ක්ලින්ටන්ගේ ඉන්දු උපමහාද්වීප චාරිකාව නව මූලෝපායික දිශාවනතියක් සකසයි

ඉන්දියානු උපමහාද්වීපයෙහි බිල් ක්ලින්ටන්ගේ වත්මන් සංචාරයෙන් -- එය 1978 ජිමී කාටර්ගේ සංචාරයෙන් පසුව එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයකු කලාපයට පැමිනි ප්‍රථම වතාවයි -- සලකුනු වන්නේ පූර්ව සීතල යුද සමයේ පකිස්තානය සමග පැවති සන්ධානයෙන් බැහැර වෙමින් ඉන්දියාව සමග නව, තවමත් තිර නොවුනු, මූලෝපායික සහ ආර්තික සම්බන්ධතාවන් දිසාවට කලාපය තුල වොෂින්ටන දිසාවනතියේ තව දුරටත් මාරුවීමකි.

එක්තරා අර්ථයකින්, ක්ලින්ටන්ගේ චාරිකා සැලැස්ම මේ සියල්ල කියාපායි, ඔහු බංග්ලාදේශයේ දිනක් ගත කලේය. අතර මැදි දින පහක් ඉන්දියාවේ ගත කලේ, එරට මෘදුකාංග හා පරිගනක කර්මාන්තයේ මල්පල හටගන්නා මධ්‍යස්ථානය ලෙස සැලකෙන හයිද්‍රාබාද් ඇතුලූ නගර පහක ද සංචාරය කලේය. සෙනසුරාදා ඔහු යන්තම් පැය පහක කාලයක් පකිස්තානයේ නැවතීමට නියමිත ය. ගමන් සැලැසුම්වල වූ පැත්තකට බර වූ ස්වභාවය. පකිස්තානය හා ඉන්දියාව වෙත වොෂින්ටන් දේශපාලන පනිවුඩවල වෙනස් ස්වභාවය සමග සැසදුනි.

ඉන්දියාවේ දී එක්සත් ජනපද ජනාධිපති ඉන්දියානු අගමැති අතල් බිහාරි වජ්පායි සමග, 'ලෝකයේ සබඳතා' නිර්මානය කිරීමට ශපථ කල නෙත් නිලංකාරී වාංමාලාවකින් යුත් ඒකාබද්ධ 'දර්ශනයක්' පිලිබඳ ප්‍රකාශයකට අත්සන් තැබීය. ලියවිල්ල මෙසේ ප්‍රකාශ කරයි: 'බොහෝ ආකාරවලින් 21 වන සිය වසේ ලෝකයේ ස්වභාවය සාමය, සෞභාග්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සඳහා වන අපගේ සහයෝගීත්වයේ සාර්ථකත්වය මත රදා පවතී.'

වොෂිංටනයේ අලූත් කූට්ටාලී වීම සිදුවන්නේ සිය හින්දු ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රය පෙරට තල්ලූ කිරීම අරමුනු කරගත් අන්ත දක්ෂිනාංජික අට්ටාලයක් වන භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නායකත්වය දෙන සභාග ආන්ඩුවක් සමග ය යන කාරනාව විවේචනය කිරීම පසක තිබියේවා එය සඳහන් කිරීම වත් සුදුසු යැයි ක්ලින්ටන් වත් ජනමාධ්‍ය වත් සිතුවේ නැත.

සංචාරය සිදු කිරීමට ඉඩසලසා ගැනීම වෙනුවෙන් වොෂිංටනය ඉන්දියාවට කැපී පෙනෙන සහන ගනනාවක් ම ප්‍රදානය කලේය. සවාරිය වසර කීපයකට පෙරාතුව යෝජිතව තිබුන නමුත්, 1998 මැයිවල දී නව දිල්ලිය න්‍යාෂ්ටික අවි පහක් පුපුරුවා හැරීම හා ඉන් ඉක්බිතව පකිස්තානය න්‍යෂ්ටික පරීක්ෂනවල යෙදීමත් නිසා එය හදිසියේ ම අවලංගු කැරිනි. එක්සත් ජනපදය රටවල් දෙකට ම විරුද්ධව ආර්තික හා තාක්ෂනික සම්බාධක පනවා විස්තීර්න පරීක්ෂන තහනම් ගිවිසුම (සීටීබීටී) අත්සන් කරන ලෙස ඔවුන් දෙගොල්ලන්ට ම බල කර සිටියේ ය. කෙසේ වතුදු, මෑත මාසවල දී ක්ලින්ටන් පරිපාලනය ඉන්දියාවට එරෙහි සමහර සම්බාධක ඉවත් කලා පමනක් නොව සීටීබීටී අත්සන් කරන බවට පොරොන්දු වීම ජනාධිපති සංචාරයට පූර්ව කොන්දේසියක් නොවනු ඇති බව ද වජ්පායි ආන්ඩුවට ඇඟවුම් කලේය.

මීට විපරීතව පකිස්තානය සම්බන්ධයෙන් නම්, සුලූ වේලාවකට ඉස්ලාමාබාදයේ ක්ලින්ටන් පය ගැසීම පවා එක්සත් ජනපද පරිපාලනය තුල විවාදයනට ලක්වූ කාරනාවක් විය. පකිස්තානය සමග දීර්ඝ කාලයක් පැවති සබඳතා තබා ගැනීම අවශ්‍ය යයි විශේෂයෙන්ම පෙන්ටගනය හා සිඅයිඒ සංවිධානය තරයේ කියා සිටි නිසා ම, මෙම තීරනය ගනු ලැබුවේ මේ මස මුල භාගයේ දී ය. ක්ලින්ටන් මඳ වේලාවක් පකිස්තානයේ සුනංගුවීම යොදාගනු ඇත්තේ, පසු ගිය ඔක්තෝබරයේ මිලිටරි කුමන්ත්‍රනයකින් බලය පැහැරගත් පකිස්තානු නායක ජෙනරාල් මුෂාරෆ්ට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට යලි එලබීම පිනිස කාල සටහනක් නිර්නය කරන ලෙසත් ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායම්, සුවිශේජිතවම පකිස්තානු භූමියේ සිට ක්‍රියාත්මක වන කාශ්මීර බෙදුම්වාදීන්, මෙල්ල කරන ලෙසත් ප්‍රසිද්ධියේ බලකිරීම සඳහා ය.

පකිස්තානයේ සංචාරය කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කල එක්සත් ජනපද ආන්ඩුවේ කොටස් පෙන්වා දුන්නේ ක්ලින්ටන් මිලිටරි ජුන්ටාව ආනුමත කරන බවක් ඉන් පෙනී යා හැකි බව ය. මුෂාරෆ් තන්ත්‍රය බලය පැහැර ගැනීමෙන් පසු සියලූ වැඩ වර්ජන සහ දේශපාලන රුලි තහනම් කර ඇති අතර පලවා හැරි අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ මුල්පෙල ආධාරකරුවන් ගනනාවක් ත්‍රස්තවාදය, ගුවන් කොල්ලට සහ මිනීමැරීමට තැත් කිරීම පිලිබඳව ගොතන ලද චෝදනා මත නඩුවලට පටලවා ඇත. නඩුවේ පැමිනිල්ලෙන් ඉල්ලා ඇත්තේ ෂරීෆ්ගේ චෝදනාවලට වැරදිකරු වුවහොත් මරන දඩුවමට යටත් කරන ලෙස යි.

ක්ලින්ටන්ගේ උපදේශකයන්, කාශ්මීර අර්බුදය පිලිබඳව විසඳුමකට ලඟා වීමට ප්‍රධාන ක්‍රියාධරයන් දෙදෙනාම දිරිමත් කිරීම සඳහා, ඉස්ලාමාබාදයට සංචාරය කිරීම අවශ්‍යයි කියමින් එය හුවා දැක්වීමේ වෑයමක යෙදුනි. පසුගිය වසරේ දී පකිස්තානයේ පිටුබලය ලද බෙදුම්වාදීන් විසින්, ජම්මු-කාශ්මීර ඉන්දියානු ප්‍රාන්තයේ තීරනාත්මක මූලෝපායික මර්මස්ථාන අල්ලා ගැනීමේ දී ඉන්දියාව සහ පකිස්තානය යුද්ධයක් අද්දරටම සේන්දු විය. අනෙකුත් අය තර්ක කලේ මුෂාරෆ් ඉස්ලාමීය මූලධර්මවාදීන් ආධිපත්‍යය දරන රජයකට එරෙහි අවශ්‍ය ප්‍රාකාරයක් බව ය.

සත්තකින්ම එක්සත් ජනපද පරිපාලනය, පකිස්තානයේ හෝ වෙනයම් තැනක හෝ මිලිටරි ඒකාධිපතිත්වයන්, තම උවමනා එපාකම්වලට ගැලපුන විටක දී, වැලඳ ගැනීම කෙදිනක වත් පිලිකුල් කලේ නැත. වෙනත් තත්වයක් යටතේ දී නම්, ක්ලින්ටන්ගේ ප්‍රබන්ධ විශාරදයෝ පකිස්තානය සමග 'දර්ශන' ලියවිල්ලක් අත්සන් කිරීමත් හින්දු මූලධර්මවාදය ඇවිස්සීම පිලිබඳව ඉන්දියාවේ බීජේපී ආන්ඩුවට කැරලි මර්දන පනත පිලිබඳව අධ්‍යාපනයක් දීමත් සඳහා යුක්ති සහගත කිරිම් සොයා ගැනීමට තරම් කුසලතා පූර්න ය. ඉන්දියාවට රාජ්‍යතන්ත්‍රික මල්පොකුරු සහ පකිස්තානයට ගල් මුගුරු දීමේ දේශපාලන ලීලාව ප්‍රජාතන්ත්‍රවාදය හෝ කලාපීය සාමය හෝ පිලිබඳ සැලකිල්ල අභිභවා ගියා වූ වඩා මූලික ආර්තික හා මූලෝපායික උවමනා එපාකම් මගින් නිර්නය වී තිබේ.

ආර්තික ගනන් බැලීම්

ක්ලින්ටන් සංචාරයේ තීරනාත්මක සාධකයක් වනුයේ, ඉන්දු උපමහද්වීපයේ, සුවිශේජිතවම ඉන්දියාවේ එක්සත් ජනපද සංගත සඳහා වැඩී එන වැදගත්කම ය. බංග්ලාදේශයට කරන ලද කෙටි අතුරු සංචාරයේ -- එක්සත් ජනපද ජනාධිපතිවරයකු එරටට කල මුල්ම සංචාරයේ -- ප්‍රධාන අරමුන, රටේ සෑහෙන ප්‍රමානයක ස්වාභාවික ගෑස් නිධි තුල එක්සත් ජනපද ආයෝජන පිලිබඳව සාකච්චා කිරීම ය. ක්ලින්ටන් මෙම අවස්ථාව යොදාගත්තේ ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන බංග්ලාදේශයට ආහාර ආධාර සඳහා ශෝචනීය ඩොලර් මිලියන 97ක් ද -- එක් අයෙකුට ඩොලරයකටත් අඩුය -- ඇතුලත් එක්සත් ජනපද ආධාර වැඩපිලිවෙලේ වැඩි කිරීම් නිවේදනය කිරීමට ය.

ස්වාභාවික ගෑස් අපනයන කිරීමට අවසර දීමට බංග්ලාදේශ් ආන්ඩුව දිරිමත් කිරීමේ නියම රාජකාරිය බලශක්ති ලේකම් බිල් රිචඩ්සන් ඇතුලූ එක්සත් ජනපද නිලධාරීහු පසු තලයේ සිට සකස් කලහ. එක්සත් ජනපද ඛනිජ තෙල් සමාගම් දැනටමත් බංග්ලාදේශ් ගෑස් නිධිවල සිය ආයෝජන 1996 වූ ඩොලර් මිලියන 20 සිට ඩොලර් මිලියන 700 දක්වා ඉහල දමා ඇත. ටයිම් සඟරාවට අනුව එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව දකුනු ආසියාවේ, වැඩිපුර ම ඉන්දියාවේ, ඩොලර් බිලියන 15 සිට 20 දක්වා වන විභවීය ආයෝජන ව්‍යපෘති හඳුනාගෙන ඇත.

වසර පහකට දහයකට පෙරාතුව චීනය ගැන කෙරුනාක් මෙන් ඉන්දියාව ගැන ද ජාත්‍යන්තර මූල්‍ය කවයන් තුල සාකච්චා වන්ට පටන් ගෙන ඇත. 1990 ගනන්වල දී සියයට 6ක් තරම් වූ වාර්ෂික ආර්තික වර්ධන රේට්ටු ද කෝටි 3 සිට කෝටි 18ක් අතර වෙතැයි විවිධ අයුරින් ගනන් බලා ඇති පලල් වන මධ්‍යම පංතිය ද වර්ධනය වන අපනයන කර්මාන්ත ද වෙත අටුවාකරුවෝ ඇ ල්ල දිගුකර පෙන්වති.

එලඹෙන වසරවල දී ඉන්දියාව තුල බලශක්ති උත්පාදන (යන්ත්‍රෝපකරන) වෙනුවෙන් ඩොලර් බිලියන 250ක් ද විදුලි සංදේශ කර්මාන්තයට ඩොලර් බිලියන 100ක් ද වියදම් කරනු ඇතැයි ඉන්දියාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයෙකු වූ ෆැන්ක් වයිස්නර් නිව්යෝක් ටයිම්ස් ලිපියක උද්යෝගීමත් ව ලිවීය. ඔහු මෙසේ ද කීවේය: 'මෙම සංචාරය එක්සත් ජනපදයට කලාපය තුල මුල් බැස ගැනීමට, අප ඉදිරියට යන කල අපට වරප්‍රසාදිත තත්වයක් නිර්මානය කරගැනීම පිනිස ප්‍රශ්න සම්බන්ධයෙන් යම් තැනක් ඇති කර ගැනීමට ලැබෙන මහාර්ඝ අවස්ථාවකි.' බෙහෙත් ඖෂධ, ගුවන් තොට ආම්පන්න, ආහාර සැකසීම, ගෑස් සහ ඛනිජ ඇතුලූ කැනීම්, ඉංජිනේරු ආම්පන්න සහ ක්‍රීඩා භාන්ඩ ආදී ආයෝජන සඳහා විභවයක් ඇති ක්ෂේත්‍ර කෙරෙහි එක්සත් ජනපද සංගත ඇස ගසාගෙන සිටියි.

එහෙත් මහා උන්මාදය ඉන්දියාවේ නැගී එන මෘදුකාංග සහ තාක්ෂන කර්මාන්තය වෙනුවෙන් වෙන්කර තබා ඇත. ඉන්දියාව ද පාදක කරගත් සුපිරි තාක්ෂනික සමාගම්, පරිගනක වැඩ සටහන් සම්පාදනයේ දැඩි ශ්‍රම සූක්ෂ්ම වැඩ කරගෙන යාමේ දී, රටේ අතිවිශාල උපාධිධාරී සංචිතය සූරාකන්නේ යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ සම සේවකයන්ට ගෙවන වැටුපෙන් සොච්චමක් ගෙවාගෙන ය. කලමනාකරන උපදේශන සමාගමක් වන මැක්කින්සි සහ සමාගමේ වාර්තාවකින් පෙර දැක ඇත්තේ, දශකය අවසානය වන විට ඉන්දියානු මෘදුකාංග කර්මාන්තයට ඩොලර් බිලියන 87ක් උපයා ගත හැකි වන බව සහ මිලියන දෙකකට අධික පිරිසක් සේවයට යොදවා ගතහැකි වන බවයි.

බ්‍රතාන්‍යයේ ඉකොනමිස්ට් සඟරාවේ 'අලියා සහ චීන කුරු බල්ලා' හිසින් යුත් ලිපියක සඳහන් කෙරුනේ : 'සමහර විට ශුන්‍ය සොයා ගැනීමෙන් පසු ප්‍රථම වරට ඉන්දියාව සතුව විකිනීම සඳහා උනු උනුවේ නිෂ්පාදිතයක් ඇති අතර ලාභය තමන්ටම තබාගත හැක. මේ සියල්ල ඉන්දියාව සෙසු ලෝකය සමග, විශේෂයෙන්ම එක්සත් ජනපදය සමග එකට වෙලා තබනවා ඇත. මෘදුකාංග අපනයනය වාර්ෂිකව සියයට 50ක රේට්ටුවකින් ඉහල යන අතර ඉන් තුනෙන් දෙපංගුවක් පමන එක්සත් ජනපදයට ගලා යයි. ඒවායින් බොහෝමයක්ම නඩත්තු කරනු ලබන්නේ තාවකාලික වීසා මත සිටින ඉන්දියානුවන් ය. නඩත්තු කිරීම්වලින් තුනෙන් පංගුවක් පමන ඉන්දියාවට ලැබෙන අතර ක්ලින්ටන් මහතා එය වැඩිකර දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. ඉන්දියානු සමාගම් අමෙරිකානු කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත කර ඇත. වැඩෙන පොහොසත් ජන කන්ඩායමක් වන ඉන්දියානු ඇමෙරිකානුවෝ ඔවුන් තොරාගත් රට තුල ඉන්දියාව වෙනුවෙන් පෙලබීම් කරන අතර සිය නිජ භූමියේ ආයෝජනය කරති. ඉන්දියානු මොල සඳහා භූගෝලීය ව ඔංටු ඇල්ලීමේ යුද්ධයක් පෑදී ඇත.'

එක්සත් ජනපද පරිපාලනය ඉන්දියාවේ වජ්පායි ආන්ඩුව වැලඳ ගැනීම බොහෝ දුරට පැහැදිලි කෙරෙන්නේ, එක්සත් ජනපද සංගතවලට පවතින ආයෝජන අවස්ථා විසිනි. ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව පාලක පංතියේ ප්‍රබල කොටස් ගනන් බලන්නේ සංගත ආයෝජකයන් ඉල්ලා සිටින රජය සතු කර්මාන්ත පෞද්ගලීකරනය ද ඇතුලූව ආර්තික ප්‍රතිව්‍යහකරනයන්, රටේ සීමිත සමාජ සේවාවන් සහ මිල සහනාධාර සමතලා කිරීම, වෙලඳ සහ ආයෝජන බාධක ඉවත්කිරීම ආදිය පෙරට තල්ලූ කිරීමේ හොඳම අවිය හින්දු ස්වෝත්තමවාදී බිජේපීය බව යි. 1990 ගනන්වල දී ක්‍රියාත්මක පියවර අගය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන, ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යමින් එය වේගවත් කරන ලෙස බීජේපී ආන්ඩුවට අවධාරනය කරයි.

බීජේපීයේ හින්දු අන්තවාදය නොදුටුවා සේ සිටීමට ඇමරිකානු හා අනෙක් බලවතුන් දක්වන කැමැත්ත පිටුපස ඇති න්‍යාය පිලිබඳව ඉකොනමිස්ට් ඇඟවීමක් කරයි. ඉන්දියාව 1991 සිට 'අංශ දෙකකින්ම ඉතා මන්ද ගාමී වුව ද, සිය ආර්තිකය ලෝක වෙලදාමට විවෘත කර පෞද්ගලීකරනය ඇරඹුවේ ය. වසර දෙකකට පෙරාතුව සභාගයට නායකත්වය දෙන අතාල් බිහාරි වජ්පායිගේ භාරතීය ජනතා පක්ෂය බලයට පැමිනීම සත්තකින්ම ක්‍රියාවලිය කඩිනම් කලේය. හින්දු-ජාතිකවාදී පක්ෂයෙහි විදේශ භීතිකා වයිරම් වැටී තිබුන ද එය නිදහසින් පසු පනස් වසරක ඉන්දියානු දේශපාලනයේ ආධිපත්‍යය දැරූ කොංග්‍රස් පක්ෂයට වඩා ව්‍යාපාර හිතකාමී සහ කොම්යුනිස්ට් විරෝධී වේ.........මෙම දිනවල ආර්තික කවුන්සිලවල දී ඉන්දියාවට වඩ වඩාත් ගෞරවනීය සැලකිලි ලැබේ. ලෝක වෙලඳ සංවිධානය තුල ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය (එ-චඔමමඑරචඑ) වැනි නව ආර්තික කාරනා ඉස්මතු වූ විටෙක ඉන්දියාව සහ එක්සත් ජනපදය එක පැත්තේ සිටිනු ඇත.' යනුවෙන් එහි සඳහන් වෙයි.

සැකයෙන් තොරව ම ක්ලින්ටන්, අලූත්ම ඉන්දියානු අයවැයෙන් සැලසුම් කලාට වැඩි දුර යමින් ජාමුඅ ආර්තික ප්‍රතිව්‍යහකරන මාවතේ ගමන් කිරීමට වජ්පායිට බල කරනු ඇත. පසු ගිය නොවැම්බරයේ මුම්බායිහි (පෙර බොම්බායේ)පැවැති ඉහල පෙලේ එක්සත් ජනපද ආයෝජන සමුලූවක දී චුබ් සංගතයේ, සභාපති සහ එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාර කවුන්සලයේ ප්‍රධානියා වන ඩීන් ඔහරේ ආයෝජන සබඳතා තව දුරට ගෙන යාමට මූලිකව බාධාවන් දෙකක් ඇති බව රලූ බසින් සඳහන් කලේය. එනම්, කොන්ත්‍රාත්තුවල අනුල්ලංඝනීය භාවයට ගරු නොකිරීම සහ ආර්තික ප්‍රතිසංස්කරනවල විලම්භීත වේගය යි.

ඉකොනොමිස්ට් සඟරාව මෙසේ ද සඳහන් කලේය. 'ඩොට්.කොම් (ඩඔට.චඔම) කොටස් මෙන්ම ඉන්දියානු ආර්තිකය ද එහි වර්තමාන ක්‍රියාකාරිත්වයට වඩා ඉදිරි විභවට වඩාත් උද්වේගකර ය. මිල දී ගැනීමේ ශක්තිය අතින් එය ලොව පස්වන විශාලතම ආර්තික වුව ද ලෝක වෙලදාමට අනුව එය සියයට එකකටත් අඩුවන අතර 1998 දී ආකර්ෂනය කරගත්තේ විදේශ ආයෝජන ඩොලර් බිලියන 2.5ක් පමනි, එනම් චීනයේ අගයෙන් විස්සෙන් පංගුවකි. එක්සත් ජනපදයට වෙනත් ඕනෑම තනි රටකට වඩා ඉන්දියාව විශාලතම ආර්තික ඔට්ටුවකි, නමුත් එම වානිජ්‍යය හිඳී ගියොත් එය නො දැනෙන තරම් ය.'

මූලෝපායික දිශාවනතියක්

කෙසේ නමුත් ක්ලින්ටන් ඉන්දියාවට පැමිනියේ හුදෙක් ආර්තික ප්‍රස්ථාවන් ලූහුබැඳීමට පමනක් නො ව තව දුරටත් වඩා සමීපස්ථ මූලෝපායික සබඳතා ස්පර්ශ කිරීමට ය. පසු ගිය සෙනසුරාදා, ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් භිබියුන් පුවත්පතේ එක්සත් ජනපදය සහ ඉන්දියාව, බොහෝ විට හරහට සිටියත්, එකම පැත්තේ ය යන මැයෙන් පල කෙරුනු ලිපියක එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මැඩ්ලින් ඹ්ල්බ්‍රයිට්, ක්ල්න්ටන්ගේ සවාරිය පිටුපස වු සමහර ගනන් බැලීම් පිලිබඳව, අඩුම තරමින් වක්‍රොත්තියෙන් වත් සංක්ජිප්ත කර දැක්වුවා ය. සීතල යුද සමයේ වැඩි කාලයක් පැවතුනු සතුරු සබඳතා ගැන කුටිලව සඳහන් කරමින් ඇය මෙසේ කියයි: 'කෙසේ වෙතත් අද දින අන්‍යොන්‍ය අවිශ්වාසය වෙනස්වීමට පටන්ගෙන ඇත. එක්සත් ජනපදය සහ ඉන්දියාව යන දෙපාර්ශවය ම අපගේ ප්‍රජාතන්ත්‍රයන් දෙක දබරකර ගැනීම යම් අස්වාභාවික සහ කනගාටුදායක කරුනක් වු බව වටහා ගනිමින් සිටිති.'

සීතල යුද සමයේ දී කලාපය තුල එක්සත් ජනපද ප්‍රතිපත්තිය පකිස්තානය දෙසට 'නැඹුරුව' තිබුනි. ඊනියා නොබැඳි කන්ඩායමේ කොටසක් වුව ද සෝවියට් සංගමය හා සමීප සබඳතා තිබූ ඉන්දියාවට එරෙහිව වොෂින්ටනය රාජ්‍ය තාන්ත්‍රික, මූල්‍ය සහ මිලිටරි සහයෝගය දෙමින් නිතරම පාහේ මිලිටරි ඒකාධිපතීත්වයන් හෙබවූ පකිස්තානයට සහයෝගය දුන්නේ ය. 1980 ගනන්වල දී, සීඅයිඒ සංවිධානය සොවියට් පිටුබලය ලද ඇෆ්ගන් පාලන තන්ත්‍රයට විරුද්ධව සටනේ යෙදුනු ඉස්ලාම් මූලධර්මවාදීන්ට අරමුදල්, ආයුධ හා පුහුනුව දෙන මධ්‍යස්ථානයක් ලෙස පකිස්තානය යොදාගත් බැවින් එරට මත එක්සත් ජනපද වාරුවීම වඩා ශක්තිමත් විය.

එහෙත් සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු කලාපය තුල එක්සත් ජනපද මුලෝපායික උත්සුකතා මාරු වී ඇත. මැද පෙරදිග තුලදීත් එසේම දැවැන්ත ඛනිජ තෙල්, ස්වාභාවික ගෑස් සහ ඛනිජ නිධි සූරාකෑමට යුරෝපය සමග ඇමරිකානු සංගත තරඟයක යෙදී සිටින මධ්‍යම ආසියාව තුල දීත් පෙර තමන් සංවිධානය වීමට උපකාර දුන් ඉස්ලාම් මුලධර්මවාදීන් දැන් තම උවමනාකම්වලට තර්ජනයක් වී ඇතැයි එක්සත් ජනපදය සලකයි. කෙන්යාවේ හා ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාලවලට බෝම්බ ගැසීම සංවිධානය කලේ යැයි චෝදනා ලබා සිටින සවුදි කොටිපතියකු වන ඔසාමා බින් ලේඩන්ට දිගින් දිගට ම අභයස්ථානයක් සැපයීම හේතුවෙන් එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් තන්ත්‍රය මත ආර්තික සම්බාධක පනවා ඇත. එහෙත් එක්සත් ජනපද පරිපාලනය, ඇෆ්ගනිස්ථානය තුල කඳවුරු ඇතැයි සැලකෙන අස්ථාවර මධ්‍යම ආසියානු ජනරජවල සන්නද්ධ විරුද්ධවාදී කන්ඩායම්වල ක්‍රියාකාරකම් ගැන ද කනස්සල්ලෙන් පසු වෙයි.

ගිය වසරේ කාර්ගිල් ආරවුල සමයේ දී, නවාස් ෂරිෆ්ගේ පකිස්තාන ආන්ඩුව ඉන්දියානු භූමියේ කාශ්මීර බෙදුම්වාදීන්ට පිදෙන සහයෝගය නතර කල යුතු යයි බල කරමින්, ක්ලින්ටන් ඉන්දියාව වෙත විවෘත දේශපාලන මිත්‍රත්වයක් පෑවේ ය. කෙසේ වෙතත් ඇමරිකාව සහ ඉන්දියාව අතර මූලෝපායික කරුනු පිලබඳව තිරය පිටුපස කතාබහ කලක් තිස්සේ ම පැවතී ඇත. 1998 න්‍යෂ්ටීක පරීක්ෂනවලින් පසුව පකිස්ථානය හා ඉන්දියාව අතර උද්ගත වූ ආතතිය සමහන් කිරීමේ කඩතුරාව යටතේ, එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ස්ට්‍රෝබ් ටැල්බට් හා ඉන්දියානු විදේශ ඇමති ජස්වාන්ත් සිං අතර 'මූලෝපායික සංවාද' වට අටක් පැවැත් වූ අතර මෙය ඇමරිකානු හා ඉන්දියානු නිලධරයන් අතර මෙතෙක් වූ දිගුම සාකච්චාව ය. කාර්ගිල් ගැටුම්වල ප්‍රතිපලය ලෙස එක්සත් ජනපද හා ඉන්දියානු ඔත්තු සේවාවන් 'ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ' නාමයෙන් වඩා සමීප සහයෝගීතාවයෙන් ක්‍රියා කිරීම ඇරඹිය.

ක්ලින්ටන්ගේ චාරිකාවෙන් මතු කෙරුනු මුලෝපායික ප්‍රශ්න ඉන්දියාව දෙසට වන නිශ්ච්ත නැඹුරුවක් ඇඟවුම් කරන භාජිතයක හොවා තැබීමට එක්සත් ජනපදය පරිස්සම් සහගත විය. ඇගේ ලිපියේ ඕල්බ්‍රයිට්, ඉන්දියාවේ න්‍යෂ්ටීක අවි තොගය තවමත් එක්සත් ජනපදයේ අංක එකේ ආරක්ෂක උත්සුකය බව සඳහන් කල නමුත් 'එක්සත් ජනපදය ඉන්දියානු මිසයිල හෝ න්‍යෂ්ටික ආයුධ කෙලින් තර්ජනයක් ලෙස නොසලකන' බව සහ 'හැකි තාක් පුලූල් මට්ටමකට, අපගේ න්‍යෂ්ටික උත්සුකතා සහ තම ආරක්ෂක අවශ්‍යතා පිලිබඳව ඉන්දියානු උත්සුකතා සමහන් කර ගැනීමට' උනන්දු වන බව පැවසීමට බලවත් වෙහෙසක් ගත්තී ය.

ක්ලින්ටන් සංචාරය තුල දී ඉන්දියාව සීටීබීටී ගිවිසුම අත්සන් කල යුතු යයි එක්සත් ජනපදය අවධාරනය නො කිරීමේ කරුන සමග එක්ව, නිකුත් කෙරී ඇති පනිවුඩය ඉන්දියානු පාලක කවයන් තුල අර්ථ දැක්වෙන්නේ න්‍යෂ්ටිකව සන්නද්ධ ඉන්දියාවකට දුන් මනා පිලිගැනීමක් ලෙස ය. කාර්ගිල්හි හමුදාවේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමට පත් කල ඉන්දියානු කමිටුවක ප්‍රධානියා වු එල්. සුබ්‍රාමානියෙම් කෙලින් ම මෙසේ පැවසී ය: 'න්‍යෂ්ටික අධිපතිවාදීන්ගේ ගාම්භීර ඉල්ලීම්වලට අවනත වීමට ඉන්දියාව කිසිත් නොකලේ වුවත් න්‍යෂ්ටික පරික්ෂනවලින් දෑවුරුද්දකට පසුව එක්සත් ජනපද ජනාධිපති පැමිනීමේ කරුන හුදෙක් ම සංකේතාත්මක ය. පුච්චානම් තිබිය දී ම එක්සත් ජනපදය යථාර්ථය පිලිගනී'

කාශ්මීරය පිලිබඳ තිරනාත්මක කාරනයේ දී ද එක්සත් ජනපදය ඉන්දියාවේ වාසියට කටුව කරකවා ඇත. කාශ්මීර ප්‍රශ්නය අභ්‍යන්තර ගැටලූවක් බවත් තමන් ජාත්‍යන්තර මැදිහත්කරුවන් නො පිලිගන්නා බවත් පැවසෙන ඉන්දියානු ආන්ඩුවේ දීර්ඝ කාලීන අවධාරනයට ගැලපෙන ලෙස ඉන්දියාව හා පකිස්තානය අතර ආරවුලේ මැදිහත්කරුවකු ලෙස පූද්ගලිකව මැදිහත් වීමට සිය ඉදිරිපත්වීම ක්ලින්ටන් විසින් ලාච්චුවේ දමා ඇත. සියල්ලට මත් වඩා ඕල්බ්‍රයිට්, පාලන රේඛාවට (1971 යුද්ධය අවසන් කිරීමට සකස්කල ඉන්දියානු හා පාකිස්තාන අයිතියට කාශ්මීරය බෙදා ඇති කර තිබෙන රේඛාව) ගරු කරන ලෙස ඉල්ලී ය. රාජ්‍යතාන්ත්‍රීක භාෂාවෙන් පරිවර්තනය කල විට ඇගේ ප්‍රකාශය ජම්මු සහ කාශ්මිරයට බෙදුම්වාදීන් පාකිස්තානයේ සිට රිංගායාමට විරුද්ධව එල්ල කරන ලද්දකි.

ක්ලින්ටන් සිය සංචාරයට ප්‍රථම ඉන්දියානු උපමහද්වීපය 'ලෝකයේ ඉතාම අනතුරුදායක ස්ථානය' ලෙස විස්තර කලේ ය. ඔහු සිය සංචාරය විශේෂයෙන්ම, ඉන්දියාව හා පාකිස්තානය අතර ආතතිය සමහන් කිරීමේ සහ කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ පියවරක් ලෙස නග්ගා තැබුවේ ය. එහෙත් එක්සත් ජනපදය හා බීජේපීයේ හින්දු අන්තවාදීන් විසින් පාලිත ඉන්දියාව අතර සමීප සබඳතාවන් සාමය කෙරේ යොමුවනවා වෙනුවට ලෝක ගෝලයේ දැනටමත් අස්ථාවර කලාපය තව දුරටත් අස්ථාවර කරනු ඇති බවට විශ්වාස කිරීමට ඕන තරම් හේතු ඇත.

සුබ්‍රාමානියම්ගේ අටුවාවන් ඉන්දියාව පකිස්තානය වෙත සහ මුලූමහත් කලාපය පුරාමත් වැඩි ආක්‍රමනශීලි පිලිවතක පිහිටිය යුතු ය යන නවදිල්ලි සාකච්චාවක නිමිත්තක් වෙයි. ඒකාන්තයෙන්ම බීජේපීය නායකත්වය දෙන ආන්ඩුව ආරක්ෂක වියදම් දැවැන්තව සියයට 28කින් ඉහල දමා අයවැයක් ගෙන ආවේ මේ දැන් ය. ඉන්දියානු ආරක්ෂක ලේකම් ජෝර්ජ් ෆර්ඩිනැන්ඩස් 'සීමිත යුද්ධය' පිලිබඳ ධර්මය අලෙවි කිරීමේ නවමු උත්සාහයක යෙදී සිටීයි -- පකිස්තානය හා ඉන්දියාව කාශ්මිරය තුල හෝ පරිපුර්න සංග්‍රාමයක් ලෙසට හෝ න්‍යෂ්ටික ආයුධ යොදා ගැනීමකින් තොරව යුද්ධයක නිරත වීම පිලිබඳ අන්තරායකර අදහසක් මෙහි ගැබ් වේ.

වොෂිංටන්හි මීට ද වඩා අන්තරායකර අදහසක් එනම්, පකිස්තානයට දිගට ම සහයෝගය ප්‍රකාශ කරන සහ ඉන්දියාව සමග දිගු කාලීන දේශසීමා අවුලක් ඇති චීනයට එදිරිව න්‍යෂ්ටිකව සන්නද්ධ ඉන්දියාව ප්‍රයෝජනවත් මෙවලමක් වනු ඇතැයි යන්න සැලකිල්ලට ලක්ව පවතී. ඉහත සඳහන් ඉකොනමිස්ට් සඟරාවේ ලියවිල්ල මෙසේ සටහන් කරයි: 'ඉන්දියාව සහ ඇමරිකාව අතර උවමනාවන්ගේ ඒකමිතියේ දෙවන කාරනාව මෙම සංචාරය තුල දී ප්‍රසිද්ධියේ සඳහන් කිරීමකින් තොර වීය. ඒ මෙයයි. සමහර මුලෝපායික සැලසුම්කරුවන් ඉන්දියාව චීනයට ප්‍රතිභාරයක් ලෙස සිතන්නට පටන්ගෙන ඇත. ඉන්දියාවේ දැනටමත් චීනයේ තරමි ජනගහනයක් ඇති බවත්, වඩා මෘදු ක්‍රමයක් ඇති බව සහ අසල්වාසී රටවල් පිලිබඳව අයහපත් අරමුනු නොමැති බවත් වටහා ගැනීමට ලෝකයා පටන්ගෙන ඇත. මූලෝපායික සහයෝගය පිලිබඳව ඉන්දියාව හා ඇමරිකාව යන දෙරටේ ම සිහිනයේ චීන ආක්‍රමනශීලිත්වය සැරිසරයි.'

ලේඛනය එක්සත් ජනපදයට වත් ඉන්දියාවට වත් 'සිය මිත්‍රසන්ධාන චීන-විරෝධී අක්ෂයක ආරම්භයක් සේ පෙනීමේ' අවශ්‍යතාවක් නැතැයි සඳහන් කරන ලිපිය මෙසේ සටහන් කරයි: 'වොෂිංටන බුද්ධි පර්ෂදයක් වන බෘෘකිංස් ආයතනයේ රිචඩ් හාස් වැනි සමහර අය ඉන්දියාවට සහ එක්සත් ජනපදයට ආසියාව වෙත හා එනයින් චීනය වෙත ප්‍රවිශ්ඨයක් සඳහා එකඟ විය හැකිදැයි සැක පහල කරති. එසේ නො වීමට ද හැක. කොහොම නමුත් හාස් කුටීල ලෙස ඉදිරිපත් කර ඇති පරිදි, චීනය විරුද්ධවාදී තත්වයටකට පියවර මැන්න හොත් අවශ්‍ය වන මොහොතක සුදානම්ව ඇති සබඳතාවන් වන අද දින මිත්‍රත්වය හෙට දවසේ සන්ධානයක් විය හැකි බව ගැන දෙපාර්ශ්වය ම දැනුවත්ව සිටිනවා විය යුතු ය.' එක්සත් ජනපද ජනාධිපතිවරනය රිපබ්ලිකන්වරු ජයගත හොත් හාස්ට ඉහල තනතුරක් ලැබේ යයි කියනු ලැබේ.

ක්ලින්ටන් හා වජ්පායි අතර කතාබහේ නිශ්චිත ස්වභාවය කුමක් වුව ද එක්සත් ජනපදය සමග සමීප සබඳතා කලාපය තුල වඩා ආක්‍රමනශිලී පිලිවෙතක පිහිටීමට ඉන්දියාව දිරිමත් කරනු ඇත. ඉස්ලාමාබාදයේ ක්ලින්ටන්ගේ පය ගැසීමට හේතු වු ගනන් බැලීම් අතර එකක් වුයේ තමන්ට පාලනය කරගත නොහැකි යම් බලවේගයක් එක්සත් ජනපදය මුදා හැරීමට ඉඩ ඇතැයි යන උත්සුකය බවට සැකයක් නැත. සීතල යුද සමය අවසානයේ දී විවර වු අවිනිශ්චිත හා ඉහල අස්ථාවරත්වයකින් යුතු කාල පරිච්චේදයේ දී එක්සත් ජනපදය සියලූම බිජු එකම මල්ලක දමා ගැනීමට පෙලඹෙන්නේ නැත. එක්වරම නම් කෙසේ වත් නැත. ඉන්දියාව හා පාකිස්තානය යන කඳවුරු දෙකේ ම පය ගසා ගැනීමෙන් එයට එකක් අනෙක හා කෙටවීමට පුලුවන -- එසේ ම එය දැවැන්ත අන්තරායන්ගෙන් භරිත ක්‍රිඩාවකි.

අදාල වෙනත් ලිපි

පකිස්තානයේ හිටපු අගමැතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරේ

2000 අප්‍රේල් 25

ඉන්දියානු අයවැය මිලිටරි වියදම් දැවැන්ත ලෙස ඉහල දමයි

2000 අප්‍රේල් 10

[මෙම ලිපිය 2000 මාර්තු 23 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]

Loading