මරන දන්ඩනය වහා ම ක්‍රියාවට දැමීමට තීන්දු කල බව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරනතුංග මාර්තු 13 දා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිවේදනය කලා ය. පසුගිය දශක දෙකක් පමන කාලයක් භාවිතයේ පැවති පොදු සමාව දීමේ භාවිතාවන් වෙනස් කල බව ද එම නිවේදනයේ තව දුරටත් සඳහන් වේ. 'අපරාධ මැඩ පැවත්වීම සඳහා දැඩි නීති අවශ්‍ය බව' හුවා දක්වමින් ධනපති ජනමාධ්‍ය හරහා කෙරුනු දැනුවත් හා ක්රමානුකූල උද්ඝෝෂනයකට පසු ජනාධිපතිනිය ගෙන ඇති මෙම පියවරෙන් සලකුනු වන්නේ ශ්‍රී ලංකාවේ පාලක පන්තියත් එහි පොදු පෙරමුනු ආන්ඩුවත් තවත් දකුනට ගමන් කිරීම යි.
මරන දන්ඩනය පැනවීමේ නීතිය, නීති පොතේ තිබුනත්, ඉහල උසාවි මගින් මීනිමැරුම් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් වරදකරුවන් වූවන්ට මරන දඬුවම නියම කලත්, 1976 ජූනි 23 දිනට පසු ලංකාවේ එය ක්‍රියාත්මක කර නැත. එසේ වූයේ දක්ෂිනාංශික යුඇන්පී ආන්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මරන දන්ඩනයට නියම වී සිටි පුද්ගලයන් එල්ලා මැරීම පිනිස වන ලිපිලේඛනවලට අත්සන් නො කිරීම යි. රාජ්‍යයේ ප්‍රධානියා එලෙස අත්සන් තැබීම නීතිමය අවශ්‍යතාවයකි. ඒ වෙනුවට ඔහු මරන දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පත් කරන ලෙස (න්‍යාදිෂ්ට කරන ලෙස) නියෝග කලේ ය. ජනාධිපති ජයවර්ධන එලෙස කලේ නිශ්චිත දේශපාලන අරමුනු ඇති ව ය. ඔහුගේ අභිප්‍රාය වූයේ ශ්‍රිලනිප - කොප - ලසසප හවුල් ආන්ඩුවේ රුදුරු මර්දනයේ පීඩාවට හා හෙම්බත්වීමට පත්ව සිටි සුලු ධනේශ්වර කොටස්, ජනතා විමුක්ති පෙරමුන ද ඇතුලු මධ්‍යම පන්තික කොටස් යුඇන්පිය වටා පෙල ගස්වා ගැනීම යි.
ජනාධිපති ජයවර්ධන මරන දන්ඩනය ක්‍රියාත්මක නො කලේ දේශපාලන අරමුනු ඇතිව වුවත් එම දඬුවමට ලක් වූ පුද්ගලයන්ට ඉන් බේරීමට අවස්ථාව ලැබුනි. නීතිමය වසයෙන් මරන දන්ඩනය අහෝසි කරන පනතක් ඔහු සම්මත කර නො ගත්තේ අවශ්‍ය විටෙක එය එලියට ගැනීමේ කෛරාටික අරමුන ඇතිව ය.
සදාචාර යුද්ධය
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරනතුංග මරන දන්ඩනය ක්‍රියාත්මක කිරිම ඔජවඩවමින් යුක්ති සහගත කරන්නේ සදාචාරය වෙනුවෙන් කුරුස යුද්ධයක යෙදෙන්නියක ලෙස ය. 'අපරාධ වේගයෙන් නගිමින් පවතී. මිනිස් ජිවිත ගැන කිසි ම ගරු කිරීමක් නැති අපරාධකාරයන්ට අනුකම්පාව දක්වන්ට මේ අවස්ථාව නො වේ. එනිසා මගේ ආන්ඩුව මරන දන්ඩනය යලිත් ක්‍රියාත්මක කරන්ට තීන්දු කර ඇත' යයි මාර්තු 14 දා රත්මලානේ පැවති පලාත් සභා මැතිවරන රැස්වීමක් අමතමින් ඇය කියා සිටියා ය.
මරන දන්ඩනය ආරක්ෂා කිරීම් වස් ඉතිහාසයේ දී යලි යලිත් පට්ට ගසනු ලැබූ තර්කය තොරොම්බල් කරමින් ඇය මෙසේ සඳහන් කලා ය: 'ලිහිල් බව පෙන්වීම හේතු වි තිබෙන්නේ මිනී මැරුම්, ස්ත්‍රී දූෂන වැනි බරපතල අපරාධ අඩුවෙන්ට නො වේ. ඒවා පිමිවලින් ඉහල නගින්ට යි. කිසි ම කනගාටුවක් නැතිව මරන දන්ඩනය දීමේ නිවාරකය ක්‍රියාවට දමන්ට අපට බල කෙරී තිබේ.' යුඇන්පී ආන්ඩුවේ අපචාර හුවා දක්වා දේශපාලන ලකුනු රැස් කරන්ට ද තම නියෝගය යුක්ති යුක්ත කරන්ට ද ඇය තව දුරටත් මෙසේ කියා ඇත: 'ජේ.ආර්. ජයවර්ධන මරන දන්ඩනය නවතා දැමුවේ යුඇන්පියට ආධාර කල අපරාධකාරයන් බේරා ගැනිමට යි.'
ක්‍රියාත්මක කෙරන බව ප්‍රකාශිත මරන දන්ඩනය අනුව වැරැදිකරුවෙකු එල්ලා මැරීම සඳහා නඩුව විභාග කරන විනිසුරුගේ, නීතිපතිගේ හා අධිකරන ඇමතිගේ ඒකමතිකත්වය අවශ්‍ය ය. ඉන්පසු ජනාධිපති අනුමැතිය අවශ්‍ය වේ. එවන් ඒකමතිකත්වයක් නොමැති තැන මරන දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කෙරෙයි. ජනාධිපතිනියගේ නිවේදනය අනුව එම සිර දඬුවම යලි සලකා බැලෙන්නේ කලින් මෙන් සිව් වසරකට පසුව නො ව විසි වසරකට පසු ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පුවත්පත් නිවේදනයට අනුව පොදු සමාව දීම පසුගිය දශක දෙකේ සිදු කෙරුනු පරිදි වසරකට සය වතාවක් නො ව, මින් මතු එක් වතාවක්, නිදහස් දිනයේ දී පමනක් ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත් ස්ත්‍රී දූෂනය, ලමා අපචාර, මංකොල්ල කෑම, අනවසරයෙන් ගිනි අවි ලඟ තබා ගැනීම, ත්‍රස්තවාදී ක්‍රියා සහ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය බඳු අපරාධවලට වරදකරුවන් වුවන් පිලිබඳව මෙම සලකා බැලීම සිදු නො වේ.
හදිසි නිති යටතේ, සාමාන්‍ය නීතිය යටතේ මෙන් නො ව විත්තිකරුවන්ට නිදහසට කරුනු ඉදිරිපත් කිරීමට ඉඩ දිමකින් තොරව ම, ඔවුන්ගෙන් ලබා ගත් පාපොච්චාරන පවා යොදා ගනිමින් මරන දඬුවම දිය හැකි වැරැදි කලවුන්ට එම දඬුවම පැනවිය හැකි ය.
මරන දන්ඩනය පැනවිය හැකි තවත් 'අපරාධයන්' ද ශ්‍රී ලංකාව දන්ඩ නීති සංග්‍රහයට ඇතුලත් ය. එය වනාහි වෙසෙසින් ම දේශපාලන විරුද්ධවාදීන් හා විප්ලවවාදී අරගලයේ යෙදෙන්නන් මැඩලීම සඳහා නම් කර ඇති 'අපරාධයකි ' ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයේ 114 වන කොටසේ එය මෙසේ සඳහන් වේ: 'රාජ්‍යයට එරෙහිව යුද්ධ කරන්නා වු හෝ යුද්ධ කිරිමට තැත් කරන්නා වු හෝ එවැනි යුද්ධයක් කිරිමට අනුබල දෙන්නා වු හෝ යම් තැනැත්තෙකුට මරන දන්ඩනය පැමින වීම, හෝ අවුරුදු 2ක් දක්වා වන සිර දඬුවමක් පැමිනවීම, සහ ඔහුගේ සියලු දේපල රාජසන්තක කිරීම සිදු කරනු ලැබේ.'(අපගේ පරිවර්තනයක් බව සලකන්න)
මීට අමතර ව මහජන අරගල මැඩීම සඳහා විශේෂයෙන් දෙමල ජාතික අරගලය වර්ධනය වන තතු යටතේ 1979 දී නීති ගත කෙරුනු අතිශය රුදුරු මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති මගින් ද මරන දන්ඩනය පැනවිය හැකි ය.
පසු ගිය අවුරුදු කීපයක පටන් ආන්ඩුවත් අවශේෂ ධනපති පක්ෂත්, ආන්ඩුවේ හා පුද්ගලික ජනමාධ්‍යත්, පොලිස් ලොක්කන් හා ප්රමුඛ බෞද්ධ භික්ජුනුත් ඉහල යන අපරාධ වැලැක්වීමට 'දැඩි නීති ක්‍රියාවට දැමීමේ වුවමනාකම' ගැන වඩවඩාත් උග්‍ර කෙරුනු ප්‍රචාරයක යෙදී ගත්තේ ය. ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු වන භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර විසින් මරන දන්ඩනය යලි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කල පෞද්ගලික යෝජනාවක් 1995 ජූනි 29 දා පාර්ලිමෙන්තුවේ දී ඒකමතිකව සම්මත කෙරුනි. ආන්ඩුවෙන් පාලනය කෙරෙන විද්‍යත් මාධ්‍ය දැන් 'තතු දන්නා අය' ලෙස හුවා දැක්වෙන පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් මරන දන්ඩනය යුක්ති යුක්ත කිරීමේ හා දැඩි නීති ඉල්ලා සිටීමේ විශේෂ ප්රචාරක උද්ඝෝෂනයක් සංවිධානය කර තිබේ.
1936 දී හා 1956 දී මරන දඬුවම අහෝසි කිරිමට හා කල් දැමීමේ යෝජනා ඉදිරිපත් කෙරුන විට මරන දඩුවම අහෝසි කිරිම වෙනුවෙන් ලසසප නායකයන් තරයේ වාද කලත් අද එම පක්ෂය ස්ටැලින්වාදි කොමියුනිස්ට් පක්ෂය සමඟ එක් ව එය ක්‍රියාත්මක කිරිමට කෙලින් ම සහයෝගය දි සිටි යි. ජනතා විමුක්ති පෙරමුනේ හා නව සමසමාජ පක්ෂයේ ආස්ථානය ද එය යි.
මල්වතු පාර්ශවයේ මහා නායක රඹුක්වැල්ලේ විපස්සි භික්ජුව මරන දඩුවම පැනවීමට ප්‍රසංශා කරමින් මෙසෙ පැවසු බව ද සන්ඩේ ටයිම් (මාර්තු 14) සඳහන් කලේ ය්ය 'මිනී මැරීම් රැල්ලට හේතු වි ඇත්තේ දැඩි නීති පැනවීමට අසමත් වීම යි. මෙය (මරන දඩුවම පැනවීම - ක.මා.) අපරාධ වැලැක්වීමට ගත හැකි එක් ක්රියාමාර්ගයකි.' සිංහල වර්ගවාදය ඇවිලවිම පිලිබඳව නම් දරා සිටින මාදුලුවාවේ සෝභිත භික්ජුවගේ ප්‍රසංශාව එම පුවත් පත ම වාර්තා කර තිබුනේ මෙසේ ය: 'රටක නීතිය, සාමය හා යුක්තිය පවත්වා ගැනිම සඳහා අවශ්‍ය නීති පැනවීම ආන්ඩුවක වගකීම යි .'
පොදු පෙරමුන, යුඇන්පිය, අනෙකුත් ප්රතිගාමී කොටස් හා හිටපු රැඩිකලුන් දක්වා බලවේග පෙල ගැසී ඇත්තේ 'දැඩි නීති පනවා ගන්ට' මෙන් ම අපරාධ රැල්ලක් නැගීමට තුඩු දී ඇති සැබෑ හේතුන් ආවරනය කිරීමට යි.
වර්ගවාදය හා අපරාධකරනය
පසු ගිය දශක එකහමාරක කාලය තුල වඩ වඩාත් උග්‍ර වෙමින් පවතින මහ අපරාධ රැල්ලකට ම තුඩු දී ඇත්තේත්, පොදුවේ අපරාධ නැගීමට තල්ලුව සපයා ඇත්තේත් දෙමල පීඩිතයින්ට එරෙහිව දියත් කෙරී ඇති මුර්ග වර්ගවාදී යුද්ධය යි. එය සමග රට පුරා කම්කරු-පීඩිත ජනතාවන් පාගා ගැනීමට මුදාහල රුදුරු මර්දනය එකට බැඳී ගත්තේ ය. වර්ගවාදී යුද්ධයෙන් මේ දක්වා 70,000ක් පමන ඝාතනය කෙරී ඇත. යුඇන්පී පොදු පෙරමුනු ආන්ඩු වර්ගවාදීන් උසි ගන්වාගෙන දෙමල පීඩිතයන් පාගමින් ඇරඹු මර්දනයෙන් මිනිස් ජීවිත තුට්ටුවකට ගනන් නො ගන්නා වාතාවරනයක් වර්ධනය කර ඇත. යුඇන්පී ආන්ඩුව යටතේ 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය දක්වා විහිදී ගියේ මෙම මර්දනය යි. මේ තතු තුල ම ධනපති පන්ති පාලනය රැකීමට ද, ධනය කොල්ල කෑමට ද ධනපති පන්තියේ සංවිධිත මිනීමරු හමුදා ගොඩ නගා ගෙන ඇත.
පසු ගිය අවුරුදු කීපයේ හමුදාවෙන් පැන ආ කොටස් අපරාධ සිදු කිරීම ජිවන වෘත්තියක් බවට පත්කර ගෙන ඇති බව සුප්‍රකට ය. පාතාලයේ ගැවසෙන අනෙකුන් සමග මේ කන්ඩායම් අපරාධ කිරීම සඳහා කුලියට ගත හැකිය. ඇතැම් ධනපතියන් විසින් මිනීමැරිම්, ස්ත්‍රී දූෂන හා තවත් අපරාධ සඳහා මෙහෙයවෙන මේ කන්ඩායම් සාමාන්‍ය මහජනයාගේ ජීවිතයට මාරක අන්තරායත් ලෙස ඉස්මතුව ඇත. ලමුන් අපචාරයට ගොදුරු කිරීමට විකිනීම, ස්ත්‍රීන් හා පුරුෂයන් ගනිකා වෘත්තියට විකිනීම, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ධනපතියන් විසින් මෙලෙස සංවිධානය කෙරුනු අනෙකුත් අපරාධයන් ය.
දශක දෙකකට පමන පෙර සැලසුම් කල මිනීමැරුම් හා අනෙකුත් අපරාධ දකින්ට ලැබුනේ කලාතුරකිනි. දැන් සැලසුම් කල අපරාධ මුල් තැනකට පැමින ඇත.
සාපරාරී ක්‍රියාවන් ලෙස මුදුනෙන් ම දකින්ට ලැබෙන්නේ වර්ගවාදී යුද්ධයෙන් පටන් ගෙන ධනපති ආන්ඩු හා පාලක පන්තියේ කොටස් විසින් ම සිදු කරන ලද්දා වු අපරාධයන් ය. මහජන ජීවිත නො තකන අපරාධකරනයත් ඔවුන් විසින් ඇති කර තිබේ. එය මහජන මනස් කෙරෙහි බලපාන ප්රතිගාමී පීඩනයක් වෙයි. මෙම වර්ධනයන් ධනවාදයේ කුනුවීම හා ප්රතිගාමීත්වය උලුප්පා පෙන්වයි.
අපරාධ ගැන මොර දෙන පොදු පෙරමුනු ආන්ඩුව හා අනෙකුත් කුහකයින් ලංකාව තුල වර්ගවාදි යුද්ධයෙන් ඇති කෙරුනු මේ බිහිසුනු ප්‍රතිවිපාක සඟවති. පොදු පෙරමුනු ආන්ඩුව, යුඇන්පිය හා පොදුවේ පාලක පන්තිය ද සදාචාර සිල් රෙදි පොරවා ගත් ප්රතිගාමී කල්ලි ද අපරාධවලට හා අපරාධකරනයට වගකිව යුතු ය.
මේ තතු සඟවාගෙන අපරාධ ගැන කඳුලු සලන ජනාධිපතිනිය, අපරාධ හා වෙනත් ව්‍යසනයන්ගෙන් තොර ව සාමකාමී ජීවිතයක් ගත කිරිමට පොදු මහජනයාට පවතින අභිලාෂය ගසා කන්නේ ඊට කෙලින් ම ප්‍රතිවිරුද්ධ අරමුනු ඇතිව ය. එය වනාහි සමාජ ප්‍රශ්නවලින් මිරිකී කැකෑරෙන මහජනයාගේ ඇස් වෙනත් අතකට යොමු කිරීමට හා 'අපරාධවලට විරුද්ධව' ක්‍රියා කිරිමේ නමින් 'අයෝමය පාලනයක්' තහවුරු කර ගැනීමට දැරෙන තැතකි. එවන් උද්ඝෝෂන අවසන් විග්රහයේ දී යොමු වී ඇත්තේ සියලු අපරාධ මැඩලීමේ නමින් ආඥාදායකත්වයක් තහවුරු කිරිමේ දිශාවට යි.
දැඩි නීතිවල ආධිපත්‍යය පිහිටුවිමේ මෙම උද්ඝෝෂනය දියත් වී ඇත්තේ ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ අරගල වර්ධනය වන තත්වයක වීම අහම්බයක් නො වන්නේ ඒ නිසා ය. පසු ගිය සති දෙකේ දකින්ට ලැබුනේ ආන්ඩුවේ හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ උද්ඝෝෂන හා අරගල පිපිරී ඒමකි.
ධනපති පන්ති පාලනය විසින් සිදු කරන ලද අපරාධකරනය පොදුවේ අපරාධවල නැගීමට තුඩු දෙන්ට ඇත යන්න අභව්‍යයක් නො වේ. පොලිස් දෙපාර්තමෙන්තුවේ වාර්තාවලට අනුව පසු ගිය අවුරුදු කීපයේ බරපතල අපරාධවල වැඩීම මෙසේ ය:
1993 1994 1995
43,990 52,344 53,062
දුප්පත්කම හා අපරාධ වැඩිවීම
අපරාධ මෙලෙස නැගෙන්නේ එක්අතකින් සමාජ ධනය ඉහල නගින තත්වයක යි. අනෙක් අතින්, සමාජ ධනය ඉහල ගියත් එය බෙදී යාමෙහි ඇති වෙමින් තිබෙන්නේ බරපතල ද්රැවන්ත ගතවීමකි. 1996- 97 දී ශ්‍රී ලංකාවේ පොහොසත් ම සියයට 20 ජාතික ආදායමෙන් සියයට 53ක් ම කොටා ගත් අතර පහලින් සිටින දුගීන්ට ලැබුනේ සියයට 13කි. මේ අතර සංවිධිත අපරාධකරුවන් හැරුනු කල අපරාධවලට තල්ලු වූ අති විශාල වැඩි කොටස දුගීන් ය. 1994 බන්ධනාගාර කොමසාරිස්ගෙ පරිපාලන වාර්තාව අනුව සිර දඩුවම් ලද 16,241කින් 15,168ක් ම 8 වන ශ්‍රේනියෙන් ඉහලට අධ්‍යාපනය නො ලැබූවන් ය..
අපරාධ වැඩිවීම ද සමාජ බෙදීම් පුලුල්වීම ද ලෝක ප්රපංචයකි. එක්සත් ජනපදයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තු වාර්තාවලට අනුව 1997 දී ජාතික ආදායමින් සියයට 49.4ක් ම ගියේ ධනවතුන් අතට ය. දුගී සියයට 20න් ලැබුවේ ජාතික ආදායමින් සියයට 3.6කි.*
ලෝක සමාජවාදී වෙබ් අඩවිය උපුටා දැක්වූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්තාවකට අනුව '1997 මැද වන විට එක්සත් ජනපද බන්ධනාගාරවල රැඳවුනු ජනයා දෙගුනයක් වී ඇත. ...1970 දී 5600ක් වූ කාන්තා සිරකාරියන් ගනන 1997 දී 75,000ට නැග ඇත.'**
මෙම ගනන් හිලව් බලගතු ලෙස කතා කරයි. මාක්ස් කී පරිදි: 'සිය දුක්කිත භාවය අඩු නො කරන්නාවූ ද සංඛ්‍යාවෙන් වඩා වේගවත් ව අපරාධ වැඩි කරන්නා වු ද සමාජ පද්ධතියෙහි අරටුවෙහි ම කුනු වූ යමක් ඇත.'***
වගකිවයුත්තේ කව්ද?
මෙම සමාජය මහජනතාවන්ගේ ජීවන හා සංස්කෘතික මට්ටම් නැංවීමට අසමත් ව සිටිනවා පමනක් නො වේ එය කෝටි සංඛ්‍යාත ජනයා දිනෙන් දින ම ප්‍රපාතයකට ඇද හෙලයි. අපරාධ පිලිබඳ සමාජ රෝගී භාවයට මෙම සමාජ ක්‍රමය වගකිව යුතු ය. ධනපති පාලකයන් හා ධනපති ජන මාධ්‍ය, සංඛ්‍යා ලේඛන හා සිත් කලඹන වාර්තා මගින් ඉදිරිපත් කරන්නේ ප්‍රතිවිපාක මිස සැබෑ හේතු නො වේ.
ජනාධිපතිනියගේ නිවේදනයේ අපරාධ වැඩිවීමට හේතු ලෙස යුඇන්පිය විසින් මානුෂික ගුනාංග නැතිව 'විවෘත ආර්තික පිලිවෙත් ක්‍රියාවට දැමිමත්' එම ආන්ඩුවේ ඉහල තැන්වල පුද්ගලයන් අපරාධකාරයන්ට බුරුල දීම හා ඔවුන් ඇසුරු කිරීම දක්වා ඇත. මේ හේතු දැක්වීම් අනුව යුඇන්පිය මෙන් ම පොදු පෙරමුනු ආන්ඩුවත් එකසේ වැරැදිකරු වෙයි.
අපරාධකරනයට සම්බන්ධ පාලක පන්තිය හා එම පාලක පන්තියේ වත්මන් ජනාධිතිනිය මිනීමැරිම් හා අනෙකුත් අපරාධවලට නිවාරකය මරන දඩුවම දීම හා දැඩි නීති පැනවීම යයි කියා සිටී. මෙම පට්ට ගැහුනු තර්කය බොරුවක් බව යලි යලිත් පෙන්වා දෙනු ලැබ ඇත. එක්සත් ජනපදයේ පසු ගිය අවුරුදු හය තුල එක සතියකට එක 'වරදකරුවෙක්' බැගින් මරනයට පත් කර තිබේ. එහෙත් මිනීමැරුම් හා මරන දඩුවමට ලක්විය හැකි අපරාධ අඩු වී නැත. එමෙන් ම සංවිධිත මිනිමරුවෝ ආන්ඩුවේ, රාජ්‍යයේ ඉහල තැන්වල දක්ෂ නීතිඥයින්ගේ ආධාරයෙන් බේරි යති. වියදම් කල නො හැකි දුගීන් පමනක් දඩුවම් ලබති. එක්සත් ජනපදයේ මරන දන්ඩනයට කැප වු ඇතැම් සිරකරුවන් මරා දැමුනු පසු හා මරා දැමිමට ආසන්න තත්වයේ දි නිවැරැදිකරුවන් ලෙස ඔප්පු වු අවස්ථා තිබේ.
මනුෂ්‍ය වර්ගයාගේ ඈත ඉතිහාසයක සිට එන මරන දඬුවම පැනවීම ඇහැට ඇහැක්, දතට දතක් යනුවෙන් එකට එක කිරීම මත පදනම් වෙයි. ලංකා සමසමාජ පක්ෂය 1970-71 හවුල් ආන්ඩුව යටතේ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමට සහභාගි වූවත්, දැන් පොදු පෙරමුනු ආන්ඩුවේ කොටස් කාරයෙක් ලෙස ජනාධිපතිනියගෙ නියෝගයට උද්යෝගයෙන් සහය දෙතත් 1956 මරන දඬුවම තාවකාලිකව තුන්වසරකට කල් දැමීමේ යෝජනාව බන්ඩාරනායක ආන්ඩුව ගෙන ආ අවස්ථාවේ දී මරන දඬුවම අහෝසි කරන ලෙස දැඩි ලෙස වාද කරමින් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඉදිරිපත් කල තර්ක අදටත් වලංගු ය: ඔහු මෙසේ සඳහන් කලේ ය.
'මරන දන්ඩනයට එරෙහි ව මට සඳහන් කිරීමට ඇති එක් ප්‍රායෝගික කරුනක් ඇත. එය වනාහි මරන දඬුවම පැවතීම බන්ධනාගාර ප්රතිසංස්කරනය කිරිම පිනිස ස්තිරසාර හා බැරෑරුම් ප්රයත්නයක දැරීමට එරෙහිව දැඩි ව පිහිටා සිටී. එවැනි ම දෙවන කරුනක් ද මට දැක්වීමට අවශ්‍ය ව තිබේ. එය නම් නිශ්චිතව ම මරන දඩුවම පැවතීම මේ රටේ අතිමුලික සමාජ ප්රතිසංස්කරනයක් සඳහා ඕනෑම ක්රමානුකූල ප්රයත්නයක් දැරීමට එරෙහිව බොහෝ ආකාරයන්ගෙන් ක්‍රියාත්මක වි ඇති බව යි. මෙම සමාජයේ සෑම තනි සාමාජිකයෙකු ම මෙම සමාජයේ සාමාජිකයන් ලෙස සමාජය විසින් ගනන් ගතයුතුය යන වගකීමට අප මුහුන නො දෙන්නේ නම්, එවන් සමාජයක් මේ කරුනට මුහුන දීමට සුදානම් නැතත එනම් අප, එවන් මිනිසුන් බිහි කෙරෙන සමාජ පසුබිමක් සහ සන්දර්භයක්, ඇති කිරීම ශික්ෂනය, අධ්‍යාපනය, ආර්තික හා මනෝ විද්‍යාත්මක තත්වයක් පැවතීම ඉවසා සිටින තාක් දුරට සෑම මිනීමැරුමක් තුල ම අප ද ඊට සහභාගි වන්නන් ලෙස සිටින්නේ ය යන්නයි: මෙය අවබෝධ කර ගන්නා තුරු මරන දන්ඩනය පිලිබඳ ප්‍රශ්නයට අපි කෙලින් මුහුන නො දෙන්නෝමෝ වෙමු.****
හිතනමතන මහජනයා පොදු පෙරමුනු ආන්ඩුවේ නායිකාව හා අනෙකුත් බලවේග මරන දඬුවමේ අවශ්‍යතාව ගැන ගෙන යන කුහක කථාවලින් නො මග නො යා යුතු ය. මෙම උද්ඝෝෂනය තුල සැඟවුනු න්‍යාය පත්‍රයට සිත් යොමු කල යුතු ය.
අපරාධකරනයෙන් පෙරට දමා ඇති සංවිධිත ඝාතන, අතුරුදහන් කිරීම් හා අනෙකුත් අපරාධවලට එරෙහිව මහජනයාමත් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු මගින් සංවිධානය වීම අවශ්‍ය ය. මෙම මැර කල්ලි මහජනයාට පහර දීමට තනා ඇති ඒවා හා තැනෙන ඒවා ය. මරන දඬුවම හා අනෙකුත් දැඩි නීති ධනපති පන්තියේ හා ධනපති රාජ්‍යයේ ආයුධ මිස කම්කරු-පීඩිතයින්ගේ ආයුධ නො වේ. මේ නීති සැබැවින් ම උසිගැන්වෙන්නේ දුගී මහජනයාට එරෙහිව ම ය.
කම්කරු පන්තික ආස්ථානය
මේ ධනපති සමාජ පද්ධතිය කුනු වි ඇත. එය සමාජය මත අපරාධකරනයක් පැට වූ වර්ගවාදි යුද්ධය ද මර්දනකාරිත්වය ද ඇති කල සමාජ පද්ධතියකි. එය මහජනයාට ම්ලේච්චත්වය දක්වන සමාජ ක්රමයකි. අපරාධවල වාතාවරනය සකස් කර ඇත්තේ මේ සමාජ පද්ධතිය යි. අපරාධවලට තල්ලු කෙරෙන අයකු මනෝ විද්‍යාත්මකව හෝ සමාජීය ව ප්‍රතිසංස්කරනයට මේ සමාජය අසමත් ය. ධනපති පන්ති පාලනයට ඒ සඳහා ඇති ' නිවාරකය ' මනුෂ්‍ය වර්ගයා ම්ලේච්ච යුගයක ගමන් කරමින් සිටිය දී පැවති 'මිනීමැරීමට මිනීමැරිමෙන්' පලි ගැනීම යි. ධනපති පද්ධතියේ කුනුවීම පෙන්නුම් කරන්නේ ධනවාදය විස්ථාපනය කරමින් ජාත්‍යන්තර සමාජවාදය තහවුරු කිරීමේ අවශ්‍යතාවය යි- එහි කොටසක් ලෙස ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය සමාජවාදී පාලනයකින් විස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය යි.
මරන දන්ඩනය හා දැඩි නීති පැනවීම පිලිබඳ උද්ඝෝෂනය, දහසකුත් එකක් අපරාධවලට සම්බන්ධ පාලක පන්තියට අපරාධ නැති කිරීමට පවතින වුවමනාවකින් පැන නැගුනු එකක් නො වේ. එය පිටුපසින් ඇත්තේ මර්දනකාරී පාලනය තවතවත් තද කිරීමට මෙම පාලක පන්තියට පවතින උවමනාව ය. 'සදාචාරයක්' වෙනුවෙන් තමන් පෙනී සිටින බවක් මවා පෙන්වමින් පොදු පෙරමුනු ආන්ඩුව මහජනයා නො මග යවා තමන් වටා පෙල ගස්වා ගැනීමේ මංමුලාගත තැතක යෙදෙ යි. එය තව තවත් ප්‍රහාර එල්ල කිරීමේ පලල් වැඩපිලිවෙලක කොටසකි. පොදු පෙරමුනු ආන්ඩුව හා ධනපති පන්ති පාලනය විස්ථාපනය කරමින් ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් - කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් - තහවුරු කිරීමට කමිකරු පීඩිත මහජනතාවන් පෙල ගැස් වී ගත යුත්තේ මේ නිසා ය. මුලුමහත් සමාජය ම සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ ඉදිරි දර්ශනය මහජනයා ඉදිරියේ ඇති ඉදිරිදර්ශනය යි. එය ඉදිරිපත් කරන සමාජවාදි සමානතා පක්ෂයේ සවිඤ්ඤානික සටන්කරුවන් බවට ඔබත් පත් වන්න.
සටහන්:
*. සංඛ්‍යාන සංක්ෂේපය, ජන සංගනන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 1997
**(ළුනඉටඑඩ ස්ටඅටඑස ඔෆ ංමඑරඉචඅ - ර්ඉගහටස ෆඔර ංලල - 1998 ඔක්තෝබර් 6 ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්තාව, ලෝක සමාජවාදි වෙබ් අඩවිය 1998 නොවැමිබර් 6, ව්ඉඔලඑනචඑ අනඩ බරඋටඅලඉටය ඉන ටහඑ පරඉසඔන සයසටඑම)
***(ම්අරඹ-ඒනගලඑස ච්ඔලලඑචටඑඩ ත්ඔරකස - ජනගහනය, අපරාධ සහ දිලිඳු බව. පිට 489)
**** (ප්අරලඉඅමඑනටඅරය ඩඑබඅටඑස - මරන දඬුවම තාවකාලිකව අත්හිටුවීම- 551 කොලම, 1956 මැයි 17, 1956- 57, වෙලුම 24).
as-lanka
