ලෝක අර්බුදයේ සෙවනැල්ල තුල කියුබාව විප්ලවයේ 50 වන සංවත්සරය පවත්වයි

කියුබානු නායකත්වය එක්සත් ජනපදයේ පිටුබලය ලත් ෆුජෙන්සියෝ බැටිස්ටාගේ දූෂිත ආඥාදායකත්වය පෙරලා දමා ෆිඩෙල් කැස්ට්‍රෝ බලයට පත්කල විප්ලවයේ 50 වන සංවත්සරය සාප්ක්ෂව සුලු හා සීමිත උත්සව මඟින් සමරන ලදී.

77 වන වියේ පසුවන සිය සොයුරු රාහුල් වෙත පසුගිය වසරේදී බලය පවරා දෙන ලද දැනට රෝගාතුරව සිටින 82 හැවිරිදි ෆිඩෙල්, කියුබාවේ “වික්‍රමාන්විත” ජනතාව වෙත වචන 15 ක ප්‍රකාශයක් නිකුත් කරමින් ශුභ පැතීය.

විප්ලවයේ ජන්ම භූමිය වන නැඟෙනහිර සන්තියාගෝ නඟරයේදී රාජ්‍ය නිලධාරීන් හා ආරාධිත අමුත්තන් දහසක් ඉදිරියේ රාවුල් කෙටි කථාවක් පැවැත්වීය. කියුබානු ජනතාව මෙම අවස්ථාවට සහභාගී වීමෙන් වලක්වා තිබුනි.

වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් හා ඞහුගේ බොලීවියානු සහකරු වන ඊවෝ මොරාලෙස් දිවයිනට පැමිනීම සඳහාවූ ඞවුන්ගේ සැලසුම් අවලංඟු කලේ විප්ලවයේ ස්වර්න ජයන්ති උත්සවය සීමාකිරීමට කියුබානු නායකත්වය ගත් තීන්දුවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව පෙනෙන්නට තිබුනි.

රාවුල්ගේ කථාවෙන් වැඩි කොටසක් කැපකරන ලද්දේ 1898 ස්පාඤ ඇමරිකානු යුද්ධයෙන් පසුව දශක හයක කාලයක් පැවති එක්සත් ජනපදයේ අර්ධ යටත් විජිත ආධිපත්‍ය පිලිබඳව කලකිරීමට පත්ව සිටි කියුබානු ජාතිකවාදී නායක ජොසේ මාටිගේ අදහස් මල්පල ගැන්විමක් ලෙස 1959 විප්ලවය විස්තර කිරීමටත් විප්ලවයේදී මියගිය අය සිහිපත් කිරීමටත් ය.

කියුබානු විප්ලවයෙන් ඉක්බිත්තෙහි, 1961 ගැස්සී ගිය බේ ඞෆ් පිග්ස් (මුහුදු බොක්ක) ආක්‍රමනයේ පටන්, ෆිඩෙල් කැස්ට්‍රෝ හා අනෙකුත් කියුබානු නායකයන් ඝාතනය කිරීමට දැරූ නිමක් නැති උත්සාහයන් ද, සීඅයිඒ පිටුබලය සහිත ත්‍රස්තවාදය හා දශක පහක එක්සත් ජනපද ආර්ථික සම්බාධක ද ඇතුලු “බලගතු අසල්වැසියාගේ රෝගී හා පලිගන්නා සුලු ද්වේෂය” පිබඳ වාර්තාව ද ඞහු සමාලෝචනය කලේය.

“වෙන කවර කලෙකටත් වඩා” විප්ලවය ශක්තිමත්ව පවතින බව ඞහු අවධාරනය කලේය. “එහි අර්ථය අන්තරාය අඩුවී ඇති බව ද? නැත, එය අඩුවී නැත. අපි කිසිදු මිත්‍යාවකට ඉඩ නොතැබිය යුතු වෙමු. මෙම අඩ සියවසෙහි ජයග්‍රහනයන් සමරන විට එය අනාගතය තුලත් පිලිඹිඹු වනු ඇත. එලඹෙන 50 වසර ද නොනවතින අරගලයක් බවට පත්වනු ඇත.

සමකාලීන ලෝකය තුල දැන් සිදුවන කැලඹීම් දකින විට එලඹෙන කාලය පහසු වනු ඇතැයි අපට සිතිය නොහැකිය. මා මෙය පවසන්නේ කවරෙකු වත් බිය ගැන්වීමට නොව එය සරල සත්‍ය වන නිසාය”යි ඞහු තව දුරටත් පැවසීය.

2005 දී ෆිඩෙල් විසින් කල කථාවක් ඞහු උපුටා දැක්වූයේ අනතුරු ඇඟවීමක් ලෙසිනි. “මේ රටට තමන්ව ම විනාශ කර ගත හැකිය. විප්ලවයට තෙමේ ම විනාශ කර ගත හැකිය. එහෙත් ඞවුනට (සතුරාට) එය විනාශ නොකල හැකිය. මෙය අපට ම වනසා ගත හැකිය. එය අපගේම වරද වනු ඇත.” කථාවේ කනස්සල්ල දනවන හඬ, කියුබානු පාලන තන්ත්‍රය මුහුන දෙන මඟ නොහැරිය හැකි ආර්ථික බාධකයන් හා මහජන කැලඹීම් වලට තුඩු දිය හැකි පරිදි සමාජ තත්වයන් තවදුරටත් පිරිහීයාම හා පුලුල් වන සමාජ අසමානතාවය මඟින් ගලාඑන බව නිසැක ය.

ආන්ඩුව පසුගිය මාසයේදී විස්තර කලේ කියුබාවේ පිම්ඹෙන වෙලඳ හිඟය “රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා මූලෝපායික සාධකයක් වන බවට ” ය. 2008 වසර තුල ගනන් බලා ඇති පරිදි හිඟය ඩොලර් බිලියන 5 ක් දක්වා සියයට 70 කින් ඉහල ගොස් තිබේ. ඉහල යන තෙල් හා ආහාර ආනයනයන් මෙන්ම කියුබාවේ ප්‍රධානතම නිර්යාතය වන නිකල් වලින් ලැබෙන ආදායම පහත වැටීම අතර ආර්ථිකය මිරිකෙමින් තිබේ.

නිකල් මිල 2007 තිබුනායින් පහෙන් එකක් දක්වා පහත වැටී ඇත.

ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ ආහාර ද ඇතුලු ආනයනයන්ට ගෙවීම සඳහා හවානාවට අඛන්ඪව නයලබාගැනීම සඳහා ඇති ඉඩ කඩ එන්ට එන්ටම ඇහිරෙමින් තිබේ. කියුබාවේ ආහාර අවශ්‍යතාවෙන් සියයට 60 ක් ආනයනය කරන තතු යටතේ ඒවායේ මිල ගනන් පිම්මේ ඉහල නඟියි.

පසුගිය සමයේ කියුබාවට පහර දුන් හරිකේන් සුලි කුනාටු තුනෙන් නිවාස ලක්ෂ පහක් විනාශ වී, ගනන් බලා ඇති පරිදි ඩොලර් බිලියන 10 ක හානියක් සිදුවී ඇති අතර, එයින් අර්බුදය උග්‍ර අතට හැරී තිබේ.

මූල්‍ය හිඟතාවයෙන් මිරිකී සිටින කියුබානු රජයට, පෞද්ගලික මෙන්ම රාජ්‍ය නය හිමියන් සමඟ ද රාජ්‍ය නය පිලිබඳව යලි සාකච්ඡා කිරීමටත් ගෙවීම් පමා කිරීමටත් බලකෙරී ඇත.

මේවායේ ප්‍රතිපල වශයෙන් ආන්ඩුව සීමාවන් පැනවීමේ පියවර ගැනීම දෙසට තල්ලු වීමේ හැකියාව ඉහල නංවයි. පසුගිය මාසයේ කියුබානු පාර්ලිමේන්තුව හමුවේ කල කථාවක් තුල රාවුල් කැස්ට්‍රෝ මෙසේ අනතුරු ඇඟවීය. “පුද්ගලයෙක් හෝ රටක් යන කිසිවෙකුට හෝ තමන්ට නියමිත නිෂ්පාදිත හෝ සේවාවන් අලෙවියෙන් ලබන ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීමේ වාසිය අසීමිතව භුක්ති විඳිය නොහැකිය.” අතිරික්ත සහන අත් හරින ලෙස ඞහු ඉල්ලා සිටි අතර කියුබානු කම්කරුවන් මත පලදායිතාවය ඉහල නැංවීම සඳහා “පීඩනය” යෙදීමේ අවශ්‍යතාවය ගැන ද කියා සිටියේය. එරට සාමාන්‍ය මාසික වැටුප ඩොලර් 20 කට සමාන වන තත්වය හමුවේ, ද්විත්ව මූල්‍ය ආර්ථිකය තුල ආන්ඩුවේ හෝ සංචාරක කර්මාන්තයේ රැකියා කරන නැතහොත් විදේශ සේවා වල ඉපැයීම් ලබන, පෙසෝ මුදල පරිවර්තනය කිරීමේ අවස්ථාව හිම් අය හා එවන් අවස්ථාවක් නොලබන අය අතර සමාජ විභේදනයක් ආරම්භවී ඇත. මුලින් කී කොටස මුදල් ඇති අය ලෙස මතුවන අතර පසුව කී කොටසෙන් බොහොමයක් දුගී භාවයට ඇද වැටෙයි. මෙම තතු තුල සීමා පැනවීමේ පියවර සමාජ කැලඹිම් අවුලුවාලීමේ තර්ජනය මතු කර තිබේ.

කියුබානු ආර්ථිකය පවත්වාගෙන යන්නේ බොහෝ කොටම හුවමාරු ගිවිසුමක කොටසක් ලෙස වෙනිසියුලාවේ චාවේස්ගේ සමාජ සහන වැඩපිලිවෙල සඳහා දහස් ගනන් කියුබානු වෛද්‍යවරුන් හා උගතුන් සැපයීමට හිලව් වශයෙන් වෙනිසියුලාවෙන් සපයනු ලබන ලාභ තෙල් සඟිනි. මෑතකදී තෙල් මිල කඩාවැටීම හා වෙනිසියුලාවේ ආර්ථිකය මත වඩ වඩාත් පැටවෙන පීඩනය හමුවේ මෙම ගිවිසුමේ ස්ථාවරත්වය සැක සහිතය.

1991 සෝවියට් සංඟමය කඩාවැටීමෙන් ඇතිවූ ව්‍යසනය තරම්ම නොවුන ද ඉහත සම්බන්ධතාවයේ බිඳ වැටීමෙහි ප්‍රතිවිපාක විනාශකාරී වනු ඇත.

වෙනිසියුලාව 2007 කියුබානු රජයේ ආදායමෙන් අඩකටත් වැඩි කොටසකට දායක විය.

මීට අමතරව කියුබානු ආන්ඩුව එරට ආර්ථිකය කෙලින්ම ධනේශ්වර ලෝක වෙලඳපොලට වඩාත් සෘජු ලෙස ඒකාග්‍ර කිරීමට තුඩු දෙන පරිදි යුරෝපීය සංඟමය, චීනය හා රුසියාව සමඟ පුලුල් ආර්ථික බැඳීම් ඇති කර ගැනීමේ උත්සාහයක නිරතව සිටියි.

විප්ලවයෙන් පසුව ප්‍රථම වතාවට එය රියෝ කන්ඩායමට ඇතුලත් කරගෙන තිබෙන අතර ලතින් ඇමරිකානු ධනපති ආන්ඩුවල තුරුල්ලට සාදරයෙන් පිලිගෙන තිබේ.

ක්ෂිතිජයේ දිස්වන අනෙක් වියහැකි වෙනස නම් අඩුම තරමින් වොෂින්ටනය පනවා ඇති ආර්ථික සම්බාදක වලින් කොටසක් වත් ඉවත් කිරීමයි. ජනාධිපති ලෙස තේරී පත්ව සිටින බරක් ඞබාමා මැතිවරන ව්‍යාපාරය තුල දී දිවයිනෙහි සිය පවුල් වෙත කියුබානු ඇමරිකානුවන් යවන මුදල් හා ඞවුන්ගේ සංචාර මත බුෂ් පරිපාලනය විසින් පනවා ඇති අප්‍රසාදයට පත් සීමාවන් ඉවත් කරන බවට පොරොන්දු විය. ඇමරිකානු වෙලඳ මන්ඩලය හා අනෙකුත් ව්‍යාපාරික කොටස් බලකර සිටින්නේ ප්‍රථම වතාවට කියුබාවට එරෙහිව එක්සත් ජනපදය පනවා ඇති තහංචි ආපසු කැරකවීමේ මෙම පියවර ඇමරිකානු ප්‍රග්ධනයට බෙහෙවින් ලාභදායකයයි තමන්ට පෙනී යන වෙලඳපොල යලි වතාවක් සූරාකෑම සඳහා අවස්ථාව සැලසෙන පරිදි පුලුල් පරිමානයකින් සම්බාධක ඉවත් කිරීම කරා හැරවිය යුතු බවට ය.

අවසාන වශයෙන් එක්සත් ජනපදය සමඟ එවන් මට්ටමකින් ආර්ථික සම්බන්ධතා සාමාන්‍ය තත්වයට පත්කිරීම මඟින් සම්බාධක වලටත් වඩා දුර දිග යන පරිදි කැස්ට්‍රෝ තන්ත්‍රයේ පැවැත්මට තර්ජනය එල්ල කල හැකි වනු ඇත.

පූර්ව කාල පරිච්ඡේදයකදී ලතින් ඇමරිකාවේ වාම ජාතිකවාදීන්ගේ පරම්පරවක්ම ද යුරෝපයේ හා එක්සත් ජනපදයේ සුලු ධනපති රැඩිකල් වාදීන් ද කැස්ට්‍රෝ විසින් මෙහෙය වන ලද ජාතිකවාදී විප්ලවයෙන් ඞහුගේ තන්ත්‍රය කම්කරු රාජ්‍යයක් ලෙස හැඩගැස්වී ඇතැයි ද කැස්ට්‍රෝවාදය සෑම තැනකදී ම විප්ලවය හා සමාජවාදය සඳහා නව මාවත ලෙස ද සාවද්‍ය ලෙස හුවා දැක්වූහ.

මෙම කැස්ට්‍රෝවාදී අත්වල් ගායනයේ අතිශය විනාශකාරී ප්‍රවනතාවය නියෝජනය කලේ හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ප්‍රවනතාවයයි. ඞවුහු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දියකර හැරීම හා එහි අත්‍යවශ්‍ය ඓතිහාසික කර්තව්‍යයන් පිලිකෙව් කිරීම සඳහා තර්කයක් ලෙස කියුබානු විප්ලවය ඩැහැගත්හ.කැස්ට්‍රෝගේ ජයග්‍රහනයෙන් ගම්‍ය වන්නේ සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය සිය ඓතිහාසික කර්තව්‍යයන් පිලිබඳව දැනුවත් කිරීමක් හෝ එහි ක්‍රියාශීලී හා මුඛ්‍ය මැදිහත්වීමක් තවදුරටත් අවශ්‍ය නොවන බව යයි මෙම සංශෝධනවාදී ප්‍රවනතාව තර්ක කලේය. ඒ වෙනුවට මතුව ආ “කෙටි මාවතක්” ඞස්සේ සන්නද්ධ මිනිසුන් කුඩා කන්ඩායමක් විසින් ගරිල්ලා යුද්ධයක යෙදෙමින් නව රාජ්‍යයක් ගොඩනඟන අතර ඞවුන්ට සමාජවාදය සාක්ෂාත් කරගත හැකිවනු ඇත. කම්කරු පන්තිය හා අනෙකුත් පීඩිත ජනතාවන් ඞහේ බලාසිටින්නන්ට නොවැඩි තැනකට සිඳුවනු ලබයි.

මෙම දේශපාලන සංකල්පයන්හි බලපෑම ලතින් ඇමරිකාව තුල විනාශකාරී ප්‍රතිවිපාක ජනිත කල බව තහවුරු වී තිබේ. ගරිල්ලාවාදය හුවා දැක්වීම ප්‍රයෝජනවත් වූයේ තරුන පරම්පරාවේ වඩාත්ම විප්ලවකාරී කොටස් සමස්තයක්ම කම්කරු පන්තියෙන් වෙන්කරලීමටත් ඓතිහාසික පරාජයන් කරා ද මහාද්වීපයේ වැඩි කොටසක් පුරා ම්ලේච්ඡ මිලිටරි ආඥාදායකත්වයන්ගේ නැඟී ඒම කරා ද මඟ මඟපෑදීමටය.

කැස්ට්‍රෝගේ නැඟීම මෙන්ම ජනසතු කිරීම් මාලාවක් ද අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැඟීම ද වූ කලී විඅප්ලවයේ නිමැවුමක් වුව ද එය කියුබාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් නොකලේය.

එය කම්කරු පන්තිය විසින් බලය අල්ලාගැනීමෙන් නිර්මානය කල රාජ්‍යයක් නොවීය. එය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගතවූ කැස්ට්‍රෝගේ ජූලි 26 ව්‍යාපාරය විසින් ඉහලින් අටවන ලද රාජ්‍යයකි. එය කිසිවිටෙකත් කම්කරුවන්ගේ ස්වාධීන බල සංස්ථාවන්ට ඉඩක් නොදුන් අතර කැස්ට්‍රෝ සොහෙයුරන්ගේ දේශපාලන බලාධිකාරයට එල්ලවූ මොනයම්ම හෝ අභියෝගයක් රුදුරු ලෙස මඬිනු ලැබුනි.

කැස්ට්‍රෝවාදය සමාජවාදය නියෝජනය නොකල අතර එය යටත් විජිත විරෝධී අරගල නැඟී ආ 1950 හා 60 ගනන්වල අප්‍රිකාවේ, ආසියාවේ හා මැද පෙරදිග බොහෝ ප්‍රදේශ පුරා බලයට පැනගත් ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයන්ගෙන් වඩාත්ම රැඩිකල්වාදී වූ එක් විචල්‍යයක් පමනි. අවසානයේදී එය තහවුරු කර ඇත්තේ අනෙක් තැන්වල එහි සහකරුවන් මෙන්ම අධිරාජ්‍යවාදයෙන් අව්‍යාජව ස්වාධීන වූ මාවතක් ගැනීමට ඇති නොහැකියාවයි.

රාවුල් කැස්ට්‍රෝ විසින් කල ප්‍රකාශයන්ගෙන් වඩාත්ම වැදගත් කාරනය වන්නේ මෙයයි. කියුබානු විප්ලවයේ 50 වන සංවත්සරය සම්පාත වන්නේ 70 වසරක් තුල ලෝක ධනවාදයේ ඉතාමත්ම දුර දිග යන අර්බුදයක දිගහැරීම සමඟය. අර්බුදය සමඟ පෙරට ගෙන එන්නේ ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවය හා ලතින් ඇමරිකාව පුරා ද ලෝක පරිමානව ද සමාජවාදය සඳහා සටනේ ශක්‍යතාවයි.

එහෙත් ඇසේ සුද බැඳුනු කියුබානු තන්ත්‍රය මෙම වර්ධනයන් දැක ගන්නේ දෙදරුම්කා ඇති එහි ආර්ථිකය පිලියම් කර ගැනීමේ අවස්ථාවට මාරක තර්ජනයක් ලෙස හා ලතින් ඇමරිකානු, යුරෝපීය හා අවසන් වශයෙන් එක්සත් ජනපදයේම පාලක පන්තීන් සමඟ සබඳකම් ගොඩනඟාගැනීමේ සිය ව්‍යායාමය කඩාකප්පල් කරන්නක් ලෙසය.

එහෙත් කියුබානු කම්කරුවන් හා තරුන පරම්පරාවට ආර්ථික අර්බුදය මඟින් කුලුගන්වා ඇති ගෝලීය දේශපාලන රැඩිකලීකරනය ඞරොත්තු නොදෙනු ඇත. ඞවුන්ගේ අරගලයන්හි සාර්ථකත්වය සඳහා ලතින් ඇමරිකාවේ අවශේෂ කම්කරුවන් ද සමඟ එක්ව කැස්ට්‍රෝවාදයේ අඩ සියවසක අත්දැකීම්වල කටුක පාඩම් උකහා ගැනීමත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගය මත පදනම්ව කම්කරු පන්තියේ නව ස්වාධින විප්ලවවාදී ව්‍යාජාරයක් ගොඩනැඟීම ත් අවශ්‍ය කෙරේ.

බිල වෑන ් ඕකන ් ්

[මෙය 2009 ජනවාරි 03 වැනි දින Cuba marks 50th anniversary of revolution in shadow of world crisis යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading