මිල්ටන්‌ ෆ්‍රීඩ්මාන්‌ 1912-2006: සමාජ ප්‍රතිගාමිත්වයේ "නිදහස්‌ වෙලඳපොල” නිර්මාපකයා

කාල් මාක්ස් 1873 දී ප්‍රාග්ධනය කෘතියේ දෙවන සංස්කරනයට ලියූ පසුවදනේ දී ධනේශ්වර අර්ථශාස්ත්‍රයේ විද්‍යාත්මක ලක්ෂනය 1830 පමන වන විට ම අවසානයකට පැමින තිබූ බව සටහන් කලේ ය.

එම අවධියේ දී ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ වර්ධනය විසින් ම ජනනය කර තිබුනු පන්ති ආතතීන් තව දුර වර්ධනයක් විය නොහැකි තත්වයකට පත් කර තිබුනි.

“අපක්ෂපාත පර්යේෂකයන් වෙනුවට දැන් පෙරටැවිත් ඇත්තේ ලාබයට පොර බදන කුලීකාරයන් ය; අව්‍යාජ විද්‍යාත්මක පරීක්ෂනයේ ස්ථානයට ක්ෂමාලාපයේ දූෂිත හෘද සාක්ෂිය සහ දුෂ්ට අධ්‍යාසය පැමින ඇත.” පසු ගිය බ්‍රහස්පතින්දා තම 94 වන වියේ දී මිය ගිය ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ්‍රීඩ්මාන්, එලඹෙන වසරවල දී සිහිපත් කෙරෙනු ඇත්තේ මෙම ප්‍රවනතාවේ සම්භාව්‍ය නියෝජිතයන් ගෙන් එක් අයෙකු ලෙස ය.

පසු ගිය දශක හතර පුරා “නිදහස් වෙලඳපොලේ” බුද්ධිමය පීතෘත්වයට පත් වීම මගින් කූටප්‍රාප්තියට පත් ඔහුගේ ම වෘත්තීයමය ප්‍රගමනය ද මාක්ස්ගේ අවධානයට ලක්ව තිබුනු එම ක්‍රියාදාමයන්ම පිලිබඳ, විස්තෘත උදාහරනයකි.

අවම වසයෙන් ප්‍රධාන ආර්ථිකයන් තුල හෝ ධනවාදයේ “ස්වර්නමය යුගයකට” නිදසුනක් ලෙස දැන් ආපසු හැරී බලන පශ්චාත් යුද කාලීන උත්පාත සමයේ, ෆ්‍රීඩ්මාන් සිටියේ ධනේශ්වර අර්ථශාස්ත්‍රයේ වාටියේ ය. මෙම ලිපියේ කතුවරයා ආර්ථික විද්‍යාව පිලිබඳ විශ්වවිද්‍යාල පාඨමාලාවක් ආරම්භ කල 1960 ගනන්වල පලමු භාගය වන විට, ෆ්‍රීඩ්මාන් ද, ඔහු කේන්ද්‍රීය චරිතයක් වූ චිකාගෝ නිදහස් වෙලඳපොල ගුරුකුලය ද, සලකනු ලැබුවේ විකාර රූපී නොවේ නම් අසම්මත ලෙස ය.

ආන්ඩුවල ප්‍රතිපත්ති - අවපාත සමයේ වියදම් ඉහල දැමීම සඳහා ආර්ථික වර්ධනයේ හා ප්‍රසාරනයේ කාලසීමාවේ වියදම් කැපීම - මගින් “සඵල ඉල්ලුම” පාලනය කිරීම හරහා 1930 ගනන්වල මෙන් ලෝක ධනවාදයේ ව්‍යසනකාරී අර්බුදයක් යලි ඇතිවීම වැලැක්විය හැකි ය යන උපකල්පනය මත පදනම් වූ කේනිසියානුවාදයේ හොඳම කාලය වූයේ මෙයයි.

ඒ සියල්ල වෙනස් වීමට ආසන්නව පැවතුනි. ගැඹුරු අවපාතය මෙන් ම වේගවත් උද්ධමනය සහ ඉහල විරැ කියාවට මග පාදමින් 1970 ගනන් මුල දී, පශ්චාත් යුද ආර්ථික උත්පාතය බිඳ වැටුනු අතර, කේනීසියානු වට්ටෝරුව අභාවයට පත් විය. කේනිසියානු වැඩ පිලිවෙල යටතේ උද්ධමනය සලකනු ලැබුවේ විරැ කියා නාශක ඖෂධය ලෙසයි. දැන් එම දෙක ම එකට බද්ධ වෙමින් “එක තැන පල්වීමේ” ප්‍රපංචයට පදනම දමනු ලැබිනි.

උත්පාතයේ බිඳ වැටීම කේනිසියානුවාදයේ “ අසාර්ථකත්වයේ” නිමැවුමක් නොවී ය. ඇත්ත වසයෙන්ම එය සැකසී ආවේ ධනේශ්වර ආර්ථිකයේ ගැඹුරු පත්ලේ මුල් බැසගත් පරස්පරවිරෝධයන් යලි ඉස්මතු වීමෙනි. මෙහි අර්ථය වූයේ ප්‍රධාන රටවල ධනේශ්වරයට තව දුරටත්, කම්කරු පන්තියට සහන - උත්පාතයේ අංග ලක්ෂිත වූ පූර්න රැකියා නියුක්තිය හා සමාජ සුබසාධන සම්පාදනය කිරීම - සලසමින් පන්ති සම්මුතියේ වැඩ පිලිවෙල දිගටම ගෙන යාමට නොහැකිව, තියුනු හැරීමක් ගැනීමට සිදු වීමයි.

ෆ්‍රීඩ්මාන් දිශානතිය සඳහා දෘෂ්ටිවාදාත්මක සාධාරනීකරනය සම්පාදනය කලේ ය: එනම් අර්බුදයට හේතුව රාජ්‍ය මැදිහත් වීම බව පවසමින් එය හෙලා දැකීම සහ 1930 ගනන්වල දී අපකීර්තියට පත් වූ “ නිදහස් වෙලඳපොල” මූලධර්මයන් කරා ආපසු යාම අවධාරනය කිරීම යි. උත්පාතය බිඳ වැටීමෙන් දශකයක් ගතවීමටත් මත්තෙන්, ෆ්‍රීඩ්මාන්ගේ “නන්දෙඩවීම්” නව සාධාර්මිකත්වය බවට ද, කේනිසියානුවාදය නව දුර්ලබ්ධිය බවට ද පත් විය.

සුලං හමන අත වෙනස් වීම පිලිබඳ සංවේදී වූ ස්ටොක්හෝම්හි ස්වීඩන ඇකඩමිය 1976 ඔක්තෝබරයේ දී ෆ්‍රීඩ්මාන්ට ආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය පුද කලේ ය. ඊට මසකට පෙර බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ සම්මේලනයට කල කතාවක දී අගමැති ජේම්ස් කැලගන්, නව ප්‍රඥාව බවට පත්ව ඇති දෙයට අනුකූලව, ආන්ඩුවේ ප්‍රතිපත්තිය පිලිබඳ එහි ගම්‍යයන් සම්පින්ඩනය කලේ ය.“බදු කප්පාදු කරමින් සහ ආන්ඩුවේ වියදම් වැඩි කරමින් අවපාතයකින් ඉවතට ගමන් කල හැකි බවටත්, රැකියා නියුක්තිය ඉහල දැමිය හැකි බවටත්, සිතීමට අප පුරුදුව සිටියෙමු. එම විකල්පය තව දුරටත් වලංගු නොවන බවත් යුද්ධයේ පටන් එය පැවති කාල සීමාව තුල සැමවිටම එය අර්ථිකයට උද්ධමනයේ විශාල මාත්‍රාවක් එන්නත් කරමින්, ඊලඟ පියවර ලෙස ඉහල විරැකියා මට්ටමක් කැඳවා ගනිමින් පමනක් ක්‍රියාත්මක වූ බව මම ඔබට අවංකවම කියා සිටිමි.” මහා අවපාතය මිල්ටන් ෆ්‍රීඩ්මාන් නිව් යෝර්ක්හි බෲක්ලින් ප්‍රදේශයේ උපත ලැබුවේ මධ්‍යම යුරෝපයෙන් සංක්‍රමනය වූ පවුලක හතරවැන්නා ලෙස ය. පවුලේ ආදායම “කුඩා සහ අතිශය අවිනිශ්චිත” හා මූල්‍ය අර්බුදය නිරන්තරයෙන් පැවති නමුත් කෑමට ඇති තරම් දේ තිබූ අතර පවුලේ පරිසරය උනුසුම් සහ උද්යෝගිමත් වූ බව ඔහු පසු කලෙක සඳහන් කලේ ය.

තමන්ගේ දහසය වන උපන් දිනයටත් පෙර උසස් පාඨශාලාවෙන් උපාධිය ලැබූ ෆ්‍රීඩ්මාන් නිව් ජර්සි හි රුට්ජර්ස් සරසවියේ අධ්‍යාපනය ලැබීමට, ශිෂ්‍යත්වයක් දිනා ගත්තේ ය. මුල දී සැලසුම්කරුවෙකු වීමේ අපේක්ෂාවෙන් ගනිතය හැදෑරූ ඔහු තුල, මහා අවපාතයේ බලපෑම යටතේ ආර්ථික විද්‍යාව කෙරෙහි උනන්දුවක් වැඩුනි. 1932 දී ගනිතය හා ආර්ථික විද්‍යා විෂයන් දෙකට ම උපාධි ලැබූ ඔහු, ඉන් වසරකට පසුව චිකාගෝ සරසවියෙන් පශ්චාත් උපාධියක් ලැබී ය. ප්‍රථමයෙන් රූස්වෙල්ට්ගේ නිව් ඩීල් ප්‍රතිපත්තියේ නිර්මානයක් වූ ජාතික සම්පත් කොමිටියේ රැකියාවක් ලැබූ ෆ්‍රීඩ්මාන් පසුව ජාතික ආර්ථික පර්යේෂන කාර්යාංශයට සම්බන්ධ විය. යුද්ධය පැනනැගීමෙන් පසුව, ෆෙඩරල් බදු ප්‍රතිපත්තියක් සැකසීමේ නිරත වූ ඔහු, හැකියාව මත ගෙවීමේ පදනම වූ ෆෙඩරල් රැ ඳවුම් බද්ධ වර්ධනය කිරීමෙන් කීර්තියට පත් විය.

1946 දී කොලොම්බියා සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ෆ්‍රීඩ්මාන් ආර්ථික විද්‍යාව ඉගැන්වීමට පෙරලා චිකාගෝ සරසවියට පැමිනියේ ය. 1976 දී විශ්‍රාම යන තුරු ම එහි රැඳී සිටි ඔහු, නිදහස් වෙලඳපොල හා ව්‍යාපාරික චක්‍රය නීර්නය කිරීමේ දී මුදල් ප්‍රමානයේ වැදගත් කම පිලිබඳ අවධාරනය කල චිකාගෝ ආර්ථික ගුරු කුලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කලේ ය.

රිපබ්ලිකානු ප්‍රතිපත්ති කවයන් තුල ද ෆ්‍රීඩ්මාන් ක්‍රියාකාරී විය. 1964 දී ජනාධිපති අපේක්ෂක හා රිපබ්ලිකානු දක්ෂිනාංශයේ ප්‍රකට නායකයා වූ බැරී ගෝල්ඩ්වෝටර්ගේ අවිධිමත් උපදේශකයෙකු ලෙස සේවය කල පසු 1968 දී රිචඩ් නික්සන් ගේ ද 1980 දී රොනල්ඩ් රීගන්ගේ ද උපදේශකයකු විය. රීගන් ජනාධිපති පදවියට පත් වූ විට ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති උපදේශක මන්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල ෆ්‍රීඩ්මාන්ට 1988 දී නිදහස උදෙසා ජනාධිපති පදක්කම ලැබිනි. 2002 දී, ෆ්‍රීඩ්මාන්ගේ 90 වන ජන්ම දිනය නිමිත්තෙන් ධවල මන්දිරයේ දී පැවති උත්සවයක දී, ඔහුට “යාවජීව සාර්ථකත්වයන්” සඳහා ගෞරව පුද කල ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, “නිදහසේ වීරයකු” ලෙස ඔහු හුවා දැක්වී ය.

ආර්ථික න්‍යාය පිලිබඳව ෆ්‍රීඩ්මාන් ලියූ කෘතියට මග පෙන්වනු ලැබුවේ මුදල් ප්‍රමානවාදය නමින් හැඳින්වෙන දෙය කෙරෙහි වූ විශ්වාසය මගිනි: ඉංග්‍රීසි දාර්ශනික ඩේවිඩ් හියුම් දක්වා ආපස්සට දිවෙන දීර්ඝ ඉතිහාසයක් සහිත මෙම න්‍යාය ෆ්‍රීඩ්මාන් භාවිත කලේ, ඉල්ලුම කලමනාකරනයේ සහ ආන්ඩුවේ මැදිහත් වීම පිලිබඳව කේනිසියානු ඉදිරිදර්ශනයට ඇති සිය විරුද්ධත්වය සූත්‍රගත කිරීමට යි. ෆ්‍රීඩ්මාන්ට අනුව, මූල්‍ය අධිකාරීන් පමනට වැඩියෙන් මුදල් නිර්මානය කලහොත් මිල ගනන් ඉහල යනු ඇත, - ඔහු නිරන්තරයෙන් අවධාරනය කලේ උද්ධමනය වනාහි මූල්‍යමය ප්‍රපංචයන් බවයි. ඔහු කියා සිටි පරිදි රජයේ කර්තව්‍යය වන්නේ වියදම මගින් ආර්ථිකය පාලනය කිරීම නොව, ස්වාභාවික ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය තරම් මුල්‍ය සැපයුම ප්‍රසාරනය සහතික කිරීම සහ විරැකියාවේ හා අවපාතයේ ගැටලු විසඳීම වෙලඳපොලට පැවරීම යි.

කෙසේ වෙතත් කේනිසියානුවන් පරාජය කිරීමට නම් සටන, ඓතිහාසික හා සංඛ්‍යාමය විශ්ලේෂනය සමග ඔවුන්ගේ බිමෙහිදී ම සිදු විය යුතු යයි ෆ්‍රීඩ්මාන් දැක ගත්තේ ය. ඇනා ෂ්වාට්ස් සමග එක්ව ලියා, 1962 දී පල කල ඔහුගේ ප්‍රධාන න්‍යායික කෘතිය වූ ් ඵදබැඒරහ ්‍යසිඑදරහ දf එයැ ඹබසඑැා ීඒඑැි 1867- 1960 (එක්සත් ජනපදයේ මූල්‍ය ඉතිහාසය 1867-1960) හි පසුබිමෙහි පැවතියේ මෙයයි. ෆ්‍රීඩ්මාන් හා ෂ්වාට්ස්, ආර්ථික ඉතිහාසය විභාග කිරීම මතින් ආර්ථික ක්‍රියාකාරිත්වයේ මට්ටම නිර්නය කිරීමේ දී මූල්‍ය සම්පාදනය ඉටු කරන තීරනාත්මක ක්‍රියාකලාපය අනාවරනය කිරීමටත්, එනයින් අනාගත ප්‍රතිපත්තිය සඳහා අවශ්‍ය නිර්නායකයන් ස්ථාපනය කිරීමටත් ප්‍රයත්නයක යෙදුනි.

ෆ්‍රීඩ්මාන්ට නොබෙල් ත්‍යාගය පුද කරන බව නිවේදනය කල ප්‍රකාශයේ දී ස්වීඩන ඇකඩමිය මෙම කෘතිය මත විශේෂ අවධාරනයක් යෙදී ය. “සමහර විට වඩාත් කැපීපෙනෙන දේ නම් 1929 අර්බුදය ඇති කිරීමේ දී හා එයට පසුව පැවති අවපාතය ගැඹුරු කිරීමේ දී සහ දිග් ගැස්සීමේ දී ද ෆෙඩරල් රිසර්ව් පද්ධතිය විසින් ඉටු කල මූලෝපායාත්මක ක්‍රියාකලාපය පිලිබඳ ඔහුගේ ආරම්භක හා ධෛර්ය සම්පන්න අවධාරනයයි” එය සඳහන් කලේ ය.

එහෙත් ෆ්‍ර්‍රීඩ්මාන්ගේ කෘතියේ න්‍යායික බංකොලොත් භාවය වඩාත් පැහැදිලිව හෙලිකෙරෙන්නේ 1930 ගනන්වල අවපාතය - විසිවන ශතවර්ෂයේ අතිශයින්ම වැදගත් ආර්ථික සිදධිය -පිලිබඳ පරීක්ෂනයක දී ය. ෆ්‍රීඩ්මාන්ට අනුව, 1929-30 ගනන්වල අවපාතය සාමාන්‍ය එකක් විය හැකිව තිබුන ද, මූල්‍ය සම්පාදනය පාලනය කල ෆෙඩරල් රිසර්ව් මන්ඩලය මගින් සිදු කල ප්‍රතිපත්තිමය වැරදි මාලාවක් මගින් ආර්ථික ව්‍යසනයක් බවට පරිවර්තනය කරනු ලැබිනි.

ප්‍රථම අවස්ථාවේ ඔහු කියාසිටියේ, 1928 වසන්තයේ දී ෆෙඩරල් රිසර්ව් මන්ඩලය දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් වැරදි ලෙස පටන් ගත් බවයි. දැඩි මූල්‍ය විනයකට යෝග්‍ය නොවූ කොන්දේසි යටතේ මෙම පිලිවෙත 1929 කොටස් වෙලඳපොලේ කඩා වැටීම තෙක් ම පවත්වා ගෙන යනු ලැබිනි. ආර්ථිකය 1927 ව්‍යාපාර චක්‍රයේ පූර්ව පහල වැටීමෙන් යන්තමින් ගොඩ ඒමට පටන් ගත්තා පමනි. පාරිභෝගික භාන්ඩ මිල පහල වැටුනු අතර උද්ධමනයේ සලකුනකුදු නොවී ය.

කෙසේ වෙතත් ෆ්‍රීඩ්මාන්ගේ දෘෂ්ටියට අනුව ෆෙඩරල් රිසර්ව්හි ප්‍රතිපත්ති අතිශය අර්ථභාරී ලෙස බලපෑවේ අවපාතය ගෙන ඒමට නොව 1931-32 බිඳ වැටීම ගෙන ඒමටයි. බැංකු අතුගෑවී යන තතු තුල නය ප්‍රසාරනය කිරීම හා මූල්‍ය පද්ධතිය ස්ථායි කරනු වෙනුවට, ෆෙඩරල් රිසර්ව් මන්ඩලය කලේ මූල්‍ය සම්පාදනය කපා හැරීම හා අර්බුදය උග්‍ර කිරීමයි. ඔහු ද ෂ්වාට්ස් ද එකතුව 1929 හා 1933 අතර කාල සීමාවේ එක්සත් ජනපදය තුල මූල්‍ය සැපුම තුනෙන් එකකින් හැකිලී ගිය බව හඳුනා ගත්හ. ෆ්‍රීඩ්මාන්ගේ විවේචකයන් පෙන්වා දී ඇති පරිදි, මෙම වැටීම වනාහී බොහෝදුරට ආර්ථික ක්‍රියාකාරිත්වය හැකිලී යාමේ නිෂ්පාදනයක සක්‍රීය වීමකි.

