එක්සත් ජනපද ආධාර ලබන විරුද්ධවාදී උතුරු සන්ධානයේ හමුදා අතට පසුගිය අඟහරුවාදා කාබුල් අග නගරය පත්වීම ද ඇතුලූව, ඇෆ්ඝනිස්ථානයෙන් වැඩි කොටසක පාලන බලය අල්ලාගෙන සිටි තලේබාන් ව්‍යාපාරයේ සීග්‍ර විසිරී යෑමේ තත්වය තුල දේශපාලන රික්තය පිරවීමට ඉක්මනින් පාලන තන්ත්‍රයක් ඇටවීම සඳහා එක්සත් ජනපදයට සහ එහි සහකරුවන්ට පොරවැදීමට සිදු වී තිබේ.
උතුරු සන්ධානය විසින් උතුරේ ප්‍රධාන නගරයක් වන මසාර්-ඊ-ශරීෆ් අල්ලා ගැනීමත් එය පාලනය බටහිරින් හේරට් සහ උතුරෙන් ටැලොකන් කරා සීග්‍රයෙන් පුලූල් කර ගැනීමත් සමග පසුගිය සිකුරාදා (තලේබාන්) බිඳවැටීම ඇරඹුනි. දින කීපයක් තුල තලේබාන් විරුද්ධවාදීන් ඔවුන්ගේ බල ප්‍රදේශය රටෙන් සියයට දහයක සිට භාගයක් දක්වා පුලූල් කර ගෙන ඇත. උතුරේ දී, විශේෂයෙන් තලේබාන් බලකොටුවක් වන කුන්ඩුස්වල දී ද තලේබාන් ප්‍රතිරෝධය පැවතුනේ අල්ප වසයෙනි.
උතුරු සන්ධානයේ බොහෝ අත්පත් කර ගැනීම් සිදු කෙරුනේ කිසිදු බරපතල සටනකින් තොරව ය. උතුරු සන්ධාන ජෙනරාල්වරුන්ගේ මිලිටරි මෙහෙයුම් සංවිධානය කරගැනීමට සහයෝගය දෙමින් සිටින එක්සත් ජනපද විශේෂ බලකායන් හා හමුදා උපදේශකවරුන් සමග එක්ව එක්සත් ජනපද ප්‍රහාරක යානා සති ගනනක් තිස්සේ තලේබාන් ඉදිරිපෙල සුන් කිරීමේ යෙදී සිටිති. තලේබාන් වැටීමේ ප්‍රධාන හේතුවක් ලෙස පෙනීයන්නේ අන දෙන නිලධාරීන් හා බලඇනි සැලකිය යුතු සංඛ්‍යාවක පලායෑම යි. මේ අය අතර බාමියන් ආන්ඩුකාරයා වැන්නවුන් ද ඇත.
නමුත් උතුරු සන්ධානය කාබුල් වෙත යෑමට සූදානම්වීමත් සමග ජනාධිපති බුෂ් අගනුවර අත්පත් කර නො ගන්නයි කලින් කර තිබූ නියෝගය නැවත නැවතත් මතක් කලේ ය. සති අන්තයේ ඔහු ප්‍රකාශ කර සිටියේ 'අපි අපේ මිතුරන් කාබුල් නුවරට යැවීමට නො ව දකුනට යැවීමට උනන්දු කරන්නෙමු.' බුෂ් කතාකරමින් සිටියේ උතුරු සන්ධානය ආධිපත්‍ය දරන ඇෆ්ඝනිස්ථාන් ආන්ඩුවකට එකහෙලා විරුද්ධ, පකිස්ථාන් මිලිටරි පාලක පර්වේස් මුශාරෆ් සමග හමුවකින් පසුව ය.
එක්සත් ජනපද ගුවන් සහාය හා උපදේශකවරුන් මත යැපෙන අතර ම ආයුධ හා මූල්‍යාධාර ඇතුලූ සියලූම දේ තිබුනේ වී නමුත් උතුරු සන්ධානයේ නායකයෝ, අලූත් පරිපාලනයකට සම්බන්ධ කර ගැනීමට ඉඩ ඇති අනෙකුත් පාර්ශ්වයන් සමග එක්සත් ජනපද හා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා කාලය ලබාදෙමින් අගනුවර දොරකොඩ නතරවීමට පොරොන්දු වී තිබුනි. කෙසේ වෙතත්, අඟහරුවාදා උදේ රැයින් හදිස්සියේ ම තලේබාන්වරුන් කාබුල් නුවරින් ඔවුන්ගේ දකුනු බලකොටුවක් වන කන්දහාර්වලට පසු බැසීමත් සමග, උතුරු සන්ධානයේ බලඇනි ඉක්මනින් ම අගනුවරට පිවිසුනි.
අලූත්ම වාර්තා පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපද සීඅයිඒය පශ්තුන් ගෝත්‍රික ජනයා අතර විරෝධයක් ඇවිස්සීම සඳහා ක්‍රියාශීලීව මැදිහත්ව සිටින දකුනු ඇෆ්ඝනිස්ථානයෙන් ද තලේබාන්වරුන්ගේ පසුබැසීම ය. ජලාලාබාද් නගරය තලේබාන් විරෝධී කන්ඩායම් අතට පත් වී ඇති බව වාර්තා වන අතර උතුරු සන්ධානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ එහි හමුදාවන් ප්‍රදේශවාසී පශ්තුන් ගෝත්‍රික සටන්කාමීන් සමග ක්‍රියාත්මක වෙමින් කන්දහාර්වලට ඇතුලූ වී සිටින බව යි. තලේබාන්වරුන්ට අත් වූ සම්පූර්න හානිවල පරිමාව තවමත් අවිනිශ්චිත නමුත් පෙනෙන්නට තිබෙනුයේ එහි පාලන බලය රඳා පවතිනුයේ රටෙහි සියයට 20ක් පමන කුඩා ප්‍රදේශයක බව ය.
සමහර සිද්ධීන්වල දී බටහිර චායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන්ගේ ඇස් ඉදිරිපිට ම කෙරුනු, තලේබාන් සටන්කරුවන් කෙලින්ම මරාදැමීමේ සිද්ධීන් උතුරු සන්ධානයේ ස්වභාවය පිලිබඳ ව සාක්ෂි දරයි. එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකාවක් තහවුරු කල පරිදි තලේබාන් සටන්කරුවන්ගෙන් සියයට අධික සංඛ්‍යාවක් -- වැඩි දෙනෙක් තරුනයින් හා නවක සාමාජිකයින් විය -- මසාර්-ඊ-ශරීෆ්හි පාසල් ගොඩනැගිල්ලක සැඟ වී සිට හසුවීමෙන් අනතුරුව උතුරු සන්ධානය විසින් ඝාතනයට ලක්කොට තිබුනි. කොල්ලකෑමේ බොහෝ සිද්ධීන් ද වාර්තා වී ඇත.
තලේබාන් තන්ත්‍රය දනගැස්සවීම පිලිබඳව එක්සත් ජනපද ආන්ඩුව තමන්ට ම අවිනිශ්චිත සුභපතා ගැනීමක යෙදෙන අතර උතුරු සන්ධානයේ ජයග්‍රහනයන් මගින් දොර විවෘත කොට ඇත්තේ අල්ලාගත් දේ බෙදාගැනීමට කෙරෙන විවිධ ප්‍රතිවිරුද්ධ ඇෆ්ඝන් කන්ඩායම්වල දේශපාලන පොරයකට ය. උතුරු සන්ධානයමත් පසුගිය දශකය පුරා නිතර නිතර පැති මාරුකරමින් එකිනෙකා සමග සටන් වැදුනු ප්‍රාදේශීය යුද ලොක්කන්ගෙන් හා වාර්ගික පදනමක් සහිත මිලිටරි කන්ඩායම්වලින් සැදුම්ලත් මංමුලා සහගත සන්ධානයකි. මෙම සන්ධානය එක්කොට තැබෙන මූලික බදාමය වන්නේ මෙම කන්ඩායම් සහ ඔවුන්ගේ ප්‍රධාන විදේශීය සහකරුන් -- රුසියාව, ඉරානය සහ ඉන්දියාව -- තලේබාන්වරුන්ට දක්වන සතුරුකම යි.
කාබුල් අල්ලා ගැනීමත් සමග උතුරු සන්ධානය දැන් සකස් කිරීමට යන ආන්ඩුවක් පිලිබඳව නියමයන් පැනවීමට පරිස්සම්කාරීව උත්සාහ ගනිමින් සිටී. එය දැනටමත් අන්තර් කාලීන පාලන මන්ඩලයක් ප්‍රකාශයට පත් කර ඇත. රටේ අනාගත දේශපාලනය තීන්දු කර ගැනීම සඳහා කාබුල් නුවර සිටින ප්‍රතිවිරුද්ධ ඇෆ්ඝන් කන්ඩායම්වල රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතීන් හා එහි ඇෆ්ඝනිස්ථානයේ විශේෂ නියෝජිත ලක්දාර් බ්‍රාහ්මි සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන එක්සත් ජනපදය හා බ්‍රතාන්‍යය කුමන ඇෆ්ඝනිස්ථානු පාලන තන්ත්‍රයක් මත වුව සිය මුද්‍රාව තැබීමට අධිෂ්ඨාන කර ගෙන සිටී.
උතුරු සන්ධානයේ හමුදා බලඅනි සමග ඉතා සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතරතුර ම එහි ආධිපත්‍ය සහිත කාබුල් පාලන තන්ත්‍රයක් ඇති කිරීම පිලිබඳව සැකසංකා ඇමරිකානු පාලන තන්ත්‍රය විසින් මතු කරනු ලැබ ඇත. උතුරේ සුලූ ජාතික කන්ඩායම්වලින් සැදුම්ලත් උතුරු සන්ධානය විසින් රටේ දකුනේ බහුතර පශ්තුන් ජනයාගේ නියෝජනයක් බැහැර කිරීමේ අනතුර වොෂින්ටනය පෙන්වා දී ඇත. අග නගරය සමතලා කරමින් හා 50,000ක් පමන ජනයා මරා දමමින් කාබුල්හි පාලනය සියතට ගැනීමට 1992 හා 1996 අතරතුර එකිනෙකා සමග පොරවැදුනු උතුරු සන්ධානයේ ලේවැකි වාර්තාව පිලිබඳව පරිස්සම් සහගත සඳහන් කිරීම් ද සිදු කරනු ලැබ ඇත.
කෙසේ වෙතත් සැබෑ උත්සුකතාවන් වනුයේ ඇෆ්ඝනිස්ථානු තන්ත්‍රයේ ජනවාර්ගික මිශ්‍රනය හෝ විවිධ ප්‍රතිවිරුද්ධ කන්ඩායම් හා අවි ගත්තන් විසින් පසුගිය කාලය තුල සිදු කරනු ලැබූ ජනඝාතක ක්‍රියාවන් නො වේ. පරදුවට තැබී ඇති ප්‍රධාන කාරනාව වන්නේ ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන බලය රඳා පවතිනුයේ කවුරුන් අත ද යන්න හා යාබද සම්පත්වලින් ආඩ්‍ය මධ්‍යම ආසියානු කලාපය මත කාගේ ආනුභාවය පවතී ද යන්න ය. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව යුදවැදී, සිය ගොදුර විශේෂයෙන් ඇෆ්ඝන් ප්‍රතිවිරුද්ධ කන්ඩායම්වලට හා අනතුරුව ඔවුන්ට සහය දෙන විදේශීය සහකරුවන්ට අතහැර දැමීමට වොෂින්ටනය සූදානම් නැත.
රාජ්‍ය තාන්ත්‍රික කූටොපායෝ
බොහෝමයක් ඇෆ්ඝන් ප්‍රතිවිරුද්ධ කන්ඩායම්වල සම්භවය සොයාගත හැක්කේ සෝවියට් සංගමයේ සහය ලද තන්ත්‍රයට එරෙහිව සටන් වැදීමට 1980 ගනන්වල එක්සත් ජනපදය විසින් අවි ආයුධවලින් හා මූල්‍යමය වසයෙන් ආධාර කොට තැනූ මුජහෙඩීන් කන්ඩායම තුල ය. 1992 මෙම තන්ත්‍රය බිඳවැටීමත් සමග ම ඇෆ්ඝනිස්ථානයේ ආධිපත්‍යය සඳහා බැල්ම හෙලාගත් විවිධ යාබද රාජ්‍යයන් තමන් වෙනුවෙන් පෙනී සිටින විවිධ කන්ඩායම්වලට පිටුබලය දීමෙන් පොරය ඉදිරියට ගියේ ය. වර්තමානයේ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික පොරවැදීම නම් මෙම සියලූම කන්ඩායම්වල හා ඒවායේ විදේශික සහචරයින්ගේ මැදිහත්වීමෙන් ඇති වී තිබෙන සංකීර්න දේශපාලන සමීකරනය යි.
ඇමරිකානු බලපෑම යටතේ තලේබාන්වරුන්ට දක්වන සහයෝගය නිමා කිරීමට පකිස්ථානයට සිදු වූවත් අලූතින් සෑදෙන ඕනෑම පාලන තන්ත්‍රයකට 'මධ්‍යස්ථ තලේබාන්වරුන්' හා පකිස්තානය සමග සබඳකම් සහිත පශ්තුන් නායකයින් ඇතුලත් විය යුතු බව කියමින් තමන්ගේ තැන යලි අත් පත් කර ගැනීමට එරට මංමුලාසහගත වී සිටී. උතුරු සන්ධානයේ අනුග්‍රාහකයින් වන රුසියාව, ඉරානය සහ ඉන්දියාව, පැරනි තලේබාන් නායකයින් කිසිවෙකුත් ඇතුලත් කර ගැනීමට විරුද්ධ බව එලිපිට ම ප්‍රකාශ කොට ඇත.
එක්සත් ජාතීන්ගේ සංගමය තුල ඇෆ්ඝනිස්ථානය සම්බන්ධිත 'හය+දෙක' නමින් හැඳින්වෙන -- එක්සත් ජනපදය හා රුසියාව සමග අසල්වැසි රටවල් හය වන චීනය, පකිස්තානය, ඉරානය, ටජිකිස්ථානය, ටර්ක්මේනිස්ථානය හා උස්බෙකිස්ථාන එකතුව -- කන්ඩායම තුල මෙම කරුනු කාරනා දැන් තෝරා බේරා ගැනීමේ සාකච්චා යමින් තිබේ. 'පුලූල් පදනමක් සහිත බහුවාර්ගික නියොජනයක්' සහිත ආන්ඩුවක් පිලිබඳ වට්ටෝරුවට සියලූදෙනා ම එකඟමුත් නිශ්චිත වසයෙන් නියෝජනය වන්නේ කවුද මොන ප්‍රමානයට ද යන්න හා ක්‍රියාවලියේ මුලසුන ගන්නේ කවුද යන සියල්ල තියුනු විවාදයකට ලක්ව ඇත.
එක්සත් ජනපදය හැකි තරම් වේගයෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉදිරියට තල්ලූ කරයි. 'හය+දෙක' කන්ඩායමේ රැස්වීමකට පසු එක් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පෙන්වා දුන් පරිදි ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් 'හනිකට, හනිකට, හනිකට' ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පිලිබඳව අවධාරනය කලේ ය. එක්සත් ජනපදයේ යෝජනා කඩිමුඩියේ ක්‍රියාවට දැමීමේ ප්‍රධාන හේතුවක් වන්නේ උතුරු සන්ධානය තමන්ගේ ම පාලන තන්ත්‍රයක් කාබුල්වල තහවුරු කර ගැනීම වැලැක්වීම යි. තුර්කිය, ඉන්දුනීසියාව, බංගලිදේශය වැනි මුස්ලිම් රටවල්වල බලඇනිවලින් සැදුම්ලත් එක්සත් ජාතීන්ගේ හමුදාවක පාලනය යටතේ පවතින 'විවෘත නගරයක්' බවට කාබුල් නගරය පත් කරන ලෙස පවෙල් ඉල්ලා සිටියේ ය. බ්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් 'හැකි ඉක්මනින්' කාබුල්වල පෙනී සිටින ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇති අතරම කීප දහසක බ්‍රතාන්‍ය බලඇනි උදව්වට ඉදිරිපත්වීමට සීරුවෙන් තබා ඇත.
බමන වේගයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ක්‍රියාත්මක වෙමින් පවතී. ඇෆ්ඝන් විරුද්ධ පාර්ශ්වය සඳහා එක්සත් ජනපද විශේෂ නියෝජිත ජේම්ස් ඩොබින්ස් අලූත් පාලන තන්ත්‍රයක් ගොඩනැගීම පිලිබඳව ඉක්මන් සාකච්චා සඳහා ලන්ඩනය, රෝමන්, ඇන්කාරා, ටශ්කෙන්ට්, දුශාන්බේ හා ඉස්ලාමාබාදයට පිටත් කර යවා ඇත. රෝමයේ දී ඔහු පිටුවහලේ සිටින ඇෆ්ඝනිස්ථානු රජු වන 87 වියැති සහිර් ශා හමුවූයේ ඉදිරි දේශපාලන සැලසුමක දී ඔහුගේ භූමිකාව පිලිබඳව සාකච්චා කිරීමට ය. පිටුවහලේ සිටින විවිධ ඇෆ්ඝන් නායකයින් සමග සාකච්චා කිරීමට පකිස්ථානයේ පෙශාවර් නගරයට යෑමෙන් අනතුරුව ඩොබීන්ස් සිය දූත මෙහෙවර නිම කිරීමට නියමිත ය.
වසර දෙකක සංක්‍රමන ආන්ඩුවක් පිහිටුවීම පිලිබඳව සාකච්චා කිරීමට ඇෆ්ඝන් නායකයින්ගේ රැස්වීමක් කැඳවූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලක්දාර් බ්‍රාහිම් ද සාකච්චා සඳහා පකිස්තානය බලා යෑමට සූදානම්ව සිටි. ඔහුගේ සැලසුම් එක්සත් ජාතීන්ට පෙන්වා දෙමින්, ඔහු වෙහෙසුනේ එක්සත් ජාතීන්ගේ සංගමය නැගෙනහිර තිමෝරයේ හෝ කොසෝවෝවල කලාක් මෙන් වෙනත් ආන්ඩුවක වැයික්කියක් බවට මෙය පත් කිරීම සඳහා 'පිටස්තර' නිලධාරීන් ගෙන ඒමට අදහස් නො කරන අතර මූලිකත්වය ගැනීමට ඇෆ්ඝනිස්ථානුවන්ට ආධාර කරන බව යි.
එක්සත් ජනපද හා එක්සත් ජාතීන්ගේ යෝජනා 'පුලූල් පදනමක්' හා 'නියෝජනයක් සහිත' ආන්ඩු ලෙස සලූපිලි පැලැන්දවීමට උත්සාහ ගත්ත ද අනේකවිධ සැලසුම් වනාහි ප්‍රධාන බලයන් ඉදිරියේ සම්පූර්යෙන් ම යටත් විජිත පන්නයේ පාලන තන්ත්‍රයක් ඇටවීම සඳහා දැරෙන විනිවිද පෙනෙන ව්‍යායාමයන් ය. ප්‍රධාන බලවතුන් ප්‍රාදේහීය රාජ්‍ය හා නානාප්‍රකාර ඇෆ්ඝනිස්ථානු විරුද්ධවාදී පාර්ශ්වයයන් අතර කුමන වර්ගයේ නො එකඟතාවන් හා පොරයන් මතුවුන ද සාකච්චා කෙරෙන දේශපාලන සූත්‍රයට ඇෆ්ඝනිස්ථානයේ සාමාන්‍ය මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීමක් අන්තර්ගත වී නොමැත.
අදාල වෙනත් ලිපි
බුෂ් පරිපාලනය ඇමරිකානු ජනතාව රැගෙන යන්නේ කොයිබට ද?
2001 නොවැම්බර් 09
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ පකිස්තාන සහ ඉන්දියානු සංචාරය ආතතීන් සමනය කිරිමට අපොහොසත් වෙයි
2001 නොවැම්බර් 06
අප ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට විරුද්ධ වන්නේ ඇයි?
2001 ඔක්තෝබර් 23
බුෂ් පරිපාලනයට යුද්ධය අවශ්‍ය වනුයේ ඇයි?
2001 ඔක්තෝබර් 10
නිව්යෝර්ක් සහ වොෂිංටන් නගර මතට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දේශපාලන මූලයෝ
2001 සැප්තැම්බර් 14
[මෙම ලිපිය 2001 නොවැම්බර් 15 වැනි දින Fall of Kabul sets stage for further political conflict in Afghanistan යන මැයෙන් ඉංග්‍රීසි බසින් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
