බුෂ්‌ පාලනාධිකාරය උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමට එරෙහි හෙලා දැකීම්‌ ව්‍යාපාරයක්‌ මෙහෙයවයි

් බර් 10 ් තමන් න්‍යෂ්ටික පිපිරීමක් අත්හදා බැලු බවට උතුරු කොරියාව ඊයේ කල නිවේදනය හෙලා දකිමින් සහ නව දැඩි සම්බාධක පනවන බවට තර්ජනය කරමින් බුෂ් පාලනාධිකාරය එයට ප්‍රතිචාර දක්වා ඇත. යොංයාං පාලනයේ ක්‍රියාවන් නිසැකව ම කිසිදු වග විභාගයක් නැතිව සිදු කල දෙයක් මෙන් ම ඊසානදිග ආසියාවේ භයානක න්‍යෂ්ටික අවි තරගයක් අවුලුවා ලීමේ තර්ජනය මතු කරන අතර ම, වත්මන් තත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම මුලුමනින් ම පැවරෙන්නේ පසු ගිය පස් වසර තිස්සේ කලාපය තුල ආතතීන් උත්සන්න කිරීමට හිතාමතා ම හා ප්‍රකෝපකාරීව ක්‍රියා කර ඇති ධවල මන්දිරය මත ය.

පසු ගිය සතියේ අත්හදා බැලීම නිවේදනය කල උතුරු කොරියානු තන්ත්‍රය බෝම්බය පුපුරවා හැරීමට මිනිත්තු 20කට පෙරාතුව සිය චීන සගයාට ඒ ගැන දැනුම් දුන් බව වාර්තා වේ. උතුරු කොරියාවෙන් පිට මෙම න්‍යෂ්ටික පිපිරීම නිල වසයෙන් තහවුරු වී නැති මුත් එක්සත් ජනපදයේ, දකුනු කොරියාවේ හා රුසියාවේ භූ කම්පන මධ්‍යස්ථාන නිවේදනයේ විස්තර කෙරුනු වේලාවේ හා ස්ථානයේ එවන් ක්‍රියාවක් සිදු වූ බව වාර්තා කලේ ය. පිපිරීම සුලු එකක් විය හැකි යැයි, එනම් බොහෝ විට එය අසාර්ථක අත්හදා බැලීමක් පෙන්නුම් කලා විය හැකි යැයි එක්සත් ජනපද නිලධාරීන් කීප දෙනෙකු අදහසක් ඉදිරිපත් කල මුත් රුසියානුවන් තක්සේරු කලේ එහි බලය කිලෝ ටොන් 5ත් 15ත් අතර වන බව යි. එනම් 1945 දී හිරෝෂිමාවට හෙලු ඇමරිකානු බෝම්බයට දල වසයෙන් සමාන වන බව යි.

එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් බුෂ් අත්හදා බැලීම “ප්‍රකෝපකාරී ක්‍රියාවක්” ලෙස හෙලා දැක එක්සත් ජාතීන්ගේ ක්ෂජික ප්‍රතිචාරයක් සඳහා පියවර ගන්නා බව නිවේදනය කලේ ය. හෙලා දැකීමේ කන්ඩායමට මුලින් ම එක් වූවන්ගෙන් අයෙකු වූ ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හොවාඩ්, මිලිටරි ක්‍රියාවන් හා අනිවාර්ය සම්බාධක සඳහා වූ විධිවිධාන සහිත එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 7 වන පරිච්ඡේදය යටතේ තදබල පියවර ගත යුතු යැයි ඉල්ලා සිටියේ ය. අත්හදා බැලීම සිදු නො කරන ලෙස උතුරු කොරියාවෙන් ඉල්ලා සිටි චීනය යොංයාං පාලනයේ “නිර්ලජ්ජිත” ක්‍රියාව කෝපාවිෂ්ටව හෙලා දුටුවේ ය. බෙයිජිං පාලනය විශේෂයෙන් ම භීතියට පත්ව ඇත්තේ ජපානය තමන්ගේ ම න්‍යෂ්ටික අවි වර්ධනය කරනු පිනිස වන කඩතුරාවක් ලෙස න්‍යෂ්ටිකව සන්නද්ධ උතුරු කොරියාවක පැවැත්ම ගසා කනු ඇතැයි කියා ය.

අවි සම්බාධක, එහි මූල්‍ය වත්කම් තහනම් කිරීම සහ සුඛෝපභෝගී භාන්ඩවලට එරෙහි වෙලඳ තහංචියක් ඇතුලත් 7 වන පරිච්ඡේදයේ එන ආර්ථික හා දේශපාලන සම්බාධක උතුරු කොරියාව මත වහා ම පනවන ලෙස වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට බල කර සිටී. න්‍යෂ්ටික අවිවල “තව දුර වර්ධනය” නවතා ලීමේ කඩතුරාව යටතේ උතුරු කොරියාවට යන හා එහි සිට පැමිනෙන සියලු භාන්ඩ තොග අතරමග දී අල්ලා ගෙන පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන් බලය පැවරිය යුතු යැයි ද එක්සත් ජනපදය යෝජනා කරයි. 2003 මැයි මස තහවුරු කර ගැනුනු “න්‍යෂ්ටික අවි තව දුර වර්ධනය වලකා ලීමේ ආරක්ෂක මුල පිරීම” (ඡරදකසfැර්එසදබ ීැජමරසඑහ ෂබසඑස්එසඩැ) යටතේ එක්සත් ජනපදය සහ ජපානය හා ඕස්ට්‍රේලියාව ඇතුලු එහි මිතුරු රාජ්‍යයන් උතුරු කොරියාවේ, ඉරානයේ සහ සෙසු රටවල සිට පැමිනෙන භාන්ඩ තොග අතරමග දී අල්ලා ගැනීමට පුහුනු වී ඇත. යෝජිත එක්සත් ජාතීන්ගේ පියවර යුද ක්‍රියා මාර්ගයක් හා සමාන පූර්න නාවික අවහිරයකට ඉතා ආසන්න ක්‍රියාවකි.

මෙම හෙලා දැකීම් රැල්ලෙන් හමන්නේ වංක භාවයේ හා කුහකත්වයේ දුගඳ යි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිලිවෙල කිසි දාක බුෂ් පාලනාධිකාරයේ ප්‍රධාන උත්සුකතාව වූයේ නැත. 2001 දී බලයට පත් වූ වහා ම ජනාධිපති බුෂ් න්‍යෂ්ටික බලයෙන් නිදහස් කොරියානුඅර්ධද්වීපයක පදනම මත සබඳතා සාමාන්‍ය තත්වයට පත් කර ලීමේ එල්ලයෙන් යුත් ඊට පෙර පැවති පිලිවෙත් මුලුමනින් ම වෙනස් කලේ ය. ඒ වෙනුවට ධවල මන්දිරය ගෙන ගියේ යොංයාංහි “තන්ත්‍ර වෙනසක්” සහතික කර ගැනීමේත් කලාපය තුල එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීමේත් විධික්‍රමයක් ලෙස උතුරු කොරියාව සමග ආතතීන් ශීඝ්‍රයෙන් උත්සන්න කිරීමේ පිලිවෙතකි. මෙය බුෂ් විසින් මූලෝපායික තරගකරුවෙකු යැයි නම් කොට තිබූ චීනයට එරෙහිව විශේෂයෙන් ම එල්ල කෙරුනක් විය.

එක්සත් ජනපදය න්‍යෂ්ටික වැඩ පිලිවෙලවල් අරබයා උතුරු කොරියාව හා ඉරානය හෙලා දකිමින් එම රටවලට තර්ජනය කරන අතර ම ඉන්දියාව, පකිස්ථානය හා ඊස්රායලය ඇතුලු තම මිතුරන්ට න්‍යෂ්ටික අවි තැනීමට හා ඒවා එල්ල කිරීමේ හැකියාවෙන් යුත් මිසයිල වර්ධනය කිරීමට වක්‍රව ඉඩ දෙයි. 1998 දී තමන්ගේ ම න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කල හා ඉන් පසුව නැගුනු ජාත්‍යන්තර විරෝධතා නො තකා ක්‍රියා කල පකිස්ථානය සහ ඉන්දියාව යන දෙරට ම උතුරු කොරියාව විවේචනය කරමින් සහ කලාපීය අස්ථාවරත්වය ගැන උත්සුකතා මතු කරමින් නිවේදන නිකුත් කලේ ය. බුෂ් පාලනාධිකාරය මේ වන විට නව පරම්පරාවේ න්‍යෂ්ටික අවි වර්ධනය කිරීමේ යෙදී සිටින අතර පූර්න න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ පනතට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

උපරිම වසයෙන් ගත හොත්, යොංයාං පාලනය සතුව දල මට්ටමේ පරමානු බෝම්බ කිහිපයක් ඇත්තේ, එක්සත් ජනපදය දැවැන්ත න්‍යෂ්ටික අවි ගබඩාවක් පවත්වා ගෙන යන අතරතුර ය. එම අවිවලින් සෑහෙන කොටසක් දශක ගනනාවක් තිස්සේ උතුරු කොරියාව දෙසට ඉලක්ක කොට ඇත. සිය පරමානු බෝම්බ එල්ල කිරීමේ පද්ධතියක් උතුරු කොරියාව සතුව ඇතැයි යන්න සැක සහිත වන නමුදු එක්සත් ජනපදය සතුව එවන් පද්ධති බොහොමයක් ම පවතී. එනම් සබ්මැරීන්වල සිට විදින කෲස් මිසයිල හා අයිසීබීඑම්එස්හි පටන් උපායාත්මක න්‍යෂ්ටික අවි දක්වා වන පද්ධතීන් ය. අර්ධද්වීපය තුල පෙන්ටගනයේ යුද සැලසුම්වල කොටසක් ලෙස 1980 ගනන් අග වන තෙක් ම මේවා දකුනු කොරියාව තුල ස්ථානගත කර තිබුනි.

යොංයාං පාලනයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් “ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සම්බන්ධ තර්ජනයක්” නියෝජනය කරන්නේ යැයි සිය නිවේදනයේ දී බුෂ් ප්‍රකාශ කලේ ය. තථ්‍ය වසයෙන් ගත් කල ජාත්‍යන්තර සාමයට හා ස්ථාවරත්වයට දැවැන්ත ම තර්ජනය වන්නේ කුඩා දරිද්‍ර රාජ්‍යයක් වන උතුරු කොරියාව නො ව එක්සත් ජනපදය යි. පසු ගිය දශක එක හමාරක කාලය තිස්සේ, සිය යුරෝපා හා ආසියානු ප්‍රතිවාදීන්ට එරෙහිව ඇමරිකානු ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා වර්ධනය කර ගනු වස් යුද්ධ හා මිලිටරි ක්‍රියාවන් මාලාවක් ගෙන යාම පිනිස එක්සත් ජනපදය තමන් සතුව තව මත් පවත්නා සුපිරි මිලිටරි බලය ආක්‍රමනික ලෙස ගසා කා තිබේ.

“ත්‍රස්ත විරෝධී යුද්ධය” පිලිබඳ සිය වංචනික ධජය යටතේ එක්සත් ජනපද පාලනාධිකාරය ඇෆ්ඝනිස්ථානය යටත් කර ගෙන ඉරාකය නීති විරෝධී ලෙස ආක්‍රමනය කර තිබේ. එපමනක් නො ව, තමන්ට තර්ජනයක් වීමේ විභවයෙන් යුතු යැයි සැලකෙන ඕනෑ ම රටකට එරෙහිව “පූර්වභංග යුද්ධයක්” ගෙන යාම පිලිබඳ මූලෝපායික ධර්මයක් ද බුෂ් ප්‍රකාශයට පත් කර ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව නියුරෙම්බර්ග්හි දී නාසි නායකයන්ට එරෙහිව නඩු අසනු ලැබුවේ මූලික වසයෙන් ම එවන් ආක්‍රමනික යුද්ධ ගෙන යාමේ අපරාධය වෙනුවෙනි. 2002 දී බුෂ් ඉරාකය හා ඉරානය සමග එක පෙලට උතුරු කොරියාව ද “දුෂ්ටත්වයේ අක්ෂයක” කොටසක් ලෙස ඇතුලු කර ගත් විට, “තන්ත්‍ර වෙනස” සඳහා වූ මූලික ඉලක්කයක් බවට ඔහු යොංයාං පාලනය තථ්‍ය වසයෙන් ම පත් කලේ ය.

එක්සත් ජනපද මිලිටරිවාදය විසින් නිර්මිත ප්‍රගාඪ ජාත්‍යන්තර ආතතියේ වාතාවරනය තුල උතුරු කොරියාව න්‍යෂ්ටික පිපිරීමක් අත්හදා බැලීමට තීරනය කිරීම කිසි සේත් ම බලාපොරොත්තු විය නොහැකි ක්‍රියාවක් නො වේ. අද ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ පල වූ විවරනයක දී හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මැඩ්ලීන් ඕල්බ්‍රයිට්ගේ ප්‍රකාශයක් හිතාමතා ම උපුටා දැක්වුනි. මේ වසර මුල දී ඇය එම පුවත්පතට මෙසේ පැවසුවා ය: “ඉරාකයෙන් ලැබෙන පනිවුඩය නම් ඔබ සතුව න්‍යෂ්ටික අවි නැති නම් ඔබ ආක්‍රමනයට ලක් විය හැකි ය යන්න යි. ඔබ සතුව න්‍යෂ්ටික අවි තිබේ නම් ඔබ ආක්‍රමනයට ලක් නොවනු ඇත යන්න යි.” ප්‍රාථමික මට්ටමේ න්‍යෂ්ටික අවි කිහිපයක් මගින් සංයුක්ත එක්සත් ජනපද ප්‍රහාරයකට එරෙහිව කිසිදු ආරක්ෂාවක් නොසැපයෙන නමුදු සිය වත්මන් අවදානම් ක්‍රියා පිලිවෙත ගැනීමට ඉරාක ආක්‍රමනයෙන් උතුරු කොරියාව දිරි ගැන්වුනු බවට සැකයක් නැත.

එක්සත් ජනපද තර්ජනයන්ට ප්‍රතිචාරයක් උතුරු කොරියාව විශ්වාස කල නොහැකි හා අස්ථාවර මැර රාජ්‍යයක් ලෙසත් එහි නායක කිම් ජොං ඉල් න්‍යෂ්ටික අවිවලින් ලෝකයට තර්ජනය කරන උන්මත්තක, අවිචාරවත් මානසික රෝගියකු ලෙසත් පෙන්නුම් කරන ප්‍රචාරක ප්‍රවාහයකින් ජාත්‍යන්තර මාධ්‍ය පිරී ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය යොංයාංහි ස්ටැලින්වාදී තන්ත්‍රයට මොන ම සහයෝගයක් වත් නොදෙන අතර න්‍යෂ්ටික අවි ගබඩාවක් එක්රැස් කර ගැනීමට එය දරන ප්‍රයත්නයන්ට ද කිසිදු සහායක් නො දෙයි. එහෙත් උතුරු කොරියාවේක්‍රියාවන්ට නිශ්චිත තර්කනයක් ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට විරුද්ධ වීම පිලිබඳව ඔවුන් කරන සියලු හිස් තර්ජනයන් තිබිය දී ම, ඔවුන්ගේ මෑත ම අත්හදා බැලීම වනාහි “තන්ත්‍ර වෙනසක්” පිලිබඳව අනතුරු හඟවන තර්ජන අවසන් කොට දෙරට අතර සබඳතා සාමාන්‍ය මට්ටමට ගෙන එන ලෙස වොෂින්ටනයට බල කිරීමේ මංමුලා සහගත ප්‍රයත්නයකි.

කොරියානු යුද්ධයේ ව්‍යසනකාරී බලපෑම උතුරු කොරියානු නායකයන්ගේ මතකයන් තුල ගැඹුරින් ම කා වැදී ඇත. යොංයාං තන්ත්‍රයට ප්‍රකෝපකාරී ලෙස තර්ජනය කරමින් සිටි සියොල්හි රූකඩ පොලිස් රාජ්‍යයට එක්සත් ජාතීන්ගේ ධජය යටතේ එක්සත් ජනපදය පිටුබලය දුන් අතර ඉක්බිතිව එය උතුරු කොරියාවට එරෙහිව පූර්න පරිමාන ආක්‍රමනයක් දියත් කලේ ය. එක්සත් ජනපද මිලිටරිය බෝම්බ හා නාපාම් ගැලුම් ලක්ෂ ගනනක් යොදා ගෙන උතුරු කොරියාවේ නගර හා ගම්මාන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සමතලා කර දැමී ය. උතුරු කොරියානුවන් මිලියන 3ක්, දකුනු කොරියානුවන් මිලියනයක්, චීන සොල්දාදුවන් මිලියනයකට ආසන්න ප්‍රමානයක් සහ එක්සත් ජනපද හමුදා භටයන් 50,000කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූයේ යැයි තක්සේරු කෙරේ.

එක්සත් ජනපද අන දෙන නිලධාරී ජනරාල් ඩග්ලස් මැක්ආතර් චීනය සමග වන දේශ සීමාව දිගේ “ විකිරනශීලී කොබෝල්ට් පටියක්” නිර්මානය කරනු පිනිස න්‍යෂ්ටික අවි 30ත් 50ත් අතර ප්‍රමානයක් පාවිච්චි කරන ලෙස යෝජනා කල නමුත් සෝවියට් සංගමය ප්‍රතික්‍රියා දක්වනු ඇතැයි භීතියට පත් වූ ටෲමන් පාලනාධිකාරය විසින් එය වලක්වන ලදි.

අඩ සියවසකට අධික කාලයක් තිස්සේ උතුරු කොරියාව ඇමරිකාවේ අඛන්ඩ මිලිටරි තර්ජනයන්ට මුහුන පා ඇති අතර සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් හා සීතල යුද්ධයේ අවසානයෙන් පසුව එය උත්සන්න විය.

වොෂින්ටනය යොංයාං තන්ත්‍රය සමග වූ යුද්ධය කිසි දාක නිල වසයෙන් අවසන් නොකල අතර එරටට එරෙහි සිය ආර්ථික සම්බාධක දිගට ම පවත්වා ගෙන විත් ඇත. 1994 දී ක්ලින්ටන් පාලනාධිකාරය උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ සටහන් අරබයා එරටට ප්‍රහාරයක් එල්ල කිරීමේ අද්දරට ම ගිය අතර අවසාන මොහොතේ දී සිය සැලසුම අත හැර “එකඟ වූ රාමුව” නමින් ප්‍රසිද්ධ වූ ගිවිසුමක් අත්සන් කලේ ය. එක්සත් ජනපදය සමග සබඳතා යහපත් මට්ටමට පත් කිරීමට හා සිවිල් බලශක්ති ප්‍රතිකාරක ගොඩ නැගීම පිනිස සහයෝගය දීමට හිලව් වසයෙන් සිය න්‍යෂ්ටික වැඩ සටහන් අත්හිටුවීමට යොංයාං තන්ත්‍රය එකඟ විය.

2000 දී, ආතතීන් සමනය කර ගැනීමට දෙසට ගැනුනු ප්‍රථම පියවර කිම් ජොං ඉල් සහ දකුනු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුං අතර පැවති පෙර නොවූ විරූ හමුවකට තුඩු දුනි. කිම් ඩේ-ජුංගේ ඊනියා “සූර්ය රශ්මි පිලිවෙත” මගින් බලාපොරොත්තු වූයේ ලාභ ශ්‍රම වේදිකාවක් හා කලාපීය ප්‍රවාහන මාර්ගයක් ලෙස උතුරු කොරියාව විවෘත කර ගැනීම යි. ක්ලින්ටන් පාලනාධිකාරයේ අවසන් දිනවල, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඕල්බ්‍රයිට් යොංයාං නුවර නිල චාරිකාවක යෙදී කිම් ජොං ඉල් හමු වී දෙරට අතර පූර්න සබඳතා තහවුරු කර ගැනීමේ බලාපොරොත්තු ඇති කලා ය.

2001 දී බලයට පත් වීමෙන් අනතුරුව බුෂ් පාලනාධිකාරය උතුරු කොරියාව සමග සියලු සාකච්ඡා වහා ම බිඳ දැමුවේ දිග් ගැසුනු පිලිවෙත් සමාලෝචනයක් බලාපොරොත්තුවෙනි. දක්ෂිනාංශික රිපබ්ලිකානුවෝ උතුරු කොරියාව සම්බන්ධයෙන් වඩා මෘදු ආකල්පයක් ගෙන ඇතැයි පවසමින් “එකඟ වූ රාමුව” හා ක්ලින්ටන් පාලනාධිකාරය නැවත නැවතත් හෙලා දැක තිබුනි.

කෙසේ වෙතත්, ආරම්භයේ පටන් ම ධවල මන්දිරය පැහැදිලි කලේ තන්ත්‍රයේ බිඳ වැටීම ඉක්මන් කරවීමේ එල්ලය ඇතිව “මැර රාජ්‍යය” වටා තොන්ඩුව තද කිරීම සිය මූලෝපාය වන බව යි. සිය සමාලෝචනයේ සමාප්තියේ දී එනම් 2001 ජුලි මස, එක්සත් ජනපදය මොන යම් හෝ සාකච්ඡාවක් ඇරඹීම සඳහා හිලව් වසයෙන් උතුරු කොරියාව මත නව තදබල ඉල්ලීම් මාලාවක් ම පැනවී ය.

මෙම ක්‍රියා මාර්ග දකුනු කොරියාවේ “සූර්ය රශ්මි පිලිවෙතට” වල කපා, “එකඟ වූ රාමුව” තථ්‍ය ලෙස ම ගිල්වා දැමී ය. යොංයාං පාලනය එක්සත් ජනපදයේ “දුෂ්ටත්වයේ අක්ෂයට” ඇතුලු කෙරුනා පමනක් නො ව, 2002 මාර්තුවේ දී මාධ්‍යවලට කාන්දු කෙරුනු පෙන්ටගනයේ “න්‍යෂ්ටික ආස්ථාන සමාලෝචනයේ” කොටස් මගින් එලිදරව් වූයේ එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික අවි යොදා ගැනීමට සූදානම් වන බව යි. එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ඉරාක ආක්‍රමනය සඳහා ගිය සූදානම තුල දී ආතතීහු ශීඝ්‍රයෙන් උත්සන්න වූහ. 2002 ඔක්තෝබරයේ දී යුරේනියම් බල ගැන්වීමේ රහස් වැඩ පිලිවෙලක් ගැන එක්සත් ජනපදය කල චෝදනාවන්ට මුහුන දුන් තතු තුල උතුරු කොරියාව “එකඟ වූ රාමුව” නිල වසයෙන් අවලංගු කොට, “න්‍යෂ්ටික අවි තව දුර වර්ධනය වලකා ලීමේ ගිවිසුමෙන්” ඉවත් වී, ජාත්‍යන්තර න්‍යෂ්ටික පරීක්ෂකයන් නෙරපා දමා සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවල වැඩ කටයුතු යලි ඇරඹී ය.

වොෂින්ටනය සමග සෘජු සබඳතා පවත්වා ගැනීමට හිලව් වසයෙන් සම්මුතියකට පැමිනීමට තමන් කැමැත්තෙන් සිටින බව යොංයාං තන්ත්‍රය නැවත නැවතත් පැහැදිලි කලේ ය. 1990 ගනන් මුල සිට මේ දක්වා ම එහි ප්‍රධාන අරමුන වී ඇත්තේ එක්සත් ජනපදයෙන් නිල ආරක්ෂක සහතිකයක් ලබා ගැනීමත් උතුරු කොරියාවේ ආර්ථික වර්ධනය ඇන හිටුවා ඇති හා රටේ ව්‍යසනකාරී ආහාර හිඟයට සැලකිය යුතු4 වසයෙන් හේතු වී ඇති සම්බාධක ඉවත් කිරීම ඇතුලු යහපත් සබඳතා ඇති කර ගැනීමත් ය. “නරක හැසිරීමට තෑගි දීම” සඳහා එක්සත් ජනපදය “බිය ගැන්වීමෙන් නම්මා ගත” නොහැකි වනු ඇතැයි ප්‍රකාශ කරමින් බුෂ් පාලනාධිකාරය යොංයාං තන්ත්‍රය සමග සෘජු සාකච්ඡා පැවැත්වීම දඩබ්බර ලෙස ප්‍රතික්ෂේප කල අතර, (මිලිටරි විකල්ප ද ඇතුලු) “සියලු විකල්ප මේසය මත තිබේ” යැයි නැවත නැවතත් සඳහන් කර ඇත.

ගැටුම දිගට ම යද්දී, කොරියානු දෙරට, එක්සත් ජනපදය, චීනය, ජපානය සහ රුසියාව ඇතුලු සය-පාර්ශ්ව සාකච්ඡාවක් සඳහා 2003 දී චීනය ගත් මූලිකත්වයකට එක්සත් ජනපදය එකඟ විය. කෙසේ වෙතත් වොෂින්ටනයේ එල්ලය වූයේ උතුරු කොරියාව සමග එකඟතාවක් සඳහා සාකච්ඡා කිරීම නො ව, ඒ වෙනුවට යොංයාං තන්ත්‍රයට එරෙහිව වඩා ආක්‍රමනශීලී ආස්ථානයක් ගන්නා ලෙස සෙසු රාජ්‍ය සතරට පීඩනය යෙදීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස පසු ගිය තුන් වසරක කාලය එක්සත් ජනපද ප්‍රකෝපකරන මාලාවකින් පිරී තිබේ. පසු ගිය වසරේ සැප්තැම්බරයේ දී පැවති අවසන් සාකච්ඡා වටයේ දී, හිර වීම අවසන් කිරීම සඳහා රාමුවක් සම්පාදනය කරන මූලධර්ම ඇතුලත් පුලුල් ප්‍රකාශනයකට එක්සත් ජනපද සාකච්ඡාකරුවෝ අවසානයේ එකඟ වූහ. ඒ සමග ම එක්සත් ජනපද භාන්ඩාගාරය මැකෝ දේශයේ පාදක බැන්කො ඩෙල්ටා ඒසියා (බීඩීඒ) බැංකුවට එරෙහිව පියවර ගත්තේ අවසානයේ උතුරු කොරියානු වත්කම් තහනම් කිරීමට එයට බල කරමිනි. එතැන් පටන් එම පියවර අනුගමනය කිරීමට සෙසු බැංකුවලට ද බල කෙරුනු අතර එය සය-පාර්ශ්ව සාකච්ඡාවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමට යොංයාං තන්ත්‍රය පොලඹවා ලී ය.

බුෂ් පාලනාධිකාරය උතුරු කොරියාව පිලිබඳ සිය ආක්‍රමනික ආස්ථානය වෙනස් කරන්ට යන බවට කිසිදු සලකුනක් නැත. ඊයේ කල සිය ප්‍රකාශය තුල දී බුෂ් කියා සිටියේ එක්සත් ජනපදය “රාජ්‍ය තාන්ත්‍රික පියවරයන්ට තව මත් කැප වී සිටින” බව යි. ඒ සමග ම යොංයාං තන්ත්‍රය ඉරානය හා සිරියාව ඇතුලු “ ලෝකයේ මූලික මිසයිල තාක්ෂන වර්ධකයන් අතර තව මත් සිටින” බව ප්‍රකාශ කල ඔහු න්‍යෂ්ටික අවි හා ද්‍රව්‍ය මොන යම් ආකාරයකින් හෝ ප්‍රවාහනය කිරීම “එක්සත් ජනපදයට දැවැන්ත තර්ජනයක්” ලෙස සලකන බවට ද අනතුරු ඇඟවී ය. වොෂින්ටනයේ ක්ෂනික ක්‍රියා මාර්ගය වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය මගින් දන්ඩන සම්බාධක ඉල්ලා සිටීම යි. එහෙත් බුෂ් පාලනාධිකාරය නොවැම්බර් කොන්ග්‍රස් මැතිවරනයට පෙරාතුව දේශීය දේශපාලන අරමුනු වෙනුවෙන් අර්බුදය ගසා කෑමට ක්‍රියා කරන තතු තුල කිසිදු පියවරක් බැහැර කල නොහැකි ය.

[මෙය 2006 ඔකතො වැනි දින Bush administration leads chorus of denunciations against North Korea’s nuclear test යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading