සිය නවතම සිනමා නිර්මානය වන වෝටර් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට කල මෑත සංචාරයක දී ඉන්දියාවෙන් බිහි වූ චිත්‍රපට අධ්‍යක්ෂිකා දීපා මේතා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු රිචර්ඩ් පිලිප්ස් සමග කතාබහක යෙදුනා ය. ච්ත්‍රපටයට සම්බන්ධිත කරුනුවලින් පැහැදිලි කෙරෙන පරිදි, ඉන්දියාවේ දී නිෂ්පාදන කටයුතු ඇරඹුනේ හය වසරකට ඉහත දී වුව ද දක්ෂිනාංශික හින්දු අන්තවාදීන් විසින් ගෙන යන ලද දුෂ්ට දේශපාලන ව්‍යාපාරයකින් පසුව එය පසෙක තැබුනි. පසු ගිය වසරේ දී චිත්‍රපටය සම්පූර්න කෙරුනු අතර 2005 ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේ දී එහි මංගල දර්ශනය පැවැත්වුනි. මේ වන විට එය එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කීපයක තිරගත වන අතර ඉදිරියේ දී අනෙකුත් රටවල ද තිරගත කෙරෙනු ඇත.
රිචර්ඩ් පිලිප්ස්: අවසානයේ චිත්‍රපටය සම්පූර්න කිරීමට ඔබට හැකිවීම ගැන සතුට පල කරන්නට මට අවසර දෙන්න. එය නිශ්චිත වශයෙන් ම ඉන්දියානු වැන්දඹු ස්ත්‍රීන්ගේ ශෝචනීයත්වය හා හින්දු අන්තවාදීන් වර්තමානයේ වැලඳ ගෙන ඇති සාමාජීය වටිනාකම් කෙබඳු ද යන්න පිලිබඳ සැලකිය යුතු හෙලිදරව් කිරීමක්.
ලැබී ඇති ප්‍රතිචාරය කොහොම ද? දීපා මේතා: ස්තුති යි. ප්‍රතිචාරයෙන්, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව කතා කරන කැනඩාව තුල දී ඉහල ම සාර්ථකත්වය ලද විදේශ භාෂාමය චිත්‍රපටය ලෙස ලැබුනු ප්‍රතිචාරයෙන් අප සලිතව සිටිනවා. මෙයට හුරුපුරුදු වීම දුෂ්කර යි, විශේෂයෙන් අප ඉවසා සිටි සකලවිධ දේශපාලනික හිස්ටීරියාවට හුරු වීම දුෂ්කර යි.
රිපි: ඔබ මෙම ප්‍රතිචාරය බලාපොරොත්තු වුනා ද? දීමේ: නැහැ, මේ තරමින් බලාපොරොත්තු වුනේ නැහැ.
ඉන්දියාවේ දී මගේ තාත්තා චිත්‍රපට බෙදා හරින්නෙකුව සිටි නිසා, මෙය අමුතු හා මුලුමනින් ම පාහේ පෙරදැකීම් කිරීමට නොහැකි කර්මාන්තයක් බව මුල් කාලයක දී ම මා ඉගෙන ගත්තා. ස්වභාවයෙන් ම ඕනෑ ම කෙනෙක් තම කෘතිය මහජනතාව වෙත ලඟා වේ ය කියා හැම විට ම බලාපොරොත්තු වෙනවා තමයි, නමුත් මෙම ප්‍රතිචාරය දැවැන්ත යි.
රිපි: වසර හයක් තිස්සේ චිත්‍රපටය පසෙක තැබීම මගින් ඔබ කෙරෙහි ඇති කෙරී තිබෙන කලාත්මක බලපෑම කුමක් ද, දේශපාලනික වාතාවරනය තුල වෙනසක් සිදු වී ඇතැයි ඔබ සිතනවා ද? දීමේ: සමහර පැතිවලින් කලාකරුවන් සඳහා වූ තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බව මා සිතනවා.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරය හැම තැන ම සිදු වෙනවා, නමුත් සිනමාකරුවන් ද නො වලහා කතා කරනවා, සයිරියානා, ගුඩ් නයිට්, ඇන්ඩ් ගුඩ් ලක් හා මියුනිච් වැනි ඇතැම් හොඳ චිත්‍රපටවලින් මෙය පිලිබිඹු වෙනවා. ස්පිල්බර්ග් වැනි අයෙකු මියුනිච් චිත්‍රපටය නිර්මානය කිරීම නිශ්චිතව ම වෙනසක් ඇඟවුම් කරනවා.
රිපි: ඒක ඇත්ත යි, නමුත් හින්දු මූලධර්මවාදීන්ගේ ව්‍යාපාරය ඔබ කෙරෙහි ඇති කල කලාත්මක බලපෑම කුමක් ද? දීමේ: එය රඳා පවතින්නේ ඔබ අදහස් කරන දේ මත.
උත්තර් ප්‍රදේශ්හි බීජේපී (භාරතීය ජනතා පක්ෂ) ප්‍රාන්ත ආන්ඩුව චිත්‍රපටයේ වැඩ කටයුතු නැවැත්වූ විට මා මුලුමනින් ම තනි වුනා.
ඉන්දියාව තුල අපට ආධාරකරුවන් ටික දෙනෙකු ඉන්නවා තමයි ඒත්, මා ඔබට විස්තර කලා වගේ, එය වෝටර් චිත්‍රපටයේ වැඩ නතර කිරීමක් වුනත් එය මට පමනක් නෙවෙයි ඔවුන්ගේ සංස්කෘතික පිලිවෙත්වලට එරෙහිව සෘජුව කතා කරන ඕනෑ ම කෙනෙකුට එරෙහිව එල්ල වුනු මූලධර්මවාදීන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට එය පත් වුනා.
එය දක්ෂිනාංශික කරදරකාරයන්ගේ ඉතා කුඩා කන්ඩායමක් මිස බහුතරය නොවන බව දැන සිටියත් ව්‍යාකුලත්වය හා ඇතැම් විට බිය ගෙන දුන්නා. ඔබ හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මා සමග එක් වූවිටඑය බුද්ධිමයව පමනක් නෙවෙයි භාවමය තලයේ දීත් මට තදින් ම අවශ්‍යකර වූ ආධාරය වුනා. ලෝකයේ අඩකින් පමන ලද මේ සහාය මහත් දිරි දීමක් වුනා වගේ ම මා එයට ඉතා කෘතඥ වුනා.
ඒත් වෝටර් චිත්‍රපටය පසෙක තැබීමට මා තීරනය කලා, අනතුරුව වෙනත් චිත්‍රපට දෙකක් නිර්මානය කලා - එනම් විචිත්‍ර සංගීතමය ප්‍රහසනයන් දෙකක් වූ හොලිවුඩ් බොලිවුඩ් හා රිපබ්ලික් ඔෆ් ලව්. හරිම විනෝදජනක යි. ගම්භිරත්වයෙන් මුලුමනින් ම තොර වූ හා වෙනස් දෙයක් මට අවශ්‍ය වුනා.
මගේ කෝපය නතර කර ගන්නා තුරු වෝටර් චිත්‍රපටය නිර්මානය කිරීමට මට නොහැකි යැයි මා මට ම කියා ගත්තා, ඊට වසර හතරක් ගත වුනා. මා නිශ්චිතව ම චිත්‍රපටය තනන්නට සිටියා, ඒ ගැන මගේ හිතේ කිසි සැකයක් තිබුනේ නැහැ, නමුත් මගේ කෝපය පිටපත මත ආරෝපනය කරන්නට මට පුලුවන් වුනේ නැහැ.
ඒ නිසා අනෙකුත් චිත්‍රපට බොහෝ පැතිවලින් - භාවමය තලයේ දී හා වෘත්තීමය තලයේ දී - මට උදව්කාරක වුනා, මා ආපසු හැරී බලන විට, වෝටර් චිත්‍රපටයේ නිර්මාන කටයුතු යලි ඇරඹීමට එය මා සූදානම් කල බව කිව යුතු යි.
රිපි: ඔබ පිටපතේ යම් හෝ වෙනස්කම් සිදු කලා ද? දීමේ: නැහැ, නමුත් මා වෙනස් වී තිබුනා. මා චරිත යොදා ගත් ආකාරය හා දෙබස්වල ප්‍රමානය සහ ඇතැම් දර්ශන රූපගත කිරීමට මට වුවමනා කර තිබූ විදිය වෙනස් වුනා. ඇත්තෙන් ම නලුනිලියන් වෙනස් කෙරුනා.
මුලින් සැලසුම් කර තිබූ ලාබාල දැරියට මේ වන විට වයස 12ක් හෝ 13ක් වුනා. කල්‍යානි ලෙස රඟපෑමට තෝරා ගෙන තිබුනේ බලගතු චරිතයක් වූ නන්දිතා දාස්, නමුත් වඩාත් පීඩාවට පත් විය හැකි යමෙකු මට වුවමනා වුනා. මා සිතේ ඇඳී තිබූ ආදර්ශ රූපයට ලීසා රේ වඩාත් ගැලපුනා. ශකුන්තලාගේ භූමිකාවටත් මුලින් තෝරා ගෙන තිබුනේ ශබානා ආස්මි, නමුත් මට අවශ්‍ය වන්නේ මට සිලිටු බවින් වඩාත් අඩුවූ චරිතයක් යැයි මා තීරනය කලා. හොඳ ම තේරීම වුනේ සීමා බිස්වාස්, ඇය සමග වැඩ කිරීමේ වුවමනාව මට හැම විට ම තිබුනා. ඈ හරි ම අගෙයි.
රිපි: ලාබාල දැරිය සරලා? දීමේ: අපි ඇය සොයා ගත්තේ ශ්‍රී ලංකාවෙන්. ඈ ආවේ කොලඹට දකුනින් පිහිටි ගාල්ලට සමීප කුඩා ගමකින්. ඉන්දියාවේ දී මට බොහෝ ලාබාල දැරියන් මුන ගැසී තිබුනා, බොලිවුඩයේ ආනුභාවයට එතරම් ම හසු වී නොතිබුනත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට රඟපෑම් පිලිබඳ අත්දැකීම් තිබුනා. දෙබස් කිව යුතු විලාසය පිලිබඳ සියලු ආකාරයේ වැරදි අදහස් ඔවුන් සතුව තිබුනා. බොලිවුඩයේ මූලිකාංගවලින් ලැබුනු සියලු හැඟීම් හා අන් සියල්ල පොදුවේ හැමෝගෙ ම හිස මුදුනෙ තිබුනෙ, ඔලු කුරවල් කෙරිලා, අපට වුවමනා වුනේ ඒක නෙවි.
අපි ශ්‍රී ලංකාවේ පාසල්වලට ගියා, කෙනෙක් දැරියන් බොහෝ ගනනක් රූගත කලා. අපට සරලා මුන ගැහුනේ එහෙම යි. ඈ හඬ පරීක්ෂනයකට ආ වෙලාවේ ඇය දුටු සැනෙකින් ම මා දැන ගත්තා අපට අවශ්‍යව තිබුනේ ඈ බව.
රිපි: ඇය හින්දි බස කතා කරන්නේ නැහැ. එය බාධාවක් වුනා ද? දීමේ: නැහැ. ඇත්ත වශයෙන් කීවොත් එය වෙස් වලා ගත් ආශිර්වාදයක් වුනා. ඇයට දෙබස් හුඟක් නොතිබුනත් ඇයත් අනෙක් අයත් පවසන්නේ කුමක් ද යන්නත් ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්නත් ඇයට හරියට ම කිව්වා. අපි ඒ කඩුල්ල පැන ගත් විට ඈ හරි ම හපනෙකුත් සැබෑ නිලියකුත් වුනා. ඇත්තට ම සුලු සීරුමාරු කිරීම් සිදු වුනා - තව පොඩ්ඩක් වැඩියෙන්, තව පොඩ්ඩක් අඩුවෙන්, බොලිවුඩ් වැඩ එපා වගේ ඒවා - ඈ යසට කලා.
රිපි: ශ්‍රී ලංකාවේ දී විශේෂ ආරක්ෂක වැඩ පිලිවෙලවල් අවශ්‍ය වුනා ද? දීමේ: නැහැ. අපට ඉතා ම හොඳ දේශීය පිරිසක් සිටියා, ඔවුන් කුලියට ගත්තේ “හොර රහසේ,” ඒ කියන්නේ චිත්‍රපටය නිර්මානය කෙරෙමින් පවතින බව කිසිවෙකුට දැන ගැනීමට අපහසු වන අයුරින්. තමන් කරමින් සිටින්නේ කුමක් ද යන්න පිලිබඳ කිසි ම තොරතුරක් නො සපයන ලෙස නැත් නම් සම්මුඛ සාකච්ඡා නො දෙන ලෙස නලුනිලියන්ට දන්වා සිටියා, චිත්‍රපටයට තිබුනේ මුලුමනින් ම වෙනස් නමක්.
කෙනෙක් “රිවර් මූන්” යන නම කිව්වා අපි ඒක පාවිච්චි කලා.
රිපි: මෙම කතන්දරය තෝරා ගැනීමට ඔබ මෙහෙයවුනේ කුමකින් ද? දීමේ: වාරනසීවල යන්ග් ඉන්ඩියානා ජෝන්ස් නම් රූපවාහිනී මාලා නාටකයේ අංකයක් රූගත කරද්දී තමයි මා මුලින් ම වැන්දඹු ස්ත්‍රීන්ගේ ආශ්‍රමයක් දුටුවේ.
ඒ වෙලාව උදේ පාන්දර, මා දැක්කා අඟුටුමිට්ටෙක් වගේ වකුටු වුනු තනි කෑල්ලේ සාරි රෙද්දක් ඇඳ ගත්තු අවුරුදු 80ක විතර වයසැති මහලු වැන්දඹු ස්ත්‍රියක්.
ඈ මුලුමනින් ම වාගේ අන්ධ යි, ඇය තම උපැස් යුවල බිම වට්ටා ගෙන තිබුනා. ඒවා සොයා ගන්න මා ඇයට උදව් වුනා, ඉන් පස්සෙ ඈ ජීවත් වන ආශ්‍රමයට ඇය ආපසු කැඳවා ගෙන ගියා. වැන්දඹු ස්ත්‍රීන් ආයතනගතකිරීම මා පලමුවෙන් ම දුටු අවස්ථාව මෙය යි. දුටු දෙයින් මා කම්පනයට පත් වුනු මා, මගේ ජීවිතයේ කවර හෝ මොහොතක ඔවුන් මුහුන දෙන දුෂ්කර තතු ගැන චිත්‍රපටයක් කරන්නෙමැයි මට ම සපථ කර ගත්තා.
යම් ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයා මිය ගිය විට ඇත්තෙන් ම ඇයට ඇත්තේ ජීවිතයෙන් අඩක් පමන යි. ඇයට සැබවින් ම සිදු වී ඇත්තේ ඔහු සමග යලි එක් වීමට තමන්ගේ ම මරනය එන තෙක් බලා සිටීමට යි.
තාපසයන් සේ දිවි ගෙවමින් සාමාන්‍ය මිනිසෙකුට හිමි විය යුතු සියලු දේ ප්‍රතික්ෂේප කිරීමට වැන්දඹු ස්ත්‍රීන්ට සිදු වී තිබෙනවා. චිත්‍රපටය තුල දී මෙය ගෙන හැර පෑමට මා උත්සාහ කර තියෙනවා.
රිපි: වැන්දඹු ස්ත්‍රීන් වර්තමානයේ මුහුන දෙන තත්ත්වය කුමක් ද? දීමේ: වාරනසීවල හා අනෙකුත් තැන්වල තව මත් ආශ්‍රම බොහොමයක් පවතිනවා. ලමා වැන්දඹුවන් නම් තව දුරටත් නැහැ, තුරුනු වැන්දඹු ස්ත්‍රීන්ට ආශ්‍රම තුල දී තම හිස මුඩු කිරීමට සිදු වන්නේත් නැහැ.
වැන්දඹු ස්ත්‍රීන් මුහුන දෙන පීඩාවට එරෙහි විරෝධයක් සැබවින් ම පවතින නමුත් එය බොහෝ කොට ම තිබෙන්නේ ප්‍රජාමූල මට්ටමක. වැන්දඹු ස්ත්‍රීන්ට යම් අවසන් ජයග්‍රහනයක් අත් කර ගැනීමට නම් ආර්ථික ස්වාධීනත්වය හා තමන් ආශ්‍රමයෙන් සමු ගෙන ගියොත් නරක හින්දූන් ලෙස ප්‍රසිද්ධියේ චෝදනා නොකෙරෙන්නේ ය යන විශ්වාසය ඔවුන්ට දෙන වාතාවරනයක් තිබිය යුතු වෙනවා.
රිපි: චිත්‍රපටයෙන් මහජනතාව උකහා ගත යුතු යැයි ඔබ සිතන කේන්ද්‍රීය කරුන කුමක් ද? දීමේ: මගේ චිත්‍රපටයේ සාරය වන්නේ හෘදය සාක්ෂ්‍යය හා ආගමික විශ්වාසයන් අතර පවතින වෙනස පිලිබඳව එමගින් කෙරෙන එලිදරව්ව යි. සදාචාරමය හෘදය සාක්ෂ්‍යය හා ජීවිතයේ යථාර්ථයන් සමග ගැටෙන්නා වූ දරාගත නොහැක් දෘෂ්ටිවාදයන් කර පින්නා ගන්නවා වෙනුවට මහ ජනතාව තමාටම අවංකවී තමාටම සවන් දිය යුතු යි.
රිපි: ඔබ සිතන පරිදි චිත්‍රපටය ඉන්දියාව තුල අත් කර ගනු ඇති බලපෑම කුමක් ද? දීමේ: මා දන්නේ නැහැ. වසර දෙදහසක් තිස්සේ පටවා තිබෙන චාරිත්‍රවිධියක් සහමුලින් වනසා දැමීම දුෂ්කර දෙයක් වගේ ම නිසැකව ම චිත්‍රපටයකින් ම පමනක් එය සිදු වන්නේ නැහැ. ෆයර්, අර්ත් හා වෝටර් චිත්‍රපට ස්වාධීනත්වය හා නිදහස සඳහා වූ අභිලාෂය සහ ආගමික සම්ප්‍රදාය, හෝ ආසන්න වශයෙන් මෙම සම්ප්‍රදායයන්ගේ අතිශය පසුගාමී රූපාකාරයන් අතර ගැටුම පිලිබඳව ඉඳුරා ම තැනූ ඒවා. ඒ දිශාවට මා යම් ප්‍රගතියක් ලැබ ඇත් නම් මා සතුටු වෙනවා.
බීජේපීය මැතිවරනයෙන් පරාජයට පත් වී කොන්ග්‍රස් ආන්ඩුවක් බලයට ආ තැන් පටන් ඉන්දියාව තරමක් වෙනස් වී තිබෙනවා. එය දැන් න්‍යෂ්ටික බලවතෙකු, මෘදුකාංග ව්‍යාපාරයේ යෝධයෙකු ලෙස හැඳින්වෙනවා, බොලිවුඩයත් තියෙනවා, මහා සංගත ලාභ ශ්‍රමයේ වාසිය ඩැහැ ගනු වස් රට තුල බින්න බහිනවා. විශාල මුදලක් උපයා ගනු ඇති ඉන්දියානුවන් සිටියත් පතුලෙහි ම සිටින්නන් උදෙසා එය ගලා යාමක් හා ඔවුන් උදෙසා පවතින තත්ත්වයන්හි වැඩි වෙනසක් සිදු නොවන නිසා මේ සියල්ල තරමක භය උපදවන්නක් ලෙස මට දැනෙනවා. අධ්‍යාපන සුදුසුකම් නැති අයට කිසිදු යහපතක් නොවනු ඇති, එය පිරිසුදු ජලය හා මනා පහසුකම් නොගෙනෙනු ඇති.
“ඉන්දියාව නැග එයි” වැන්නක් කියැවෙන සිරස්තලයක් සහිතව මෑතක දී නිව්ස්වීක් සඟරාවේ මුල් පිටුවේ බුෂ් පෙනී සිටියා. ඒත් මේ සියල්ලෙන් අදහස් වන්නේ කුමක් ද?, එය අවසන් වන්නේ කොතැනින් ද? මෝටර් රථ කීයක් තියෙනව ද එහෙම නැත් නම් කොපමන න්‍යෂ්ටික බලයක්, දසලක්ෂපතීන් හෝ සුඛෝපභෝගී රාත්‍රි සමාජ ශාලා සතු ද කියන එකෙන් රටක් අර්ථවත් වෙනව ද. ඔවුන් වසර ගනනාවක් තිස්සේ අප නො සලකා හැරියා, දැන් හදිසියේ එක්සත් ජනපද ආන්ඩුව අතිශය සුහදශීලී බවට පත් වෙලා. ඇයි මේ? රිපි: අර්ත් චිත්‍රපටය නිර්මානය කිරීමෙන් - එය සිදු වුනේ “සැප්තැම්බර් 11 දාට” පෙර වගේ ම ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට පෙර - ජාතිකවාදයේ හා නිකායවාදයේ විපාක පැහැදිලි කර දීමට ඔබ උත්සාහ කලා. ඔබ අද දවසේ තත්ත්වය දකින්නේ කෙසේ ද? දීමේ: නිසැකව ම එය වෝටර් චිත්‍රපටයේ දී මා මුහුන දුන් ගැටලුවලට වඩා බෙහෙවින් බරපතල යි, මූලධර්මවාදය හැම තැන ම හිස ඔසවලා, එය හුදෙක් ඉන්දියානු ප්‍රශ්නයක් නෙවෙයි. මේ දැන් එක්සත් ජනපදයේ තත්ත්වය බලන්න - ක්‍රිස්තියානි මූලධර්මවාදීන් හරියට ම ධවල මන්දිරය තුල ම. සිදු වෙමින් පවතින දේ ගැන මා අතිශයින් උත්සුක වෙනවා.
