නේපාල අර්බුදය පාලනය කර ගැනීමේ නව දිල්ලි ප්‍රයත්නයේ දී ඉන්දියානු ස්ටැලින්වාදියෝ ප්‍රධාන භූමිකාවක්‌ ඉටු කරති

ි ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ (මාක්ස්වාදී) -- සීපීඅයි(එම්) -- නායකත්වය නේපාලයේ ධනේශ්වර පාලනයට මුක්කු ගැසීමේ ඉන්දියානු ආන්ඩුවේ වෑයමේ දී වැදගත් භූමිකාවක් රඟ දක්වයි. ගයනේන්ද්‍ර රජුගේ ඒකාධිපති පාලනයට එරෙහිව කත්මන්ඩු සහ අනෙකුත් නාගරික මධ්‍යස්ථානවල පැන නැගි ජනතා විරෝධතාවන්ගෙන් ද ගම්බද මාවෝවාදී කැරැල්ලකින් ද දිලිඳු හිමාලයානු රාජ්‍යය සොලවා ලනු ලැබ තිබේ.

නේපාලයේ නව අගමැති ගිරිජා ප්‍රසාද් කොයිරාලගේ සහ පක්ෂ හතේ සන්ධානයේ (එස්පීඒ) - 2005 පෙබරවාරියේ දී රජු සියලු විධායක බලතල පැහැර ගැනීමට විරුද්ධ වූ ධනේශ්වර පක්ෂවල සන්ධානයකි - ආරාධනයෙන් සීපීඑම් දේශපාලන කමිටු සාමාජික සීතාරාම් යෙෂුරි අප්‍රේල් 28 වන සිකුරාදා සිට මැයි 1 වන සඳුදා දක්වා නේපාලයේ සංචාරය කලේ ය.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ ඉහල මන්ඩලයේ සාමාජිකයෙකු වන යෙෂුරි ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුවේ අර්ධ නිල නියෝජිතයෙකු ලෙස නේපාලයේ සංචාරය කලේ ය. කත්මන්ඩුවලට ගුවන්ගත වීමට පෙර ඔහු ඉන්දියානු විදේශ ලේකම් ශ්‍යාම් සරාන් සහ ආරක්ෂක ඇමති ප්‍රනාබ් මුඛර්ජි මුන ගැසුනේ ය.

කත්මන්ඩුවල ගත කල කාලය තුල ඔහු කොයිරාල සහ අනෙකුත් එස්පීඒ නායකයන් සමග නේපාලයේ මූල්‍ය අවශ්‍යතා පිලිබඳව සාකච්ඡා කලේ ය.

පූර්න බලැති ඉන්දියානු තානාපතිවරයෙකු ලෙස කතා කරමින් යෙෂුරි නේපාල ව්‍යවස්ථාදායක සභාවකට පැවැත්වෙන ඡන්දය බියෙන් හා බිය ගැන්වීම්වලින් තොරව පැවැත්වෙන බව සහතික කිරීමට බලය පැවරුන ජාත්‍යන්තර නිරීක්ෂන බලකායක් යෙදවීම පිලිබඳව ඉන්දියාව විරෝධය නොපාන බව පැවසී ය. නේපාල ආන්ඩුව ඉල්ලීමක් කරන්නේ නම් ඉන්දියානු අත් අඩංගුවේ සිටින මාවෝවාදීන් නිදහස් කිරීමට ඉන්දියාව කැමති වනු ඇති බව ද ඔහු පැවසී ය. ඉන්දියාවට ආපසු පැමිනි යෙෂුරි, කොයිරාල මේ මස අවසාන භාගයේ දී ඉන්දියාවට පැමිනීමට අදහස් කර ගෙන සිටින බව නිවේදනය කලේ ය.

කොයිරාල හා එස්පීඒ නායකත්වය ස්ටැලින්වාදී සීපීඑම්හි නැගී එන තාරකාවක් වන යෙෂුරිට ගරු කටයුතු වැදගත් නිලධාරියෙකුට මෙන් සැලකුම් කලේ ය. 2002 දී රජු විසින් විසුරුවා ලීමට අන කෙරුනුනාට පසුව මුල් වරට රැස් වූ නේපාල පාර්ලිමේන්තුවේ පසු ගිය සිකුරාදා පැවැත්වූ සැසියට ඔහු සහභාගි වූ අවස්ථාවේ දී අසුන්වලින් නැගිට ප්‍රීති ඝෝෂා පැවැත්වුන අතර අගමැතිගේ පෞද්ගලික ඇරයුම පිට ඔහු කොයිරාලගේ දිවුරුම් දීමේ උලෙලට සහභාගි විය.

ඉන්දියානු පුවත්පත් වාර්තාවන්ට අනුව, එස්පීඒය හා නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) අතර මෙන් ම රජුට විරුද්ධ නේපාල විපක්ෂය සහ ඉන්දියානු ආන්ඩුව අතර ද අතරමැදියෙකු සහ මැදිහත් වන්නෙකු ලෙස කටයුතු කරමින්, රජුට විරුද්ධ ව්‍යාපාරය පසු ගිය මස මැද හරියේ දී එහි උත්සන්න තත්වයට පත් වෙද්දී යෙෂුරි වැදගත් භූමිකාවක් ඉටු කලේ ය.

යෙෂුරිගේ ප්‍රයත්නයන් එල්ලව තිබුනේ පාර්ලිමේන්තු ආන්ඩුව යලි ස්ථාපනය කිරීම සහ ඡන්දයෙන් පත් කෙරෙන ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවීම සඳහා එක්ව වැඩ කිරීමට පසු ගිය නොවැම්බරයේ දී එස්පීඒය හා මාවෝවාදීන් එලඹුන එකඟතාව කඩා නොවැටෙන බව සහතික කිරීම කෙරෙහි, සහ නේපාලයේ දේශපාලන කැලඹිලි සහිත බව ඉක්මනින් අවසන් කිරීමට තිබෙන එක ම මග - රාජාන්ඩු ක්‍රමය අහෝසි වීමට ඉඩකඩ තිබෙන ව්‍යවස්ථා සභාවක් පිලිගැනීම ඉන් අදහස් කෙරෙන්නේ වුවත් - රජුගේ විරුද්ධවාදීන්ට ප්‍රධාන සහනයක් ලබා දෙන ලෙස රජුට බල කිරීම බවට යූපීඒ ආන්ඩුව කැමති කරවා ගැනීම කෙරෙහි ය.1970 ගනන්වල නව දිල්ලියේ ජවහර්ලාල් නේරු සරසවියේ එකට ඉගෙන ගෙන තිබෙන නිසා යෙෂුරි සමහර ඉහල පෙල නේපාල මාවෝවාදීන් දැන හඳුනන බව පැවසේ. ඒ කෙසේ වෙතත්, අඩු තරමේ 2005 මැයිවල දී ඉන්දියානු රහස් ඔත්තු සේවයෙන් පහසුකම් සැලසූ බවට ප්‍රකට හමුවක දී සීපීඑම් ප්‍රධාන ලේකම් ප්‍රකාශ් කරාත් නේපාල මාවෝවාදීන්ගේ නායකයෙකු හා කතාබහ කල තැන් පටන් දශකයක් පැරනි නේපාල ගරිල්ලා ව්‍යාපාරයේ නායකයන් හා සීපීඑම් නායකත්වය අතර සැලකිය යුතු සබඳතා තහවුරු වී තිබේ.

මෙම සාකච්ඡාවල දී තමන්ගේ ම දේශපාලන මාවත අනුගමනය කරන ලෙසත් නිල ධනේශ්වර දේශපාලනය තුලට මුලුමනින් අන්තර්ග්‍රහනය වන ලෙසත් ඉන්දියානු ස්ටැලින්වාදීන් විසින් මාවෝවාදීන් උනන්දු කරනු ලැබ තිබේ. සීපීඑම් ප්‍රමුඛ වාම පෙරමුන නව-ලිබරල්වාදී යූපීඒ ආන්ඩුවට බලයේ සිටීමට සහාය දෙන අතර බටහිර බෙංගාලයේ වාම පෙරමුනු ආන්ඩුව ආයෝජන-හිතවාදී ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමයි.

බටහිර ආන්ඩු සමග සුහදශීලී සබඳතා පවත්වන බුද්ධි මන්ඩලයක් වන ජාත්‍යන්තර අර්බුද කන්ඩායම, පසු ගිය ඔක්තෝබරයේ දී නම සඳහන් නොකල “ ජ්‍යේෂ්ඨ ඉන්දියානු කොමියුනිස්ට්වාදියෙකු” තමන් හා සමග මෙසේ පැවසූ බව වාර්තා කරයි: “සීපීඑම් මාදිලියේ මොඩලයකින් මාවෝවාදීන් පොලඹවා ගත යුතු ය. සමාව ප්‍රදානය කිරීමකින් හා ප්‍රධාන ධාරාවට සහභාගි කිරීමකින් ඔවුන් එකඟ කරවා ගැනීමට අපට වෑයම් කල හැකි ය.... දිගු කල් ගිය සටනක් ක්‍රියාන්විතයන්ගෙන් වෙහෙසට පත් මිනිසුන් මොකක් හෝ මූන බේරා ගන්නා යන්ත්‍රනයක්, එනම් ඉඩම් ප්‍රතිසංස්කරනය වැනි යමකින් ඔවුන් ජයග්‍රහනය ලැබුවා යැයි කියා පෑමට හැකි යමක් සෙවීමට පොලඹවයි.” ගිය මාසයේ නේපාලයේ නගර මධ්‍යස්ථානවල මහජන විරෝධතා පැන නැගීමත් සමග යෙෂුරි “ නේපාල ජනයාට වර්තමාන දේශපාලන අවුලෙන් ගැලවීමට උදව් කරන ක්‍රියා දාමයට පහසුකම් සැපයීමට” සීපීඑම්හට ඇති ශක්‍යතාව ප්‍රසිද්ධියේ තොරොම්බල් කරන අතරේ ම ඉන්දියානු ආරක්ෂක ඇමති මුකර්ජි නිරන්තරයේ මුන ගැසීම හෝ වෙනත් ආකාරයකින් ඔහු සමග සබඳතා පැවැත්වීම ආරම්භ කලේ ය.

ඉන්දියානු පුවත්පත් ද, පාර්ලිමේන්තු ආන්ඩු ක්‍රමය යලි පිහිටුවීම සහ එස්පීඒ-මාවෝවාදී අවබෝධය ගිලිහී යාම වැලැක්වූවා වූත් අවසානයේ දී නව දිල්ලියේ සහාය දිනා ගත්තා වූත් නේපාල ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය කැඳවීම සඳහා අදියර හතරක න්‍යාය පත්‍රයක් සංගෘහිත කිරීම මගින් එස්පීඒය ද යෙෂුරි සම්මානයට පාත්‍ර කලේ ය.

කත්මන්ඩුවලට කල යෙෂුරිගේ සංචාරයේ ප්‍රධාන අරමුන නිසැකව ම මාවෝවාදීන් ඉන්දියානු ආන්ඩුවට පිලිගත හැකි කොන්දේසි මත නිල නේපාල දේශපාලනයට කැඳවා ගෙන ඒමේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම ය.

සන්නද්ධ අරගලය අත හැර දැමීමට තමන් උත්සුකව සිටින බවට මාවෝවාදීන් යලි යලිත් සංඥා කර ඇත.

පසු ගිය නොවැම්බරයේ එස්පීඒය සමග ඇති කර ගත් තම ගිවිසුම යටතේ, “තරගකාරී බහුපක්ෂ ක්‍රමයකට” එක් වීම සහ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය සඳහා වන ඡන්දය එක්සත් ජාතීන්ගේ හෝ විදේශ නිරීක්ෂනයට යටත් කිරීම ඔවුහු පිලිගත්හ. රැඩිකල් වෙනස්කම් පසෙක තිබියේවා, කැපී පෙනෙන සමාජආර්ථික ප්‍රතිසංස්කරන සඳහා පොරොන්දුවක් වත් ලබා නොගෙන ම ඔවුහු ඇමරිකාව සමග මිත්‍ර සබඳතාවන්ට ද පොරොන්දු වූහ.

එසේ නමුත් මාවෝවාදීන් හා නිල ධනේශ්වර පක්ෂ අතර කල් පවතින කිසි යම් හවුල්කාරකමකට බොහෝ බාධාවන් තිබේ. ඒ අතරින් වැදගත්කමින් අඩුවක් නැති දෙය වනුයේ අවසන දේශපාලන හා සමාජ පරිවර්තනයකට වූ තමන්ගේ ආශාව ඉටු වෙතැයි ද දරිද්‍රතාව, ඉඩම් හිමිවාදය සහ කුල පීඩනය මුලිනුපුටා දැමීමේ නියම පියවරයන් ගනු ඇතැයි ද යනුවෙන් සාමාන්‍ය නේපාල ජාතිකයා තුල වන බලාපොරොත්තු ය.

දෙපාර්ශ්වය ම එකිනෙකා කෙරෙහි මෙන් ම, එකෙකු තමන්ට කත්මන්ඩු ආන්ඩුව තුල සිය පාලනයයෙන් ලැබෙන්නා වූත් අනෙකා ගම්බද පෙදෙස් බොහොමයක සිය දේශපාලන-මිලිටරි ආධිපත්‍යයෙන් ලැබෙන්නා වූත් වාසි පිලිබඳව ද විමසිලිමත්ව සිටිති.

එසේ ම එස්පීඒ සහ මාවෝවාදීන් යන දෙගොල්ල ම රජු හෝ හමුදාව හෝ නැති නම් දෙකොටස ම ඇමරිකාවේ හෝ ඉදිරි අවස්ථාවක ඉන්දියාවේ හෝ පිටුබලය ඇතිව සිය සන්ධානය අවුල් කර දමනු ඇතැයි කියාත් නේපාල ගම් ප්‍රදේශ බිමට සමතලා කරමින් මාවෝවාදී කැරැල්ල කුඩු පට්ටම් කිරීමට අලුතින් වෑයම් කරති යි කියාත් බියෙන් පසු වෙති.

සති දෙකකට ඉහත දක්වා ම, මාවෝවාදීන්ට එරෙහිව රජුගේ ස්ථාවරය බුෂ් පරිපාලනයේ ලෝක පරිමාන ත්‍රස්තවාදයට එරෙහි ශුද්ධ වූ යුද්ධයට සමාන කරමින් වොෂින්ටනය රජුට දැඩි ලෙස සහාය දැක්වී ය.

මාවෝවාදීන් සමග එකඟතාවකට ඒමේ නව එස්පීඒ ආන්ඩුවේ ප්‍රයත්නයන් මුලුමනින් ම හෙලා නො දකිමින් වුව ද, මාවෝවාදීන් “ඔවුන්ගේ හැසිරීම වෙනස් කරන” තුරු නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) “ ත්‍රස්ත සංවිධානයක්” ලෙස වර්ග කිරීම වොෂින්ටනය විසින් දිගට ම කරනු ලබන බවට නේපාලයේඇමරිකානු තානාපති ජේම්ස් මොරියාටි පසු ගිය බ්‍රහස්පතින්දා නිවේදනය කලේ ය. මාවෝවාදීන් ප්‍රථමයෙන් “සිය අවි බිම තබා ප්‍රචන්ඩත්වය පිටුදැක්කේ” නැති නම් ඔවුන්ට කිසි ම ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය සඳහා වූ මැතිවරනයකට සහභාගි වීමට අවකාශ සැලසීමට එරෙහිව, නේපාල රූපවාහිනියේ පෙනී සිටිමින් මොරියාටි එස්පීඒයට අනුශාසනා කලේ ය.

නෙපාලය ත ් ල ඉන ු ද් යාවේ ම ි ලො ූ පාය ් කි අවශ්‍යතා බ්‍රිතාන්‍ය රාජ්‍යයේ විජිත පාලකයන් සේ ම ඉන්දියාවේ පාලක ප්‍රභූව ද නේපාලය සිය මූලෝපායික ආධිපත්‍යයේ කොටසක් ලෙස දකියි.

පසු ගිය මස නේපාලය තුල ඉන්දියානු මිලිටරි මැදිහත් වීමකට ඇති ඉඩකඩ පිලිබඳව ඇසූ ප්‍රශ්නයකට අගමැති මන්මෝහන් සිං දැක්වූ ප්‍රතිචාරය සංස්ථාපිතයේ දෘෂ්ටිය පිලිබිඹු කරයි: “නේපාලය තුල සාමය සහ ස්ථාවරත්වය ඉන්දියාවේ සැලකිල්ලට ලක් වේ. එය නේපාලයට සාම සාධක හමුදා යැවීමේ අවධියක් කරා ලඟා වී නැත.” නේපාලයේ විදේශීය ආයෝජනයන්ගෙන් සියයට 50කටත් වෙලඳාමෙන් සියයට 70කටත් වග කියන ඉන්දියාව හා නේපාලය අතර සමීප ආර්ථික සබඳතා තිබේ.

නේපාලයේ ගැඹුරු වන දේශපාලන අර්බුදයට දක්වන ඉන්දියාවේ ප්‍රතික්‍රියාව ප්‍රධාන උත්සුකතා දෙකක් මගින් පොලඹවා තිබේ.

පලමුව, නේපාලයේ ප්‍රධාන භූ-දේශපාලන බලවේගය වන ඉන්දියාව වෙනුවට ඇමරිකාව හෝ චීනය ආදේශ නොවන බවට තහවුරු කිරීමට ඉන්දියාව අධිෂ්ඨාන කර ගෙන සිටී. ඒ හා බැඳුන කනස්සල්ලක් වන්නේ සිය සාම්ප්‍රදායික එදිරිවාදියා වන පකිස්ථානයට කත්මන්ඩුවල වඩා විශාල ආනුභාවයක් දිනා ගැනීමට නේපාලයේ අර්බුදය භාවිත කිරීමට අවකාශ නොදීම ය.

ඉන්දියාව සේ ම චීනය ද නේපාලයට මායිම්ව පවතින නමුත් හිමාල රාජධානියේ ඓතිහාසික හා වර්තමාන ආර්ථික හා ප්‍රවාහන සබඳතා උතුරේ සිටින බලවතාට වැඩිය ඉන්දියාව සමග වඩා සමීප ය.

ඉන්දියාව සමග යලි සමගි සම්පන්න වීමේ සිය උවමනාවේ සමස්ත ප්‍රතිපත්තිය අනුව යමින්, චීනය නේපාලයේ දී ඉන්දියාවට ආක්‍රමනශීලීව අභියෝග කර නැත. එහෙත් නව දිල්ලියේ සන්ත්‍රාසයට හේතු වන පරිදි, ගයනේන්ද්‍ර 2005 පෙබරවාරියේ බලය පැහැර ගැනීමට ප්‍රතිචාර ලෙස ඉන්දියාව මිලිටරි ආධාර කපා දැමූ විට, චීනය ඔහුගේ ආයාචනයට කන් දුන්නේ ය.

චීනයේ ගැටලුකාරී ටිබෙට් ප්‍රදේශය නේපාලයට සමීපව තිබීම නිසා වොෂින්ටනය හිමාල රාජධානිය කෙරේ වැඩෙන උනන්දුවක් පෙන්වා තිබේ. මාවෝවාදී කැරැල්ලට මුලුමනින් ම මිලිටරි විසඳුමක් සොයමින් සාම්ප්‍රදායික පක්ෂ පසෙකට තල්ලු කර දැමීමේ ප්‍රයත්නයන්හි දී වොෂින්ටනය බොහෝ සෙයින් රජු දිරිමත් කලේ යැයි ඉන්දියාව විශ්වාස කරන වගට බොහෝ සාක්ෂ්‍ය තිබේ.

ගිවිසුම සකස් කලේ නව දිල්ලියේ ය යන කාරනාවෙනුත් මාවෝවාදී නායකයන් හා විවිධ ඉන්දීය දේශපාලකයන් අතර හමුවීම්වලට ඉන්දියානු ආන්ඩුවෙන් පහසුකම් සැපයීමෙනුත් යෝජනා කෙරෙන පරිදි නව දිල්ලිය අඩු ම තරමේ රහසිගතව වත් එස්පීඒ හා මාවෝවාදීන් අතර පසු ගිය නොවැම්බරයේ වූ එකඟතාවට සහාය දැක්වී ය.

කෙසේ වෙතත් පසු ගිය මාසයේ නේපාලයේ ඇති වූ දේශපාලන කැලඹිලිවලට යූපීඒ ආන්ඩුව දැක්වූ පලමු ප්‍රතිචාරය වූයේ අර්බුදයට විසඳුමක් සෙවීම වෙනුවෙන් වොෂින්ටනය සමග සහයෝගී වීම ය. රජු විධායක බලතල පාර්ලිමේන්තු ආන්ඩුවකට වහා ම පවරා දිය යුතු යැයි නව දිල්ලිය ඉල්ලීම් කලේ සියලු විධායක බලය සියතට ගත් රජුගේ අප්‍රේල් 21 නිවේදනය ජන විරෝධය බිඳ දැමීමට අසමත් වූ ඉව පැහැදිලි වීමෙන් පසුව පමනි.

බොහෝ ඉන්දියානු පුවත්පත් හානිදායක නොවන්නේ නම් අවිචක්ෂන ලෙස විවේචනය කල නේපාල අර්බුදයට නව දිල්ලිය දැක්වූ ප්‍රතිචාරය, වොෂින්ටනය සමග ගැටීමකට යාමට වූ බිය නිසැකව ම පිලිබිඹු කරයි. නව දිල්ලිය එලඹෙන මාස දෙක දුටුවේ ලෝක න්‍යෂ්ටික ක්‍රියාකාරී රජයන් අතර ඉන්දියාවට විශේෂිත තත්වයක් ලැබෙන ඉන්දු-ඇමරිකා න්‍යෂ්ටික ගිවිසුම අනුමැතිය සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසයට ඉදිරිපත් කරනු දැකීමට ඉඩ තිබෙන, විශේෂයෙන් ම ඇමරිකාඉන්දියානු සබඳතාවන්ගේ තීරනාත්මක කාල පරිච්ඡේදයක් ලෙස ය.

නේපාලයේ සිදුවීම්වලට ඉන්දියාවේ ප්‍රතිචාරය මෙහෙයවන දෙවන මූලෝපායික උත්සුකය වනුයේ නේපාලය තුල මාවෝවාදී කැරැල්ල ඉන්දියාව තුල විවිධ හා බොහෝ සෙයින් කුඩා මාවෝවාදී/නක්සලයිට් ව්‍යාපාරයන් මත ඇති කරන බලපෑම ය.

පසුබෑමේ සියවස් කාලකට වැඩි කලකින් පසුව මෑත වසරවල දී නක්සලයිට් ක්‍රියාකාරකම්වල විශාල පලල් වීමක් දැකිය හැකි විය. ඉන්දියානු ආන්ඩුවට අනුව දැනට ඉන්දියාවේ 602ක් වන පරිපාලන දිස්ත්‍රික්කවලින් හතරෙන් පංගුවක් නක්සලයිට් බලපෑමට හසුව තිබේ. නක්සලයිට්වරුන්ගේ මෙම යලි නැග ඒම පිටුපසින් තිබෙන්නේ නව-ලිබරල් ආර්ථික4 ප්‍රතිව්‍යුහකරනයන්ගේ 15 වසරකට පසුව ඉන්දියාවේ ග්‍රාමීය පෙදෙස් බොහොමයක ද විශේෂයෙන් ම ඊනියා ගෝත්‍රික පෙදෙස්වල ද පැතිර පවත්නා තියුනු ව්‍යසනකාරී තත්වය ය.

නේපාල මාවෝවාදීන්ට නිල දේශපාලනයට පිවිසීමට තත්ත්වය සකස් කිරීම, ඉහල නැංවුන මර්දනයකින් ඉන්දියානු නක්සලයිට්වාදය හා සටන් කිරීමේ ප්‍රයත්නයට විරුද්ධව යනවා වෙනුවට ඊට ආධාර වන බවට සීපීඑම් පෙරටු කර ගත් ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ වැදගත් කොටසක් තර්ක කරයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වනුයේ පෙර සෙසු නක්සලයිට් කැරලිකරුවන් සේ ම අඩු තරමේ නක්සලයිට්වාදීන්ගෙන් සමහරෙකු වත් නේපාල මාවෝවාදීන් හරහා නිල ඉන්දියානු දේශපාලනයට එක් වීමට කැමති කරවා ගැනීම හෝ ඊට බල කිරීම යි.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමග පැවැත්වූ මෑත සාකච්ඡාවක දී යෙෂුරි මෙසේ පැහැදිලි කලේ ය: “ (නේපාල) මාවෝවාදීන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන ධාරාවට ඇද ගැනීම තමන්ගේ ම අභ්‍යන්තර මාවෝවාදී ගැටලුව සමග පොර බැදීමේ දී ඉන්දියාවට ලැබෙන විශාලතම වාසිය යි.” මොන ම අර්ථයකින් වත් ඉන්දියාවේ දේශපාලන සංස්ථාපිතයේ සියලු ම කොටස් මෙම උපාය සමග එකඟ නො වේ. නේපාල මාවෝවාදීන්ට “ප්‍රධාන ධාරාවට එකතු වීමට” ඉඩ දීම “ප්‍රචන්ඩත්වයට කප්පම් දීමක්” වන බවට මාධ්‍ය සංගතවල කොටස් තර්ක කරයි. හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය “මාවෝවාදී ත්‍රස්තවාදය පිලිබඳව මෘදු වීම” ගැන ආන්ඩුවට චෝදනා කරයි. පුවත්පත් වාර්තාවන්ට අනුව, විදේශ හා ස්වදේශ අමාත්‍යාංශ තුල ද ආරක්ෂක හමුදා තුල ද නේපාලයේ එස්පීඒ-මාවෝවාදී ගිවිසුමට සහාය දීමේ ප්‍රඥාවන්තකම පිලිබඳව තියුනු භේදයන් තිබේ.

එය එසේ වේවා, එහෙත් නේපාලයේ ජනතා කැලඹිල්ලට ඉන්දියානු ආන්ඩුවේ ප්‍රතිචාරය හැඩවැඩ දැමීමේ දී සීපීඑම්හි භූමිකාව ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ අවියෝජනීය කොටසක් ලෙසට - ඉන්දියානු ධනේශ්වරයේ සහ එම රාජ්‍යයේ උවමනාවන් හා භූ-දේශපාලන අභිලාෂයන් රැක ගැනීමේත් තව දුර පෙරට ගෙන යාමේත් විශ්වාසවන්තයෙකු ලෙසට - වන ස්ටැලින්වාදයේ ක්‍රියාකාරිත්වය අවධාරනය කරයි.

[මෙය 2006 මැය 03 වැනි දින Indian Stalinists take leading role in New Delhi’s efforts to contain Nepal crisis යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading