හැරල්ඩ්‌ පින්ටර්ගේ නොබෙල්‌ ත්‍යාග දේශනය: නිර්භීත කලාකරු එක්සත්‌ ජනපද අධිරාජ්‍යවාදය පිලිබඳ සත්‍යය හෙලි කරයි

මේ වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී, බ්‍රිතාන්‍ය නාට්‍ය රචක හැරල්ඩ් පින්ටර් පසුගිය දා ස්වීඩන ශාස්ත්‍රාලය වෙත උද්වේගකර, සත්‍යවාදී හා ධෛර්යසම්පන්න බාර ගැනීමෙහි කථාවක් ඉදිරිපත් කලේ ය. The Homecoming (දෙවැනි ගමන) සහ The Caretaker (මුරපල්ලා) බඳු කීර්තිධර නාටකයන්හි කතුවරයා වන පින්ටර් වෙහෙස නොතකා සිය ප්‍රබල දේශනය පැවැත්වූයේ ඉරාක යුද්ධයට ද, බෝල්කන්හි, මධ්‍යම ඇමරිකාවෙහි හා වෙනත් රටවල් තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කෙරෙන්නා වූ කොල්ලකෑම්වලට ද එරෙහිව ය.

පින්ටර් තම සම්මානය බාර ගැනීමෙහි කථාව එකී අරගලයෙහි ව්‍යාප්තිය හා වර්ධනය වෙනුවෙන් උපයෝග කොට ගත්තේ දෙවන ලෝක සංග්‍රාමයෙන් මෙපිට කාල පරිච්ඡේදය තුල එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති යෙහි සමස්ත ක්‍රියාකලාපය සැර පරුෂ ලෙස විවේචනය කරමින් සහ වොෂින්ටනයෙහි කනිටු සහකරු හා හවුල්කරු ලෙස බ්‍රිතාන්‍යයෙහි භූමිකාව දෝෂ දර්ශනයට ලක් කරමිනි.

ජෝර්ජ් බුෂ් සහ ටෝනි බ්ලෙයාර් යුද අපරාධකරුවන් ලෙස නොවලහා ප්‍රකාශ කල පින්ටර් යුද්ධයට හා මිලිටරිවාදයට එරෙහිව බහුජන ප්‍රතිරෝධයක් කැඳවුම් කලේ මහත් උද්යෝගයෙනි.

බ්‍රිතාන්‍යයෙහි නිපදවනු ලැබ ස්ටොක්හෝම්හි එකලස් කොට රැස්ව සිටි පිරිස හමුවේ ප්‍රදර්ශනය කෙරුනු වීඩියෝ පටයක ස්වරූපයෙන් මේ සැත්තෑ පස් හැවිරිදි නාට්‍ය රචකයා, තිර රචකයා, කවියා සහ යුද විරෝධී ක්‍රියාකාරිකයා සිය කථාව ඉදිරිපත් කලේ ය. අන්නශ්‍රෝත පිලිකාවක් සඳහා මෑත දී ප්‍රතිකාර ලද පින්ටර්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බැවින් වෛද්‍ය උපදෙස් මත ස්වීඩනයට සැපත් වීමෙන් වැලකී සිටීමට ඔහුට සිදු විය. වීඩියෝ පටය මත ඔහු පෙනී සිටියේ රෝද පුටුවක වාඩි වී දනහිස් මත කම්බිලියක් එලාගෙන ය. ඔහුගේ හඬ බැරෑරුම් වුව, වාර්තා වන අන්දමට, තේජෝ බලයෙහි කිසි අඩුවක් තිබී නැත.

“කලාව සත්‍යය හා දේශපාලනය” නමැති පින්ටර්ගේ දේශනය ප්‍රබෝධජනක වූ අතර ම දශක ගනනාවක් පුරා ලොව නොයෙක් ප්‍රදේශවල එක්සත් ජනපද බලාත්කාරයෙහි, ප්‍රචන්ඩත්වයෙහි හා ආක්‍රමනයෙහි විනාශකාරී බලපෑම ගැන කියැවුනු අව්‍යාජ හා අපේශල විලාසය අතින් විමුක්තිකාමී ද වූවකි. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සමග සහයෝගීව මුසාවාද ඇද බෑමෙහිත් අපරාධ වහංගු කිරීමෙහිත් මුලුමනින් නිරතව සිටි ගාර්ඩියන්, නිව්යෝර්ක් ටයිම්ස් බඳු බ්‍රිතාන්‍ය හා ඇමරිකානු සංස්ථාපිතයේ ඇතැම් පුවත්පත්වලට පවා පින්ටර්ගේ වදනෙහි බලවත් ආනුභාව කිසියම් දුරකට වාර්තා නොකොට බැරි විය.

ස්වකීය නාට්‍ය කෘති සමූහය හා කලාව කෙරෙහි සිය ප්‍රවේශය පිලිබඳ කතාබහකින් පින්ටර් තම දේශනයට මුලපිරුවේ මතු දැක්වෙන නිරීක්ෂනය ද සමගිනි: “1958 දී මම මෙලෙස ලිවීමි: ව්‍යාජය හා අව්‍යාජය අතර මෙන් ම සත්‍යය හා අසත්‍යය අතර ද කැපී පෙනෙන වෙනසක් නොමැත. යමක් අවශ්‍යයෙන් ම සත්‍ය නැතිනම් අසත්‍ය නො වේ; එය සත්‍ය මෙන් ම අසත්‍ය ද වීමට පුලුවන.

“මේ කියමන තවමත් අරුත්බර යයි මා විශ්වාස කරන අතර එය කලාව ඔස්සේ යථාර්ථ ගවේෂනයෙහි ලා දැනුදු අදාල වෙයි. එහෙයින්, ලේඛකයෙකු වසයෙන් මා ඊට පක්ෂපාතී වන නමුත් පුරවැසියෙකු වසයෙන් මට එසේ කල නොහැක. පුරවැසියෙකු හැටියට මා මෙලෙස ඇසිය යුතු ම ය: කුමක් සත්‍ය ද? කුමක් අසත්‍ය ද? ” අනතුරුව, සිය නාටක රචනා කෙරුනු සංකීර්න හා දුර්ග්‍රාහ්‍ය සන්තතිය කෙරෙහි අන්තර්දෘෂ්ටියක් විහිදුවමින් තම මූලික සැලකිල්ල යොමු වී තිබුනේවැදගත් මානව හා සමාජ සත්‍යයන් සොයා ගැනීමෙහි ලා භාෂාව, කථා වස්තුව හා චරිත පාත්‍ර උපයෝගී කොට ගැනීම කෙරෙහි බැව් හෙතෙම පැහැදිලි කලේ ය.

කලාව, භාෂාව හා සත්‍යය අතර පවතින සබඳතාව පිලිබඳව ඔහු මෙසේ පැවසී ය: “කලාව තුල භාෂාව පවතිනු යේ බොහෝ ධ්වනිතාර්ථ සම්ප්‍රේෂනයක්, බොරු වැල්ලක්, සර්කස් දැලක්, කවර මොහොතක වුව ඔබේ, කතුවරයාගේ, දෙපතුලට යටින් බිඳී යා හැකි මිදුනු පොකුනක් හැටියට ය.

“එහෙත්, මා කී පරිදි, සත්‍යය සෙවීම කිසිසේත් නතර කල නොහැක. එය විලම්බනය කල නොහැක; කල් දැමිය නොහැක. වහා ම, එතැන දීම, ඊට මුහුන දිය යුතු ය.” නාට්‍යය පිලිබඳව ඔහු දරන අදහස් හා ඉතිාහාසය හා දේශපාලනය පිලිබඳව ඔහු දරන අදහස් එකිනෙකට සම්බන්ධ කෙරුනේ සත්‍යය සෙවීමෙහි හා එය ඉදිරිපත් කිරීමෙහි වගකීම නමැති මෙකී තේමාව විසිනි. ඔහු මෙසේ තෙපලේ ය: “ අපට දකින්ට තිබෙන සාක්ෂි අනුව, දේශපාලනඥයන් බහුතරය බලය පිලිබඳව හා බලයේ රැඳී සිටීම පිලිබඳව විනා සත්‍යය පිලිබඳව උනන්දු නොවන බැවින් ඔවුන් භාවිතා කරන දේශපාලන භාෂාව මේ එකදු කටයුත්තකට වත් අත නොතබ යි. බලය රැක ගැනීම සඳහා ජනතාව අවිද්‍යාවෙහි ගිල්වා තැබීමත් ඔවුන් සත්‍යය - තමන්ගේ ම ජීවිත පිලිබඳ සත්‍යය පවා නොදැන සිටීමත් අත්‍යවශ්‍ය වෙයි. එනිසා බොරුවෙන් සරසන ලද සුවිසල් තිරයක් අප වටා ඇද තිබෙන අතර අප ඇතිදැඩි වන්නේ ඒ මත ය.

“මෙතැනට රැස්ව සිටින සෑම පුද්ගලයෙකු ම පාහේ දන්නා පරිදි, ඉරාක ආක්‍රමනය සාධාරනීකරනය කලේ විනාඩි හතලිස් පහක් ඇතුලත වෙඩි තැබිය හැකි, දරුනු ව්‍යසනයක් සිදු කල හැකි සමූල ඝාතක අවි සදාම් හුසේන් සතුව ඇතැ’යි පවසමිනි. මෙය සත්‍යයක් බැව් අපට සහතික කෙරින. එය සත්‍යයක් නො වී ය. අල් ඛයිඩා සංවිධානය සමග ඉරාකයට සබඳතා පැවති බවත් 2001 සැප්තැම්බර් 11 දින නිව් යෝර්ක් දාමරික ක්‍රියාවට ඉරාකය හවුලේ වගකිව යුතු බවත් අපට පවසන ලදී.

මෙය සත්‍යයක් බැව් අපට සහතික කෙරින. එය සත්‍යයක් නො වී ය. ලෝක ආරක්ෂාවට ඉරාකය තර්ජනයකැ’යි අපට කියන ලදී. එය සත්‍යයක් බැව් අපට සහතික කෙරින. එය ද සත්‍යයක් නො වී ය.” මීලඟට, පින්ටර්, දෙවන ලෝක සංග්‍රාමය කෙලවර වීමෙන් පසු එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ සාකච්ඡාවකට යොමු විය.

“පශ්චාත්-යුද්ධ සමයෙහි රුසියාව තුලත් නැගෙනහිර යුරෝපය පුරාත් සිදු වූයේ කුමක් දැයි නොදන්නා කෙනෙක් නැත: ක්‍රමානුකූල කෲරත්වය, පුලුල් හිංසනය හා ස්වාධීන චින්තනය අනුකම්පා විරහිතව මැඩලීම.

මේ සියල්ල සහමුලින් ලේඛනගතව හා සනාථ වී ඇත.

“නමුත්, මෙහි ලා මගේ අවධානය යොමු වන්නේ, හුදෙක් මතුපිටින් වාර්තා වුනු, ලේඛනගත නොකෙරුනු, බාර නොගැනුනු, අපරාධ හැටියට කොහෙත් ම හඳුනා නොගැනුනු, එම කාල වකවානුවෙහි ම සිදු වූ එක්සත් ජනපද අපරාධ කෙරෙහි ය. සෝවියට් සංගමයෙහි පැවැත්ම විසින් යම් තාක් දුරට බාධා කෙරුන ද, ලොව පුරා ගෙනගිය එක්සත් ජනපද ක්‍රියාකලාපයෙන් පැහැදිලි වූයේ සිය මනාපය ඉටුකර ගැනීමෙහි අභිමතානුසාරී බලයක් තමන්ට ඇතැයි එක්සත් ජනපදය නිගමනය කොට තිබෙන බව ය.” අනතුරුව, පින්ටර්, වොෂිංටනයෙහි ජාත්‍යන්තර බලාත්කාරකම් පිලිබඳ වාර්තාව ඉදිරිපත් කලේ ය: “ මුඛ්‍ය වසයෙන්, එය, ‘අඩු තීව්‍රතා ගැටුම’ ලෙස තමන් විසින් විස්තර කෙරුනු දෙය ම ප්‍රියමනාප විය. අඩු තීව්‍රතා ගැටුම යන්නෙහි අරුත නම්, ඔබ හෙලන බෝම්බයකින් එකවර ම පිරිසක් ජීවිතක්ෂයට පත් කරනවාට වඩා බොහෝ සෙමෙන් දහස් සංඛ්‍යාත ජනයා මිය යෑමට සැලැස්වීම යි. එහි තේරුම, ඔබ රටේ හදවත ආසාදනය කිරීම යි; දුඃසාධ්‍ය මස් දලුවක් රෝපනය කොට එහි කුනු වීම අපේක්ෂාවෙන් සිටීම යි. ජනතාව දමනය කල කල්හි, නැතහොත්, මැරෙන තෙක් පහර දුන් කල්හි - මේ දෙක ම එක ය - පහසුවෙන් බලයේ රැඳී සිටින ඔබේ ම මිතුරන්, මිලිටරිය හා මහා සමාගම් කැමරාව අබියස පෙනී සිට ප්‍රජාතන්ත්‍රවාදය රජයන බව පවසනු ඇත. මගේ සැලකිල්ල යොමු වූ වසර ගනනාව තුල එක්සත් ජනපදයේ පොදු විදේශ ප්‍රතිපත්තිය එය විය.” ඊලඟට, ඔහු, 1980 දශකයෙහි ඇමරිකානු සහයෝගය ලද කොන්ට්‍රා ත්‍රස්තවාදීන් නිකරගුවාව තුල සිදු කල ජන ඝාතන හා විනාශකාරී ක්‍රියා විස්තර කලේ ය: “ එසමයෙහි ජනාධිපති රේගන් මෙලෙස ප්‍රකාශ කල බව මම ඔබට සිහිපත් කර දෙමි: ‘කොන්ට්‍රාවරු අපේ ප්‍රාරම්භක මීමුත්තන්ගේ සමතුල්‍යයෝ වෙත්.” නිකරගුවාව හා මධ්‍යම ඇමරිකාව තුල එක්සත් ජනපද භූමිකාව පින්ටර් සමස්තයක් ලෙස ගෙනහැර දැක්වී ය. 1979 දී එක්සත් ජනපද සහාය ලත් ආඥාදායක සමෝසා පලවා හරිමින් බලයට පත් වාම-ජාතිකවාදී සන්දිනිස්තා රජයෙහි සමාජ මස්තකප්‍රාප්තීන්- මරන දඬුවම අහෝසි කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරනය, සාක්ෂරතා වර්ධනය හා ජනතා අධ්‍යාපනයෙහි දියුනුව, නිදහස් සෞඛ්‍ය සේවාව - පිලිබඳව අවධානය යොමු කරමින් මෙසේ කී ය: “එක්සත් ජනපදය මෙකී මස්තකප්‍රාප්තීන් හෙලා දුටුවේ මාක්ස්වාදී/ ලෙනින්වාදී බලාත්කාරකම් හැටියට ය. එක්සත් ජනපද ආන්ඩුවට අනුව, භයානක නිදර්ශනයක් බිහි වෙමින් තිබුනි. සමාජ හා ආර්ථිකසාධාරනත්වයෙහි මූලික ධර්මතා ස්ථාපනය කිරීමටත්, සෞඛ්‍ය සේවයෙහි හා අධ්‍යාපනයෙහි ප්‍රමිතීන් ඉහල නැංවීමටත් සමාජීය එකමුතුකම හා ජාතික ස්වයං ගරුත්වය සාක්ෂාත් කර ගැනීමටත් නිකරගුවාවට ඉඩ ලබා දුන හොත් අසල්වාසී රාජ්‍යයන් ද එම ප්‍රශ්නාවලිය ම නගනු ඇත; එම දෙය ම ඉටු කර ගනු ඇත. සැබැවින් ම, එවකට එල් සැල්වදෝරයෙහි ද පවතින තත්වයට එරෙහිව දැවැන්ත ප්‍රතිරෝධයක් උද්ගතව තිබින.

“ජනාධිපති රේගන් නිතර ම නිකරගුවාව හැඳින්වූයේ ‘ඒකාධිපති දඟ ගෙය’ ලෙසිනි. මෙය නිවැරදි වූත් සාධාරන වූත් ප්‍රකාශයකැ‘යි ජනමාධ්‍ය පොදුවේත් බ්‍රිතාන්‍ය ආන්ඩුව නිශ්චිතවමත් සලකන ලදී. ඒකාධිපති දඟ ගෙවල් සැබෑවටම පැවතියේ යාබද දේශයන්හි ය - එල් සැල්වදෝරයෙහි හා ගෝතමාලාවෙහි ය. 1954 වසරේ ගෝතමාලාවෙහි, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් ආන්ඩුව එක්සත් ජනපදය විසින් පෙරලා දමන ලද අතර ඉන් පසුව අඛන්ඩව පැවතුනු හමුදා ඒකාධිපතිත්වය යටතේ දෙලක්ෂයකට අධික පිරිසක් මරුමුව වැටුනු බවට තක්සේරු කෙරින.

“අවසානයේ දී, එක්සත් ජනපදය විසින් සන්දිනිස්තා ආන්ඩුව පෙරලා දමන ලදී. ඒ සඳහා සැලකිය යුතු ප්‍රතිරෝධයක් සහිත වසර කීපයක් ගත වුව ද නිර්දය ආර්ථික පීඩනයක් හා තිස්දාහක පමන ජීවිත විනාශයක් මගින් කෙලවර දී නිකරගුවානු ජනතාවගේ ජීවිතය සිඳලන ලදී. ඔවුහු යලිත් වරක් විඩාවටත් දරිද්‍රතාවටත් පත් වූහ. රට තුල නැවතත් කැසිනෝ සූදුව ආරම්භ කෙරිනි. නිදහස් සෞඛ්‍යසේවාව හා අධ්‍යාපනය හමාර විය. මහා පරිමාන ව්‍යාපාර පෙරලා පැමිනියේ පලිගැනීමට මෙනි. ‘ප්‍රජාතන්ත්‍රවාදය’ රජ විය.

“මේ ‘ප්‍රතිපත්තිය’ මධ්‍යම ඇමරිකාවට පමනක් සීමා නො වී ය. එය ලොව පුරා ම ක්‍රියාත්මක විය. එයට කෙලවරක් නොවූ අතර කටයුතු සිදු වූයේ, හරියට, එවැන්නක් නොමැති පරිදි ය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව බිහි වූ සෑම දක්ෂිනාංශික මිලිටරි ඒකාධිපතිත්වයකට ම එක්සත් ජනපදය සහාය දුන් අතර බොහෝ අවස්ථාවල දී ඒවායේ උද්භවයට ද හවුල් විය. මා සඳහන් කරන්නේ ඉන්දුනීසියාව, ග්‍රීසිය, උරුගුවේ, බ්‍රසීලය, පැරගුවේ, හයිටිය, තුර්කිය, පිලිපීනය, ගෝතමාලාව, එල් සැල්වදෝරය හා චිලී යන රටවල් පිලිබඳව ය. 1973 දී චිලී රටෙහි ජනනය කල සංත්‍රාසය සම්බන්ධයෙන් එක්සත් ජනපදයට කොහෙත් ම ගැලවීමක් නැත; කිසිදු සමාවක් නැත. {සංස්කාරක සටහන: පින්ටර්ගේ ලැයිස්තුවට ආර්ජන්ටිනාව, ඉරානය හා පාකිස්ථානය ඇතුලු තවත් රටවල් කීපයක් ම ඇතුලත් කල හැක.=” එක්සත් ජනපද සංස්ථාපිතයේ මැනවින් පන පොවන ලද සූක්ෂ්ම ප්‍රචාරක විධික්‍රම පිලිබඳව පින්ටර් මෙසේ කී ය. “සත්තකින් ම, චින්තනය යටපත් කරනු වස් භාෂාව යොදා ගනු ලැබේ. ‘ඇමරිකානු ජනතාව’ යන පදය ඇත්ත වයසයෙන් ම නැලවී සිටීමට සැප පහසු මෙට්ටයක් සපයයි. එහෙත්, දරිද්‍රතා රේඛාවෙන් පහල සිටින මිලියන හතලිහක ජනතාවට ද එක්සත් ජනපද රාජ්‍යය පුරා පැතිරී පවතින බන්ධනාගාර ගනනාවක සිරගතව සිටින මිලියන දෙකක ස්ත්‍රී- පුරුෂයන් හට ද මෙය අදාල නො වේ.” පින්ටර් වැඩිදුරටත් මෙලෙස සඳහන් කලේ ය: “ එක්සත් ජනපදය තවදුරටත් අඩු තීව්‍රතා ගැටුම තකන්නේ නැත. තව දුරටත් අල්ප භාෂී වීමෙහි හෝ අනියම් උපායමාර්ග සෙවීමෙහි කිසිදු හේතුවක් එයට නොපෙනේ. එය දැන් සිය තුරුම්පු කොල මේසය මත තබන්නේ කිසිදු බියක් සැකක් හෝ කරුනාවක් නැතිව ය. එය එක්සත් ජාතීන්ගේ සංගමය, ජාත්‍යන්තර නීතිය හෝ විපක්ෂව නැගෙන විවේචන තඹ දොයිතුවකට වත් නොතකන්නේ ඒවා බෙලහීන නැත හොත් නොවැදගත් සේ සලකමිනි. තමන් පසුපස හඬ තලමින් එන කීකරු බැටලු පෝතකයෙක් ද - පිලිකුල් සහගත හා කම්මැලි මහා බ්‍රිතාන්‍යය - එයට සිටී.

“අපේ සදාචාරමය සංවේදිතාවට කුමක් සිදු වී ද? ගුවන්තනාමෝ හිර ගෙය දෙස බලන්න. සිය ගනන් ජනයා චෝදනා රහිතව වසර තුනකට වඩා රඳවා ගැනින; නීතිමය නියෝජනයක් හෝ එබඳු ක්‍රියා පිලිවෙතකින් තොරව තාක්ෂනිකව සදහට ම රඳවා ගැනින. මුලුමනින් ම අයුක්තිසහගත මෙකී ව්‍යුහය පවත්වාගෙන යනු ලබන්නේ ජිනීවා සම්මුතියට පිටුපාමිනි.

“ඉරාක ආක්‍රමනය වූ කලි චෞර ක්‍රියාවකි, රාජ්‍ය ත්‍රස්තවාදයේ අශික්ෂිත කටයුත්තකි, ජාත්‍යන්තර නීතිය පිලිබඳ සංකල්පය ම පරම වසයෙන් ම නිග්‍රහ කිරීමකි.

දස දහස් සංඛ්‍යාත අහිංසක මිනිසුන් මරනයට හා අංගච්ඡේදනයට පත් කිරීම වෙනුවෙන් බලසම්පන්න මිලිටරි සේනාව වගකිව යුතු ය.

“ඉරාක ජනතාව වෙත වධහිංසා, පොකුරු බෝම්බ, යුරේනියම් ඉවත් කිරීම, ගනන් නැති අහඹු ඝාතන ක්‍රියා, කාලකන්නි භාවය, අවමානය, හා මරනය ගෙන ආ අපි එයට ‘මැදපෙරදිග කරා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැගෙන ඒම’ යැයි කියමු.

“ජන ඝාතනයක් හා යුද අපරාධයක් ලෙස හඳුන්වා දීමෙන් සුදුසුකම සපුරා ලීමට ඔබ කොපමන ජීවිත සංඛ්‍යාවක් බිලිගත යුතු ද? මිනිසුන් ලක්ෂයක්? මට හැඟෙන පරිදි, එය පමනටත් වැඩි ය. එහෙයින්, බුෂ් සහ බ්ලෙයාර් ජාත්‍යන්තර අධිකරනය හමුවට පමුනුවා ලීම සාධාරන ය. නමුත්, බුෂ් ඥානවන්තයෙකි. ඔහු ජාත්‍යන්තර අධිකරනයෙහි වලංගුභාවය පිලිගෙන නැත. එම නිසා ඕනෑ ම ඇමරිකානු සෙබලෙකු හෝ දේශපාලනඥයෙකු කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් චූදිතයෙකු වුව හොත් නාවිකභටයන් යොදා ඔහු බේරා4 ගන්නා බවට ඇනතුරු අඟවා ඇත. එහෙත් ටෝනි බ්ලෙයාර් අධිකරනයෙහි වලංගුභාවය පිලිගෙන ඇති බැවින් ඔහුට විරුද්ධව නඩු පැවරීමට බාධාවක් නැත.

අධිකරනය උනන්දුවක් දක්වන්නේ නම් ඔහුගේ ලිපිනය ලබා දීමට අපට පුලුවන: නොම්මර 10, බ්‍රව්නිං වීදිය, ලන්ඩන් ය....

“දෙදාහක් වූ ඇමරිකානු මරන සංඛ්‍යාව හිසරදයකි.

හොර රහසේ ම ඔවුහු තම තමන්ගේ මිනී වලවල් කරා ප්‍රවාහනය කරන ලද්දාහු ය. අවමංගල්‍යෝත්සව දැකීමෙන් මහජනයා කලබල වනු වැලැක්වීමට ඒවා හොර රහසේම සිදු කෙරේ. අබ්බගාත වූවෝ තම යහන් මත ම කුනු වූහ. ඇතැම්හු, සිය ජීවිතයෙහි ඉතිරි කාලය තුල ඊට මුහුන දෙත්.” පින්ටර් සිය දෙසුම හමාර කලේ මෙලෙසිනි: එක්සත් ජනපදය දැන් තම තුරුම්පු කොල අකුටිලව මේසය මත තබන බැව් මම කලින් කීවෙමි. කාරනාව එය යි.

මෙකල එහි නිල ප්‍රතිපත්තිය හැඳින්වෙන්නේ ‘පූර්න සප්තරංජන ආධිපත්‍යය’ යනුවෙනි. මේ පදය මාගේ නො ව ඔවුන්ගේ ම ය. පූර්න සප්තරංජන ආධිපත්‍යය යනු ඉඩම්, සාගරය, ගුවන් ගැබ සහ සියලු පරිවාරසම්පත් තම පාලනයට නතු කිරීම යි.

“මිලියන ගනන් නොවේ නම් දහස් සංඛ්‍යාත ඇමරිකානු ජනයා සිය ආන්ඩුවේ ක්‍රියාකලාපය ඉදිරියේ ලජ්ජාවටත් කෝපයටත් පත්ව සිටිය ද පවතින තතු අනු ව පෙන ී යන ්නෙ ් ඔව ුන ් තවමත ් සංගත දේශපාලන බලයක් බවට පරිවර්තනය ව නැති බව ය.

එහෙත්, එක්සත් ජනපදය තුල දිනෙන් දින වර්ධනය වන සාංකාව, අවිනිශ්චිතතාව හි සංත්‍රාසය පහව යන ලකුනු නොපෙනේ.

“මගේ විශ්වාසය අනුව, පුරවැසියන් වසයෙන් අපේ ජීවිත වල හා අපේ සමාජයෙහි සැබෑ සත්‍යයන් වගවිභාග කරනු වස් පවතින අවුල්ජාලාව නොතකා නොපසුබස්නා පිලි නොපදින දෘඩතර බුද්ධිමය අධිෂ්ඨානයක් වෙත එලඹීම අප සියලු දෙනා මත පැවරී තිබෙන තීරනාත්මක අවශ්‍යතාවකි.

“අපේ දේශපාලන දැක්ම තුලට එබඳු අධිෂ්ඨානයක් කා වැදී නැතිනම් අප කෙරෙන් වියැකී යමින් තිබෙනා දෙය ‘මානව ගරුත්වය’ පුනස්ථාපනය කිරීමෙහි අපේක්ෂාව පල නොදරනු ඇත.” ඉංග්‍රීසි ජාතික නාට්‍ය රචකයෙක් වන හැරල්ඩ් පින්ටර් වර්ෂ 1930 දී උපත ලැබී ය. මුලින් ම චරිතාංග නලුවෙකු ලෙස කරලියට පිවිසි හෙතෙම පසුව ඛේදාන්ත - ප්‍රහසන රචනා කොට විශ්ව කීර්තියට පත් විය. ඔහු වඩාත් සුපතල වූයේ අතරමග ඇනහිටින සංවාද, තර්ජනාත්මක දෙබස් සහ වාමාවර්ත විරාමයන් යන ලක්ෂන වේදිකාවට හඳුන්වා දීම වෙනුවෙනි. The Caretaker (1960) මුරපල්ලා සහ The Homecoming (1965) දෙවැනි ගමන ඊට නිදසුන් ය. විකාර රූපී රංග සම්ප්‍රදාය අනුගිය පින්ටර්ගේ සෙසු නාට්‍ය අතර The Birthday Party (1958) උපන් දින සාදය, Old Times (1971) යටගිය දවස්, Betrayed (1978) පාවා දෙනු ලැබීම, හා Moonlight (1993) හඳපාන, යන කෘති කැපී පෙනේ: මේ හැර, The Dumb Waiter (1957) ගොලු වේටරයා, නමැති ඒකාංග නාටකය ද Accident (1967) හදිසි අනතුර, යන තිර රචනාව ද ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගති. ඔහුගේ Various voices : prose, poetry, politics (විවිධ අදහස්: ගද්‍යය, පද්‍යය, දේශපාලනය) නමැති ග්‍රන්ථය 1998 දී එලි දැක්වුනි. - පරිවර්තක

Loading