හමුදාව නැගෙනහිර අල්ලා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආන්ඩුව "විජයෝත්සව" පවත්වයි

ි හමුදාව පසු ගිය ජුලි 11දා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නැගෙනහිර අන්තිම බල කඳවුර වූ තොප්පිගල අල්ලා ගැනීම ශ්‍රී ලංකාවේ ආන්ඩුව විකාර “විජයෝත්සවයක්” පැවැත්වීම සඳහා යොදා ගත්තේ ය.

එහෙත් ජනතාවගේ සහාය ජනනය කරනවා වෙනුවට මෙම උත්සවය ඇත්ත වශයෙන්ම ඉටු කලේ මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව එන්න එන්නම වැඩි වැඩියෙන් සන්නද්ධ හමුදා මත රැඳී සිටින අයුරු ද සමාජයේ සෑම අංශයක් ම තවතවත් මිලිටරීකරනයට ලක්වී තිබෙන අයුරු ද එලිදරව් කිරීම ය.

“සන්නද්ධ බලකායන්ට ප්‍රනාමය” පුදකිරීම සඳහා “නැගෙනහිර නවෝදය” උත්සවය පැවැත්වුනේ දැවැන්ත ආරක්ෂාවක් සහිතව ය. උත්සවය පැවැත්වුනු, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල රැස්වීම් භූමිය වූ නිදහස් චතුරස්‍රය ද එහි වටාපිටාව ද බාහිර කිසිවෙකුටත් ඇතුලු විය නොහැකි පරිදි පොලිස් හා හමුදා භටයන් විසින් රැකවල් කරනු ලැබිනි. කොලඹ නිරතුරුව පවත්වා ගෙන යන හමුදා හා පොලිස් මුරකාවල්වලට අමතරව බරට සන්නද්ධ පාබල මුරභට කන්ඩායම් වීදියක් ගානේ යොදවා තිබුනි.

නිදහස් චතුරස්‍රයේ රැස්වීම රජු වැඩමකල වැඩවසම් උත්සවයක සිරි ගත්තේ ය. ත්‍රිවිධ හමුදා නායකයෝ “රාජකාර්යය ඉටු කලෙමු” යන්න දන්වා සිටින සන්නස් පත්‍ර ජනාධිපතිවරයාට පිලිගැන්වූහ! මෙම විජයග්‍රහනවාදය ගතවූ වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද යුද ක්‍රියාන්විතයන් වනාහී 2002 සටන් විරාමයට පිටින් ගෙන ගිය “ආරක්ෂක මෙහෙයුම්” යයි කියා පෑ, දැනටමත් පාංකඩ වී ඇති, ව්‍යාජය කීකු කර දැමී ය.

රාජපක්ෂ ජාතිය අමතා කල කතාව ගජනා 21ක ආචාර වෙඩි මුරයක් ද ගුවන් යානා, යුදටැංකි මල්ටිබැරල් රොකට් ලෝන්චර් හා ගජනා ඇතුලත් හමුදා ආචාර පෙලපාලියක් ද පෙරටුකර ගත්තේ ය.

“නැගෙනහිර පලාතේ ජීවත් වූ සිංහල, දෙමල, මුස්ලිම් ජනතාවට විමුක්තිය උදාකිරීම” මගින් “ ප්‍රතාපවත් ස්වර්නමය කාල පරිච්ඡේදයක්” උදා කර ඇතැයි ජනාධිපති රාජපක්ෂ ත්‍රිවිධ හමුදාවට ස්තොත්‍ර කලේ ය.

2002 සටන් විරාම ගිවිසුමට පහර දෙමින් හෙතෙම මෙසේ ද කීවේ ය. “ත්‍රස්තවාදය ට නීත්‍යානුකූල බල ප්‍රදේශයක් පවත්නා බව ගිවිසුමක් මගින් පිලිගැනීම තරම් සාපරාධී ක්‍රියාවක් ශ්‍රී ලංකාව හැර ලෝකයේ කිසිදු රටක සිදු වී නැත.” මේ ක්‍රියාන්විතය නිමාවට පත් වූයේ සාමාන්‍ය ජනතාවට අවම පීඩාවක් ද ආරක්ෂක හමුදාවලට අවම හානියක් ද ගෙන දෙමින් යයි රාජපක්ෂ විකාර සහගත පුරාජේරුවක් ඇද බෑවේ ය. ඇත්තටම මෙම ප්‍රහාරක මෙහෙයුම් සඳහා ඉවබවක් නැති ගුවන් ප්‍රහාර ද කාලතුවක්කු ප්‍රහාර ද යොදා ගන්නා ලදී. අලුතින් යුද්ධය ඇරඹීමත් සමග 4500ක් තරම් ජීවිත හානි ද 300,000 තරම් උන්හිටිතැන්වලින් එලවීම ද සිදු කරන ලදී.

මෙම හමුදා මෙහෙයුම සමග සිය ගනන් අතුරුදහන් කිරීම් හා මිනීමැරුම් ද “එල්ටීටීඊ සහකරුවන් ය”යි නම් කරන ලද තවත් විශාල සඛ්‍යාවක් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගෙන රඳවා තැබීම ද සිදු විය.

තථ්‍ය වසයෙන් ම මාධ්‍ය වාරනයක් පැනවූ ආන්ඩුව දේශපාලන විරුද්ධවාදීන් රාජද්‍රෝහීන් යයි නම් කලේ ය. තොප්පිගල කැලෑ ප්‍රදේශය අල්ලා ගැනීම මායාවක් විය හැකි යයි සඳහන් කිරීම ගැන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට කටුක ලෙස පහර දෙමින්, “ මාතෘභූමියට ජයග්‍රහන අත් කර දී ඇති අපේ හමුදාවන්ට අපහාස කරන්න එපා, හමුදා අවතක්සේරු කරන්න එපා” යයි රාජපක්ෂ කියා සිටියේ ය.

පාසල් ද රාජ්‍ය ආයතන ද උත්සව පැවැත්විය යුතු යයි ආන්ඩුව නියම කලත්, යුද්ධය සඳහා උද්යෝගයක් ගොඩනැගීමට එය දැරූ උත්සාහය මුලුමනින් ම අසාර්ථක විය. සිංහ කොඩිය උස්සන ලෙස නිවැසියන්ට හා ව්‍යාපාරිකයන්ට කරන ලද ඇනවුම බොහෝ දුරට නොතකා හරින ලදී. වැඩ කරන ජනයා මත ආර්ථික බර ගොඩගසමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට යටි වල කැපූ යුද්ධයක් උත්කර්ෂනය කිරීමට මහජන සහයක් නොලැබුන බව කොලඹ ජනමාධ්‍ය පවා සටහන් කලේ ය.පසු ගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙසේ සඳහන් කලේ ය: “සිද්ධිය පිලිබඳව ජාති මාමක උත්සන්නියක් අවුස්සාලීම සඳහා මාධ්‍ය දවස් ගනනක් තිස්සේ ප්‍රචාරයක යෙදුනු නමුත්, එවන් උන්මාදයක් නම් තිබුනේ නැත. පසු ගිය බ්‍රහස්පතින්දා තමාෂාව මගින් නිදහස් දා උත්සවයක ශ්‍රීය හා සමාන කිරීමට ආන්ඩුවට උවමනා වූ තොප්පිගල විජයෝත්සවය, ඒ අරමුන ඉටු කර ගන්නට නම් සමර්ථ වූයේ නැත. ඇති තරම් මහජන උද්යෝගයක් නම් තිබුනේ ම නැත.

තමාට “ඉතිහාසයට එකතු වීමට” උවමනාවන්නේ “ජනප්‍රිය දේශපාලකයකු ලෙස නොවන” බව ද...“මැතිවරන සඳහා නොව රට සඳහා දේශපාලනය කල නායකයකු” ලෙස යයි ද ප්‍රකාශ කල රාජපක්ෂ එමගින් හඟවා සිටියේ රටේ අවශ්‍යතාවය යි තමාම නිර්වචනය කරන දෙය ක්‍රියාත්මක කිරීම සඳහා ඕනෑම දේශපාලන විපක්ෂයක් යකඩ සපත්තුවෙන් පාගා දැමීමට තම සූදානමත්, ඡන්ද විමසීම් වැනි මූලික ව්‍යවස්ථානුකූල හා නීතිමය ක්‍රියාවලීන් නොතකා හැරීමට සැරසී සිටින බවත් ය. - මේ නම් පොලිස් රාජ්‍යයක් සඳහා වට්ටෝරුවකි.

“විමුක්ත නැගෙනහිර” ප්‍රදේශය ආයෝජකයින්ට විවෘත කිරීමට සෑදූ සැලසුම් අත ඇති ආන්ඩුව යෝධ, දැඩි රැකවල් සහිත විශේෂ ආර්ථික කලාපයක් එහි විවෘත කර තිබේ. රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට මෙසේ ආයාචනය කලේ ය, “මා ශුභවාදීව විශ්වාස කරන්නේ අපගේ ජාත්‍යන්තර මිත්‍රයන් මේ කර්තව්‍යයේ දී අපට උදව් කරනු ඇතැයි කියා ය.

මිත්‍රවරුනි, කරුනාකර නැගෙනහිරට පැමිනෙන්න!” නැගෙනහිර පවත්නා යුද්ධමය පාලනය ප්‍රධාන පොලිස් ස්ථාන 9ක් සහ පොලිස් මුරපොල 42ක් යොදා ශක්තිමත් කෙරෙනු ඇත.

ජුලි 14 දා අයිලන්ඩ් පත්‍රය අමතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කලේ ය: “සන්නද්ධ හමුදාවලට බාර කර්තව්‍යය වන්නේ එල්ටීටීඊයෙන් අල්ලා ගත් ප්‍රදේශ ද යුද්ධ මූලෝපායික කඳවුරු ද යලිත් (එල්ටීටීඊය) කාන්දු වීම වලක්වා ආරක්ෂා කිරීමයි.” සන්නද්ධ හමුදාවල මුලු ශක්තිය තවත් 50,000 කින් වැඩි කිරීමට කටයුතු සලසා තිබේ.

විශ්‍රාමික ගුවන් හමුදා අනදෙන නිලධාරි හැරී ගුනතිලක තක්සේරු කර ඇති පරිදි, අමතර වැටුප්වලට පමනක් ඩොලර් මිලියන 62ක් (රුපියල් බිලියන 7කට ආසන්න ප්‍රමානයක්) යට කල යුතුව ඇත.

යටත් වී සටන හැර දැමීම හැර අන් කිසි විකල්පයක් එල්ටීටීඊයට නොදෙන බව ජනාධිපති රාජපක්ෂ පවසා තිබේ. පසු ගිය බදාදා රජයට අයත් ඩේලි නිව්ස් පුවත්පතට ඔහු මෙසේ පැවසී ය: “යුද්ධය නම් යුද්ධය, සාමය නම් සාමය. අපි ඕනෑම දෙයකට සූදානම් -- තමන් ගන්නට කැමති කුමන මාවතක් දැයි තෝරා ගැනීම එල්ටීටීඊයේ වැඩකි.” යුද්ධයට සහාය දෙන අතරතුරේම ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ වලට තදින් හැඟීගොස් ඇති කරුනක් නම් පතලව ඇති මහජන විරුද්ධත්වය යි; එහෙයින් ඔවුහු ආන්ඩුවේ ජයපානෝත්සව වලින් ඈත් වී සිටිති. එක්සත් ජාතික පක්ෂය කියා සිටින්නේ තොප්පිගල අල්ලා ගැනීම සටහන් කල යුතුව තිබුනේ ආගමික උත්සවන් මගින් යයි කියා ය. ආන්ඩුව අටසියයක් එල්ටීටීඊ සටන්කරුවන්ට පලායාමට ඉඩදීම ගැන ආන්ඩුව විවේචනය කරමින් විපක්ෂ නායක වික්‍රමසිංහ නැගෙනහිරතුලට ගරිල්ලා කන්ඩායම් යලි රිංගාගැනීම පිලිබඳව අනතුරු හැඟවිය.

ජවිපෙ විසින් මෙහෙයවනු ලබන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය (පීඑන්එම්) 18 වන බදාදා හමුදාවට ප්‍රනාමය පුද කිරීම සඳහා වෙනම තමන්ගේ රැස්වීමක් පවත්වා උතුරෙන් එල්ටීටීඊය කම්මුතු කරන තෙක් ජාතික උත්සව පැවැත්වීම කල් දැමිය යුතු ව ඇතැයි කියා සිටියේ ය. එල්ටීටීඊයට එරෙහිව ඇති තරම් ශක්තිමත්ව යුද්ධ කරන්නේ නැතැයි යන්න ගැන ද ජේවීපීය ආන්ඩුව විවේචනයට ලක් කර තිබේ.

පාලක සන්ධානයේ කොටසක් සේ පවත්නා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (ශ්‍රීලමුකො) පවා විජයෝත්සවය ගැන තම නොරිස්සුම ප්‍රකාශයට පත් කලේ ය.

ශ්‍රීලමුකො නායක රාවුෆ් හකීම් උත්සවයට සහභාගි වූ නමුත්, එදින ම (බ්‍රහස්පතින්දා) සවස පාර්ලිමේන්තුවට කියා සිටියේ තමා සහභාගීවූයේ “ බෙහෙවින් අකැමැත්තෙන් ” බව ය. ඔහු මෙසේ අනතුරු හැඟැවී ය: “මෙවන් උත්සවවලදී කෙරෙන යුද්ධ තර්ජන සංහිඳියාවක් ඇති නො කරනු ඇත. දෙමල ජනතාව යටත් ජාතියක් ය යන හැඟීම ඔවුන් තුල තහවුරු කරන මෙබඳු යුද කතා තුවාලයට අපහාසය ද එකතු කරයි.” නැගෙනහිර මුස්ලිම් ජනකාය යුද්ධය නිසා බරපතල පීඩාවකට ලක් වී සිටිති.

ඊනියා ජාත්‍යන්තර සාම ක්‍රියාවලියේ ප්‍රමුඛත්වය දරන ප්‍රධාන බලවත් රටවල් මෙහිදී ගැටලුවකට මහුන දී සිටිති. දෙපාර්ශ්වයට ම සාධාරනව සලකන බව පෙන්නුම් කිරීමට උත්සාහ කරන ගමන් ම, ආධාර දෙන රටවල් සම-සභාපතිවරු (එක්සත් ජනපදය, යුරෝපීය සංගමය, ජපානය සහ නෝර්වේ) රාජපක්ෂ ආන්ඩුව විසින් 2002 සටන් විරාම ගිවිසුම අමුඅමුවේ උල්ලංඝනය කිරීම නුදුටුඇස්ව සිටියහ. ඔවුන්ගේ තානාපතිවරු රාජ්‍යොපායිකව උත්සවයට සහභාගි වීමෙන් වැලැකුනෝය; එසේ කිරීම යුද්ධයට දෙන විවෘත සහායක් ලෙස අර්ථකථනය කෙරෙන්නට ඉඩ තිබුනු හෙයිනි. විජයෝත්සවය ගැන මෙම බලවතුන් දක්වන සාවධාන නිහඬතාව සරලව ම තහවුරුකරන්නේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව එල්ටීටීඊයේ උතුරු බල කඳවුරුවලට එරෙහිව ප්‍රහාරයකට ගියහොත් ප්‍රධාන බලවතුන් ඊට විරුද්ධ නොවන බව ය.

ශ්‍රී ලංකා මිලිටරිය දැනට ම උතුරු ප්‍රදේශයේ ඇන බැලීමේ ප්‍රාරම්භක ප්‍රහාර අරඹා තිබේ. තමන් විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පාලමොඩ්ඩායිහිදී විශේෂ කමාන්ඩෝ භටයන් හතරදෙනෙක් මරා දමන ලද බව ජුලි 16 දින එල්ටීටීඊය ප්‍රකාහ කලේ ය. එල්ටීටීඊය අත පවත්නා වන්නි ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන ස්ථානය වන පුලියන්කුලම් රෝහලකට හමුදාව කාලතුවක්කු වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව ද එල්ටීටීඊය කියා සිටියේ ය. ගත වූ (20වන) සිකුරාදා මන්නාරමේ දිස්ත්‍රික්කයේ එල්ටීටීඊ ප්‍රහාරයකට පෙරලා පහර දීමේ දී හමුදාවේ සොල්දාදුවන් තුන් දෙනෙක් මරුමුවට පත්වූහ. නීලච්චෙන්නායිහි කුඩා හමුදා කඳවුරකට පහර දී භටයන් 10 දෙනෙකු මරා දැමූ බව එල්ටීටීඊය කීවේ ය. තමන් එල්ටීටීඊ සටන්කරුවන් නවයක් මරා දුසිම් ගනනකට තුවාල කල බව ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.

නැගෙනහිර “සුද්ද” කල බවක් ආන්ඩුව කියා සිටින නමුත් ජුලි 16 දා ප්‍රාදේශීය ප්‍රධාන ලේකම් හේරත් අබේවීර ඝාතනය කිරීම විසින් පෙන්නුම් කෙරෙන්නේ තත්වය කිසිසේත් ම ස්ථාවර නැති බවයි.

මෙම ඝාතනය සිදුවූ වහාම ආන්ඩුව එය ගැන එල්ටීටීඊයට චෝදනා කල අතර එල්ටීටීඊය එය ප්‍රතික්ෂේප කලේ ය. එය එල්ටීටීඊයේ වැඩක් වීමට ඉඩ ඇත, එසේ වුවද මෙම මිනීමැරුම සිදු කිරීමට ඉඩ තිබෙන වෙනත් ආයුධ සන්නද්ධ කන්ඩායම් ද නැගෙනහිර පවතී. මීට ආන්ඩුවට ගැති සන්නද්ධ කන්ඩායම් ද ඇතුලත් ය. විශේෂයෙන්ම 2004 දී එල්ටීටීඊයෙන් බිඳී ගිය කරුනා කන්ඩායම “විමුක්ත” නැගෙනහිර තම දේශපාලන ආධිපත්‍යය පිහිටුවා ගැනීමට වලිකමින් සිටී.

ආන්ඩුවේ සාඩම්බර විජයෝත්සවය මෙන් ම නැගෙනහිර දී ආන්ඩුව ලත් ජයග්‍රහනයද පුහු ය.

වර්ගවාදී ආතතිය උග්‍ර කොට දිවයින යලිත් යුද්ධයට ඇදගෙන යාමට 2005 නොවැම්බරයෙන් පසු රාජපක්ෂ ආන්ඩුව ගත් තීන්දුව වනාහී වැඩ කරන ජනතාව භේද කොට ඇදවැටෙන ජීවන වියදම් මට්ටම්වලින් ඉවතට අවධානය යොමු කිරීමට දරන ලද වියරු ප්‍රයත්නයකි.

හමුදාව යම් හෙයකින් එල්ටීටීඊය පරිපූර්න යුද්ධමය පරාජයකට ලක් කල ද (මේ වනාහී අවුරුදු 20කට අධික කාලයක් තිස්සේ කර ගැනීමට බැරි වූ දෙයකි) ඉන් ඉටුවනු ඇත්තේ තවතවත් දේශපාලන හා සමාජ ප්‍රලයයන්ට තත්වය සැකසීම ය.

3

[මෙය 2007 ජූලි 23 වැනි දින Sri Lankan government celebrates “victory” after army seizes the East යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading