ඉන්දියානු ආන්ඩුව මාඕවාදී කැරලිකරුවන්ට එරෙහිව දැවැන්ත මිලිටරි ප්‍රහාරයක්‌ දියත්‌ කිරීමට යයි

ඉන්දීය කොංග්‍රස් පක්ෂය නායකත්වය දෙන එක්සත් ප්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුව මාඕවාදී ගරිල්ලන්ට එරෙහිව පෙර නුවූ විරූ ලෙස විශාල හා ප්‍රාන්ත කිහිපයක් අලලාගත් මහා පරිමානයේ ප්‍රහාරයක් දියත් කිරීමට යන බව නිවේදනය කර ඇත. ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත මෙම ප්‍රහාරය ඉන්දියාව තුල පොදුවේ නැක්සලයිට්වරුන් ලෙස හඳුන්වන මාඕවාදී කැරලිකරුවන්ට එරෙහිව ප්‍රථම වතාවට ඉන්දීය ගුවන් හමුදා (අයිඒඑෆ්) ඒකක මුදාහැරීම ඇතුලත් කරගනී.

මාධ්‍ය වාර්තාවන්ට අනුව දේශසීමා ආරක්ෂක හමුදාව (බීඑස්එෆ්), ඉන්දු-ටිබෙට් දේශසීමා පොලීසිය (අයිටීබීපී) සහ මධ්‍යම සංචිත පොලිස් හමුදාවේ (සීආර්පීඑෆ්) ප්‍රභූ කෝබ්‍රා ඒකකයේ භටයන් ඇතුලු 100,000කට අධික මධ්‍යම පැරාමිලිටරි භට කන්ඩායම් මෙයට සහභාගි වෙති. ඉන්දීය හමුදාවේ රාෂ්ටී්‍රය රයිෆල්ස් ඒකකයේ සහ ඉන්දීය ගුවන් හමුදාවේ සහයෝගය ඔවුන්ට ලැබෙනු ඇත.

ප්‍රහාරයට සූදානම් වෙමින් ස්වදේශ ඇමති පලනියප්පන් චිදම්බරම් සහ අනෙකුත් මධ්‍යම ආන්ඩු නිලධාරීහු ප්‍රාන්ත ආන්ඩු නිලධාරීන් සමග විස්තෘත උපදේශක සාකච්ඡා පවත්වා ඇත.

මාඕවාද-විරෝධී ප්‍රහාරයට සූදානම්වීම් විමර්ශනය කිරීමට සැප්තැම්බරයේ අගභාගයේ චිදම්බරම් මධ්‍යම ඉන්දියානු අසල්වාසී චැටිස්ගර් සහ ජර්කන්ඩ් ප්‍රාන්තවලට සංචාරය කලේ ය. ඉන්දියාවේ වඩාත් ආර්ථික වසයෙන් පසුගාමී සහ නො සලකා හරින ලද ප්‍රාන්ත අතරට අයත් වන මෙම ප්‍රාන්ත නැක්සලයිට් කැරලිකාරීත්වයේ මධ්‍යස්ථානය වෙයි.

හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) පාලනය කරන චැටිස්ගා ප්‍රාන්ත ආන්ඩුව මාඕවාදීන්ට එරෙහිව සටන් කිරීම ගැන ප්‍රශංසා කල චිදම්බරම් “වාමාංශික අන්තවාදීන් මුලුමනින් ම අතුගා දැමීමට” ප්‍රාන්ත දෙකට මධ්‍යම ආන්ඩුවෙන් “දියහැකි සියලු උපකාර ලබාදෙන” බවට පොරොන්දු විය. මාධ්‍ය වාර්තාවන්ට අනුව චැටිස්ගර් සහ ජර්කන්ඩ්හි නැක්සලයිට්-විරෝධී ප්‍රහාරයට ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල අලුතෙන් මෙහෙයුම්වල යොදවා ඇති 20,000ක් ද ඇතුලුව භටයන් 55,000කට වැඩි පිරිසක් සහභාගි වනු ඇත.

පසුගිය මැයි මාසයේ යලි බලයට පත් යූපීඒ ආන්ඩුව නැක්සලයිට් කැරලිකාරීත්වය මැඩීම තම ඉහල ප්‍රමුඛතාවන්ගෙන් එකක් බව ප්‍රකාශ කලේ ය. නව පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ දී කල ජනාධිපති කතාවේ දී “වාමාංශික අන්තවාදයට” එරෙහිව සටන් කිරීම සඳහා ආන්ඩුව “දැඩි පියවර” ගන්නා බව සපථ කලේ ය. නව දිල්ලිය මුහුන දෙන “විශාලතම අභ්‍යන්තර ආරක්ෂක තර්ජනය” මාඕවාදී කැරලිකාරීත්වය බව අගමැති මන්මෝහන් සිං මත් යලි යලිත් ගුනාංගීකරනය කොට ඇති අතර කැරලිකාරීත්වය මැඩීම ආන්ඩුවේ ආර්ථික සංවර්ධන ඉලක්කයන් කරා ලඟාවීම සඳහා වැදගත්වන බවට ද ඔහු තර්ක කරයි. පසුගිය මාසයේ පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමක කතාකල සිං නැක්සලයිට් වරුන්ගේ කැරලිකාරීත්වය තීව්‍ර වී පුලුල්ව ගොස් ඇති බව දක්වමින් ආන්ඩුව නැක්සලයිට් වරුන්ට එරෙහි සටනෙන් පරාජය වෙමින් සිටී ය යනුවෙන් කනස්සල්ල පල කලේ ය.

චිදම්බරම්ට අනුව මාඕවාදී කැරලිකරුවෝ රටෙහි ප්‍රාන්ත 20ක සහ පරිපාලන දිස්ත්‍රික්ක අතුරින් තුනෙන් එකකට වැඩි ගනනක ක්‍රියාකාරී වෙති. “දිස්ත්‍රික්ක 223ක පොලිස් ස්ථාන ප්‍රදේශ 2,000ක්... පාර්ශ්වීයව හෝ සැලකිය යුතු ලෙස නැක්සලයිට් ක්‍රියාකාරීත්වයේ බලපෑමට ලක්ව තිබේ,” යයි ස්වදේශ ඇමතිවරයා කීවේ ය.

ඉන්දියානු ප්‍රභූවේ විශේෂ කනස්සල්ලට හේතු වී ඇත්තේ ඊනියා “රතු කොරිඩෝවක්” හෙවත් උතුරින් ඉන්දු-නේපාල දේශසීමාවේ සිට දකුනු ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ උතුරු දිස්ත්‍රික්ක දක්වා විහිදෙන කැරලිකාරී ක්‍රියාකාරීත්වය යාබද විශාල ප්‍රදේශයකඉස්මතු වීම යි. මෙම ප්‍රදේශවලින් වැඩි ප්‍රමානයක ජීවත්වන්නේ ඉන්දියානු රාජ්‍යය විසින් සාම්ප්‍රදායිකව උත්සුකතාවයන් නො තකා හැර අයිතීන් මඩින ලද ගෝත්‍රික කන්ඩායම් ය.

නැක්සලයිට්-විරෝධී ව්‍යාපාරයට ඉන්දීය ගුවන් හමුදාව යොදවා ගැනීමේ යෝජනාව මගින් ඉන්දියානු දේශපාලන හා මිලිටරි කව තුල සැලකිය යුතු විවාදයක් ජනනය කොට ඇත. සමහරුන් මෙය සටන් පුපුරායාමට හා විශාල සිවිල් අනතුරු කරා වේගයෙන් ධාවනය විය හැකි යයි කනස්සල්ල පලකර තිබේ.

අවිචාරවත් ගුවන් ප්‍රහාර මගින් ඇතිකරන ත්‍රස්තය සහ මරන ආන්ඩු-විරෝධී කැරලිකාරීත්වය පෝෂනය කරන “ඇෆ්ගන්” හෝ “ඉරාක” ආකාර තත්ත්වයක් ඇතිවීමේ විභවය පිලිබඳව මිලිටරි සංස්ථාපිතයේ සමහර සාමාජිකයින් අනතුරු අඟවනු ලැබ ඇත.

යූපීඒ ආන්ඩු ප්‍රකාශකයෝ මුල දී ප්‍රකාශ කලේ ගුවන් හමුදා යානා භාවිතා කරනු ලබන්නේ භටයන් ප්‍රවාහනය කිරීම, අනතුරු ලද්දවුන් ගලවාගැනීම සහ සෝදිසි කිරීම් වැනි කාර්ය සම්පාදන කටයුතු සඳහා පමනක් බවයි. එහෙත් ගුවන් හමුදාවේ ඉහල අධිපතීන් විරෝධය පලකල විට ගුවන් හමුදාවට “ස්වයංආරක්ෂාව” පතා නැක්සලයිට් ගරිල්ලන්ට වෙඩිතැබීමට අවසර දිය යුතු බවට ආන්ඩුව එකඟ විය.

“අපි කාරනය ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත්තෙමු” යි ඔක්තෝබර් 1 දා ගුවන් හමුදා ප්‍රධාන ආඥාපති පී. වී. නායික් පැවසීය. “ගුවන් හමුදාවේ යානා හෝ කාර්ය මන්ඩලය ප්‍රහාරයකට ලක්වන ඕනෑම අවස්ථාවක ස්වයං-ආරක්ෂාව පතා වෙඩි තැබීමට එයට අවසර දීම අත්‍යන්තයෙන් වැදගත් ය.” ගුවන් මාන්ඩලික උප ප්‍රධාන ගුවන් ආඥාපති පී. කේ. බාබෝරා ඔක්තෝබර් 14 දා ගුවන් හමුදාවට එහි ඉල්ලීම පිලිබඳව තවමත් නිල ප්‍රතිචාරයක් ලැබී නැතැයි පවසන අතරතුරේ පසුගිය සති අන්තයේ ආරක්ෂක ඇමති ඒ.

කේ. ඇන්තනී ඍජුව ප්‍රකාශ කලේ “නැක්සල්-විරෝධී මෙහෙයුම්වල දී” වෙඩි තැබීමට ගුවන් හමුදාවට අයිතිය ඇති බව යි.

ගුවන් හමුදාවේ භූමිකාව “කාර්ය සාධන කටයුතු මිස වෙන කිසිවක් නො වන බවට ආන්ඩුව අත්‍යන්තයෙන් ප්‍රවේසම් විය යුතු බව” දේශසීමා ආරක්ෂක හමුදාවේ හිටපු අධ්‍යක්ෂ-ජනරාල් මහේන්ද්‍ර කුමාවත් පසුගිය මාසයේ දී කල්කටාවේ ටෙලිග්‍රාෆ් පත්‍රයට කීවේ “එසේ වුවත් ගුවන් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම හැර වෙනත් විකල්පයක් නැති අන්තරාදායක අවස්ථාවන්වල දී ඔවුන්ව උගුලට හසුකර ගැනීමට නැක්සලයිට්වරුන්ට හොඳට ම හැකි ය. එය සිදුවීම ඇරඹුනු විට ජනතාවන්ට අතිරේක හානි සිදුවීමේ සහ ඔවුන් තවදුර අන්‍යකරනය වීමේ විශාල අන්තරායක් පවතී. දක්ෂ උපායඥයන් වන නැක්සලයිට්වරු සටනේ යෙදී සිට හිටි අඩියේ පැන යා හැකි ය. එවිට අහිංසක මිනිසුන් ඝාතනයට ලක්වනු ඇත. ඔබ අත ඇත්තේ අවුලකි. අෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ නියමුවා රහිත දුරස්ත පාලක ගුවන් ප්‍රහාර මගින් කරමින් සිටින්නේ කුමක්දැ යි බලන්න,” යයි කුමාවත් අනතුරු ඇඟවීය.

කුමාවත් තවදුරටත් කීවේ ආන්ඩුව “බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ජනයාට සංහාරය සහ කැලඹීම පමනක් ගෙන එනු ඇත්තා වූ පහරදීමේ පිලිවෙතක් සමගින් ඉදිරියට ගියහොත් එය තව තවත් හදවත් සහ මනස් මාඕවාදීන්ට හිමි කරදෙනු ඇත. එය අපගේ ගැටලු වැඩි කරනු මිස විසඳීමක් නො කරයි,” යනුවෙනි.

මාවෝවාදී කැරැල්ල ඉක්මනින් කුඩු කර දමා ඉන්දියානු රාජ්‍යයේ අධිකාරය රැක ගැනීම සම්බන්ධ කාරනාවේ දී ඇන්තනිගේ නිවේදනය මෙම උත්සුකතාවන්ට පයින් ගසා ඇත. නම් සඳහන් නො කල ආන්ඩුවේ නිලධාරියෙක් උපුටා දැක් වූ ද හින්දු පුවත් පත වාර්තා කලේ: “මෙම ක්‍රියාවලියේ දී අපි තව තවත් ගෝත්‍රික ජනයා මරා දැමුවහොත් ගැටලු තිබෙනු ඇත යි” සඳහන් කල ද ඔහු කියා සිටියේ “ඔබට බිත්තර නො බිඳ ඔම්ලට් එකක් සෑදිය නො හැකි බව” ය.

ඉදිරියේ එන ප්‍රහාරයට සූදානමක් ලෙස මධ්‍යම සහ බටහිර බෙංගාල ආරක්ෂක හමුදා පසුගිය ජුනි මාසයේ සිට ලාල්ගර් උපදිස්ත්‍රික්කයේ මාඕවාදීන්ගේ සහාය ලබන කැරලිකාරීත්වයකට එරෙහිව උද්ඝෝෂනයක් දියත් කොට තිබේ. “ලාල්ගර් අපගේ රසායනාගාරය යි,” යයි මධ්‍යම ස්වදේශ ලේකම් ජී.

කේ. පිල්ලෙයි විස්තර කලේ ය. “චැටිස්ගර් වැනි අනෙකුත් නැක්සල්-ගහන ප්‍රදේශවල අප කිරීමට යන්නේ කුමක්දැයි යන්න මගින් මෙය පිලිබිඹු කරනු ඇත.” බටහිර බෙංගාලයේ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි (එම්)) මගින් නායකත්වය දෙනු ලබන වාම පෙරමුනු ආන්ඩුවට නැක්සලයිට් තර්ජනය නො සලකා හරිමින් සිටින්නේ යයි යූපීඒ ආන්ඩුව සහ මාධ්‍ය මගින් ගෙනයන උද්ඝෝෂනයක් පෙරටු කොට පැමිනි ලාල්ගර් මෙහෙයුම එයට විශාල ජනප්‍රිය නීත්‍යානුකූලභාවයක් ලබාගැනීම සඳහා කැරලිවිරෝධී උද්ඝෝෂනයට පාර්ලිමේන්තුවේ ස්ටැලින්වාදී පක්ෂවල සහයෝගය ලබාගැනීමේ අරමුනින් ද යුක්ත ය. පුරෝකථනය කලහැකි ලෙස ම සීපීඅයි (එම්) සහ එහි එහි වාම ආධාරකරුවෝ එම රැල්ලට හසුව සිටිති.

පසුගිය ඉරිදා යූපීඒහි ජාතික පරිමාන මාඕවාද-විරෝධී ප්‍රහාරයට බටහිර බෙංගාල ආරක්ෂක හමුදා සම්බන්ධීකරනය කරගැනීමේ සැලසුම්වලට “අවසන් සන්නිවේදනය දීම” සඳහා බටහිර බෙංගාල මහඇමති සහ සීපීඅයි(එම්) හි දේශපාලන මන්ඩල සභික බුද්ධාඩෙබ් භට්ටාචාර්ජි, චිදම්බරම් සමග උදේ ආහාරයෙන් පසු හමුවක් පැවැත්වීය.ඉන්දියානු ධනේශ්වරය නැක්සලයිට් කැරලිකාරීත්වය දැකගන්නේ නැක්සලයිට්වරු දශක ගනනක් තිස්සේ ක්‍රියාකාරීව සිටින ඈත ප්‍රධාන වසයෙන් ගෝත්‍රික ප්‍රදේශවල ඛනිජ ද්‍රව්‍ය, වනාන්තර සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සූරාකෑමේ සැලැසුම්වලට එරෙහි දැරිය නො හැකි බාධාවක් ලෙස ය.

“මධ්‍යම හමුදා සමගින් අපි ලාල්ගර්වල ට ආරක්ෂාව යලි ගෙන එමු” යයි බටහිර බෙංගාලයේ වාමාංශික යයි කියා ගන්නා වානිජ හා කර්මාන්ත ඇමති නිරූපම් සෙන් ගුගුලේ ය. “ආයෝජකයින්ට ද අවශ්‍ය ආරක්ෂාව යි.” ලාල්ගර් වැටී ඇත්තේ සැල්බෝනිහි ටොන් මිලියන 10ක ජේඑස්ඩබ්ලිව් වානේ වැඩපොලට කිලෝමීටර 15ක් පමන දුරින් හා භූෂාන් ස්ටීල් සමාගම සහ ඉන්දියානු වීඩියෝකොන් අන්තර්ජාතික සංගතය විසින් කරගෙන යනු ලබන සුවිසල් ව්‍යාපෘතිවලින් කිලෝමීටර 100ක් ඇතුලත ප්‍රදේශයේ ය.

මාඕවාදී කැරලිකාරීත්වයේ වර්ධනය වීම ධනේශ්වර පාලනයට එරෙහි දුෂ්ට චෝදනා පත්‍රයකි. බොහෝ පුරසාරම් සහිත ඉන්දියාවේ “නැගීඒම” ධාවනය කරනු ලබන්නේ ග්‍රාමීය සහ නාගරික දිලින්දන් අතර ආර්ථීක අනාරක්ෂිතභාවය සහ දරිද්‍රතාව වැඩි දියුනු කොට ඇති - සංගතවලට බදු සහන, සමාජ වියදම් කප්පාදුව, රාජ්‍ය අරමුදල් කෘෂිකර්මාන්තයෙන් ආයෝජකයින් කැමති යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අපසරනය කිරීම සහ මිල සහන කප්පාදුව - මහා ව්‍යාපාරිකහිතවාදී පිලිවෙත් මගිනි.

ආන්ඩුවේ නො තකා හැරීමට දිගුකාලීනව ගොදුරු වූවන්, ගෝත්‍රික ජනයා සහ අනෙකුත් ග්‍රාමීය පීඩිතයින් දැන් මුහුන දී සිටින්නේ ඔවුන්ගේ සම්පත් බහුල ඉඩම් රාජ්‍යයේ සහාය ඇතිව විදේශීය සහ දේශීය ප්‍රාග්ධනය විසින් ඔවුන්ට අහිමි කිරීමේ සහ ඒවා ලාභ ශ්‍රමයට පරිවර්තනය කිරීමේ උත්සාහයන්ට ය.

එහෙත් මාඕවාදී කැරලිකාරීත්වය ව්‍යාප්ත වීම හුදෙක් කෲර ඉන්දියානු ධනපති ක්‍රමයේ නිෂ්පාදනයක් නො වේ. බලපෑමක් ඇතිකිරීමට සහ ඉන්දියාවේ ආන්තික ලෙස දිලිඳු ග්‍රාමීය පීඩිතයින්ගෙන් සහයෝගයක් දිනාගැනීමට මාඕවාදීන් සමත් වී ඇත්තේ ප්‍රධාන ධාරාවේ ස්ටැලින්වාදී පක්ෂ -එනම් සීපීඅයි (එම්) සහ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි)- විසින් කම්කරු පන්තිය දේශපාලනිකව පක්ෂාඝාත කරනු ලැබ තිබීම නිසා ය. මෙම පක්ෂ දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය සටන්කාමී වෘත්තීය සමිතිවාදයට හා පාර්ලිමේන්තු දේශපාලනයට සීමා කර ඇත. පසුගිය දශක දෙක පුරා ඔවුහු ඉන්දියානු ධනේශ්වරයේ නව ලිබරල් අපනයන-නීත වර්ධන මූලෝපාය ක්‍රියාවට දමන්නන් ලෙස ඉස්මතු වී ඇත්තා හ. 2004 මැයි මාසයේ සිට 2008 ජුනි මාසය දක්වා යූපීඒ ආන්ඩුව ද ඇතුලුව මහා ව්‍යාපාරික-හිතවාදී මධ්‍යම ආන්ඩුවලට සහයෝගය දී ඇති සීපීඅයි(එම්) සහ සීපීඅයි ඔවුන් බලයේ සිටින බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල ආයෝජක-හිතවාදී පිලිවෙත ක්‍රියාවට දමා ඇත.

ඉන්දියානු ධනවාදය විසින් නිෂ්පන්න කරනු ලැබ ඇති සමාජ අර්බුදයට සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වලක්වනු ලැබ ඇති තතු යටතේ ග්‍රාමීය දිලිඳු කොටස්වල සුජාත කෝපය ඉන්දියානු ආරක්ෂක හමුදා සමග කෙරෙන තනි තනි ගැටුම් සහ විවිධ සුලු සූරාකන්නන්ට එරෙහිව කරන දේශපාලනිකව විනාශකාරී ලේවැකි පලිගැනීමේ ක්‍රියාවන්ට කොටු කිරීමට මාඕවාදීන්ට හැකිව තිබේ.

මාඕවාදීන්ට එරෙහි මිලිටරි ප්‍රහාරය ඉන්දියානු ධනපති රාජ්‍යය ශක්තිමත් කිරීම සහ ගෝත්‍රික ජනයා හා අනෙකුත් පීඩිතයන්ට හිමි දෑ පැහැරගැනීම ඉලක්ක කර ගන්නා නිසා සමාජවාදීන් සහ කම්කරු පන්තිය එම ප්‍රහාරයට පැහැදිලිව ම විරුද්ධ විය යුතු අතර එය කිසිසේත් ම පරාගතවාදී ජාතිකවාදී මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයෙහි ස්ටැලින්වාදී දේශපාලනයට සහ අනෙකුත් නැක්සලයිට් කනඩායම්වලට අංශු මාත්‍ර සහයෝගයක් නො අඟවයි.

කම්කරු පන්තිය ප්‍රධාන ධාරාවේ ස්ටැලින්වාදී පක්ෂවල දේශපාලන ආනුභාවයට අතහැර, ඉන්දියාවේ ඈත ප්‍රදේශවල නාගරික සහ ග්‍රාමීය සුලුධනේශ්වරයෙන් පැවත එන ගරිල්ලා කේඩර විසින් නිරත වී ඇති “දිග්ගැස්සුනු ජනතා යුද්ධයේ” ප්‍රේක්ෂකයන්ගේ භූමිකාවට සීමා කිරීම මගින් නැක්සලයිට්වරු කම්කරු පන්තියේ දේශපාලන පක්ෂාඝාතභාවයට ඇද දැමීමට දායක වී ඇත්තා හ.

ඔවුන්ගේ සියලු “විප්ලවවාදී” පූච්චානම් තිබියේවා නැක්සලයිට්වරු ස්ටැලින් යටතේ සෝවියට් නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී දේශපාලනය ආරක්ෂා කරති. ඔවුන් ඔවුන්ගේ සම්භවය ලත් 1962 ට පෙර ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය මෙන් ම ඉන්දියානු මාඕවාදීහු ධනේශ්වර වර්ධනය කල්පසු වූ රටවල දී ජාතික විප්ලවය සම්පූර්න කිරීම සඳහා සමාජවාදීන් ධනේශ්වරයේ “ප්‍රගතිශීලී” කොටස් සමග සන්ධාන ගතවිය යුතු ය යන ප්‍රතිගාමී මෙන්ෂෙවික්-ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය ඉදිරියට දමති.

මේ අනුව මාඕවාදීන්ගේ “සන්නද්ධ අරගලය” සකලාකාර අවස්ථාවාදී සන්ධාන ගතවීම් සහ උපාමාරු සමග අතිනත ගෙන යයි. ඉතාම මෑත දී මාඕවාදීහු ප්‍රති-කොමියුනිස්ට්වාදී වාචාල මමතා බැනර්ජි විසින් නායකත්වය දෙනු ලබන බෙංගාල ප්‍රාදේශීයවාදී දක්ෂිනාංශක දේශපාලන පක්ෂයක් වන ත්‍රිනමූල් කොංග්‍රසය (ටීඑම්සී) සමග සමීපව වැඩ කර ඇත.4 බටහිර බෙංගාල ආන්ඩුව නන්දිග්‍රාම් සහ සිංගූර්වල කරගෙන යනු ලබන ආයෝජක-හිතවාදී ඉඩම් අත්පත් කරගැනීමේ වැඩපිලිවෙලට එරෙහි ව්‍යාපාරයේ නායකත්වයට පත්වීමට ටීඑම්සීය වංචාකාරීව උත්සාහ කලවිට නැක්සලයිට්වරු එය පීඩිත ගොවියන්ගේ ආරක්ෂයෙක් යයි උත්කර්ෂයට නැංවූහ. එමෙන් ම ඔවුන්ගේ ලාල්ගර් සන්නද්ධ නැගිටීම ප්‍රාන්තයේ නීතිය සහ සාමය බිඳවැටී ඇති නිසා බටහිර බෙංගාල වාම පෙරමුනු ආන්ඩුව පහකර දමන ලෙස ටීඑම්සීය මධ්‍යම ආන්ඩුවට පීඩනය යෙදීමේ උද්ඝෝෂනයක් සමග සම්පාත වී තිබේ.

[මෙය 2009 ඔක්තෝබර් 17 වැනි දින Indian government to launch major military offensive against Maoist insurgents යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading