චීන ජනාධිපතිවරයාගේ සංචාරය වොෂිංටන්‌ හා බීජිං අතර ආතතීන්‌ ඉස්මතු කර පෙන්වයි

බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේ දී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හමුවීමෙන් කූටප්‍රාප්තියට පත් වූ චීන ජනාධිපති හියු ජින්ටාඕගේ සිව් දින එක්සත් ජනපද සංචාරය, ලෝක බලයන් දෙක අතර මතභේදයට තුඩු දී ඇති කිසිදු මූලික කරුනක් සම්බන්ධව සැලකියයුතු ප්‍රගතියක් අත්කර දුන්නේ නැත. ඒ වෙනුවට, එක්සත් ජනපද මාධ්‍යයන් විසින් විස්තර සහිතව වාර්තා කරනු ලැබූ හා බීජිං සිට පැමිනි සංචාරකයින් විසින් නිසැකවම අවධානයට ගනු ලැබූ, සුලු පරිමානයේ සිට විශාල පරිමානය දක්වා විහිදෙන රාජ්‍යතාන්ත්‍රික අවමන් කිරීම් ගනනාවක් ම බුෂ්ගේ ධවල මන්දිරය විසින් කරන ලද තතු තුල වැඩෙන ආතතියක සලකුනු දැක ගන්නට තිබුනි.

චීන රාජ්‍ය නායකයකු විසින් මීට පෙර එක්සත් ජනපදයට කරන ලද සංචාරයන් වන ජින්ටාඕගේ පූර්වගාමී ජියෑං සෙමිංගේ හා ඩෙන් ෂියාඕපිංගේ සංචාරයන්හි දී කරන ලද සැලකුම් හා සසඳන කල විශද පහල දැමීමක් පෙන්නුම් කරමින්, පූර්න රාජ්‍ය සංචාරයකදී ලබා දෙන රාත්‍රී රාජ්‍ය භෝජන සංග්‍රහයක් හා උත්සවයක් ධවල මන්දිර සැසියේ දී ජින්ටාඕට ලබා නොදුන්නේ එවැනක් සඳහා චීනයේ පාර්ශ්වයෙන් ඉල්ලීම් ද කර තිබිය දී ය.

ජින්ටාඕව පිලිගැනීම සඳහා චීන ජාතික ගීය වාදනය වෙද්දී ධවල මන්දිර නිවේදකයා චීනය විස්තර කලේ බීජිං තන්ත්‍රයේ නිල නාමය වන “චීන මහජන සමූහාන්ඩුව” වෙනුවට තායිවාන නිල නාමය වන “ චීන සමූහාන්ඩුව” යනුවෙනි. චීනයේ විදේශ පිලිවෙතේ අංක එක, තායිවානය පිලිබඳ ආරවුල වන තතු තුල, මෙය ප්‍රමාද දෝෂයක් විය නොහැකිය.

වඩා වැදගත් වූයේ බුෂ් හා ජින්ටාඕගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි වීමට තහනම් කරන ලද ෆලුං ගොං සංවිධානයේ ක්‍රියාකාරිනියකට අවසර දීමට ධවල මන්දිර නිලධාරීන් ගත් තීරනයයි. එහි දී මෙම ක්‍රියාකාරිනිය තම අර්ධ-ආගමික සංවිධානය මර්දනය කිරීම හෙලා දකිමින් කෑගසමින් මාධ්‍ය හමුවට බාධා කලා ය. චීන බලධාරින් විසින් සිරගත කරන ලද ෆලුං ගොං අනුගාමිකයන්ගේ අවයව ඉවත් කරන බවට චෝදනා කරමින් ෆලුං ගොං හි පුවත්පත වන ඊපොක් ටයිම්ස් පුවත්පතට මෑත දී ලිපි මාලාවේ ලියූ වෙන්ජි වෑං නම් චීනයේ උපත ලබා දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන වෛද්‍යවරියට මාධ්‍ය හමුවට ඇතුල්වීමට අවසර දුන්නේ ඉහත සඳහන් පුවත්පතට නිකුත් කල එක් දින අවසර පතක් මත ය.

“ජනාධිපති හියූ! ඔබගේ දින ගනන් කෙරමින් පවතී.”, “ජනාධිපති බුෂ්, ඔහුගේ මිනීමැරුම් නවතා දමනු” යනුවෙන් ද තවත් බීජිං විරෝධී සටන් පාඨ ඉංග්‍රීසි හා චීන භාෂාවලින් හඬ තලමින් වැං රූප ගතකරන වේදිකාවක් මත මිනිත්තු කීපයක් රැඳී සිටියා ය. ඇය බැනරයක් දිග හැරීමට ද උත්සාහ ගත්තා ය.

අවසානයේ දී රහස් සේවා ඒජන්තයන් ඇයව ඉවත් කල අතර පසුව හය මසක් තෙක් සිර දඬුවම් ලැබෙන විදේශ නිලධාරියෙකුට තර්ජනය කිරීමේ හා බිය ගැන්වීමේ චෝදනා ගොනු කරමින් මහේස්ත්‍රාත් කෙනකු ඉදිරියට පමුනුවනු ලැබුවා ය.

වොෂිංටනයේ වර්තමාන ආරක්ෂක මේනියාව තුල ෆලුං ගොං ක්‍රියාකාරිනියකට -- 2001දී හිටපු ජනාධිපති ජියෑං සෙමිං මෝල්ටාවට පැමිනි අවස්ථාවේ බාධා කල තැනැත්තියට -- මාධ්‍ය අක්ත්‍ර දෙනු ලැබුවේ නොදැනුවත්ව යයි සිතීමට නොහැකි ය. හුදෙක් බාධාකාරී වේ යයි සැක හිතෙන අයකුට පමනක් නොව අපහසුතාවට පත්වන ප්‍රශ්න ඇසිය හැකි සමාජවාදී හා යුද විරෝධී ප්‍රකාශක ආයතනවල මාධ්‍යවේදීන්ට ද එවැනි අවස්ථාවට සහභාගිවීමට සිරිතක් වසයෙන් ම ධවල මන්දිරය ඉඩ නොදේ.

ඩිමොක්‍රටික් කොංග්‍රස් නියෝජිතවරියකගේ ආරාධිත අමුත්තිය ලෙස බුෂ් ගේ රාජාසන කථාව යුද විරෝධී ටී-ෂර්ට් එකක් ඇඳගෙන පැමිනි ඉරාක යුද ක්‍රියාකාරිනී සින්ඩි ෂීහාන්ව කැපිටල් හිල් පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබුවේ යන්තම් මාස තුනකට පෙර ය.

ෆලුං ගොං නියෝජිතවරිය වැලැක්වීමට රහස් සේවා ඒජන්තයන් විනාඩි 3ක් ගත් නමුත් (වොෂින්ටන් පෝස්ට් තීරු ලිපි රචකයකුට අනුව ඔවුන්ගේ උපාය ලෙස පෙනීමට තිබුනේ ඇයට හැකිතරම් වැර යොදා කෑගැසීමට ඉඩ දීම යි) බුෂ්ගේ අත්වල ඉරාකයේ ලේඇතැයි බාධා කල තැනැත්තිය අල්ලා නිහඬ කිරීමට ඔවුහු යුහුසුලුව කටයුතු කර තිබුනි.

මෙම සිද්ධියෙන් පසුව ද වෑංට මාධ්‍ය අවසර පතක් දීමට ගත් තීරනය බුෂ් පරිපාලනයේ නිලධාරීන් විසින් ආරක්ෂා කරනු ලැබුවේ එය ප්‍රජාතන්ත්‍රවාදයට හා මාධ්‍ය නිදහසට තමන්ගේ ඇති කැපවීමට උදාහරනයක් ලෙස හුවා දක්වමිනි. එක් අයෙක් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට කීවේ, “වාර්තාකරුවන්ට අවසර දීම ප්‍රතික්ෂේප කිරීම වැරැද්දක් යයි ලොව පුරා කියමින් යන ගමන් අපට එසේ කල නොහැකි ය.” මෙසේ කියන්නේ, දැනට ම ජනමාධ්‍යවේදීන්ට මෙන් ම ඔවුන් වැනි වෙනත් අයට ද සිර දඬුවම් ලැබීමට හේතු වන්නාවූ, රහස්‍ය සීඅයිඒ (මධ්‍යම රහස් තොරතුරු ඒජන්සිය) වධක සිරකඳවුරුවලින් තොරතුරු පිටමං කිරීම පිලිබඳව විමර්ශනය කිරීමේ හා ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා නීති විරෝධී ලෙස රට තුල ඔත්තු බැලීමේ නිරතව සිටින පරිපාලනයකි.

රාජ්‍යතාන්ත්‍රික පාච්චල් කිරීම්වලට වඩා බල ගතු ලෙස එක්සත් ජනපද- චීන එදිරිවාදුකම පිලිබඳ වඩාත් තර්ජනාත්මක දර්ශකයක් වූයේ, මාධ්‍ය මගින් එතරම් අවධානයට නොගත්, එක්සත් ජනපද මිලිටරිය චීනය භයානක විභව ප්‍රතිවාදියකු ලෙස සලකන බවත් බීජිං සමග අනාගතයේ ඇතිවන මිලිටරි මුනගැටුමකට මුහුන දීම සඳහා තම හමුදා ප්‍රතිස්ථානගත කරමින් සිටින බවට තහවුරු කරමින් ජින්ටාඕ ධවල මන්දිරයට පැමිනි දින පෙන්ටගනය නිකුත් කල ප්‍රකාශයකි. “චීනයේ අනාගත ගමන් මගෙහි ඇති විනිවිද නොපෙනෙනසුලුකම හා සමහර අවිනිශ්චිතතාවන් පිලිබඳව පෙන්ටගනය සැලකිල්ලෙන් පසුවේ. එබැවින් අප ද අනෙකුත් අයද නොදන්නා දෙයට එරෙහිව වැට බැඳිය යුතු ය”යි ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ ප්‍රකාශකයකු වන බ්‍රයන් විට්මන් වාර්තාකරුවන්ට කීය.

බුෂ් පරිපාලනයම දක්කාගෙන යන දක්ෂිනාංශික බලවේග සමග සමීප සබඳතා ඇති වෝල්ස්ටී්‍රට් ජර්නල් හා වොෂිංටන් ටයිම්ස්හි මේ සතියේ පලකල වාර්තාවන් මගින් ජනනය කල ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් විට්මන් කීවේ චීනය සමග ඇති විය හැකි ගැටුමකට සූදානම් වෙමින් පෙන්ටගනය තම දීර්ඝකාලීන මිලිටරි සැලසුම් මත වඩ වඩා අවධානය යොමු කොට ඇති බවයි. හමුදාවන් යුරෝපයෙන් ආසියා-පැසිෆික් කලාපයට මාරු කිරීමක් පැසිෆික් ප්‍රදේශ තුල ගුවන් හා සබ්මැරීන් යන දෙවර්ගයේ ම භටකායන් ප්‍රමානය ඉහල දැමීමක් එයට අඩංගු වේ.

මෙම වාර්තාවන්ට අනුව එක් ප්‍රධාන වෙනස්කමක් වන්නේ පැසිෆික් කලාපීය තටාකාංගනය තුල එක් වර ගුවන් යානා ගෙනයන භට කන්ඩායම් හතරක් රඳවා තැබීම සඳහා නාවුක යුද යාත්‍රා නඩත්තු කටයුතු නවීකරනය කිරීම යි. තවත් එකක් වන්නේ දිගදුර බෝම්බකරුවන්ට, ඔත්තු බලන ගුවන් යානාවලට හා හමුදා සම්බන්ධීකාරක සහකාර ක්‍රියාන්විතයන්ට මධ්‍යස්ථානයක් ලෙස ගොඩ නගනු ලබමින් තිබෙන බටහිර පැසිෆික් කලාපයේ එක්සත් ජනපද දූපත් භූමි ප්‍රදේශයක් වන ගුවාම් වෙත ඔකිනාවා සිට මැරයින් භටයින් 8,000ක් මාරු කිරීම යි.

එක්සත් ජනපද-චීන සමුලු මාධ්‍ය ආවරන තුල මෙම පියවරයන් පිලිබඳව සඳහන් නොකල අතර බුෂ් හා ජින්ටාඕ විසින් නිකුත් කරන ලද ප්‍රවේශමෙන් කෙටුම්පත් කල ප්‍රසිද්ධ ප්‍රකාශන තුල අන්‍යොන්‍ය සමුල ඝාතනයත් හැකියාවත් පිලිබඳ සේයාවක්වත් නැත.

එක්සත් ජනපද ආයුධ ගබඩාවේ ඇති න්‍යෂ්ටික අවි 10,000ට චීනය පමනක් නොව පෘථිවිය මත සමස්ත ජීවය ම විනාශ කර දැමිය හැකිය. චීනය පැත්තෙන් ගත් කල එය සතුව බොහෝ එක්සත් ජනපද ප්‍රධාන නගර කරා ලඟා විය හැකි මිසයිල හා න්‍යෂ්ටික අවි සිය ගනනක් පවතී.

එහි ඇති සියලු ප්‍රචන්ඩ විනාශකාරී ප්‍රතිවිපාකවල විභවය සහිතව එක්සත් ජනපදය හා චීනය අතර මිලිටරි ගැටුමක අනතුර ගලා එන්නේ බුෂ් හෝ ජින්ටාඕගේ පෞරුෂත්වයන් තුලින් නොව දුර දිග යන වෛෂයික ප්‍රතිඝතිතාවන් තුලිනි. එක්සත් ජනපද හා චීන ආර්ථිකයන් මෙතෙක් පැවති උපරිම මට්ටමට ඒකාග්‍රකරනය කරනු ලැබ ඇති -- ලෝක ආර්ථිකයේ සමස්ත ගෝලීයකරනය වීමේ ඉහලම ප්‍රකාශනය විය හැක්කේ මෙයයි -- ආර්ථික බලවේග විසින් ම ස්වාභාවික සම්පත්, මූලෝපායික ස්ථානයන්වල පාලනය හා අවසානයේ ලෝක බලය උඩ මෙම බලයන් දෙක නො වැලැක්වියහැකි ගැටුමකට ධාවනය කරනු ලැබ ඇත.

1980 ගනන් මුල සිට ශ්‍රම වියදම් මත නිර්දය පීඩනයක් යෙදීමටත් සුපිරි ලාභ ජනනය කර ගැනීමටත් ඉඩ ලබා දෙන තම පන්ති මූලෝපාය තුල තීරනාත්මක භූමිකාවක් ඉටු කරන්නා වූ විදේශීය නිෂ්පාදන වේදිකාවක් ලෙස චීනය ගොඩ නගමින්, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයෝ -- එක්සත් ජනපදය, ජපානය හා යුරෝපීය බලවත්තු -- එම රට තුලට ප්‍රාග්ධනය ගලා යාමට සලස්වා ඇත. පසු ගිය සියවස් කාර්තුව තුල ලෝක ධනවාදයේ වර්ධනය බොහෝ දුරට චීනයේ විවෘත වීමත් සමග බැඳී පවතී.

එසේ වුවත් මෙම ක්‍රියාවලියම ආසියා-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද ආධිපත්‍යයට අභියෝගයක් ජනනය කර ඇත. ලෝක කටයුතුවලදී චීනයේ මූලෝපායික චාරිකාව ඉහල දමා ඇති එම රටේ වැඩෙන කාර්මික හා මූල්‍ය බලය, යුද කටයුතු, රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික සම්මුතීන් වගා කර ගැනීමේ දී වඩා බලාපොරොත්තු සහගත වැඩ පිලිවෙලක් ක්‍රියාවට දැමීම ශක්‍ය කරයි. ආසියාවේ නැගෙනහිර වෙරල ප්‍රදේශයේ මෙන් ම ඉන්දියන්සාගරයේ ද අප්‍රිකාව හා දකුනු ඇමරිකාව තුල ම ද තම ආධිපත්‍යයට තර්ජනයක් ලෙස එක්සත් ජනපදය, චීනයේ නැගීමට ප්‍රතික්‍රියා කරයි.

ඇමරිකානු දේශපාලනඥයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව කරන ආකාරගත ආයාචනා තිබියේ වුව බීජිංහි ස්ටැලින්වාදී ආඥාදායකත්වය ගෙන යන කිසිදු මර්දනකාරී ක්‍රියාවක් එක්සත් ජනපද-චීන ගැටුම සමග මොනම සම්බන්ධයක්වත් නැත. ඊට විපරීතව, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රමය නොනවත්වාම පාහේ සපයන්නෙකු ලෙස චීනය නඩත්තු කරගෙන යාම සඳහා කම්කරුවන්ට කිසිදු ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලබා නොදෙන හා අතිශයින්ම සාහසික වැඩහල් ක්‍රමවලට එරෙහි සියලු විරෝධතා තලා දමන අභ්‍යන්තර දේශපාලන තන්ත්‍රයක් අවශ්‍ය ය.

චීන කම්කරුවන්ව පාලනය කිරීමට හා මර්දනය කිරීමට මෙන්ම එක්සත් ජනපද භාන්ඩ විකුනා ගැනීම සඳහා වඩා වැදගත් වෙලඳපොලක් සම්පාදනය කර ගැනීමට ද බීජිං ආඥාදායකත්වය මත සංගත ඇමරිකාව රැඳී සිටී. චීන නායකත්වය විසින් පැහැදිලි ලෙසම හියු ජින්ටාඕගේ සංචාරය සැලසුම් කර තිබුනේ මෙම සබඳතාව ප්‍රදර්ශනය කිරීමට ය. සංගත විධායකයන් මුනගැසෙමින් ද බෝයිං ගුවන් යානා කම්හලේ සංචාරය කරමින් හා මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රකෝටිපති බිල් ගේට් සමග රාත්‍රී භෝජන ගනිමින් ද චීන ජනාධිපතිවරයා දින දෙකක් සියැටල්හි ගත කලේ ය.

තමන්ට ධවල මන්දිරයෙන් ලැබුනු අප්‍රසන්න පිලිගැනීමෙන් පසු, එක්සත් ජනපද-චීන ව්‍යාපාරික කවුන්සිලයේ අනුග්‍රහයෙන් වොෂිංටනයේ පැවැත්වූ භෝජන සංග්‍රහයක ප්‍රධාන අමුත්තා ලෙස ජින්ටාඕ සහභාගි වූ අතර එහිදී ඔහුව හඳුන්වා දෙනු ලැබුවේ 1970 ගනන් මුලදී චීනය සමග හොඳ හිත වගා කිරීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සැලසුමේ නිර්මාපකයා වූ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් විසිනි. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට සංගත විධායකයන් 900කට අධික පිරිසක් සහභාගි වූ අතර ධවල මන්දිරයේ පැවති දිවා භෝජන සංග්‍රහයට තවත් දුසිම් ගනනක් ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

කුමක් වුවද, පර්සියානු ගල්ෆ් කලාපයේ හා කැස්පියන් බොක්කේ තෙල් සම්පත් චීන ආර්ථිකයේ අනාගත වර්ධනය සඳහා අතිශය වැදගත් වුව ද, ඒවා ඩැහැ ගැනීමට එක්සත් ජනපදය දරන ප්‍රයත්නයට චීනය අතිශයින් ප්‍රවේසම් සහගතව ප්‍රතිචාර දක්වා ඇත. බීජිනය, වොෂිංටනය සමග මුන ගැටුමක අවදානම ගන්නවා වෙනුවට රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික ක්‍රමෝපායන් යොදා ගනු ඇති බව පැහැදිලි ය.

ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් හා රාජ්‍ය ලේකම් රයිස් වැනි ඉහලම නිලධාරීන් චීනයට තම රටෙහි මිලිටරි හමුදා -- එක්සත් ජනපද හමුදා සමග සසඳනවිට තාක්ෂනිකව වඩා නොදියුනු -- ගොඩනැගීම සඳහා නො පැහැදිලි හා සැඟැවුනු අභිප්‍රායන් ඇතැයි ප්‍රකාශ කරන කල්හි බුෂ් පරිපාලනයේ ප්‍රතිපත්තිය සැලකියයුතු ලෙස ප්‍රකෝපකාරී ය. මිලිටරි ගැටුමක් අවුලුවා ලනු ලබන නිසා පමනක් නොව ලෝක මූල්‍ය පද්ධතිය තුල චීනයේ වැඩෙන භූමිකාව නිසා ද මෙම විලාශය තුල බැරෑරුම් අවදානමක් පවතී.

මේ වසරේ දී ජපානය ද අභිබවමින් චීනය ලෝකයේ විශාලතම විදේශ විනිමය සංචිතය සමුච්චය කර ගෙන ඇත. එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයකටත් වැඩි ප්‍රමානයක් චීන මහ බැංකුව සතුව ඇති අතර වර්තමානයේ ඉන් බොහෝ ප්‍රමානයක් ඩොලර්වලින් වුවද සුලු පරිමානයෙන් හෝ මෙම සංචිතවලින් ප්‍රමානයක් යුරෝවලට හා ජපාන යෙන්වලට පරිවර්තනය කිරීමට චීනය පටන්ගෙන ඇත. “මේ හා වෙනත් ඇමරිකානු ව්‍යාපාරවස්තු මහා පරිමානයෙන් අලෙවි කරනු ලැබීම චීනය විසින් ක්ෂනිකව ආරම්භ කල හොත් -- සමහර විට ඩොලරය හා යුවානය අතර ස්ථාවරත්වය ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස -- නිවාස වෙලඳපොලටත් පරිභෝජන වියදම්වලටත් බලගතු පහරක් එල්ල කරමින් ඇමරිකානු පොලී අනුපාතය සැලකියයුතු ලෙස ඉහල යනු ඇතැ” යි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජින්ටාඕගේ සංචාරය පිලිබඳව පල කල අදහස් දැක්වීමක සඳහන් විය. ලොව පුරා මූල්‍ය වෙලඳපොලවලට ගනනය කල නොහැකි ප්‍රතිවිපාක ඇති කරමින් තම නය ගෙවා දැමීමට පාරිභෝජකයන්ට හා එක්සත් ජනපද සංගතයන්ට ඇති හැකියාවට වල කැපීමට මෙය නිසැකව ම හේතු වනු ඇත.

[මෙය 2006 අප්‍රේල් 24 වැනි දින Chinese president’s visit underscores Washington-Beijing tensions යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading