<

 

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විසි වසර: 1998 - 2018

Twenty years of the World Socialist Web Site: 1998-2018

2018 පෙබරවාරි 14

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කිරීමේ 20වැනි සංවත්සරය අදට යෙදී ඇත. 1998 පෙබරවාරි 14වැනිදා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝසවෙඅ දියත් කලේ සතියකට දින පහක් ලිපි ප‍්‍රකාශයට පත් කරමිනි. 1999 අප්‍රේල් මාසයේ පටන් එය සතියකට දින හයක් ලිපි පල කරමින් තම න්‍යායපත‍්‍රය පුලුල් කලේ ය. විසි වසරක කාලය තුල දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය තම නියමිත මුද්‍රනයන්ගේ එක දිනයක් හෝ මග නො හැරියේ ය.

මෙම සංවත්සරය ජාත්‍යන්තර සමාජවාදී හා කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය තුල වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කර යි. ලෝසවෙඅ ප‍්‍රමුඛ හා දිනපතා ලිපි පල කරන එකම සමාජවාදී හා මාක්ස්වාදී ජාත්‍යන්තර ප‍්‍රකාශනය යි. මහාද්වීප හතරක සමීප සහයෝගයෙන් ක්‍රියාත්මක වන සංස්කාරක මන්ඩලවල ලිපි සෑම දිනකම ප‍්‍රසිද්ධ කරමින්, ලෝසවෙඅ පැය 24ක කාලසටහනක් මත ක්‍රියාත්මක වේ.

ලෝසවෙඅ ජාත්‍යන්තර කම්කරු පන්තිය පිලිබඳ වාර්තාවේ ප‍්‍රකාශනය යි. පසු ගිය විසි වසරක කාලය තුල දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ආවරනය හා විශ්ලේෂනය නොකල, අදහස් පල නොකල ප‍්‍රධාන ජාත්‍යන්තර සිදුවීමක් නැති තරම් ය. එය ඉංග්‍රීසි, ජර්මානු, ප‍්‍රන්ස, ස්පාඤ්ඤ, ඉතාලි, සිංහල, දෙමල, නෝර්වීජියානු, චීන, තුර්කි, ග්‍රීක, අරාබි, රුසියානු හා පෘතුගීසි ඇතුලුව එකිනෙකට වෙනස් භාෂා 22කින් ආසන්න වසයෙන් ලිපි 66,000ක් ප‍්‍රසිද්ධ කර ඇත.

එක්සත් ජනපද හා කැනඩාව තුල සිදුවීම් වලට සම්බන්ධ ලිපි 17,500ක් ප‍්‍රසිද්ධ කිරීමට අමතර ව එය, ලතින් ඇමරිකාව අලලා 1,300ක්; ආසියාව හා ඉන්දියානු උපමහාද්වීපය ගැන 6,000ක්; ඕස්ට්‍රේලියාව ගැන 5,300ක්; යුරෝපය ගැන 13,000ක් සහ මැද පෙරදිග හා මධ්‍යම ආසියාව ගැන 6,300ක් වශයෙන් ලිපි පල කර ඇත. ලෝක ධනේශ්වර ආර්ථිකය විශ්ලේෂනය කරමින් ලිපි 1,000ට වඩා ද ලෝසවෙඅ පල කර ඇත

ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල ගැන එතරම් විස්තීරනව හා විවේචනාත්මක ව වාර්තා කර ඇති වෙනත් වෙබ් අඩවියක් නැත. ලෝකයේ සියලුම ප‍්‍රදේශවල පන්ති අරගලයන්ගේ වර්ධනයට සම්බන්ධ සිදුවීම් ගැන 11,000ට වඩා ලිපි පල කර ඇත . සැබවින් ම, පන්ති අරගලය හා සමාජ අසමානතාව පිලිබඳ තේමා ලෝසවෙඅ වැඩකටයුතුවල බොහෝ ගැඹුරට කා වැදී තිබුන ද, මෙම විෂයන්ට සම්බන්ධ ලිපි කීයක් පල වී දැ යි නිවරැදි ව සංඛ්‍යාත්මක ව දැක්වීම අපහසු ය. එය දහස් ගනනක් බව පැවසීම ප‍්‍රමානවත් ය.

එහෙත්, මෙවැනි වැදගත් ලිපි තම දෛනික අරගල ගැන වාර්තාවන්ට වඩා කම්කරු පන්තියට අවශ්‍ය බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය හඳුනා ගෙන ඇත. එය සෑම දිනක ම වර්තමාන අරගලයන්ගේ වාර්තාවක් සකස් කරනවාක් මෙන් ම, කම්කරු පන්තිය තම අනාගත කර්තව්‍යයන් සඳහා සූදානම් කිරීමේ සිය වගකීම පිලිබඳ ව ද සැලකිලිමත් ය. ලෝසවෙඅ කේන්ද්‍රීය අරමුන, ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීම යි. මෙය ඉල්ලා සිටින්නේ, ඉතිහාසය හා සංස්කෘතිය පිලිබඳ ප‍්‍රශ්න මත දැඩි අවධානයක් යෙදීමයි. ලෝසවෙඅ තම නව ප‍්‍රකාශනය නිවේදනය කරමින්, 1998 සිය ආරම්භක ප‍්‍රකාශය තුල මෙසේ සඳහන් කලේ ය, එය “ඓතිහාසික දැනුම, සංස්කෘතික විචාර, විද්‍යාත්මක බුද්ධි ප‍්‍රබෝධය හා විප්ලවවාදී මූලෝපායේ විශ්වකෝෂක අයාමයක් වෙනුවෙන් වෙර දරනවා ඇත. එහි අරමුන දේශපාලනික හා සංස්කෘතිමය සාකච්ඡාව ඉහල නැංවීම යි, එය වර්තමාන සමාජවාදී කම්කරුවන්ගේ ව්‍යාපාරයක පුනරුදය සඳහා අත්‍යාවශ්‍ය ය.”

මෙම පොරොන්දුව, චිත‍්‍රපට, නාට්‍ය හා සංගීත විචාර 2000ට වඩා ද අජටාකාශ විද්‍යාව හා භෞතික විද්‍යාවේ සිට පරිනාමවාදී ජීවවිද්‍යාව හා පුරාවිද්‍යාව දක්වා ද පැතිරෙන පුලුල් පරාසයක ඓතිහාසික සිදුවීම් හා විද්‍යාත්මක මාතෘකා සම්බන්ධ තවත් ලිපි 1,500ක් ප‍්‍රසිද්ධ කිරීම සමගින් ඔප්පු කෙරී ඇත.

ලෝසවෙඅ තුල පලකෙරුනු ලිපිවල ප‍්‍රමානය මගින් වෙබ් අඩවියේ ගුනාත්මක භාවය හීන කර නොමැත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීමේ තැන් සිට, ආර්ථික කම්පන, ත‍්‍රස්තවාදයට එරෙහි නිමක් නැති යුද්ධ හරහා සිදුකල මිලිටරි මැදිහත්වීම්, ලෝකයේ සෑම කොටසක ම වඩ වඩා දේශපාලනික දෘෂ්කෘතිකත්වය, හා සාමාජික බිඳ වැටීම් පිලිබඳ ප‍්‍රකාශන මගින් ධනවාදී ලෝකය පීඩාවට පත් කෙරී ඇත. සමකාලීන වර්ධනයන්ගේ දැවැන්ත කලබැගෑනි මධ්‍යයේ, කාලයේ පරීක්ෂාව ඉදිරියේ නැගී සිටින විශ්ලේෂන හා අදහස් දැක්වීම්, දිනපතා පල කිරීමට ලෝසවෙඅ සමත් වී ඇත.

ලෝසවෙඅ ඓතිහාසික පදනම්

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කැපීපෙනෙන ස්වභාවය නිරූපනය වන්නේ එහි ඉදිරිදර්ශනයෙනි, එය දැනුවත් ව පාදක වන්නේ මාක්ස්වාදී න්‍යාය හා විසිවැනි සියවස පුරා විහිදෙන, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සාරභූත මූලෝපායික අත්දැකීම් උකහා ගැනීම හා නිරන්තර යලි හැඩ ගැස්වීම මත ය. ධනේශ්වර මාධ්‍ය තුල පැතිර පවතින තත්කාර්යවාදී අනුභූතිවාදයට (එමෙන් ම සුලු-ධනේශ්වර වාම හා ව්‍යාජ වාම වෙබ් අඩවිවල පල කෙරෙන ඊටත් වඩා ග‍්‍රාම්‍ය රූපාකාරයට) වෙනස් ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය දිනපතා සිදුවීම් ඒවායේ නියමිත ඓතිහාසික සන්දර්භය තුල තබ යි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කිරීමට මුල පිරුවේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් යන්තම් වසර හයකට පසු ය. මෙම සිදුවීම දේශපාලනික ප‍්‍රතිගාමිත්වයේ රැල්ලක් මුදාහලේය. පාලක පන්තිය “ඉතිහාසයේ අවසානය” සැමරූ අතර දිරිසුන් මධ්‍යම පන්තික රැඩිකල්ලු හා දුබල වාම බුද්ධිමත්තු “සමාජවාදයේ අවසානය” නිවේදනය කලහ. දශක ගනනාවක් තිස්සේ ඔවුන් සිය දේශපාලනය කැපකර තිබුනේ, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී මෙන් ම චීනයේ මා ඕවාදී තන්ත‍්‍රවල “සැබවින් පවතින සමාජවාදය” නමැති ව්‍යාජයටයි. සෝවියට් සංගමය විසුරුවා හැරීම හා චීනයේ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් ඉක්බිත්තේ, සුලු ධනේශ්වර වමේ පුලුල් ස්ථර, ධනවාදය හා අධිරාජ්‍යවාදයට එරෙහි සියලු විප්ලවවාදී මවාපෑම් අත හැර දැමූ අතර, ස්වයං-ග‍්‍රස්ත වර්ගවාදී, ජාතිවාදී, පුමිතුරු හා ලිංගික දේශපාලනය තුල ට බැසගත්හ.

ස්ටැලින්වාදීන් විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමට එරෙහි ලියොන් ට්‍රොට්ස්කිගේ න්‍යායික උරුමය මත පදනම් වූ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පුදුමයට පත්වූයේ හෝ අවමංගත වූයේ නැත. සෝවියට් සංගමය විසුරුවා හැරීම ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී නිලධරය හා එහි ප‍්‍රතිගාමී, ජාතිකවාදී “තනි රටක සමාජවාදය” පිලිබඳ ප‍්‍රතිපත්තියේ අවසාන පියවර විය. සෝවියට් සංගමයේ බිඳ වැටීම ජාත්‍යන්තර කම්කරු පන්තියට සැලකියයුතු පරාජයක් වූ අතර ම, ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය සහ හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමට ඔහු ගත් තීරනය මෙන් ම, ස්ටැලින්වාදී තන්ත‍්‍ර හා පක්ෂ සමග සන්ධානයේ හා ඒවාට අනුගත වීමේ සියලු රූපාකාරන්ට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ විරුද්ධත්වය නිවැරදි බව සනාථ කලේ ය.

දශක හයක් තිස්සේ, බොහෝ හවුල්කරුවන්ගේ ආධාර ඇතිව ස්ටැලින්වාදී නිලධරය තම දැවැන්ත සම්පත් යොදා ගත්තේ, කම්කරු පන්තියේ අරගල ව්‍යාකූල හා අවමංගත කර පරාජය කිරීමට ය. එහෙත් ස්ටැලින්වාදයේ විනාසකාරී කඩා වැටීම ට්‍රොට්ස්කිවාදීන්ට, එනම් විප්ලවවාදී මාක්ස්වාදීන්ට, කම්කරු පන්තිය තුල සිය බලපෑම පුලුල් කිරීමට ද හතරවැනි ජාත්‍යන්තරය ගොඩනැගීමට ද පෙර නො වූ විරූ අවස්ථාවන් නිර්මානය කලේය.

සෝවියට් සංගමය විසුරුවා හැරීම, ජාතිකව පදනම්වූ සියලූ කම්කරු සංවිධාන හා පක්ෂවල ඓතිහාසික බංකොලොත් කමේ වඩාත්ම ආන්තික ප‍්‍රකාශනය විය. ලෝක ආර්ථික ව්‍යූහයේ ප‍්‍රධාන වෙනස්කම්, ජාතික ප‍්‍රතිසංස්කරනයේ සියලු වැඩපිලිවෙලවල් වල පල්ලට යවා ඇත. 1988 තරම් දුරදී හජාජාක, ධනපති නිෂ්පාදනයේ ගෝලීයකරනය, අන්තර්ජාතික සංගත බිහිවීම හා එම වර්ධනයන් සමග අත්වැල් බැඳගත් විදුලි සන්නිවේදනයේ විප්ලවකාරී වෙනස්කම්වල වැදගත්කම කෙරෙහි අවධානය යොමුකලේය.

මෙම ගෝලීය පරිවර්තනයේ වැදගත්කම පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේශනයෙහි අර්ථය වූයේ, කලින් සිතීමට පවා නොහැකිවූ, කම්කරු පන්ති ව්‍යාපාරයේ සම්බන්ධීකරනයෙහි ද ජාත්‍යන්තර ඒකාග‍්‍රකරනයෙහි ද මට්ටමක් සාක්ෂාත් කරගැනීම සඳහා අන්තර් ජාලය සතු හැකියාව පිලිබඳ ඉහලම වැටහීමයි. මුද්‍රිත පුවත්පත් වෙතින් අන්තර්ජාල වෙබ් අඩවියක පදනමකට මාරුවීම පිලිබඳව 1997 පෙබරවාරියේදී යෝජනා කෙරුනු අවස්ථාව වන විට, ලෝකය පුරා අන්තර්ජාල ප‍්‍රවේශයට හැකියාව තිබුනේ මිලියන 40ක ජනතාවකට පමනි. වෙබ් අඩවියක් පවත්වාගෙන ගියේ පවා ඇමරිකාවේ ප‍්‍රධාන සමාගම් වලින් සියයට 55ක් පමනි.

මුද්‍රිත පුවත්පත පලකිරීම අවසන් කර අන්තර්ජාලය පදනම් කරගත් ප‍්‍රකාශනයකට මාරුවීම පිලිබඳ තීරනය, විශිෂ්ඨ දේශපාලන පෙරදැක්මක් සලකුනු කලේය. විභවය හඳුනා ගැනීමේදී එය, ප‍්‍රධාන ධනපති ප‍්‍රකාශන පවා ඒ වන විට පෙර දැක නොතිබුනි. කෙසේ වෙතත් ඊට හේතුව, යටින් පවතින තාක්ෂනය පිලිබඳව හොඳ වැටහීමක් ජාත්‍යන්තර කමිටුවට තිබීම නොවේ. තමන් සොයමින් සිටි දේ නව තාක්ෂනය තුල සොයා ගැනීම: අතිශයින්ම බලගතු විප්ලවවාදී අදහස් ලෝකය පුරා වැඩකරන ජනතාව වෙත ගෙනයාමේ මාධ්‍යයක් සොයා ගැනීම.

1998 පෙබරවාරියේදී (ලෝසවෙඅ) ජාත්‍යන්තර කතෘ මන්ඩලය සිය පෙරවදනේ මෙසේ පැවසීය:

ජාත්‍යන්තර පරිමාවකින් කම්කරු පන්තියට දේශපාලන අධ්‍යාපනය සැලසීමේදී ද එක්සත් කිරීමේදී ද ලෝසවෙඅ පෙර නොවූ විරූ උපකරනයක් වනු ඇති බව අපට විශ්වාසය. අන්තර් ජාතික සංගත ජාතික දේශසීමා ඉක්මවා ශ‍්‍රමයට එරෙහිව තම යුද්ධය සංවිධානය කරන්නා සේම, විවිධ රටවල වැඩකරන ජනතාව ප්‍රාග්ධනයට එරෙහිව තම අරගල සම්බන්ධීකරනයේදී එය ඔවුන්ට උදව් වනු ඇත. එය සියලු ජාතීන්ගේ කම්කරුවන් අතර සාකච්ඡාවට පහසුකම් සලසනු ඇත. එය කම්කරුවන්ට තම අත්දැකීම් බෙදාහදා ගැනීමටත් පොදු මූලෝපායක් විස්තාරනය කර ගැනීමටත් ඉඩ සලසනු ඇත.

අන්තර්ජාලය පුලුල් වන විට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලෝක ප්‍රේක්ෂකත්වය ද ඉහල යන බව ජාත්‍යන්තර කමිටුවේ අපේක්ෂාවයි. සන්නිවේදනයේ වේගවත් හා ගෝලීය රූපාකාරයක් ලෙස අන්තර්ජාලයට අසාමාන්‍ය ප‍්‍රජාතන්ත්‍රීය හා විප්ලවවාදී ඇඟවුම් ඇත. පුස්තකාල, ලේඛනාගාර හා කෞතුකාගාර ඇතුලූ ලෝකයේ බුද්ධිමය සම්පත් කරා පිවිසීමට ජනතාවට අවකාශ ඉන් සැලසෙනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බලාපොරොත්තු හා විශ්ලේෂන සනාථ කෙරී තිබේ. අන්තර්ජාල පරිශීලනය 1998 දෙසැම්බරයේ පැවති දල වශයෙන් මිලියන 147ක (ලෝක ජනගහනයෙන් සියයට 3.6) සිට 2017 ජූනි වන විට බිලියන 3.8ක් (සියයට 51.7) දක්වා වැඩිවී ඇත. ආර්ථික වශයෙන් නොදියුනු රටවල කම්කරුවන් ද ඇතුලූ කම්කරු පන්තියේ පුලූල් කොටස් වලට, ස්මාට් ෆෝන් පුලූල් ලෙස භාවිතා කිරීම නිසා අන්තර්ජාලයට පිවිසීමේ ඉඩකඩ පුලුල් වී තිබේ.

අතේ ගෙනයා හැකි උපකරන හා සමාජ මාධ්‍ය ජාල ද කම්කරුවන්ට රැකියාවේ නිරතව සිටියදී පවා තොරතුරු ලබා ගැනීමේ ඉඩ සලසා ඇත. එම තත්වය පාලක පන්තීන් විශේෂයෙන්ම ඇමරිකාවේ, කම්කරුවන්ට දේශපාලන සාහිත්‍යය වෙත පිවිසීමේ අවස්ථා අවහිර කිරීමට දරනු ලබන උත්සාහයට දරුනු ලෙස වලකපා ඇත. ඒ සඳහා ඔවුන් ප‍්‍රධාන කර්මාන්තශාලා නාගරික මධ්‍යස්ථාන වලින් පිටතට ගෙනයාමේ ද ඒවා හුදෙකලා කරනු ලැබීමේ ද යෙදී සිටිති.

ලෝසවෙඅ හා හතරවන ජාත්‍යන්තරය

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, කේතක (digital) තොරතුරු හා තොරතුරු තාක්ෂනයේ විප්ලවීය නිර්මිතය වන අන්තර්ජාලය තුල පල කෙරෙන අතර ඒ තුලින් බෙදාහැරේ.

මෙම විද්‍යාත්මක හා තාක්ෂනික දියුනුව නව්‍ය ලෙස පාවිච්චි කරනු ලබන නමුත් ජත්‍යන්තර කමිටුවේ නිර්මාන හා ලෝසවෙඅ යොදාගැනීම මුල්බැස ඇත්තේ, කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේදී, “පක්ෂ මුද්‍රනාලයේ” ප‍්‍රධාන භූමිකාව පිලිබඳ මූලික න්‍යායික, දේශපාලන හා සංවිධානාත්මක සංකල්පයන් තුලය.

විසිවන සියවස ආරම්භයේදී, දැවැන්ත ලෙස පැතිර ගිය රුසියානු භූමිය පුරා බලගතු සමාජවාදී සංවිධානයක් සඳහා පදනම දැමීමට උත්සාහ දරමින් ලෙනින් මෙසේ ලිවීය:

“අප අදහස් කරන පරිදි අපගේ කටයුතුවල, ආරම්භක ස්ථානය විය යුත්තේ අප අපේක්ෂා කරන සංවිධානය නිර්මානය කිරීම පිනිස ගතයුතු ප‍්‍රථම පියවර, එසේ නැතහොත්, එම සංවිධානය ස්ථිරසාර ලෙස සංවර්ධනය කිරීමට, ගැඹුරු කිරීමට හා ව්‍යාප්ත කිරීමට හේතුවන පරිදි අනුගමනය කල හැකි වන ප‍්‍රධාන හුයපට විය යුත්තේ, සමස්ත රුසියානු දේශපාලන ප‍්‍රවෘත්ති පත‍්‍රයක් පටන් ගැනීමය. අපට අන් සියල්ලටම වඩා අවශ්‍ය වී ඇත්තේ ප‍්‍රවෘත්ති පත‍්‍රයකි. එය නොමැති කල ප‍්‍රතිපත්තියෙන් සසංගතවූ ක‍්‍රමානුකූල සර්වපාර්ශවීය ප‍්‍රචාරය සහ උද්ඝෝෂනය කිරීම අපට හැකි නොවේ. සාමාන්‍ය වශයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන හා ස්ථිර කර්තව්‍යය ද, ජනගහනයේ පුලුල්තම ස්ථරයන් දේශපාලනය හා සමාජවාදය පිලිබඳ ප‍්‍රශ්න ගැන උනන්දුවෙන් ප‍්‍රබෝධමත්ව සිටින මෙම අවස්ථාවේ විශේෂ කර්තව්‍යයද වන්නේ එම ප‍්‍රචාරය හා උද්ඝෝෂනය කර ගෙන යාමය... දේශපාලන පත‍්‍රයක් නොමැතිව වර්තමාන යුරෝපයේ දේශපාලන ව්‍යාපාරයක් යන නමට සුදුසු වන ව්‍යාපාරයක් පැවතිය හැකි නොවේ. එවන් ප‍්‍රවෘත්ති පත‍්‍රයක් නොමැතිව අපට අපගේ කර්තව්‍යයන් ඉටුකල හැකි වන්නේ නැත - දේශපාලන අප‍්‍රසාදයේ හා විරෝධය පෑමේ මූලිකාංගයන් සියල්ලම සංකේන්ද්‍රනය කිරීමේ සහ එමගින්, නිර්ධන පන්තියේ විප්ලවීය ව්‍යාපාරය පන ගැන්වීමේ අපගේ කර්තව්‍යය ඉටුකල හැකි වන්නේ නැත. ( ලෙනින්, පටන්ගත යුත්තේ කොතැනින් ද, (ප‍්‍රගති ප‍්‍රකාශක මන්දිරය, මොස්කව්) 8-9 පිටු.

ලෙනින්ගේ ප‍්‍රකාශනය වූ ඉස්ක‍්‍රාව “සමස්ත රුසියානු” මුද්‍රිත පුවත්පත විය. සියවසකට පසුව, අන්තර්ජාලයේ පල කෙරෙන ගෝලීය ප‍්‍රකාශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. දෛනික පාඨක සංඛ්‍යාව දස දහස් ගනනක් වන තතු තුල එය, ලෝකය පුරා සමාජවාදී විඥානය වර්ධනය කිරීමෙහිලා අන් කවරදාකටත් වඩා වැදගත් බලපෑමක් කරනු ලබයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිති අවධියේ කම්කරුවන්, තරුන සිසුන් හා බුද්ධිමතුන්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා, මාක්ස්වාදී න්‍යායේ හා ට්‍රොට්ස්කිවාදී මූලධර්මවල පදනම මත, මූලික හා තීරනාත්මක ක්‍රියා කලාපයක් ලෝසවෙඅ මගින් ඉටුකරනු ලබයි. ධනපති මාධ්‍යයේ බොරු හා ස්වෝත්තමවාදී ප‍්‍රචාරයන්ට මුහුන දෙන පාඨකයින්, තම දේශපාලන යොමුව සඳහා ලෝසවෙඅ මත පාදක වේ.

ඔවුන් ලෝසවෙඅ තුල දැකගන්නේ දිනයේ සිදුවීම් පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් පමනක් නොව, විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුලින් පැන නගින තීරනාත්මක න්‍යායික, දේශපාලන හා සංස්කෘතික ප‍්‍රශ්න පිලිබඳ පැහැදිලි කිරීම් ද පිලිතුරු ද වේ. ස්ටැලින්වාදයේ ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ ද ව්‍යසනකාරී උරුමයන් ජයගැනීමේදී ද සුලු ධනේශ්වර, ව්‍යාජ වාම අනන්‍යතා දේශපාලනය මගින් සමාජවාදී න්‍යායේ හා දේශපාලනයේ ඇතිකරනු ලබන සමකාලීන පහත් හා මුසාකරනයන් හෙලිදරව් කිරීමේදී ද එය, වැදගත් ක්‍රියාකලාපයක් ඉටුකරනු ලබයි. 20 වසරක ගමන් මගෙහිදී ලෝසවෙඅ, 21 වන සියවසේ සමාජවාදය සඳහා අරගලයේ පුනර්ජීවය සඳහා තිරසාර දේශපාලන පදනමක් දමා ඇත.

දේශපාලන තත්වය වඩ වඩාත් ඔද්දල් වෙමින් ද පන්ති අරගලය තීව‍්‍ර වෙමින් ද තිබියදී, ලෝසවෙඅ පාඨකයින්ගෙන් වැඩිවන පිරිසක්, දේශපාලනිකව සක්‍රීය වෙමින්, ධනපති අසමානතාවටත්, අධිරාජ්‍යවාදී යුද්ධයටත් සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමේ තීන්දුවට එලඹෙමින්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයට බැඳී එය ගොඩනැගීමට කැපවෙති.

අන්තර්ජාල වාරනය හා ලෝසවෙඅ අපලේඛනගත කිරීම

ඇමරිකාවේ මූලිකත්වයෙන් සියලු අධිරාජ්‍යවාදී බලවත්තු ලෝක යුද්ධයට සූදානම් වෙමින් සිටිති. සමාජ අසමානත්වය හා ධන සංකේන්ද්‍රනය දිරවාගත නොහෙන මට්ටම් කරා නැගී ඇත. ගැඹුරින්ම අපකීර්තියට පත්ව, අභ්‍යන්තර දේශපාලන කුලල් කා ගැනීම්වල පැටලී සිටින ධනපති පාලක පන්ති, පාලනයේ ආඥාදායක රූපාකාරයන් වෙත හැරෙති. සෑම තැනකදීම ඔවුහු කම්කරු පන්තියේ වැඩෙන සමාජ විරුද්ධත්වයෙන් භීතියට පත්ව සිටිති.

“ව්‍යාජ ප‍්‍රවෘත්ති” වැලැක්වීමේ කඩතුරාව යටතේ අන්තර්ජාලය වාරනය කර පාලනය කිරීමේ සම්බන්ධීකරනය කල ව්‍යාපාරයක් යටින් පවතින්නේ මෙම භීතියයි. ලෝසවෙඅ පිහිටුවන අවධියේදීම ජාත්‍යන්තර කමිටුව අනතුරු ඇඟවූයේ, අන්තර්ජාලයේ විප්ලවකාරී ඇඟවුම් ගැන පාලක පන්තිය දැනුවත් වීමට පටන් ගැනීමත් සමග ඔවුන් එය පාලනය කිරීමට නැත්නම් වසා දැමීමට කටයුතු කරනු ඇති බවය. දැන් සිදුවෙමින් ඇත්තේ හරියටම ඒ දෙයයි.

ගූගල්, මුහුනු පොත (Facebook), ට්විටර් හා අනෙකුත් සමාගම් සමග සහයෝගීව ඇමරිකානු ආන්ඩුව, අන්තර්ජාල ප‍්‍රවිෂ්ටය දැවැන්ත ලෙස සීමා කිරීම් පනවමින් සිටී. 2017දී ට‍්‍රම්ප් පාලනය අන්තර්ජාල මධ්‍යස්ථ භාවය අහෝසි කිරීමේ සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය. එය අන්තර්ජාලයෙන් ප‍්‍රවෘත්ති ගලායාම අවහිර කිරීමට දැවැන්ත හා බලගතු තාක්ෂනික ඒකාධිකාරයන්ට අවස්ථාව උදාකර දුන්නේය. එවැනිම මර්දනකාරී ප‍්‍රතිපත්ති යුරෝපයේ හා ලෝකය පුරා ධනපති ආන්ඩු ද අනුගමනය කරමින් සිටිති.

මෙම ප‍්‍රහාරයේ ප‍්‍රධාන ඉලක්කය ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. 2017 මාර්තුවේදී ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය ජර්මානු මිලිටරිවාදයේ පුනර්ජීවයට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂනයට ප‍්‍රතිචාර දක්වමින් රටේ ප‍්‍රධාන ධනපති පුවත්පත් ලෝසවෙඅ හෙලාදකිමින් ප‍්‍රකාශ නිකුත් කලහ. ජර්මනියේ ප‍්‍රමුඛ ධනපති පුවත්පත වන ෆ‍්‍රැන්ක්ෆර්ටර් ඇල්ජෙමින් සෙයිටුන් ලෝසවෙඅ හැඳින්වූයේ, “අන්තයටම බලපෑම් සහිත” [Wirkungsmächtig] ලෙසය. 2017 අප්‍රේල් මාසයේ මුල බර්ලිනයේදී, ගූගල් නියෝජිතයින් සමග පැවති රැස්වීම් වලදී ජර්මානු ආන්ඩුවේ නියෝජිතයෝ, ලෝසවෙඅට පිවිසුම් සීමා කරන ලෙස සමාගමට බල කලහ.

2017 අප්‍රේල් මාසය අගදී ගූගල්, ලෝසවෙඅට හා අනෙකුත් වාමාංශික, යුද විරෝධී හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි වෙත ප‍්‍රවිෂ්ටය සීමාකිරීමේ හෝ අවහිර කිරීමේ එල්ලය ඇතිව නව ක‍්‍රමලේඛයක් (අල්ගොරිතම්, algorithm) ක්‍රියාත්මක කලේය. විප්ලවවාදී සමාජවාදී හා විරුද්ධවාදී තොරතුරු හා ප‍්‍රකාශ වෙත පිවිසීම, අන්තර්ජාල පරිශීලකයින්ට අත්හිටුවන ඒ හා සමාන පියවර මුහුනුපොත හා ට්විටර් විසින් ද ගෙන ඇත.

අන්තර්ජාලය වාරනය කිරීමේ මෙම කුමන්ත‍්‍රනය හෙලිදරව් කිරීමට මූලිකත්වය ගනිමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය, භාෂනයේ නිදහසට හා මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි මෙම ප‍්‍රහාරයට ප‍්‍රති ප‍්‍රහාර දීම සඳහා සමාජවාදීන්ගේ, යුද විරෝධීන්ගේ හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවිවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කලේය.

පාලක පැලැන්තියේ හා ඔවුන්ගේ වාරකයින්ගේ ආඥාදායක පියවර පරාජයට පත් කල යුතුය. මේ සඳහා ලෝකයේ සිටින බලගතුම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලමුලූ ගැන්වීමක් ඉල්ලා සිටියි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා සියලු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම, යුද්ධයට, සමාජ අසමානතාවට හා ආඥාදායකත්වයට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැක. ඒ සඳහා ධනපති ක‍්‍රමය අහෝසි කර, ගෝලීයව සම්බන්ධීකරනය කරන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය කරන සමාජවාදී සමාජයකින් එය විස්ථාපනය කිරීම ඉල්ලා සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා අනාගතය

ප‍්‍රකාශනයේ වසර 20 සලකුනු කරද්දී ලෝසවෙඅ, ලොව පුරා පැන නැගෙන පැතිරෙන සමාජ අරගලයන්ගේ සුලිය තුලට ඇදගනිමින් තිබේ. අපගේ ලේඛකයින් නිරීක්ෂකයින් පමනක් නොවේ, ඔවුන් වර්ධනය වන පන්ති සටන්වලට සහභාගි වන්නන්ය. එක එල්ලේ වැඩෙන ලෝසවෙඅ පාඨකයින් ගැන ද කිව හැක්කේ එයමය. ලෝසවෙඅ දියත් කරන විට ලදරුවන්ව සිටි හෝ ඉපදිලාවත් නැති තරුනයින් දැන්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාතික ශාඛාවන්හි හා එහි ලෝක තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ වැඩකටයුතු වලට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වෙමින් හා වැඩ කරමින් සිටී. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මාක්ස්වාදී විශ්ලේෂනයේ හා විප්ලවවාදී භාවිතයේ එක්සත්කම හා අන්තර් ක්‍රියාකාරිත්වය නියෝජනය කරයි.

පසුගිය වසර පුරා කම්කරුවන් අතර පාඨකත්වය සැලකිය යුතු තරම් හා වේගවත් වර්ධනයක් විශේෂකොටම අපි අත්දකිමින් සිටිමු. ලෝසවෙඅ හා ඔටෝ වර්කර්ස් නිව්ස්ලෙටර් වැනි එහි අතිරේක ප‍්‍රකාශන මාස්පතා දහස් ගනන් කම්කරුවන් විසින් පරිශීලනය කරයි.

වැඩෙන පාඨකත්වය සමග කටයුතු කිරීම සඳහා අපි, වෙබ් අඩවියේ තාක්ෂනික පදනම නිරන්තරව පුලුල් කරමින් සිටින අතර වීඩියෝ, සජීවි විස්තර කථන හා බහු මාධ්‍ය ආකෘතින් යොදා ගනිමින් සිටිමු. දැන් ලෝසවෙඅ, කියවීමේ හැකියාව හා ක්‍රියාකාරිත්වය විශාල ලෙස වැඩිදියුනු කරනු ඇති පුලුල් ලෙස යලි සැකසීමක අවසන් අදියරට එලඹ සිටියි.

අපගේ සියලූ පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහා සටන් වදින ලෙසය. ලෝසවෙඅ ලිපි ලේඛන හුවමාරු කරමින්, ඒවා මුද්‍රනය කරමින්, ඒවා තම මිතුරන්, පන්තියේ අනෙක් සිසුන් හා කම්කරු සගයින් අතර බෙදාහැරීමට පියවර ගනිමින් අන්තර්ජාල වාරනය බිඳීමට උදව් කරන්න. තමන් ජීවත්වන ප‍්‍රදේශ වල ද වැඩ කරන තැන් වලද වර්ධනයන් ගැන වාර්තා එවමින්, ලෝසවෙඅ නියෝජිතයෙක් වන්න.

පසුගිය විසි වසර, න්‍යායික හා දේශපාලන පැහැදිලි කිරීමේ හා සූදානමේ දශකයන් විය. දැන් අප එලඹ සිටින්නේ පන්ති ගැටුම්වල හා සමාජ නැගිටීම්වල උත්සන්න වන අවධියකටය. ධනේශ්වර සූරාකෑමටත් අධිරාජ්‍යවාදී මිලිටරිවාදයටත් එරෙහි මෙන්ම, සමාජවාදී පදනමක ලෝකය යලි ගොඩනැගීමේ අරගලයේදී ජාත්‍යන්තර කම්කරු පන්තියේ හඬ බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය පත්වනු ඇත, පත්විය යුතුය.

ඩේවිඩ් නෝර්ත් හා ජෝ කිෂෝර්

(ලෝසවෙඅ 20වන සංවත්සර අරමුදලට ආධාර කරන්න)

අන්තර්ජාල වාරනයට එරෙහිව සටන් වදින ජාත්‍යන්තර සන්ධානයක් වෙනුවෙන්

සමාජවාදීන්ට, යුද විරෝධීන්ට හා වාමාංශික හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි, සංවිධාන හා ක්‍රියාකාරිකයන් වෙත ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයෙන් විවෘත ලිපියක්

2018 ජනවාරි 23

Fight Google's censorship!

Google is blocking the World Socialist Web Site from search results.

To fight this blacklisting:

Share this article with friends and coworkers