බුෂ්‌ ආන්ඩුව ඉරානය සමග සාකච්ඡාවලට එරෙහි එක්සත්‌ ජනපද තහංචිය අකුලා ගනී

ි ඉරානය සමග සෘජු සාකච්ඡාවලට එරෙහි 27 වසරක එක්සත් ජනපද තහංචිය අකුලා ගන්නා බවට බදාදා බුෂ් ආන්ඩුව කල නිවේදනය, මිලිටරිමය හා ආර්ථිකව යන දෙයාකාරයෙන් ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක තත්වයෙහි දුර්වල වීමක් පිලිබිඹු කරන දේශපාලන පසුබැසීමකි.

කෙසේ වෙතත්, ඉරානය සහ විශාලතම යුරෝපීය බලවතුන් වන බ්‍රිතාන්‍යය, ප්‍රන්සය හා ජර්මනිය අතර දැන් සිදු වන සාකච්ඡාවලට එක් වීමේ එක්සත් ජනපදයේ යෝජනාව, කිසිදු අර්ථයකින්, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙලට එරෙහිව එක්සත් ජනපදය විසින් අවුලුවනු ලැබ ඇති වත්මන් ව්‍යායාමය සාමකාමී ලෙස අවසන් වීමක් සහතික කරන්නේ නැත. එවන් ක්‍රියා මාර්ගයක් වඩාත්ම දුර දිග යන හා පුපුරන සුලු දේශීය හා ජාත්‍යන්තර පරිමාන ප්‍රතිවිපාක සමග බැඳී ඇත්තේ වී නමුදු, බුෂ් ආන්ඩුවේ දුර්වලත්වය සහ අර්බුදය මිලිටරි ක්‍රියා මාර්ගය තෝරා ගැනීම කරා එය තල්ලු කරනු ඇත යන්න මුලුමනින් ම විය හැකි දෙයකි.

රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් බදාදා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී කල නිල කතාවක දී එක්සත් ජනපද පිලිවෙතෙහි මෙම වෙනස නිවේදනය කලා ය. ඇය ඉන් පසුව, පසු දිනට නියමිත ඇති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනා -- එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රන්සය, රුසියාව හා චීනය -- ජර්මනිය හා එක්ව පවත්වන රැ ස්වීමකට සහභාගි වනු පිනිස ඔස්ට්‍රියාවේ වියානා කරා පිටත්ව ගියා ය. මෙම බලවතුන් හය දෙනා ඉරානය පිලිබඳ ඒකාබද්ධ ප්‍රවිෂ්ටයකට එකඟ විය. එය යටතේ, සිවිල් න්‍යෂ්ටික බල ශක්තිය මෙන් ම න්‍යෂ්ටික ආයුධ ද වර්ධනය කිරීමේ වැඩපිලිවෙලෙහි ප්‍රධාන අදියරක් වන, යුරේනියම් බල ගැන්වීමේ තම වැඩපිලිවෙල අත්හිටුවීමට ඉරානය එකඟ වන්නේ නම්, ඊට හිලව් වසයෙන් ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික දිරිගැන්වීම් ලබා දීමට යෝජනා කෙරී ඇත.

එක්සත් ජනපද පිලිවෙතෙහි මෙම මාරුව, ඉරානය පිලිබඳ ගැටලුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට යොමු කිරීමට ජාත්‍යන්තර පරමානුක බල ඒජන්සිය (අයිඒඊඒ) එකඟ කරවා ගැනීම සහ ඉන් පසුව ආර්ථික සම්බාධක පැනවීම හා මිලිටරි ක්‍රියාමාර්ග එල්ල කරන බවට තර්ජනය කිරීම සඳහා දේශපාලනික හා නෛතික පදනම සම්පාදනය කරනු ඇති ආරක්ෂක මන්ඩල යෝජනාවක් සම්මත කරවා ගැනීම මගින් ඉරාන තන්ත්‍රය හුදකලා කිරීමෙ හා බිය ගැන්වීමේ ඔවුන්ගේ පෙර ප්‍රයත්නයන් කඩා වැටීමේ ප්‍රතිඵලයකි.

අයිඒඊඒ ඉරානය ආරක්ෂක මන්ඩලයට යොමු කිරීමට එකඟ වූ අතර, ඉරාකය ආක්‍රමනයට ජාත්‍යන්තර අනුමැතියක් ලැබුනු බව කියාපෑම පිනිස බුෂ් ආන්ඩුව මීට පෙර යොදා ගත් වගන්තිය වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 7 වන පරිච්ඡේදය යටතේ ගෙන එන ආරක්ෂක මන්ඩල යෝජනාවකට රුසියාව හා චීනය විරුද්ධ වී තිබේ. ඉරානය සමග මුහුනට මුහුනලා සාකච්ඡා කිරීම පිලිබඳ තම නව එකඟතාව ප්‍රකාශයට පත් කිරීමට යන්තම් දින කිහිපයකට පෙර බුෂ් ආන්ඩුව, මොන යම් හෝ ආරක්ෂක මන්ඩල යෝජනාවක්, සාමයට 'තර්ජනයක් ' හෝ සාමය 'කඩ වීමක් ' පිලිබඳ සැඳහුම් නොකරන 7 වන පරිච්ඡේදයේ 40 වන වගන්තිය මත වඩා පටු ලෙස පදනම් වනු ඇති බවට එකඟවීම මගින් පොදු එකඟතා පදනමක් සොයා ගැනීම කරා ගමන් කලේ ය.

ඇමරිකානු පිලිවෙතෙහි ආපසු හැරීම සඳහා ප්‍රධාන සාධක දෙකක් බලපා ඇත: එනම්, ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියා මාර්ගයක් ගැනීම වඩාත් අසීරු කරමින් ඉරාකය හා ඇෆ්ඝනිස්ථානය තුල එක්සත් ජනපදය මුහුන දෙන ගැඹුරු වන ව්‍යසනකාරී පරාජය සහ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර තත්වය වඩ වඩා හුදකලා වීම. ඉරානයේ ප්‍රධාන වෙලඳ හවුල්කරුවන් වන රුසියාව හා චීනය ආර්ථික සම්බාධකවලට දෘඩ ලෙස විරුද්ධ වන අතර එකදු යුරෝපීය බලයක් වත්, ඉරාකය තුල සිදු කරන අපරාධයේ දී බුෂ්ගේ හවුල්කරු වන බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් පවා, ඒක-පාර්ශ්වීය එක්සත් ජනපද මිලිටරි ක්‍රියා මාර්ගයකට පිටුබලය සැපයීමට සූදානම් නැත.පිලිවෙත් මාරුව ඉරානයට ලැබෙන අන්තිම අවස්ථාවක් ලෙස පෙන්නුම් කිරීමට එක්සත් ජනපද නිලධාරීහු උත්සාහ කලහ. 'අප ඉරානයෙන් ඉල්ලා සිටින්නේ සාමය සඳහා වූ මේ අවස්ථාව තෝරා ගෙන න්‍යෂ්ටික ආයුධ පිලිබඳ සිය අභිලාෂය අතහැර දමන ලෙස යි ' යනුවෙන් රයිස් පැවසුවා ය. එසේ නොවුන හොත්, වත්මන් ගැටුම 'ජාත්‍යන්තර හුදකලාව සහ ක්‍රමයෙන් වඩා ශක්තිමත් වන දේශපාලනික හා ආර්ථික සම්බාධක කරා යොමු වනු ඇතැ ' යි ඇය තව දුරටත් කීවා ය.

සාකච්ඡා න්‍යෂ්ටික ගැටලුවට පමනක් සීමා වනු ඇති බවත් ඉරානය සමග එක්සත් ජනපද තානාපති සබඳතා යලි ඇරඹීම එයට ඇතුලත් නොවන බවත් ඇය අවධාරනය කලා ය. එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික හා ඔත්තු සේවා නිලධාරින් දුසිම් ගනනක් ප්‍රාන ඇපයට ගනිමින්, ඉස්ලාම් සටන්කරුවන් විසින් ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අල්ලා ගනු ලැබීම අරබයා 1979-80 දී හටගත් ගැටුම තුල දී ඉරානය හා එක්සත් ජනපදය අතර තානාපති සබඳතා බිඳ දැමුනි.

එමෙන් ම, තානයේ පැහැදිලිව කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරමින්, න්‍යෂ්ටික අවි වැඩි දුර වර්ධනය වැලැක්වීමේ ගිවිසුම (එන්එන්පීටී) යටතේ න්‍යෂ්ටික බල ශක්ති උත්පාදන මධ්‍යස්ථාන වර්ධනය කිරීමේ අයිතිය ඉරානයට ඇති බව රයිස් පිලිගත්තා ය. පිටුවාහල් කන්ඩායමක් රහස් ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙලක් ගැන එලිදරව් කල 2002 සිට මේ දක්වා වූ කාල පරිච්ඡේදය තුල දී, බුෂ් ආන්ඩුව නිරතුරුව ම යෝජනා කර ඇත්තේ, ඉරානය එන්එන්පීටී උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම ගිවිසුම යටතේ න්‍යෂ්ටික පර්යේෂන සිදු කිරීමට ඇති සිය අයිතිය අහිමි කර ගෙන ඇති බවත් ය. එහෙත් රයිස් මෙම ආස්ථානය ඉවත දැමුවා ය. 'සිවිල් න්‍යෂ්ටික බල ශක්තිය සඳහා තමන්ට අයිතියක් ඇතැයි ඉරාන ජනතාව විශ්වාස කරයි.

' යැයි ඇය පැවසුවා ය. 'අපි එම අයිතිය පිලිගනිමු. ' ඉරානයට එරෙහිව නිල නොවන ආර්ථික වාරනයක් පැනවීමේ වඩ වඩා නිරර්ථක වන ප්‍රයත්නය අවෘතව අතහැර දමමින්, රයිස් කියා සිටියේ, ඉරානය සමග වෙලඳ සබඳතා වර්ධනය කර ගැනීමේ යුරෝපීය ප්‍රයත්නයන්ට එක්සත් ජනපදය 'ක්‍රියාකාරීව සහයෝගය ' දෙන බවයි. තම යුරෝපීය හා ආසියානු ප්‍රතිවාදීන් ලාභදායක සබඳතාවක් භුක්ති විඳින අතර තමන් ඉරාන වෙලඳ පොලෙන් පිටමං කොට තැබීම ගැන, ප්‍රධාන එක්සත් ජනපද සංගත, විශේෂයෙන් ම තෙල් හා බැර උපකරන අංශයේ සංගත, දිගු කලක් තිස්සේ උරනව සිට ඇත.

තෙල හා බලය අරබයා පවත ් නා ප ් ත්‍ර වාදිත ි වය් ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින ගැටුමේ කේන්ද්‍රීය කාරනය න්‍යෂ්ටික ආයුධ වර්ධනය කිරීමේ ඉරාන ප්‍රයත්නය නො වේ, 1953 දී ජාතිකවාදී මොසඩෙග් තන්ත්‍රය පෙරලා දැමීමට සීඅයිඒ සංවිධානය ඉටු කල ක්‍රියා කලාපය සහ මුල්ලාවරු බලයට ගෙන ආ 1979 විප්ලවය මගින් පෙරලා දැමුනු ෂාගේ ම්ලේච්ඡ ආඥාදායකත්වයට එක්සත් ජනපදයේ පිටුබලය ලැබීම දක්වා අතීතයට දිව යන වොෂිංටනය සහ ටෙහෙරානයේ මූලධර්මවාදී ඉස්ලාම් තන්ත්‍රය අතර දිගු කලක් තිස්සේ පවත්නා සතුරු භාවය වත් නො වේ.

ප්‍රාථමික මට්ටමේ න්‍යෂ්ටික ආයුධ අතලොස්සක් ඇතිව හෝ නැතිව, ඉරානය, න්‍යෂ්ටික බෝම්බ හා මිසයිල් යුද ශීර්ෂ 10,000ක අවි ගබඩාවකින් ද ලෝකයේ අන් සියලු රටවල් ඒකාබද්ධව හිමිකම් කියන සම්පත්වලට වඩා විශාල සම්පත්වලින් යුක්ත මිලිටරි සංස්ථාපිතයකින් ද සන්නද්ධ එක්සත් ජනපදයට කිසිදු බැරෑරුම් ආරක්ෂක තර්ජනයක් මතු නොකරනු ඇත.

න්‍යෂ්ටික බලයක් ලෙස ගත හොත්, ඉරානය, මිසයිල් හා සබ්මැරීන් දියත් කිරීමේ හැකියාවන් ද සහිතව යුද ශීර්ෂ 200කට වඩා අයත් ඊස්රායලය හමුවේ ද අසල්වැසි පකිස්ථානය හමුවේ පවා ද අඟුටුමිට්ටෙකු වනු ඇත.

ඉරානය ත්‍රස්තවාදයට සහයෝගය දෙන බවට එක්සත් ජනපදය කරන චෝදනාව ගත හොත්, එම සැඳහුම බොහෝ සෙයින් යොමු කෙරෙන්නේ, ලෙබනන් පාර්ලිමේන්තුවේ ආසනවලින් විශාලතම කොටස පාලනය කරන හා එරට දකුනු කොටස තුල ආධිපත්‍යය දරන මිලිටරි-දේශපාලනික සංවිධානයක් වන ලෙබනනයේ ෂියායිට් හිස්බුල්ලා කන්ඩායමට ටෙහෙරානය දක්වන අනුග්‍රහය යි. ඉරානයේ ෂියායිට් පදනමක් සහිත පූජක තන්ත්‍රයට ඇෆ්ඝනිස්ථානයේ තලිබාන්වරු සහ අල් කයිඩා ත්‍රස්තවාදී කන්ඩායම වැනි සුන්නි මූලධර්මවාදී කන්ඩායම් සමග පැවතුනේ සතුරු සබඳතාවකි. එමෙන් ම ඉරාන තන්ත්‍රය ඉරාකයේ සුන්නි පදනමකින් යුත් කැරලිකරුවන්ට එරෙහිව කැත යුද්ධයක් ගෙන යන එරට ෂියායිට් සන්නද්ධ කන්ඩායම්වලට ක්‍රියාශීලීව පිටුබලය සපයයි.

එක්සත් ජනපදය හා සදාම් හුසේන් අතර ගැටුමේ දී මෙන් ම, එක්සත් ජනපද-ඉරාන සබඳතා තුල ද ආධිපත්‍යය දරන කාරනාව වන්නේ, පර්සියානු බොක්කේ උතුරේ සිට කැස්පියන් මුහුද දක්වා විහිදුනු තෙල්වලින් පොහොසත් කලාපය මත සිය අධිපති භාවය තහවුරු කර ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දරන ප්‍රයත්නය යි. ඉරානය මෙම දැවැන්ත භූමි ප්‍රදේශය තුල පිහිටි භූගෝලීය හා මූලෝපායික නාභි ලක්ෂ්‍යයක්මෙන් ම ලෝකයේ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා ය.

'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ' නාමයෙන් පෙන්ටගනය ගෙන ගිය බලමුලු ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඉරානය දැන් එක්සත් ජනපද මිලිටරි බල මධ්‍යස්ථාන මගින් වට කරනු ලැබ ඇත. ඇෆ්ඝනිස්ථානය හා ඉරාකය අල්ලා ගැනීම, ඉරානයේ නැගෙනහිර හා බටහිර දේශ සීමා මත ඇමරිකානු පාබල හමුදා පිහිටුවා ඇති අතර එරටට දකුනෙන්, පර්සියානු බොක්කේ එක්සත් ජනපද නාවික හමුදා මුර සංචාරයේ නිරතව සිටී. ඉරානයට උතුරෙන් පිහිටි පැවති සෝවියට් සමූහාන්ඩු ගනනාවක එක්සත් ජනපද යුද ගුවන් යානා නතර කර ඇත.

ඇමරිකානු මිලිටරි හමුදා යෙදවීම ඉරානයෙන් පමනක් නොව, රුසියාවෙන්, චීනයෙන් හා යුරෝපීය සංගමයෙන් ද ප්‍රතිචාරයන් අවුලුවා ඇත. ඔවුන්ගේ ආස්ථානයෙන් ගත් කල, එක්කො මිලිටරි ආක්‍රමනයක් මගින් නැති නම් බියගැන්වීම හා දේශපාලනික පෙරලියක් මගින් ඉරානය මත ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කර ගැනීම, ඉරාකය, ඉරානය සහ ඇෆ්ඝනිස්ථාන ඇතුලත් එක්සත් ජනපදය විසින් දුවවනු ලබන පෙරමුනක් නිර්මානය කිරීම, ලෝකයේ තෙල් අපනයනවලින් දැවැන්ත කොටසක් සම්පාදනය කරන කලාපයක් වොෂිංටනයේ පාලනයට නතු කිරීමක් වනු ඇත.

එනයින් ගත් කල, වියානාහි දී ප්‍රකාශයට පත් කෙරුනු සය-පාර්ශ්වික යෝජනාව තියුනු ප්‍රතිවිරෝධතාවක් නියෝජනය කරයි. බුෂ් ආන්ඩුවට නම්, එය ඉරානයට එරෙහි දේශපාලනික බියගැන්වීමේ ව්‍යායාමයකට එකතු වීම සඳහා සිය ප්‍රතිවාදීන් පොලඹවා ගැනීමේ හා ඔවුන්ට බලපෑම් දැමීමේ ප්‍රයත්නයකි. සෙසු බලවතුන් පස් දෙනාගෙන් අඩු ගනනේ සිවු දෙනෙක් -- බ්‍රිතාන්‍යය මැද සිටින බවක් පෙනෙන තතු තුල -- වියානා ගිවිසුම දකින්නේ, මොන යම් හෝ මිලිටරි ක්‍රියා මාර්ගයක් කල් දැමීම පිනිස -- සමහර විට දින නියමක් නොමැතිව -- වොෂිංටනය පොලඹවා ගැනීම මගින්, ඉරානය නොව, ඇමරිකාව පාලනය කර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස ය.

රයිස් සහ බුෂ් ආන්ඩුවේ සෙසු ප්‍රකාශකයන් ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිලිවෙල අත්හිටුවා සාකච්ඡාවලට අවතීර්න වීම ප්‍රතික්ෂේප කල හොත් ඉරානයට මුහුන පෑමට සිදු වන දඬුවම් ගැන අවධාරනය කල අතර, රුසියාව, චීනය සහ යුරෝපීය බලවතුන් අවධාරනය කලේ, ටෙහෙරානයට ලැබිය හැකි වාසි සහ මිලිටරි බලය යෙදීමකට අවසර දීමක් ලෙස අර්ථ ගැන්විය හැකි ආරක්ෂක මන්ඩල යෝජනාවක් සම්මත කර ගැනීමේ ප්‍රයත්නයන් අත්හිටුවීමට එක්සත් ජනපදය එකඟ වීමේ අර්ථභාරය යි.

කැරට් අලය සහ වේවැල යන දෙක ම පෙන්වන මෙම ගිවිසුමේ නිශ්චිත විස්තර වියානාහි දී ප්‍රසිද්ධියට පත් නොකෙරනු අතර ඒවා ඊලඟ දින ගනනාව තුල දී ටෙහෙරානයට යන යුරෝපීය දූත කන්ඩායමක් විසින් ඉරාන ආන්ඩුව වෙත පුද්ගලිකව දැනුම් දීමට නියමිත ය. දිරිගන්වන සහනවලට සැහැල්ලු-ජල න්‍යෂ්ටික බල ප්‍රතිකාරකවල රූපාකාරයෙන් තාක්ෂනික සහයෝගය ලබා දීම ඇතුලත් විය හැකි ය. මෙය වනාහි බුෂ් ආන්ඩුව පසුව ප්‍රතික්ෂේප කල, එක්සත් ජනපදය සමග 1994 දී ඇති කර ගැනුනු ගිවිසුම යටතේ උතුරු කොරියාවට ලබා දීමට පොරොන්දු වූ ප්‍රතිකාරකවලට සමාන ඒවා ය. සැහැල්ලු-ජල ප්‍රතිකාරක, න්‍යෂ්ටික ආයුධ වර්ධනය කිරීමට යොදා ගත හැකි ප්ලුටෝනියම් වැනි න්‍යෂ්ටික අතුරු ඵල නිෂ්පාදනය නොකරයි.

බලවතුන් හය දෙනාගේ සාකච්ඡාවල සංවේදී -- හා අවිනිශ්චිත -- ස්වරූපය පෙන්නුම් කරමින්, වොෂිංටන් පෝස්ට් වාර්තාවකට අනුව, එක්සත් ජනපද නිලධාරීහු ඉරානයට මුහුන දීමට සිදු විය හැකි දඬුවම් විස්තර කිරීමේ දී 'සම්බාධක ' යන වචනය යොදා ගැනීම ප්‍රතික්ෂේප කලහ. ඒ වෙනුවට, ඔවුන් කතා කලේ, 'පියවර ', 'විධිවිධාන ', 'ක්‍රියාමාර්ග ' සහ 'නිෂේධනීය ප්‍රති-පෙලඹවීම් ' ගැන ය.

නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට අනුව, ඉරානයට ලබා දෙන දිරි ගන්වන සහනවලට අනාගත මිලිටරි ප්‍රහාරයකට එරෙහිව ආරක්ෂක සහතික ද ඇතුලත් විය යුතු බවට යුරෝපීයන් කල ඉල්ලීම් එක්සත් ජනපද නිලධාරින් ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ප්‍රකාශ කලේ, 'මොන ම තත්වයක් යටතේ වත් ' ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියා මාර්ගයකට තමන් විරුද්ධ වන බව යි. බ්‍රිතාන්‍ය විදේශ සේවා කාර්යාලය, සාකච්ඡා පිලිබඳ නිකුත් කල නිවේදනයක කියා සිටියේ, 'මිලිටරි බලය යෙදීම න්‍යාය පත්‍රයට ඇතුලත් නොවන ' බව යි.

ටෙහෙරානයේ ප්‍රතිචාරය ටෙහෙරානයේ තන්ත්‍රය, පසු ගිය මාසයේ දී ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් විසින් ජනාධිපති බුෂ් වෙත යවන ලද ලිපිය මගින් අවෘතව ආරාධනා කෙරුනු පියවරක් වන, එක්සත් ජනපද යෝජනාවට පරෙස්සමින් ප්‍රතිචාර දැක්වී ය. එම ලියවිල්ල වනාහි 1979 ප්‍රාන ඇපකරු අර්බුදයෙන් පසුව ඉරාන නායකයකු විසින් එක්සත් ජනපද ආන්ඩුව වෙත යවන ලද ප්‍රථම නිල පනිවිඩය යි.

ඉරාන ප්‍රකාශකයන් රයිස්ගේ පූච්චානම් හෙලා දැක්ක නමුදු සාකච්ඡා සඳහා ඇය කල යෝජනාව හෙලා දැක්කේ නැත. ටෙහෙරානයේ සිකුරාදා යාඥා අවස්ථාවේ පැවති ප්‍රධාන දේශනයේ දී අයතුල්ලා4 අහමඩ් කතාමි, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල ලෝක ආරක්ෂාවට තර්ජනයක් ය යන රයිස්ගේ කියාපෑම ප්‍රතික්ෂේප කලේ ය. 'එක්සත් ජනපද ආන්ඩුව පසු ගිය වසර 50ක කාලය මුලුල්ලේ ස්වාධීනව හා වක්‍රව ස්වාධීන රාජ්‍යයන් 25කට එරෙහිව මිලිටරි ප්‍රහාර දියත් කර ඇත. ' යැයි ඔහු පැවසී ය. 'එය අනාරක්ෂාව නොවේ නම්, එය කුමක්ද? ' සෙනසුරාදා, විදේශ ඇමති මනව්චේර් මොටාකි සහ ජනාධිපති අහමඩිනෙජාඩ් යන දෙදෙනා ම, එක්සත් ජනපද-ඉරාන සබඳතා සඳහා වූ විභවීය 'මූලිකත්වයක් ' ලෙස සාකච්ඡා පිලිබඳ එක්සත් ජනපද යෝජනාවට සැඳහුම් කරමින්, වඩා සාධනීය භාෂාවක් යොදා ගත්හ.

මොටාකි ප්‍රවෘත්ති සම්මන්ත්‍රනයකට මෙසේ පැවසී ය: 'අප සිතන්නේ, යහපත් චේතනාවක් තිබේ නම්, ඔවුන්ම විසින් නිර්මානය කර ගන්නා ලද තත්වයකින් ගොඩ ඒමට මූලිකත්වයක් ගැනීම . . . කල හැකි බව යි. ' ඉරානය 'අවශ්‍ය කාල රාමුව ඇතුලත ' යෝජනාව ගැන සලකා බලනු ඇති බව සඳහන් කල ඔහු තව දුරටත් කියා සිටියේ, සාකච්ඡා 'පුලුල් අවබෝධයක් සඳහා පදනම සැකසීමට සමත් වනු ' ඇති බව යි.

බලවතුන් හය දෙනාගේ යෝජනාවේ ඇතුලත් දිරිගැන්වීමේ සහන හා දඬුවම් පිලිබඳ විස්තරයක් ඉරානය ප්‍රසිද්ධ කරනු ඇතැයි සඳහන් කල අහමඩිනෙජාඩ්, 'තර්ජනයන්ට හා බිය ගැන්වීම්වලට ' එරෙහිව අනතුරු ඇඟවී ය. 'මහා ජන නාශක අවි තව දුර වර්ධනය වීමත් එය නතර කරන්නේ කෙසේ ද ' යන වගත් සෙසු 'පොදු උත්සුකතා ' පිලිබඳ වත් සාකච්ඡා කිරිමට තම ආන්ඩුව කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසී ය.

න්‍යෂ්ටික බල ශක්තිය සඳහා ඉරානයට පවත්නා අයිතිය රැකී තිබෙන තාක් කල්, 'ලෝක ගැටලු ජය ගන්නා මූලිකත්වයක් ' ඇති කර ගැනීමට සාකච්ඡා සමත් වනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆි අන්නන් සමග පැවති දුරකතන සංවාදයක දී අහමඩිනෙජාඩ් පැවසුවේ යැයි ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය වාර්තා කලේ ය.

ඉරානයේ ධනේශ්වර තන්ත්‍රය, පූජක පවුල්වලින් හා වානිජ පන්තියේ කොටස්වලින් යුක්ත තුනී තට්ටුවක මඩිය තර කිරීම මත පදනම් වන දේශීය පිලිවෙත් ගෙන යන ගමන් පවා, තමන්ට 'රැඩිකල් ' වෙස් මුහුනක් දමා ගනු පිනිස, අධිරාජ්‍ය විරෝධී පූච්චානම් සහ සමහර විට යුදෙව්-විරෝධී පීත්ත පටි ද ආඳන ලද, පලස්තීනුවන්ට එරෙහි ඊස්රායලයේ මර්දනය ගැන කෙරෙන හෙලා දැකීම් ද බොහෝ කලක් තිස්සේ යොදා ගෙන ඇත. අහමඩිනෙජාඩ්, විශේෂයෙන් ම, එක්සත් ජනපදය හෙලා දැකීම සහ පර්සියානු ජාතිවාදයේ සංකේතයක් ලෙස ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙල උත්කර්ෂයට නැංවීම මගින් මහජන සහයෝගයක් නිර්මානය කර ගැනීමට උත්සාහ කර ඇත.

එමෙන් ම, මැද පෙරදිග සහ මධ්‍යම ආසියාව තුල ඉරාන ධනේශ්වරයේ අභිලාෂයන් හඹා යාමට ද ඉරාන තන්ත්‍රය උත්සාහ කරන අතර එහි එක්සත් ජනපද විරෝධී පූච්චානම්වලට පිටුපසින් ඇත්තේ එම එල්ලයන් පෝෂනය කරනු ඇති නව සබඳතා ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග තහවුරු කර ගැනීමේ අභිප්‍රායකි.

එපමනක් නොව, ටෙහෙරානයට, බාහිර සතුරකු දෙසට මහජන අවධානය යොමු කිරීමට සෑහෙන හේතු පවතී.

ඒ මක් නිසා ද කිය තොත්, ශිෂ්ඨ සම්පන්න රැකියා පිලිබඳ සියලු බලාපොරොත්තු අහිමි කෙරුනු හා 'ඉස්ලාම් සමූහාන්ඩුවේ ' ගෙල හිර කරන සංස්කෘතික හා දේශපාලනික බන්ධන සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින දශ ලක්ෂ සංඛ්‍යාත තරුනයන්ගෙන් හා තරුන කම්කරුවන්ගෙන් සමාජයේ පහලින් එල්ල කෙරෙන වැඩෙන අභියෝගයකට තන්ත්‍රය මුහුන දී සිටින බැවිනි. පසු ගිය සතියේ දී, ටෙහෙරාන් මාධ්‍ය තුල පවතින අසාරි විරෝධී වර්ගවාදය මගින් අවුස්සන ලද, ඉරානයේ විශාලතම සුලුතරය වන තුර්කි භාෂාව කතා කරන අසාරි ජන වර්ගය විශාල වසයෙන් වෙසෙන, රටේ වයඹ දිග කලාපයේ මහජන කැරලි හමුවේ ආන්ඩුව කම්පනයට පත් විය.

බුෂ් ආන්ඩුවේ අර්බුදය බුෂ් ආන්ඩුව සම්බන්ධයෙන් ගත් කල, ඉරානය සමග සාකච්ඡා අරබයා කෙරුනු පසු බැසීම එය මුහුන දෙන ගැඹුරු වන දේශපාලන අර්බුදයේ තවත් ප්‍රකාශනයකි.

වොෂිංටන් පෝස්ට් නිරීක්ෂනය කරන අයුරු, 'ආන්ඩුව මෙම පියවර ගත්තේ දුර්වල මොහොතක ය. ජනාධිපති පිලිබඳ මහජන මත විමසුම් මට්ටම් නවීන යුගයේ ජනාධිපතිවරයකු සඳහා මෙතෙක් වාර්තා වී ඇති අඩුම මට්ටම් අතරට වැටෙන අතර ආංශිකව ඉරානය සමග ගැටුම හේතු කොට ගෙන තෙල් මිල ගනන් වාර්තාගත මට්ටම්වලට නැග තිබේ. ඉහල තෙල් මිල පෙරලා ඉරාන භාන්ඩාගාරය පොහොසත් කර ඇත. ' නව ක්‍රියා මාර්ගය පැමිනියේ, රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ගනනාවක් සහ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් හා හිටපු ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නියෙව් බ්‍රෙසින්ස්කි වැනි පුද්ගලයන් ඇතුලු එක්සත් ජනපද පාලක ප්‍රභූවේ කොටස් විසින්, බුෂ්ගේ හිතුවක්කාරී ඉරාන පිලිවෙත ගැන මාස ගනනාවක් තිස්සේ කරන ලද වාචික විවේචනවලට අනතුරුව ය.

පසු ගිය මාසයේ දී සෙනෙට් විදේශ සබඳතා කමිටුව එක්සත් ජනපද-ඉරාන සබඳතා පිලිබඳ දින දෙකක විමසුම් පැවැත්වූ අතර එහි දී රිපබ්ලිකන් සභාපතිරිචඩ් ලුගාර් පිලිවෙතෙහි වෙනසක් සඳහා බලගතු ලෙස අනුමැතිය ප්‍රකාශ කලේ ය.

දැන් පෙනී යන පරිදි, මෙම කමිටුවේ විමසුම එම අවස්ථාවේ හිතාමතාම පවත්වන ලද්දේ, ඒ වන විටත් සිදු කෙරෙමින් පැවති පිලිවෙතෙහි වෙනසක් සඳහා මහජන මතය හුරු කරනු පිනිස ය. සති අන්තයේ ප්‍රවෘත්ති සේවා මගින් තක්සේරු කර තිබුනේ, වෙනස ඇරඹුනේ මීට මාස දෙකකට පෙර, එනම් රයිස් යුරෝපීය විදේශ ඇමතිවරු සමග බර්ලිනයේ පැවති රැස්වීමක් හමාර වී පෙරලා පැමිනීමෙන් පසුව ය. එම රැස්වීමේ දී එක්සත් ජනපද ආස්ථානයට කිසිදු සහයෝගයක් ලැබුනේ නැත. 'ඉරානවරු ජය ගනිමින් සිටියහ. ' යැයි බුෂ්ගේ සහායකයෙක් නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයට පැවසී ය.

ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් සහ උප ජනාධිපති චෙනි පිලිවෙත් වෙනසට ප්‍රතිරෝධය දක්වන තතු තුල, බුෂ් ආන්ඩුව තුල තවමත් බැරෑරුම් භේද පවතී. සාකච්ඡා සඳහා එක්සත් ජනපදය කල යෝජනාවට පසුව පවා, සිංගප්පූරුවේ පැවති මිලිටරි සම්මන්ත්‍රනයකට කල කතාවක දී, රම්ස්ෆෙල්ඩ් ඉරානය විස්තර කලේ, 'ලෝකයේ ප්‍රමුඛ ත්‍රස්තවාදී රටවල්වලින් එකක් ' ලෙස ය. එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානය හා ඉරාකය අල්ලා ගැනීමට ප්‍රතිචාර වසයෙන් තනා ගැනුනු, මධ්‍යම ආසියානු රටවල කලාපීය සංවිධානයක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ නිරික්ෂකයකු ලෙස සහභාගි වීමට ඉරානයට අවසර දීම සම්බන්ධයෙන් ඔහු විශේෂයෙන් ම රුසියාව හා චීනය විවේචනයට ලක් කලේ ය.

ඉරාකයට එරෙහි යුද්ධය වෙනුවෙන් උද්ඝෝෂනය කල ප්‍රධාන මාධ්‍යකරුවන් අතර සිටින වොෂිංටන් පෝස්ට් රාජ්‍යතාන්ත්‍රික ලියුම්කරු ජිම් හෝග්ලන්ඩ් ඉරිදා සිය තීරු ලිපිය තුල යෝජනා කර සිටියේ, ඉරාකය තුල 2002-2003 කාලයේ දී සිදු වූ එම සිද්ධීන් දාමය ම ඉරානය සම්බන්ධයෙන් 2006-2007 දී දිග හැරීමට බෙහෙවින් ඉඩ ඇති බව යි: එනම්, මැනවින් ප්‍රසිද්ධ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් හා එය පසුපසින් ඒකපාර්ශ්වීය එක්සත් ජනපනද මිලිටරි ක්‍රියා මාර්ගයක්.

හොග්ලන්ඩ් මෙසේ ලිවී ය: 'ඉරානය රහසේ න්‍යෂ්ටික අවි වර්ධනය කිරීම නතර කිරීම හෝ එය ප්‍රමාද කිරීම පිනිස, අවශ්‍ය නම්, මිලිටරි ක්‍රියා මාර්ගයක් ගැනීම ගැන ජනාධිපති තවමත් ඇත්තට ම සිත හදාගෙන නැත. එම තීන්දුව බොහෝ විට තව වසරක් ඔබ්බෙන් වනු ඇත. . . . 2007 ගිම්හානය වන විට, බුෂ් එකිනෙකට සමීප වන කාල සටහන් දෙකක් දෙස බලා සිටිනු ඇත: එනම්, ඔහුගේ ජනාධිපති ධුර කාලය අවසන් වීම සහ සහතික කර ගත හැකි සාමකාමී න්‍යෂ්ටික වැඩපිලිවෙලක් තුලට ඉරානවරු එකඟ කරවා ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයේ ඉරනම යි. '

[මෙය 2006 ජූනි 5 වැනි දින Bush administration reverses US ban on talks with Iran යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading