ටයිටැනික් චිත්‍රපටය ගැන ඩේවිඩ් වොල්ෂ්

ටයිටැනික් නමැති ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටය මේ දිනවල ශ්‍රී ලංකාවේ සිනමා හල් ගනනාවක ප්‍රදර්ශනය කෙරේ. මෙහි පල වනුයේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කලා සංස්කාරක ඩේවිඩ් වොල්ෂ් විසින් දෙවසරකට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ලිපි ද්වයක සිංහල පරිවර්තනය යි.

ටයිටැනික් චිත්‍රපටය 1998 වසරෙහි ඇකඩමි (ඔස්කාර්) සම්මාන එකොලහක් හිමි කර ගත් අතර වොල්ෂ් ඒ සම්බන්ධයෙන් මෙසේ ලිවී ය:

'ටයිටැනික් ඇකඩමි සම්මාන විජයග්‍රහනයෙහි රහස මතු කර ගැනීම දුෂ්කර නො වේ. සිනමා ප්‍රජාවෙහි පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් මේ චිත්‍රපටය උදෙසා වැඩ කලෝ ය. චිත්‍රපටයෙහි සාර්ථකත්වය සමහරෙකු වෙත ධනය රැගෙන ආ අතර සෙස්සන්ගේ වෘත්තීය කටයුතු ඉහල නැංවී ය. එය, ලෝක වෙලඳ පොල මත අමෙරිකානු ස්ටුඩියෝ නිෂ්පාදනවල ග්‍රහනය ශක්තිමත් කොට එය පවත්වාගෙන යෑමට උදව්කාරක විය. වර්තමානයෙහි, චිත්‍රපටයක සාර්ථකත්වය මැනෙනුයේ තනිකර ම බොක්ස්-ඔමිස් ආදායම මගිනි. ටයිටැනික් දිනුමට අභියෝග කිරීමට සූදානම් කී දෙනෙක් මෙකල හොලිවුඩ්හි සිටිත් ද?...

'ඒ කෙසේ වෙතත්, ටයිටැනික්හි අතිමහත් මූල්‍යමය සාර්ථකත්වයෙන් පසුව, හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය වෙනයම් කෘතියක් වෙත ප්‍රදානය කෙරුනි නම් එය තමන්ට වැදුනු කම්මුල් පහරක් ලෙස ටයිටැනික් අගය කරන බොහෝ දෙනාට හැගී යනු ඇත. චිත්‍රපටයෙන් පොහොසත් වූ හොලිවුඩය, සිය ඉහල ම ගරු බුහුමන එයට තිලින නො කොට සිටිනුයේ කෙලෙස ද? ඇකඩමි චන්දලාභීන්ගේ සාමාන්‍ය සංස්කෘතියක මට්ටම, එය යන්තම් වත් උසස් නම්, බහුලව රජයන මට්ටමට වඩා සැලකිය යුතු පමනින් උසස් නො වේ. ටයිටැනික් වූ කලි කලාත්මක මෙන් ම වානිජමය වසයෙන් ද ජයග්‍රහනයකැයි තමන්ට ඒත්තු ගැන්වීමෙහිලා දුෂ්කරව සිටි සංඛ්‍යාව සාපේක්ෂව කුඩා ය. චිත්‍රපටය සක්‍රියව ප්‍රතික්ෂේප කල පිරිස ඇතැම් විට ඊටත් කුඩා ය.

'ටයිටැනික් ජයග්‍රහනයෙහි පවතින ඇතැම් විෂමතා, චිත්‍රපට කර්මාන්තයෙහි චන්දලාභීන් එයට දැක්වූ සැබෑ ආකර්ෂනය මත ආලෝක ධාරා විහිදුවයි. ජේම්ස් කැමරන්ගේ පිටපත, හොඳ ම තිර රචනය සඳහා යෝජනා කෙරුනේ නැත. හොඳ ම තිර රචනය සඳහා යෝජනා වීමක් පවා රහිතව හොඳ ම චිත්‍රපටයට පිදෙන සම්මානය දිනා ගත් ද සවුන්ඩ් ඔෆ් මියුසික් (1965) චිත්‍රපටයෙන් පසුව ඒ වර්ගයේ ප්‍රථම චිත්‍රපටය ටයිටැනික් විය. එය, රංග සම්මාන කිසිවක් හිමි කර නො ගත් අතර එක ද නලූවෙකුගේ හෝ නමක් ඒ සඳහා යෝජනා කෙරුනේ ද නැත. තර්කානුකූලව කතා කරන්නේ නම්, පිටපත කොහෙත් ම සලකා නො බැලූනු, නලූනිලියන් හට කිසිදු සම්මානයක් නො ලැබුනු චිත්‍රපටයක් 'හොඳ ම චිත්‍රපටය' විය හැක්කේ කෙසේ ද? පිලිතුර සාපේක්ෂ වසයෙන් ඉතා සරල ය: එය ඩොලර් බිලියනයක් උපයන කල්හි ය...'

විචාරකයෝ ටයිටැනික් වර්නනා කරන්නේ මන් ද?

ඩේවිඩ් වොල්ෂ් විසිනි

ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයට ප්‍රශස්ති ගයන විචාරකයන් හට නිදහසට කාරනා කීපයක් තිබේ. ටයිටැනික් නිසරු කෘතියකි -- තිර රචනය දුර්වල ය, රඟපෑම් දුර්වල ය, අධ්‍යක්ෂනය දුර්වල ය. එහි නිෂ්පාදනය හා බෙදාහැරීම උදෙසා වැය කල ඩොලර් මිලියන සිය ගනන සහ ඒ සමග අත්වැල් බැඳ ගත් මාධ්‍ය වලල්ල නොවී නම් යමෙකුට එය ගොඩින් ම අමතක කල හැකිව තිබුනි.

නිව්යෝර්ක් ටයිම්ස්හි චිත්‍රපට විචාරිකා ජෙනට් මාස්ලින්, දෙසැම්බර් 19 දින තම විචාරයෙහි ලා 'දශක ගනනාවකට පසු ගෝන් විත් ද වින්ඩ් චිත්‍රපටය සමග සංසන්දනයකට නිර්ව්‍යාජ ලෙස ඇරැයුම් කරන ප්‍රථම අපූර්ව දර්ශනය කැමරන්ගේ උත්කෘෂ්ට කෘතිය ටයිටැනික් ය'යි ප්‍රකාශ කලා ය. ඇය මේ චිත්‍රපටය හැඳින්වූයේ 'පුරා පැය තුනකුත් විනාඩි පහලොවක් මුලූල්ලේ නෂ්ට වූ ලොවෙහි රමනීයත්වය හා හදගැස්ම කරා නරඹන්නන් නොවරදවා ම රැගෙන යන දැවැන්ත, විස්මයජනක අත්දැකීමක්' වසයෙනි. ලියොනාඩෝ ඩයිකැප්රියෝ හා කේට් වින්ස්ලට් යන 'සිනමා තරු අතර ඓශ්චර්යමත් රසායනයක්' පිලිබඳව ලියූ මාස්ලින් එය වගවර්නනා කලේ මෙසේ ය: 'පුහු මාන්නය සහ එහි ගොරතර විපාක පිලිබඳ නොමැකෙන අනුවේදනීය කථාන්තරයක් ටයිටැනික් පිරිනමයි. එය, ශෝකාන්තය පිලිබඳ මිථ්‍යා ප්‍රතිරූප -- ඉකාරස්ගේ පිම්ම, ඔසිමැන්ඩස්ගේ විනාශය -- නිතැතින් මතකයට නංවන දුර්ලභ ගනයේ හොලිවුඩ් ගවේෂන චිත්‍රපටයකි.'

මේ සිදු වනුයේ කුමක් ද? කලා කෘතියක් අවස්ථාවෝචිතව අධිතක්සේරු කෙරෙන විධිහක් තිබේ: අපේක්ෂා රැඳවිය හැකි, පරිශ්‍රම දරන කලාකරුවෙකු ධෛර්යමත් කරනු පිනිස සහේතුකව මඳක් ඉච්චා සාධන චින්තනයක වුව එල්බ ගැනීමට පුලූවන. නමුත්, එබඳු අතිශයොක්තියකට යථාර්ථය තුල කිසියම් පදනමක් තිබිය යුතු ය. විචාරය මුලූමනින් ම මනෝබද්ධ කර්තව්‍යයක් නො වේ. මොනයම් විෂයබද්ධ ප්‍රමිතියකට අනුව වුව, මාස්ලින් හා සෙස්සන් කියා සිටින කිසිවක් ටයිටැනික් තුල නැත.

කැමරන්ගේ එම නවතම චිත්‍රපටය, උඩත්පිරිසෙයින්, දැවැන්ත ශ්‍රමයක් වැය කෙරුනු මධ්‍යම මට්ටමේ ව්‍යායාමයක් වීම අරුමයක් නො වේ. යථා කාලයේ දී සුපුෂ්පිත වීමට පුලපුලා සිටි දැවැන්ත කලා කෞශල්‍යයක් පිලිබඳව ඉ කෙරුනු කිසිවක් ඔහුගේ පූර්ව නිර්මාන වූ ඒලියන්ස්, ටෘෘ ලයිස්, දි ඇබිස් හෝ ටර්මිනේටර් යන චිත්‍රපට තුල විද්‍යමාන නොවී ය. අධ්‍යක්ෂවරයා උද්‍යෝගීමත්, දක්ෂ තාක්ෂන ශිල්පියෙකු හා සම්පත් සංවිධායකයකු විනා දෘශ්‍ය කාව්‍ය උදෙසා අවශ්‍ය මොනයම් විචක්ෂනභාවයක් වත් සමාජීය හෝ මානසික ජීවිතය පිලිබඳ ප්‍රතිවේධයක් වත් නොමැති තැනැත්තෙකු බැව් පෙනේ.

ටයිටැනික් චිත්‍රපටය, එය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරුනු දෙසැම්බර් 19 දින සිට ලොව පුරා ඩොලර් මිලියන සිය දහස් ගනනින් උපයාගෙන ඇත. එය, එදා මෙදා තුර වැඩි ම මුදලක් ඉපැයූ චිත්‍රපටය බවට පත් වීමට -- ඇතැම්, විට, ඩොලර් බිලියනයකට ආසන්න වීමට පවා ඉඩ තිබේ. මෙකී සාර්ථකත්වය පුදුමයට කරුනක් නොවේ. සියල්ලට මත් වඩා, කැමරන්ගේ චිත්‍රපටය දැවැන්ත මාධ්‍ය රඟ දැක්වීමක් හිමි කර ගති. මහජනතාවගේ පැත්තෙන් ද, මාධ්‍ය අවධානය විසින් උසි ගැන්වුනු, ටයිටැනික් යාත්‍රාව මූදුබත් වීම පිලිබඳ කාරනාව මෙන් ම අපූර්ව දර්ශනයක් නැරබීමෙහි අභිලාෂය ද කැටි වූ සාමාන්‍ය කුතුහලයක් තිබින.

චිත්‍රපටය සුවිශේෂයෙන් ආමන්ත්‍රනය කරනුයේ තරුන ජනතාවට බැව් පෙනේ. පැරමවුන්ට් පික්චර්ස් සමාගම විසින් සිදු කල සමීක්ෂනයකට අනුව, එය දෙවරක් හෝ ඊට වැඩි වාර ගනනක් නැරබුවන්ගෙන් සියයට 63ක් ම අවුරුදු 25ට අඩු අය වූහ. ටයිටැනික්හි ප්‍රධාන නලූනිලි යුවල වනුයේ ජැක් ලන්ඩන් වර්ගයේ දුගී කලාකරුවෙක් (ඩයිකැප්රියෝ) සහ සිය මෑනියන් විසින් දලදඬු කෝටිපතියෙකු සමග විවාහ වීමට බල කරනු ලැබීමෙන් කනස්සල්ලට පත් ප්‍රථම පන්තියේ මගී තරුනියකි (වින්ස්ලට්). අවාසනාවන්ත පෙම්වතුන් සහ තහනම් ආදරය පිලිබඳ තේමාව වෙත යෞවන සිත්සතන් ඇදී යෑම ස්වාභාවික ය, යුක්තිසහගත ය.

එහෙත්, මෙකී ගැටලූව සංගත හා ඒත්තු යන අයුරින් නිර්මානය වී තිබේ ද?

ප්‍රේම වෘත්තාන්තය ද ඇතුලූව චිත්‍රපටයෙහි සෑම මූලිකාංගයක් ම පාහේ ඉදිරිපත් කෙරී තිබෙනුයේ පට්ටා ගැසූ, පෙර දැකිය හැකි ආකාරයකිනි. එක් එක් චරිතයෙහි හැසිරීම් විලාසය හා පෞද්ගලික ගති ලක්ෂන -- මුහුනින් ප්‍රකාශ වන හැගීම් පවා -- සැනෙකින් වටහාගත හැකි අතර චිත්‍රපටය පුරා ම නොවෙනස්ව පවතී. දුෂ්ට පෙම්වතා, අප ඔහු මුල් වරට දකින අවස්ථාවෙහි සිට අවසානය දක්වා ම නොකඩවා ක්‍රියා කරනුයේ කෘෘර, ආත්මාර්ථකාමී අයුරිනිෂ දෙබරෙකු මෙන් වහා කිපෙනසුලු, නපුරු මව නිරන්තරයෙන් කිපෙනසුලු ය, නපුරු ය. 'නොගිලෙනසුලූ' මොලී බ්‍රවුන් සහතික ලෙස ම පාවෙන්නියකි.

මැඩලිය නොහෙන ජැක් (ඩයිකැප්රියෝ) හට ඉහල පැලැන්තියේ රෝස් (වින්ස්ලට්) මුනගැසෙන අතර ඔහු ඇය පසුපස වැටෙයි. අනතුරුව, දෙදෙනා අතර සුලූ දබරයක් ඇති වන බව, එකඟතාව පල වන බව, ප්‍රේමාලිංගනයෙහි නිරත වන බව, කෝපාවිෂ්ට පෙම්වතා හට හසු වන බව, ඔහු පරදා ජයග්‍රාහී වන බව යනාදිය පිලිබඳව අප තුල මොනයම් හෝ සැකයක් පවතී ද?

සිය රසඥතා සම්බන්ධයෙන් වත්මන් තරුන පුරපුරට දොස් පැවරිය නොහැකි ය. අද්‍යතන චිත්‍රාගාර පද්ධතියෙහි ඉතා ම බාල නිපැයුම් හැරුනු කොට ඔවුන් නරඹා තිබෙනුයේ මොනවා ද? දශක කීපයකට පෙර, ජනප්‍රිය ධාරාවේ සිනමාව පවා මෙකී තේමාව ම වඩා විචක්ෂනව හා සංවේදීව සලකා බැලී ය. සියලූ දුබලතා තිබිය දී වුව, බොනී ඇන්ඩ් ක්ලයිඩ් (1967), ද ග්‍රැජුවෙට් (1967), නැතහොත් ණූැන්කෝ සෙමිරෙල්ලිගේ රෝමියෝ ඇන්ඩ් ජුලියට් (1968) පවා යමෙකුට සිහිපත් වෙයි.

ටයිටැනික් නෞකාවේ ඉරනම වූ කලි, නාට්‍යමය ශක්‍යතාවෙන් සපිරි අසාමාන්‍ය සිද්ධියකි. ජීවිතය හා ඉතිහාසය කෙරෙහි බෙහෙවින් කලකිරී, නැතහොත්, එහි ශක්‍යතාවන් හට බෙහෙවින් අන්ධව, ගිලා බසිමින් තිබෙන නැවක් මත දහසක් ජනයා නියත මරනයකට මුහුන පා සිටින අතරවාරයෙහි -- කිසියම් සංක්ෂෝභයක් නිර්මානය කිරීමට බැව් පෙනී යතත් -- ආසන්න දියේ ගිලීමක් හා වෙඩි හුවමාරුවක් තිරයට නංවන අධ්‍යක්ෂවරයකු ගැන යමෙකුට කුමක් සිතෙයි ද? ටයිටැනික් පිලිබඳව කැමරන්ගේ මඳ පරිකල්පනය මුලූමනින් ම පාහේ හාස්‍යජනක ය. (ලොමුදැහැගන්වන සැබෑ නැව් ගිලීමක් සඳහා ඇන්ඩෘෘ එල්. ස්ටෝන්ගේ ද ලාස්ට් වොයෙජ් (1960) හි වීඩියෝ පටය නරඹන්න.)

මීලඟට, ටයිටැනික් චිත්‍රපටයට 'රැඩිකල්' දේශපාලන වාටියක් ඇලවීමට කල්පනා කොට තිබේ. චිත්‍රපටයට පක්ෂව ඉදිරිපත් කෙරෙන සියලූ තර්ක අතරින් වඩාත් ම සමාව දිය නොහැකි කාරනාව මෙය යි. මාස්ලින් ටයිටැනික් විස්තර කරනුයේ, 'ධනපතීන්ගේ හා නිර්ධනීන්ගේ එකිනෙකට වෙනස් අවාසනාවන්ත තතු නිර්දය ලෙස නිරීක්ෂනය කෙරෙන චිත්‍රපටයක්' හැටියට ය. 'අපි මාක්ස්වාදී මතයට ඉතා ආසන්නව සිටිමු' යනුවෙන් කැමරන් විහිලූවට කල ප්‍රකාශයක් ඇය උපුටා දක්වයි. මෙය විකාර කතාවකි. 1912 දී ධනපතීන් හා නිර්ධනීන් වෙනස්ව සැලකුම් ලද බවත් ඉන් 86 වසරකට පසුව පවා මෙය අඛන්ඩව සිදු වන බවත් බොහෝ වැඩිහිටියන් දන්නවා ඇත.

කැමරන් සිය ප්‍රේක්ෂකයන් වෙත එක් අතකින් පිරිනමන දෙයට -- පන්ති සබඳතා පිලිබඳ නොගැඹුරු විචාරයක් -- වැඩි යමක් අනෙක් අතින් ආපසු ගන්නේ එය තම කමකට නැති අනුකූලතාවාදී දෘෂ්ටියට යටත් කිරීම මගිනි. මනුෂ්‍ය හැසිරීමෙහි ව්‍යාකූලතා කිසිත් නැතෂ වේදනාබර, විප්‍රයෝගී තීන්දු ඉල්ලා සිටින ගැටලූ කිසිවක් නොමැතෂ සමාජය හා ජීවිතය පිලිබඳ සියලූ දෙය පාරදෘශ ය. ප්‍රත්‍යක්ෂ ය; ලෝකය බැලූබැල්මට දෘශ්‍යමාන වන අයුරින් ම පවතීෂ සන්තුෂ්ටිය පාදා ගනු පිනිස යමෙකුට අවශ්‍ය වනුයේ සුලූ වාසනාවක් හා සුලූ ස්ථානෝචිත ප්‍රඥාවක් පමනි -- ටයිටැනික් හි සැබෑ තේමාවන් මේවා ය. එය හරියට, නිකී වෙලඳ ප්‍රචාරය සේ ම හරසුන් ය. මේ කිසිවක් විචාරශීලි චින්තනයට අනුබල දෙන්නේ කෙලෙස ද?

සැබෑ කාරනාව එලෙස ම පවතී: නිව්යෝර්ක් 'ප්‍රභූ' චිත්‍රපට විචාරක නඩයන්හි සාමාජිකයන් රංචු පිටින් මේ චිත්‍රපටය සමග පෙල ගැසුනේ මන් ද? ටයිටැනික්හි සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඉහලින් ඩොලර් මිලියන ගනනක් සංසරනය වීම, සියලූ විචාරකයන්ගේ විනිශ්චයන් කෙරෙහි සෘජුව ම බලපෑවේ යයි සිතතොත් වරදකි. ක්‍රියාත්මක වෙමින් පවතිනුයේ වඩා සංකීර්න දෙයකි.

කැමරන්ගේ චිත්‍රපටය වෙනුවෙන් නැගෙන පැසසුම් ඉච්චා සාධන චින්තනයෙහි මූලිකාංගයක් ගැබ් කර ගනී. එකී විචාර බොහොමයක්, තමන් නැරබීමට ආශාවෙන් සිටින චිත්‍රපටයක් පිලිබඳ සටහන් බඳු ය. අවාසනාවකට, මේ මනංකල්පිත ලියවිලිවලට ටයිටැනික් සමග පවතින සාදෘශ්‍යය ඉතා අල්ප ය. මෙකී ඉච්චා සාධන චින්තනය, සියල්ලට මත් වඩා පෙන්නුම් කරනුයේ, දැනට පවතින දෑ තුල ශ්‍රේෂ්ඨභාවයෙහි කිසියම් ආලෝකමාත්‍රයක් දැකීමෙහි අභිලාෂයක් සහ චිත්‍රපට නිෂ්පාදනයෙහි අර්බුදය දෙස බැරෑරුම්ව බැලීම -- එහි ඓතිහාසික හා බුද්ධිමය පිරික්සීම ප්‍රතික්ෂේප කිරීමකි.

එසේ ම, අමෙරිකානු වානිජ සිනමාව ලෝක පරිමානව රිදී තිරය මත බලපවත්වන දැවැන්ත ආධිපත්‍යය පිලිබඳ කාරනාවෙහි ද බලපෑමක් තිබේ. බලය මඩිනවා පමනක් නොවේ, එය ඒත්තු ගැන්වීම ද සිදු කරයි. වසර ගනනාවක් පිටස්තරයෙකු ලෙස ජීවත් වූ 'කලා' විචාරකයා, අනුකූල වීමෙහි වත්මන් තතු යටතේ, විදග්ධ එදිරිවාදියෙකුගේ තැනෙහි සිට මහජනයාගෙන් කෙනෙකු බවට පත් වනු පිනිස සැලකිය යුතු බාහිර හා අභ්‍යන්තර පීඩනයකින් පෙලෙන බවට සැක නැත. ඔහු සිය මාරුව සාධාරනීකරනය කරනුයේ, ටයිටැනික් වේල් කරත්තයට උර දෙන විට තමන් හුදෙක් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සම්ප්‍රදායයන් සමග සම්පාත වන්නේ ය යනාදී වසයෙනි.

ටයිටැනික් හා වෙනත් එබඳු චිත්‍රපටවල ආධිපත්‍යය කෙටිකාලීන බැව් අපි ඒත්තුගෙන සිටිමු. සෙසු හඬවල්, සෙසු දෘෂ්ටීන් ඉස්මතු වෙමින් තිබේ. නුදුරු අනාගතයෙහි දී, කැමරන්ගේ චිත්‍රපටය ලද ප්‍රශංසාවන් මූලිකව ම බුද්ධිමය වසයෙන් දිලිඳු යුගයක ලක්ෂනයක් හැටියට සිහිපත් කෙරෙනු ඇති අතර එම යුගය ඉකුත් වීම ගැන ඉතා ස්වල්ප දෙනෙකු පමනක් ශෝක වනු ඇත.

සමාජ ප්‍රපංචයක් වසයෙන් ටයිටැනික්

ඩේවිඩ් වොල්ෂ් විසිනි

ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටය ලෝක පරිමානව අති සාර්ථක වෙමින් පවතී. එහි ආදායම සතියකට ඩොලර් මිලියන ගනනක් වීමෙන් පෙනී යනුයේ, එය ඩොලර් බිලියනයක ඉලක්කය ද ඉක්මවන බව යි. මෙය 'තරමක් ගූඩ දෙයකැ'යි කැමරන් පවා ප්‍රකාශ කරයි. මේ අපූරු ප්‍රපංචය පිටුපස පවතිනුයේ කුමක් ද?

මෙකී සාර්ථකත්වය විසින් ම ඇඟවුම් කෙරෙන්නා වූ ප්‍රථම ශක්‍යතාව නම්, චිත්‍රපටය ඉතා දුර්ලභ ගනයේ කලාත්මක විශිෂ්ටත්වයක හා දැවැන්ත ජනප්‍රියත්වයක සුසංයෝගයක් බව යි. නිදසුනක් ලෙස, චැප්ලින්ගේ චිත්‍රපට බොහොමයක් නැතහොත් ඇල්ණූඩ් හිච්කොක්ගේ ඇතැම් චිත්‍රපට යමෙකුට සිහිපත් වෙයි. කෙසේ වෙතත්, විචාරශීලීව ටයිටැනික් නරඹන කල්හි එම හැගීම පහව යයි. මේ ලේඛකයාගේ අදහස අනුව, කැමරන්ගේ චිත්‍රපටය, චරිතපාත්‍ර වෙනුවට විකට රූප නිරූපිත, බාල ටෙලි-නාටකයකට (සඔඅප ඔපඑරඅ) උචිත දෙබස් අඩංගු, පෙර දැකිය හැකි, මධ්‍යම ගනයේ කෘතියකි. ප්‍රධාන නලූවා සහ නිලිය -- උද්‍යෝගීමත්, නිර්භය කලාකරු ජැක් ඩෝසන් (ලියනාර්ඩෝ ඩයිකැප්රියෝ) සහ කනස්සල්ලට පත් කුල කුමරිය රෝස් ඩෙවිට් බුකේටර් (කේට් වින්ස්ලට්) -- අතර සිදු වන බොලඳ සංවාදය කදිම ආදර්ශයකි:

'ජැක්: රෝස්, ඔයා ලේසියෙන් එකඟ වෙන කෙනෙක් නෙවි. ඇරත් ඔයා පැහිච්ච දඟකාර පැංචියක්. ඒත්, ඊට යටින් ශක්තිමත්, පිරිසිදු හදවතක් ඔයාට තියෙනවා. මම දන්නා වඩාත් අපූරු යුවතිය ඔබ යි. ඒ වගේ ම -

රෝස්: ජැක්, මම -

ජැක්: පොඩ්ඩක් ඉන්න, මට මේක කියාගන්න ඉඩ දෙන්න. ඔයා හරි ම අපූරු යි. ඔයාට දෙන්න කිසිවක් මට නැති වග මම දන්නවා. නමුත්, මම දැන් පැටලිලා ඉවරයි. ඔයා පැන්නොත් මමත් පනිනවා. මතකයි නේ? ඔයා නිදුකින් ඉන්නවා දැ යි නො දැන මට ඉවත හැරෙන්න බෑ.

(සිය දෑසට කඳුලූ උනන වග රෝස්ට හැඟේ. ඇය දන්නා අන් කිසිවෙකු මෙන් නොව ජැක් ඉතා විවෘත ය, අව්‍යාජ ය...)

රෝස්: ඔයා මාව දුෂ්කර තත්වයකට පත් කරනවා. මම සතුටින් ඉන්නවා. ඇත්ත ම යි.

ජැක්: මම එහෙම හිතන්නෙ නෑ. ඒගොල්ලො ඔයාව සමනලයෙක් වගේ වීදුරු බෝතලයක හිර කරලා. බෝතලය බිඳගෙන එලියට නාවොත් ඔයා මැරේවි. ඔයා ශක්තිමත් නිසා මේ දැන් එහෙම නොවෙන්න පුලූවනි. ඒත් වැඩි කල් නොගිහින් එලියට යෑමේ උවමනාවෙන් ඔයා දැවෙනවා ඇති.

රෝස්: මාව බේරා ගන්න එක ඔයාට අයිති වැඩක් නෙවෙයි, ජැක්.

ජැක්: ඔයා හරි. ඒක කරන්න පුලූවන් ඔයාට ම විතර යි.'

විය යුතු පරිදි ම, දෙබස් හා කථා වස්තුව යනු සිනමා කෘතියක අඩංගු සකල සම්පත නො වේ. දෙවෙනි රේට්ටුවේ නැතහොත් ඊටත් නරක (ඇතැම් විට තමන්ගේ ම පවා) තිර රචනා උත්ප්‍රාසාත්මක අයුරින්, දෘශ්‍යමය ප්‍රගල්භතාව (වඉසඋඅල අඋඩඅචඉටය) මගින්, එසේත් නැතහොත් භාවමය හා බුද්ධිමය ගැඹුර පිලිබඳ ඇඟවුම් ඔස්සේ ක්ෂනික කථාන්තර-රීතියෙහි සීමා ඉක්මවා යන තත්වයට පෙරලා ගැනුමෙහි නිශ්චිත සම්ප්‍රදායක් හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතර පවතී.

නමුත්, මෙහි එවැන්නක් සිදුවී නැත. තමාගේ ම තිර රචනාවෙහි අඩුපාඩු ජය ගැනුමට මොනයම් ප්‍රයත්නයක් වත් නොදරන කැමරන්, අපූර්ව දෘශ්‍ය සංවේදීතාවක් නොපෙන්වන අතර අප අසන දකින සුලභ ග්‍රාම්‍යත්වයෙන් ඔබ්බට යන අන්දමේ කිසිවක් නොහඟවයි. සැබවින් ම, තම චිත්‍රපටයෙහි ද එහි චරිතපාත්‍රයන්හි ද ප්‍රතිවිරෝධතා අඩු වීම ගැන හෙතෙම බෙහෙවින් ආඩම්බර වන බැව් පෙනේ. නිව්ස්වීක් සඟරාවෙහි ඩේවිඩ් ඇන්සන් මෙසේ ලිය යි: 'ජැක් ඩෝසන් පිලිබඳව කියනවා නම්, එය තනිකර ම සුදු චරිතයකි. ඩයිකැප්රියෝ රාක්ෂසයන්ගෙන් තොර චරිතයක් එතෙක් රඟ පා තිබුනේ නැත. 'ඔබ එය ඉටු කලේ කෙසේ ද?'යි ඇසූ කල්හි ඩයිකැප්රියෝ කීවේ මෙය යි: 'මේ චරිතයට යම් අඳුරු පැත්තක් එකතු කරන්ට අපට බැරි දැයි මා ජිම් (කැමරන්)ගෙන් විමසූ විට ඔහු දැරුවේ 'නෑ ලියෝ, ඒක කරන්ට බෑ' වගේ අදහසක්.''

කැමරන් වනාහි, අප පූර්වයෙන් සඳහන් කල පරිදි, කුසලතාපූර්න කාර්මික ශිල්පියෙක් මිස කැපී පෙනෙන කලාකරුවෙක් නොවේ. චිත්‍රපට තැනීම කෙරෙහි සිය මුල් ම උනන්දුව පිලිබඳව සම්මුඛ සාකච්චාවක දී ඔහු ම හෙලිදරව් කල පරිදි: 'යූඑස්සී (දකුනු කැලිෆෝනියා විශ්වවිද්‍යාල) පුස්තකාලයට නිතර යෑමට පුරුදුව සිටි මා හැම දෙය ම කියවූවා, චායා පිටපත් ගත්තා. දෘශ්ටික මුද්‍රනය (ඔපටඉචඅල පරඉනටඉනග) හා ඒ ආශ්‍රිත ආචාර්ය උපාධි නිබන්ධ ඇතුලත් මගේ ම විමර්ශන පුස්තකාලයක් මම ගොඩනැගුවා. ඇත්ත වසයෙන් ම, තාක්ෂනික දේවල් තමයි මම විධිමත්ව අධ්‍යයනය කලේ.'

අධ්‍යක්ෂවරයාගේ සිනමා රසඥතාව ද එහි දී අනාවරනය විය: 'වයස අවුරුදු දහඅටේ දී නැතිනම් දහනවයේ දී පමන නැරබූ (බ්‍රතාන්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන්ගේ) ඩොක්ටර් ජිවාගෝ මා කෙරෙහි බොහෝ සෙයින් බලපෑ චිත්‍රපටයක්.' බොහෝ සිනමා සිසුන් හා සිනමා ක්ෂේත්‍රය පිලිබඳ උනන්දුවක් දැක්වූ තරුන පිරිස් ෂොන්-ලුක් ගොඩාඩ්, ලුවී බුනුයෙල්, ජෝශප් ලෝසි නැතහොත් එරික් රෝමර් ආදීන්ගේ කෘති අධ්‍යයනය කරන හා සාකච්චා කරන සමයක -- 1970 දශකය මුල් භාගයේ දී -- කැමරන් අගය කොට සැලකුවේ යුගයේ වඩාත් දරදඬු, අඩුවෙන් ම අභියෝගී අධ්‍යක්ෂවරයෙකි. වෙසෙසින් ම, එක් ප්‍රකට විචාරකයෙකු ඩොක්ටර් ජිවාගෝ විස්තර කලේ 'විචාරමය සාර්ථකත්වයකට වඩා වානිජමය සාර්ථකත්වයක් සහිත කෘතියක් මතු නොව වඩාත් නිර්දෝජී අපුද්ගලභාවයක් පිලිබඳ කෘතියක්' ලෙසිනි. (ඇන්ඩෘෘ සාරිස්, ට්හඑ ංමඑරඉචඅන ච්ඉනඑමඅ (ඇමරිකානු සිනමාව)).

ටයිටැනික් චිත්‍රපටයෙහි සාර්ථකත්වය කලාත්මක උත්කෘෂ්ටභාවය මගින් විස්තර කල නො හැකි නම් එය සටහන් කල හැකි වනුයේ කවරාකාරයෙන් ද?

වැදගත් ම සාධකය නම්, හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන මට්ටමෙහි සාමාන්‍ය පරිහානිය හා ජනප්‍රිය වින්දනය බවට සැක නැත. වයස අවුරුදු 15-30 අතර පුද්ගලයන් 'තමන් නැරබූ හොඳ ම චිත්‍රපටය' ටයිටැනික් ලෙස ප්‍රකාශ කරන විට, ඔවුන් එය සංසන්දනය කරනුයේ කවර සිනමා කෘති සමග ද?: ජුරාසික් පාක්, ෆොරස්ට් ගම්ප්, රිටර්න් ඔෆ් ද ජෙඩි, හෝම් අලෝන්, බැට් මෑන්, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, ගෝස්ට් හෝ මෙන් ඉන් බ්ලැක්. පසුගිය දශක එකහමාර තුල නිමැවුනු මේ සියලූ චිත්‍රපට එදාමෙදාතුර බොක්ස්-ඔමිස් වාර්තා ලැයිස්තුවෙහි ප්‍රථම චිත්‍රපට 20 අතර තිබෙනු හඳුනාගත හැක.

ගැටලූව වනුයේ, සරලව ම වෙලඳ පොල ඉල්ලූම සඳහා නිපදවන පුරාජේරු චිත්‍රපට (මේවා අන් කවරදාටත් වඩා සෞම්‍ය හා පුරාජේරුසහගත බවට පත්ව තිබෙන බැව් පෙනී යතත්) විශාල ප්‍රේක්ෂක සමූහයක් වෙත ලඟා වෙමින් තිබීම නොවේෂ එක්තරා දුරකට, කාරනාව සැම විට ම එය යි. නමුත්, ලෝක සිනමාව පෙර නොවූ විරූ අයුරින් මේ චිත්‍රපටවල ඒකාධිකාරයක්ව තිබෙන අතර වඩා මනහර අමෙරිකානු හා ජාත්‍යන්තර චිත්‍රපට සඳහා එය බාධාකාරී වී ඇත. මෙකී තතු යටතේ, පොදු ජනයාගේ කලාත්මක විනිශ්චයන්, එහි ම වරදක් නිසා නො ව, පටු සීමාවක කොටු වීම නොවැලැක්විය හැකි ය. ස්වල්ප දෙනෙකුගේ ආධිපත්‍යය යටතේ පවතින, ලාභ ගැරීම හැර අන් සෑම අධ්‍යාශයක් ම පාහේ සිඳී ගිය කර්මාන්තයක් විසින් බුද්ධිමත් විනෝදාස්වාදයක් ලැබීමෙහි අවස්ථාව සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිවැඩියෙන් පැහැර ගනු ලබමින් තිබේ.

මෙකී මූලික අවබෝධය, යමෙකුට ටයිටැනික් ප්‍රපංචය පිලිබඳ හැගීමකට ප්‍රවේශ විය හැකි රාමුවක් -- එහෙත්, රාමුවක් පමනක් සපයයි.

ටයිටැනික් චිත්‍රපටයට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබීම හා එය චිත්‍රපටයේ තත්වයට කිසිසේත් සමානුපාතික නොවීම ම එහි සාර්ථකත්වය සමාජ ප්‍රපංචයක් වසයෙන් විශ්ලේෂනය කිරීමට යමෙකුට බල කෙරේ. මෙය හුදු චිත්‍රපටයක් නොවේ -- එය, සත්තකින් ම නිමිත්තකි. චිත්‍රපටය අගය කරන උදවිය එය ආරක්ෂා කරනුයේ බලවත් උද්‍යෝගයෙනිෂ විවේචන හෝ අභියෝග කිසිවක් නොපිලිගනිමිනි -- එය හුදෙක් 'හොඳ' චිත්‍රපටයක් නැතහොත් 'ආශ්චර්යමත්' චිත්‍රපටයක් හැටියට නොව 'එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය' හැටියට බාරගත යුතු ය.

(ටයිටැනික් අගය කරන්නන් කියා සිටින පරිදි එය සත්‍ය වසයෙන් ම ශ්‍රේෂ්ඨ චිත්‍රපටයක් නම්, කිසිවෙකුටත් -- කවර වයස් කාන්ඩයක වුව -- එය පස් වතාවක්, දස වතාවක් නැතිනම් ඊටත් වැඩි වාර ගනනක් නැරබීම ඉතා දුෂ්කර වනු ඇත. ශ්‍රේෂ්ඨ චිත්‍රපටයක් යනු, නිර්වචනයක් වසයෙන්, විධානාත්මක චිත්‍රපටයකි. යමෙකුට එබඳු කෘතියක් පුනපුනා නැරබීමට රොක් විය නොහැකි ය; එම අත්දැකීමෙන් පසුව යලි ප්‍රකෘතිමත් වීමට, එහි අන්තර්ගතය සමාග්‍රහනය කර ගැනුමට ඔහුට අවශ්‍ය වෙයි.)

ටයිටැනික් ප්‍රපංචය සටහන් කරනුව සාධක කීපයක් ගෙනහැර දක්වන ජනමාධ්‍ය, තරුන ස්ත්‍රීන්ගේ -- වෙසෙසින් ම, ගැටවර යුවතියන්ගේ අතමිට සරු වීම අන් සියල්ලට ම ඉහලින් තබයි. මෙය එතරම් යහපත් පැහැදිලි කිරීමක් නොවේ. පලමුකොට ම, ටයිටැනික් නැවත නැවත හා රංචු වසයෙන් නරඹන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ගැටවරියන් විය හැකි වුවත් චිත්‍රපටයෙහි සමස්ත ප්‍රේක්ෂාගාරය සමන්විත වනුයේ ඔවුන්ගෙන් පමනක් නොවේ. (ස්ත්‍රී හා පුරුෂ ප්‍රේක්ෂකයින්ගෙන් සියයට හතලිහක් පමන අවුරුදු 25ට වැඩි අය යි.) එසේ ම, විශාල වසයෙන් චිත්‍රපටය කරා ඇදී ගියේ හුදෙක් ජනගහනයෙන් එක් ඛන්ඩයකි යන කාරනාව සත්‍යයකැයි සැලකුවත් ඒ ඇයි ද යන පැනයට පිලිතුරු සෙවීමට යමෙකුට සිදුවනු ඇත. ලියොනාර්ඩෝ ඩයිකැප්රියෝගේ ආකර්ෂනීය ලක්ෂනවලට යා හැකි වනුයේ විස්තර කල හැකි දුරක් පමනි.

චිත්‍රපටය අගය කරන බොහෝ දෙනා වුව ටයිටැනික් නාට්‍යමය වසයෙන් අදක්ෂ කෘතියක් බැව් පිලිගනිත්. එසේ නම්, තමන්ට පිහිට වීමට ඔවුනට බැරි ඇයි? ජනගහනයෙන් පුලූල් ස්ථර මෙබඳු දුර්වල කෘතියක් සමග දැඩි ලෙස අනන්‍ය වීමටත්, ඔවුන්ගේ බොහෝ ප්‍රකාශ මගින් ප්‍රදර්ශනය වන පරිදි, චිත්‍රපටයෙහි ගැබ් නොවන්නා වූ ගුනයන් ඊට ආරෝපනය කිරීමටත් පොලඹවනු ලබන්නේ කවර සමාජ හේතුන් පෙලක් විසින් ද?

පැරනි සමාජ සංස්ථා සහ ඒ සමග බැඳුනු ඇදහිලි හෝ මිත්‍යා විශ්වාසයන්හි වටිනාකමක් නැතැයි යන පොදු හැගීම මෙකල ඉතා ප්‍රබලව බලපවත්වන ලක්ෂනයන්ගෙන් එකකි.

මේ සංස්ථාපිතයන් හා විශ්වාස පිලිබඳව බොහෝ දෙනා කල්පනා කරනුයේ, ඔවුන් ඒ ගැන සවිඥානක වුව ද නොවුව ද, ඒවාට අරුතක් තිබුනා විය හැකි පූර්ව යුගයකින් කිසියම් නොසැලකිලිමත් බවක් නිසා ශේෂව පවතින හුදු ඉතිරිපහදු හැටියට ය. පවතින දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු, ව්‍යාපාරික කොටස්, ජනමාධ්‍ය, පල්ලිපන්සල්, වෘත්තීය සමිති යනාදියෙන් දූෂනය හා මුසා බස් විනා අන් කිසිවක් අපේක්ෂා කල නොහැකි ය යන්න මෙකල ඉතා පුලූල්ව පැතිරෙන අප්‍රකාශිත සිතිවිල්ලකි.

කෙසේ වෙතත්, බහු ජනතාව විසින් මේ මොහොතේ නව ඉදිරි දර්ශන, නව අභිප්‍රායයන් ග්‍රහනය කෙරී නැත. ජනගහනය විශාල වසයෙන් දේශපාලනිකව ද, බුද්ධිමය වසයෙන් ද අකැපව සිටිත්. වෙසෙසින් ම, තරුන පිරිස් අවිවේකීව, අවිනිශ්චිතව හා ප්‍රකම්පිතව පසුවෙත්. ඔවුහු, තොග ගනනින් -- යෝග්‍ය ගමනාන්තයක් පවතින බව යමෙකු දැනට ම දැන සිටිය යුතු වුවත් -- 'කොයි මඟ ද?' යි තවමත් නොඅසති.

එසේවතුදු, කැප වීමක් උදෙසා, අභිප්‍රායයක් උදෙසා පුලූල් අභිලාෂයක් පවතී. මෙය, බොහෝ විකෘත, ඇතැම් විට ප්‍රතිගාමී රූපාකාරයන්ගෙන් පවා -- 'ප්‍රොමිස් කීපර්' ලාගේ සිට 'මිලියන් මෑන් මාර්ච්' දක්වා -- පවතින බව යමෙකුට පෙනේ.

මෙකී තතු යටතේ, (හූර ලෙස මෑනූ ජනමාධ්‍ය පිටුබලය ද සහිත) චිත්‍රපටයේ ආරම්භක ජනප්‍රියත්වය නමැති කාරනාව ම ටයිටැනික් බඳු කෘතියක් මහත් සේ ජනප්‍රිය වීමට උපකාරී වෙයි: 'එය අන්‍යයන් හට ආකර්ෂනීය වන බැවින් නියත වසයෙන් ම මා හට ද ආකර්ෂනීය වෙයිෂ චිත්‍රපටය තුල අසාමාන්‍ය හා ශෝචනීය යමක් අන්‍යයන් දකින බැවින් මා හට ද එසේ පෙනී යා යුතු ය.' මෙය අනුකූල වීමකට ප්‍රවේශ වුව, වැඩිමනත් අනුකූල වීමක් නොවේ. අති බහුතරයකට නව සමාජ සබැඳියාවක් සහ එක්සත් මනුෂ්‍ය ප්‍රජාවක් උදෙසා නව පදනමක් නොපෙනෙන කල්හි කිසියම් එක්සත් මූලිකාංගයක්, සබැඳියාවක් සඳහා අභිලාෂයක් ජනනය වන බැවිනි.

චිත්‍රපටයට සහයෝගය පල කිරීමෙහි දී, තරුන පිරිස් ප්‍රතිචාර දක්වනුයේ ටයිටැනික්හි තේමාව හැටියට ඔවුන් විසින් වටහාගනු ලබන දෙයට ය. එනම්, ලෝක සම්මතයෙන් හා පලපුරුද්දෙන් කැඩී වෙන් වී කවර වියදමක් දරා හෝ ආදරය හා නිදහස හිමි කර ගැනුමෙහි අවශ්‍යතාව යි. මේ වනාහි පවතින අනුකූලතාවාදී හා ශ්වනවාදී (චයනඉචඉසට) වාතාවරනයට අර්ධ ලෙස දක්වන ප්‍රතිචාරයක් බවට සැක නැත. නමුත්, මේ අව්‍යාජ හැගීම යොමු වී පවතිනුයේ මූලික වසයෙන් ම ව්‍යාජ වූත් නොගැඹුරු වූත් කෘතියක් කෙරෙහි ය.

කැමරන්ගේ චිත්‍රපටයෙහි අව්‍යාජ කැරැල්ලක සේයාවකුදු නැත. එය සහමුලින් ම ස්වයං-තෘප්තිමත් කෘතියකි. වින්ස්ලට් චරිතය, ඇගේ පවුල හා පෙම්වතා අතර ගැටුමෙන් ගලා එන්නා වූ කිසිවක් අවසන් කේදවාචකය සඳහා අවශ්‍ය නොවේ. ජැක් සහ රෝස් එක්ව සාපේක්ෂ වසයෙන් ඉතා පහසුවෙන් වාසනාව සොයා ගනිත්ෂ යම් හෙයකින්, ටයිටැනික් නෞකාව අයිස් පරයක නොගැටුනි නම් එතැන් පටන් ඔවුන් සදාකල් සතුටින් ජීවත් වනු ඇත.

මෙහි දී මතු වන දුෂ්කරතාවන්ගෙන් එකක් නම්, චිත්‍රපටය බිහි කිරීමට තුඩු දුන් පහත් සංස්කෘතික මට්ටම විසින් ම, බොහෝ දුරට, එයට දැක්වෙන මහජන ප්‍රතිචාරය ද බිහි කරනු ලැබීම යි.

ටයිටැනික් චිත්‍රපටය, එක්තරා වර්ගයක පොදු හරයක් හැටියට විස්තර කිරීම ඇතැම් විට යහපත් වනු ඇත. ප්‍රේක්ෂක අවධානය දිනා ගැනුමට අවශ්‍ය ඇතැම් අවමයන් -- ආකර්ෂනීය ප්‍රධාන නලූනිලියන්, ප්‍රේම ශෝකාන්තයක්, මිල අධික විශේෂ භාන්ඩ, සමාජ විවේචනයෙන් බිංදු මාත්‍රයක්, චිත්තාකර්ෂනීය ඓතිහාසික සිද්ධියක් සහ මාධ්‍ය පිටුබලය -- එහි අන්තර්ගත ය. නමුත්, මේ මූලිකාංග සමග සංයෝග වූ දැඩි සෞම්‍ය ගුනය එහි විපුල සාර්ථකත්වයට හේතු වී තිබේ. සත්තකින් ම, ටයිටැනික් වනාහි හිස් තිරයකි. තම අභිලාෂයන් වඩා සංයුක්ත හා නාභිගත පදවලින් සූත්‍රගත කිරීමට තවමත් නොහැකිව සිටින අති විශාල ජනකායක් ජීවිතය, ප්‍රේමය හා සමාජය පිලිබඳ ස්වකීය නොපැහැදිලි, එහෙත් බලසම්පන්න ආශාවන් ඒ මතට ප්‍රක්ෂේපනය කරත්.

සාපේක්ෂ වසයෙන් හරසුන් එබඳු චිත්‍රපටයක් දැවැන්ත ජනප්‍රියත්වයක් දිනා ගැනුමෙහි කිසිදු ගූඩාර්ථයක් නොමැත. ඊට පටහැනිව, මෙකී සුවිශේෂ හිදැස පුරවාලීමට වෙනත් කිසිදු චිත්‍රපටයක් සමත් නොවනු ඇත. පැය තුනකුත් විනාඩි පහලොවක කාලය අතරතුර දී නැතහොත් නරඹන වාරයක් වාරයක් පාසා නව චිත්‍රපටයක් හා නව ලෝකයක් නිර්මානය කිරීමෙහි අවශ්‍යතාව ප්‍රේක්ෂක සමූහයා හට ඒත්තු ගන්වනුයේ ද ටයිටැනික් හි යට කී ශුන්‍යත්වය ම ය.

පරිවර්තනය - දර්ශන මේදිස්

අදාල වෙනත් ලිපි

ඇනිමල් ෆාර්ම් - එක්සත් ජනපද රූපවාහිනියේ නව අර්ථ කථනය

2000 මාර්තු 23

යුද්ධයේ දුකඳුර ගෙන හැර පාන චිත්‍රපටයක්

පුර හඳ කලූවර

2000 මාර්තු 17

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සමග සම්මුඛ සාකච්චාවක්

1999 ජූනි 01

ජීවන සෞන්දර්යයට එරෙහි වනුයේ පන්ති සමාජමය කොන්දේසි යි

පවුරු වළලු සිනමා විචාරය

1999 මාර්තු 12

Loading