වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් බලාපොරොත්තුවෙන්, රජය සතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) හා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීසී) කම්කරුවන්ගේ සිවු දින අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් නවතා දැමීමට වෘත්තීය සමිති පියවර ගත්තේය. කෙසේ වෙතත්, ජනාධිපති ලබන වසරට පෙර මොන යම් හෝ වැටුප් වැඩිවීමක් එකහෙලා ප්‍රතික්ෂේප කලේය.
2006 වසරේ දී අත්සන් කල හා වසර තුනකට පසුව ක්‍රියාවට දැමීමට නියමිත සාමුහික ගිවිසුමකට අනුව යමින්, සිය මාසික වැටුපට රුපියල් 15,000ක (එ.ජ.
ඩොලර් 135) පමන සාමාන්‍ය වැඩිවීමක් ලබාදීමට ආන්ඩුව අපොහොසත් වීම සම්බන්ධයෙන් කම්කරුවෝ වෛරී සහගතව සිටිති.
සම්පූර්න වැටුප් වැඩිවීම කැබිනට් මන්ඩලය විසින් අනුමත කෙරෙන තෙක් පසුගිය ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 5,000ක අතුරු දීමනාවක් භාරගැනීමට, ගිය මාසයේ ඛනිජ තෙල් ඇමති එම්.එච්.එම්. ෆවුසි සමග පැවති සාකච්ඡාවල දී සමිති දැනටමත් එකග වී තිබේ. මෙම අතුරු දීමනාව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම විය.
ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධිත ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමය (සීපීසීසීඑස්යූ) ඔක්තෝබර් 22 දා විරෝධතා ව්‍යාපාරය ආරම්භ කලේය.
6,700ක් වන මුලු ශ්‍රම බලකායෙන් 6,000කට වැඩි සීපීසී කම්කරුවන් සංඛ්‍යාවක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දුන්නේය. එම ක්‍රියාමාර්ගයට සෘජුවම සම්බන්ධ නොවූ ඉන්දියානු ලංකා තෙල් සමාගමේ පිරවුම් හල්වල සේවය කරන කම්කරුවෝ බ්‍රහස්පතින්දා හා සිකුරාදා සේවය කිරීම ප්‍රතික්ෂේප කරමින් සිය සහයෝගිතාව පෙන්නුම් කලහ.
විරෝධතා ව්‍යාපාරයේ සීමිත ස්වභාවය තිබිය දී ම, ඉන්ධන සැපයුම සියයට 30කින් පහත වැටුනු අතර කොලඹ පිරවුම් හල් 174න් 160ක් වසා දැමුනි.
සෙනසුරාදා හැන්දෑව වන විට රටේ සියලු ප්‍රදේශවලට එය බලපෑවේය. අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය පුද්ගලික බස්රථ හා ලොරිවලට, මෝටර් රථවලට හා තාප විදුලිබලාගාරවලට දරුනු ලෙස බලපෑවේය. එහෙත් සමිති සන්නද්ධ හමුදා මෙන්ම රජයේ බස්රථ හා සෞඛ්‍ය අංශය සිය විරෝධතා ව්‍යාපාරයෙන් නිදහස් කලේය.
ආන්ඩුව හා සීපීසී කලමනාකරනය කම්කරුවන්ට තර්ජනය කිරීමේ හා බියගැන්වීමේ දුෂ්ට ව්‍යාපාරයක් දියත් කලේය. පසුගිය අගහරුවාදා සීපීසීසීඑස්යූ ප්‍රධාන ලේකම් ඩී.ජේ රාජකරුනා කම්කරුවන් ඇමතීම පිනිස මුතුරාජවෙල තෙල් ගබඩ සංකීර්නයට ගිය අවස්ථාවේ කලමනාකරනය විසින් මෙහෙයවූ මැරයෝ ඔහුට පහර දුන්හ. කොලොන්නාවේ සීපීසී පරිශ්‍රය තුල පිහිටි සමිති කාර්යාලයට එදින ම රාත්‍රියේ අලාභහානි කරන ලදි.
බදාදා, සීපීඑස්ටීසී සභාපති, විශ්‍රාමලත් මේජර් ජෙනරාල්වරයකු වන, එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා ශාරීරික ප්‍රහාර එල්ල කරන බවට සමිති නායකයන්ට තර්ජනය කලේය. 'ප්‍රභාකරන් මරපු අපට සමිති මට්ටු කරන එක මහ කජ්ජක් නෙවි ' යයි ඔහු පැවසීය.
බෙඳුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ නායක වී. ප්‍රභාකරන් රටේ දිග්ගැසුනු සිවිල් යුද්ධයේ අවසන් සටන්වල දී මැයි මාසයේ ඝාතනය කරන ලදි.
කම්කරුවන් සිය උද්ඝෝෂනය දිගටම කරගෙන ගිය හොත් වෙනත් විකල්ප සූදානම් කෙරෙන බව ඛනිජ තෙල් ඇමති ෆවුසි මාධ්‍යවලට පැවසීය. ඔහු එය විස්තාරනය නොකලත්, වර්ජන හා කාර්මික උද්ඝෝෂන බිඳදැමීමට මිලිටරිය යොදාගැනීමේ වාර්තාවක් රාජපක්ෂ ආන්ඩුවට ඇත.
සමිති හා ජනාධිපති අතර සාකච්ඡාවක් සඳුදාට යොදා ගෙන ඇතැයි සෙනසුරාදා ෆවුසි නිවේදනය කලේය.
කෙසේවෙතත්, 'ඔවුන් සිය ඉල්ලීම් දිනාගැනීමට තර්ජන පාවිච්චි කලහොත් සමිතිවලට කිසිවක් ලැබෙන්නේ නැත ' යයි අනතුරු ඇගවූ ඔහු, අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය 'වගකීම් විරහිත ක්‍රියාවක් ' ලෙස හංවඩුගැසීය. ඉරිදා සීපීසීසීඑස්යූ නායකයෝ විරෝධතා ව්‍යාපාරය නතර කලහ.
ඊයේ, ජනාධිපති සමග සාකච්ඡාවට ආරාධනා කර තිබුනේ ආන්ඩුවට හිතැති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට (ශ්‍රීලනිසේස) පමනි. මේ වසරේ මොන යම් හෝ වැටුප් වැඩිවීමක් ඔහු කෙලින්ම ප්‍රතික්ෂේප කලේය. රාජපක්ෂ දුන්නේ ලබන වසරේ වැටුප් වැඩිවීමක් ගැන අපැහැදිලි පොරොන්දුවක් පමනි.
එහෙත් එය කොපමනද හෝ කොයි කාලයේ ද යන වග සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය. මොන යම් හෝ වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක වන්නේ 2009 ජනවාරි සිට නොව 2009 නොවැම්බර් සිටය.
කම්කරු ඉල්ලීම්වලට නතු වීමේ අභිප්‍රායක් තමන්ට නැති බව ආන්ඩුව දැනටමත් පැහැදිලි කර ඇත. සිය දැවැන්ත ආරක්ෂක වියදම් මගින් නිර්මිත හා අපනයනවලට දරුනු ලෙස බලපා ඇති ගෝලීය ආර්ථික පසුබැස්ම මගින් තව දුරටත් සංකීර්න කෙරුනු ගැඹුරු වන ආර්ථික අර්බුදයකට එය මුහුන දී සිටී.
ගෙවුම් ශේෂ හිගයකට මුහුන දුන් තතු තුල, රටේ මූල්‍ය තත්වය ඉහල දමා ගනු වස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6ක නයක් ලබාගැනීමට රාජපක්ෂට බලකෙරුනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය ලැබුනේ, වසර දෙකකින් අයවැය හිගය සියයට 40කින් පමන අඩු කිරීමක් ඇතුලු තදබල කොන්දේසි සමගය. මෙම ඉලක්කය ජයගනු වස් අත්‍යවශ්‍ය සමාජ සේවාවන් සහ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් හා කොන්දේසි දරුනු ලෙස කප්පාදු කිරීමට ආන්ඩුවට සිදු වනු ඇත. නය මුදල් අනුමත වීමට පවා පෙර, රාජපක්ෂ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම් හා නව බඳවාගැනීම් අත්හිටුවීමක් පනවා තිබුනි. අතිකාල වැඩ හා අමතර දීමනා කප්පාදු කිරීම ඇතුලු වියදම් කැපීමේ සෙසු පියවර ද ක්‍රියාවට දමා ඇත.
ඛනිජ තෙල් කම්කරුවන් ඉලක්ක කරගැනීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය කොන්දේසි තුල විශේෂයෙන් ම කල්තියා පෙන්නුම් කර තිබුනි. '2011 අවසාන වන විට ලංකා විදුලි බල මන්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු නොලබන ආයතන බවට ' පත්විය යුතු යයි එහි සඳහන් වේ. පාඩු අවසන් කිරීම යන්නෙන් අදහස් වනු ඇත්තේ වැටුප් ඉල්ලීම් මැඩීම පමනක් නොවේ. ඉන්ධන හා විදුලි බල මිල ගනන් ඉහල දැමීම ද එයට ඇතුලත් වේ.
පසුගිය වසරේ සියයට 30ට ලගා වූ උද්ධමනයේ දැඩි පහරට ලක්ව ඇති සෙසු රාජ්‍ය අංශයේ සේවකයෝ ද වැටුප් වැඩිවීම් ඉල්ලා මේ මාසයේ උද්ඝෝෂනවල නිරත වී තිබේ. කොලඹ වරාය අධිකාරියේ කම්කරුවෝ, ගුරුවරු හා දුම්රිය කම්කරුවෝ මෙයට ඇතුලත් වේ.
යුද ප්‍රයත්නය සඳහා 'කැපකරන ' ලෙස ආන්ඩුව හා සිය වෘත්තීය සමිති ඔවුන්ගෙන් ඉල්ලා තිබූ තතු තුල, යුද්ධය අවසන් වීම සිය ජීවන මට්ටම්වල තව දුර පරිහානියකට පමනක් තුඩු දී තිබීම සම්බන්ධයෙන් කම්කරුවෝ වඩවඩා කෝපාවිෂ්ටව සිටිති.
වැඩෙන කාර්මික අසහනයකට මුහුන දෙන තතු තුල, ආන්ඩුව, සිය වර්ගවාදී යුද්ධය ගෙනයාමට යොදා ගත් පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනයම වැඩ කරන ජනතාවට එරෙහිව යොදාගැනීමට සූදානම් වේ. අද අයිලන්ඩ් පුවත්පතේ වාර්තා වූ පරිදි, රාජපක්ෂ ඊයේ තමන්ට පක්ෂපාතී සමිති ක්‍රියාකාරීන්ට කියා සිටියේ, 'කඩාකප්පල්කාරී වෘත්තීය සමිති ක්‍රියාවට සම්බන්ධිත අය පිටුපස රට අස්ථාවර කිරීමට අධිෂ්ඨාන කරගත් ජාත්‍යන්තර කුමන්ත්‍රනකරුවන් සිටිය හැකි ' බවයි.
ජනාධිපති මෙම රැස්වීම විශේෂයෙන් ම කැඳවා තිබුනේ 'ඛනිජ තෙල්, ජල හා විදුල බලය ඇතුලු අංශ ගනනාවක දැන් ගැටලු ඇති කරමින් ජවිපෙ හා එජාප (එක්සත් ජාතික පක්ෂය) සමිති විසින් මතු කෙරෙන තර්ජනවලට මුහුන දීමේ ක්‍රම හා විධි සාකච්ඡා කරනු පිනිසය '.
'කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ කඩතුරාව යටතේ සැගවුනු න්‍යාය පත්‍ර තොරොම්බල් ' කරන 'දුෂ්ට කොටස්වලට ' මහජනතාව රැවටිය යුතු නැතැයි ඔහු ප්‍රකාශ කලේය.
රාජපක්ෂගේ ප්‍රකාශ මගින් පැහැදිලි කෙරෙන්නේ, කම්කරුවන් විසින් සිය රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි සම්බන්ධයෙන් ගෙන යන මොන යම් හෝ අරගලයක් ආන්ඩුවට එරෙහි දේශපාලන සටනක් ඉල්ලා සිටින බවයි. රාජපක්ෂ දැන් යොදා ගන්නේ, යුද්ධය පැවති කාලයේ දී යොදාගත් භාෂාවම ය. එනම්, වර්ජකයන් හා විරෝධතාකරුවන් ජාතිය පාවාදෙන්නන් ලෙස හෙලාදැකීමයි. හිතුමතේට අත්අඩංගුවට ගැනීම් හා මාධ්‍ය වාරනය මෙන් ම මැර ක්‍රියා හා ඝාතන ඇතුලු එම දරුනු විධික්‍රම ම ආන්ඩුව යොදා ගනු ඇත.
සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ 2005 දී රාජපක්ෂගේ මැතිවරන ජයග්‍රහනයට සහයෝගය දුන් අතර ඔහුගේ යලි ඇරඹූ වර්ගවාදී යුද්ධයට පූර්න පිටුබලය සැපයීය.
ඉහල මිලිටරි වියදම් නිසා වැටුප් වැඩිවීම් සඳහා මුදල් නැති බව රාජපක්ෂ පැවසූ කල ජවිපෙ සමිති නායකයෝ නැවතනැවතත් එයට යටත් වූහ.
සීපීසීසීඑස්යූ ලේකම් ඩී.ජේ. රාජකරුනා පසුගිය සතියේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසීය: 'අපි යුද්ධයට සහයෝගය දුන් නිසා අපි ආන්ඩුවට අවස්ථාවක් දුන්නා. කොහොම වුනත්, දැන් යුද්ධය ඉවරයි, කම්කරුවන්ට ඔවුන්ගේ වැටුප් වැඩිවීම් ඕන. ' කෙසේවෙතත්, ජවිපෙ හා එහි සමිති රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් නම් නොකරනු ඇත. අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නතර කිරීමට සීපීසීසීඑස්යූ ගත් තීන්දුව, ආන්ඩුවට බෙහෙවින් අවශ්‍යව තිබූ හුස්මක් කටක් ගැනීමේ ඉඩකඩ දැනටමත්සපයා ඇත. ඊයේ සිය සමිතිය හමුවීම රාජපක්ෂ ප්‍රතික්ෂේප කිරීම තිබිය දී ම, ජවිපෙ තවමත් ජනාධිපති සමග සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුව දරාගෙන සිටී.
එමෙන්ම, පෙර විරෝධතා ව්‍යාපාරය නතර කර ඇති, සීපීසීසීඑස්යූ, ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම), ජල සම්පාදන මන්ඩලයේ හා වරාය අධිකාරියේ සමිති සමග ඒකාබද්ධ කාර්මික ක්‍රියාවකට යන බවට තර්ජනය කරයි. ජවිපෙ නායකත්වය යටතේ පවතින ලංවිම සමිති එකමුතුව හෙට දිවා කෑම විවේකයේ දී තවත් විරෝධතා දැක්මක් නිවේදනය කර තිබේ. එය වනාහි සිය සාමාජිකයන් අතර පවත්නා සටන්කාමිත්වය වාෂ්ප කර දැමීමේ එල්ලයෙන් යුක්තව මෑත මාසවල පැවැත්වූ බොහෝ විරෝධතාවන්ට සමාන තවත් එකක් වනු ඇත.
කෙසේවෙතත්, රාජපක්ෂ, කිසිදු සහනයක් දීමට නොනැමෙනු ඇත. අවශ්‍යව ඇත්තේ, ආන්ඩුවට හා එය ආරක්ෂා කරන ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන උද්ඝෝෂනයකි. කම්කරු පන්තියට එරෙහි සැබෑ කුමන්ත්‍රනය වන්නේ, ඔවුන් වගකිව යුතු නොවන අර්බුදයක බර කම්කරුවන් මත හෙලනු පිනිස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය හා එක්ව ආන්ඩුව විසින් ගෙනයනු ලබන කුමන්ත්‍රනයයි.
[මෙය 2009 ඔක්තෝබර් 27 වැනි දින Sri Lanka: Petroleum unions call off work-to-rule bans යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