මානව නිදහස එවැනි විවේචනය කිරීම් මධ්‍යයේ වුව ෆ්‍රීඩ්මාන්ගේ විශ්ලේශනය වැදගත් දේශපාලන අවශ්‍යතාවක් සඳහා කැප වූවකි. එය ධනවාදයේ හා එහි නිදහස් වෙලඳපොලේ අසමර්ථතාවය වෙතින් ආන්ඩුවල ක්‍රියා කලාපය වෙත අවධානය මාරු කර යැවුනි. මහා අවපාතය, “පුලුල්ව අර්ථ දක්වනු ලැබූ ආකාරයට වෙලඳ පොල පද්ධතියේ අසමර්ථතාවේ ප්‍රතිඵලයක් නොවූ” අතර “විශේෂයෙන් ම මූල්‍ය අධිකාරීන් මූලිකව ක්‍රියාත්මක කල යුතුව තිබුනු වැඩ පිලිවෙල ක්‍රියාවට නැගීමට හා බැංකු සංත්‍රාසය වැලැක්වීමට අසමත් වීම ඇතුලු භයානක රාජ්‍ය අසමර්ථතාවක විපාකයකි” යි 1998 ජුලි මාසයේ දී රේඩියෝ ඕස්ට්‍රේලියා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ෆ්‍රීඩ්මාන් පැහැදිලි කලේ ය.

එවිට අත්‍යවශ්‍ය ප්‍රශ්නය වන්නේ: බිඳ වැටීම වැලැක්වීමට ෆෙඩරල් රිසර්ව් අසමත් වූයේ ඇයි ද යන්නයි ෆ්‍රීඩ්මාන් කියන පරිදි නිව් යෝර්ක් ෆෙඩරල් රිසර්ව් මන්ඩලයේ බලවතා වූ බෙන්ජමින් ස්ට්‍රෝංග්ගේ මරනින් පසුව එහි ඇතිවූ ගැටුම් මාලාවක් නිසා එය සීසීකඩ වී තිබුනි. මෙම ගැටුම් නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාවට දැමීම වැලැක්වී ය.

“මැන බැලු ප්‍රථම ශතවර්ෂය” නම් පීබීඑස් රූපවාහිනී වැඩ සටහනකට දුන් සම්මුඛ සාකච්ඡාවක දී “වැරදි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට දැමීය යන කරුන” එක් අතකින්, “1928 දී ෆෙඩරල් රිසර්ව් පද්ධතියේ ප්‍රමුඛයා වූ බෙන්ජමින් ස්ට්‍රෝංග් මිය ගියේ ය. යන සැබෑ අහම්බයේ ප්‍රතිඵලයක් වීය යයි ඔහු කියා සිටියේ ය. ඔහු තවත් වසර දෙක තුනක් ජීවත්ව සිටියේ නම් මහා අවපාතයකට මුහුන දීමට සිදු නොවනු ඇත.

යන්න මා අවධාරනය කරන අදහසයි.” ඉතිහාසයේ දැවැන්ත ම ආර්ථික බිඳ වැටීම තුල මතවාදය හා “නිදහස් වෙලඳපොල” ඉටු කල භූමිකාව පිලිබඳ කිසිදු විවේචනාත්මක විමර්ශනයක් වැලැක්වීමට ෆ්‍රීඩ්මාන් යාමට සූදානම් වූ අභව්‍ය දුර එවැනි ය. එයටත් වඩා අභව්‍ය වූයේ ස්ට්‍රෝංග්ගේ සැබෑ දෘෂ්ටීන් අනාවරනය කර ගැනීමටත් ඔහු වෙනස් ලෙසකින් ක්‍රියා කල හැකිව තිබුනේ ද යන්න සොයා බැලීමට ගවේශනයක් දියත් කල ශාස්ත්‍රීය කවයන්, ෆ්‍රීඩ්මාන්ගේ විශ්ලේෂනය බැරෑරුම් ලෙස ගැනීමයි.

“ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයෙකුගේ” මට්ටමට ෆ්‍රීඩ්මාන්ගේ නැගීමට, ඔහුගේ කෘතිය බුද්ධිමය හා විද්‍යාත්මක වටිනාකම සමග තිබුනේ අල්ප සම්බන්ධතාවකි. ඒ වෙනුවට එයට හේතුව වූයේ, පවත්නා සම්මතවාදයට එරෙහිව නිදහස් වෙලඳපොලේ සහ පෞද්ගලික දේපොලේ ආවේනික ගුනයන් වර්නනා කිරීමට ඔහු දැරූ නොනවතින උත්සාහයයි. එහි ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් යුද්ධ සමථය අවසන් වී, නව මුදලට පොරබදන්නෝ අවශ්‍ය වූ විට, අතිශය පටු ස්තරයක් විසින් ධනය අසීමිතව සමුච්චය කර ගනු ලැබීම මත පදනම් වූ නව ප්‍රතිගාමී සමාජ අවධියේ ප්‍රධාන උද්ඝෝෂකයා ලෙස ඔහු පිහිටුවා ලු අතර...ඒ සියල්ල මානව “නිදහසේ” නාමයෙනි.

ෆ්‍රීඩ්මාන්ගේ දෘෂ්ටිවාදයේ පදනම වූයේ වෙලඳපොල හා පෞද්ගලික දේපොල ක්‍රමයේ නිර්බාධිත ක්‍රියාකාරිත්වය මානව නිදහසෙන් නොවෙන් කල හැකිය යන සංකල්පයයි. තවද, වෙලඳපොල යනු මානව සමාජ ඉතිහාසයේ එක් නිශ්චිත ලක්ෂ්‍යයකදී ඇති වූ සුවිශේෂී සමාජ රූපාකාරයක් නොව, සනාතනික ගුනයක් සහිත එකකි. වැඩවසම් යුගයේ පාලක පන්තීන් තම ධුරාවලිය දෙවියන් විසින් දෙන ලද බවට තහවුරු කිරීමට පූජකයන් තමන් අත තබා ගත්තේ යම් සේ ද, ධනය හා වරප්‍රසාද ඉහවහාගිය වත්මන් සමාජ ක්‍රමය, මානව සමාජ සංවිධානයේ යථා ස්වභාවය තුලම මුල් බැස ඇති බවට ෆ්‍රීඩ්මාන් වත්මන් පාලක පන්තීන්ට සහතික කලේ ය.4 1962 දී පල කල ක්‍්චසඒකසිප ්බා ත්‍රුැාදප (ධනවාදය හා නිදහස) නම් ඔහුගේ කෘතිය තුල ඔහු මෙසේ ලිවී ය: “ඓතිහාසික සාධක ඒකායන හඬකින් පවසන්නේ දේශපාලන නිදහස හා නිදහස් වෙලඳපොල අතර ඇති සබඳතාව පිලිබඳවයි” 1991 දී පැවැත්වූ දේශනයේ දී තම තේමාව විස්තාරනය කරමින් මානව සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයේ සකල රූපාකාරයන් සමග වෙලඳපොල අනන්‍ය කිරීම දක්වා ඔහු ගමන් කලේ ය.

“නිදහස් පෞද්ගලික වෙලඳපොල වනාහි මිනිසුන් අතර ස්වේච්ඡා සමාගමය කරා ලඟාවීම සඳහා වන යාන්ත්‍රනයකි. එය හුදෙක් ආර්ථික ගනුදෙනුවලට පමනක් නොව ඕනෑ ම මානව ක්‍රියාකාරිත්වයකට ම යෙදේ. අපි භාෂාවක් කතා කරමු. එම භාෂාව පැමිනියේ කොහි සිට ද? සමහර ආන්ඩු භාෂාව නිර්මානය කොට එය භාවිතා කරන ලෙස ජනතාවට උපදෙස් දුන්නාහු ද? ව්‍යාකරන නීති වර්ධනය කල යම් කොමිෂන් සභාවක් තිබුනේ ද? නැත, අප කථාකරන භාෂාව වර්ධනය වූයේ නිදහස් පෞද්ගලික වෙලඳපොලක් තුලින් ය” යි ඔහු ලිවී ය.

භාෂාවේ වර්ධනය මෙන් ම එහි ගම්‍යයක් ලෙස සෑම මානව ක්‍රියාකාරිත්වයක් ම වෙලඳපොල ප්‍රපංචයක් බවට හැරවීමට ෆ්‍රීඩ්මාන් දරන උත්සාහය, අතිශය මූලික විශ්ලේෂනයකින් ම බිඳ වැටේ. නිදහස් වෙලඳපොල, තම පුද්ගලික ශ්‍රමයේ නිෂ්පාදන හුවමාරු කරන වෙන් වෙන් තනි පුද්ගලයන්ගේ පැවැත්ම පූර්වාපේක්ෂා කරයි.

එහෙත් භාෂාවේ දී මිනිසුන් තම පුද්ගලික නිර්මිතයන් හුවමාරු කර නොගනී. අවබෝධ කර ගැනීමටත් ඉන් පසුව අවබෝධ වනු ලැබීමටත්, කේවල පුද්ගලයා සමාජීය වූ මානව වර්ගයා විසින් මේ වන විටත් වර්ධනය කොට ඇති භාෂාව උගත යුතු ය. සංයෝගයක් තැනීමට ඉලෙක්ට්‍රෝන “හුවමාරු කරගන්නා” කේවල මූල ද්‍රව්‍යයන්, “වෙලඳපොල ගනුදෙනුවක” නිරතව සිටින්නේ යැයි කියා සිටීම වැනි ම නුවනක්කාර අර්ථයක් ෆ්‍රීඩ්මාන්ගේ අවධාරනයෙන් ද ගම්‍යවේ.

චිලී රටේ “අත්හදා බැලීම” ෆ්‍රීඩ්මාන්ගේ ආධනග්‍රාහී නිදහස් වෙලඳපොල නියාමයන් විද්‍යාත්මක අන්තර්ගතයක් ගැබ් කර නොගත්ත ද, චිලී රටේ අත් දැකීම විස්තෘත ලෙස පෙන්වා දුන් පරිදි, ඒවා නිශ්චිත පන්ති අවශ්‍යතාවන් සඳහා සේවය කිරීමේ දී, අසීමිත වටිනාකමක් දරා සිටියි.

1973 සැප්තැම්බර් 11 දා, ඡන්දයෙන් තේරී පත් වූ ඇලන්ඩේ ගේ ආන්ඩුව මිලිටරි කුමන්ත්‍රනයකින් පෙරලා දැමූ ජුන්ටාවේ ප්‍රධානියා වූ ඔගස්ටෝ පිනෝචේ, 1975 දී, චිලී ආර්ථිකය ප්‍රතිනිර්මානය කිරීම සඳහා ෆ්‍රීඩ්මාන් සහ ඔහුගේ “චිකාගෝ මානවකයන්” (ඔහුගේ භාරකාරත්වය යටතේ පුහුනු කරනු ලැබූ ආර්ථික විද්‍යාඥයන්) හට කැඳවුම් කර සිටියේ ය.

ෆ්‍රීඩ්මාන් හා ඔහුගේ අනුගාමිකයන්ගේ සෘජු මග පෙන්වීම යටතේ, ආර්ථික සීමා ඉවත් කිරීම් හා පුද්ගලීකරනය මත පදනම් වූ “නිදහස් වෙලඳපොල” වැඩ පිලිවෙලක් ක්‍රියාවට දැමීමට පිනෝචේ සූදානම් විය. අවම වැටුප ද වෘත්තීය සමිති අයිතිවාසිකම් ද අහෝසි කල ඔහු, විශ්‍රාම වැටුප් පද්ධතිය, රාජ්‍ය කර්මාන්ත හා බැංකු පුද්ගලීකරනය කොට ආදායම් හා ලාභ මත බදු පහත හෙලී ය.

ප්‍රතිඵලය වූයේ චිලී ජනතාව මත සමාජ ව්‍යසනයකි.

1974 දී සියයට 9කට මඳක් වැඩි වූ විරැකියාව 1975 දී සියයට 19ක් දක්වා නැගුනි. 1930 ගනන්වල දී එක්සත් ජනපදය අත් දක්නා ලද සංකෝචනයට සමාන කල හැකි ලෙස, එම කාල සීමාව තුල ම නිෂ්පාදනය සියයට 12.9 කින් වැටුනි.

1977න් පසුව සියයට 8ක වර්ධන වේගයකට ලඟාවෙමින් චිලී ආර්ථිකය යම් ප්‍රකෘතිමත් වීමක් අත් වින්දේ ය. රොනල්ඩ් රේගන්, චිලී දේශය තුන්වන ලෝකයේ සංවර්ධනය සඳහා “ආකෘතිය” ලෙස හුවා දැක්වූ අතර, “චිලී අත්හදා බැලීම පශ්චාත් යුද කාලීන ජර්මානු ආර්ථික ප්‍රාතිහාර්යයට සමාන කල හැකි” බව ෆ්‍රීඩ්මාන් කියා සිටියේ ය. 1982 දී ආඥාදායක පිනෝචේ උත්කර්ශයට නැංවූ ඔහු “පිනෝචේ ප්‍රතිපත්තියක් ලෙස ම පූර්න නිදහස් වෙලඳපොල ආර්ථිකයකට සහයෝගය දක්වා ඇත. චිලිය වනාහි ආර්ථික ආශ්චර්යයකි” යි ප්‍රකාශ කලේ ය.

එහෙත් ප්‍රකෘතිමත් වීම කෙටි කාලීන විය. එක් අවස්ථාවක දී විරැකියාව සියයට 34.6ට නගිමින් 1983 දී ආර්ථිකය විනාශ විය. කාර්මික නිෂ්පාදනය සියයට 28කින් හැකිලිනි. 1982 හා 1983 අතර දල දේශීය නිෂ්පාදනය සියයට 19කින් හැකිලිනි. නිදහස් වෙලඳපොල විමුක්තිය ගෙන එනු වෙනුවට දැවැන්ත ලෙස එක් ධ්‍රැවයක ධනය සමුච්චය වූ අතර, අනෙක් ධ්‍රැවයේ දරිද්‍රතාව හා කාලකන්නිභාවය ඉහවහා ගියේ ය. 1970 දී චිලී ජනගහනයෙන් සියයට 20ක් දරිද්‍රතාවේ ජීවත් වූහ. මිලිටරි ආඥාදායකත්වයේ අවසන් වසර වූ 1990 වන විට එය දෙගුන වී සියයට 40ක් බවට පත් විය. ඒ අතර ම මූර්ත වැටුප් සියයට 40ට වැඩි ප්‍රමානයකින් ක්ෂය වී තිබුනි. එහෙත් ධනවත්තු තවත් ධනවත් වෙමින් සිටියාහ. 1970 දී ජනගහනයේ ඉහල ම පහෙන් පංගුව ධනයෙන් සියයට 45ක් පාලනය කලේ පහල ම පහෙන් පංගුවේ සියයට 7.6ට සාපේක්ෂව ය. 1989 වන විට එම ප්‍රමානයන් පිලිවෙලින් සියයට 55ක් සහ සියයට 4.4ක් විය.

චිලී අත්දැකීම හුදකලා සිද්ධියක් නොවී ය. සරලව ම එය වනාහි, ධනේශ්වර නිදහස් වෙලඳපොල මුදා හැරීම, මානව නිදහස ගෙන එනවා වෙනුවට සංවිධිතරාජ්‍ය ප්‍රචන්ඩත්වය හරහා පමනක් සිදු කල හැකි බවට වූ ප්‍රථම සාධනයයි.

එක්සත් ජනපදයේ රීගන් පරිපාලනය සමයේ ක්‍රියාවට දැමූ මූල්‍යවාදී නිදහස් වෙලඳපොල වැඩ පිලිවෙලට සමගාමීව 1981 දී පැට්කෝ ගුවන් යානා පාලක වෘත්තීය සමිතිය බිඳ දැමීමෙන් වෘත්තීය සමිති විනාශ කිරීම ඇරඹුනි. ෆෙඩරල් රිසර්ව් මන්ඩල සභාපති පෝල් වෝල්කර් පසුව සඳහන් කල පරිදි: “උද්ධමන විරෝධී අරගලයට සහයෝගය දීමේ දී පරිපාලනයේ වඩාත් වැදගත් තනි ක්‍රියාව වූයේ ගුවන් යානා පාලක වැඩ වර්ජනය පරාජය කිරීම යි.” එලෙසින් ම ෆ්‍රීඩ්මාන් හා ඔහුගේ වඩාත් බලගතු උපදේශකවරුන්ගෙන් එක් අයෙකු වූ ෆ්‍රෙඩ්රික් හයෙක්ගේ අදහස් මත පදනම් වූ බ්‍රිතානයේ තැචර්වාදී ආර්ථික ප්‍රතිවිප්ලවය, 1984-85 සමයේ වසරක් පුරා දිග් ගැස්සුනු වැඩ වර්ජනයේ දී, පොලීසිය හා අනෙකුත් රාජ්‍ය හමුදාවන් මහා පරිමානයෙන් මැදිහත් කොට පතල් කම්කරු වෘත්තීය සමිතිය විනාශ කිරීමට සෘජුව ම මග පෑදී ය.

අනෙකුත් තැන්වල දී ද එම ක්‍රියා දාමයන් ම, කැපී පෙනෙන අයුරු ඕස්ට්‍රේලියාවේ දී, 1983 හා 1996 අතර හෝක්-කීටිං ලේබර් ආන්ඩු විසින් ක්‍රියාවට දමන ලද පුද්ගලීකරනයේ, සීමා ඉවත් කිරීමේ හා නිදහස් වෙලඳපොලේ වැඩ පිලිවෙල කම්කරු ව්‍යාපාරය සංවිධිත රාජ්‍ය මර්දනයට ලක් කිරීම දැක ගත හැකි විය.

ෆ්‍රීඩ්මාන් ඔහුගේ සොහොන් ගැබට යද්දී හුවාදැක්වීම්වලින් පරිසරය පිරී යයි. ජෝර්ජ් බුෂ් ඔහු උත්කර්ෂයට නැංවූයේ “ඔහු වනාහී මානව ඖදාර්යය හා මානව නිදහස ඉදිරියට ගෙන ඒමට සහාය වූ ක්‍රියා පිලවෙතක් සහිත විප්ලවීය චින්තකයෙකු හා අත්‍යසාමාන ආර්ථික විද්‍යාඥයෙකු” වසයෙනි. ඔහුගේ “විමුක්තියේ ආර්ථිකයේ” පුනර්ජීවනය උත්කර්ෂයට නැංවූ මාගරට් තැචර් ඔහු “බුද්ධිමය නිදහසේ සටන්කාමියෙකු” ලෙස විස්තර කලා ය. ඔහු නිරන්තරයෙන් “ශ්‍රේෂ්ටතම ආර්ථික විද්‍යාඥයින් අතරට” ගනන් ගැනෙනු ඇතැයි එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් හෙන්රි පෝල්සන් කීවේ ය. ෆ්‍රීඩ්මාන් “ආර්ථික විද්‍යවේ දැවැන්තයෙකු” බවත් චිලී දේශයේ ඔහුගේ ක්‍රියාකාරකම් පිලිබඳ විවේචනයන් හුදෙක් “ මහාමාර්ගයේ එක් බාධකයක් පමනක්” බවත් නිව් යෝර්ක් ටයිම්ස් හි අවමංගල්‍ය කථනය විස්තර කලේ ය. ඕස්ට්‍රේලියානු අගමැති ජෝන් හොවාඩ් ඔහු “ලෝක ආර්ථික න්‍යායේ යෝධ චරිතයක්” යයි ප්‍රකාශ කරද්දී රූපර්ට් මර්ඩොක්ගේ ඕස්ට්‍රේලියන් පුවත්පතේ කතු වැකිය ඔහු “නිදහසේ ශූරයා” යයි විස්තර කලේ ය.

දේවල් සිදු වූයේ ඒ අයුරිනි. ධනවතුන් හා බලවතුන් තමන් ආඪ්‍ය කලා වූ තත්වය සාධාරනීකරනය කිරීමේ දී නිදහස හා විමුක්තිය යන පද තරම් ඔවුන් සතුටු කරන කිසිවක් නොමැති බව පෙනී යයි. එහෙත් වෙනස්වූ සමාජ කොන්දේසි හා දේශපාලන තත්වයන් සහිත එලැඹෙන කාලය තුල දී මිල්ටන් ෆ්‍රීඩ්මාන් යන නම වඩා වෙනස් ප්‍රතිචාරයක් ජනනය කරනු ඇත.

[මෙය 2006 නොවැම්බර් 21 වැනි දින Milton Friedman 1912-2006: “Free market” architect of social reaction යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading