බෝම්බ පිපිරීමෙන් අනතුරුව දෙමල ජාතිකයන් මහා පරිමානයෙන් අත් අඩංගුවට ගැනේ

කර්මාන්ත සංවර්ධන ඇමති සී.වී. ගුනරත්න හා තවත් 24 දෙනෙකු ඝාතනයට ලක් කල ජූනි 7 බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව, පොලීසිය කොලඹ හා ඒ අවට ජීවත් වන දෙමල ජනයාට එරෙහිව වර්ගවාදී දඩයක්කාරී ව්‍යාපාරයක් දියත් කලේ ය. දෙමල ජාතිකයන් ජීවත් වන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදු කර ඇති අතර දෙමල තරුනයන් ගනනාවක් අත් අඩංගුවට ගනු ලැබ නගරයේ හා උප-නගර ප්‍රදේශවල විවිධ පොලිස් ස්ථානවලට රඳවා තබා ඇත.

බෝම්බ පිපිරීමට සම්බන්ධ යයි සැක පිට තමන් පුද්ගලයන් 63ක් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පුවත්පත්වලට පවසා ඇතත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් විසින් සොයා ගනු ලැබූ සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩි ය. බෝම්බ ප්‍රහාරය සිදු වූයේ, කොලඹ සිට කිලෝ මීටර් 16ක් දකුනු දෙසට වන්නට පිහිටි රත්මලානේ, සිය ගනනක් දෙමල පවුල් ද ජීවත් වන සොයිසාපුර නම් වූ විශාල නිවාස සංකීර්නය අසල පිහිටි, ස්ථානයක දී ය.

පිපිරීමෙන් විනාඩි ගනනකට පසුව, පාලක පොදු පෙරමුනේ මැරයන් සහ වර්ගවාදී කොටස්, ස්ථානය අසල ම පිහිටි දෙමල ජාතිකයන්ට අයත් වෙලඳ සැල් ගනනාවක් දොරවල් කඩා විවෘත කලහ. ඒවායේ සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් පලිගැනීමේ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන්, ඒ වන විටත් ස්ථානයෙන් පලා ගොස් සිටියහ. වසා තිබූ සාප්පු තුල රැඳී සිටි කම්කරුවන් කිහිප දෙනාට පොලීසිය ඉදිරිපිට දී ම මෘග ලෙස පහර දෙන ලදි. පසුව, පොලීසිය, මැරයන් ද කැටුව -- සිවිල් පිට සිටි පොලිස් භටයන් ද ඇතුලූව -- නිවාස සංකීර්නයේ තරුනයන් අත් අඩංගුවට ගැනීම ඇරබූහ.

රජයේ සේවිකාවක වන දෙමල නිවැසියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවා ය: 'ඔවුන් (මැරයන්) දෙමල අය ඉන්න තට්ටු නිවාස පෙන්නමින් මෙසේ කියමින් කෑගැසුවා, 'කොටි ඉන්නෙ මේ ගෙවල්වල'. ප්‍රධාන ගේට්ටුව අරින්න කියා ඔවුන් ඉල්ලා සිටියා. පහලට ඇවිල්ල ගේට්ටුව අරින්න කියල පොලීසිය අපිට කිව්වා. අපි බය නිසා එහෙම කෙරුවා. අපි ගේට්ටුව ඇරියෙ නැත්නම්, ඔවුන් ගේට්ටුව කඩා ගෙන ඇතුලට එන්න ඉඩ තිබුනා. පොලීසිය දෙමල අය ඉන්න ඔක්කොම තට්ටු නිවාස සෝදිසි කලා. පොලීසිය, සමහරු වැඩට ගිහිල්ල හිටපු නිසා, නිවැසියන් නොහිටපු නිවාසවල, දොරවල් කැඩුවා -- දොරවල්වලට රයිෆල් බටවලින් ගහල එහෙම නැතිනම් අගුලූවලට වෙඩි තියලා.'

නිවාස සංකීර්නයෙන් පමනක් 15 සිට 20 අතර සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඇති බව ඇය පැවසුවා ය. 'ඔවුන්ගෙන් බොහොමයක් (රත්මලානේ සිට කිලෝ මීටර් කිහිපයක් දකුනෙන් මොරටුවේ පිහිටි) තාක්ෂනික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුන්. මගේ බෑනා විශ්වවිද්‍යාලයේ ඉඳලා එද්දි අත් අඩංගුවට ගත්තා. ඔහු ගල්කිස්ස පොලීසියට අරන් ගියා. පොලීසිය කිව්වේ, ඔහු වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන ඒකකයට අරන් යනවා කියලයි. නමුත් ඔහුට එල්ටීටීඊය සමග මොනම සම්බන්ධයක් වත් නැහැ. ඔවුන් අහිංසක ලමයි.'

එදින සැඳෑවේ, සමහර සොල්දාදුවන් මුගුරුවලින් සන්නද්ධ මැරයන් සමග නිවාස සංකීර්නය වටා යනු දැක ගත හැකි විය.

නිවාස සංකීර්නයෙන් හා විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් තාක්ෂනික විශ්වවිද්‍යාලයේ සිසුන් 69ක් පමන අත් අඩංගුවට ගෙන ඇත. සිසුන් විභාග සඳහා සූදානම් වෙමින් සිටි අතරතුර පොලීසිය දහවල් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට කඩා වැඳුනහ. ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ සමහර නිලධාරින් මෙන් ම, සිසුන් අතර සිටින වර්ගවාදී කොටස් පොලීසියට සහාය දුන්හ. විශ්වවිද්‍යාලයේ සිටින වර්ගවාදී සිසුන්ගෙන් කිහිප දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳී ගිය කන්ඩායමක් වන ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය නමින් හැඳින්වෙන ෆැසිස්ට් කන්ඩායම සමග සහයෝගීව කටයුතු කරයි.

පොදු පෙරමුනට ගැති සමහර ශිෂ්‍ය නායකයෝ ද පොලිස් මෙහෙයුමට සහාය දුන්හ. පොලීසිය පැමිනීමට පෙර, ශිෂ්‍ය සංගම් නායකත්වයේ සහාය ලද වර්ගවාදී කන්ඩායමක්, දෙමල සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කලේ ය. එක් සිසුවෙක්, ප්‍රදීපන්, එලඹෙන අවසන් වසර විභාගය නිසා, තමන් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස ශිෂ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. වර්ගවාදීන් එයට පිලිතුරු දුන්නේ මෙසේ ය: 'ඔබලාට වඩා අපට අපේ රට වටිනවා.'

එක් සිසුවෙක් මීට පෙර පස් වතාවක් අත් අඩංගුවට ගෙන, ඔහු එල්ටීටීඊය සමග සම්බන්ධ බවට පෙන්වීමට කිසිඳු සාක්ෂියක් ඉඳිරිපත් කිරීමට පොලීසිය අසමත් වීම හේතු කොට ගෙන නිදහස් කරනු ලැබූවෙකි. වර්ගවාදියෝ එක් සිසුවෙක් අල්ලා ගෙන ඔහු විශ්වවිද්‍යාල ආරක්ෂක භටයන්ට භාර දුන්හ. පොලීසිය පසුව ඔහු අත් අඩංගුවට ගත්තේ ය. දෙමල සිසුන්ට අයත් කාමර තුනක දොරවල්, ඔවුන් පොලිස් අත් අඩංගුවේ සිටිද්දී, කඩා විවෘත කොට, කාමර සෝදිසි කරන ලදි.

ප්‍රශ්න කිරීමෙන් පසුව, පොලීසිය ඊලඟ දිනයේ සිසුන් 19ක් ද පසු දින සිසුන් 36ක් ද නිදහස් කලේ ය. තෙවන වසරේ සිසුන් වන පුෂ්පාහරන්, ප්‍රභාහරන්, ලීලා හා රමේශ් සහ උපාධිධාරි සිසුවකු වන නසීර් යන සිසුන් පස් දෙනා මොරටුව පොලිස් ස්ථානයේ රඳවා තිබුනි. පුෂ්පාහරන් පසුගිය වසරේ විශ්වවිද්‍යාලයේ දෙමල සාහිත්‍ය සංගමයේ සභාපති විය. පෙරිම්පනායගම්, සෙන්තන් සහ සියම් ශාන්තරන් ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා තිබූ සිසුන් නව දෙනාට අයත් ය. ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී ඇතැයි පොලීසිය ඔවුන්ගේ ඥාතීන්ට පැවසී ය.

නිදහස් වූ එක් සිසුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසී ය: 'සමහර සිංහල ශිෂ්‍යයො අපව පොලීසියට පෙන්නුවා. සමහර සිසුන් තමන්ගේ පැමිනීම ඉල්ලා සිටි බව පොලීසිය කිව්වා. අත් අඩංගුවට ගත් සිසුන් අතර ගැහැනු ලමයින් ද ඉන්නවා. මේ මිනිස්සු කැම්පස් එකෙන් පිට නතර වී සිටින දෙමල සිසුන්ගේ ලිපිනත් පොලීසියට දීලා. එක් සහෝදරයෙක් හා සහෝදරියක් යාපනයේ සිට ඔවුන්ගේ පවුල ගෙන ඒමේ බලාපොරොත්තුව ඇතිව කුලියට ගත් කුඩා නිවසක හිටියා. ඔවුනුත් අත් අඩංගුවට ගත්තා.

'ඇත්ත වසයෙන් ම සමහර සිංහල සිසුන් අපව ආරක්ෂා කලා. පොලීසිය සමහර නේවාසිකාගාරවලට ඇතුලූ වෙන්න උත්සාහ කල විට, ඔවුන් දෙමල සිසුන් එහි නැති බව පොලීසියට කියලා, පොලීසිය ඒවාට ඇතුලූ වන එක වැලැක්වුවා. අපගේ විභාගය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒත් හිතේ නිස්කලංක භාවයක් නැතිව අපි කොහොමද අධ්‍යයන කටයුතුවලට හිත යොමු කරන්නෙ?'

විශ්වවිද්‍යාල බලධාරිහු මුල දී අත් අඩංගුවට ගැනුනු සිසුන් පිලිබඳව විමසා බැලුහ. කෙසේ වෙතත්, පසුව උප කුලපති හා ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ශිෂ්‍ය සංගමයට කියා සිටියේ, පරීක්ෂන ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටිනවාට වඩා වැඩි යමක් කිරීමට තමන්ට නො හැකි බව යි. අවසන් වසර විභාග කල් දැමීමට විශ්වවිද්‍යාල බලධාරින්ට බල කෙරුනි.

සිසුන්ට අමතරව, වෙනත් දෙමල ජාතිකයන් ද අත් අඩංගුවට ගැනුනි. බෝම්බ පිපිරීමෙන් දින තුනකට පසුව, පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කලේ, ප්‍රහාරයට සහාය දුන් එල්ටීටීඊ දැඩි මතධාරී සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇති බවයි. 'බෝම්බ සොයුරන්' යන ශීර්ෂ පාඨය යටතේ, එක් පුවත්පතක් වාර්තා කලේ, දශ ලක්ෂපති සොහොයුරන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. එහෙත් ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා එම වාර්තාව ප්‍රතික්ෂේප කල බව පසු දින ම වෙනත් පුවත්පතක් වාර්තා කලේ ය. පසුව, කොලඹ නගර සීමාවට යාබද දෙහිවල ප්‍රදේශයේ පිහිටි දෙමල ජාතිකයන්ගේ නිවාස සෝදිසි මෙහෙයුමකට යටත් කෙරුනි.

යුද්ධය සඳහා සහාය වර්ධනය කිරීමත් ආන්ඩුවේ දේශපාලන අර්බුදයෙන් ද සාමාන්‍ය මහජනයා මත යුද බර පැටවීමෙන් ද අවධානය වෙනතකට අපසරනය කිරීමත් පිනිස වාර්ගික ආතතීන් වැපිරීම සඳහා ප්‍රධාන මනෝවිද්‍යාත්මක උද්ඝෝෂනයක් දියත් කිරීමට ආන්ඩුව සහ මාධ්‍ය බෝම්බ ප්‍රහාරය යොදා ගෙන තිබේ.

අදාල වෙනත් ලිපි

ශ්‍රී ලංකා අධිකාරිහු දෙමල ජනයාට එරෙහි යුද්ධය දිරිගැන්වීම පිනිස ඇමති ඝාතනය ඩැහැගනිති

2000 ජූනි 21

ශ්‍රී ලංකා ආන්ඩුව යුද ප්‍රයත්නය සඳහා මුදල් සොයාගැනීමට බඩු මිල ඉහල දමයි

2000 ජූනි 14

ශ්‍රී ලංකාවේ සසප යුද්ධයට දින දෙකක වැටුප් කපා ගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස සියලූ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී

2000 ජූනි 07

'අප බොහෝ දෙනෙකුට මේ යුද්ධය අපගේ යුද්ධයක් ලෙස නො හැඟෙ'

ශ්‍රී ලංකා සොල්දාදුවෝ ප්‍රකාශ කරති

2000 ජූනි 05

ශ්‍රී ලංකා ආන්ඩුව නව මිලිටරි වියදම් සම්මත කරගනී

ආර්තික බර කම්කරු පන්තිය මත කඩා පාත් වේ

2000 ජූනි 05

ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි කුමාරතුංගගේ සර්ව-පාක්ෂික රැස්වීම: අන්ත දක්ෂිනාංශය සඳහා වේදිකාවක්

2000 මැයි 19

මිලිටරි පරාජයන් මාලාවකට පසුව

ශ්‍රී ලංකා ආන්ඩුව දරුනු නව වාරන හා හදිසි නීති බලතල පනවයි

2000 මැයි 11

[මෙම ලිපිය 2000 ජූනි 17 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]

Loading