පෞද්ගලික හෝ දේශපාලනික වාසිය තකා යොදා ගත් විට ආගමේ බලය අතිශයින් ම විනාශකාරී යි.
මහජනතාව බෙදා වෙන් කර, තම අරමුනු ලුහු බැඳ යාමට දේශපාලකයන් සතු වන ඉතා ම බල සම්පන්න මෙවලම මෙය යි. රෝග බීජ පතුරවා හරිමින් යුද්ධ කිරීමක් ගැන ඔවුන් කතා කරන නමුත් අප මුහුන දී සිටින ඒ ආකාරයේ සැබෑ යුද්ධය මෙය යි, එය ලෝකය පුරා දේශපාලකයන් විසින් දිනපතා මුදා හරිනු ලබනවා.4 රිපි: සිනමාකරුවන් මීට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද? දීමේ: අප කැමති හැම දේ ම වෙනස් කරන්න චිත්‍රපටවලට පුලුවන් ය කියල මට නිසැකව කියන්න බැරි වුනත් - එය බොහොම සංකීර්න ක්‍රියාවලියක් - ඒවා අතිශය බලගතු මෙවලම් වන අතර බහුතරයේ යහපත සඳහා යොදා ගත යුතු යි. සිතන්නැයි මහජනතාවට අභියෝග කරන්නත් ඇතැම් අන්ධ විශ්වාසයන් හා නූගත්කම් පසුපසට තල්ලු කිරීමට උදව් වන්නත් ඒවාට පුලුවන්.
ස්පිල්බර්ග්, ක්ලුනි හෝ අන් කවරෙකු හෝ වේවා, සිනමාකරුවන්ට ඉලක්කයක් ඇත් නම් ඔවුන් විනෝදය හා අධ්‍යාපනය සඳහා තම නිපුනතාවන් යොදා ගත යුතු යි, ජනමාධ්‍යයට හෝ ආන්ඩුවලට වෙනස් වූ දෘෂ්ටි කෝනයක් පිරිනැමිය යුතු යි.
රිපි: ඔබේ මීලඟ ව්‍යාපෘතිය කුමක් ද? දීමේ: මගේ මීලඟ චිත්‍රපටය හැඳින්වෙන්නේ එක්ස්ක්ලුෂන් යන නමින්, එහි වස්තුවිෂයයෙන් ඔබ සතුටින් පිනා යනවා සිකුරු යි.
එය සත්‍ය කතාවක්, කැනඩාවට සංක්‍රමනය වීමට උත්සාහ කරන ඉන්දියානුවන් - සීක්වරුන්, හින්දූන් හා මුස්ලිමුන් - කන්ඩායමක් ගැන. “කමගාටා මාරු” නමැති ජපාන ගල් අඟුරු නැවකින් ගමන් කරමින් 1914 දී ඔවුන් කැනඩාවට සේන්දු වුනත් ඊට පෙර ආ බොහෝ අයට මෙන් ඔවුන්ට ද වර්ගවාදී සංක්‍රමනික පිලිවෙත් මගින් බාධා කෙරුනා. අනතුරුව ඔවුන් රැකවරනය පතා නීතිමය පියවරක් ගෙන එය ලබා ගත්තා. ඒත් දෙමසකින් ඒක අවසන් වුනා, ඔවුන් පරාජය වී ආපසු ඉන්දියාවට එවනු ලැබුනා.
ඔවුන් කල්කටාවට ගොඩ බැස්ස වේලේ බ්‍රිතාන්‍ය හමුදාව ඔවුන්ට වෙඩි තියන්න පටන් ගත්තා, බොහෝ දෙනෙකු ඝාතනය කෙරුනා. දිවි ගලවා ගත් එක් අයෙක් ආපසු කැනඩාවට ගොස් තම කන්ඩායමට බාධා කිරීම ගැන වගකිව යුතු වූ සංක්‍රමනික නිලධාරියෙකුට වෙඩි තැබුවා. ඒක පුදුම හිතෙන කතාවක්.
[මෙය 2006 මැයි 15 වැනි දින Deepa Mehta speaks with WSWS යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
