එක්සත් ජනපද නියෝජිත තෝමස් පිකරිං ශ්‍රී ලංකාවේ කුමක් කරන්නේ ද?

එක්සත් ජනපද නියෝජිත තෝමස් පිකරිංගේ ඉන්දියානු හා ශ්‍රී ලංකා සංචාරය සමග, එක්සත් ජනපදය, ඉන්දියාවේ දකුනු වෙරලට ඔබ්බෙන් පිහිටි දිවයින දාහත් වසරක් තිස්සේ විනාශයට ලක් කර ඇති සිවිල් යුද්ධය තුලට සෘජුවම ඇතුලූ වී තිබේ. පිකරිංගේ පුද්ගලත්වය තුල, එක්සත් ජනපදය ගෙන එන්නේ, දෙමල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ එලඹෙන මිලිටරි ජයග්‍රහනයකට මුහුනදීමේ ඇමරිකානු මස් පිඩුවයි.

චාරිතානුකුලව, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිලිබඳ උප රාජ්‍ය ලේකම් ප්‍රකාශ කලේ, වොෂිංටනයේ මැදිහත්වීම මුලූමනින් ම මානුෂික උත්සුකතා මගින් මෙහෙයවුනු බව යි. ශ්‍රී ලංකාවේ යාපන අර්ධද්වීපයේ 'මානුෂික ව්‍යසනයක්' වලකාලනු පිනිස තමන් ඉහල නිලධාරින් හමු වන බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දිගු-කාලීන සේවයක් සහිත ඉතාම විශ්වාසවන්තයකු වන පිකරිං, ඉන්දියානු ප්‍රවෘත්ති සේවාවන්ට පැවසී ය. පසුගිය මාසය තුල බොහෝ දෙනා වික්ජිප්ත කරමින් ලබා ගත් මිලිටරි ජයග්‍රහන මගින් එල්ටීටීඊය යාපන නගරයෙන් -- බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ දෙමල සුලූතරයෙන් ගහන කලාපයේ මධ්‍යස්ථානය -- සැතැපුම් කිහිපයක සීමාව තුලට ගෙන විත් ඇත. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් කරන සමුද්‍ර සන්ධිය දක්වා තල්ලූ කර දැමුනු 30,000ක් වන ශ්‍රී ලංකා හමුදා භටයෝ එල්ටීටීඊ හමුදා අතින් වැනසීමේ තර්ජනයට මුහුන දී සිටිති.

එක්සත් ජනපද විදේශ පිලිවෙත පිලිබඳව දන්නා එකදු වෛෂයික නිරීක්ෂකයකුට වත්, පිකරිංගේ මානුෂික කියාපෑම්වලට අංශු මාත්‍රයකදු විශ්වාසනීයත්වයක් ප්‍රදානය කල නො හැක. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ, වොංජිංටනය, රටේ උතුරේ හා නැගෙනහිර දෙමල ජනයාට එරෙහිව යුද්ධය ගෙන ගිය අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩුවලට ආර්තික, මිලිටරි හා දේශපාලනික සහාය දී තිබේ. එහි 'මානුෂික' පෙලබීම්, දෙමල ජනයාට එරෙහිව අධිපති සිංහල ධනේශ්වරය විසින් ගෙනයනු ලබන ඝාතන, වධබන්ධන, මිලිටරි වාඩිලාගැනීමේ හා මර්දන ව්‍යාපාරය -- එය වනාහි, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ලියවිලිවලට අනුව, 60,000කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන 600,000ක් ජනයා සිය නිවාසවලින් පලවා හැර ඇති සිවිල් යුද්ධයකි -- මගින් කලඹාලනු ලැබ නැත.

ඒ වෙනුවට, පිකරිං නව දිල්ලිය හා කොලඹ වෙත ගෙනවිත් ඇත්තේ, සිංහල පාලක පන්තිය ව්‍යසනකාරී පරාජයකට මුහුන දීමේ හා ශ්‍රී ලංකා රාජ්‍යය කැබලි වී යාමේ තර්ජනය යි. සෑම විටක දී මෙන් ම, ප්‍රජාතන්ත්‍රය හා මානුෂික අයිතීන් පිලිබඳ වොෂිංටනයේ අලංකාරෝක්තීන්ට පිටුපසින් පවතින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූගෝලීය ආර්තික හා භූ-දේශපාලනික අවශ්‍යතාවන් ය.

මැයි 24 හා 25 දිනවල, ඉන්දියානු විදේශ ලේකම් ලලිත් මන්සිං සහ ආරක්ෂක ඇමති ජෝර්ජ් ෆර්නැන්ඩස් හමුවීමෙන් පසුව, පිකරිං සහ ඉහල ඉන්දියානු නිලධාරිහු 'මිලිටරි විසඳුමකට' මෙන් ම වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් සඳහා වූ එල්ටීටීඊයේ ඉල්ලීමට ද පවත්නා සිය පොදු විරුද්ධත්වය ප්‍රකාශයට පත් කලහ. කොලඹ පොදු පෙරමුනු ආන්ඩුව ඉල්ලා සිටිය හොත්, යාපනයෙන් ශ්‍රී ලංකා හමුදා භටයන් ඉවත් කර ගැනීම පිනිස සිය නාවික හමුදා යොදා ගැනීමේ වගකීම ද ඇතුලූව, එල්ටීටීඊ ජයග්‍රහනයක් වලකාලීම පිනිස වඩා ආක්‍රමනශීලිව ඉන්දියාව මැදිහත්විය යුතු ය යන වොෂිංටනයේ අවධාරනය ද පිකරිං පැහැදිලි කලේ ය. ශ්‍රී ලංකා ආන්ඩුව හා එල්ටීටීඊය අතර යුද විරාමයක් සඳහා අතරමැදියකු ලෙස මැදිහත්වීමේ සහ ඔවුනතර සාම සාකච්චා ආරම්භ කිරීමේ නෝර්වේජියානු නියෝජිත කන්ඩායමේ -- දැන් කොලඹට පැමින සිටින -- ප්‍රයත්නයට වොෂිංටනයේ ප්‍රසිද්ධ අවසරය ඔහු තව දුරටත් අවධාරනය කලේ ය.

මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්හි සෘජු ක්‍රියාකලාපයක් ඉටු කිරීමෙහි ලා එක්සත් ජනපදයට කිසිදු අභිප්‍රායක් නැති බවට අවධාරනය කරන අතරම, වොෂිංටනය 'ශ්‍රී ලංකාවේ තත්වය පිලිබඳව පරෙස්සමින් නිරීක්ෂනය කරමින්' සිටින බව, අනතුරු අඟවන ආකාරයකින්, පිකරිං ප්‍රකාශ කලේ ය. එක්සත් ජනපදය සහ ඉන්දියාව යන දෙපාර්ශවය ම, යාපනයේ ශ්‍රී ලංකා හමුදාවන්ට සහාය පිනිස මිලිටරි මැදිහත්වීමක් සඳහා වූ සැලසුමක් මුලූමනින් ම ප්‍රතික්ෂේප කරන නමුත්, ඉන්දියාව නාවික හමුදා යාත්‍රා කන්ඩායමක් හා ප්‍රහාරක ගුවන්යානාවක් යාපන වෙරලට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශය කරා යවා ඇති අතර, එක්සත් ජනපදය සිය පර්සියානු ගල්ෆ් නාවික යාත්‍රා සමූහයෙන් කොටසක් ශ්‍රී ලංකාවට බටහිරෙන් පිහිටි දකුනු අරාබි මුහුද දෙසට යවා තිබේ.

මැයි 29 දා කොලඹ දී, පිකරිං ශ්‍රී ලංකා ආන්ඩුවේ නිලධාරින් මුනගැසීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ සිටින විට දී, ඔහු නෝර්වේජියානු අතරමැදියන් සමග ද සාකච්චා කරනු ඇත. මේ අතරතුර, ශ්‍රී ලංකාවේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, 'සාම ක්‍රියාදාමය' තුල නෝර්වේ හා ඉන්දියාව සමග එක්සත් ජනපදය ද නිරතවනු දැකීමට තමන් කැමති යයි රූපවාහිනී සම්මුඛ සාකච්චාවකට පැවසීම මගින්, වඩා සෘජු එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික -- මිලිටරිමය නො වේ නම් -- මැදිහත්වීමක් සඳහා දොර විවෘත කර ඇත.

එල්ටීටීඊය සාකච්චා මේසයට තල්ලූ කිරීමේ වොෂිංටනයේ ගර්විත ක්‍රියාකලාපයන් බැඳී පවත්නේ, එක්සත් ජනපදය ඉන්දු උප-මහාද්වීපයේ සිය කලාපීය අද්වකාත් ලෙස වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන ඉන්දියාව සමග සන්ධානයක් දෙසට මෑත දී එය ඇතිකරගත් හැරීම සමග ය. ශීතල යුද්ධ කාල පරිච්චේදය තුල දී ම, නිදහසේ පටන් කොංග්‍රස් පක්ෂය විසින් පාලනය කෙරුනු ඉන්දියාව, වොෂිංටනය විසින් දකින ලද්දේ, සෝවියට් සංගමයේ රූකඩයක් ලෙස ය. එකල එක්සත් ජනපදය ඉන්දියාවට ප්‍රතිභාරයක් ලෙස පකිස්තානය ගොඩනැගීමට උත්සාහ කලේ ය.

එහෙත් භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නව දිල්ලියේ බලයට පැමිනීමත් සමග, වොෂිංටනය, ඉන්දියානු තන්ත්‍රය සමග සිය ආර්තික, මිලිටරි හා ඔත්තු සේවා සබඳතා ශක්තිමත් කරගනු පිනිස ප්‍රදර්ශනාත්මකව පියවර ගනිමින්, සිය පැරනි පකිස්තාන සගයා වෙතින් ඈත් වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත පුද්ගලීකරන හා රෙගුලාසිහරන පිලිවෙත් සිය කොංග්‍රස් ප්‍රතිවාදීන්ට වඩා ශීග්‍ර හා ක්ෂමා විරහිත ලෙස ක්‍රියාවට දැමීමට බීජේපීය ප්‍රතිඥ දී ඇති බැවින් එක්සත් ජනපද බැංකු හා අන්තර්-ජාතික සංගත බීජේපීය දෙස සහානුමතිකව බලති.

ක්ලින්ටන් පරිපාලනය විසින් බිජේපීය බදාගනු ලැබීම ම, වොෂිංටනයේ ප්‍රජාතන්ත්‍රික හා සාමවාදී මවාපෑම්වල බොරුව එලිදරව් කරයි. බීජේපී යනු ෆැසිස්ට් සංවිධාන සමග සම්බන්ධකම් ඇති හින්දු ස්වෝත්තමවාදී පක්ෂයකි. වසර දෙකකට ඉහත දී, පකිස්තාන දේශ සීමාව අසල පෙදෙසක න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලු අවස්ථාවේ, බීජේපීය සිය ආක්‍රමනික හා මිලිටරිවාදී අභිප්‍රායන් පිලිබඳව සංඥා කලේ ය.

ඉන්දියාව හා එහි එක්සත් ජනපද දැනමුත්තා යන දෙපාර්ශවය ම ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ මිලිටරි ජයග්‍රහනයක් සහ ස්වාධීන දෙමල රාජ්‍යයක් ඇති වීමේ හැකියාව දකින්නේ, බෙදුම්වාදී ව්‍යාපාර ගනනාවකට ම -- වඩාත් ප්‍රකට ලෙස කාශ්මීරයේ හා එමෙන් ම දකුනේ තමිල්නාඩු ප්‍රාන්තයේ -- මුහුන දී සිටින ඉන්දියානු රාජ්‍යයේ අඛන්ඩතාවට දැවැන්ත තර්ජනයක් ලෙස ය.

දක්ෂිනාංශික බීජේපීය සමග වොෂිංටනයේ සන්ධානය එහි විදේශ පිලිවෙත් පිලිබඳ මත ප්‍රකාශනයන්හි බහුලව දක්නට ලැබෙන බොහෝ ප්‍රතිවිරෝධතාවන්ගෙන් එකක් පමනි. වඩා ප්‍රදීප්ත කරුනක් වන්නේ, ශ්‍රී ලංකාවේ දෙමල බෙදුම්වාදීන් කෙරෙහි එය දක්වන සතුරු භාවය සහ කොසෝවෝහි ඇල්බේනියානු ජනවාර්ගික බෙදුම්වාදීන් එය විසින් වැලඳගනු ලැබීම අතර පවත්නා ප්‍රතිකුලතාව යි. මීට වසරකට ඉහත දී, එක්සත් ජනපදය කොසෝවෝ විමුක්ති හමුදාව (කේඑල්ඒ) සමග සන්ධානගතව, සර්බියාවට එරෙහිව ලේවැකි ගුවන් යුද්ධයක -- එරට දකුනු පලාතේ බහුතර ඇල්බේනියානු ජනගහනයට විරුද්ධව ජනවාර්ගික ශුද්ධයේ හා ජන ඝාතනයේ යෙදීම සම්බන්ධයෙන් බෙල්ග්‍රේඩ් තන්ත්‍රය වරදකරුවන් ය යන පදනම මත යුක්තියුක්ත කෙරුනු -- නිරතව සිටියේ ය.

අද, එම මානුෂිකවාදී සටන් පාඨම යෙදාගෙන ඇත්තේ, එල්ටීටීඊ බෙදුම්වාදීන්ට එරෙහිව මැදිහත්වීමත් ශ්‍රී ලංකාවේ උතුරේ හා නැගෙනහිර බහුතර දෙමල ජනගහනයට විරුද්ධ කොලඹ තන්ත්‍රයේ මර්දනයට සහාය දීමත් යුක්තියුක්ත කරනු පිනිස ය. මෙම පැහැදිලිව පෙනෙන ප්‍රතිවිරෝධතාව පැහැදිලි කරන්නේ කෙසේ ද? එක දිනක රාජ්‍යතාන්ත්‍රික පිලිවෙතට පයින් ගසා සර්බියාව මත බෝම්බ වැසි වැස්සවීමට ද ඊලඟ දිනක සිංහල ධනේශ්වරය ගලවා ගැනීම පිනිස රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ඉල්ලා සිටීමට ද වොෂිංටනයට එම මානුෂිකවාදය බල කරන්නේ කෙසේ ද?

එක්සත් ජනපද ප්‍රකාශකයෝ, සිය උද්ධච්ජ භාවයෙන් හා නරුමත්වයෙන් යුක්තව, එවන් ප්‍රශ්නවලට කිසිදාක අවධානය යොමු නො කරන අතර, අතිශයින් ම දූෂිත ඇමරිකානු මාධ්‍ය කිසි දාක එම ප්‍රශ්න මතු නො කරන බවට ද ඔවුන්ට සහතික ය.

කොසෝවෝ හා ශ්‍රී ලංකාවේ දෙමල ජනයාගේ ඉරනම අතර වැදගත් වෙනස්කම් පවතී. එහෙත් මේවා වොෂිංටනයේ කුහකත්වය අවධාරනය කරනවා පමනි. ඇල්බේනියානු කොසෝවෝ වැසියන්ට එරෙහි සර්බ් මර්දනය, දෙමල ජනයාට එරෙහි කොලඹ තන්ත්‍රයේ 17 වසරක ජන ඝාතනය සමග සැසඳිය නොහැකි තරම් ය. සර්බ් මර්දනය හා නැටෝ බෝම්බ ප්‍රහාරය තුල දී ඝාතනය කෙරුනු කොසෝවෝ වැසියන් පිලිබඳ උපරිම තක්සේරුව පවතින්නේ 1000 පරාසය තුල ය. දෙමල ජනයාට එරෙහි කොලඹ තන්ත්‍රයේ යුද්ධයේ මරන සංඛ්‍යාව එමෙන් 60 ගුනයකින් වැඩි ය.

1999 පෙබරවාරියේ දී නිකුත් කෙරුනු, ශ්‍රී ලංකාවේ මානව අයිතීන් පිලිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ම වාර්තාවෙන් එක ජේදයක් පමනක් උපුටා දක්වන්නේ නම්:

'වධබන්ධනයන්ට ලක්වන බහුතරය එල්ටීටීඊ කැරලිකරුවන් හෝ සහායකයන් ලෙස සැක කෙරෙන දෙමල ජනයා ය. වධ දීමේ විධි ක්‍රමයන්ට විදුලි සැර වැද්දීම, පොලූවලින් පහර දීම (විශේෂයෙන් ම පාදවල යටිපතුල්වලට), හිස පහලට සිටින සේ වලලූකරවලින් හෝ පාදවලින් එල්ලීම, පිලිස්සීම් හා මියයාමට ආසන්න වන තෙක් දියේ ගිල්වීම ඇතුලත් වෙයි. තවත් අවස්ථාවන්හි දී, වධයට ලක් කරන්නන්ට දිගු කාල පරිච්ජේදයක් තිස්සේ අස්වාභාවික ඉරියව්වලින් සිටීමට බල කෙරේ නැත හොත් සිය හිස මත කෘමිනාශක, මිරිස් කුඩු හෝ ගැසොලින් සහිත මල්ලක් තබා ගෙන සිටීමට බල කෙරේ. ඔවුන් වධයට ලක් කිරීමේ ප්‍රතිපලයක් ලෙස රැඳවියන් අස්ති බන්ධනයන්ට හා වෙනත් බරපතල තුවාලවලට ලක්වූ බව වාර්තා වේ.'

එපමනක් නො ව, එල්ටීටීඊය, එහි ජාතිවාදී දේශපාලනය තිබිය දී ම, සිය ඉතිහාසයේ ක්‍රියාදාමය තුල දී, කේඑල්ඒ සංවිධානය කිසිදාක අත්පත් කරගත්තාට වඩා බෙහෙවින් වැඩි මහජන සහයෝගයක් භුක්ති විඳ තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එය ඉවත් කර 'ජාතික විමුක්ති' ව්‍යාපාරයක් ලෙස එහි තත්වය උසස් කිරීමට ඔවුන් තීන්දු කල අවස්ථාවේ, කේඑල්ඒ සංවිධානයට ඇල්බේනියානු මාමියාවේ කොටස් සමග තිබූ සබඳතා ද මත් ද්‍රව්‍ය ප්‍රවාහන ජාවාරම්වල එය නිමග්නව සිටි බව ද එක්සත් ජනපද නිලධාරිහු හොදින් දැන සිටියහ. එහෙත් සිංහල තන්ත්‍රය විසින් වසර ගනනාවක් තිස්සේ ගෙනයන මර්දනයට හා වෙනස්කම්කිරීම්වලට එරෙහි දෙමල ජනතාවගේ ප්‍රතිරෝධය මධ්‍යයේ පැන නැගි එල්ටීටීඊය එක්සත් ජනපදය විසින් දිගටම තහනම් කෙරේ. සිවිල් යුද්ධය ම අවුලූවනු ලැබුවේ, 1983 දී සිය ගනනක් දෙමල ජනයා මරා දැමූ ආන්ඩුවේ පිටුබලය ලැබූ ජන ඝාතනයන් මගිනි.

ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද මැදිහත්වීම පිලිබඳ යම් විශ්ලේෂනයක්, තෝමස් පිකරිංගේ ප්‍රජාතන්ත්‍ර හා සාමවාදී අක්තපත්‍ර සම්බන්ධ පරීක්ෂනයකින් තොරව, සම්පූර්න නො වනු ඇත. එක්සත් ජනපද විදේශ සේවයේ ඉහලම මට්ටම වන වෘත්තිමය තානාපති මට්ටමේ යයි පුරසාරම් දොඩන, මෙම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සේවයේ කෘතහස්තයා, පසුගිය දශක තුනක කාල පරිච්ජේදය තුල වඩාත් ම අධම විදේශ පිලිවෙත් පිලිබඳ සිද්ධීන්ගෙන් සමහරක් තුල නිමග්නව ඇත.

එක්සත් ජනපද විදේශ පිලිවෙත් සංස්ථාපිතයේ නැග එන තරුවක් ලෙස, පිකරිං, එක්සත් ජනපදය වියට්නාමයේ සිය පරාජය වලකාගැනීමේ උත්සාහයක යෙදී සිටි සමය වන 1973-74 කාල පරිච්ජේදයේ දී හෙන්රි කිසිංජර්ගේ විශේෂ සහායකයකු ලෙස සේවය කලේ ය. චිලියේ ෆැසිස්ට් ජෙනරාල් හා ජන ඝාතක ඔගස්ටෝ පිනෝචෙ බලයට ගෙන ආ එක්සත් ජනපද සහාය ලද කුමන්ත්‍රනය සැලසුම් කිරීමට කිසිංජර් උදව් කල අවස්ථාවේ ඔහු කිසිංජර්ගේ විශේෂ සහායකයා විය.

වොෂිංටනය එල් සැල්වදෝරයේ ඝාතක කල්ලි තන්ත්‍රයට සහාය දුන් කාල පරිච්ජේදයේ දී. රීගන් ආන්ඩුව යටතේ ඔහු එරට එක්සත් ජනපද තානාපති ලෙස සේවය කලේ ය. ඔහු සිය අවසාන තානාපති තනතුර දැරුවේ මොස්කෝවේ (1993-96) දී ය. එහි දී ඔහු 1993 ඔක්තෝබරයේ දී යෙල්ට්සින් තන්ත්‍රය විසින් රුසියානු පාර්ලිමේන්තුවට එල්ල කල ගිනි අවි ප්‍රහාරය සම්බන්රීකරනය කිරීමට සහාය විය.

වොෂිංටනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අනපාන්නා පිලිබඳ සාරාංශය එසේ ය. එමගින් අවධාරනය කෙරෙන්නේ, ඉන්දු උප-මහාද්වීපය තුල එක්සත් ජනපද පිලිවෙතේ මානුෂික අලංකාරෝත්තිවලට පිටුපසින් පවත්නා ප්‍රතිගාමී සාරය යි.

අදාල වෙනත් ලිපි

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් එල්ටීටීඊය තව දුර ජයග්‍රහන ලබා ගනී

2000 මැයි 22

ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි කුමාරතුංගගේ සර්ව-පාක්ෂික රැස්වීම: අන්ත දක්ෂිනාංශය සඳහා වේදිකාවක්

2000 මැයි 19

කොලඹ අර්බුදය ඉන්දියානු ආන්ඩුවට උභතෝකෝටිකයක් මතු කරයි

නව දිල්ලිය ශ්‍රී ලංකාව තුල මැදිහත්කරුවකු වීමට කැමැත්ත පල කරයි

2000 මැයි 17

ශ්‍රී ලංකාව තුල දේශපාලන අර්බුදය ගැඹුරු වේ

සමාජවාදී සමානතා පක්ෂය සර්ව පාක්ෂික සාකච්චා සඳහා කුමාරතුංග කල ආරාධනය ප්‍රතික්ෂේප කලේ ඇයි?

2000 මැයි 15

මිලිටරි පරාජයන් මාලාවකට පසුව

ශ්‍රී ලංකා ආන්ඩුව දරුනු නව වාරන හා හදිසි නීති බලතල පනවයි

2000 මැයි 11

[මෙම ලිපිය 2000 මැයි 27 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]

Loading