"පුරහඳ කලූවර වෙනුවෙන් පෙනී සිටින ලෙස, සිතන මතන සැමගෙන් මා ඉල්ලා සිටිනවා" චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සමග දෙබසක්

ජාත්‍යන්තර සම්භාවනාවට පත් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේගේ පුරහඳ කලූවර චිත්‍රපටයේ තිරගත කිරීම, ජුලි 21 දා, ලංකාවේ පොදු පෙරමුනු ආන්ඩුව විසින් දින නියමක් නොමැතිව අත්හිටුවී ය. මෙම වසරේ ජුලි 28 දිනට සැලසුම් කෙරී තිබුනේ, 1997 දී නිපදවූ චිත්‍රපටයේ ප්‍රථම මහජන තිරගත කිරීමයි. ජාතික චිත්‍රපට සංස්ථාව භාර කැබිනට් ඇමති සරත් අමුනුගම විසින් ජාචිස සභාපති තිස්ස අබේසේකරට නිකුත් කල නියෝගයක් හරහා තහනම පැනවිනි.

සිසිල ගිනිගනී (1992) අනන්ත රාත්‍රිය (1996) හා පවුරු වලලූ (1997) යනුවෙන් තවත් චිත්‍රපට තුනක් අධ්‍යක්ෂනය කර ඇති විතානගේ, 1962 දී උපත ලද අතර නාට්‍ය කලාව හරහා චිත්‍රපටකරනයට පිවිසියේ ය. ඔහු 1986 දී, ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ ආම්ස් ඇන්ඩ් ද මෑන් (අවි) හා 1991 දී දාරියෝ ෆෝගේ ස්ට්‍රෝබෙරීස් ඇන්ඩ් ට්‍රම්පට්ස් (ද්විත්ව) පරිවර්තනය කොට අධ්‍යක්ෂනය කලේ ය.

පුරහඳ කලූවර වනාහි සිංහල ගැමියන් මත රටෙහි 17 අවුරුදු සිවිල් යුද්ධයේ ව්‍යසනය පිලිබඳ බලගතු කලාත්මක නියෝජනයකි. චිත්‍රපටය, ගම්බද තරුනයක් හමුදාවට බඳවා ගැනීම වලකා ලංකාවේ ඇතැම් සමාජ-දේශපාලනික ගැටලූ කෙරෙහි මහජන අවධානය කේන්ද්‍රගත කරවනු ඇත යන චෝදනාව එල්ල කල ආන්ඩුවේ, මිලිටරියේ හා සිංහල ස්වෝත්තමවාදීන්ගෙන් අවහිරතාවන්ට නිෂ්පාදනය ආරම්භයේ පටන් ම මුහුන දුන්නේ ය.

ඉහලම මට්ටමේ සම්මාන සංඛ්‍යාවක් ලබා ජාත්‍යන්තර චිත්‍රපට උලෙලවල දී එය ලත් සැලකිය යුතු පිලිගැනීම නිසා චිත්‍රපටය දේශීය තිරගත කිරීම් සඳහා සුදුසු යැයි නිර්දේශ කිරීමට ආන්ඩුවට බල කෙරින. එහෙත් බරපතල මිලිටරි පරාජයන් මාලාවකට පසුව, ආන්ඩුව දුරදිග යන හදිසි නීති රෙගුලාසි පැන වූ අතර චිත්‍රපටයේ තිරගත කිරීම් අත්හිටුවී ය. ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල මේ ප්‍රහාරයට එරෙහි ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෑත දී ප්‍රසන්න විතානගේ සමග කතා කලේ ය.

වරුන අලහකෝන්: පොදුපෙරමුනු ආන්ඩුව විසින් ඔබේ චිත්‍රපටය නිදහස් කිරීම අත්හිටුවා තිබෙනවා. මෙයට හේතුව මොකක් ද?

ප්‍රසන්න විතානගේ: නාට්‍ය හා චිත්‍රපට සම්බන්ධ වාරන මන්ඩලය, (ප්‍රසිද්ධ රැ'ම් පාලක මන්ඩලය) පසුගිය මාර්තුවේ දී පුරහඳ කලූවර අනුමත කලත්, මැයි 3 දා සිට ක්‍රියාත්මක කෙරුනු හදිසි නීති රෙගුලාසි යටතේ එය මාධ්‍ය වාරනය සම්බන්ධ නිසි බලධාරියාට මැයි 22 දා ඉදිරිපත් කරන්න සිදු වුනා. එදා ම, චිත්‍රපටයේ ඇතැම් දර්ශනයන්ට ඉඩ දිය නො හැකි බව ප්‍රකාශ කරමින් බලධාරියා විසින් අවසර දීම ප්‍රතික්ෂේප කලා.

නමුත් ජූනි 30 දා, නිසි බලධාරියාට පැවැති බලතල නීත්‍යානූකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තීරනය කල නිසා පුරහඳ කලූවර මත පැනවී තිබූ වාරනය අවංගු වුනා.

ජුලි 28දා චිත්‍රපටයේ තිරගත කිරීම සඳහා සියල්ල සුදානම් කොට තිබුනත්, ජුලි 21 වන සිකුරාදා, මට දැනුම් දෙනු ලැබුවේ, යුද වාතාවරනය මත එය අත්හිටුවන බවයි. එමෙන්ම, රටේ තත්වය සාමාන්‍ය අතට පැමිනියාම චිත්‍රපටය පෙන්වීමේ හැකියාව ගැන මට දැනුම් දෙන බවත් පැවසුවා. එතැන් පටන් පුරහඳ කලූවර, තිරගත කිරීම දින නියමයක් නැතිව අත්හිටුවී තියෙනවා.

යූඇන්පී පොදු පෙරමුනු ආන්ඩු යටතේ මම මේ යුද්ධය මැද අවුරුදු 17ක් ජීවත් වී තිබෙනවා. ඇතැම් වෙලාවල්වල මේ ආන්ඩු ආරක්ෂක තත්වය යහපත් කියලා ප්‍රකාශ කරන අතර තවත් අවස්ථාවල දී අයහපත් කියලා ප්‍රකාශ කරනවා. පුරහඳ කලූවර දැන් තහනම් කෙරිලා තියෙන්නේ ආරක්ෂක තත්වය අයහපත් නිසා නමුත් මාධ්‍ය විසින් කියා සිටින්නේ එය යහපත් බවයි. විවිධ අය වාතාවරනය අර්ථ දක්වන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුවයි.

වරුන: තහනමට පෙර පවා, ආන්ඩුව, චිත්‍රපටයට එරෙහිව විරෝධයන් මතු කර පෙන්වා බව අප ඇසුවා.

ප්‍රසන්න: ඔබ දකින්නේ පුරහඳ කලූවර මුල්ම පිටපත නොවෙයි. ඒ පිටපත හමුදා උපකරන භාවිතයට නොගෙන නිෂ්පාදනය කරන්න බෑ. ඊට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අවශ්‍ය වුනා. ඒත් තිරරචනය ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කල විට ඔවුන් සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කලා. මා සංශෝධනය කල තිර පිටපතක් ඉදිරිපත් කල විට ඔවුන් නැවතත් ප්‍රතික්ෂේප කලා, කාරනා හතරක් ඉදිරිපත් කරමින්. ප්‍රධාන හේතුව වුනේ චිත්‍රපටය, හමුදාවට බැඳෙන අය එසේ කරන්නේ රට වෙනුවෙන් පරිත්‍යාගයක් ලෙස නොව රැකියාවක් වසයෙන් බව නිරූපනය කරන නිසා එමගින් බඳවා ගැනීම පිලිබඳ ගැටලූ නිර්මානය කරනු ඇතැයි යන්නයි. එමෙන්ම එය, ඔවුන්ගේ මරනින් පසු වන්දි මුදල් ලබා ගැනීමේ දුෂ්කරතාවන් ඇති බවක් පෙන්වනවා වැනි දේ ඉදිරිපත් කෙරුනා.

වරුන: නිසි බලධාරියාගේ ලිපියෙන් අන පැනවී තිබුනේ ඔබ චිත්‍රපටය ස්වයං-වාරනයකට ලක් කරගත යුතු බවට. ඔබ මේ නිර්දේශය තක්සේරු කරන්නේ කෙසේද?

ප්‍රසන්න: මා තුල යම් බියක් ජනිත කරවීම මගින්, බලධාරීන් ස්වයං-වාරනයකට මා නතු කරවීමට තැත් කලා. ඔවුන් මට ඒත්තු ගැන්වීමට උත්සාහ කලේ, අන්ත දක්ෂිනාංශයේ ප්‍රහාරයන් පිලිබඳ අනතුරක් පැවැති බවට හා චිත්‍රපටය තිරගතවීම මගින් උත්පාදනය වන කවර හෝ ප්‍රතිචාරයන්හි මුලූ වගකීම මා දැරිය යුතු බවටත්. මා එය නො පිලිගනිමින් චිත්‍රපටය තිරගත කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කල විට ඇමතිවරයා තහනම පැනවූවා.

වරුන: මෙහි අදහස කිසිදු දක්ෂිනාංශික තර්ජනයක් නො පවතින බව ද?

ප්‍රසන්න: මට කිව හැක්කේ තහනමට පෙර සතිවල විවෘතව ප්‍රකාශිත කිසිදු විරුද්ධත්වයක් නො තිබු බවයි. අන්ත සිංහල ස්වෝත්තමවාදය නියෝජනය කරන මහාචාර්ය නලින් ද සිල්වා, මා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කරන ලද සම්මුඛ සාකච්චාවක දී ප්‍රකාශ කල ඇතැම් දේ උලූප්පා දැක්වීම මගින් මට එරෙහිව යම් ප්‍රතිචාරයක් අවුලූවා ගැනීමට උත්සාහ කලා. ඒත් මේ ප්‍රයත්නය සාර්ථක වුනේ නෑ.

වරුන: එමගින් චිත්‍රපටයට එරෙහිව සමාජයේ එක්තරා කොටසකගේ ප්‍රතිචාරය පිලිබිඹු වනවා නේද?

ප්‍රසන්න: සත්තකින්ම. මෙමගින් වාර්ගික ස්වෝත්තමවාදීන්ගේ දේශපාලන අරමුනු නිරාවරනය වෙනවා. ආන්තික ස්වෝත්තමවාදී කොටස් වර්තමානයේ දී ලංකාවේ මෙන්ම මුලූමහත් ඉන්දියානු උපමහාද්වීපයේ ම හිස ඔසවමින් සිටිනවා. නමුත් ඉන්දියාවේ ආර්එස්එස් හා ශිවසේනාහි අන්ත හින්දුත්වවාදීන්ගේ අදහස් බහුතරයකගේ අදහස් නො වෙයි. මහජනයා ආගමික හා වාර්ගික රේඛා දිගේ බෙදන්න ඔවුන් බොහෝ දේ කරන අතරේ රාජ්‍යය, මහජනයා මැඩීම සඳහා මෙවැනි කොටස් ප්‍රයෝජනයට ගන්නවා. අද ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂිකාව දීපා මේතා මුහුන දෙන්නේ මේ මර්දනයටයි. මහජනයාගේ ප්‍රජාත්ත්‍රීය අයිතීන්ට එල්ල කරන පුලූල් ප්‍රහාරයක කොටසක් ලෙස ආත්ම ප්‍රකාශනයේ කලාත්මක නිදහස මැඩීමට පාලක පන්තියට අවශ්‍යයි. මේ කොන්දේසි යටතේයි අපි අද ජීවත් වෙන්නේ.

වරුන: ඔබ චිත්‍රපටයේ තේමාව තෝරාගත්තේ කෙසේද?

ප්‍රසන්න: මේ චිත්‍රපටය පදනම් කරලා තිබෙන සාමාජයට, විශේෂයෙන්ම යුද කලාපයේ මායිම් ගම්මානවල ජීවත්වන ජනයා කෙරෙහි මා සතුව යම් වගකීමක් ඇතැයි මා සිතුවා. ඇතැම්විට ඔබ දන්නවා ඇති, ආරක්ෂක හමුදාවන්ට සැලකිය යුතු ප්‍රමානයෙන් බඳවාගෙන ඇත්තේ උතුරු මැද පලාතෙන් බව. චිත්‍රපටය සඳහා දර්ශන තල සොයාගෙන ගිය විට මා දුටුවා ඔවුන්ගේ ව්‍යසනප්‍රාප්ත ජීවන තත්වයන්. මෙය මට බලපෑවා, මගේ මුල් පිටපත නැවත සකස් කොට ඔවුන්ගේ ජීවිත මතපදනම් කල පිටපතක් නිර්මානය කිරීමට. ඔවුන්ගේ හඬ කොලඹට ඇහිලා නෑෂ එය පාලකයන්ට ඇසීමට අවශ්‍යතාවක් නැති හඬක්ෂ එබැවින් මට දැනුනා ඔවුන්ව ශ්‍රවනයවීමට සැලැස්වීම මගේ වගකීමක් බව.

වරුන: චිත්‍රපටය දුටු විදෙස් ගත ලාංකිකයන් ප්‍රතිචාරය කුමක් වීද ?

ප්‍රසන්න: ඕස්ට්රෙලියාව, එංගලන්තය හා ඉන්දියාව වැනි රටවල ජීවත් වන ලාංකීකයන් චිත්‍රපටය නැරඹු අතර ඒ සෑම තැනක දී ම ඔවුන් එය වැලඳ ගත්තා. ස්විට්සර්ලන්තයේ දී චිත්‍රපටය තිරගත කල විට එක් තරුන ගැහැනු ලමයෙක් මා ලඟට ඇවිත් කීවා, 'මම ලංකාවේ, නමුත් මගේ දෙමාපියන් මම කුඩා කාලයේ දී ම පන බේරා ගැනීමට ස්විට්සර්ලන්තයට පැනලා ආවා. මගේ ජීවිතයේ පලමු වතාවට අද මම ලංකාව දැක්කා. දැන් මට මගේ මිතුරන්ට පැහැදිලි කරන්න පුලූවන් ලංකාව ගැන' කියලා.

එය තිරගත කල සෑම තැනක දී ම සිංහල හා දෙමල දෙකොට්ඨාශයේම පොදු ප්‍රතිචාරය වූයේ එයයි. නිරූපනය කෙරී පැවැති ලංකාව පිලිබඳ යථාර්ථය, ලංකාවෙන් පිටත ජීවත් වන සිංහල කොටස් කම්පනයට පත් කරවන සුලූ වූවත් ඔවුන් චිත්‍රපටය කෙරෙහි සතුරු වූයේ නැහැ. ඔවුන් මේ විනාශකාරී යුද්ධය පිලිබඳව වඩාත් සාවධාන හා චින්තාපර වූවා.

වරුන: ඔබේ චිත්‍රපටය පසෙකින් තැබුවහොත්, දශක දෙකක් පමන දිග ඇදී පවතින යුද්ධය කලාත්මක ආකාරයකින් නිර්ව්‍යාජව කලා කෘති තුල පිලිබිඹු වී ඇත්තේ විරල වශයෙනුයි. ඔබ මෙය වටහා ගන්නේ කෙසේද?

ප්‍රසන්න: බොහෝ කලාකරුවන් මේ යුද්ධය ඔවුන්ගේ ජීවිත හා බැඳුනු දෙයක් ලෙස දකින්නේ නෑ. යමෙකුට තර්ක කරන්න පුලූවන් අපි හැමෝටම, අපි ගන්න සෑම භාන්ඩයකටම ආරක්ෂක බද්දක් ගෙවන්න බලකෙරිලා තියෙන නිසා ඒ සියල්ලම යුද්ධයට බැඳිලා තියෙනවා කියලා. ඇතැමුන්ට, යුද්ධය විසින් ඇති කරලා තියෙන වෙනත් ආර්තිකමය බර පැටවීම් ගැන මැසිවිලි නගන්න පුලූවන් වූවත් ඔවුන් ඉන් ඔබ්බට දකින්නේ නෑ. යුද්ධය පිලිබඳව පමනක් නොවෙයි 1988-89 කාලයේ දක්ෂිනාංශික භීෂනය සම්බන්ධයෙන් ද බොහෝ කලාකරුවන් සමාජ විඥානයෙන් තොරයි. එනිසා කලාත්මක මානුෂිකත්වයෙන් යුතුව කිසිවක් මිනිසුන්ට ඉදිරිපත් කෙරිලා නෑ. මෙතරම් සමාජ නැගිටීම් ඇති වූ අන් රටක් කලාපයේ නෑ. නිර්මානාත්මක චින්තනයට පසුගිය 20 වසර පුරාම මෙතරම් අමුද්‍රව්‍ය පැවැතියත්, මෙම අත්දැකීම් කලාව තුල පැහැදිලි කෙරී නැහැ. මෙය, සෑම කලාකරුවකු විසින්ම පිලිගත යුතු අභියෝගයක්.

මා පුරහඳ කලූවර නිර්මානය කරන විට, මා ගැඹුරෙන් කල්පනා කලා මට සෑදිය හැකි හොඳම චිත්‍රපටය, අනෙකුත් ලාංකික කලාකරුවන් පිවිසී නැති වස්තු විෂය කුමක් ද? කියා. එබැවින්, ජාත්‍යන්තර සම්මානනයට පාත්‍ර වීමෙන් පසුවත් මගේ චිත්‍රපටය තහනම් වූ විට, අන් කලාකරුවන් මෙබඳු විෂයකට අත ගැසීමට පසුබාන්නේ හෝ ප්‍රතික්ෂේප කරනනේ මන් ද යන්න පහසුවෙන්ම වටහා ගන්න පුලූවන්.

වරුන: ඔබේ චිත්‍රපටය තහනම් කිරීම කෙරෙහි ලාංකික කලාකරුවන් කොටසකගේ නිෂේධනාත්මක ප්‍රතිචාරය, යුද්ධය හා මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් කෙරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන් පිලිබඳ ඔවුන්ගේ නොතැකීම් සහගත භාවය පිලිබිඹු කෙරෙන බවක් ඔබ හිතනවාද?

ප්‍රසන්න: නිශ්චිතවම. ඒ හෝ මේ ආකාරයෙන් ඔවුන් තමන්ගේ දෛනික පැවැත්ම උදෙසා රාජ්‍යයට ගැටගැසී සිටිනවා. තහනමට එරෙහිව ඔවුන් විරෝධය පල කලහොත් එමගින් තමන්ගේ සුවපහසු ජීවිතයන් කඩාකප්පල් කෙරෙනු ඇතැයි ඔවුන් සිතනවා විය හැකියි. ඒ නිසා ඔවුන් කිසිවක්ම කිරීමෙන් වැලකී සිටිනවා. මෙම ප්‍රවිශ්ටයම ඔවුන් නිපදවන නිර්මානාත්මක කෘති තුල දැකිය හැකියි. මෙම පුද්ගලික අවශ්‍යතාවන් මත පාදක කිරීම මගින්, බොහෝ කලාකරුවන් සිතාමතාම ඇතැම් වැදගත් හා කේන්ද්‍රිය සමාජ තේමාවන් සමග පොර බැඳීමෙන් වැලකී සිටිනවා. නොඑසේ නම් ස්වයං-වාරනයක් පවත්වාගෙන යනවා.

කලාකරුවන්, කලා ක්ෂේත්‍රයේ හා අනෙකුත් සංස්කෘතික ක්‍රියාකාරකම් කෙරෙහි මෙබඳු ආකාරයේ රාජ්‍ය මැදිහත්වීම්වලට එරෙහිවීමට සූදානම් විය යුතුයි. මෙය මුහුන දිය යුතු අභියෝගයක්.

වරුන: මෙම ප්‍රතිචාරය, සමාජ ප්‍රශ්න විසඳීම පිලිබඳව කිසිදු ශක්‍යතාවක් දැකිය නො හැකිවීමේ ප්‍රතිපලයක් නොවේ ද?

ප්‍රසන්න: සත්තකින්ම. මා හිතන්නේ, මෙම ප්‍රශ්නය ඇසීම මගින්, දුෂ්කර දවසක වැඩකටයුතුවලින් පසු මා ඉතා සතුටින් නිවස බලා යන්නෙක් බවට අද ඔබ මාව පත්කලා කියලා. සෑම හොඳ කලාත්මක නිර්මානයක් ම සමාජ ප්‍රගතිය පිලිබඳ සාරදර්ශනයක් පිලිබිඹු කරනවා. කලාකරුවාගේ සාරදර්ශනය ඔහුගේ නිර්මාන තුලින් එලිමහනට පැමිනෙනවා. ඔවුන්ගේ අධ්‍යාත්මයන් තුල එය නියෝජනය නො වන්නේ නම්, පුරහඳ කලූවර චිත්‍රපටයේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පෙනී සිටිය හැක්කේ කෙසේද?

වරුන: බොහෝ ශ්‍රේෂ්ඨ කලා කෘතීන්වල උත්කෘෂ්ඨභාවය, යුගයේ පුලූල් ප්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයක් විසින් ආවේශිතයි. ඔබ මොකද හිතන්නේ?

ප්‍රසන්න: මෙහි දී අප තවත් ඉසව්වකට යනවා. ලංකාවේ දී තියුනු සමාජ දේශපාලන හා ආර්තික අර්බුදයක් අපට තියෙන්නේ. එබඳු වාතාවරනයක් තුල වඩාත් අනාගතය දැකීමට, වෙනස්වන ලෝකය වටහා ගැනීමට අපට බල කෙරෙනවා. මේ අර්බුදය කලාකරුවන්ගේ ජීවිත විනිවිදින්නේ අපට අපගේ මනස විවෘත කිරීමට බල කරමින්. සෑම අතීත අවධියක දී ම, කලාත්මක සංවර්ධනය බැඳී පැවැතියේ ප්‍රගතිශීලි ඉදිරිදර්ශනයක් සහිත සමාජ ව්‍යාපාර සමග. 1917 ඔක්තෝබර් විප්ලවය හා 1789 ප්‍රංස විප්ලවය, සමාජමය වසයෙන් පුලූල් පරිමානයෙන් ප්‍රබුද්ධත්වයට පත් චින්තනයේ ප්‍රතිපලය වුනා. එය තේමාවන්ගෙන් හා ආකෘතීන්ගේ නව කඩඉම් සොයා ගැනීමට කලාකරුවන් ආවේශ ගැන්වූවා. ඔබ සඳහන් කර ඇති කරුන, අද කලාකරුවන් විසින් ද තියුනුව මුහුන දෙනු ලබන්නක්.

වරුන: අවසාන වසයෙන්, පුරහඳ කලූවර තහනමට එරෙහිව ජාත්‍යන්තර පරිමාන ආයාචනයක් කිරීමට ඔබ කැමතිද?

ප්‍රසන්න: මා මුහුන දෙන ප්‍රශ්නය අහම්බයක් ලෙස මා දකින්නේ නෑ. මෙය මුලූ ලොව පුරාමත් සිදු වෙමින් තියෙනවා. මෙහි දී මා සිතන්නේ, දඩයමට ලක් වූ, මේ ප්‍රහාරයන්ට එරෙහිව විරෝධතාව දැක්වීමට තීරනය කොට ඇති කලාකරුවන් අතර එක්තරා ආකාරයක සහෝදරත්වයක් වර්ධනය විය යුතු බවයි. එබැවින් මා ඉතා සහෝදරත්වයෙන් යුතුව ඔබගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙය හුදෙක් ලාංකික කලාකරුවෙක් මුහුන දෙන යම් දෙයක් ලෙස නොව සැමගේම ප්‍රජාතන්ත්‍රික අයිතීන්ට සම්බන්ධිත පොදු ප්‍රශ්නයක් ලෙස සලකන ලෙසයි. පුරහඳ කලූවර වෙනුවෙන් නැගී සිටින ලෙස මා ප්‍රගතිශීලී හිතනමතන මහජනයාගෙන් ඉල්ලා සිටිනවා. තමාට වඩා බලවත් යැයි පෙනී යන බාහිර බලවේගවලට එරෙහි මිනිසාගේ ගැටුමෙන් තොරව ජීවිතය රසාස්වාදනය කල නො හැකියි. එය දුෂ්කර විය හැකි වුවත් ඊට මුහුන දිය යුතුයි.

තැපෑලෙන් හෝ ෆැක්ස් මගින් විරෝධතා ලිපි යැවිය යුත්තේ:

තිස්ස අබේසේකර,

ජාතික චිත්‍රපට සංස්ථාව

224, බෞද්ධාලෝක මාවත,

කොලඹ 07

ෆැක්ස්: 585526

ඊමේල්: ෆඉලමචඔරපසෙලටනඑට.ලක

අදාල වෙනත් ලිපි

පුරහඳ කලූවර තහනමට එරෙහිව විරෝධය වැඩෙයි

2000 නොවැම්බර් 07

ප්‍රසන්න විතානගේගේ පුරහඳ කලූවරට එරෙහිව හදිසි නීති භාවිතා කෙරේ:

ශ්‍රී ලංකා ආන්ඩුව යුද විරෝධි චිත්‍රපටය තහනම් කරයි

2000 අගෝස්තු 18

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කලා සංස්කාරක ඩේවිඩ් වොල්ෂ් වාරනය සහ කලාව පිලිබඳව පොන්ටියක් රැස්වීමේ දී දැක්වූ අදහස්

'කලාත්මක භාෂනයේ නිදහස ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු වනුයේ කුමන පදනමක් මත ද?'

2000 අප්‍රේල් 21

යුද්ධයේ දුකඳුර ගෙන හැර පාන චිත්‍රපටයක්

පුර හඳ කලූවර

2000 මාර්තු 17

චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සමග සම්මුඛ සාකච්චාවක්

1999 ජූනි 01

ජීවන සෞන්දර්යයට එරෙහි වනුයේ පන්ති සමාජමය කොන්දේසි යි

පවුරු වළලු සිනමා විචාරය

1999 මාර්තු 12

[මෙම ලිපිය 2000 සැප්තැම්බර් 27 වැනි දින ඉංග්‍රීසි බසින් පල වූ ලිපියක පරිවර්තනයකි.]

Loading