'ගෝලීය ආර්ථිකයේ මතු බලාපොරොත්තු' යන ලෝක බැංකුවේ නව වාර්තාව, ආර්ථිකය ගොඩ ඒමට පටන්ගෙන ඇති බවට මෑතක සිට පලවන ප්‍රකාශ ඉවත දමා ඇත. බැංකුව සියයට 1.7 පිරිහීමක් අපේක්ෂා කල මාර්තු මාසයේ තක්සේරුවෙන් සැලකිය යුතු ලෙස පහලට නැඹුරුවූ සංශෝධනයක් ගෙන එමින් අනාවැකි පලකරන්නේ, 2009 වසරේදී ලෝක ආර්ථිකය සියයට 2.9 න් හැකිලී යනු ඇති බවට ය. බැංකුව, 2010 වසර සඳහා වූ වර්ධනය පිලිබඳ සිය තක්සේරුව ද සියයට 2.3 සිට 2 දක්වා පහතට ගෙනවිත් තිබේ. එය උපකල්පනය කරන්නේ “සාමාන්‍ය පසුබෑමේ අවධියකින් පසුව යලි ගොඩඒමේ අනුපාතයකට වඩා මෙය බෙහෙවින් පහත් මට්ටමක් වනු ඇත” යනුවෙනි.
එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතය (දදේනි) වසර අවසානයේදී සියයට තුනකින් කුඩා වනු ඇත. ජපානයේ දදේනි සියයට 6.8 කින් ද යුරෝ කලාපයේ සියයට 4.5 කින් ද හැකිලී යනු ඇති බව බැංකුව සඳහන් කරයි. ගෝලීය වෙලඳාම සියයට 10 කට ආසන්නව පහත වැටෙනු ඇත. මේ සියලු ගනන් බැලීම් මාර්තුවේ සකස් කල ප්‍රක්ෂේපනයන්ට වඩා පහත හෙලන ලද සංශෝධනයන්ය.
ප්‍රමුඛ බැංකුවල සමපේක්ෂනාත්මක භාවිතයන් ද, කොල්ලකාරී නයදීම් ද මඟින් පනගන්වන ලද මූල්‍ය අර්බුදය, දැන් “සමස්ත ආර්ථිකය” වෙලාගත් ගෝලීය අර්බුදයක් බවට පත්ව තිබෙන බව වාර්තාව හෙලි කරයි. උග්‍ර වනු ඇති මානව ප්‍රතිවිපාක, වැඩකරන ජනතාවන්ට හා ලෝකයේ දූගීම කලාපයන්ට අසමානුපාතිකව විඳීමට සිදුවනු ඇත.
“විරැකියාව නැඟෙමින් තිබේ. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි දරිද්‍රතාවය වැඩිවීමට පටන්ගෙන ඇත. ඒ සමඟ ලෝකයේ දුප්පතුන් හා පහසුවෙන්ම ගොදුරු බවට පත්වන කොටසේ තත්වයෙහි සැලකිය යුතු පිරිහීමක් සිදුකරනු ඇත.” වාර්තාව සඳහන් කරයි. ආර්ථික අර්බුදය විසින් මිලියන 200 කට අධික ජනතාවක් මේ වසර තුල දුගීභාවයට ඇද දමනු ඇති බව හා මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝකයේ මන්දපෝෂනයට ගොදුරුවන සංඛ්‍යාව එක් බිලියනයක් ඉක්මවනු ඇති බව එය දැනටමත් එලි දක්වා ඇත.
ලෝක බැංකුවට අනුව, 2008 වසරේ සැප්තැම්බර් හා 2009 මාර්තු අතර සය මසක කාල පරාසය තුල, ගෝලීය කාර්මික නිෂ්පාදනය සියයට 13 කින් පහත වැටී තිබේ. නිෂ්පාදිත වෙලඳාමේ ඩොලර් අගය, එම කාලය තුලම තුනෙන් එකකින් පහත බැස අති අතර, රටවල් “සෑම එකක්ම පාහේ” කාර්මික නිමැවුමෙහි තියුනු පල්ලම් බැසීමක් වාර්තා කරයි.
එක්සත් ජනපදය ද ඇතුලු බොහෝ රටවල් දැන් ප්‍රයෝජනයට ගන්නේ ඔවුන්ගේ කාර්මික ශක්තියෙන් සියයට 70 කටත් වඩා අඩුවෙනි.
බටහිර යුරෝපයේ හා එක්සත් ජනපදයේ කල් පවතින පාරිභෝගික භාන්ඩ ඉල්ලුම 2008 වසරේ සිව්වන කාර්තුවෙහි වාර්ෂික අනුපාතයකට අනුව සියයට 20 කින් පහත වැටී ඇති අතර 2009 මුල් කාර්තුවේ මෝටර් රථ ඉල්ලුම සියයට 30 කින් අඩුවී ගොසිනි.
කාර්මික නිෂ්පාදනයේ අර්බුදය ස්වයංසදාතනික චක්‍රයක් බවට පත්ව ඇති සෙයක් පෙනීයයි.
නිෂ්පාදනයේ කඩාවැටීම තව තවත් දොට්ට දැමීම් වලට තුඩු දෙමින් නිෂ්පාදිත භාන්ඩ මිලට ගැනීමේ පාරිභෝගික හැකියාව අඩපන කරන අතර, එය අනෙක් අතට තවත් දොට්ට දැමීම් අවශ්‍ය කරවයි, යනාදි වශයෙනි.
පිරිහෙන පාරිභෝගික විශ්වාසය, ඉතිරිකිරීම් අනුපාතයේ ඉහල යාමෙන් පිලිබිඹු කරයි. එක්සත් ජනපදයේදී එය 2007 වසරේදී සියයට 0.6 ක සිට 2009 අප්‍රේල් වන විට සියයට 5.7 ක් දක්වා ඉහලට පැන ඇත. කුටුම්භයන්, නිවාස අගය පිරිහී යාමේදී මෙන්ම කොටස් වෙලඳපොලවල ආයෝජනයේදී තමන්ට අහිමිවී ඇති වත්කම් අගය හිලව්කර ගැනීමට වෑයම් කරන තතු හමුවේ, මෙම ප්‍රවනතාවය අඛන්ඩව පවතිනු ඇතැයි ලෝක බැංකුව විශ්වාස කරයි. 2007 වසරේ අවසන් කාර්තුව හා 2008 අතර එක්සත් ජනපද කුටුම්භ ධනය සියයට 15 කින් පමන නැතහොත් ඩොලර් ට්‍රිලියන 11 කින් පහත වැටී තිබේ.සංවර්ධනය වන රටවල් 2007 වසරේදී සියයට 8.1 ක් හා 2008 දී සියයට 5.9 ක් වශයෙන් දදේනි අත් කර ගත් වර්ධනය, 2009 දී සියයට 1.2 ක් පමනක් වනු ඇතැයි ලෝක බැංකුව ගනන් බලයි. චීනය හා ඉන්දියාව හැරුනු කොට සංවර්ධනය වන රටවල දදේනි සියයට 1.6 කින් පහත වැටෙනු ඇතැයි ගනන් බලා තිබේ.
සංවර්ධනය වන ජාතීන් වෙත සිදුවූ ප්‍රාග්ධන ගලායාම් ට්‍රිලියන 1.2 ක් දක්වා එහි උච්ඡස්ථානයට ලඟාවූ 2007 වසරෙන් පසුව, 2008 දී බිලියන 707 ක් දක්වාත්, 2009 දී බිලියන 363 දක්වා, වසර දෙකකට පෙර පරිමාවෙන් තුනෙන් එකකටත් අඩු මට්ටමකටත්, වැටෙනු ඇතැයි බැංකුව අපේක්ෂා කරයි.
මෙසේ “එන්ට එන්ටම නරක අතට හැරෙන ආර්ථික අපේක්ෂාවන්ට” බලපා ඇත්තේ විදේශ සෘජු ආයෝජන, නිර්යාත ආදායම් හා විදෙස්ගතවූවන්ගේ ඉපැයුම් පිරිහී යාමයි. ප්‍රධාන ආර්ථිකයන්, විශේෂයෙන්ම එක්සත් ජනපදය, හිඟ අයවැය වියදම් තියුනු ලෙස ඉහල නැංවීම මඟින් ලෝකයේ ද්‍රවශීලත්වය උරාගැනීම හමුවේ, නය හා ප්‍රාග්ධන සම්පාදනයේ දුෂ්කරතා මඟින් මුදල් අර්බුදය සංකීර්නත්වයට පත් කර ඇත. වාර්තාව අනාවැකි පල කරන්නේ සංවර්ධනය වන රටවල නයගැනීම් අවශ්‍යතාවන්ගේ සමස්ත අගය, 2009 වසරේදී අපේක්ෂිත ශුද්ධ ප්‍රාග්ධන ගලාඒම් වලට වඩා බිලියන 635 ක් තරම් ඉහල අගයක් ගනු ඇති බවට ය.
අවස්ථා කිහිපයක දී හැරුනු කල, සංවර්ධනය වන ජාතීන්, දැනටමත් ප්‍රග්ධන හිඟයන්ට මුහුනපා සිටියි. 2008 සැප්තැම්බරයේ ආරම්භවූ මූල්‍ය අර්බුදයේ මුල් මාසවල දී, ආයෝජකයෝ ප්‍රමුඛ මුදල් වල හා ප්‍රධාන ආර්ථිකයන්හි ආරක්ෂාව පැතූ විටත්, එම රටවල ව්‍යාපාර තමන්ගේ ශේෂපත්‍ර පුම්බා ගැනීම පිනිස ආයෝජන කැඳවුම් කල විටත්, සංවර්ධනය වන රටවල්, සිය ’‘නැඟීඑන” ආර්ථිකයන් වෙතින් ආයෝජන පලායෑමේ තත්වයෙන් පීඩාවට පත්විය.
ලෝක බැංකුව අපේක්ෂා කරන්නේ සංවර්ධනය වන රටවල අර්බුදය, නැඟෙනහිර යුරෝපයේ හා මධ්‍යම ආසියාවේ දී වඩාත් උග්‍ර අතට හැරෙනු ඇති බවට ය. එහිදී අර්බුදය මඟින් රටවල් ගනනාවකට ”බලකෙරෙනු ඇත්තේ, සැලකිය යුතු මුදල් අවප්‍රමානයන් හා දේශීය ඉල්ලුමේ වේදනාකාරී කප්පාදුකිරීම් මඟින් අංඟලක්ෂිත, නිවැරදි කිරීමේ ක්‍රමානුකූල ක්‍රියාවලියේ අවම තත්වයන්ට මුහුනපෑමට ය.” නිදසුනක් ලෙස රුසියාව, පිරිහෙන භාන්ඩ මිල ගනන් වල ප්‍රතිපල වශයෙන්, 2009 දී දදේනි සියයට 7.5 ක පිරිහීමකට මුහුන දෙනු ඇත. තුර්කියේ ආර්ථිකය සියයට 5.5 කින් පහත වැටෙනු ද, සියයට 1.1 වර්ධනයක් පමනක් අත්විඳින පකිස්ථානය එක තැන පල්වෙනු ද ඇත.
විශාල ලතින් ඇමරිකානු ආර්ථිකයන් අතරින් බ්‍රසීලයේ දදේනි සියයට 1.1 කින් ද ආර්ජන්ටිනාවේ 1.5 කින් ද හැකිලී යනු ඇතැයි බැංකුව අපේක්ෂා කරයි.
එක්සත් ජනපදය සමඟ කරන වෙලඳාමේ තියුනු වැටීමත්, සූකර උන වසංඟතයෙන් ඇතිකල කඩාකප්පල් වීමත් යන කරුනු දෙකම නිසා මෙක්සිකෝවේ දදේනි සියයට 6 කින් පමන හැකිලෙනු ඇත. වාර්තාව සඳහන් කරන්නේ, භාන්ඩ මිල ගනන් පහල යෑම ද “තියුනු ලෙස පහත වැටී ඇති” ප්‍රාග්ධන ගලාඒම් ද නිසා උප සහරානු අප්‍රිකාවට තදින්ම පහර වැදෙනු ඇති බවයි.
2009 සඳහා කලාපීය වර්ධනය ගනන් බලා ඇත්තේ සියයට 1 ලෙස ය. පසුගිය දෙසතිය පුරා මඳ වශයෙන් පහත වැටී තිබුනු මූල්‍ය වෙලඳපොලවල්, ගෝලීය වර්ධනය පිලිබඳ ලෝක බැංකු අනතුරු ඇඟවීම් කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ රිනාත්මකව ය. 22 වන දින නිකුත්වූ වාර්තාවෙන් පසුව, එක්සත් ජනපදය, යුරෝපය, මෙක්සිකෝව හා බ්‍රෙසීලයේ කොටස් වටිනාකම් පහත වැටුනි. 23 දින විශ්ලේෂකයන් ගෝලීය ආර්ථිකය පිලිබඳව පලකල භීතිය හමුවේ, ජපානයේ නිකේ කොටස් මිල දර්ශකය සියයට 3.1 කින් පහත වැටුනු අතර බොර තෙල් මිලෙහි ද අඩුවීමක් වාර්තා විය.
ලෝක බැංකු වාර්තාව, එක්සත් ජනපදයේ ප්‍රධාන මූල්‍ය හුවමාරු මධ්‍යස්ථානවල තෙමසක් පුරා සිදුවූ කොටස් මිල නැඟීමේ කෘතීම ස්වභාවය පෙන්වා දෙයි. එක්සත් ජනපදයේ හෝ ගෝලීය වශයෙන් ගත් කල, ආයෝජකයන් අතර දක්නට ලැබුනු ප්‍රමුදිත ස්වභාවය සුජාත කරන කිසිවක් සමස්ත ආර්ථිකය තුල සිදුවී ඇත්තේ නැත.
එය දැන් පෙනී යන පරිදි, ප්‍රධාන මූල්‍ය සූදු අන්තුවන්ට සිය අලාභයෙන් කොටසක් පිරිමසා ගැනීමට ඉඩ සලසමින් ඔබාමා පරිපාලනයේ සහාය ද ඇතිව කොටස් මිල ඉහල නැඟීම පුම්බා ලීමක් පමනකි.
මාර්තු මස මුලදී ජනාධිපති ඔබාමා, වැඩ කරන ඇමරිකානුවන් වෙත, කොටස් වෙලඳපොලෙහි ආයෝජනය කිරීමට කැඳවුම් කලේය. “ඔබ දැන් දකිමින් සිටින්නේ, ඔබට දිගු කාලීන ඉදිරිදර්ශනයක් ඇත්නම්, කොටස් මිලට ගැනීම හොඳ ශක්‍යතාවක් ඇති ගනු දෙනුවක් වන තැනකට ලාභ හා ඉපැයුම් අනුපාත නැඟීමට පටන්ගෙන ඇති ආකාරයයි.” ඔහු කීවේ ය.
එහෙත් 23 වන දින ෆිනෑන්ෂල් ටයිම්ස් හි ලිපියකින්, “කොටස් වලින් මුදල් ඉවත්කර ගැනීමේ අශුභවාදී විධායක” යන ආකාරයට පැහැදිලි කර තිබුනේ, ආර්ථිකයේ “කොල පැහැති දලුලෑම” පිලිබඳ කථාන්තර එහි උච්ඡාවස්ථාවට ලඟාවෙද්දී, ඉහල විධායකයින් හා සමාගම් ඇතුලත සිටින්නන් පසුගිය මාසය පුරා ඔවුන්ගේ කොටස් මහා පරිමානයෙන් විකුනා දමා ඇති බවය.එක්සත් ජනපදයේ සුරැකුම් හා හුවමාරු කොමිසමේ තොරතුරු වලට අනුව, “ඊනියා සමාගම් ඇතුලත සිටින්නන් විසින්” විකුනා දමා ඇති කොටස් ප්‍රමානය ඔවුන්ගේ මිලට ගැනුම් මෙන් විසි දෙගුනයක් ඉක්මවා ගියේය. එස්ඇන්ඩ්පී 500 දර්ශකයෙහි ලේඛන ගතකොට ඇති සමාගම්වල ඇතුලත සිටින්නන් ජූනි මාසය තුල මේ දක්වා ඩොලර් බිලියන 2.6 ක් වටිනා කොටස් අලෙවිකර ඇති අතර මිලට ගෙන ඇත්තේ මිලියන 120 ක කොටස් පමනි. ඒ ආයෝජන සමීක්ෂන සමාගමක් වන ට්‍රිම් ටැබ්ස්ට අනුව ය. “එක්සත් ජනපද කොටස් වෙලඳපොලෙහි වඩාත්ම කැපී පෙනුනු ක්‍රීඩකයන්, එනම් ප්‍රසිද්ධ සමාගම්වල කලමනාකරනයේ ඉහල සිටින්නන්, ආර්ථිකය ගොඩ ඒමක දී තමන්ගේ ම සල්ලි වලින් සූදු කෙලින්නේ නැත.” එසේ කීවේ ට්‍රිම් ටැබ්ස් හි ප්‍රධාන විධායක චාර්ල්ස් බයිඩර්මන් ය.
[මෙය 2009 ජූනි 24 වැනි දින World Bank cuts forecast for 2009 growth යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
