එක්සත්‌ ජනපද නියෝජිතයා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්‌ පිලිබඳ ඇල්‌ මැරුනු උත්සුකතා මතු කරයි

එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රිචඩ් බව්චර්, මැයි 8-10 දිනවල සිදු කල සිය ශ්‍රී ලංකා සංචාරය තුල දී, ආන්ඩුව හා රටේ ආරක්ෂක හමුදාවන් විසින් සිදු කෙරෙන මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය පිලිබඳ එක්සත් ජනපද උත්සුකතාවන්ට ප්‍රථම වතාවට සැඳහුම් කලේ ය.

බුෂ් පාලනාධිකාරය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂටත් දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ඔහු යලි ඇරඹූ යුද්ධයටත් මුලුමනින් ම පිටුබලය සපයා ඇත. ධවල මන්දිරය එල්ටීටීඊය 'ත්‍රස්තවාදී ' සංවිධානයක් ලෙස හෙලා දකින හා බෙදුම්වාදී සංවිධානය තහනම් කරන ලෙස සෙසු ආන්ඩුවලට බල කරන අතර ම, ශ්‍රී ලංකා මිලිටරිය 2002 සටන් විරාම ගිවිසුම විවෘතව උල්ලංඝනය කිරීම හා ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධි ක්‍රම හිතාමතා ම නොතකා හැර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව අයිතීන් පිලිබඳ බව්චර්ගේ මෑතම ප්‍රකාශ අතිශයින් ම සීමිත වූ අතර ඉරාකයේ එක්සත් ජනපද ම්ලේච්ඡ වාඩිලෑමේ සන්දර්භය තුල ගත් කල, ඒවා මුලුමනින් ම කුහක ය. එහෙත් ජ්‍යෙෂ්ට එක්සත් ජනපද නිලධාරියකු මොන යම් හෝ එවන් සැඳහුමක් කලේ ය යන කරුන ම කොලඹ ආන්ඩුව, මිලිටරිය හා එය හා බැඳුනු සන්නද්ධ පැරා-මිලිටරි කන්ඩායම් විසින් සිදු කරනු ලබන අපරාධවල පරිමාව පිලිබඳ අර්ථභාරී දර්ශකයකි.

ඔහුගේ සංචාරය තුල දී, බව්චර් ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉහල නිලධරයන් සහ මිලිටරි නිලධාරින් හමු විය. බව්චර් උතුරේ යුද කලාපයේ යාපනයේ සංචාරය කොට මිලිටරි අන දෙන නිලධාරින්, ප්‍රාදේශීය ආගමික නායකයන්, දේශපාලනඥයන් හා නිලධාරින් සමග කතා කලේ ය.

මැයි 10 දා කොලඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී, එක්සත් ජනපද නිලධාරියා සිය කතාව ආරම්භ කලේ, 'ලමා සොල්දාදුවන් බඳවා ගන්නා, කප්පම් ගන්නා, මිනිසුන් ඝාතනය කරන, බස් රථ පුපුරුවා හරින හා ආන්ඩුවේ ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල කරන ' 'ත්‍රස්තවාදී කන්ඩායමක් ' ලෙස එල්ටීටීඊය යලිත් වරක් හෙලා දකිමිනි. එක්සත් ජනපදයට 'ශ්‍රී ලංකා මිලිටරිය සමග පවත්නා ආරක්ෂක සහයෝගිතාව ' ද 'සැපයුම් ලබා ගැනීමට, මුදල් ලබා ගැනීමට හා ආයුධ ලබා ගැනීමට දෙමල කොටින්ට පවත්නා හැකියාව මොට කරන ' ලෙස සෙසු රටවලට බලපෑම් කිරීමේ වොෂිංටනයේ ප්‍රයත්නයන් ද ඉස්මතු කර දක්වමින්, ඔහු රාජපක්ෂ ආන්ඩුවට ලැබෙන එක්සත් ජනපද සහයෝගය යලිත් අවධාරනය කලේ ය.

එමෙන් ම රාජපක්ෂ සමග තමන් කල සාකච්ඡාවල දී පහත කරුනු මතු කල බව ද බව්චර් පැහැදිලි කලේ ය: 'අපි මානව අයිතිවාසිකම් තත්වය ගැන තරමක් කතා කලෙමු. බෙහෙවින් ම අපගේ උත්සුකතාවට ලක් වන අංශ දෙකක් ඇත. එකක් පැහැර ගැනීම් හා ඝාතන වන අතර දෙවැන්න වන්නේ පුවත් පත් නිදහසයි. . .

. සමහර ඝාතන, සහන සේවකයන්ගේ ඝාතන, පසු ගිය වසර තුල දිවයිනේ විවිධ ස්ථානවල සිදු වී ඇති පුද්ගල ඝාතන හෝ ඒ ආකාර සිද්ධීන් පිලිබඳව (එක්සත් ජනපදයේ) අපි බෙහෙවින් උත්සුකව සිටිමු. ' පුවත් පත් නිදහස පිලිබඳ කාරනාව සම්බන්ධයෙන් ඔහු තව දුරටත් මෙසේ පැවසී ය: 'අපි විවිධ වාර්තා විශාල ප්‍රමානයක් දැක ඇත්තෙමු. බිය ගැන්වීම ගැන වාර්තා, පුවත් පත් හා මාධ්‍යවේදීන් මත ආන්ඩුවේ බලය යෙදීම ගැන වාර්තා අපි දැක ඇත්තෙමු. තව ද ඇත්ත වසයෙන් ම, පුවත් පත් හා මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කෙරුනු ඝාතන හා ප්‍රචන්ඩ ක්‍රියා අපි දැක ඇත්තෙමු. ' එම හුස්මට ම බව්චර් ආන්ඩුව තථ්‍ය වසයෙන් ම වගකීමෙන් නිදහස් කලේ, එය අත් අඩංගුවට ගැනීමේ දී පිලිපැදිය යුතු නියමාකාර උපදෙස් මාලාවක් නියම කර ඇතැයි ද දේශපාලනඥයන් හා නිලධාරින් ඒවා ක්‍රියාත්මක කිරීමට 'කැප වී ' ඇතැයි ද කියාපාමිනි.

කුප්‍රකට ආන්ඩු-ගැති පැරා-මිලිටරි කන්ඩායම් ගැන කතා කිරීමේ දී ඔවුන්ගේ මෙහෙයුම්වල දී සන්නද්ධ හමුදාවන් හා ආන්ඩුව ගෙන යන සමීප සහයෝගිතාව ගැන මොන යම් හෝ සැඳහුමක් කිරීම ඔහු ප්‍රවේශමෙන් මග හැරියේ ය.

බව්චර්ගේ ප්‍රකාශ පැමිනියේ, කොලඹ සහ දිවයිනේ උතුරේ හා නැගෙනහිර යුද කලාපවල දෙමල සුලුතරයට එරෙහිව ප්‍රධාන වසයෙන් එල්ල කෙරී ඇතිආන්ඩු-ගැති ඝාතක කල්ලිවල මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල හා ජාත්‍යන්තරව වැඩෙන වෛරය මධ්‍යයේ ය. 2005 නොවැම්බරයේ දී රාජපක්ෂ බලයට පත් වූ අවස්ථාවේ පටන් මේ දක්වා මෙම රහස් තුවක්කුකරුවන් විසින් සිය ගනනක් මරා දමනු හෝ 'අතුරුදහන් කරනු ' ලැබ තිබේ. මෙම එකඳු සිද්ධියක් වත් සම්බන්ධයෙන් ම පාහේ, කිසිදු අපරාධකරුවකු නීතිය හමුවට පමුනුවා දඬුවම් කරනු තබා අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන වත් නැත.

රටේ බල පවත්නා දරුනු ත්‍රස්තවාදය වැලැක්වීමේ නීතිය යටතේ තවත් බොහෝ ගනනක් චෝදනා රහිතව රඳවා ගෙන සිටී.

මාර්තු 22 දා සසප සාමාජික නඩරාජා විමලේස්වරන් හා ඔහුගේ මිතුරු සිවනාදන් මදිවදනන් උතුරේ යාපන නගරය අසල නාවික හමුදා පාලනය යටතේ පවත්නා දිවයින් ප්‍රදේශවල දී අතුරුදහන් වීම සම්බන්ධයෙන් ද පසු ගිය අගෝස්තුවේ දී සසප ආධාරකරුවකු වූ සිවප්‍රකාශම් මරියදාස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ බලධාරින් පරීක්ෂන පැවැත්විය යුතු යැයි සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ දිනවල උද්ඝෝෂනයක් ගෙන යයි. මේ වන තෙක් මෙම එකඳු සිද්ධියක් වත් සම්බන්ධයෙන් කිසිදු බැරෑරුම් පරීක්ෂනයක් සිදු කෙරී නැත.

