ඉන්දියානු පාලක සභාගය ප්‍රජාගනවාදී උද්ඝෝෂනය හේතුවෙන් අවුලක

හින්දු දෙවියකු වන රාම් වෙනුවෙන් අයෝධ්‍යාහි කෝවිලක් ඉදිකිරීම පිනිස ප්‍රජාගනවාදී විශ්ව හින්දු පරිශාද් (වීඑච්පී) විසින් ගෙනයනු ලබන උද්ඝෝෂනය ඉන්දියාවේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍ර සන්ධානය (එන්ඩීඒ) අවුලක හෙලා ඇත. මාර්තු 22 දා පැවති සභාග සාමාජිකයන්ගේ අර්බුදකාරී රැස්වීමක දී එකඟතාවක් ඇති කර ගැනීමට අගමැති අතාල් බෙහාරි වජ්පායි සමත් වුවත් ඔහුගේ බිදෙනසුලූ ආන්ඩුවේ අනාගතය කිසිඳු අර්ථයකින් සහතික නැත.

වජ්පායිගේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වය වුවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගනු පිනිස කුඩා පක්ෂ 22ක -- ඒවායින් බොහොමක් ප්‍රාදේශීයව පදනම් වූ පක්ෂය -- සහයෝගය මත යැපීමට ඔහුට සිදුව තිබේ. මෙම පක්ෂ එන්ඩීඒ සන්ධානයට එක් වූයේ බීජේපීයේ හින්දු ස්වෝත්තමවාදී වැඩපිලිවෙලේ ප්‍රධාන අංග -- 1992 දී හින්දු උන්මත්තකයින් නඩයක් විසින් මුස්ලිම් පල්ලියක් විනාශයට පත් කල අයෝධ්‍යා පිලිබඳ කාරනාව ද ඇතුලත් -- ආන්ඩුවේ න්‍යාය පත්‍රයෙන් ඉවත තැබෙනු ඇතැයි යන අවබෝධය මත ම පමනි.

පසුගිය සතියේ රැස්වීමේ දී, ජනතා දාල්-යූ (ජේඩී-යූ), සමතා පක්ෂය සහ ත්‍රිනමූල් කොංග්‍රස් ඇතුලූ එන්ඩීඒ හවුල්කරුවන් ගනනාවක් ම, බීජේපීය වීඑච්පී හා සෙසු හින්දු අන්තවාදී සහකරුවන් පාලනය කරගත යුතු යයි අවධාරනය කලේය. වීඑච්පීය ඝාතනයට ලක්වූ තම ආධාරකරුවන් ගනනාවකගේ ආදාහන අලූ ගෙන යන පෙරහැරක් පැවැත්වීමේ ප්‍රකෝපකාරී සැලසුමක් නිවේදනය කර තිබුනි. වීඑච්පී ආධාරකරුවන් ඝාතනය වූයේ මුස්ලිම්වරුන් යයි සැක කෙරෙන නඩයක් මාර්තු මුලදී ගුජරාට් ප්‍රාන්තයේ ගොධරාහි දී දුම්රියකට පහර දී එයට ගිනි තැබීම හේතු කොටගෙන ය.

මෙම සිදධිය ගුජරාට් ප්‍රාන්තය පුරා ප්‍රජාගනවාදී ප්‍රචන්ඩ ක්‍රියා රැල්ලක් අවුලූවා ලු අතර එහි දී සිය ගනනක්, ප්‍රධාන වසයෙන් මුස්ලිම්වරු, ඝාතනය කෙරුනි. මෙම ඝාතන ව්‍යාපාරයට බිජේපීයේ සම්බන්ධය පිලිබඳව සෘජුවම චෝදනා එල්ල විය. ප්‍රමුඛ බීජේපී සාමාජිකයන් ඝාතනවලට ක්‍රියාකාරීව සම්බන්ධ බවට වාර්තා වූ අතර ජනඝාතන ව්‍යාපාරය නවතාලීමට ක්‍රියාකිරීමෙහි ලා අපොහොසත් වීම ගැන බීජේපී පාලනය යටතේ පවතින ප්‍රාන්ත ආන්ඩුවට චෝදනා එල්ල වී තිබේ.

වීඑච්පීයේ වැඩෙන උද්ඝෝෂනය සභාගය බිඳී යාමේ තර්ජනය මතු කලේය. බීජේපී පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගනනාවක් ම සැලසුම් කෙරුනු පෙරහැරට විවෘතව සහාය පල කර ඇත. කෙසේ වෙතත්, වීඑච්පීයේ ක්‍රියාවන් තවත් ප්‍රචන්ඩ ගැටුම් වටයක් අවුලූවා, දේශපාලන අස්ථාවරත්වය උත්සන්න කර දැනටමත් හෙලත්තාඩු තත්වයේ පවතින ආන්ඩුවේ චන්ද පදනම් අනතුරට ලක් කරනු ඇතැයි යන්න පිලිබඳව බීජේපීයේ හවුල්කරුවන් උත්සුකතා ප්‍රකාශයට පත් කර තිබේ.

වජ්පායි අර්බුදය සමනය කර ගැනීමේ මංමුලාසහගත උත්සාහයක යෙදී සිටී. මාර්තු 15 දා රාම් කෝවිල ගොඩනැගීම ආරම්භ කිරීමට යොදා ගෙන තිබූ සැලසුම් කල් තබන ලෙස ඔහු විඑච්පීයට ආයාචනය කලේය. අවසාන මොහොතේ දී එලඹුනු ගිවිසුමකට අනුව, විනාශයට පත් කෙරුනු පල්ලිය තිබූ ස්ථානයේ නොව එයට පිටත ස්ථානයක සංකේතාත්මක පූජාවක් පැවැත්වීමට වීඑච්පීයට සහ එහි සහෝදර සංවිධානයක් වන රාම් ජන්මභූමි භාරකාර මන්ඩලයට (ආර්ජේඑන්) ඉඩ දුනි. එහෙත් මෙම එකඟතාවට එන්ඩීඒ සහකරුවන් ගනනාවකගේ -- ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ ජාතික සම්මේලනය (එන්සී), තෙලිගු දේසම් පක්ෂය (ටීඩීපී) සහ ත්‍රිනමූල් කොංග්‍රසය (ටීසී) -- විචේනයට ලක් වූ අතර තමන් සභාගයට දෙන සහාය පිලිබඳව යලි සලකා බලන බවට ඔවුහු අනතුරු ඇගවූහ.

මෙම මතහේද පසුගිය සතියේ එන්ඩීඒ රැස්වීමේ දී යලි ඉස්මත්තට පැමිනි අතර එම රැස්වීම වජ්පායි සම්බන්ධයෙන් තීරනාත්මක පරීක්ෂනයක් විය. තම පක්ෂය ආන්ඩුව සමග පවත්නා සම්බන්ධය බිඳ දැමීමට නොපැකිලෙන බවට සමතා පක්ෂයේ නායකයකු වන රනුනාත් ජා අනතුරු ඇගවීය. ජනතා දාල් නායක දේවේන්ද්‍ර ප්‍රසාද් යදෙව්, රට තුල ආතතිය නිර්මානය කරන බවට 'කහකඩ පොරවා ගත් පුද්ගලයන්ට' චෝදනා කලේය.

රැස්වීමට පෙර දින, ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ ජාතික සම්මේලනය (එන්සී) තව පියවරක් තබමින් පාර්ලිමේන්තුවේ ඉහල මන්ත්‍රී මන්ඩලයේ දී ආන්ඩුවේ නව ත්‍රස්ත-විරෝධී පනතට -- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීඕටීඕ -- පොටෝ) -- චන්දය දීමෙන් වැලකී සිටියේ ය. එම පියවර අරමුනු දෙකක් වෙනුවෙන් සේවය කලේය: පලමුව කාශ්මීර බෙදුම්වාදයේ ආධාරකරුවන් ලෙස චෝදනාවට ලක්වන්නන්ට එරෙහිව එය යොදා ගනු ඇති ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය තුල බලගතු ලෙස ජන විරෝධයට ලක් වන එම පනතින් තම පක්ෂය දුරස්ථ වීම සහ දෙවනුව, තම පක්ෂය එන්ඩීඒ සන්ධානයෙන් මුලූමනින් ම ඉවත් විය හැකි බවට බීජේපීයට අනතුරු ඇඟවීම.

එන්ඩීඒ රැස්වීමේ දී, ආන්ඩුව එන්ඩීඒහි 'අනාගමික' න්‍යාය පත්‍රයට බැඳී සිටින බවට සිය සභාග හවුල්කරුවන්ට 'සහතිකයක්' දීමට වජ්පායිට බල කෙරුනි. ඔවුන්ගේ සැලසුම් කෙරුනු පෙරහැර කල් දමන ලෙස වීඑච්පීය ඒත්තු ගැන්වීමට ඔහු සමත්ව තිබේ. දෙසැම්බරයේ සිට ජනාධිපති ආඥාවක් ලෙස බලාත්මකව පවතින පොටෝ නීතිය යටතේ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන නොයන ලෙස බීජේපී නායකත්වයෙන් යුත් ගුජරාට් ආන්ඩුව මෙහෙයවීමට ද අගමැති කටයුතු කලේය. ප්‍රාන්ත ආන්ඩුව, අනතුරුව ඇති වු මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා අවුලූවා ලු හින්දු නායකයන් නොව දුම්රියට එල්ල වූ ආරම්භක ප්‍රහාරයට සම්බන්ධිත මුස්ලිම්වරු අත් අඩංගුවට ගනිමින්, පොටෝ විධිවිධාන නග්න ප්‍රජාගනවාදී ආකාරයකින් ගසා කා තිබුනි.

එයට හිලව් වසයෙන්, අගහරුවාදා ඉන්දියානු පාර්ලිමේන්තුවේ ඉහල හා පහල මන්ත්‍රී මන්ඩලවල දුලභ ඒකාබද්ධ සැසිවාරයකට පොටෝ පනත ඉදිරිපත් කල විට එයට සහාය දීමට එන්ඩීඒ හවුල්කරුවෝ පොරොන්දු වූහ. වජ්පායි ඒකාබද්ධ සැසිවාරය -- 1947 ස්වාධීනත්වයෙන් පසු පැවැත්වූ තෙවැන්න -- කැඳවූයේ ආන්ඩුවට බහුතරයක් නොමැති ඉහල මන්ත්‍රී මන්ඩලයේ විරුද්ධත්වය මහ හැරීමේ උපායක් ලෙස ය. නඩු විභාග නොමැතිව දිගු කාලීන රඳවාගැනීම් සඳහා බලය දෙන මෙම දරුනු නීති පනත සැලකිය යුතු බහුතරයකින් යුතුව සම්මත විය.

එකිනෙකාට එරෙහි වෛරී සහගත ප්‍රසිද්ධ විවේචන නතර කිරීමට ද ඊලග ජාතික මැතිවරනයට පෙර වසර දෙක තුල ඒකාබද්ධව වැඩ කිරීමට ද බීජේපීයේ සහකරුවෝ එකග වූහ. කෙසේ වෙතත්, යටින් පවත්නා ගැටලූ එකක් වත් විසඳී නැති අතර අපහසුවෙන් ඇති කර ගැනුනු සාමය බොහෝ කල් පවතින පාටක් පෙනෙන්ට නැත.

හෙලත්තාඩු සභාගයක්

ඉන්දියානු පුවත්පත් පසුගිය සතියේ ඇති කර ගැනුනු සම්මුතියේ තුනී ස්වභාවය පිලිබඳව අදහස් දක්වා තිබේ. සඳුදා හින්දු පත්‍රයේ පලවූ කතුවැකියක් බීජේපීයේ සහතිකවීම් විස්තර කලේ, 'විකාරයක් නොවේ නම්, ක්‍රියාවට දැමෙන සෑම අවස්ථාවක දී ම සැඟව පවත්නා විසංවාදය පුපුරා ඉස්මත්තට පැමිනෙන, හුදු චාරිත්‍රයකට' වඩා වැඩි දෙයක් නොවේ යනුවෙනි. පුවත් පතේ දේශපාලන විශ්ලේෂක කේ.කේ. කට්යාල්, 'බලයේ මැලියම්' මේ මොහොතේ එන්ඩීඒ සන්ධානය ඒකාබද්ධව තබා ගෙන ඇතැයි සඳහන් කරමින් එහෙත් බීජේපීයේ සහකරුවන් අනාගතයේ සිය ආස්ථානයන් යලි සලකා බලනු ඇතැයි ද අනාවැකි පල කලේය.

බීජේපීය 1998 දී බලයට පැමිනුනේ හින්දු ස්වෝත්තමවාදය මත පදනම්ව පෙර පැවති කොංග්‍රස් ආන්ඩු පිලිබඳව පුලූල්ව පැතිරුනු අසන්තෘප්තියට ආයාචනා කිරීමෙනි. එහෙත් බලය දිනාගැනීමෙන් අනතුරුව, වජ්පායි ඉදිරියට ගෙන ගියේ කොංග්‍රසය යටතේ ආරම්භ කෙරුනු ආර්තික ප්‍රතිව්‍යහකරන වැඩපිලිවෙල යි. එම පිලිවෙත පෙරලා තුඩු දුන්නේ, ගැබුරු වන සමාජ ද්‍රවාන්තගත වීමකට හා බීජේපීයේ සහයෝගී පදනම් අතර පරත්වාරෝපනය පිලිබඳ වැඩෙන අදහසකට යි.

එන්ඩීඒ සභාගය තුල මෑතම අර්බුදයට පිටුපසින් පවතින්නේ තමන්ගේ මැතිවරන අපේක්ෂාවන් පිලිබඳ සියලු පක්ෂ තුල පවත්නා නොසන්සුන් භාවයයි. බීජේපීය සහ එහි සහකරුවෝ, කලින් බීජේපීයේ සුරක්ෂිත පදනමක් ලෙස සැලකුනු උත්තර් ප්‍රදේශ් ඇතුලු මෑතම ප්‍රාන්ත මැතිවරන රැල්ල තුල දී බලගතු පරාජයකට ලක් වූහ.

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය, ජාතික මැතිවරන සඳහා බලගතු ඉල්ලීමක් කර නැතුවා මෙන් ම එන්ඩීඒයේ කිසිදු හවුල්කරුවකු තම පාර්ශ්වයට ඇද ගැනීමේ උත්සාහයක් ද දරා නැත. එයට පැහැදිලි හේතු පවතී. බීජේපීය විසින් අත්විඳි මැතිවරන පරාජයන් කොංග්‍රසය සඳහා කිසිදු සැලැකිය යුතු ජයග්‍රහනයක් අත් කර දී නැත. නිදසුනක් ලෙස, උත්තර් ප්‍රදේශ්හි දී, කොංග්‍රසය වැටී ඇත්තේ බීජේපීයට හා ප්‍රාදේශීය පක්ෂ දෙකකට පිටුපසින් හතර වන තැනටයි.

හින්දු අන්තවාදයට ආයාචනා කිරීම මගින් සිය පදනමට මුක්තු ගසා ගැනීමේ උත්සාහයන්ට එරෙහිව ජාත්‍යන්තර මාධ්‍ය බීජේපීයට අනතුරු අඟවා තිබේ. ඉකොනමිස්ට් සඟරාව මෙසේ ප්‍රකාශ කලේය: 'පුලූල් වන දේශපාලන ඉරිතැලීම්වල හා වැඩෙන ආගමික ප්‍රචන්ඩත්වයේ සංයෝජනයක් මගින් අදහස් කෙරෙන්නේ ඉන්දියාව තවත් කනගාටුදායක කාල පරිච්චේදයකට අවතීර්න වන බවයි.' ෆාර් ඊස්ටර්න් ඉකොනමික් රිවීව් දේශපාලන අස්ථාවරත්වයේ අන්තරාය පිලිබඳ භීතීන් ප්‍රකාශයට පත් කොට 'හින්දු අන්තවාදීන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප' කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මෙම අදහස් දැක්වීම් මගින් පිලිඹිබු කෙරෙන්නේ, ප්‍රජාගනවාදී දේශපාලනයේ සරන සෙවීමේ ඕනෑම ප්‍රයත්නයක් ඉන්දියානු උප-මහාද්වීපයේ දේශපාලන අස්ථාවරත්වය උත්සන්න කිරීමට පමනක් ම හේතු වනු ඇත යන්න පිලබඳව ජාත්‍යන්තර පාලක කව තුල පවත්නා භීතියයි. තවත් උත්සුකතාවක් නම්, බීජේපී නායකත්වයෙන් යුත් සභාගය බිඳ වැටුන හොත් කිසිදු පැහැදිලි විකල්පයක් නැතිකමයි. දැනටමත් පුලූල් ලෙස විශ්වාසභංගයට ලක්ව ඇති කොංග්‍රසය, ස්වකීය පාලනයක් පිහිටුවීමේ තත්වයක සිටින බවක් පෙනෙන්ට නැත. ප්‍රතිපලය බොහෝ සෙයින් විය හැක්කේ, අස්ථාවර සභාග ආන්ඩු මාලාවක් වන අතර එවන් තත්වයක් විදේශ ආයෝජකයන් විසින් ඉල්ලා සිටිනු ලබන වෙලඳ පොල ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම අසීරු කරනු ඇත.

කෙටි කාලීනව, බීජේපීය තවත් සන්ධානයන්ගේ පිහිට සෙවීම දැනටමත් අරඹා ඇත. එය, තමිල්නාඩුවේ ප්‍රාදේශීය පක්ෂයක්, එනම් එහි වත්මන් සහකරුවා වන ඩීඑම්කේ සංවිධානයට වඩා වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් ජාතික පාර්ලිමේන්තුව තුල සිටින ඒඅයිඒඩීඑම්කේ, වෙත ප්‍රවිශ්ඨ වී තිබේ. ඩීඑම්කේ, තමන්ගේ පාර්ශ්වයෙන්, නිවේදනය කර ඇත්තේ, මෙම ප්‍රවිශ්ඨයන් හේතු කොට ගෙන තමන් තමිල්නාඩුවේ ප්‍රාදේශීය බීජේපී ඒකකය සමග තව දුරටත් වැඩ නොකරන බවයි.

එහෙත් බීජේපීයේ සන්ධානයන් සියල්ල, එම පක්ෂය තුල ම සිටින හින්දු අන්තවාදීන්ගේ හා වීඑච්පී වැනි සහයෝගී සංවිධානවල ක්‍රියාවන් මගින් පහසුවෙන් ම බිඳී යා හැකිය. රාම් කෝවිල ගොඩනැගීමේ ව්‍යාපෘතිය සඳහා සහයෝගය බලමුලූ ගැන්වීමට තමන් සැලසුම් කරන බවට වීඑච්පීය දැනටමත් සඳහන් කොට ඇත.

බීජේපීය සමග සමීප සබඳතා තිබෙන ෆැසිස්ට් සංවිධානයක් වන රාශ්භීය ස්වයම් සේවක් සංග් (ආර්එස්එස්) දෙසතියකට ඉහත දී පැවති සිය සම්මේලනයේ දී, ප්‍රජාගනවාදී ආතතීන් තව දුරටත් අවුලූවාලන යෝජනාවක් සම්මත කලේය. ඉන්දියාව තුල, ආරක්ෂිතව විසීමට නම්. මුස්ලිම් ජනයා රටේ හින්දු බහුතරයේ හොඳහිත දිනා ගත යුතු යයි එහි සඳහන් කෙරුනි. වජ්පායි සහ සෙසු ජ්යෙෂ්ඨ බීජේපී නායකයෝ දිගුකාලීන ආර්එස්එස් සාමාජිකයෝ ය.

මුස්ලිම් ජනයාට විරුද්ධ ප්‍රචන්ඩ ක්‍රියා අඛන්ඩව සිදු වේ. ප්‍රාන්තය තුල තත්වය පාලනය කර ඇති බවට ගුජරාට් මහ ඇමති නරේන්ද්‍ර මෝඩි සහතික වී ඇතුවා වූ නමුත්, ප්‍රාන්තයේ මුස්ලිම්වරු අතර 'අනාරක්ෂාව පිලිබඳ හැගීමක්' තවමත් පවතින බව ජාතික මානව අයිතීන් කොමිෂමේ සභාපති ජේ.එස්. වර්මා මෑත පැවති ප්‍රවෘත්ති සාකච්චාවක දී පැවසීය. මෝඩි බීජේපීයේ සාමාජිකයෙක් හා ආර්එස්එස් ආධාරකරුවෙක් වේ.

බැරෝඩා, වඩ්ගම්, මොඩාසා, කල්පූර්, දරියාපූර්, ශාහ්පූර්, හිමාට්නගර්, ගොධරා සහ පංච්මහල් දිස්ත්‍රික්කයේ ස්ථාන ගනනාවක් ඇතුලූව ගුජරාටයේ නගර ගනනාවක් ම මෙම සතිය තුලත් දින නියමයක් නැති ඇඳිරි නීතිය යටතේ පැවතුනි. පසුගිය සතියේ බැරෝඩා නගරයේ දෙදෙනෙක් පිහි ඇනුම් මගින් මරනයට පත් වූ අතර, අහමබාද්හි දී තවත් හය දෙනෙක් ඝාතනයට ලක් වූහ.

කලින් ගුජරාටයට පමනක් සීමා වී පැවතුනු ප්‍රජාගනවාදී ප්‍රචන්ඩ ක්‍රියා සෙසු ප්‍රාන්තවලට ද පැතිර ගොස් ඇත. මාර්තු 16 දා, හින්දු අන්තවාදීන් ගනනාවක්, රාම් කෝවිලට පක්ෂ සටන් පාඨ හඬ තලමින්, ඔරිස්සාහි ප්‍රාන්ත සභා ගොඩනැගිල්ලට කඩා වැදී එය වැනසූහ. වයඹ දිග ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ හින්දු ස්වෝත්තමවාදී නඩ මුස්ලිම් නිවාසවලට හා පල්ලියකට ගිනි තැබූහ. මාර්තු 25 දා, හින්දු ප්‍රජාගනවාදියෝ, රාජස්ථාන් ප්‍රාන්තයේ අගනුවර වන ජායිපූර් සිට කි.මී. 90ක් දුරින් පිහිටි මුහාරම්හි මුස්ලිම්වරුන්ගේ පෙලපාලියක් නතර කලහ. එම අවුල තුල දී සෙනඟට පෑගීමෙන් හෝ පොලිස් වෙඩිතැබීමක ප්‍රතිපලය ලෙස, එක් අයෙක් මිය ගියේය.

අදාල වෙනත් ලිපි

ඉන්දියාව

තමිල්නාඩු රජය බස් වැඩ වර්ජනය තලාදැමීම සඳහා මර්දනය උත්සන්න කරයි

2002 පෙබරවාරි 15

ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරය ඉන්දු-පකිස්තාන යුද්ධයක අන්තරාය ඉහල නංවයි

2002 පෙබරවාරි 07

[මෙම ලිපිය 2002 මාර්තු 30 වැනි දින Indian ruling coalition in disarray over communal campaign යන මැයෙන් ඉංග්‍රීසි බසින් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading