ශ්‍රී ලංකාව: සසප සාමාජික නඩරාජා විමලේස්වරන්‌ අතුරුදහන්‌ වී වසර දෙකයි

උතුරු ශ්‍රී ලංකාවේ කයිට්ස් දූපතේ වාසය කල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික නඩරාජා විමලේස්වරන් සහ ඔහුගේ මිතුරු සිවනාදන් මදිවදනන් අතුරුදහන් වී පසුගිය ඉරිදාට වසර දෙකකි.

කයිට්ස්හි වේලනෙයි ප්‍රදේශය සමග දිග මුහුදු පාලමකින් සම්බන්ධිත අසල පිහිටි පුංගුඩුතිව් දූපතේ සිට ආපසු එමින් සිටිය දී, 2007 මාර්තු 22 දා විමලේස්වරන් හා මදිවදනන් අතුරුදහන් විය. ඔවුන් දෙදෙනා මුහුදු පාලමේ පුංගුඩුතිව් කෙලවරේ පිහිටි නාවික මුරපොලක් පසු කරන අයුරු ඔවුන්ගේ මිතුරන් හා පවුල් විසින් අවසාන වතාවට දැක තිබුනි.

ශ්‍රී ලංකා බලධාරින් ඔවුන් සොයාගැනීමට පූර්න පරීක්ෂනයක් පවත්වා ඔවුන් නිදහස් කල යුතු යයි සසප වහාම ඉල්ලා සිටියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පැමින 2006 මැද දී දිවයින යලි සිවිල් යුද්ධයට ඇද දැමූ අවස්ථාවේ පටන් මේ දක්වා මිලිටරිය හා එයට සම්බන්ධිත පැරා-මිලිටරි කන්ඩායම් විසින් සිය ගනනක්, බොහෝ සෙයින් දෙමල ජනයා, අතුරුදහන් හෝ ඝාතනය කරනු ලැබ ඇත. සසප ආධාරකරුවන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෝ පරීක්ෂනයක් සඳහා වූ ඉල්ලීමට සහයෝගය දක්වමින් ලිපි හා පෙත්සම් දුසිම් ගනනක් එවූහ.

නිලධාරින් මුලුමනින්ම නිශ්ශබ්දව සිටිය දී, සසප සොයාගත් සාක්ෂ්‍ය මගින් පෙන්නුමේ කෙරුනේ, මේ දෙදෙනා මුහුදු පාලමේ වේලනෙයි කෙලවරේ නාවික මුරපොලේ දී නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි. කයිට්ස් සහ පුංගුඩුතිව් යාපන අර්ධද්වීපය අසල පිහිටි දූපත් සමූහයකට අයත් වන අතර එම දූපත් ප්‍රදේශය පුරා නාවික හමුදාව, මුර සංචාර, මුරපොලවල්, ඇඳිරි නීතිය හා ධීවර කටයුතු මත පනවා ඇති තහංචි සහිතව, දැඩි ආරක්ෂක දැලක් පවත්වා ගෙන යයි.

විමලේස්වරන් හා මදිවදනන් එදින සවස 5.30ට පුංගුඩුතිව් දූපතට ඇතුලු වී සවස 6.30ට පිටව ගොස් ඇති බවට සටහන් වී ඇතැයි, පුංගුඩුතිව්හි ගෝඨයිම්බර නාවික කඳවුරේ අන දෙන නිලධාරි හේමන්ත පීරිස් තහවුරු කලේය. එදින රාත්‍රියේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා අවශ්‍ය ඇඳුම් රැගෙන යාම පිනිස ඔවුන් මදිවදනන්ගේ යතුරුපැදියෙන් එහි පැමින තිබුනි. ඔවුන් පිටව ගිය බවට -- පුංගුඩුතිව් මුරපොල පසු කරමින් මුහුදු පාලමට ඇතුලු වූ බවට -- ඇසින් දුටු සාක්ෂ්‍ය තිබුනි.

මුහුදු පාලමේ වේලනයෙි කෙලවරේ දී කුමක් සිදු වී ද යන වග සොයාගැනීමේ සියලු ප්‍රයත්නයන් මුහුන දුන්නේ බලධාරින්ගේ නිහඬබවේ ගල් තාප්පයටය.

වේලනයෙි කඳවුරේ අන දෙන නිලධාරි සිල්වා, නාවික හමුදාව මුහුදු පාලමේ වේලනෙයි කෙලවරේ මාර්ග බාධකයක් පවත්වා ගෙන නොයන බවත් එබැවින් එහි කිසිඳු වාර්තා තබාගැනීමක් සිදු නොකරන බවත් සාවද්‍ය ලෙස ප්‍රකාශ කලේය. විමලේස්වරන් හා මදිවදනන් පුංගුඩුතිව් දූපත කරා යන සිය ගමනේ දී වේලනෙයි නාවික මුර පොලෙහි නතර කරගත් බවත් සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශයේ නිලධාරින් දෙදෙනෙක් ඔවුන්ගෙන් ප්‍රශ්න කල බවත් ඇසින් දුටුවෝ තහවුරු කලහ. ඔවුන් ආපසු එන විට කුමක් සිදු වී ද යන්න කිසිඳු ස්වාධීන සාක්ෂ්‍යකරුවෙක් දැක නොතිබුනි.

සසප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නිල පැමිනිල්ලක් කල අතර, විමලේස්වරන්ගේ හා මදිවදනන්ගේ බිරින්ඳෑවරු ද කයිට්ස් මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගයක් ආරම්භ කලහ. එම එකඳු අවස්ථාවක දී වත්, ඔවුන් දෙදෙනා සොයාගැනීමට හෝ ඔවුන්ට කුමක් සිදු වී ද යන වග සොයාගැනීමට හෝ බලධාරින් විසින් කිසි යම් බැරෑරුම් ප්‍රයත්නයක් දරනු ලැබ නැත. 2007 මාර්තු 22 දා සිඳුවීම් සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තොරතුරු පවා ඉල්ලා නාවික හමුදාවට බල කිරීමට පොලිස් පරීක්ෂකයන් සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරිහු ප්‍රතික්ෂේප කලහ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරීක්ෂනය කැඳවනු ලැබුවේ සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් කරන ලද පැමිනිල්ලක් මතය. ශ්‍රී ලංකා නාවික හමුදාපති, පොලිස්පති, වේලනෙයි හා පුංගුඩුතිව් නාවිකකඳවුරුවල අන දෙන නිලධාරින් සහ කයිට්ස් පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක යන අය වගඋත්තරකරුවන්ට ඇතුලත් විය.

මානව හිමිකම් කොමිෂන් සභාව විභාගයන් පැවැත්වූයේ දෙවරක් පමනි, ඒ 2007 ජූනි 14 දා සහ 2007 ජුලි 6 දා ය. පොලිස්පති සහ නාවික හමුදාපති නියෝජිතයන් එවා තිබූ නමුත් නාවික කඳවුරුවල අන දෙන නිලධාරින් සහ පොලිස් පරීක්ෂක එම විභාගවලට සහභාගි වීමට හෝ නියෝජිතයන් එවීමට අසමත් විය.

පලමු විභාගයේ දී, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියා කයිට්ස් පොලිස් පරීක්ෂකවරයාට වරෙන්තු නිකුත් කල මුත් ඔහු යලිදු වතාවක් එහි පෙනී සිටීමට අසමත් විය. එම පරීක්ෂනය භාරව සිටි මානව හිමිකම් කොමිෂන් සභා නිලධාරියා දෙවන දින විභාගයට පැමිනීමට අසමත් වූ අතර, එදින වෙනත් නිලධාරියෙක් විභාගය පැවැත්වූයේ සසප විරෝධය දැක්වීමෙන් පසුවය.

2007 සැප්තැම්බරයේ දී, සසප මානව හිමිකම් කොමිෂන් සභාවට ඇසින්දුටු සාක්ෂ්‍යකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කලේය. ඉන් මාස පහකට පසුව, මානව හිමිකම් කොමිෂන් සභාව පැමිනිලිකරුට දැනුම්දීමකින් තොරව පරීක්ෂනය හිටි අඩියේ අවසන් කොට 2007 දෙසැම්බර් 4 දා සිය නිරීක්ෂන ඉදිරිපත් කලේය. මානව හිමිකම් කොමිෂන් සභාව අතුරුදහන්වීම් ගැන ස්වාධීනව සොයාබැලීමට හෝ පොලිස් හා නාවික නිලධාරින් සිය ක්‍රියාවන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කල යුතු බවට අවධාරනය කරනු වස් සිය පුලුල් බලතල යොදාගැනීමට හෝ කිසිඳු පියවරක් ගෙන නැති බව එම ලියවිලි මගින් පැහැදිලි විය.

'ශ්‍රී ලංකා හමුදාව සහ පොලීසිය මගින් ආරක්ෂාව සපයනු ලබන රාජ්‍ය පාලනය යටතේ පවතින ප්‍රදේශවල පුද්ගල අතුරුදහන් වීම් පිලිබඳව රජය වැඩි වගකීමෙන් බැඳෙන ' බව මානව හිමිකම් කොමිෂන් සභාව ආකාරගතව පිලිගත්තේය. 'සුදුසු කඩිනම් සහ ප්‍රායෝගික ක්‍රියා පිලිවෙත් මගින් මෙවැනි තත්වයන් වැලැක්වීමට (නාවික සහ පොලිස්) වගඋත්තරකරුවන් පියවර ගත යුතු ' යයි එය උපදෙස් දුන්නේය.

විමලේස්වරන් සහ මදිවදනන් අතුරුදහන්වීම ගැන පරීක්ෂා කිරීමට කයිට්ස් පොලීසියට අමතරව 'නිපුන විශේෂ කන්ඩායමක් ' පත්කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නිර්දේශ කල අතර අතුරුදහන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවන ලෙස ද ඉල්ලා සිටියේය. මෙම අවසාන නිර්දේශය විශේෂයෙන් ම අනතුරු අඟවනසුලුය: ඔවුන් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධයෙන් ආන්ඩුව වගකිව යුතු බවත් ඔවුන් දැන් ජීවතුන් අතර නැතිවා විය හැකි බවත් පිලිගැනීමකට එය සම වේ.

මෙම නිර්දේශ මත කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

2008 ජූනි 27 දා අදාල බලධාරින් වෙත දෙවන සිහිකැඳවුමක් යවා ඇති බවත් එහෙත් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැති බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියෙක් සසපට පැවසීය. ඊලඟ පියවර වන්නේ ක්‍රියාමාර්ග ගනු සඳහා අදාල ලිපිගොනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙත යැවීමයි. කෙසේවෙතත්, එම නිලධාරියා පිලිගත්තේ, ලිපිගොනු 200ක් පමන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති මුත් ඒ එකක් සම්බන්ධයෙන් හෝ මානව හිමිකම් කොමිෂන් සභාවට කිසිඳු පිලිතුරක් ලැබී නැති බවයි.

කයිට්ස්හි ප්‍රාදේශීය මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගය 2007 මැයි සිට මාස නවයක් තිස්සේ දිගට ඇඳුනි. සෑම නඩු වාරයක දී ම, පොලීසිය පෙනී සිට පරීක්ෂන කටයුතු දිගටම කරගෙන යන බව ප්‍රකාශ කල අතර කිසිඳු හෝඩුවාවක් සොයාගෙන නැති බව නිවේදනය කලේය. කෙසේවෙතත්, කිසිඳු බැරෑරුම් පරීක්ෂන කටයුත්තක් ආරම්භ කෙරී වත් නැති බව පැහැදිලිය.

2007 මාර්තු 22 දා වේලනෙයි මුරපොලේ සිටි නාවික හා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ප්‍රකාශ ගැනීම තබා ඔවුන් කවුරුන්දැයි හඳුනාගැනීමට වත් පොලීසිය අසමත් විය.

2008 මාර්තු 26 දා මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය නිකම්ම අවසන් කලේ, පොලීසිය සිය 'පරීක්ෂනය ' දිගටම කරගෙන යා යුතු බව ප්‍රකාශ කරමිනි. එතැන් පටන් පොලීසියෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නැත.

විමලේස්වරන් හා මදිවදනන් අතුරුදහන්වීම වනාහි, රාජපක්ෂ ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වගකිව යුතු අපරාධවලින් එකක් පමනි. දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් පුරා, මිලිටරිය ක්‍රියාකරන්නේ නීතිය තුට්ටුවකට හෝ මායිම් නොකරය. සියලු දෙමල ජනයා 'ත්‍රස්තවාදී ' සැකකරුවන්, එනම් බෙඳුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ සාමාජිකයන් හෝ ආධාරකරුවන්, ලෙස සලකා වතාවතක් ලෙස ඔවුන් හිරිහැරයට, බියගැන්වීම්වලට හා හිතුවක්කාරී රඳවාගැනීම්වලට, 'අතුරුදහන්වීම්වලට ' සහ සමහර අවස්ථාවන්හි දී ඝාතනයන්ට ලක් කෙරෙති.

එක්සත් ජනපදයේ පාදක හ්‍යුමන් රයිට්ස් වොච් (එච්ආර්ඩබ්ලිව්) සංවිධානය, 2008 මුල දී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව පිටු 241ක වාර්තාවක් නිකුත් කලේය. රාජපක්ෂ බලයට පැමිනි 2005 දෙසැම්බර් සහ 2007 දෙසැම්බර් අතර කාලය තුල අඩු ගනනේ අතුරුදහන්වීම් 1,500ක් සිදු වී ඇතැයි, සිය පරීක්ෂන සහ මූලාශ්‍ර මත පදනම්ව, එය සොයාගෙන තිබේ. වාර්තාව ඉදිරිපත් කරමින්, එච්ආර්ඩබ්ලිව් සහකාර අධ්‍යක්ෂක එලයින් පියර්සන් මෙසේ ප්‍රකාශ කලේය: 'ජනාධිපති මහින්ද රාජපක්ෂ. . . ලෝකයේ දරුනුම බලහත්කාරී අතුරුදහන් සිදු කරන එකක් බවට සිය ආන්ඩුව දැන් මෙහෙයවා තිබේ.

' අතුරුදහන්වීම් 2008 වසර තුල අඛන්ඩව සිදු වී ඇතැයි එච්ආර්ඩබ්ලිව් 2009 වාර්තාව සටහන් කලේය. 'පසුගිය වසර කිහිපය තුල සිදුව තිබෙන නව 'අතුරුදහන්වීම් ' සිය ගනන්වලට ආමන්ත්‍රනය කරනු වස් ආන්ඩුව විසින් ගනු ලැබ ඇති මොන යම් හෝ බැරෑරුම් ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය දන්නේ නැත. එම සිද්ධීන්ගෙන් අතිමහත් බහුතරයක් තවමත් නොවිසඳී පවතී. බලහත්කාරී අතුරුදහන්වීම්වලින් බොහොමයකට ආන්ඩුවේ ආරක්ෂක හමුදා ඈඳී ඇත. ' යයි එය සඳහන් කලේය.

සසප සාමාජික විමලේස්වරන් ඉලක්ක කරගැනීම දේශපාලන අපරාධයකි. උතුරෙන් හා නැගෙනහිරෙන් සියලු ආරක්ෂක හමුදා කොන්දේසි විරහිතව ඉවත්කිරීම මගින් ආන්ඩුවේ වර්ගවාදී යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාවේ එකම පක්ෂය ලෙස සසප ප්‍රසිද්ධය. සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට සටන් කිරීමේ දී, සසප ජාතිකවාදයේ හා වර්ගවාදයේ සියලුම රූපාකාරයන්ට -- එල්ටීටීඊයේ දෙමල බෙදුම්වාදයට මෙන්ම ආන්ඩුවේ සිංහල අධිපතිවාදයට ද -- විරුද්ධ වේ.

විමලේස්වරන් හා ඔහුගේ මිතුරා අතුරුදහන්වීම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව සෘජුවම වගකිව යුතු යයි සසප සඳහන් කරයි.

ආන්ඩුව ඔවුන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පැහැදිලි කොට එයට වගකිව යුත්තන්ට දඬුවම් කල යුතු යයි අපි අඛන්ඩව ඉල්ලා සිටිමු. ආර්ථික අර්බුදය උත්සන්න වන විට, දෙමල සුලුතරයට හා තමන්ගේ සාපරාධී යුද්ධයේ විරුද්ධවාදීන්ට එරෙහිව ආන්ඩුව විසින් යොදාගනු ලබන පොලිස්-රාජ්‍ය විධික්‍රම, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව හැරවෙනු ඇතැයි අපි අනතුරු අගවමු.

කොලඹ අනුප්‍රාප්තික ආන්ඩුවල ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රම, අවසාන විග්‍රහයේ දී, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ශිෂ්ඨ සම්පන්න ජීවන මට්ටම් සඳහා සාමාන්‍ය වැඩකරන ජනතාවට පවතින අභිලාෂයන් ඉටු කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ ඓන්ද්‍රීය නොහැකියාවේ නිෂ්පාදිතයකි. කම්කරු පන්තිය සඳහා පවතින එකම විසඳුම වන්නේ, කලාපය පුරා හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා වන වඩා පුලුල් උද්ඝෝෂනයක කොටසක් ලෙස, ධනවාදය අහෝසි කොට කම්කරු-ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ අරගලය තුල නාගරික හා ග්‍රාමීය දුගීන් බලමුලුගැන්වීමයි.

[මෙය 2009 මාර්තු 26 වැනි දින Sri Lanka: Two years since the disappearance of SEP member Nadarajah Wimaleswaran යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading