ශ්‍රී ලංකා ජනාධිපති දේශපාලන අතුරක ගමන්‌ කරයි

සුනාමි සහන කටයුතු මෙහෙයවීම පිනිස දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සමග ඒකාබද්ධ මන්ඩලයක් ගොඩනගා ගැනීමේ උත්සාහය හමුවේ, ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ආන්ඩුව තුලින් ද පිටතින් ද එල්ල වන තියුනු විරෝධයකට මුහුන දී සිටී. ඊලඟ සතියට නියමිතව තිබෙන ඒ පිලිබඳ ගිවිසුම අත්සන් කිරීම නවතාලීමේ උද්ඝෝෂනය මෙහෙයවනු ලබන්නේ ඇගේ ආන්ඩුවේ ප්‍රධාන සහකරු වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසිනි.

එක්සත් ජනපදය හා සෙසු බලවතුන් වෙතින් එල්ල වන පීඩනය හමුවේ, එල්ටීටීඊය සමග ඒකාබද්ධ මන්ඩලයක් පිහිටුවීම ජනාධිපතිනිය සඳහා තීරනාත්මක කාරනාවක් බවට පත්ව තිබේ. එක්සත් ජනපදය, යුරෝපීය සංගමය සහ ජපානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගන්නා ලද්දේ, එල්ටීටීඊ පාලනය යටතේ පවත්නා ප්‍රදේශවලට සුනාමි සහන අරමුදල් එවීමේ ක්‍රමයක් ලෙස ය. එවන් සැකැස්මක් මගින් අත්පත් කර ගත හැකි අමතර වාසියක් වනු ඇත්තේ, එල්ටීටීඊය හා කොලඹ ආන්ඩුව අතර පවත්නා විසි වසරකට වඩා දීර්ඝ ගැටුම අවසන් කරලීමේ සාම සාකච්ඡා ක්‍රියාදාමයේ හිරවීම ජයගෙන සාකච්ඡා යලි ඇරඹීම පිනිස බල කරනු සඳහා එය යොදා ගත හැකි වීමයි.

කුමාරතුංග යෝජනාවට එකඟ වුවත්, එය එල්ටීටීඊයට පිලිගැනීමක් ලබාදීමකට සමාන වන බව පවසමින් ජවිපෙ එය හෙලා දැක ඇති බැවින්, එය ක්‍රියාවට දැමීම හිතාමතා පමා කිරීමට ඇයට සිදුව ඇත.

තමන් එල්ටීටීඊය සමග එකඟතාවකට ඒමට සූදානමින් සිටින බව කුමාරතුංග පසුගිය මස යලි අවධාරනය කල විට, ආතතීන් තියුනු විය. එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා සහ නෝර්වේජියානු විශේෂ නියෝජිත එරික් සොල්හෙයිම් යන දෙදෙනා ම ආන්ඩුවේ හා විපක්ෂයේ නායකයන් සමග සාකච්ඡා කරනු පිනිස ශ්‍රී ලංකාවට පැමිනීමත් සමග, සාම සාකච්ඡා යලි අරඹන ලෙස එක්සත් ජනපදයෙන් හා යුරෝපීය සංගමයේ බලවතුන්ගෙන් එල්ල වන පීඩනය වර්ධනය කෙරුනි.

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් මැයි 16-17 දිනවල මහනුවර දී පැවැත්වීමට නියමිත සංවර්ධන සමුලුවට පෙරාතුව දෙපාර්ශ්වය ම ඒකාබද්ධ මන්ඩලයක් පිහිටුවීම දෙසට පියවර ගත යුතු යයි ආධාර දෙන රටවල් අදහස් කරන බව රාජ්‍යතන්ත්‍රිකයන් මාධ්‍යවලට පවසා ඇත. ඒකාබද්ධ යාන්ත්‍රනය එම සමුලුවේ දී ප්‍රධාන මාතෘකාවක් බවට පත් වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශකයකු ඩේලි මිරර් පත්‍රයට පවසා ඇති තතු යටතේ, මෙම දින වකවානු ජනාධිපතිනිය සඳහා නියමිත අවසන් දින බවට පත්ව ඇත. ඒකාබද්ධ යාන්ත්‍රනය දියත් කිරීමෙන් අනතුරුව, 'සහන හා යලි ගොඩනැගීමේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් එවීමට අපට හැකි වනු ඇතැ 'යි ඔහු පැවසී ය.

නියමිත දිනයට අනුව ක්‍රියා කිරීමට කුමාරතුංග අපොහොසත් වුව හොත්, සුනාමි සහනාධාර සඳහා පොරොන්දු වී ඇති ඩොලර් කෝටි ගනනක මුදල් නොලැබී යනු ඇත. ශ්‍රී ලංකාවේ භාන්ඩාගාර ලේකම්ට අනුව, පොරොන්දු වී ඇති ඩොලර් බිලියන 1.8ක මුදලින් නිශ්චිත එකඟතා ලැබී ඇත්තේ ඩොලර් මිලියන 750කට පමනි.

සියලු සිංහල ස්වෝත්තමවාදී බලවේග වෙතින්, අන් සියල්ලට මත් වඩා ඇගේ ම සභාග හවුල්කරු වන ජවිපෙන්, එල්ල වන බලගතු විරෝධයට තමන් මුහුන දෙන බව දැනුවත් කුමාරතුංග, ඒකාබද්ධ යාන්ත්‍රනය සඳහා සහයෝගය ගොනු කර ගැනීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටී. අවදානම ඉහල ය. මැයි 3 දා පැවති බෞද්ධ හා ක්‍රිස්තියානි නායකයන්ගේ රැස්වීමක් අමතමින් ඇය කියා සිටියේ, මෙම 'ක්‍රියාදාමයේ දී ආන්ඩුව වැටී ' තමන්ගේ 'ජනාධිපති තනතුර පවා අහිමි විය ' හැකි නමුත් එම දේවල් 'රටට සාමය ගෙන ඒම මෙන් ' ජාතික අවශ්‍යතා නොවන බවයි.

සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරවල හරි මැද සිටින බෞද්ධ භික්ෂූන් සනසාලීමේ උත්සාහයක් ලෙස, කුමාරතුංග කියා සිටියේ, 'එල්ටීටීඊය සාකච්ඡා මේසයට ගෙන ඒමේ දේශපාලන හැකියාව ඉහල මට්ටමක ' පවතින බවයි, 'එල්ටීටීඊය ප්‍රථම වතාවට ආන්ඩුවේ ස්වෛරී භාවය පිලිගැනීමට එකඟ වී ඇති ' බවයි.

ස්වෝත්තමවාදී විරුද්ධත්වය පිලිබඳව නොසන්සුන් වී ඇති කුමාරතුංග ඒකාබද්ධ මන්ඩලය සම්බන්ධ විස්තර ප්‍රසිද්ධියේ හෙලි කිරීමට තවමත් මැලිව සිටී.තමන්ට ඒ සම්බන්ධ ලියවිල්ලේ කෙටුම්පතක් බැලීමට අවශ්‍ය බව ආගමික නායකයන් ඉල්ලා සිටි කල, එය කල නොහැකි බව පැවසූ ඇය එහෙත් සංවෘත සාකච්ඡාවක දී ඒ පිලිබඳ විස්තර සම්පාදනය කලා ය.

මාධ්‍යවලට කාන්දු කෙරී ඇති තොරතුරුවලට අනුව, එම මන්ඩලය පශ්චාත්-සුනාමි කලමනාකරන ව්‍යුහය ලෙස හැඳින්වෙන අතර වසරක කාලයකට සීමා වනු ඇත. එහි ක්‍රියාකාරිත්වය උතුරේ හා නැගෙනහිර සුනාමියෙන් විපතට පත් දිස්ත්‍රික්ක හයක මුහුදේ සිට කිලෝ මීටර් 2ක දුරකට සීමා වනු ඇත. ඉහල ජාතික මන්ඩලය -- ආන්ඩුවෙන්, එල්ටීටීඊයෙන් හා මුස්ලිම් සංවිධානයකින් පත් කෙරෙන -- නියෝජිතයන් තිදෙනකුගෙන් සමන්විත වනු ඇත ප්‍රාදේශීය මන්ඩලය එල්ටීටීඊ සාමාජිකයන් පස් දෙනෙකුගෙන්, මුස්ලිම් නියෝජිතයින් තිදෙනෙකුගෙන් හා ආන්ඩුවේ නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත වනු ඇත.

විරුද්ධත්වය එල්ල වන්නේ සිංහල ස්වෝත්තමවාදීන් වෙතින් පමනක් නොවේ. පසුගිය සතියේ දී කුමාරතුංග මුස්ලිම් සාම ලේකම් මන්ඩලයේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වී ය. මෙම මන්ඩලය විශාල වසයෙන් ඇගේ පාලක සභාගයට ද විපක්ෂය සමග පෙල ගැසී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට (ශ්‍රීලමුකො) ද අයත් මන්ත්‍රීන්ගෙන් සැදුනකි. ශ්‍රීලමුකො සාමාජිකයන් පමනක් නොව ආන්ඩුවේ සමහර මුස්ලිම් මන්ත්‍රීවරු පවා තමන්ට එල්ටීටීඊය සමග වැඩ කල නොහැකි බව පෙන්නුම් කලහ. මෙම විරුද්ධත්වයට ගාමකය සැපයෙන්නේ, යලි ගොඩනැගීමේ හා සහන වැඩකටයුතුවලට ලැබෙන මුදල් තමන්ට අහිමිව යා හැකි බවට මුස්ලිම් ප්‍රභූවේ සමහර කොටස් අතර පවත්නා භීතිය මගිනි.

සිය සැලසුම් පැහැදිලි කරනු පිනිස පසුගිය සිකුරාදා කුමාරතුංග ජවිපෙ නායකයන් හමු විය. ඒකාබද්ධ මන්ඩලයක් එල්ටීටීඊයට 'පිලිගැනීමක් ' ලබා දෙමින් හා 'එක්සත් ජාතීන්ගේ පිලිගැනීමට මාවත සකසමින් ' එල්ටීටීඊයේ අත ශක්තිමත් කරනු ඇති බවත් යෝජිත සැලසුම යටතේ එල්ටීටීඊයට 'විධායක බලතල ' පවා ලැබෙනු ඇති බවත් ජවිපෙ අවධාරනය කර තිබේ.

මේවා වනාහි වර්ගෝත්තමවාදය ඇවිලවීමේ එල්ලය සහිත සම්පූර්න අතිශයෝක්ති ය. එල්ටීටීඊය ඒකාබද්ධ යාන්ත්‍රනයට එකඟ වී ඇත්තේ, යුද්ධයට ඊනියා 'දේශපාලන විසඳුමක් ' නියම කිරීමෙහි ලා මහ බලවතුන්ගේ මැදිහත්වීම පිලිගැනීමට තමන් සූදානම බව ප්‍රදර්ශනය කිරීම සහ තමන් පාලනය කරන ප්‍රදේශවලට අරමුදල් ලැබීම සහතික කර ගැනීම පිනිස ය. සුනාමියෙන් මාස පහකට ආසන්නව ඇති මේ අවස්ථාවේ දී, දැනටමත් යුද්ධයෙන් විනාශයට පත්ව ඇති මෙම ප්‍රදේශවල ජනතාව අතර වෛරය නැගෙමින් පවතී.

මේ වන තෙක්, ජවිපෙ කුමාරතුංගගේ ඉල්ලීම හමුවේ සිය ස්ථාවරය වෙනස් කර ගෙන නැත. එය 'ඒකාබද්ධ යාන්ත්‍රනය එපා ' යන සටන් පාඨය යටතේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇත. එයින් පලමුවැන්න පසුගිය අඟහරුවාදා පැවැත්වුනි.

බලපෑම තියුනු කරනු පිනිස, ජවිපෙ, ඒකාබද්ධ යාන්ත්‍රනයට එරෙහිව උද්ඝෝෂනය කිරීමට සිය පෙරමුනු සංවිධානය වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මුදා හැර ඇත. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශක ඇල්ලේ ගුනවංශ භික්ෂුව මාධ්‍යවලට පැවසුවේ, 'ආගමික හා සිවිල් සමාජ සංවිධාන 30කට අධික ගනනක් අපගේ උද්ඝෝෂනයට සහයෝගය ප්‍රකාශ කර ඇති ' බවයි. භික්ෂූන් අතර ක්‍රියාත්මක වන ජවිපෙ පෙරමුනු සංවිධානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, ආන්ඩුව එල්ටීටීඊයට ඒකාබද්ධ යාන්ත්‍රනයක් දීමට සමත් වනු ඇත්තේ තමන්ගේ මල මිනී මතින් පමනක් බවයි.

සිංහල ස්වෝත්තමවාදීන්ගේ සහයෝගය සඳහා ජවිපෙ සමග තරඟ වැද සිටින, බෞද්ධ භික්ෂූන් විසින් මෙහෙයවනු ලබන තවත් සංවිධානයක් වන ජාතික හෙල උරුමය ද මෙම උද්ඝෝෂනයට බැස ගෙන තිබේ.

ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය (එජාප), සියලු ධනේශ්වර පක්ෂවල ගති ස්වභාවයට අනුකූලව, දෙපිටකාට්ටු ක්‍රියාකලාපයක් ඉටු කරමින් සිටී. පසුගිය මාස කිහිපය තුල දී එය කුමාරතුංග විවේචනය කරමින් සිටියේ, ආධාර බෙදා හැරීමත් යලි ගොඩනැගීමේ වැඩ කටයුතු ඇරඹීමත් පිනිස එල්ටීටීඊය සමග සැලසුමක් සකස් කර නොගැනීම ගැන ය. එහෙත් ඒකාබද්ධ යාන්ත්‍රනයට එරෙහි උද්ඝෝෂනය ඉහලට යත් ම, එජාප, සිංහල ස්වෝත්තමවාදී ඡන්ද පදනම් දෙස තදින් ඇස ගසා ගෙන, ආන්ඩුවට සහයෝගය නොදීමට තීන්දු කොට ඇත. ඒකාබද්ධ යාන්ත්‍රනය ගැන කෙරෙන පැහැදිලි කිරීමේ හමුවක් සඳහා කුමාරතුංග කල ආරාධනය ප්‍රතික්ෂේප කරමින්, එජාප නායක රනිල් වික්‍රමසිංහ ලිඛිතව දන්වා සිටියේ, 'ආන්ඩුව එල්ටීටීඊය සමග අවසන් එකඟතාවකට පැමිනි වහා ම ' තම පක්ෂය ප්‍රතිචාර දක්වන බවයි.

ඔවුන්ගේ පාර්ශ්වයෙන් එල්ටීටීඊය භීතියට පත්ව ඇත්තේ යම් විසඳුමක් සහතික කර ගැනීම පිනිස මහ බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඇති අවස්ථාවක් තමන්ට අහිමි වී යාමේ හැකියාව ගැනයි.

සෙසු පාර්ශ්වයන් මෙන් ම, ඔවුහු ද ගලා එන ආධාර හා සෙසු අරමුදල් ස්වකීය දේශපාලන වාසිය තකා යොදා ගැනීමට මාන බලමින් සිටිති. තුන් වසරක් තිස්සේ පවතින සටන් විරාම ගිවිසුම දැන් 'අනතුරට ලක්ව ' ඇතැයි එල්ටීටීඊ දේශපාලන නායක එස්.පී. තමිල්චෙල්වම් මැයි 7 දා රොයිටර් ප්‍රවෘත්ති සේවයට දුන් සම්මුඛ සාකච්ඡාවක දී පැවසී ය. ආධාර දෙන රටවල් හා ආයතන මගින් පොරොන්දු වී ඇති ඩොලර්බිලියන 2ක ආධාර බෙදා ගැනීමේ වැඩපිලිවෙල කුමාරතුංග හිතාමතාම ප්‍රමාද කරන බවත් ගිවිසුමක් අත්සන් කරනු ලැබුවත් එය ක්‍රියාවට දැමෙනු ඇති ද යන වග සැක සහිත බවත් ඔහු පැවසී ය.

මෙම ගැටුම ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල තියුනු බෙදීම්වලට තුඩු දී ඇත. ඩේලි මිරර් පත්‍රය එජාපයේ ආස්ථානය ගැන උත්සුකතාව ප්‍රකාශ කලේ, 'අවස්ථාවාදී දේශපාලන පිලිවෙත් අනුගමනය කිරීම, සහ එනයින් රටේ වඩා පුලුල් අවශ්‍යතා අනතුරේ හෙලීම ' සිය අධිෂ්ඨානය නොවේ නම්, විපක්ෂය කල යුත්තේ ඒකාබද්ධ යාන්ත්‍රනයක් නිර්මානය කිරීමේ ආන්ඩුවේ සැලසුම්වලට සහාය දීම බවයි.

කෙසේ වෙතත්, සෙසු මාධ්‍ය ජවිපෙ උද්ඝෝෂනයට ප්‍රමුඛත්වයක් දී තිබේ. මැයි 6 දා පල වූ දි අයිලන්ඩ් කතුවැකියක් පොදු රටාව සම්බන්ධයෙන් ආදර්ශයක් සැපයීය: 'ත්‍රස්තවාදී සංවිධානයක් එක්සත් ජනපදයට, එක්සත් රාජධානියට සහ යුරෝපීය සංගමයේ සෙසු රටවලට සවන් දීම ප්‍රතික්ෂේප කරමින්, ලමා සොල්දාදුවන් බඳවා ගැනීමේ, කප්පම් ගැනීමේ, දේශපාලනඥයන් ඝාතනය කිරීමේ, ප්‍රතිවාදීන් සමූලඝාතනය කිරීමේ දිගට ම යෙදී ගන්නේ නම්, එය පාලනය කිරිමේ හැකියාව ඇත්තේ මේ ග්‍රහලෝකයේ මොන රටට ද? එය එවන් අපරාධවල දිගට ම යෙදී ගන්නා කල, නීතියුක්ත ආන්ඩුවකට එම සංවිධානය සමග හවුල්කාරකමක් පවත්වා ගත හැක්කේ මොන බම්බුවකට ද? ' ආන්ඩුව තත්වය ගැන වඩ වඩා නොසන්සුන් වෙමින් සිටී. ජවිපෙ තම මන්ත්‍රීන් 39 දෙනාගේ සහයෝගය ඉවත් කර ගත හොත්, ආන්ඩුව බිඳ වැටිය හැකි ය නැත හොත් සුලුතරයක් ලෙස ආන්ඩු කිරීමට එයට බල කෙරෙනු ඇත. මහ බලවතුන්ගේ පීඩනයට මුහුන දී සිටින අතරතුරම, ස්වෝත්තමවාදීන්ගේ හෝ මිලිටරියේ සහයෝගය අහිමි කර ගැනීම ද කුමාරතුංගට අවශ්‍ය නැත. හිරවීම ගැන විමසූ කල, විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා සිටියේ, ජනාධිපතිනියගේ පාර්ශ්වයෙන් ඒකාබද්ධ යාන්ත්‍රනයට 'දැඩි කැපවීමක් ' පවතින බවයි. එහෙත් ඔහු වහාම තව දුරටත් පැවසුවේ ආධාර දෙන ඒජන්සි අවසාන දින නියම කිරිම මගින් ආන්ඩුව මත පීඩනය යොදා 'සංවේදිතාවන් උත්සන්න කිරීමට ' ක්‍රියා නොකල යුතු බවයි.

කුමාරතුංග ඉදිරියේ තෝරා ගැනීමට ඇති විකල්පයන් දෙක ම කටුක ය. එක අතකින්, ඇය ඒකාබද්ධ යාන්ත්‍රන ලියවිල්ල අත්සන් කල හොත් ඇයට ජවිපෙ සහයෝගය අහිමි වී එය ඇගේ ආන්ඩුවේ බිඳ වැටීමට තුඩු දිය හැකි ය. අනෙක් අතට, ඇය එයට අත්සන් නොකල හොත්, ඇගේ ප්‍රතික්ෂේපය සටන් විරාම ගිවිසුමට එරෙහි අවසන් ප්‍රහාරයක් විය හැකි අතර එය සිවිල් යුද්ධය යලි ඇවිලීම සඳහා මාවත සකසනු ඇත. මෙම උභතෝකෝටිකය ඇගේ ම නිර්මානයකි. එජාප නායක වික්‍රමසිංහ අගමැති ලෙස සිටි කල, කුමාරතුංග, ඔහුගේ ආන්ඩුව විසින් ආරම්භ කරන ලද සාම ක්‍රියාදාමයට එරෙහිව මිලිටරිය. ජවිපෙ හා සිහල උරුමය රැලි කිරීමෙහි ලා ප්‍රධාන ක්‍රියාකලාපය ඉටු කලාය.

එමෙන් ම, සුනාමියෙන් මාස පහකට ආසන්න කලකට අනතුරුව, විපතට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනයාට අත්‍යවශ්‍ය සහන හා ප්‍රතිනිර්මාන ආධාර තවමත් ලැබී නැත. ශ්‍රී ලංකාවේ සියලු ම ධනේශ්වර පක්ෂ අංග ලක්ෂනය කරන වර්ගෝත්තමවාදී දේශපාලනයේ ප්‍රතිගාමී තර්කනය එයයි.

[මෙය 2005 මැයි 14 වැනි දින Sri Lankan president on a political tightrope යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading