධය අවසන් කල හැකි යයි අපි නොසිතන්නෙමු. අප යුද්ධයේ අවසානය වෙනුවෙන් පෙනී සිටින්නෙමු. එනම් රටවල් ගනනාවක විප්ලවය මගින් නව පන්තියක් විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීමෙනි. එම පන්තිය ධනවාදීන්, අඩ වශයෙන් ධනපතියන් මත යැපෙන්නාවූ සුලු ධනපතීන් නොවේ, කම්කරු පන්තිය හා අර්ධ නිර්ධනීන්ය...

සහෝදරවරුනි, සෙබලුනි, මේ ක්‍රියාමාර්ගය ඔබ අතර ද ජර්මානු සොල්දාදුවන් සමග ද සාකච්ඡා කරන්න.

මෙන්ෂෙවිකයෝ සහෝදරත්වය “පිලිකුල් ක්‍රියාවක් හා ද්‍රෝහිත්වයක්” ලෙස සැලකූහ. ඔවුහු ජර්මනිය සමග වෙනම සාමයක් පිලිබඳව සාකච්ඡා කිරීමට එකහෙලා විරුද්ධ වූහ. “වෙනම සාමයක් ලඟාකර ගැනීමට අපි දැන් මධ්‍යම යුරෝපයේ ජනතාවන් වෙත සහෝදරත්වයේ හස්තය දිගු කරන්නෙම් ද, එය අනිවාර්යයෙන්ම තුඩු දෙනු ඇත්තේ, රුසියාවේ කඩාවැටීමට හා අතුගෑවී යාමටය. අපි අපගේ මිතුරන්ගෙන් වෙන්වීමට බලාපොරොත්තු නොවන්නෙමු” යනුවෙන් පැවසුවේ, මෙන්ෂෙවික් නායක ඉරාක්ලි සෙරටෙලිය.

එසේම මැයි 11දා තාවකාලික ආන්ඩුවේ මූලස්ථානයෙහි සිට පැවැත්වූ කථාවකදී ධනපති නායක මිකායෙල් රොඩ්සියන්කෝ, වෙනම සාමයක් පිලිබඳ අදහස හෙලාදුටුවේය. “අපගේ කිසිම කැමැත්තකින් තොරව අප මත පටවන ලද යුද්ධය, එබැවින් අප කිසිදු ආකාරයකින් වග නොකියන, සාර්ථක ලෙස නිමා කල යුතුය. ඒ ආකාරයෙන් රටේ ඒකාග්‍ර භාවය හා රුසියාවේ ජාතික ගෞරවය මුලුමනින්ම සුරක්ෂිත කල යුතුය. ජර්මානු මිලිටරිවාදයේ පරිපූර්න පරාජයකින් පමනක් ලෝකයේ සන්තෘෂ්ඨිය සහතික කෙරෙනු ඇත” රොඩ්සියන්කෝ පැවසීය. ඔහු 1913දී සාර්ට මෙසේ පැවසීය: “යුද්ධයක් සතුටින් භාරගන්නා අතර එය ආන්ඩුවේ කීර්තිය නංවනු ඇත.”

මැයි 8-12 (පැරනි අප්‍රේල් 25-29): සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුව නව මධ්‍ය ම කාරක සභාවක් පත්කරගෙන, යුද්ධය හා තාවකාලික ආන්ඩුව පිලිබඳ යෝජනා සම්මත කරයි

සමස්ත රුසියානු බොල්ශෙවිකයන්ගේ සමුලුව පත්කරගත් මධ්‍යම කාරක සභාව. ඉහල පෙල වමේ සිට දකුනට: ජෝසෆ් ස්ටාලින්, ව්ලැඩිමීර් නෝගින්, ග්‍රිගෝරි සිනවියෙව්. මැද පෙල: ලැකොව් ස්වර්ඩ්ලොව්, ව්ලැඩිමීර් ලෙනින්, ලෙව් කමනෙව්. යටි පෙල: අයිවර් ස්මිල්ගා, ග්‍රෙගෝරි ෆෙඩරාව්, ව්ලැඩිමීර් මිලියුටින්.

සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුවේ මුඛ්‍ය කර්තව්‍යය වූයේ, සිය අප්‍රේල් ප්‍රවාදයන් ඉදිරිපත් කල ආස්ථානයන් කරා පක්ෂය යලි දිශානුගත කිරීමේ ලෙනින්ගේ ව්‍යායාමයයි. යුද්ධය හා තාවකාලික ආන්ඩුව පිලිබඳ ලෙනින් විසින් කෙටුම්පත් කරන ලද යෝජනා දෙක මේ අරගලයේ වැදගත් ජයග්‍රහනයන් විය. යුද්ධය පිලිබඳ යෝජනාව, විශේෂයෙන්ම, සාර් පෙරලා දැමීමෙන් පසුව පක්ෂයේ සමහර කොටස් අතර පැවති ආරක්ෂනාවාදී හා සහයෝගිතාවාදී මනෝභාවයට පහරක් විය. යෝජනාව මෙසේ පැවසීය:

යුද්ධ ගෙනයන්නේ ආන්ඩු විසින් බව ද යුද්ධ අනිවාර්යයෙන් නිශ්චිත පන්තිවල පිලිවෙත් සමග බැඳී ඇතැයි ද යන සත්‍යය අපගේ පක්ෂය, ඉවසීමෙන් නමුත් අවධාරනයෙන් ජනතාවට පැහැදිලි කරයි. මේ යුද්ධය නිමාවකට ගෙන ආ හැක්කේ ද ප්‍රජාතන්ත්‍රවාදී සාමය ඇති කල හැක්කේ ද සම්පූර්න රාජ්‍ය බලය, අඩුම තරමින් යුදවාදී රටවල් ගනනාවකදීවත්, නිර්ධනීන් හා අර්ධ නිර්ධනීන් අතට පත්වීමෙන් පමනි. ප්‍රාග්ධනයේ පීඩාකාරී පාලනය සැබවින්ම අවසන් කල හැක්කේ ඔවුන්ට පමනි.

තවත් යෝජනාවකින් සමුලුව තීන්දු කලේ, තාවකාලික ආන්ඩුවට හා අධිරාජ්‍යවාදී යුද්ධය දිගටම ගෙන යාමට සහයෝගය දුන්, “සුලු ධනපති ආරක්ෂනවාදී කන්ඩායමේ” මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවවාදීන් සමග මොනම එක්සත් කමක් හෝ පරම වශයෙන්ම නොපවතින බවය. එය මෙසේ ද පැවසීය: අව්‍යාජ ජාත්‍යන්තරවාදී ආස්ථානයක් ගෙන ඇති කන්ඩායම් හා ප්‍රවනතා සමග සමීප සම්බන්ධතා පවත්වාගත හැක්කේ, සමජවාදය පාවාදුන් සුලු ධනපති පිලිවෙතින් නිශ්චිතවම වෙන්වීමේ පදනම මත පමනි.”

පක්ෂය තම ක්‍රියාමාර්ගය යලි සැකසීමට ද තීන්දු කලේය. කෙසේ වෙතත් ප්‍රශ්න විසඳුනේ නැත. ඉතිහාසඥ ඇලෙක්සැන්ඩර් රබිනොවිච්ට අනුව, රුසියාවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍ර විප්ලවය අවසන්වී ඇතැයි යන ලෙනින්ගේ මතය, සමුලුවේ සියලූ යෝජනාවන්ගෙන් බැහැර කරන ලදී. තව ද අලුතෙන් පත්කරගත් මධ්‍යම කාරක සභාවේ සංයුතිය පිලිබිඹු කලේ, එහි සාමජිකයින් 9 දෙනාගෙන් 5 දෙනෙක්ම සැදුම්ලත් කමනෙව්ගේ දක්ෂිනාංශයේ බලපෑමයි.

බොල්ශෙවික් පක්ෂ අභ්‍යන්තර අරගලය සිදු වූයේ, තුන්වන ජාත්‍යන්තරය සඳහාත් ධනේශ්වරය සමග පන්ති සහයෝගිතාවය හා ආරක්ෂනවාදී පිලිවෙතින් නිශ්චිතවම වෙන්වීම සඳහාත් ලෙනින්ගේ නායකත්වයෙන් සිදුවෙමින් පැවති අරගලයේ සන්දර්භය තුලය. බොල්ශෙවික් පක්ෂය තුල මේ ප්‍රශ්න මුල්කරගෙන සිදුවෙමින් පැවති අරගල, ලෙනින්ට විරුද්ධ ඡන්දයක් ලෙස සමුලුව තුල සම්මත කල යෝජනාවකින්, මැයි 18දා (පැරනි දිනදර්ශනයට අනුව) පැවැත්වෙන සිමර්වෝල්ඩ් වාමාංශයේ ජාත්‍යන්තර සමුලුවට බොල්ශෙවිකයින් සහභාගී විය යුතු යයි තීන්දු කිරීම මගින් සලකුනු කලේය. ලෙනින් යෝජනාවට විරුද්ධ විය. පසුව ඔහු, සිමර්වෝල්ඩ් කමිටුව මේ අවස්ථාවේ මුලුමනින්ම පාහේ අධිකාරවත් කරන්නේ කාල් කෞට්ස්කි වැනි මාධ්‍යමික බලවේගයන් වන තතු හමුවේ, ඊට සහභාගී වීම වැරැද්දක් ලෙස ප්‍රසිද්ධියේම සඳහන් කලේය.

සති කිහිපයකට පෙරාතුව ලෙනින් විසින් ලියන ලද “අපගේ විප්ලවය තුල නිර්ධනීන්ගේ කාර්යභාරය” යන හිසින් යුත් ලිපි මාලාවක් තුල:

තවදුරටත් සිමර්වෝල්ඩ් කරච්චලය දරාගත නොහැකිය. අප සිමර්වෝල්ඩයේ කවුට්ස්කිවාදීන්ගේ “නාමයෙන් ප්ලෙඛනොව්ලාගේ හා ස්කීඩමන්ස්ලාගේ ස්වෝත්තමවාදී ජාත්‍යන්තරය සමග අර්ධ සන්ධානයක් පවත්වා නොගත යුතුය. අප මෙම ජාත්‍යන්තරයෙන් වහාම වෙන්විය යුතුය. අප සිමර්වෝල්ඩයේ රැඳී සිටින්නේ තොරතුරු ලබාගැනීමේ අරමුනෙන් පමනි. නව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරයක් කඩිනමින්, මේ දැන් පිහිටුවිය යුත්තෝ අපි වම්හ. නොඑසේනම් අප මේ නව ජාත්‍යන්තරය දැනටමත් පිහිටුවා ඇත, එය ක්‍රියාත්මක යයි ප්‍රසිද්ධියේ පිලිගැනීමට බිය නොවිය යුතුය. අපගේ පක්ෂය “කල් මැරිය” යුතු නැත. ඉක්මනින්ම තුන්වන ජාත්‍යන්තරය පිහිටුවිය යුතුය. එවිට ජර්මනියේ හා බ්‍රිතාන්‍යයේ සිරගත කර සිටින සිය ගනනක් සමාජවාදීන් සැනසුම් සුසුම් හෙලනු ඇත. දස දහස් ගනන් ජර්මානු කම්කරුවෝ දැන් වැඩවර්ජන හා හා පෙලපාලි වලට සම්බන්ධ වෙති. ඉන් බියපත්වන අධම හා තක්කඩි විල්හෙල්ම්, අපගේ තීන්දුව අපගේ නීති විරෝධී පත්‍රිකා වලින් දැනගනු ඇත. එසේම කාල් ලිබ්නෙක්ට් කෙරෙහි අපගේ සහෝදරාත්මක විශ්වාසය ද දැන් පවා ඔහුට පමනක්ම පැවති “විප්ලවවාදී ආරක්ෂනවාදය” සඳහා සටන වෙනුවෙන් ගත් අපගේ තීන්දුව කෙරෙහි වූ විශ්වාසය, මෙය කියවන ඔවුන්ගේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදය ශක්තිමත් කෙරෙනු ඇත.

මැයි 12-13: ගුච්කොව් හා කොර්නිලොව් ඉල්ලා අස්වෙති

ලව්ර් කොර්නිලොව් (1870-1918)

මැයි 12දා (පැරනි අප්‍රේල් 29) තාවකාලික ආන්ඩුවේ යුද ඇමති ඇලෙක්සැන්ඩර් ගුච්කොව්, මිලියුකොව්ගේ කාන්දුවූ විදුලි පනිවිඩය මුල්කරගෙන ඉල්ලා අස්වේ. තාවකාලික ආන්ඩුව සිය විශ්වාසනීයත්වය යලි අත්කර ගැනීමේ අරගලයක යෙදී සිටියදී බොල්ශෙවිකයින්ගේ කීර්තිය වැඩෙයි.

මිලියුකොව්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවදා පෙට්‍රොග්‍රෑඩ් සේනාංකයේ ආඥාපති ජෙනරාල් ලව්ර් කොර්නිලොව් ද ඉල්ලා අස්වෙයි. කලින් රුසියානු අධිරාජ්‍ය හමුදාවේ සිටි උසස් නිලධාරියා ප්‍රකාශ කලේ, තමන් “දුෂ්කර තත්වයකට” ඇද දැමූ සෝවියට් සභාවේ අනුමැතිය සඳහා තම නියෝග පිලිගැන්වීම දිගටම කරගෙන යාමට අකැමති බවයි. අදහස් නොකල බව පෙන්නුම්කල උත්ප්‍රාසයකින් යුක්තව කොර්නිලොව් නිවේදනය කලේ, කම්කරුවන්ට හා සෙබලුන්ට පාලනය කිරීමට මෙතරම්ම අවශ්‍ය නම්, “ඔවුන් වගකීම් දරපුවාවේ.”

ජර්මානු ප්‍රහාරයක් අනිවාර්ය බව ද පෙට්‍රොග්‍රෑඩයේ මිලිටරි සංචිත සංවිධානය කල යුතු යයි ද කියා සිටිමින් කොර්නිලොව් මැයි 6දා නියෝගයක් නිකුත් කලේය. සාර්වාදී ප්‍රතිවිප්ලවයක් ගැන සෙවිල්ලෙන් සිටි පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව, ඊට වහාම ප්‍රතිචාර දක්වමින්, එහි ලිඛිත අවසරයකින් තොරව අසල ඇති කිසිදු සේනාංකයකින් සෙබලුන් අගනුවර වෙත යැවීම තහනම් කරන නියෝගයක් පැනවීය.

මැයි 13 ලන්ඩනය: බස් කම්කරුවෝ 10,000ක් වැඩවර්ජනය කරති

ලන්ඩනයේ පොදු බස් සංගමයේ කම්කරුවෝ, යුද කාලීන ප්‍රසාද දීමනා හා වෘත්තීය සමිති අයිතීන් ඉල්ලා 1917 මැයි 13දා වැඩ නතර කරති

ලන්ඩනයේ පොදු බස් සමාගමේ හා මෙසර්ස් ටිලින්හි සියලු සේවකයින්ගේ මහා සභා රැස්වීමක් යූස්ටන් තියටර්හිදී පැවැත්වින. බස් කම්කරුවන් 5000ට වැඩි පිරිසක් වර්ජනයට පක්ෂව ඡන්දය දුන්හ. ඔවුන් ඉල්ලා සිටියේ සිය සමිතිය හා ලන්ඩනයේ හා ප්‍රාදේශීය බලපත්‍රය ලත් වාහන කම්කරුවන් පිලිගන්නා ලෙසත්ය. වර්ජන තීන්දුවට විරුද්ධවූයේ කම්කරුවන් 600ක් පමනි.

වර්ජකයින්ගේ අනෙකුත් ඉල්ලීම් අතර යුද කාලීන ප්‍රසාද දීමනා සතියකට පවුම් 10ක් හා කලින් නෙරපා හරින ලද බස් කම්කරුවන් 6දෙනා යලි සේවයේ පිහිටුවීම විය. බ්‍රිතාන්‍යය 1914දී යුද්ධයට අවතීර්නවූ තැන් පටන් ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් මූලික අවශ්‍යතාවන්හි මිල ගනන් ද සමග ජීවන වියදමේ වැඩිවීම කෙරෙහි කෝපය, ප්‍රසාද දීමනා ඉල්ලීමෙන් පෙන්නුම් කෙරේ.

දිනය ආරම්භයේදීම කම්කරුවන් තම උපකරන බිම තැබීමෙන් පසුව රැස්වීම ආරම්භ විය. සමාගම පැවසුවේ බස් වලින් සියයට 25ක් ධාවනය කරවීමට තමන්ට හැකිවූ බවය. වැඩවර්ජනය කැඳවීමෙන් 1912 ගිවිසුම උල්ලංඝනය කල බවට සමාගම සමිතියට චෝදනා කලේය.

මැයි 14 (පැරනි මැයි1): මෙන්ෂෙවිකයෝ නව ධනපති හවුල් ආන්ඩුවට රිංගති

“අප්‍රේල් අර්බුදය” මධ්‍යයේ සෝවියට් සභා නායකත්වයේ උදව් ඇතිව පිහිටුවන ලද නව හවුල් ආන්ඩුවේ සාමාජිකයෝ. පහල පෙල වමේ සිට දකුනට: ඒ. අයි. කොනවලොව්, ඒ. ඒ. මනියුලොව්, එෆ්. අයි. රොඩිචෙව්, වී. එන. ල්වොව්, අයි. වී. ගොඩ්නෙව්,. මැද පෙල: ඒ. අයි. ෂින්ගරෙව්, එම්. අයි. ටෙරෙෂෙන්කෝ, ජී. ඊ. ල්වොව්, එන්. වී. නෙක්රසොව්, පී. එන්. පෙරවසෙව්. උඩ පෙල: එම්. අයි. ස්කොබලෙව්, වී. එම්. චර්නොව්, ඒ. එෆ්. කෙරන්ස්කි, අයි. ජී. සෙරටෙලි, ඒ. වී. පෙෂ්කනොව්. [මූලාශ‍්‍රය: අලෙක්සැන්ඩර් රබිනොවිච්, බොල්ශෙවිකයෝ බලයට පත්වෙති, හේමාර්කට් පොත් 2009, xxviiපිටුව.]

වැඩෙන යුද විරෝධී මනෝ භාවයේ ප්‍රතිපලයක් වශයෙන් ගැඹුරුවන අර්බුදයෙන් ගැලවීමේ මගක් සොයාගැනීමේ අරගලයක නිරතව සිටියදී, පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ මෙන්ෂෙවික් හා සමාජවාදී විප්ලවවාදී නායකත්වය, සිය සාමාජිකයින්ට විවෘතවම ආන්ඩුවට සම්බන්ධ වීමට ඉඩ දීමට තීන්දු කරති. තීන්දුව කරා පැමිනියේ, සෝවියට් සභාව සමග “හවුල් ආන්ඩුවක්” පිහිටුවීම සඳහා ධනපති ඇමතිවරුන් විසින් අප්‍රේල් 26දා කරන ලද ඉල්ලීමෙන් පසුව, සෝවියට් සභාවේ නායකයින් හා ධනපති ඇමතිවරු අතර දින ගනනාවක් තිස්සේ පැවති සාකච්ඡාවන්ගේ ප්‍රතිපලය ලෙසය.

මෙන්ෂෙවිකයින් හා සමාජ විප්ලවවාදීන් එන්ට එන්ටම ධනපති පාලනයේ ගැලවුම් කාරයින් ලෙස ඉටුකරන විවෘත භූමිකාව මුල්කරගෙන සමස්ත රුසියානු බොල්ශෙවික් සමුලුව ඔවුන් දැඩි ලෙස හෙලාදුටුවේය. 7 දෙනෙකුගේ සහභාගිත්වයෙන් තොරව හවුල් ආන්ඩුව පිලිබඳ යෝජනාව ඒකමතිකව සම්මත විය. එහි මෙසේ සඳහන් විය:

කම්කරුවන්ගේ පක්ෂය මෙසේ පවසයි: අධිරාජ්‍යවාදී යුද්ධය ගෙන යන අමාත්‍යාං ශයකට ඇතුලුවන කවරෙක් වුව ද ඔවුන්ගේ යහපත් චේතනා නොතකා හවුල් වන්නේ, ධනපතියන්ගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති වලටය. මේ සියල්ලේම පදනම මත කම්කරුවන්ගේ පක්ෂය ඉතාමත් තීරනාත්මක ආකාරයෙන්, නියෝජිතයින් ලෙස කම්කරුවන්ගේ හා සෙබලුන්ගේ සෝවියට් සභා මන්ත්‍රීන් හවුලේ අමාත්‍යාංශ වලට යැවීමට එරෙහිව පෙනී සිටියි.

දින කිහිපයකට පසුව පිහිටුවන ලද නව හවුල් ආන්ඩුවට අනෙකුත් අය සමග අධිකරන ඇමති ලෙස ඇලෙක්සැන්ඩර් කෙරන්ස්කි, තැපැල් හා විදුලි සංදේශ ඇමති ලෙස ඉරාක්ලි සෙරටෙලි හා කම්කරු ඇමති ලෙස මෙන්ෂෙවිකයෙකු වන මට්යෙව් ස්කොබලෙව් ද ඇතුලත් විය.

මැයි 14දා වොෂින්ටනය: රූට් කොමිසම රුසියාව බලා පිටත්වේ

වුඩ්රෝ විල්සන් රුසියාව බලා යන එලිහු රූට් හා ඔහුගේ කොමිසම අමතයි. විල්සන් රූට් කොමිසමට, තාවකාලික ආන්ඩුව සමග නය ගිවිසුම් ගැන සාකච්ඡා කිරීමට පුලුල් බලතල ලබාදෙයි. එහි “ප්‍රමුඛ කර්තව්‍යය මිත්‍ර ගිවිසුමේ මාවතෙහි රුසියාව තබාගැනීම” යයි නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය කෙලින්ම පැවසීය. වෝල් වීදිය සමග සමීප බැඳීම් ඇති හිටපු යුද ලේකම් රූට්, එය කෙලින්ම තාවකාලික ආන්ඩුව හමුවේ තබනු ඇත: “සටන නැතිනම් නය නැත.

මැයි 14දා නිව් යෝර්ක්: නිව් යෝර්ක් ටයිම්ස් පත්‍ර ය රුසියාව සඳහා “ආඥාදායකත්වය” ඉදිරිපත් කරයි

නිව් යෝර්ක් ටයිම්ස් සිරස්තලය

රුසියානු කම්කරුවන් හා සෙබලුන් අතර යුද්ධය කෙරෙහි පවතින විරුද්ධත්වය ගැන කෝපයට පත්, ඇමරිකානු පාලක පන්තියේ ලිබරල්වාදී කොටසේ ප්‍රමුඛ ප්‍රයකාශනය වන නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය, ආඥාදායකත්වයක් ඇටවීමේ හැකියාව ගැන විවෘතව කථා කරයි.

“රුසියාව බේරාගන්නා ආඥාදායකයෙකු ලෙස කථාකරන” යනුවෙන් ලියන ටයිම්ස් පත්‍රය: “රුසියාව බේරාගත හැක්කේ, බලය, අධිෂ්ඨානය, නිර්දය භාවය හා නූතන ක්‍රොම්වෙල් කෙනෙකුගේ තීක්ෂන රාජ්‍යතාන්ත්‍රික භාවය වෙනුවෙන් වන ඒත්තුගැනීම මත පමනකි. නැතිනම් අවසානයේදී, ජර්මනියේ ආධිපත්‍ය යටතේ කුඩා සමූහාන්ඩු ගනනාවක් මගින් ඒකාබද්ධ රට කැඩී බිඳී යාමේ තත්වයකට පත්වනු ඇත. ආඥාදායකත්වයක කුමන හෝ ආකෘතියක් පිලිබඳව බියෙන් හා පිලිකුලෙන් යුත් අයගේ සිත් ඇදගන්නා තත්වයක් එයින් ඇති විය හැකිය.”

මැයි 13 නිව් යෝර්ක් නගරය: මාගරට් සැන්ගර්ගේ ජීවිතය පදනම් කරගත් චිත්‍රපටයක් වන තොටිල්ල පදවන අත බලධාරීන් විසින් තහනම් කරනු ලබයි.

1917 මැයි 13දා නිව් යෝර්ක්හිදී තහනම් කරන ලද තොටිල්ල පදවන අත (The Hand that Rocks the Cradle) චිත්‍රපටයේ පෝස්ටරයක්

ලොයිස් වෙබර් හා ෆිලිප් ස්මලි විසින් අධ්‍යක්ෂනය කරන ලද, ලිංගික අධ්‍යාපනය හා පවුල් සැලසුම්කිරීම පිලිබඳ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන නිහඬ චිත්‍රපටයක් වන තොටිල්ල පදවන අත, නිව් යොර්ක්හි වරලත් කොමසාරිස් ජෝර්ජ් බෙල් විසින් තහනම් කරන ලදී.

වෘත්තාන්තමය චිත්‍රපටය ලිහිල් ආකාරයෙන් පදනම්ව ඇත්තේ මාගරට් සැන්ගර්ගේ නඩුව මතය. ඇය උපත් පාලනය හා ලිංගික අධ්‍යාපනය ගැන උද්ඝෝෂනවල නිරතව සිටියි. එක් ඉතිහාසඥයෙකුට අනුව, හොලිවුඩයේ පලමු කාන්තා අධ්‍යක්ෂිකාව වන වෙබර්, “වෛද්‍යවරයෙකුගේ බිරිඳ ලෙස රඟපාමින්, නීතියෙන් අවසර නැති තතු හමුවේ ඇගේ ස්වාමි පුරුෂයා ප්‍රතික්ෂේප කරන, උපත් පාලන උපකරන පිලිබඳ තොරතුරු පතුරුවා හැරීමට තීරනය කරයි. එය කෙලවර වන්නේ උසාවියෙනි.” තොටිල්ල පදවන අත “දුප්පතුන් මුහුන දෙන දුෂ්කරතා, විශාල පවුල් වලට වඩා කුඩා පවුල් වලට සුවපහසු ජීවිතයක් සඳහා ඇති ඉඩ” ගැන ද අවධානය යොමුකර ඇත. චිත්‍රපටය 1916 නිකුත්වූ එම කන්ඩායමේම මගේ දරුවන් කොහි ද? යන කෘතියට නිල නොවන සමානකම් දක්වයි.

නිව් යෝර්ක්හිදී බෙල් විසින් සතියකට පෙර චිත්‍රපටය තහනම් කිරීමෙන් පසුව, සැන්ගර්ගේම උපත් පාලනය යන වාර්තා චිත්‍රපටය ද වාරනයට ලක් විය. එය පෙන්වන ලද්දේ පුද්ගලික දැක්මක් ලෙස මැයි 6දා එක් වරක් පමනි. උපත් පාලනය දේශනාකලවුන් හා නිව් යෝර්ක් නිලධාරීන් අතර ගැටුම, දිගු කලක් තිස්සේ අපකීර්තිමත් ඇන්තනි කොම්ස්ටොක් විසින් මෙහෙයවන ලද ප්‍රාදේශීය බලධාරීන් හා පවුල් සැලසුම් කිරීම හා ගබ්සාව පිලිබඳ තොරතුරු ද ඇතුලු සිවිල් අයිතිවාසිකම් හා නිදහස් භාෂනය වෙනුවෙන් පෙනීසිටි අය ද අතර කෙරීගෙන ගිය යුද්ධයේ තවත් අවස්ථාවකි.

තොටිල්ල පදවන අත හා උපත් පාලනය යන දෙකම අහිමිවූ චිත්‍රපට ගනයට වැටේ, එහි පිටපත් සොයාගැනීමට නැත.