කාශ්මීර අර්බුදය ගැන සාකච්චා කරනු පිනිස සිය විදේශ ඇමති සර්ටාජ් අසීස් ජූනි 7 දා නව දිල්ලියට එවීමට පකිස්තානය කර තිබූ යෝජනාවක් පසුගිය සති අන්තයේ දී ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කරන ලදි. එමෙන්ම උතුරු දිග කාර්ගිල් මහා මාර්ගය භාවිත කිරීම, මාධ්‍යවේදීන් ද ඇතුලු සියලු සිවිල් වැසියන්ට තහනම් කිරීමට ද ඉන්දියාව පියවර ගති. මෙය වනාහි, මැයි මස මුල සිට ඉන්දියානු හමුදාවන් හා පකිස්තානයේ ආධාරය ලබන කාශ්මීර බෙදුම්වාදී හමුදා එකිනෙකාට එරෙහිව දරුනු සටන්වල යෙදී සිටින කඳුකර ප්‍රදේශයේ ප්‍රධාන ම මාර්ගය යි.
ඉහත පියවර දෙක ම, පකිස්තානයට අයත් 'අසාද්' (නිදහස්) කාශ්මීරයේ සිට ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට ඇතුලු වී දැන්, පකිස්තානය හා ඉන්දියානු කාශ්මීරය බෙදා වෙන් කරන පාලන රේඛාවට (එල්ඕසී) මීටර දහස් ගනනක් ඔබ්බෙන් පිහිටි ඩ්‍රාස් හා කාර්ගිල් ප්‍රදේශවල මූලෝපායික කඳුගැටවල වාඩිලාගෙන සිටින ඉන්දියානු-විරෝධී හමුදාවන් පලවා හැරීමේ එල්ලයෙන් යුතු නව ගොඩබිම් ප්‍රහාරයක සූදානම ප්‍රකාශයට පත් කරන බව පෙනී යයි. ඉන්දියානු හමුදාවන් 'මෑතදී ලද ජයග්‍රහනයන් සංකේන්ද්‍රනය කරගනිමින් සිටින අතර එම තත්වයේ සිට තව දුර ප්‍රහාර ඉක්මනින් ම දියත් කෙරෙනු ඇතැ'යි, හමුදා ප්‍රකාශක බ්‍රගේඩියර් මොහාන් බන්දාරි පසුගිය සෙනසුරාදා ප්‍රවෘත්ති සම්මන්ත්‍රනයක දී පැවසී ය.
මැයි 31 දා, ඉන්දියාව අසීස්ගේ සංචාරයට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූවත්, දෙපාර්ශ්වය ම, දිනයක් පිලිබඳව එකඟතාවකට ඒමට අපොහොසත්ව සිටියහ. ජූනි 7 දා ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ඉන්දියාව විසින් දෙනු ලැබ ඇති එකම පැහැදිලි කිරීම නම්, එම දිනය තමන්ට 'අපහසු' ය යන්න යි.
ඉන්දියාව විසින් අසීස්ගේ සංචාරය 'කල්දැමීම' නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව වහාම ලාහෝර් නුවර දී කල කතාවක දී, පකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, සිද්ධීන් පහසුවෙන් ම පාලනයෙන් ඉවතට තල්ලු වී යා හැකි යයි අනතුරු ඇඟවී ය. 'පකිස්තානය හා ඉන්දියාව අතර යුද්ධයක් ඇවිලීමේ ඉඩකඩ බැහැර කල නො හැකි' යයි ෂරීෆ් පැවසී ය. ස්වාධීන රාජ්‍යයන් ලෙස පැවති සිය වසර 52ක කාලය තුල දී මේ වන තෙක් ඉන්දියාව හා පකිස්තානය අතර ඇවිලී ඇති යුද්ධ තුනෙන් දෙකක දී ම ප්‍රධාන කාරනාව වූයේ කාශ්මීරය යි.
පසුගිය සතිය මුල දී, පකිස්තාන විදේශ ලේකම් ෂම්ෂද් අහමඩ්, සිය රට තම භෞමික අඛන්ඩතාව ආරක්ෂා කරගනු වස් තම අවි ගබඩාවේ ඇති 'ඕනෑම අවියක්' භාවිත කිරීමට පසුබට නො වනු ඇතැයි ප්‍රකාශ කල විට, ඔහු කලේ, ඉන්දියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් පිලිබඳ පැහැදිලි තර්ජනයකි.
ඉරිදා රාත්‍රී වන විට ඉන්දියාව නිවේදනය කලේ, තමන් මැයි 9 දා පටන් ඒ වන තෙක් 'නීති විරෝධී ඇතුලුවන්නන්' 200ක් ඝාතනය කර ඇති බව සහ තමන්ගේ සොල්දාදුවන් 54ක් ඝාතනයට ලක්ව 14ක් අතුරුදහන්ව හා 209ක් තුවාල වීමට ලක්ව සිටින බව යි.
දහනශීලී දේශපාලන තත්වයක්
1990 ගනන් මුලුල්ලේ, ඉන්දියානු ආරක්ෂක හමුදා, පකිස්තානයේ සහයෝගය ලබන හා බොහෝ අවස්ථාවන්හි දී පකිස්තානය විසින් සන්නද්ධ කෙරුනු කාශ්මීර බෙදුම්වාදීන්ට විරුද්ධව දරුනු අරගලයක යෙදී සිටී. මෙම බෙදුම්වාදී කන්ඩායම්වලින් සමහරක් 'ස්වාධීන කාශ්මීරයක්' වෙනුවෙන් පෙනී සිටින අතර සෙසු කන්ඩායම් පකිස්තානය තුල 'එක්සත්' කාශ්මීරයක් බලාපොරොත්තු වෙති. මෙම ගැටුම්වල දී ඝාතනයට ලක්වූ සංඛ්‍යාවන් පිලිබඳ තක්සේරු බොහෝ සෙයින් විචලනය වුවත් එය 10,000-15,000 අතර සංඛ්‍යාවක් ය යන්න ගතානුගතික ගනන්බැලීමක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, කාශ්මීරය අරබයා පැනනැගී ඇති වත්මන් ඉන්දු-පකිස්තාන ආතතීන්, 1990 මුල සිට මේ දක්වා පැවති වඩාත්ම තියුනු ඒවා ය.
කාර්ගිල්-ඩ්‍රාස් හිමාලයානු කඳුගැට ප්‍රදේශයේ දැන් සටනේ යෙදී සිටින කාශ්මීර බෙදුම්වාදී හමුදාවේ නිශ්චිත සංයුතිය කුමක් වුවත්, එහි ප්‍රමානය හා එය මෙහෙයුම්වල යෙදී සිටින ප්‍රදේශයේ දුෂ්කර තත්වය මගින් පෙනී යන්නේ, එයට පකිස්තානයේ ද්‍රව්‍යමය සහයෝගය ලැබිය යුතු බව ය.
ඉන්දියානු ප්‍රදේශ තුලට විනිවිඳ ඇති බෙදුම්වාදී හමුදාවන්ට පකිස්තාන භටයන් ද ඇතුලත් බවට අනභියෝගී සාක්ෂි -- පකිස්තාන සොල්දාදුවන් තිදෙනෙකුගේ මල සිරුරු ලෙස -- ඇති බව ඉන්දියාව කියා පායි. එමෙන් ම, පකිස්තාන ගුවන් සීමාවට ඇතුලු වූවේ යැයි කියා ඉන් පසුව පකිස්තාන හමුදා විසින් පහර දී බිම හෙලනු ලැබූ ඉන්දියානු මිග් ප්‍රහාරක යානාවේ නියමුවා, පකිස්තාන ආරක්ෂක හමුදා විසින් අල්ලා ගනු ලැබීමෙන් පසුව මරා දමනු ලැබ ඇතැයි ද පකිස්තානයේ අත් අඩංගුවට පත් දෙවන ගුවන් නියමුවකු සතියකට වඩා රඳවා ගෙන සිටීමේ දී වධ හිංසාවන්ට ලක් කෙරුනු බවට ද ඉන්දියාව චෝදනා කරයි.
දෙරට අතර පාලන රේඛාව (එල්ඕසී) නිශ්චිතව අර්ථ දක්වා නැති බවට අසීස් විසින් කරන ලද ප්‍රකාශයක් ඉන්දියාවේ මහත් නොමනාපයට හේතු වී ඇත. ඔවුන් එය දකින්නේ, ඉන්දියාව තුලට විනි විඳීම යුක්තියුක්ත කිරීමේ තුනී ආවරනයක් සහ කාර්ගිල්-ඩ්‍රාස් කලාපයේ ඉන්දියානු විරෝධී හමුදා විනාශ කිරීම වැලැක්වීම පිනිස පකිස්තාන හමුදා විවෘතව මැදිහත්විය හැකි බව පෙන්නුම් කිරීමක් ලෙස ය. ඉන්දියානු හා පකිස්තාන හමුදා නිරතුරුව ම කාලතුවක්කු වෙඩි ප්‍රහාර හුවමාරු කරගන්නා ප්‍රදේශයක් වන එල්ඕසී පෙරමුනු රේඛාවේ සේවය කරන පකිස්තාන ජෙනරාල්වරයෙක්, මාධ්‍යවේදීන් අමතා කල කතාවක දී සඳහන් කලේ, ඉන්දියාව හා පකිස්තානය දැනටමත් යුද්ධයක නිමග්නව සිටින බව යි. '1948 දී, 1965 දී, 1971 දී යුද්ධයක් පැවතුනි, දැන් 1999 දී එය පවතී' යයි බ්‍රගේඩියර් නුස්රාට් ඛාන් සියල් තරයේ කියා සිටියේ ය. 'ඔවුන් පහර දුන්නදෙන්, අපි එකට එක කරන්නෙමු' යයි ඔහු තව දුරටත් කී ය.
ඉන්දියානු හා පකිස්තාන ආන්ඩු දෙකේම දුර්වලත්වය හා අර්බුදය, තත්වයේ පවත්නා දහනශීලීභාවයට එකතු වී ඇත. හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂය විසින් මෙහෙයවනු ලබන ඉන්දියාවේ සභාග ආන්ඩුව, ඊලඟ සරත් සෘතුවේ දී ඉන්දියාවේ මහ මැතිවරනය පැවැත්වෙන තෙක් බලයේ සිටින භාරකාර ආන්ඩුවකි. පකිස්තානය ආර්තික අර්බුදයේ ඇඹරීමට ලක්ව මහත් දුෂ්කර තත්වයක පසුවෙයි.
කාශ්මීර ගැටුමේ දී තමන් ආන්ඩුවටත් වඩා තියුනු බව ඔප්පු කරනු වස්, ඉන්දියාවේ විරුද්ධ දේශපාලන පක්ෂ, ආරක්ෂක ඇමති ජෝර්ජ් ෆර්නැන්ඩස් විසින් කරන ලද ප්‍රකාශයක් ඩැහැගෙන තිබේ. අගමැති අතාල් වජ්පායි හා ස්වදේශ ඇමති එල්.කේ. අද්වානි අපහසුතාවට පත් කරමින්, ෆර්නැන්ඩස් පවසා ඇත්තේ, පකිස්තාන අගමැති ෂරීෆ් කාශ්මීරයට කෙරුනු විනිවිඳීම ගැන නොදැන සිටියා විය හැකි බව යි. (හමුදා ජෙනරාල්වරුන්ගේ දේශපාලන බලතල අඩු කිරීමට ප්‍රයත්න දරා ඇති ෂරීෆ්ට එරෙහි බල අරගලයේ කොටසක් ලෙස පකිස්තාන මිලිටරිය කාශ්මීරයේ විනිවිඳිම සැලසුම් කල බවට යෝජනා කෙරී ඇත.) පසුව ෆර්නැන්ඩස්, 'පකිස්තාන විනිවිඳින්නන්ට' එල්ඕසීහි අනෙක් පැත්තට යාම පිනිස ආරක්ෂක මාවතක් සම්පාදනය කිරීමට ඉන්දියාව කැමති වනු ඇති බවට ඇඟවීමක් කලේ ය. ප්‍රධාන විපක්ෂය හා ඉන්දියාවේ සම්ප්‍රදායික ආන්ඩු පක්ෂය වන කොංග්‍රසය, 'ජාතියේ ආරක්ෂාවට වඩා ආක්‍රමනිකයන්ගේ යහපත ගැන උත්සුක වීම' පිලිබඳව ෆර්නැන්ඩස්ට චෝදනා කලේ ය.
කාශ්මීර විනිවිඳීම ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස පලමුවෙන් ඉස්මතු වූ විට, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) -- සීපීඅයි(එම්) -- මෙවන් තත්වයක් වර්ධනය වීමට ආන්ඩුව ඉඩදී ඇත්තේ කෙසේ ද යන්න දැනගැනීමට තමන්ට අවශ්‍ය යයි ඉල්ලා සිටියේ, පකිස්තානය සමග ගැටුමකින් තමන්ට දේශපාලන වාසි ලබා ගත හැකැයි යන විශ්වාසයෙන් යුතුව ආන්ඩුව මුලින් ලැබුනු අනතුරු ඇඟවීම් නොතකා සිටින්නට ඇතැයි යනුවෙන් යෝජනා කරමිනි. එහෙත් සීපීඅයි(එම්) සහ අනෙක් ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ඉක්මනින්ම ආන්ඩුවේ මාවතට වැටී තිබේ. සීපීඅයි(එම්) ඔහුගේ 'වගකීම් විරහිත' ප්‍රකාශ සම්බන්ධයෙන් ෆර්නැන්ඩස් බලගතු ලෙස විචේචනයට ලක් කර ඇත්තේ, පකිස්තානයට ප්‍රතිරෝධය දැක්වීමෙහි ලා සමස්ත රටත් සියලු දේශපාලන පක්ෂත් ආන්ඩුව පිටුපස පෙලගැසී සිටින අවස්ථාවක ඉන්දියානුවන් හේද කිරීමට පමනක් එම ප්‍රකාශ සේවය කරන බව පවසමිනි.
එක්සත් ජනපදයේ ක්‍රියාකලාපය
පකිස්තානය සමග සාකච්චා ආරම්භ කිරීම කල්දැමීමේ ඉන්දියානු තීන්දුව තුල පවත්නා වැදගත් සාධකයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත්තේ, වත්මන් කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගෙන ඇති ආස්ථානය යි. දශක ගනනාවක් තිස්සේ පකිස්තානය එක්සත් ජනපදයේ සමීප සගයකුව සිට ඇත. එහෙත් ශීතල යුද්ධයේ අවසානයත් ඉන්දියාව සිය දිගූ කාලීන ජාතික ආර්තික මූලෝපාය අතහැර දැමීමත් සමග, දකුනු ආසියාවේ භු-දේශපාලනික ගතිකයන් වෙනස් වීමට පටන් ගෙන ඇත.
ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති රිචඩ් සෙලෙස්ටේ, සම්ප්‍රදායික එක්සත් ජනපද අදහස්වල ආලෝකයෙන්, ඉන්දියාවට බොහෝ සෙයින් වාසිසහගත, නිවේදන ගනනාවක් ම කර ඇත. 'එක්සත් ජනපදය, . . . කිසිදාක (කාශ්මීරය තුල) මැදිහත් නො වනු ඇත. කිසිදාක නො කරනු ඇත. කාශ්මීරය වනාහි, කිසිදු මැදිහත්වීමකින් තොරව රටවල් දෙක අතර සාමකාමී සාකච්චා මගින් විසඳාගත හැකි ප්‍රශ්නයකි. එක්සත් ජනපදය මෙය අවබෝධ කරගෙන සිටී,' යයි සෙලෙස්ටේ, සන්ඩේ ඔබ්සවර් පත්‍රයට පැවසී ය.
කාශ්මීරයේ අනාගතය තීන්දු කරනු වස්, ජනමත විචාරනයක් පැවැත්විය යුතු ය යන පකිස්තානයේ ඉල්ලීමට, එක්සත් ජනපදය, දශක ගනනාවක් තිස්සේ, සහයෝගය දුනි. එහෙත් 1990 දි එවක පකිස්තානයේ එක්සත් ජනපද තානාපති පැවසුවේ, එක්සත් ජනපද ආන්ඩුව, 'එක්සත් ජාතීන්ගේ 1948 හා 1949 යෝජනාවල අඩංගු වන ආකාරයේ, කාශ්මීරය පිලිබඳ ජනමත විචාරනයක් පිලිබඳ ඉල්ලීම තව දුරටත් ඉදිරිපත් නො කරන' බව යි.
සෙනසුරාදා ඉන්දියාවේ හා පකිස්තානයේ අගමැතිවරුන්ට එක්සත් ජනපද ජනාධිපති ක්ලින්ටන් යැවූ ලිපි මගින් ද ඉන්දියාවේ ආස්ථානයට සහයෝගය දෙනු ලැබ ඇතැයි ඉන්දියාව කියා සිටී. එම ලිපිවල අන්තර්ගතය ප්‍රසිද්ධ කර නැත. එහෙත් ඉන්දියානු ප්‍රකාශකයන් කියා සිටින්නේ, කාශ්මීර මතහේදයට සාමකාමී විසඳුමක් සඳහා කැඳවුම් කිරීමේ දී, ක්ලින්ටන් පාලන රේඛාවට (එල්ඕසී) ගරු කරන ලෙස පකිස්තානයෙන් ඉල්ලා සිටි බව යි.
වෙනත් ප්‍රාදේශීය ගැටුම්වල දී මෙන් මෙහි දී ද, බටහිර මාධ්‍ය කාශ්මීර මතහේදය පෙන්නුම් කරන්නේ, ආදීකල්පික ප්‍රජාගන හා ජාතික-ජනවාර්ගික අනන්‍යතාවන් තුල මුල් බැස ගත් දෙයක් ලෙස ය. තථ්‍ය වසයෙන් ගත් කල්හි, කාශ්මීර ගැටුම වනාහි, ඉන්දියාව තුල විජිතමය ආධිපත්‍යයේ උරුමයක් වන අතර එය බොහෝ සෙයින් එරට අධිරාජ්‍යවාදී බල දේශපාලනයට කොටු වීමේ කොටසක් ලෙස, මේ දක්වා පැවතී තිබෙන්නකි.
ඉන්දියානු ජාතිකවාදයේ නැගීමට මුහුන දෙනු වස් මාවතක් සෙවීමේ දී, බ්‍රතාන්‍යයෝ, දශක ගනනාවක් තිස්සේ, වෙනම මුස්ලිම් දේශපාලන විඤ්ඤානයක් දිරිගැන්වූ අතර අවසානයේ දී, උප-මහාද්වීපය ජනවාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන් කලහෂ එමගින් මුස්ලිම් පකිස්තානයක් හා හින්දු ආධිපත්‍යය සහිත ඉන්දියාවක් ලෙස එකිනෙකට සතුරු රාජ්‍ය දෙකක් නිර්මානය කලහ. බ්‍රතාන්‍ය අවශ්‍යතාවන්ට යටත් කෙරී තිබූ, එහෙත් ව්‍යවස්ථානුකුලව බ්‍රතාන්‍ය රජයට අර්ධ-වැඩවසම්, දාසමය පන්නයේ සබඳතාවක් පැවති කුමාර රාජ්‍ය 600ක් පවත්වාගෙන යාම මගින් තම පාලනය රැක ගැනීමට ද බ්‍රතාන්‍යයෝ උත්සාහ කලහ. බ්‍රතාන්‍ය විජිත කොල්ලයේ හා රාජ්‍යතන්ත්‍රික වැඩවල නිෂ්පාදිතයක් වූ පූර්ව-ස්වාධීනතා දේශසීමා සහිත ජම්මු හා කාශ්මීරය මෙම කුමාර රාජ්‍යයන් අතුරින් විශාලතම භූමි ප්‍රදේශය විය. අද මෙන් ම, එදා ද කාශ්මීර කුමාර රාජ්‍යය භූගෝලීයව හා ජනවාර්ගිකව වෙනස් ප්‍රදේශ ගනනාවක් ඒකාබද්ධ කලේ ය.
බ්‍රතාන්‍ය ඉන්දියාව (කුමාර ඉන්දියාවට ප්‍රතිවිරුද්ධව) ස්වාධීනත්වයට පත් වන විට, කුමාර රාජ්‍යයන් ඒවායේ ස්වාධීනත්වයේ 'ස්වභාවික තත්වයට' යලි පත් වනු ඇතැයි යන අදහස, 1947 අගෝස්තුවේ බලය මාරුකිරීමට ප්‍රථම සති කිහිපය වන තෙක් ම, බ්‍රතාන්‍යයෝ පවත්වා ගෙන ආහ. බ්‍රතාන්‍ය ආස්ථානයෙන් දිරිමත් වූ කාශ්මීරයේ මහරාජා, තම කුමාර රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ බලාපොරොත්තුවෙන්, උපාමාරුවල යෙදුනි. එහෙත් පකිස්තානය ඔහුට විරුද්ධව කැරල්ලක් ඇවිලවූ විට, මෙම හින්දු පාලකයා කාශ්මීරය ඉන්දියාවට ඈදීමට එකඟ විය.
ඉන්දියාවේ ස්වාධීනත්වයට හා බෙදීමට පෙරාතුව පැවති දශකය තුල, ඉන්දියානු ජාතික කොංග්‍රසය, කාශ්මීරයේ විශාලතම දේශපාලන සංවිධානය වූ කාශ්මීර ජාතික සම්මේලනය සමග සමීප සබඳතා පැවැත්වී ය. එය මුලුමනින්ම මුස්ලිම් සංවිධානයක් ලෙස ආරම්භ වූ නමුත් -- කාශ්මීරයේ රාජකීය පවුල හා එය පදනම්ව සිටි ඉඩම්හිමි ප්‍රභූ පැලැන්තිය තුල විශේෂයෙන් බල පැවැත්වූයේ හින්දු ආගම යි -- කොංග්‍රසයේ ආනුභාවය යටතේ, ජාතික සම්මේලනය ප්‍රජාතන්ත්‍ර හා සමාජ ප්‍රතිසංස්කරන ඇතුලත් ජනවාර්ගික නො වන වැඩපිලිවෙලක් ක්‍රමයෙන් වර්ධනය කලේ ය. එහෙත් කාශ්මීරය ඉන්දියාවට ඈදීම අවසානයේ සාක්ෂාත් කරගැනුනේ, පහලින් මහජන බලමුලුගැන්වීමක් හරහා නො ව, ඒ වෙනුවට, කොංග්‍රසය, බ්‍රතාන්‍ය විජිත තන්ත්‍රයේ රාජ්‍ය යන්ත්‍රයේ පසුප්‍රාප්තිකයා -- නැතහොත් අඩු ගනනේ ප්‍රධාන උරුමක්කාරයා -- බවට පත්වීම පිලිබඳ පෙරදැකීමක් මත පදනම් කෙරුනු, මහරාජා සමග වූ ගනුදෙනුවක් හරහා ය.
එහි ප්‍රතිඵලයක් ලෙස, කාශ්මීර ගැටුම ශීතල යුද්ධය තුල -- එක්සත් ජනපදය පකිස්තානයේ මූලික මිලිටරි හා ආර්තික අනුබල දෙන්නා ලෙස මතුවීමත් සමග -- විවිධ ආරවුල්වලට පැටලවුනි. පසුගිය දශකය තිස්සේ කාශ්මීරය තුල සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයක නැගීම සඳහා බලපෑ අර්ථභාරී සාධකයක් නම්, අසල්වැසි ඇෆ්ඝනිස්තානයේ සෝවියට් ආක්‍රමනයට එරෙහි මුස්ලිම් මූලධර්මවාදීන්ගේ විරුද්ධත්වයට එක්සත් ජනපදය දුන් දේශපාලන හා මිලිටරි සහයෝගය යි.
චීනයට හා පැරනි සෝවියට් සංගමයට යාබදව පිහිටි කාශ්මීරය දැවැන්ත මූලෝපායික වටිනාකමකින් යුක්ත ය. එහෙත් කාශ්මීර ප්‍රශ්නය, පකිස්තානය හා ඉන්දියාව යන දෙරටේ ම ධනේශ්වර පාලනයේ දේශපාලනික-දෘෂ්ටිමය පදනම් සමග ද බැදී පවතී.
වත්මන් ඉන්දියානු සංගමයට අයත් මුස්ලිම් බහුතරයක් සහිත එක ම ප්‍රාන්තය වන කාශ්මීරය, බංග්ලාදේශය (පැරනි නැගෙනහිර පකිස්තානය) මෙන් නො ව, 1930 ගනන්වල මුල සිට එහි ආරම්භයේ පටන් ම පකිස්තාන ව්‍යාපෘතියේ අත්‍යන්ත කොටසක් ලෙස සලකන ලදි. මෑත වසර ගනනාව තුල දී, කාශ්මීර ගැටුම, පකිස්තාන පාලකයන් සඳහා, පකිස්තානය තුල ම වැඩෙන ජාතික-ජනවාර්ගික ආතතීන්ට -- පතාන්වරු, බලුකිස්වරු, සින්දිවරු හා ඉන්දියාව බෙදීමෙන් අනතුරුව උතුරු ඉන්දියාවේ සිට පකිස්තානයට ගිය උර්දු කතා කරන්නන් අතර සිටි වරප්‍රසාදිත තට්ටු වැඩි බලයක් සඳහා පකිස්තානය තුල බහුතරය ලෙස සිටි පංජාබ් ප්‍රභූ ස්ථරයට අභියෝග කිරීම පටන් ගැනීමත් සමග -- ප්‍රතිභාරයක් ලෙස භාවිත කිරීමේ අගනා මාධ්‍යයක් බවට පත්ව ඇත.
ඉන්දියාවේ අසංඛ්‍ය ගැටලුවලට ප්‍රගතිශීලී විසඳුමක් සම්පාදනය කිරීමෙහි ලා වූ සිය අපොහොසත් භාවය ඔප්පු වී ඇති තතු යටතේ, ඉන්දියානු පාලක පන්තිය වඩවඩාත් ම හින්දු ස්වෝත්තමවාදය දෙසට හැරී තිබේ. මෙම පරාගතවාදී දෘෂ්ටිවාදය සේවය කරන්නේ, සමාජ ආතතීන් අපසරනය කිරීමට සහ අපකීර්තිමත් කොංග්‍රස් 'සමාජවාදයට' විකල්ප 'ජාතික' දෘෂ්ටිවාදයක් සම්පාදනය කිරීමට යි. ජම්ම ස්ථානික දරිද්‍රතාව හා බරපතල සමාජ අසමානතාව හේතු කොටගෙන මහජන සහයෝගය දිනා ගැනීමට හැකිව ඇති, සංඛ්‍යාවෙන් වැඩෙන ජාතික-ජනවාර්ගික හා ප්‍රජාගනවාදී සන්නද්ධ අරගලයන්ට ප්‍රතිරෝධය දක්වන්නේ එම 'ජාතික' දෘෂ්ටිවාදයෙනි.
අදාල වෙනත් ලිපි
කාශ්මීරයේ ගැටුම් උත්සන්න වේ
ඉන්දියාව හා පකිස්තානය අතර අනතුරුදායක ගැටුමක්
1999 ජූනි 01
ඉන්දියාවේ අන්තර්-වාර මැතිවරනයක්
1999 මැයි 11
බීජේපී ආන්ඩුව ඇද වැටීමෙන් පසු නැවත මහ මැතිවරනයක්
1999 මැයි 7
ඉන්දියානු අයවැය මහා ව්‍යාපාරිකයන්ගේ පැසසුමට ලක්වේ
1999 අප්‍රේල් 06
indsub, as-ind, us-milit
