අසාන්ජ් හා මෑනිංට දඬුවම් කිරීම කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකි

The persecution of Assange and Manning is an attack on the working class

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි, 2019 මැයි 7

මැයි 4 වන සෙනසුරාදා ජාත්‍යන්තර කමිටුව සිය 2019 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය පැවැත්වීය. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාකයේ හයවන වාර්ෂික අන්තර්ජාල මැයි දින රැලියේදී, ධනේශ්වර ක්‍රමයේ ලෝක අර්බුදයේ විවිධ පැතිකඩවල් හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල පිලිබඳව ලෝක පක්ෂයේ හා ලොව පුරා ඊට සහාය දක්වන සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයන් 12 දෙනෙකුගේ දේශනවලට සවන්දීමට හැකි විය.

රැලියේදී පවත්වන ලද දේශන ඉදිරි දිනවලදී ලෝසවෙඅහි පලකෙරෙනු ඇත. පහත පල කරන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ (ඕස්ට්‍රේලියානු) ජාතික කමිටු සාමාජික ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසින් පවත්වන ලද දේශනයයි. එහි ආරම්භය වශයෙන්, ලෝසවෙඅහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති හා ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් පවත්වන ලද සමාරම්භක දේශනය මැයි 18 දාතමින් ද ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් ක්‍රිස්ටෝෆ් වෑන්ඩ්‍රියර් විසින් කරන ලද දේශනය මැයි 19 දාතමින් ද, ලතින් ඇමරිකානු කර්තෘ බිල් වෑන් ඕකන් විසින් පවත්වන ලද දේශනය මැයි 24 දාතමින් ද , ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පවත්වන ලදදේශනය ජූනි 10 දාතමින් ද පල කෙරුනි.

***

මැයි දිනය දා ජාත්‍යන්තර සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ එක් ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් වන්නේ සියලුම පන්ති යුද සිරකරුවන්ට අපගේ සහයෝගිත්වය පිරිනැමීම හා ඔවුන්ගේ නිදහස සුරැකීමේ අපගේ උත්සාහය වඩා බලවත් කිරීමට ප්‍රතිඥා දීම යි.

අද ලෝකයේ ඉතාමත් ප්‍රමුඛ යුද සිරකරුවන් වන්නේ විකීලීක්ස් නිර්මාතෘ හා ප්‍රකාශක ජූලියන් අසාන්ජ් හා ධෛර්යසම්පන්න අකටයුතු හෙලිකරන්නිය වන චෙල්සී මෑනිං ය. ලෝකයේ ඉතාමත් බලගතු ආන්ඩු විසින් ඔවුන්ට කුරිරු ලෙස වධ හිංසා පමුනුවන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියට ඔවුන්ගෙන් ලැබුන සේවය වෙනුවෙනි.

අසාන්ජ් හා මෑනිං අපරාධ කර නොමැත. ඔවුන් ගොදුරුව සිටින්නේ එක්සත් ජනපදය හා එහි සියලු සහචරයන්ගේ නීති විරෝධී යුද්ධ, සමූහ සෝදිසි කිරීමේ මෙහෙයුම් හා දෛනික රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කිරීම හේතුවෙනි.

මෙම ජාත්‍යන්තර මැයි දින සැමරුමේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සියලු ශාඛා අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ උත්සාහයන්ට එරෙහිව ද ඔහුගේ නිදහස දිනා ගැනීම සඳහා ද වන අපගේ දීර්ඝ උදස්ඝෝෂනය දැඩි කිරීමට කැපවෙති. එමෙන් ම චෙල්සී මෑනිං වහා නිදහස් කර ගැනීමේ අපගේ අරගලය ව්‍යාප්ත කිරීමට අපි පොරොන්දු වෙමු. මෙය කම්කරු පන්තිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට තීරනාත්මක දේශපාලන අරගලයක් වනු ඇත.

රැස් වී සිටින්නේ බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් අසාන්ජ් ඇද ගෙන ගොස් හිරගත කිරීමෙන් සති තුනකට පසු ය. බෙහෙවින් රෝගාතුරව සිටින, ලොව පිලිගත් මාධ්‍යවේදියාට බි්‍රතාන්‍ය පොලිස් භටයන් හයදෙනෙකු විසින් අඩත්තේට්ම් කිරීම හා වසර හතක් ඇතුලත ඔහු සූර්යාලෝකයට පලමු වතාවට අනාවරනය වීමෙන් බිය වීම පෙන්වන රූපරාමු, ධනේශ්වර ප්‍රජාතන්තවාදයේ පරිහානිය හා ලෝකය පුරා ආන්ඩු ඒකාධිපතිත්වයට දෙසට හැරීමේ සන්ධිස්ථානයක් ලෙස ඉතිහාස ගතවනු ඇත.

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ය. එක්සත් ජතීන්ගේ සංවිධානය විසින් ආරක්ෂා කෙරෙන, දේශපාලන සිරකරුවෙකු ලෙස ඔහුගේ තත්වය මැඬ, අවහිර කරන ලද්දේ වෝල්වීදියේ බැංකු හා ඔත්තුසේවා ඒජන්සි සමග වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින දූෂිත ඉක්වදෝරියානු තන්ත්‍රය විසිනි.

අසාන්ජ් රඳවා ගැනුනු වහා ම අනාවරනය වූයේ, එක්සත් ජනපදයේදී චෝදනාවලට මුහුන දී ම සඳහා ඔහු උදර්පනය කරන ලෙස ට්‍රම්ප් පාලනාධිකාරිය ඉල්ලීමක් නිකුත් කර තිබූ බව යි. මෙය නීත්‍යානුකූල විකීලික්ස් ප්‍රකාශන කටයුතු වලට එරෙහි එක්සත් ජනපද අධිචෝදනා මග හැරීමට, ඔහුට දේශපාලන රැකවරනය අවශ්‍ය යැයි විකී ලීක්ස්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා අසාන්ජ් ම ද කරන ලද අනතුරු ඇඟවීම තහවුරු කිරීමකි.

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම, අත්‍යාසමාන උදර්පන මෙහෙයුමක් සඳහා කඩතුරාවක් පමනක් යැයි විස්තර කල හැකි අධිකරනමය විකාරයකි. ඉක්වදෝරියානු තානාපති කාර්යාලයෙන් ඔහු ඩැහැ ගෙන යාමෙන් පැය කීපයක් ඇතුලත, ගොතන ලද ඇප චෝදනා මත ඔහු වරදකරු කෙරුනු අතර, මූලාසන විනිශ්චයකාරවරිය විසින් ඔහු “ආත්මරාගිකයෙකු” යැයි හෙලා දැක, ප්‍රකෝපකාරී ලෙස පවසන ලද්දේ “තම ජීවිතයෙන් වන්දි ගෙවීම” පිනිස ඔහු එක්සත් ජනපදයට උදර්පනය කල හැකි බව යි.

එතැන් සිට, වධ හිංසා හා අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා කුප්‍රකට එක්සත් ජනපද මිලිටරි බනධනාගාරය අනුව, එක්සත් රාජධානියේ ගුවන්තනාමෝ ලෙස හංවඩු ගැසුනු, බෙල්මාර්ෂ් හිරගෙහි අසාන්ජ් හුදකලා ව සිර කර ඇත.

පසු ගිය බදාදා, ඇප චෝදනා මත අසාන්ජ් සති 50ක සිරදඬුවමකට යටත් කරන ලදී. එසේ කෙරුනේ ඔහු මේ වන විටත් අනිවාර්ය රැඳවුමේ වසර ගනනාවක් ගෙවා සිටි බව, ඔහු ඇප මුදල් සින්න කර දී සිටි බව හා ඔහු ඉක්වදෝරියානු තානාපති කාර්යාලය වෙත යාමේ හේතුව (ඔහු දේශපාලනිකව ගොතන ලද එක්සත් ජනපද නඩුවකට මුහුන දුන් බව) තහවුරු වී තිබීම යන කාරනා නො තකා ය.

බ්‍රිතාන්‍ය පාලක පන්තියේ සියලු දුෂ්ඨ හා පලි ගැනීමේ අභිලාෂය පෙන්නුම් කරමින් විනිශ්චයකාරවරිය, අසාන්ජ්ගේ නීතිඥයින්ගේ සියලු තර්ක මුලුමනින් ම ප්‍රතික්ෂේප කල අතර ඔහු සම්බන්ධයෙන් ඇගේ අවඥාව සැඟවීමට උත්සාහ නො කලා ය.

ඇගේ තීන්දුව ප්‍රදර්ශනය කරන්නේ අසාන්ජ් එක්සත් ජදනපදයට උදර්පනය කිරීම වැලක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ සාර්ථක ආරක්ෂාවක් ගොඩැනැගිය හැකි සමාජ බලවේගය වන කම්කරු පන්තිය බලුමුලු ගැන්වීමට වඩා අඩු දෙයක් නොසෑහෙනු ඇති බව යි.

අසාන්ජ්ට එරෙහිව ප්‍රසිද්ධියට පත් කෙරුනු එක්සත් ජනපද චෝදනා දෙක විකාරයකි. ප්‍රකාශවල හරි මැද තියෙන්නේ අසාන්ජ් හා මෑනිං එක්සත් ජනපද මිලිටරි පරිගනක මුරපදය අවුල් කිරීමට උත්සාහ කර තිබු බවට කෙරෙන තහවුරු නො කෙරුනු කතාබහ සටහනකි. එය එසේ වූවත්, අසාන්ජ්ට මුලුමනින් ම චෝදනා කෙරී ඇත්තේ මෑනිංට ඇගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට උදව් කල බවට යි. මෙය තොරතුරු මූලාශ්‍රයන් සමග වැඩ කරමින් සිටින මාධ්‍යවේදීන්ගේ ප්‍රසිද්ධ භාවිතයකි.

එහෙත් නීති විශාරධයින් අනතුරු අඟවා ඇති පරිදි, හුදෙක් පරිගනක හැක් කිරීමේ චෝදනා ගොතා ඇත්තේ, දේශපාලන විරුද්ධත්වයන් මත එක්සත් රාජධානියේ සිරකරවෙකු එක්සත් ජනපදයට යැවීම තහනම් කිරීම මගහරමින් අසාන්ජ්ගේ උදර්පනයට පහසුකම් සැපයීමට ය. වොෂින්ටනයේ යුද අපරාධකරුවන් විකීලීක්ස් අත්අඩංගුවට ගත හොත්, ඔහු මරනීය දන්ඩන වරදක් වන, ඔත්තුබැලීමට චෝදනා ලබන බව මුලුමනින් ම පැහැදිලි ය.

මෙම ක්‍රියාමාර්ග ඔස්සේ අසාන්ජ්ගේ නඩුවක්, එක්සත් ජනපද ව්‍යස්ථාව තුල අන්තර්ගත මාධ්‍ය හා භාෂනයේ නිදහසට ඇති අයිතිය තුරන් කර දැමීමේ උත්සාහයකට අඩු දෙයක් නො වේ. මෙහි අරමුන වනු ඇත්තේ කම්කරු පන්තිය තුල යුද්ධය, අසමානතාව හා ඒකාධිපතිවාදයට වන සමූහ විරුද්ධත්වය බිය වැද්දීම යි.

එවැනි චෝදනාවක අභිප්‍රාය ප්‍රදර්ශනය කෙරෙන්නේ ඔත්තුසේවා පනතේ ඉතිහාසය මගිනි. එය පලමු ලෝක යුද්ධයට වූ තම විරුද්ධත්වය හේතුවෙන් එක්සත් ජනපද සමාජවාදී නායක ඉයුජින් ඩෙබ්ස් හිරගත කිරීමට යොදා ගැනුනි. 1970 ගනන්වල, වියට්නාම් යුද්ධයේදී එක්සත් ජනපද අපරාධකාරිත්වය හෙලිදරව් කල, පෙන්ටගන් ලියවිලි ප්‍රසිද්ධ කිරීම අවහිර කිරීමට නික්සන් පාලනාධිකාරිය එහි ප්‍රතිපාදන යොදා ගැනීමට අසාර්ථක ලෙස උත්සාහ කලේ ය.

අසාන්ජ් මුහුන දෙන අනතුර ප්‍රදර්ශනය කෙරෙන්නේ චෙල්සී මෑනිංගේ තත්වයෙනි. ට්‍රම්ප් පාලනාධිකාරිය විසින්, විටෙක හුදකලා හිරමැදිරිවල ද ඇතුලුව, සති හයක් තිස්සේ ඈ රඳවා ගෙන සිටින්නේ, විකීලීක්ස් නිර්මාතෘට එරෙහිව බොරු සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ය. අසාන්ජ් එක්සත් ජනපදයට බාර දුන හොත්, ගුවන්තනාමෝ බේ හිරකඳවුරේ හෝ සීඅයිඒ වධකයන් විසින් පවත්වා ගෙන යන අඳුරු හිරගෙයක ඔහු නිහඬ කෙරෙනු ඇති බවට සියලු හැකියාවන් තිබේ.

ධනේශ්වර සමාජයේ සියලු නිල ආයතන අසාන්ජ්ට දඬුවම් කිරීමේදී ඊට පැටලී ඇත. සංගත මාධ්‍ය ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ නොසඟවන ලද ප්‍රබෝධයකිනි.

හා ඔත්තුසේවා ඒජන්සිවල ලඝුලේඛකයන් ලෙස ක්‍රියාත්මක වන සංගත වාර්තකරුවන්, අසාන්ජ් “මාධ්‍යවේදියෙකු” නො වේ යැයි කියා ඇත. ඔවුහු අද දවසේ පාරාඕ ලියන්නන්, නැත්නම් නාසි තන්ත්‍රයේ ප්‍රචාරකයින් ලෙස ක්‍රියාත්මක වූ ජර්මානු වාර්තාකරුවන්ට සමාන වෙති. යුද අපරාධ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පෙර නො වූ විරූ ප්‍රහාරයන්ට පහසුකම් සැපයීම තුල තම භූමිකාව වෙනුවෙන් එවැනි “මාධ්‍යවේදීන්ට” න්‍යුරෙම්බර්ග් නඩු විභාගවල දී අධිචෝදනා කෙරුනු බව අමතක වී යාමට ඉඩ නො තබමු.

බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාවේ සියලු සංස්ථාපිත පක්ෂ අසාන්ජ්ට එරෙහි ප්‍රහාරයට එක් වී සිටිති.

අසාන්ජ් රුසියානු ඒජන්තයෙකු යැයි ඩිමොක්‍රටිකයන් ව්‍යාජ ප්‍රකාශ කරනු ලබන්නේ, ඩිමොක්‍රටික ජාතික කමිටුව හිලරි ක්ලින්ටන්ට පක්ෂව 2016 ජනාධිපතිවරනයේ මූලික වටයන් කොල්ල කෑ බව හෙලිදරව් කරමින් විකී ලීක්ස් සැබෑ හා ප්‍රවෘත්ති වටිනාකමින් යුත් තොරතුරු ප්‍රසිද්ධ කල බැවිනි. විකී ලීක්ස් විසින් ම ප්‍රසිද්ධ කෙරුනු, වෝල් වීදියේ ඇගේ රහස් කතා ද හෙලිදරව් කලේ ක්ලින්ටන් බැංකුවල වහලියකට වඩා වෙනස් නො වන බව යි.

බ්‍රිතාන්‍ය තුල, ජෙරමි කෝබින් හා කම්කරු පක්ෂය අසාන්ජ් ආරක්ෂා කිරීමට කල දෙයක් තැත. ලේබර් මෙන් ම ලිබරල්, අනුප්‍රාප්තික ඕස්ට්‍රේලියානු ආන්ඩු, ඔහුට එරෙහි උද්ඝෝෂනයට එක් වී ඇත්තේ, හිංසාවට ලක් කෙරුනු ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු මෙන් ම මාධ්‍යවේදියකු ආරක්ෂා කිරීමේ තම පැහදිලි වගකීම ඉටු කිරීම ප්‍රතික්ෂේප කරමිනි.

වම්මුන්ගේ සිට වෘත්තීය සමිති දක්වා සංවිධාන රොත්තක්, අසාන්ජ් අත් හැර දමා ඇත. ආරම්භයේ දී අසාන්ජ්ගේ ආරක්ෂකයින් ලෙස මවා පෑමෙන් පසු, ගෙවී ගිය අට වසර තිස්සේ ඔවුන් පෙල ගැසී ඇත්තේ, ඔහු ලිංගික අපචාර සිදු කලේ ය යන ව්‍යාජ ස්වීඩන චෝදනා ඇතුලුව, ධෛර්ය සම්පන්න මාධ්‍යවේදියාට එරෙහි සෑම බොරුවක් හා අපවාදයක්ම පිටුපස ය. එම රට තුල අපරාධයක් සම්බන්ධයෙන් අසාන්ජ්ට කිසි දිනක චෝදනා කෙරී නැති අතර 2017දී විමර්ශනය අවසන් වී ය යන කාරනය ඔවුහු නො සලකා හරිති. එවැනි සංවිධාන මේ වන විටත් අධිරාජ්‍යවාදී යුද්ධ හා මර්දනය සමග තම සමාදානය ඇති කර ගෙන ඇත.

කෙසේ නමුත්, අසාන්ජ් ආරක්ෂා කිරීමට බලමුලු ගැන් විය හැකි හා යුතු තවත් බලවේගයක් ඇත: එනම් ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. විකීලික්ස් හි ඉතාමත් ප්‍රමුඛ හෙලිදරව් කිරීම් නම් කලොත්, ඉරාකය හා ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ, වොෂින්ටනයේ ගෝලීය ඇඟිලි ගැසීමේ මෙහෙයුම්, හා සීඅයිඒ ඔත්තුබැලීම් හෙලිකිරීම වෙනුවෙන් කම්කරුවෝ හා තරුනයෝ මිලියන ගනනාවක් නිවැරැදිව ඔහු වීරයෙකු ලෙස දකිති.

කම්කරු පන්තිය ලෝකය පුරා සමාජ හා දේශපාලන අරගලයන්ට පිවිසෙමින් සිටිති. ජූලියන් අසාන්ජ් හා චෙල්සී මෑනිං ආරක්ෂා කිරීමේ සටන මෙම සියලු අරගලයන්ගේ ධජයේ සටහන් කල යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය, අංක 906, 185 එලිසබෙත් වීදිය, සිඞ්නි, නිව් සවුත් වේල්ස්, 2000, දරන තැන ජේම්ස් කෝගන්ගේ අනුමැතිය ඇතිවය.

Share this article: