[මෙය Trump announces resumption of US nuclear weapons testing යන මැයෙන් 2025 ඔක්තෝබර් 30 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 30), ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කල අතර, තුන්වන ලෝක යුද්ධය සඳහා වන සූදානම සීමා කරමින් ශේෂවී ඇති සියලුම ආරක්ෂක වැටවල් ඉවත් කිරීමට එක්සත් ජනපදය ගත් නවතම පියවර මෙය යි. ලෝකයේ සියලුම රටවල් නිල වශයෙන් න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කර ඇති බැවින්, මෙම පියවර මගින්, මෙම ක්‍රියාවට ඉඩ දෙන ලෝකයේ එකම රට එක්සත් ජනපදය බවට පත් වේ.
මාරාන්තික විකිරන වායුගෝලයට විසුරුවා හැරීමත්, භූගත ජලය දූෂනය කිරීමත් හැරීම යනාදියටත් ඔබ්බේ න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන පොදුවේ වටහා ගෙන ඇත්තේ, වැරදි ගනනය කිරීම් හෝ හිතාමතා ප්‍රකෝප කිරීම් හරහා න්‍යෂ්ටික යුද්ධයක ශක්‍යතාව දැවැන්ත පරිමානයෙන් පුලුල් කරමින් තිබෙන බවට නිමිත්තක් වසයෙනි.
කියුබානු මිසයිල අර්බුදය තුල එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට පැමින වසරකට පසු, 1963 දී, කෙනඩි පරිපාලනය අර්ධ න්‍යෂ්ටික පරීක්ෂන තහනම් කිරීමේ ගිවිසුම සාකච්ඡා කල අතර, එමඟින් භූගතව සිදු කෙරෙන ඒවා හැර අනෙකුත් සියලුම න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කරන ලදි. 1992 දී, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා ඒකපාර්ශ්වික තහනමක් ප්‍රකාශයට පත් කලේ ය.
අත්හදා බැලීම් තහනම් කිරීමට පෙර දශක කිහිපය තුල, න්‍යෂ්ටික පුපුරවා හැරීම් 2,000 කට වඩා සිදු වූ අතර, ඉන් අඩකට වඩා සිදු කරන ලද්දේ එක්සත් ජනපදය විසිනි. මෙම පරීක්ෂන බටහිරදිග ඇමරිකාව තුල සහ දකුනු පැසිෆික් කලාපය පුරා ප්‍රජාවන් රෝගාතුර කරමින්, මුලු ප්‍රදේශම මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත් කලේය.
ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කලේ, දැනට ක්‍රියාත්මක වන ඇමරිකානු-චීන වෙලඳ යුද්ධය පිලිබඳව දකුනු කොරියාවේ පැවැත්වෙන සාකච්ඡා සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට ටික වේලාවකට පෙරය. ට්‍රම්ප්, ඇමරිකානු න්‍යෂ්ටික අවි ගබඩාව ලෝක වේදිකාවේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරන අතර, න්‍යෂ්ටික යුද්ධය හරහා සංහාරයට ලක්වීමේ තර්ජනය, මානව වර්ගයාගේ හිස මත ලඹ දෙමින් තිබේ.
ලොව විශාලතම න්‍යෂ්ටික වැඩසටහන හිමි එක්සත් ජනපදය, රුසියාව සහ චීනය එක්ව වැය කරන මුදල මෙන් දෙගුනයක් න්‍යෂ්ටික අවි සඳහා වැය කරයි. දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සඳහා, හිරෝෂිමා සහ නාගසාකිහි අනාරක්ෂිත ජනගහනය සමූලඝාතනය කරමින් න්‍යෂ්ටික අවි භාවිතා කල එක ම රට වන්නේ ද එක්සත් ජනපදය යි.
ට්‍රම්ප්ගේ නිවේදනය වාර්තා කිරීමේ දී, එය මොනම ඓතිහාසික සන්දර්භයක තැබීමට හෝ එයට පූර්වගාමීත්වයක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපද මාධ්‍ය අපොහොසත් වී ඇත. එහෙත්, එය ක්ෂනික තීරනයක් නොව, 2020 සිට ම එක්සත් ජනපද හමුදා සැලසුම්කරුවෝ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම පිලිබඳව ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිට ඇත.
මෙම පියවර නිවේදනය කරමින් ට්‍රම්ප් විසින්ම ලියන ලද සමාජ මාධ්‍ය සටහන, පැහැදිලිවම, එය එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව වසර ගනනාවක් තිස්සේ ගොඩනැගීමේ සන්දර්භය තුල තබයි. ඔහු මෙසේ ලිවීය, “එක්සත් ජනපදය සතුව වෙනත් ඕනෑම රටකට වඩා න්‍යෂ්ටික අවි තිබේ. මෙය සාක්ෂාත් කර ගැනීමේ දී, මගේ පලමු ධුර කාලය තුල, එවක පැවති ආයුධ මුලුමනින් යාවත්කාලීන කිරීම සහ ප්රතිසංස්කරනය කිරීම ද මෙයට ඇතුලත් ය.”
“එවැනි ම පදනමක සිට, අපගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කරන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම ක්‍රියාවලිය වහාම ආරම්භ වේවි” ඔහු තවදුරටත් එකතු කලේ ය.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සමාජමාධ්‍ය පෝස්ටුව පවසන්නේ, කතාවේ කොටසක් පමනි. ඔහු පුරසාරම් දොඩන න්‍යෂ්ටික අවි වැඩසටහන වර්ධනය කිරීම ඇත්ත වශයෙන්ම ආරම්භ කරන ලද්දේ ඔබාමා පරිපාලනය යටතේ ය; එය ට්‍රම්ප්ගේ පලමු ධුර කාලය තුල, බයිඩන්ගේ ධුර කාලය තුල සහ දැන් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුල ද දිගටම පැවතුනි. ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වැඩි වියදමක් දරන, ඇමරිකානු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් නොදන්නා මෙම න්‍යෂ්ටික අවි වැඩසටහන ගෙන ගියේ, සම්පූර්න ද්විපාර්ශ්වික සහයෝගය ඇතිව ය.
වසරකට පෙර, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, “ප්රචන්ඩ නව න්‍යෂ්ටික යුගයක් සඳහා නවීන අවි ගබඩාවක්” නිර්මානය කිරීම හරහා “ඇමරිකාව නැවතත් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් කිරීම” වෙනුවෙන් කැප වූ රහස් සැලැස්ම පිලිබඳ දීර්ඝ පුවත් විශේෂාංගයක් ප්‍රකාශයට පත් කලේය.
“ඔබ සබ්මැරීන පෑස්සුම් කටයුතු කරන හෝ භුගත මිසයිල ගබඩා පවතින ස්ථානයක ජීවත් නොවන්නේ නම්, එවැනි දේ සිදුවන බවක් නොදැන සිටීමට හොඳටම ඉඩකඩ තිබේ,” ටයිම්ස් ලිවීය. “කොංග්රස් මන්ඩල නඩු විභාග සහ උපාය මාර්ගික පත්‍රිකා හැරුනු විට සහ වියදම් කරන ලද අති විශාල මුදල් කන්දරාව හැරුනු විට, ෆෙඩරල් ආන්ඩුව මේ සැලැස්ම ගැන ප්‍රසිද්ධියේ කිසිවක් පවසා නොමැති තරම් ය. සැලකිය යුතු විවාදයක් පවා සිදු වී නොමැත. ඩොලර් බිලියන ගනනක වැඩසටහන් හොර රහසේ කෙරී ගෙන යයි.”
එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගෙවී ගිය වසර තුල, එක්සත් ජනපදයේ දැවැන්ත න්‍යෂ්ටික ගොඩනැගීම සහ ඒ වටා පවතින නිහඬතාවේ කුමන්ත්රනය යන දෙක ම අඛන්ඩව පැවතුනි. දෙසැම්බර් මාසයේ දී, කොංග්‍රසය ඩොලර් බිලියන 895 ක ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත (එන්ඩීඒඒ) අනුමත කලේය; මානව ඉතිහාසයේ ඕනෑ ම රටක විශාලතම මිලිටරි අයවැය වන එයට, න්‍යෂ්ටික අවි නවීකරන කටයුතු සඳහා වෙන් කල වාර්තාගත අරමුදල් ද ඇතුලත් වේ.
එක්සත් ජනපදය “අති නවීන අයන් ඩෝම් මිසයිල ආරක්ෂක නිවාරකයක් ඉදිකිරීම වහාම ආරම්භ කරන” බව, ජනවාරි මාසයේදී ට්‍රම්ප් නිවේදනය කලේ ය. මෙම ඊනියා “ගෝල්ඩන් ඩෝමය” ආරක්ෂක පියවරක් වනවා වෙනුවට, ධවල මන්දිරය පූර්ව-භංග පලමු න්‍යෂ්ටික ප්‍රහාරයකින් අනෙකුත් රටවලට තර්ජනය කිරීමට දිරිගන්වනු ඇත; මන්ද, මිසයිල නිවාරකය එක්සත් ජනපදය පලිගැනීමෙන් ආරක්ෂා කරනු ඇතැයි පොදුවේ පිලිගැනෙන බැවිනි.
එක්සත් ජනපදයේ අඛන්ඩ න්‍යෂ්ටික අවි වැඩසටහන ගොඩනැගීමේ කොටසක් ලෙස, ට්‍රම්ප් පරිපාලනය, න්‍යෂ්ටික අවි භාවිතය සඳහා ඇති සියලු සීමාවන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත. වඩාත්ම කැපී පෙනෙන කාරනයක් නම්, 2019 අගෝස්තු මාසයේ දී එක්සත් ජනපදය අතරමැදි-පරාස න්‍යෂ්ටික බලකා (අයිඑන්එෆ්) ගිවිසුමෙන් ඉවත් වීමයි; නැවත වාරයක්, ඒ ට්‍රම්ප් යටතේ ය.
2018 ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් වන බවට ට්‍රම්ප් කල නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කලේ, පොසෙයිඩන් ලෙස හඳුන්වන දිය යට ඩ්‍රෝන යානයක් සහ බුරෙවෙස්ට්නික් ලෙස හඳුන්වන නව දිගු දුර කෲස් මිසයිලයක් ඇතුලු නව න්‍යෂ්ටික සැපයුම් යාන්ත්‍රන මාලාවක් සංවර්ධනය කිරීම රුසියාව ආරම්භ කරන බවයි.
රුසියාව මෑතක දී, මෙම පද්ධති දෙකේම න්‍යෂ්ටික යුද ශීර්ෂ පිලබඳව නොව, බෙදාහැරීමේ යාන්ත්රනයන් පිලිබඳව පරීක්ෂන සිදු කලේය; දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ සහ දිගු කලක් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම නිවේදනය කිරීමට ට්‍රම්ප් විසින් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ මෙම සිදුවීම යි.
අයිඑන්එෆ් ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, එක්සත් ජනපදය, ගිවිසුම යටතේ කලින් තහනම් කරන ලද න්‍යෂ්ටික අවි, රුසියාවට සහ චීනයට පහර දිය හැකි ස්ථානවල ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ. පෙන්ටගනය එහි නිරවද්‍යතා ප්‍රහාරක (ප්රසිසන් ස්ට්‍රයික් මිසයිලයේ) පරාසය පුලුල් කර ඇති අතර, එස්එල්සීඑම්-එන් ලෙස හඳුන්වන නව න්‍යෂ්ටික-සන්නද්ධ, මුහුදේ සිට දියත් කල හැකි කෲස් මිසයිලයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන සිය ගනනක් වැය කර ඇත.
නැටෝ ඉත්තෙකු වන යුක්රේනය රුසියාව තුලට සෘජු ප්‍රහාර උත්සන්න කිරීම සමඟ ඒකාබද්ධ ව, අයිඑන්එෆ් ගිවිසුම යටතේ කලින් තහනම් කරන ලද බැලස්ටික් සහ කෲස් මිසයිල සංවර්ධනය කිරීම සිදුවේ. මෙම මාසයේ වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ, “ට්‍රම්ප් පාලනය, බටහිර සහචරයින් විසින් යුක්රේනයට සපයන ලද දිගු දුර මිසයිල කිහිපයක් භාවිතා කිරීම සඳහාවූ ප්‍රධාන අවහිරයක් ඉවත් කර ඇති” බවයි; මේ මාසයේ දකුනු රුසියාවේ බ්‍රයන්ස්ක් නගරයට එක්සත් රාජධානිය විසින් සපයන ලද, ස්ටෝම් ෂැඩෝ මිසයිල භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මූලික වූයේ එය යි.
යුක්රේනයට ටොම්හෝක් මිසයිල යැවීම ගැන සලකා බලන බව, මේ මස මුල දී, ට්‍රම්ප් තහවුරු කලේය. ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර දක්වමින්, “න්‍යෂ්ටික ටොම්හෝක් මිසයිලයක් සාම්ප්‍රදායික ගුවන් යානයකින් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි” බව, හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව්ගේ නිරීක්ෂනය විය. ටොම්හෝක් මිසයිලවලට දිගු කලක් තිස්සේ න්‍යෂ්ටික යුධ ශීර්ෂ රැගෙන යාමේ හැකියාව තිබුනි.
රුසියානු සහ චීන දේශසීමා වල කෙටි දුර න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමත්, නැටෝව විසින් සපයන ලද දිගු දුර අවි රුසියානු නගරවලට ප්‍රහාර එල්ල කිරීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමත් අතර සමස්ත ලෝකයම න්‍යෂ්ටික අවි හරඹයකට ඔන්න මෙන්න අවස්ථාවක සිටී.
නැටෝවේ අර්ධ-නිල සහචරයෙකු වන යුක්රේනයෙන් “සාම්ප්‍රදායික” මිසයිල ප්‍රහාරයක් එල්ලවන ඕනෑ ම අවස්ථාවක, නැතහොත්, ඊනියා “උන්මත්තකයාගේ න්‍යායේ” ලොව ප්‍රමුඛතම නියුක්තිකයා වන ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව, එක්සත් ජනපදය අනපේක්ෂිත න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කරන සෑම අවස්ථාවක ම, රුසියාවේ සහ චීනයේ සැලසුම්කරුවන් තමාගෙන් ම මෙසේ අසනු ඇත: “අප න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්ව සිටිනවා ද?”
රුසියාව සහ චීනය යටත් කර ගැනීමේ අවදානම් සීමාවට පැමින සිටින එක්සත් ජනපදයට, ගනනය කල නොහැකි තරම් ප්‍රතිවිපාක සහිත, වේගයෙන් ගැටුම් උග්රකරන සර්පිලයක් සක්‍රිය කල හැක.
අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ නැගීම, එක්සත් ජනපදයේ කම්කරු පන්තියට එල්ල වන ප්‍රහාරය සමඟ අවියෝජනීය ලෙස බැඳී පවතී. එක්සත් ජනපදය න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බවට ට්‍රම්ප්ගේ නිවේදනය පැමිනියේ, කෝටි සංඛ්‍යාත ඇමරිකානුවන් පිරිසකට අත්‍යවශ්‍ය ජීවනාලියක් අහිමි කරමින්, තුති දන් උත්සවයට සහ නත්තල් නිවාඩු දිනට පෙර, ආහාර මුද්දර සඳහා අරමුදල් සැපයීම අවසන් කරන බව දැනුම් දීමට දින කිහිපයකට පෙර ය.
මේ දෙක අතර සෘජු සම්බන්ධයක් තිබේ. මේ මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක, ඩිමොක්රටික් පක්ෂයට අනුබද්ධ බෲකින්ස් ආයතනය, ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන්ම සහාය ලැබෙන ප්‍රතිපත්තියක් වෙනුවෙන් කතා කරමින්, “සියලුම රාජ්‍ය සහ පෞද්ගලික මෙවලම් උපයෝගී කර ගන්නා, සමස්ත සමාජය ම අලලාගත් නම්‍යශීලී උපාය මාර්ගයක්: එනම්, පූර්න යුද්ධයක යුගයක් සඳහා සම්පූර්න ආරක්ෂාව” ඉල්ලා සිටියේ ය.
ජර්මානු හමුදා නායකත්වය විසින් පුරෝගාමීත්වය දරන ලද දෙවන ලෝක යුද්ධ සමයේ දී සහ නාසි පාලන තන්ත්රය යටතේ රාජ්‍ය මූලධර්මය ලෙස දිගට ම පැවති පූර්න යුද්ධයේ මූලධර්මය, ජාතික මිලිටරි සාර්ථකත්වයේ නාමයෙන් කම්කරු පන්තියෙන් “කැපකිරීම්” ඉල්ලා සිටිමින්, සමස්ත සමාජයම යුද ප්රයත්නයට යට කලේය.
“පූර්න යුද්ධයේ” මූලධර්මය යටතේ, නාසි ජර්මනියේ නායකයින්, ජර්මානු ජනගහනය මතට ව්‍යසනයක් ගෙන ආවේ, නැගෙනහිර යුරෝපය පුරා සමූල ඝාතන යුද්ධයක් දියත් කල තරම්ම නිසැක ආකාරයට ය. දැන්, සමස්තයක් ලෙස ඇමරිකානු කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන ට්‍රම්ප් නාසි තන්ත්රය දැකගන්නේ, එක්සත් ජනපද ඒකාධිපතිත්වයට පමනක් නොව, ලොව පුරා මිලිටරි ප්රචන්ඩත්වයට ද මොඩලයක් ලෙස ය.
පාලක පන්තිය, තම රට තුල කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාර, විදේශයන්හි මිලිටරි උත්සන්න කිරීම් සමඟ ගැටගසයි. කම්කරු පන්තිය ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ, තම සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කිරීමෙනි. මෙම මස මුලදී පැවති “රජුන් එපා” රැලිය, ට්‍රම්ප් පරිපාලනයේ ඒකාධිපතිත්වයට සහ කප්පාදු ප්‍රතිපත්තිවලට එරෙහිව මහජන විරෝධයක් පවතින බව පෙන්නුම් කලේය. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන, ධනවාදයට එරෙහි සහ සමාජවාදය සඳහා වන සටන සමග සම්බන්ධ කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ලෙස මෙම විරුද්ධත්වය වර්ධනය කල යුතුය.
