පකිස්ථානයේ කලබල සහිත දේශසීමා ප්‍රදේශයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් සඳහා ඇමරිකානු ප්‍රහාරක හමුදා යොදවන්නට එක්සත් ජනපදය “සූදානම්ව, කැමැත්තෙන් සහ හැකියාව සහිතව” සිටින බව පසුගිය බ්‍රහස්පතින්දා එ.ජ. ආරක්ෂක ලේකම් රොබර්ට් ගේට්ස් පැවසීය.
ඇමරිකානු ආක්‍රමනයක් ගැන වූ මෙම ප්‍රසිද්ධ ප්‍රකාශනය, අසල්වැසි ඇෆ්ඝනිස්තානයේ ඇමරිකාව පෙරමුන ගත් ආක්‍රමනයට එරෙහිව වැඩී එන විරෝධයට සම්බන්ධතාවයක් ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධය මැඩලීමට, පෙරට වඩා සෘජු වූ එ.ජ. භූමිකාවක් පිලිගැනීමට ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ රජයට බලපෑම් කිරීම අරමුනු කොටගත්තක් බව පෙනෙන්නට තිබේ.
මාධ්‍ය වාර්තාවලට අනුව පකිස්ථානයේ අර්බුදය සම්බන්ධව පුලුල් ඉහලපෙලේ සාකච්ඡා බුෂ් පරිපාලනය විසින් පවත්වා ඇති අතර පකිස්තානු මහජන පක්ෂයේ නායක සහ හිටපු අගමැති බෙනාසිර් භූතෝ පසුගිය මාසයේ ඝාතනය කිරීම පාදක කර ගනිමින් එ.ජ. ආක්‍රමනයක් සඳහා පිඹුරුපත් සකසා ඇත. දේශපාලන ඝාතනයේ ප්‍රතිපලයක් වුන දේශපාලන අර්බුදය රටෙහි තම බලපෑම පුලුල් කල හැකි අවස්ථාවක් ලෙස පරිපාලනය පැහැදිලිවම දකී.
ඇෆ්ඝනිස්තානයට ආසන්න දේශසීමාවේ ගෝත්‍රික බලකායන් සහ රජයේ හමුදා අතර සටන් උත්සන්න වන තත්වයක් තුල පකිස්ථානය මත වොෂින්ටනයේ දැඩිකෙරුනු පීඩනය වර්ධනය වෙමින් පවතී. දකුනු වසිරිස්තානු කලාපයේ ගැටුම් පැවතුන සති තුන තුලදී සටන්කාමීන් 200 කට වඩා හා රජයේ සොල්දාදුවන් 30 ක් මියගිය බව ආන්ඩුව වාර්තා කලේය.
පෙන්ටගනයේ තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිලිතුරක් ලෙස ගේට්ස්ගේ ප්‍රකාශනය පෙරට ආවේය. “අපි පකිස්තානුවන්ට සහායදෙන්නට සහ අමතර පුහුනුකිරීම් සපයන්නට, සාමූහික මෙහෙයුම් කරගෙනයාමට, ඔවුන් සමග කොටස්කරුවකු වන්නට (ඔවුහු එසේ කරන්නට කැමැතිනම්) සූදානමින්, කැමැත්තෙන් සහ හැකියාවෙන් යුක්තව සිටිමු” යැයි ආරක්ෂක ලේකම් පැවසුවේය.
පකිස්තානු රජය තවමත් එවන් ආධාරයක් ඉල්ලා නොමැති බව පිලිගනිමින් “මෙය පැහැදිලිවම සකස් වෙමින් පවතින කාරනාවක් බව ගේට්ස් අවධාරනය කලේය. “වෙනස් වූ අවස්ථාවන්හිදී ඔවුන් සමග සහයෝගිතා පරාසයක වැඩ කරන්නට අප සූදානමින් සිටින බව පකිස්තානුවන්ට දැනුම්දෙන්නට අප උත්සාහ කරන බව ඉඳුරාම මෙහිදී පවසන නමුත් මෙම අවස්ථාවේදී කාසිය ඔවුන් සතුව ඇති අතර ඔවුන්ගෙන් යෝජනා හා ඉඟි බලාපොරොත්තුවෙන් පසුවෙමු” යැයි ඔහු පැවසීය.
“දේශසීමා මායිම්වල අල් කයිඩාව හඹා යන්නට” ඇමරිකානු හමුදා යොදවන්නට හැකි අතර ඒ සඳහා ඉතා කුඩා ප්‍රහාරක කන්ඩායමක් යොදා ගත හැකි බව ගේට්ස් පැවසීය. “ඉතා කුඩා කන්ඩායමක්” යන්නෙන් කුමක් අදහස් කලේදැයි විමසූ විට ඔහු විස්තර කිරීම ප්‍රතික්ෂේප කලේය.
එ.ජ. වාඩිලාගැනීමට විරෝධය දක්වන සටන්කරුවන් හඹායාමට 28,000 කට වඩා අධික භට සංඛ්‍යාවක් යොදවා සිටින ඇෆ්ඝනිස්තානයේ දේශසීමාව දැනටමත් ඇමරිකන් හමුදා තරනය කරන්නේදැයි ප්‍රශ්න කල විට ඔහු එයටද උත්තර දීම ප්‍රතික්ෂේප කලේය. දේශසීමාව හරහා පලායන බලකායන් 'හඹා ගොස් පහර දීම ' පිනිස එ.ජ. හමුදා යොදවන්නට අවසර දීමට පකිස්තානය එකගවී තිබුනැයි එවකට එ.ජ. මධ්‍යම අනදෙන ප්‍රධානී ජනරාල් ටොමී ෆ්රැන්ක්ස් 2002 හිදී පැවසීය. පකිස්තානු හමුදා පුහුනු කිරීමට යොදවා ඇතැයි කියනු ලබන එ.ජ. මිලිටරි “උපදේශකවරුන්” 50 ක් පකිස්තානයේ සිටින බවද වොෂින්ටනය පිලිගෙන ඇත. සමහර වාර්තාවලට අනුව, පකිස්තානු හමුදා ඒකක සමග මෙම හමුදාද ප්‍රහාරක මෙහෙයුම් වලට සහභාගී වී ඇත.
“දේශසීමා ප්‍රදේශවල අල් කයිඩා ආරක්ෂිත ක්‍ෂෙම භූමි නැවත ස්ථාපිතවීම ගැන වොෂින්ටනය සැලකිලිමත්වන බව” ආරක්ෂක ලේකම් පැවසීය. “ ත්‍රස්තයට එරෙහි ලෝක යුද්ධය” යන නාමයෙන් එ.ජ.
ආක්‍රමනය යුක්තිසහගත කෙරෙන අයුරින් ඔහු පැවසුවේ “ඔවුන් කරගෙන යනු ලබන සියලුම සැලසුම් විශේෂිතවම පකිස්තානය එල්ල කරගෙන කරනු ඇතැයි උපකල්පනය කිරීම යථාරූපී නොවන බව මම සිතමි.එබැවින් මෙය යුරෝපයට සහ අපට නොනැවතී කරගෙන යන තර්ජනයක් බව මම සිතම.” යනුවෙනි.
කලාපයේ ඉහල මිලිටරි නිලධාරියෙක් වන මධ්‍යම අනදෙන ප්‍රධානී අද්මිරාල් විලියම් ෆැලන්ගේ සතිය මුලදී සිදු කෙරුනු පකිස්තානු සංචාරයට පසුව, ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය නිකුත් වින. මුෂාරෆ් මිලිටරි නායකයා ලෙස සිය කාර්යභාරයෙන් ඉවත් වූ පසුව හමුදා ප්‍රධානියා ලෙස පත්වූ, අෂ්ෆක් පර්වෙස් කයානි සමග, පකිස්තානය තුල සිටියදී, ෆැලන් සාකච්ඡා පවත්වා ඇත. සංචාරය තුලදී දෙදෙනා සුලු ප්‍රසිද්ධ ප්‍රකාශනයක් කලත්, ලේඛනගත ප්‍රකාශනයට අනුව, ඔවුහු “කලාපයේ මුලු මහත් ආරක්ෂක තත්වය” ගැන සාකච්ඡා කලහ.
ඇසෝෂියේටඩ් ප්‍රෙස් වාර්තාවන්ට අනුව, පකිස්තාන සංචාරයේ අවසන් කාලයේදී ෆැලන් පවතින රජයට ආධාර කිරීමත්, ආන්ඩුවට තර්ජනයක්ව ඇති අභ්‍යන්තර කැරල්ල මැඩපැවැත්වීමත්, අරමුනුකොටගත් දිගුකාලීන මෙහෙයුම් සඳහා පිඹුරුපත් සකස් කරන්නට එ.ජ. මිලිටරි අනදෙන නිලධාරීන් හට රහස් අනකිරීමක් නිකුත් කලේය.
නිර්නාමික “ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක්” උපුටා දක්වමින්, සැලැස්ම 2015 දක්වා දිවෙන්නක් බව ප්‍රවත්ති ඒජන්සිය පැවසීය.
තම පකිස්තානු සංචාරයට සතියකට පෙරාතුව, ෆ්ලොරිඩාහි මැද පෙරදිග ආරක්ෂක ප්‍රධානීන් සමග පැවැත්වූ රැස්වීමකදී, රටෙහි සටන් වැඩිවීම, රජයට එ.ජ. පැමිනීම පිලිගන්නට වැඩි නැඹුරුවකට යාමට සිදුවනු ඇති බවට, ෆැලන් මාධ්‍ය වලට ප්‍රකාශ කලේය.
“ඔවුනට යථා අභ්‍යන්තර ගැටලු පවතින බව ඔවුනට පෙනේ”යි ඔහු පැවසීය. “මගේ හැගීම මෙම ගැටලු ආමන්ත්‍රනයට ඇති උත්සන්න වන කැමැත්තයි. අපි ඔවුනට උදව් කරන්නට උත්සාහ කරමු.“ එ.ජ. ආධාර “ වඩා හැඩැදැඩි” විය හැකි බව ඔහු කියා සිටියේය.
මේ අතරවාරයේදී, ස්විට්සර්ලන්තයේ ඩවොස්හිදී පැවැත්වූ ලෝක ආර්ථික සමුලුවේදී, මුෂාරෆ් එ.ජ. රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් මුනගැසුනේය. එය භූතෝ ඝාතනයෙන් පසුව ඉස්ලාමාබාදය හා වොෂින්ටනය අතර ඇතිවුන වඩාත් ඉහල පෙලේ මුනගැසීම නියෝජනය කරයි. රැස්වීමට පෙරාතුව මුෂාරෆ් “ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ හොඳ මිතුරෙක්” බවට රයිස් වර්නනා කලාය. ඊලග මාසයේ පකිස්තානයේ පැවැත්වෙන මැතිවරනය “නිදහස් සහ සාධාරන” වීම සඳහා එ.ජ. සැලකිලිමත් වන බව ප්‍රකාශයට පත්කරමින් මුෂාරෆ්ගේ ආඥාදායකත්වයට රුකුල් දුන් ඩොලර් බිලියන ගනනක යුධ ආධාර කපාහැරීමට කිසිඳු අභිප්‍රායක් පරිපාලනය තුල නැති බව ඇය අවධාරනය කලාය.
ඔහුගේ කතාවේදී පකිස්තානයේ එ.ජ. මිලිටරි ආක්‍රමනය උත්සන්න කිරීමේ යෝජනාවට මුෂාරෆ් ප්‍රසිද්ධියේ විරෝධය පල කලේය.
“මෙය එ.ජ. හමුදා මගින් කල නොහැකියි.“ මුෂාරෆ් ඩවොස්හි පැවති රැස්වීමකදී කීවේය. “එ.ජ. හමුදා සතුව කිසියම් මැජික් යෂ්ඨියක් ඇති යැයි කරුනාකර සිතන්න එපා. ඔවුන් පැමින ජයග්‍රහනය දක්වා පෙරමුනට යාවි ....... ඔවුහු ඇෆ්ඝනිස්තානයේ සම්පූර්නයෙන්ම නිරතවෙලයි ඉන්නේ.” රටතුල කිසියම් විදේශ පෙනීසිටීමකට තම රජය විරුද්ධ බව පකිස්තානු පාලකයා ප්‍රකාශ කලේය. එ.ජ.
මිලිටරි මැදිහත්වීමක් සම්බන්ධව ඔහු මෙසේ එකතු කලේය. “පොදු ජනතාව මේකට එකග වන්නේ නෑ.
ඔවුන් එලියට බැහැලා උද්ඝෝෂන කරාවි.” මුෂාරෆ්ගේ ප්‍රකාශන මහජන පරිභෝජනය සඳහාද නැතිනම් පුලුල් වූ එ.ජ. මිලිටරි පෙනීසිටීමක් පිලිගැනීම, තවත් බරපතල අභ්‍යන්තර නොසන්සුන්තාවයක් උපද්දවනු ඇතැයි යන බිය නිසා, ඔහු සත්‍යවශයෙන්ම එය වලක්වනවාදැයි පැහැදිලි නැත.
කෙසේවුවද, වොෂින්ටනය මුෂාරෆ් වෙනුවට විකල්පයක් සූදානම් කරමින් සිටිතැයි ඉගි පවතී. “ ආන්ඩු කිරීමේ ඔහුගේ හැකියාව ගැන පකිස්තානයේ සහ එක්සත් ජනපදයේ වැඩෙන ප්‍රශ්න කිරීම් මධ්‍යයේ තම සම්ප්‍රදායික මිලිටරි පදනමද ඇතුලත්ව ප්‍රධාන මැතිවරන කොට්ඨාශ වල සහයෝගය පකිස්තානු ජනාධිපතිට සීඝ්‍රයෙන් නැතිවෙමින් පවතින බව” වොෂින්ටන් පෝස්ට් පුවත් පත බ්‍රහස්පතින්දා වාර්තා කලේය.
ක්‍රියාකාරී හමුදාවන් සමග පුලුල් සම්බන්ධතා සහිත විශ්‍රාමික මිලිටරි අනදෙන නිලධාරින් සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් සමන්විත කන්ඩායමක් වන හිටපු හමුදා සේවකයන්ගේ සංගමය, මුෂරෆ්ගේ ඉක්මන් ඉල්ලා අස්වීම සඳහා ආයාචනා කරමින් නිකුත් කල ප්‍රකාශනය පුවත්පත උපුටා දැක්වීය. තම අවසරයකින් තොරව කිසිම හමුදා නිලධාරියකුට ජනාධිපති මුනගැසීම තහනම් කරමින් නියෝග නිකුත් කල නව හමුදා ආඥාපති ජෙනරාල් කියාන,ි මුෂාරෆ්ගේ රජයේ සිවිල් තනතරුවලින් හමුදා නිලධාරින් අස් කර ගැනීමට සූදානම් වෙයි.
පෝස්ට් පුවත් පතට අනුව “පකිස්තානු නායකයා දේශපාලනිකව මුදවා ගත නොහැකි මට්ටමට හෝ දිගුකාලීනව ප්‍රයෝජනවත් නොවන මට්ටමට ගොස් ඇතැයි පලමු වතාවට එ.ජ. රහස් ඔත්තු නිලධාරීන් වොෂින්ටනයේ නියෝජිතයන්ට පවසා ඇත.”
[මෙය 2008 ජනවාරි 26 වැනි දින Pentagon chief says US ready to deploy combat troops in Pakistan යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