ශ්‍රී ලංකාවේ සිදු වන ම්ලේච්ඡ ක්‍රියාවල පරිමාව ජාත්‍යන්තර අවධානයට යොමු කරනු වස් මානව හිමිකම් සංවිධාන පුලුල් උද්ඝෝෂන ගෙන යමින් සිටී.

මෑත දී පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය තුල දී, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) 'නීති රීතිවලට අනුව ක්‍රීඩා කරන ' ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අතර දිවයිනට ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂකයන් යවන ලෙස උද්ඝෝෂනය කලේ ය. සිය උද්ඝෝෂනය ආරක්ෂා කරමින් ක්ෂමා සංවිධානය මෙසේ සටහන් කලේ ය: 'ශ්‍රී ලංකාවේ වැඩි වන පැහැර ගැනීම්, නීති විරෝධී ඝාතන සහ ලමුන් යුද්ධයට බඳවා ගැනීම් සියල්ල කිසිදු සීමාවකින් තොරව දිගට ම සිදු වන අතර වින්දිතයන්ට කිසිදු යුක්තියක් ඉෂ්ට නොවේ. පසු ගිය වසර මුලුල්ලේ උත්සන්න වූ ගැටුම් 300,000කට අධික පිරිසකට සිය නිවාස අතහැර පලා යාමට බල කර තිබේ. 2006 ආරම්භයේ පටන් මේ දක්වා අඩු ගනනේ 1000ක් බලාත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබ ඇත. ' එක්සත් ජනපදයේ පාදක වන හ්‍යුමන් රයිට්ස් වොච් (මානව හිමිකම් නිරීක්ෂක -- එච්ආර්ඩබ්ලිව්) සංවිධානය, පසු ගිය මාසයේ රාජපක්ෂගේ වතිකානු සංචාරයට පෙරාතුව, ශ්‍රී ලංකා ආන්ඩුවේ මෙන් ම එල්ටීටීඊයේ ද වාර්තාවන්ට අවධානය යොමු කරමින්, පාප් වහන්සේ වෙත විවෘත ලිපියක් ලිවී ය. 'රාජ්‍ය ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධිත බලාත්කාරී අතුරුදහන් වීම් ද වැඩෙමින් පවතී. 2005 දෙසැම්බර් සිට මේ දක්වා යාපන අර්ධද්වීපයෙන් පමනක් ආන්ඩුවේ මානව හිමිකම් කොමිසමට අතුරුදහන් වූ පුද්ගලයන් පිලිබඳ පැමිනිලි 707ක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 492ක් තවමත් ආගිය අතක් නැත. වාර්තා වී ඇති සිද්ධීන්ගෙන් අති මහත් බහුතරයක සාක්ෂ්‍යකරුවන් හා පවුලේ සාමාජිකයෝ ආරක්ෂක හමුදාවන් පැහැර ගැනීම්වල යෙදුනු හෝ ඒවාට සම්බන්ධිත බවට චෝදනා කරති. ' යැයි එය සඳහන් කලේ ය.

'මුක්තිය නියමක් ලෙස පවතින ' බව ද එච්ආර්ඩබ්ලිව් ලිපිය සටහන් කරන්නේ මෙලෙස පැහැදිලි කරමිනි: 'ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙහි ලා සිය නොහැකියාව කනගාටුදායක ලෙස ඔප්පු කර ඇත. සාම ලේකම් කාර්යාලයේ මාර්තු 8 දා ප්‍රකාශය පැහැර ගැනීම් හා අතුරුදහන්වීම් පිලිබඳ සිද්ධීන් නවයක් සම්බන්ධයෙන් කල පොලිස් පරීක්ෂනවල ප්‍රතිඵල වාර්තා කරයි. එහෙත් මෙය සෑම මසකම වාර්තා වී ඇති මුලු සිද්ධීන් සංඛ්‍යාවෙන් ඉතා කුඩා පංගුවක් පමනක් නියෝජනය කරයි. ' එච්ආර්ඩබ්ලිව් මාධ්‍යවලට හා ආන්ඩුවේ විවේචකයන්ට එරෙහි තර්ජන ද අවධාරනය කර දක්වයි. 'එමෙන් ම.

මාධ්‍ය, ආන්ඩු නොවන සංවිධාන සහ ස්වාධීන හෝ වෙනස් අදහස් දරන සෙසු අය බියගැන්වීමට ආන්ඩුව 'ත්‍රස්ත විරෝධී යුද්ධය ' පිලිබඳ ආදර්ශය යොදා ගනී.

ආන්ඩුව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක සංස්ථාපිතය විසින් දුවවනු ලැබ, විවේචකයන් එල්ටීටීඊයේ හවුල්කරුවන් හා රාජ්‍යයේ ද්‍රෝහීන් ලෙස හෙලා දැකීම් සම්බන්ධයෙන් හ්‍යුමන් රයිට්ස් වොච් ගැඹුරින් ම උත්සුක වී සිටී. ' යැයි එය ලිවී ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනන්ද දේශප්‍රිය මෑත දී මෙසේ අදහස් දැක්වී ය: 'උතුරේ හා නැගෙනහිර ජනයාට පුවත් පතක් ලබා ගැනීමේ අයිතීය අහිමිව ඇත. එහි මුද්‍රන කඩදාසි නැත. මාධ්‍යවේදීන්ට ජීවත් වීමේ අයිතිය නැත. ඔවුන්ට තමන්ට අවශ්‍ය කිසිදු ඡායාරූපයක් ගත නොහැක. ඔවුන්ට තමන්ට කැමති පරිදි අන්තර් ජාලයට පිවිසිය නොහැක. ' පසු ගිය මාස 15 තුල දී මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 17ක් ඝාතනය කර ඇතැයි ඔහු සඳහන් කලේ ය.

මාධ්‍යවලට, විශේෂයෙන් ම දෙමල මාධ්‍යවලට ආන්ඩුව දක්වන ආකල්පය, යාපනයේ පල කෙරෙන ප්‍රමුඛ දෙමල පුවත් පතක් වන උදයන් පත්‍රයේ කාර්ය මන්ඩලය හමුවීමට බව්චර්ට අවසර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවති අභ්‍යන්තර විවාදයක් මගින් අවධාරනය කෙරුනි. එම සාකච්ඡාව හෙලිදරව් කල සන්ඩේ ටයිම්ස් පත්‍රය සටහන් කල පරිදි, 'එවන් අවසරයක් දුන්නේ මන් ද ' යැයි රාජපක්ෂ සිය විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත. ආන්ඩුවේ මන්ත්‍රීවරු 'එල්ටීටීඊ-ගැති ' පුවත් පත් සමග කෙරෙන මොන යම් හෝ හමුවකට සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබුනි.මෙම සිද්ධීයේ දී රාජපක්ෂ, දැඩි කොන්දේසි යටතේ, සිය දෘඩතර ආස්ථානය ලිහිල් කර ගත්තේ ය. එහෙත් ඉහල පෙලේ එක්සත් ජනපද නිලධාරියකු එවන් හමුවක් සිදු කිරීමෙන් වලකාලීමට රාජපක්ෂ සැලකිල්ලට යොමු කලේ ය යන කරුන ම, නිල පිලිවෙත සම්බන්ධයෙන් විවේචනශීලී වන ඕනෑම මාධ්‍යයක් සම්බන්ධයෙන් ඔහුගේ ආන්ඩුව දක්වන ආකල්පය පැහැදිලිව සනාථ කිරීමකි.

එච්ආර්ඩබ්ලිව් මාර්තු මාසයේ දී, ආන්ඩුවට හිතැති සන්නද්ධ කන්ඩායමක් වන කරුනා කන්ඩායම ලමා සොල්දාදුවන් බඳවා ගැනීමේ ක්‍රියාකාරීව යෙදෙන බව පෙන්නුම් කරන සවිස්තර වාර්තාවක් ද නිකුත් කලේ ය. රාජපක්ෂ ආන්ඩුව විසින් වහාම හෙලා දකිනු ලැබූ මෙම වාර්තාව අර්ථභාරී ය. ඒ මක් නිසා ද යත් එල්ටීටීඊයට එරෙහිව එල්ල කෙරෙන ප්‍රධාන චෝදනාවක් නම් එය මෙම ක්‍රියාවේ යෙදෙන බව යි.

එච්ආර්ඩබ්ලිව් ලමයින් පැහැර ගෙන යාම පිලිබඳ නිශ්චිත සිද්ධීන් හඳුනාගෙන ඇතුවා පමනක් නොව මඩකලපුව දිස්ත්‍රික්කයේ දී මිලිටරිය සමග කරුනා කන්ඩායමේ විවෘත සහයෝගිතාව පිලිබඳ සෘජු සාක්ෂ්‍ය ද සම්පාදනය කලේ ය. මෙම සහයෝගිතාව වනාහි ආන්ඩුව නිරතුරුව ම ප්‍රතික්ෂේප කල කාරනාවකි.

එල්ටීටීඊය ලමා සොල්දාදුවන් බඳවා ගැනීම හෙලා දැකි බව්චර්ට කරුනා කන්ඩායමේ එම විධික්‍රමය ම ගැන කීමට කිසිවක් තිබුනේ නැත.

ප්‍රජාතන්ත්‍ර අයිතීන් විවෘතව ම උල්ලංඝනය කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාකලාපය සමග වොෂිංටනය උවමනාවට වඩා සමීපව සහයෝගී වනවා විය හැකැයි යන්න සම්බන්ධයෙන් පවත්නා උත්සුකතා පිලිබිඹු කරමින්, එක්සත් ජනපද කොංග්‍රස් මන්ඩලය තුල විවේචන මතු වී තිබේ. විදේශ සබඳතා කමිටුවේ ජ්‍යෙෂ්ට සාමාජිකයකු වන රිපබ්ලිකන් සෙනෙට් සභික රිචඩ් ලුගාර් මාර්තු මාසයේ දී රාජපක්ෂ වෙත ලිපියක් ලියමින් එක්සත් ජනපද ආධාර අවදානමට ලක් විය හැකි යැයි අනතුරු අඟවා තිබේ. 'ශ්‍රී ලංකාවේ දර්ශක නරක අතට හැරීම එම්සීසී (සහස්‍ර අභියෝග සංස්ථාව) ගිනුමෙන් ලැබෙන අරමුදල් අවදානමට ලක් කල හැකැයි මම උත්සුකව සිටිමි. ' යැයි ඔහු සඳහන් කලේ ය.

බ්‍රිතාන්‍යය, මේ මස මුල දී, මානව හිමිකම් උල්ලංඝනය හා දැවැන්ත ආරක්ෂක වියදම් පිලිබඳ උත්සුකතා ගැන සඳහන් කරමින්, නය සහන ආධාර වසයෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 3ක මුදලක් අත්හිටුවන බව නිවේදනය කලේ ය. ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර දායකයා වන ජපානය ද ආධාර ආන්ඩුවේ මානව හිමිකම් වාර්තාවට සම්බන්ධ කරන ලෙස ඉල්ලා සිටින ජාත්‍යන්තර ක්‍රියාකාරීන් හමුවීමට සැලසුම් කරන බව, බව්චර්ගේ සංචාරය අතරතුරේ දී, කොලඹ සිටින තානාපති නිලධාරියෙක් ඒඑෆ්පී ප්‍රවෘත්ති සේවයට පැවසී ය.

බව්චර්ගේ ප්‍රකාශ මෙන් ම මෙම සරුව පිත්තල වැඩ කටයුතු ද රාජපක්ෂ ආන්ඩුවේ ම්ලේච්ඡ යුද්ධය හා එහි දුෂ්ට මර්දනය නවතාලීමට කිසිවක් නොකරනු ඇත. එහෙත් ශ්‍රී ලංකා මිලිටරියේ ක්‍රියාකාරකම්වල පුලුල්ව පැතුරුනු හා සාපරාධී ස්වභාවය සහ දිවයින තුල හා ජාත්‍යන්තරව වැඩෙන විරුද්ධත්වය යන දෙක ම ඒවා මගින් පෙන්නුම් කෙරෙයි.

3

[මෙය 2007 මැයි 21 වැනි දින US envoy raises muted concerns about democratic rights in Sri Lanka යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading