ග්‍රීක හමුදාව සමූහ මර්දනයට සැරසෙයි

Greek military prepares for mass repression

By Robert Stevens, 2 March 2013

"ඉතා ඉක්මනින්" ඇතිවෙතැයි අපේක්ෂිත "සමාජ අසහනයේ පුපුරායාමක්" ලෙස තමන් හඳුන්වා දුන් තත්වය හමුවේ, හමුදාවේ ප්‍රතිචාරය පිලිබඳ ව සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ ග්‍රීක දේශපාලකයන් හා සන්නද්ධ හමුදා අතර සාකච්ඡා පැවැති බව ග්‍රීසියේ හිටපු මුල් පෙලේ රාජ දූතයෙකු වන ලියොනිඩාස් ක්‍රිසන්තොපෞලස් පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ නිව් ස්ටේට්ස්මන් පුවත්පතට පැවසීය.

ක්‍රිසන්තොපෞලස් පැවසූ පරිදි, ඉදිරි මාසවල දී "සන්නද්ධ ක්‍රියාකාරීත්වයන් තවදුරටත් වැඩිවනු ඇත. ලේ හැලෙන පෙලපාලි පැවැත්වෙනු ඇත."

වැඩි විස්තර ලබා දීමකින් තොර ව ඔහු පැවසුවේ, "ප්‍රධාන පෙලේ සමාජ කැලඹීමක දී හමුදාව මැදිහත් නොවන බව සහතික කරනු වස් ඇතැම් දේශපාලනඥයන් හමුදා කොටස් සමඟ සම්බන්ධයක් පවත්වා ගෙන යන" බව යි.

මේ අවසාන ප්‍රකාශය මහජනයාට ගිල්ලවීමට ගෙතූ එකකැයි බොහෝදුරට සිතිය හැකි ය. යම් හෙයකින් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කල ද, හමුදා කුමන්ත්‍රනයකින් 1967 දී බලය පැහැර ගත් "කර්නල්වරුන්ගේ බලකාය" 1974 දක්වා බලයේ සිටි එම රටේ මෑත ඉතිහාසය දෙස බැලූ විට, ග්‍රීක හමුදාව ලබා දෙන කවර හෝ සහතිකයක කිසිදු වටිනාකමක් නොමැති බව පෙනී යයි. 2010 කප්පාදු වැඩ පිලිවෙල හරහා මහජනයාට එරෙහි ව එල්ල කල මහා ප්‍රහාරයේ පටන්, හමුදාවේ ඉහල නිලධාරීන් අතර හමුදා කුමන්ත්‍රනයක් පිලිබඳ සාකච්ඡා පැවැත්වෙන බවට කට කථා නිරතුරුව පැතිර ගියේ ය.

ක්‍රිසන්තොපෞලස්ගේ සම්මුඛ සාකච්ඡාවේ වඩාත් ම වැදගත් අංශය වනුයේ, සමාජ විප්ලවයේ තර්ජනයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි දේශපාලනඥයන් හා හමුදාව අතර සාකච්ඡා පැවති බවට ඔහු කල හෙලිදරව්ව යි.

ග්‍රීක පාලක කවයන් ක්‍රියා කරමින් සිටින්නේ, කම්කරු පංතිය මත තමන් විසින් පටවන ලද නොඉවසිය හැකි තරම් පීඩා හේතුවෙන්, කැරැලිකාරී අරගල පැන නැඟීම නොවැලැක්විය හැකි බවට වන උපකල්පිතයක් මත ය. වසර හතරක කාල පරාසයක් තුල ග්‍රීක කම්කරු පංතියේ සමාජ තත්වය, දෙවන ලෝක යුද්ධයේ දී නාසීන් විසින් ග්‍රීසිය අත්පත් කරගත් සමයෙන් මෙපිට කිසි දා නොඇසූ විරූ පහත් මට්ටමකට ඇද දමා ඇත.

දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකට, අතිශය කුරිරු දරිද්‍රතාව, සිය එදිනෙදා ජීවිතයේ මුහුන දෙන තත්වයක් බවට පත්ව ඇත. ජීවන තත්වයන් කෙරේ එල්ල කෙරෙන ප්‍රහාරයේ එක් ප්‍රමුඛ අංශයක් වන්නේ ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිපාදන ඉවත් කිරීම යි.

ලාභය පිලිබඳ උත්සුකයන් මත යෝධ ඖෂධ සමාගම් 50කට වඩා ග්‍රීසියට ඖෂධ සැපයීම නවතා දමා ඇත; නැතහොත් ම්ලේච්ඡ ලෙස සැපයුම් කපා හැර ඇත. වෛද්‍යවරු රෝගීන්ට නියම කරන බෙහෙත් ප්‍රමානවත් තරම් රජයේ රෝහල්වල නොමැති අතර සිය ගනනක් මූලික ඖෂධ වර්ගවල පවත්නා අන්තරායකාරී හිඟය නිසා රෝගීන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සොයා එක් ඔසුසලකින් තවකෙකට දිව යන අවුල් සහගත තත්වයක් පැන නැඟී ඇත.

මේ ආකාරයෙන් හැසිරීම හුදෙක් විශාල ඖෂධ සමාගම්වලට පමනක් සීමා වූවක් නොවේ. අඟහරුවාදා වාර්තා වූයේ, ලාභ නොලබන සහන සේවා ආයතනයක් වන ස්විට්සර්ලන්ත රතු කුරුස සංවිධානය තමන් ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගෙන ග්‍රීසියට සපයනු ලබන රුධිර පැකැට්ටු සංඛ්‍යාව කපා හැරීමට සැරසෙන බව යි. මීට ඉහත දී ග්‍රීසිය වෙනුවෙන් වෙන් කෙරුනු රුධිරය සඳහා ගෙවිය යුතු මුලු මුදල තමන් වෙත නොලැබීම පිලිබඳ සැලැකිල්ල යොමු කරන එම සංවිධානය, දැනට ග්‍රීසිය වෙත එවනු ලබන පරිත්‍යාගශීලීන්ගේ රුධිර පැකට්ටු 28,000ක ප්‍රමානය 2015 වනවිට හරි අඩකින් කපා හැරීමට තීරනය කොට ඇත.

"ට්‍රොයිකාව" (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව හා යුරෝපා සංගමය ) ඉල්ලා සිටින කප්පාදු පිලිවෙත්වල ප්‍රතිඵලයක් ලෙස මිලියන 4.65ක පුදුම එලවන සුලු සංඛ්‍යාවක් ජනයා එක්කෝ රැකියා විරහිත ය; නැතහොත් ආර්ථික වශයෙන් නිෂ්ක්‍රීය වූවන් ය. 450,000ක් නිවාසයන්හි කිසිවෙකුට හෝ රැකියාවක් නැත. පෞද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු වූ මිලියන 2.6ක ජනයාගෙන් 900,000කගේ ම රැකියා අහෝසිකර ඇත. සහන සලසන කාල සීමාවන් කපා හැර ඇති හෙයින් දැන් විරැකියා දීමනා ලැබෙන්නේ 225,000 දෙනෙකුට පමනකි.

මිලියන 1.6ක් වන පෞද්ගලික අංශයේ මුලු ශ්‍රම හමුදාවෙන් දැන් පැය 8ක වැඩ දිනයක් සඳහා ස්ථිර වැටුප් ලබන කම්කරුවන් සිටින්නේ 600,000ක් පමනකි. ඇතැන්ස්හි පැන්ටියොන් සරසවියේ මහාචාර්ය සවාස් රොබොලිස් මෑතක දී පැවසූ පරිදි, "ඉතිරි දශ ලක්ෂයක් කම්කරුවෝ තමන් වැඩ කරන පැය ගනන කපා දමනු ලැබීමට හෝ වැටුප් ප්‍රමාද වීමට - මාස හතරක් පහක් ප්‍රමාද වීමට - මුහුන දෙති. ඔවුන් සිටින්නේ අපේක්ෂා භංගවූ තත්වයක ය."

ග්‍රීක බැංකුවේ මේ සතියේ නිකුත් කෙරුනු වාර්ෂික වාර්තාවට අනුව, 2012 වර්ෂය තුල දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත් වී ඇති ජනගහනයේ ප්‍රතිශතය සියයට 23කි. 2011 දී මෙම ප්‍රතිශතය සියයට 16ක් විය. තවත් සැලකිල්ලට ගැනුනු කරුනක් වන්නේ, අවදානමට මුහුන පා සිටින පවුල්වල අනුපාතය එක් වසරක් තුල (2010-2011) සියයට 31ක ප්‍රතිශතයකට ලඟා වීමත් සමඟ ලමා දරිද්‍රතාව බෙහෙවින් ඉහල යන වේගයකින් වර්ධනය වීම යි. 2010 - 2012 කාල පරිච්ඡේදය තුල දී රටේ දල වැටුප් සියයට 20.6කින් කපා දමා ඇති අතර හාම්පුතුන්ගේ ශ්‍රම පිරිවැය සියයට 18.5ක ප්‍රතිශතයකින් අඩු වී ඇත.

දැනටමත් ක්‍රියාවට නංවා ඇති කප්පාදු වැඩසටහනත් සමඟ 2012 - 2014 කාල පරිච්ඡේදය සඳහා සමස්ත ශ්‍රම පිරිවැය සියයට 17.6කින් අඩුවනු ඇත. මේ ක්‍රියා මාර්ගයන් කෙතරම් ම්ලේච්ඡ ද යත්, ඒවා සකස් කොට ඇත්තේ සමස්ත පිරිවැයෙන් අඩු කල යුතු බවට ට්‍රොයිකාව විසින් ඉල්ලා සිටින ලද සියයට 15ක ප්‍රමානය ද ඉක්මවා යන පරිදි ය.

කප්පාදු වැඩ පිලිවෙල මඟින් ආර්ථික ප්‍රතිසාධනය අත්පත් කර ගනු ඇතැයි වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කල බැංකුවේ සභාපති ජෝර්ජ් ප්‍රොවොපෞලස්, තව තවත් කර්කශ ක්‍රියා මාර්ග අනුගමනය කරන මෙන් ඉල්ලා සිටියේ ය. "අවසානයේ දී දැන්, නිමහම් රේඛාව පෙනෙන්නට තිබේයැ"යි ඔහු පැවසීය. "(එහෙයින්) අවසාන දුර ප්‍රමානය ගෙවා දැමීමට අපේ වේගය තවත් වැඩි කර ගැනීම සඳහා අපේ ප්‍රයත්නයන් තවත් තීව්‍ර කල යුතුව ඇත. එමඟින් පුරවැසියන්ගේ පරිත්‍යාග අපතේ නොයැවෙන බවට වග බලා ගත යුතු ය..."

මෙම පිලිවෙත්වලට බිලිවූවන් පිලිබඳව කථා කරමින් ඔහු ප්‍රකාශ කලේ, "සමාජ කන්ඩායම්වල ආන්තික හා අසාධාරන ඉල්ලීම් මෙම එල්ලය කරා ලඟා වීමට දායකත්වයක් ලබා නොදෙන බව" යි.

බැංකුවේ වාර්තාව නිකුත් කෙරුනේ ට්‍රොයිකාවේ නියෝජිතයන්, නව ප්‍රජාතන්ත්‍රවාදී / පැසොක් / වාම ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව තමන් සමඟ ගිවිස ගත් වැඩ පිලිවෙල ක්‍රියාවට නංවනු අධීක්ෂනය කිරීමට යලිත් වරක් ඇතැන්ස්හි රැස්ව සිටින අතරතුර දී ය.

මේ වසරේ ඖෂධ සඳහා වන ප්‍රතිපාදන කෙතරම් ගැඹුරට කපා දමන්නේ ද යන්න මෙහි දී තෝරා බේරා ගැනීමට ඇති විෂයයන් අතරේ පවතී. ට්‍රොයිකාව මීට ඉහත ඉදිරිපත් කල ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ ප්‍රතිපාදන යුරෝ බිලියන 3.7 සිට යුරෝ බිලියන 2.4 දක්වා කපා දමා ඇත.

ඖෂධ සමාගම් විසින් දැනටමත් බෙහෙත් වර්ග රාශියක් අත්හිටුවා ඇති තතු තුල ගනු ලබන මෙම පියවර වනාහි, සෞඛ්‍ය ව්‍යසනයක් හා නිරපරාධ මරන රැසක් ද ඇති කිරීම සඳහා වූ වට්ටෝරුවකි.

2015 වන විට රැකියා 150,000ක් අතිරික්ත බවට නම්කර, කපා දැමීම සඳහා වන එකඟතාවට අනුව, මේ වසර තුල රාජ්‍ය සේවයේ කම්කරුවන් 25,000කගේ සේවය නවතා දැමීම (ජූනි වන විට ඉන් අඩක් ඉවත් කෙරේ) ඉක්මන් කිරීම ද ට්‍රොයිකාව ඉදිරිපත් කිරීමට සැරසෙන ඉල්ලීමකි. ට්‍රොයිකාව සෑහීමකට පත් වන අයුරින් කප්පාදු ක්‍රියාවට දැමීමට ඇතැන්ස් සාකච්ඡා අසමත් වුවහොත්, මාර්තු හා අප්‍රේල් මාසවල දී ලබා දීමට නියමිත යුරෝ බිලියන 8.8ක් වන නය වාරික අත්හිටවනු හෝ බොහෝ සෙයින් කපා දැමෙනු ඇත. මෙම මුදල් නොලදහොත් ,එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ග්‍රීසිය එහි සමස්ත නය මුදල ම ගෙවීම පැහැර හැරීම ය.

තමන් බලයට පත් වුවහොත් කප්පාදු වැඩපිලිවෙල ආපසු හරවන බවට ප්‍රතිඥා දෙමින් සිරිසාව (රැඩිකල් වාම සන්ධානය ) පසුගිය වසරේ පැවැති මැතිවරනයේ දී ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 30කට ආසන්න ප්‍රමානයක් දිනා ගැනීමට සමත් විය. කප්පාදු වැඩපිලිවෙලට පක්ෂපාතී පාලක පක්ෂවලට ප්‍රගතිශීලී විකල්පයක් ලෙස ද, ෆැසිස්ට්වාදී 'ස්වර්නමය අරුනෝදය' (ගෝල්ඩන් ඩෝන්) ව්‍යාපාරයේ වර්ධනයට මුහුන දීමේ පියවරක් ලෙස ද, සිරිසාව ඉදිරියට දමනු ලැබුයේ ව්‍යාජ වමේ සංවිධාන සමූහයක් විසිනි.

සැබෑ තතු තුල, සිරිසාව දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා කිසිසේත් නො අඩු ආකාරයකින් පාලක ප්‍රභූ පැලැන්තියේ දේශපාලන තිරිසනෙකු වන අතර, කප්පාදු වැඩ පිලිවෙල සමඟ එහි ඇති බැඳීම ද කිසිසේත් අනෙකාට වඩා අඩු එකක් නොවේ. මේ සතියේ සිරිසාවේ මාධ්‍ය ප්‍රකාශක පනෝස් ස්කවර්ලෙටිස් පැවසුවේ, "එක් දිනක් ගත වී අනෙක උදාවන විට තත්වය යහපත් කිරීමේ හා වෙනස් කිරීමේ මැජික් යෂ්ටියක්" තමන් සතුව "නොමැති බව යි... මෙම පිලිවෙත ක්‍රියාවට නැංවෙන සෑම දිනයක් පාසා ම කරුනු වඩාත් නරක අතට වර්ධනය වේ. මේ විනාශය ගනනය කල නොහෙන තරම් විශාල ය. තව ද එබැවින්, එම පිලිවෙතේ ප්‍රතිවිපාක ආපසු හරවා යථා තත්වයට පැමිනවීම ඊටත් වඩා දුෂ්කර ය."

මෙවැනි ප්‍රකාශයන්හි අර්ථය වන්නේ, කප්පාදු වැඩ පිලිවෙල ආපසු හැරවීම කල නොහැකි එකකැයි පැවසීම ය යන්න ගැන සැකයක් පැවතිය හැකි නොවේ. අනාගත කම්කරු පංති විරෝධී රජයකට ඇතුල් වීමේ සිය ඉලක්කය සපුරා ගතහොත් ක්‍රියාවට නැඟීමට තමන් කැඳවනු ලැබෙන කටයුතු සඳහා සිරිසාව සිය තර්ක සූදානම් කරමින් සිටී.

Share this article: