හලීල් සෙලික් - සමාජවාදී සටන්කරුවෙක් (1961-2018)

මෙම ලිපිය 2019 පෙබරවාරි 1 වනදා ඉංග්‍රීසි භාෂාවෙන් පලව.

සෝස්යලිස්ට් එසිට්ලික් කන්ඩායමේ ආරම්භකයා හා නායකයා වූ හලීල් සෙලික් ඉස්තාන්බුල්හිදී 2018 දෙසැම්බර් 31 වන දින පිලිකා රෝගයෙන් අභාවප්‍රාප්ත විය. මිය යන විට 57 වන වියේ පසුවූ ඔහු වසර හතලිහකට වැඩි කාලයක් පුරා සමාජවාදය සඳහා අරගලයට සිය ජීවිතය කැප කල අතර, ඉන් අවසාන දශක දෙකහමාර ඔහු කැප කලේ තුර්කිය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශාඛාවක් ගොඩනැඟීමේ අරගලය සඳහාය.

හලීල් ට්‍රොට්ස්කිවාදය හා හජාජාක වෙත පැමිනියේ දේශපාලන ප්‍රවනතා ගනනාවක් විචාරාත්මකව විමර්ශනය කිරීමෙන් හා මූලික දේශපාලන ප්‍රයුක්තීන් පැහැදිලි කර ගැනීමෙන් අනතුරුවය. මේ සඳහා අවශ්‍ය වූ දේශපාලන අචලබව, පෞද්ගලික ධෛර්යය හා විපුල ශක්තිය ද යන ගුනාංග නොඅඩුව ඔහු සතු විය. ව්‍යාජ වාම සංවිධානවල ප්‍රතිපත්ති විරහිත, ජාතිකවාදී හා අවස්ථාවාදී පිලිවෙත් සමඟ කටයුතු කිරීමෙන් ලැබූ දීර්ඝකාලීන කර්කශ අත්දැකීම් මත පදනම් වෙමින්, තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම කල හැක්කේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත පමනක් බවත්, ඒ සඳහා 20 වන සියවස මුලුල්ලේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ලැබූ මූලෝපායාත්මක අත්දැකීම් පිලිබඳ පරිපූර්න අවබෝධයක් අවශ්‍ය කෙරෙන බවත් හලීල් වටහා ගත්තේය. හජාජාක ලේඛන හා එහි ඉතිහාසය මඟින් මේ දෙකම ඔහුට ලැබින.

මුල් කාලයේ දේශපාලන අත්දැකීම්

හලීල් සෙලික් 1961 නොවැම්බර් 23 වන දින ඉස්තාන්බුල්හිදී උපත ලැබීය. ඔහුගේ පියා නැවියෙකු වූ අතර මව ගෘහනියක වූවාය. 16 හැවිරිදි ශිෂ්‍යයෙකු ලෙස ඔහු ඇල්බේනියාවට පක්ෂපාතී ස්ටැලින්වාදී පක්ෂයේ තරුන සංවිධානයට බැඳුනේය. වසරක ඇවෑමෙන් 1978 දී ඔහු පක්ෂයේ ඉල්ලීම මත, කම්හල් ගනනාවක හා කම්කරු පන්ති නිවස්න ප්‍රදේශවල පූර්නකාලීන සංවිධායකයෙකු හා ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා සිය පාසලෙන් හා පවුලෙන් වෙන්ව ගියේය.

ඒ වූ කලී බොහෝ තුර්කි ජාතික තරුනයන් වඩවඩාත් සටන්කාමී වූ කාල පරිච්ඡේදයක් විය. කම්හල් වාඩි ලා ගැනීම්, ශිෂ්‍ය විරෝධතා, දුගී ගොවියන් ඉඩම් අල්ලා ගැනීම් හා එක්සත් ජනපදයට එරෙහි ප්‍රචන්ඩ විරෝධතා රාශියක් පැවතිනි. 1971 මාර්තුවේදී, වොෂින්ටනය සමඟ සහයෝගීව තුර්කි හමුදාවේ මැදිහත් වීමෙන්, සුලෙයිමාන් දෙමිරෙල්ගේ සිවිල් රජයට ඉල්ලා අස්වීමට බල කෙරුනු අතර හමුදාව බලය අල්ලා ගනිමින් දෙවසරක් පුරා එය සිය‘තෙහි තබා ගත්තේය.

කුමන්ත්‍රනය පසුපසින් පැමිනියේ දේශපාලන පක්ෂ තහනම් කිරීම්, අත්අඩංගුවට ගැනීම් හා ඝාතන වලින් සමන්විත වූ ලේ වැකි මර්දනයේ රැල්ලකි. එහෙත් තත්වය පාලනය කිරීමට හමුදාව අසමත් විය. අවසානයේ 1980 සැප්තැම්බරයේදී හමුදාව යලිත් බලග්‍රහනයක් සංවිධානය කොට ජනරාල් එව්රෙන් යටතේ කුරිරු ඒකාධිපතිත්වයක් තහවුරු කරන තුරු, 1970 ගනන් මුලුමනින්ම සනිටුහන් කෙරුනේ ප්‍රචන්ඩ පන්ති අරගල, අස්ථාවර ආන්ඩු සහ මර්දනයේ අනවරතව අලුතින් පැන නැඟුනු රල වේගයන් ද යන මේවායිනි.

මේ කාල පරිච්ඡේදය තුල වාමාංශික රැඩිකල් සංවිධාන වර්ධනය වෙමින් පැවතිනි. 1967 දී රජයට පක්ෂපාතී තුර්ක්-ඉස් වෘත්තීය සමිති සම්මේලනයට වාමාංශික විකල්පයක් ලෙස පිහිටුවා ගෙන තුබූ තුර්කි ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයේ (DISK) සාමාජික සංඛ්‍යාව 300,000 දක්වා වර්ධනය වූ අතර, රජය හා ෆැසිස්ට්වාදී දක්ෂිනාංශයේ නිර්දය මර්දනයට එය මුහුන දුන්නේය. එක් මූලාශ්‍රයකට අනුව, 1978 දී, තමන් සමාජවාදීන් ලෙස හඳුන්වා ගත් විවිධ කන්ඩායම්, පක්ෂ හා ධාරාවන් යටතේ පැවැති බහුජන සංවිධානවලට අයත් කම්කරුවෝ හා ශිෂ්‍යයෝ දශ ලක්ෂයක් පමන වූහ.

මේ සංවිධානවලින් බොහොමයක් ජාතිකවාදී හා ස්ටැලින්වාදී සංකල්ප වලින් පෝෂනයවූ ඒවා ය. ඇතැම් සංවිධාන මාඕ සේතුංගේ හෝ චේ ගුවේරාගේ උගැන්වීම් මඟින් මඟ පෙන්වනු ලැබූ ඒවා ය. ඇතැම් ඒවා සන්නද්ධ අරගලයට පක්ෂපාත විය. කොයිහැටි වෙතත්, ස්ටැලින්වාදයට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි හා හතරවැනි ජාත්‍යන්තරය විසින් ආරක්ෂා කරනු ලැබූ විප්ලවවාදී මාක්ස්වාදය පිලිබඳව කිසිවක් හෝ තුර්කිය තුල කිසිවෙක් නොදැන සිටි තරම්ය. ට්‍රොට්ස්කිගේ ලේඛනවල තුර්කි භාෂා පරිවර්තනයන් නොපැවතීම පමනක් නොව, එවකට ජාත්‍යන්තරව වඩාත්ම ප්‍රකට “ට්‍රොට්ස්කිවාදී” ප්‍රවනතාව ලෙස පැවැති අර්නස්ට් මැන්ඩෙල්ගේ පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ මාඕ සේතුං හා චේ ගුවේරා උත්කර්ෂයට නැංවීමේ පිලිවෙත් ද ඊට හේතු විය.

ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩ පිලිවෙලක පදනම මත කම්කරු පන්තිය ක්‍රමානුකූලව බලමුලු ගැන්වීම වෙනුවට ජාතිකවාදය හා කුඩා කන්ඩායම්වල සටන්කාමී කටයුතු මත රඳා පැවැතීමේ පිලිවෙත්වල බංකොලොත්කම, වැඩෙමින් පැවැති මර්දනය හා හමුදා කුමන්ත්‍රනය විසින් හෙලිදරව් කෙරින. රාජ්‍ය මර්දනය තීව්‍ර කරමින් වාමාංශික සංවිධාන රාශියක් තලා කුඩුපට්ටම් කර දැමීය.

1978 දී ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා හලීල් ද අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහුට වසර එක හමාරක් හමුදා සිර කඳවුරක ගත කිරීමට සිදුවිය. එහිදී ඔහුට අඩන්තේට්ටම්වලට මුහුන පෑමට සිදු වී තිබින. සිපිරි ගෙයිහිදී ඔහු ස්ටැලින්වාදී දේශපාලනයෙන් ඈත් වීමට පටන් ගත් නමුදු, සංවිධානයෙන් විවෘතවම බිඳී වෙන්වීමට ඔහු අදහස් නොකලේ, මර්දනයේ තතු යටතේ එසේ කිරීම ද්‍රෝහීකමකැයි ඔහුට හැඟී ගිය නිසාය.

1980 හමුදා කුමන්ත්‍රනයෙන් පසුව ඔහු ස්ටැලින්වාදීන්ගේ නීතිවිරෝධී මුද්‍රනාලයක වැඩ කලේය. වැඩි කල් නොයාම, හමුදා තන්ත්‍රයට එරෙහිව පත්‍රිකා බෙදීමේ දී අසු වූ ඔහු යලිත් සිරභාරයට ගනු ලැබීය. ඔහු කිසිවක් හෙලි නොකල හෙයින් 1981 ගිම්හානයෙන් පසු මුදා හරින ලදී. ස්ටැලින්වාදී නායකයන්ගෙන් වැඩි දෙනා සිරභාරයේදී අන්‍යයන් පාවාදුන් බව නීතිඥයෙකුගෙන් දැන ගත් කල, අවසානයේ ඔහු ස්ටැලින්වාදයෙන් බිඳී වෙන් වූයේය.

දශක තුනක ඇවෑමෙන් තම දේශපාලන ජීවිතයේ මෙම අදියර පිලිබඳව ඔහු ලියූවේ, “මම තනිව ගමන් කිරීමට ඉටා ගතිමි”, යනුවෙනි.

ඉනික්බිතිව එලඹුනු වර්ෂ තුලදී හලීල් සිය වෘත්තීය පුහුනුව සම්පූර්න කලේය. යලියලිත් අත්අඩංගුවට පත්වීම නිසා සිදු වූ බාධාවන් තිබියදීම සරසවි ප්‍රවේශ විභාගයෙන් සමත් වූ ඔහු ඉස්තාන්බුල් සරසවියේ සමාජ විද්‍යාව හදාරා 1985 දී සිය උපාධිය ලැබීය. කෙසේවෙතත් කොමියුනිස්ට් ක්‍රියාධරයන්ට පැනවූ වෘත්තීය තහනමක් හේතුවෙන් ඔහුට ගුරු වෘත්තියේ නියැලීමට අවකාශයක් නොවූ අතර, ඔහු දිගටම ඉගෙනීමේ යෙදෙමින් 1987 දී සිය පශ්චාත් (ශාස්ත්‍රපති) උපාධිය ලබාගත්තේය. ජීවිකාව සඳහා ඔහු පින්තාරුකරුවෙකු, පෝටර්වරයෙකු, සෝදුපත් බලන්නෙකු හා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කලේය.

ඔහු ස්ටැලින්වාදයෙන් ඉවතට හැරුනු කාලයේදී ම මෙන් - එනම් ඔහු විසිවන වියේ සිටියදී - හලීල්ට ට්‍රොට්ස්කිගේ ලේඛන කියවීමට ලැබුනි. 2013 දී ජාත්‍යන්තර කමිටුවට ලියූ දේශපාලන යෝග්‍යතා ලේඛනයක ඔහු මෙසේ සඳහන් කලේය: “ලියොන් ට්‍රොට්ස්කි ජර්මානු ෆැසිස්ට්වාදය ගැන ලියා තිබූ පොත - එනම්, ‘ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය’ - 1970 ගනන්වලදී පරිවර්තනය කරනු ලැබ ප්‍රකාශයට පත් ව පැවැති අතර මට එය කියැවීමට ලැබුනේ මේ කාලයේය. මෙය මා විසින් එවකට කියවා හෝ දැක තුබූ ට්‍රොට්ස්කිගේ එකම පොතයි. එම පොත ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදය පිලිබඳව මගේ පැවැති පූර්ව විනිශ්චයන්ට එරෙහි බලගතු පහරක් විය. මාක්ස්, එංගල්ස් හා ලෙනින් යලි කියවන්නට වූ මම, මාක්ස්වාදයේ සතුරා ස්ටැලින් බව හඳුනාගතිමි.”

ට්‍රොට්ස්කිවාදය කරා දීර්ඝ මාවත

ට්‍රොට්ස්කිවාදය කරා මාවත දීර්ඝ හා අසීරු එකක් බව පෙනී ගියේය. හලීල් සහ මේ කාල පරිච්ඡේදය පුරා ඔහු හා සමීපව වැඩ කරමින් සිටි සහෝදරවරු, දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති සමයේ තුර්කියේ මෙන්ම ජාත්‍යන්තරව ද ක්‍රියාත්මක වූ, හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගික මූලධර්මවලින් බිඳී ගොස් ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, වෘත්තීය සමිති නිලධරයට හා ජාතික ව්‍යාපාරවලට අනුගතවීමේ අභිලාශයෙන් එම මූලධර්ම ව්‍යාජනය කිරීමට යත්න දැරූ - පැබ්ලෝවාදී, ලැම්බර්ට්වාදී, මොරෙනෝවාදී ආදී වශයෙන් වූ - දේශපාලන ප්‍රවනතා සියල්ලම පාහේ දැන හඳුනා ගත්හ. ඔහු විවිධාකාර පත්‍රකලාරූපී හා දේශපාලන ව්‍යාපෘතිවලදී ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කල නමුදු, ඒ සියල්ල විසින් කිසිදු මාවතක් හෙලිපෙහෙලි නොවීය.

1980 ගනන්වලදී ද, විශේෂයෙන්ම 1990 ගනන්වලදී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව ද, මෙම ප්‍රවනතා දිගටම දකුනට මාරුවෙමින්, අවසානයේ මුලුමනින්ම ධනේශ්වර පාලනයේ ව්‍යූහය තුලට වැදී ගත් අතර, හලීල් හා ඔහුගේ සමීපතම සහෝදරවරු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට මාරු වී ගියහ. ඔවුහු කම්කරු පන්තිය කරා දිශානුයෝජනයක් හා සැබෑ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් සොයමින් සිටියෝය.

මෙම සෙවුම විසින් අවසානයේ ඔවුහු හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කරා ගෙන එනු ලැබූහ. හජාජාකයේ ඉදිරි දර්ශන හා ඉතිහාසය පිලිබඳ ගැඹුරු අධ්‍යයනයකින් ඉක්බිති හතරවැනි ජාත්‍යන්තරයේ අඛන්ඩතාව මූර්තිමත් කරන්නේ එයම පමනක් බවට ඒත්තු ගත් හලීල්, ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් තුර්කිය තුල ගොඩනැඟීමට තම අවසන් වසරවල තමා තුල වූ මුලු ශක්තියම කැප කලේය.

ස්ටැලින්වාදයෙන් බිඳී යාමෙන් ඉක්බිති හලීල් තමන්ගේ ඉහත අත්දැකීම් සමඟ ගනුදෙනු කිරීමේ ප්‍රයත්නයක යෙදෙමින් කම්කරුවන් හා තරුන තරුනියන් සමඟ නව සබඳතා ගොඩ නඟා ගත්තේය. ඔහු තරුන කම්කරුවන් සඳහා අධ්‍යාපනික කව සංවිධානය කල අතර, සරසවි තුල ප්‍රචාරක කටයුතු සිදු කලේය. තමන් ට්‍රොට්ස්කිවාදීන් ලෙස හඳුන්වා දුන් ප්‍රවනතා සමඟ සහයෝගයෙන් ප්‍රකාශන බිහි කිරීමට හා සංවිධාන ගොඩ නැඟීමට ඔහු අවස්ථා ගනනාවක දීම උත්සාහ කල නමුත් එකී ආරම්භකත්වයන් සියල්ල ආවෘත අන්තයන්ගෙන් කෙලවර විය.

ඇතැම් කාල පරිච්ඡේදවල දී ඔහු වෘත්තීය සමිති සමඟ කටයුතු කලේය. 1983 දී ඔහු, හමුදා ආඥාදායකත්වය විසින් තහනම් කරනු ලැබ, DISK සාමාජිකයන් විසින් ප්‍රති-සංවිධානය කරන ලද ඔටෝමොබිල්-අයිඑස් ස්වාධීන වෘත්තීය සමිතිය තුල ක්‍රියාකාරී විය. 1992 දී ඔහු තහනමින් පසු එහි කටයුතු යලි ආරම්භ කර තුබූ DISKහි පුහුනු කිරීම් හා මුද්‍රන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කලේය. කෙසේ වෙතත්, ඔහු විසින් ලියන ලද ලිපි, පත්‍රිකා හා “වාම විපාර්ශ්වයේ වේදිකාව” නම් ලේඛනය නිසා ඔහු ඉක්මනින්ම නෙරපා හරිනු ලදුව, විශේෂයෙන් බලය පවරනු ලැබූ අධිචෝදකයෙකු විසින් ඔහුට නඩු පවරන ලදී.

1987 දී හලීල්ගේ කන්ඩායම “ස්වාධීන” සමාජවාදී අපේක්ෂකයෙකු සඳහා ඒකාබද්ධ මැතිවරන උද්ඝෝෂනයකට සහභාගී විය. 1988 දී එය Isci Sözü (කම්කරුවන්ගේ ලෝකය) හා (PGBS - අධිපතීන්, ජනරාල්වරුන් හා නිලධාරීන්ගෙන් තොර සමාජවාදය - විසින් ප්‍රකාශිත) හලීල් කර්තෘත්වය දැරූ සොස්යාලිස්ම් (Sosyalism) යන ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමට සහභාගී විය. අතීතාවලෝකනයක යෙදෙමින් ඔහු මෙසේ ලිවීය: “PGBS පිහිටුවා ගැනීම ඇත්තෙන්ම ප්‍රතිපත්ති විරහිත එක්සත්වීමක ප්‍රතිඵලය විය. එහෙත් අපගේ න්‍යායික පසුගාමිත්වය, දේශපාලන අපරිනතභාවය හා අපේ ‘පැරනි ට්‍රොට්ස්කිවාදී සහෝදරවරුන්’ කෙරේ පැවැති අන්ධ විශ්වාසය නිසා අපි ඒ බැව් නොදත්තෙමු.”

ස්ටැලින්වාදය පිලිබඳව පැවැති දේශපාලන වෙනස්කම් හා PGBS සංවිධානය දක්ෂිනාංශික වෘත්තීය සමිති නිලධරයට අනුගත වීම ද හේතු කොට ගෙන හලීල්ගේ කන්ඩායම 1991 මුල් කාලයේ දී සංවිධානය හැර ගියෝය. පසුව එම කන්ඩායම මොරේන්වාදී කන්ඩායමක් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් Enternasyonal Bülten (ඉන්ටර්නැෂනල් බුලටින්) නම් ඒකාබද්ධ මාසික ප්‍රකාශනය පල කලේය.

හලීල්ගේ කන්ඩායම 1996 දී, ස්ටැලින්වාදී හා වාමාංශික සුලු-ධනපති කන්ඩායම් ගනනාවක් ඒකාබද්ධව තනා ගත්තා වූ ද, බොහෝ කම්කරුවන් හා සටන්කාමී තරුනයන් ආකර්ශනය කර ගත් සංවිධානයක් වූ ද, ÖDP (නිදහසේ හා සහයෝගිතාවයේ පක්ෂය) සමඟ එක් විය. හලීල්ගේ කන්ඩායම ÖDPයට සම්බන්ධ වූයේ එහි හොඳම කොටස් දිනා ගැනීමේ අරමුනින් යුතුව විනා, නොකල හැක්කක් ලෙස හලීල්ගේ කන්ඩායම විසින් සලකනු ලැබූ, සමාජවාදී පක්ෂයක් බවට එය පත් කර ගැනීමේ අරමුනින්නම් නොවේ. මෙම රාමුව තුල PGBS සංවිධානය යලි සංවිධානය කරන ලද නමුදු, එය යලිත් කැබලිවලට කැඩී බිඳී ගියේය. හලීල්ගේ කන්ඩායම මේ කාලයේ, වෘත්තීය සමිති තුල SocialismWithoutBorders, ClassesandExploitation(දේශසීමා, පන්ති හා සූරාකෑමෙන් තොර සමාජවාදය) (sss-S) නම් මාසික ප්‍රකාශනය හා LeftOppositionBulletin (වාම විපක්ෂයේ බුල ටීනය) නම් ප්‍රකාශනයක් ද ප්‍රකාශයට පත් කලේය.

කුර්දි පීකේකේ සංවිධානය සමඟ සිවිල් යුද්ධය උච්ඡතම අවස්ථාවට පත් කල්හි දේශපාලන මර්දනය උත්සන්න කෙරුනු අතර, හලීල්ට දශක ගනනාවක සිර දඬුවමක් ලැබීමේ තර්ජනය එල්ල විය. 1994 අවසානයේ ඔහුගේ කන්ඩායම ඔහු විදේශයකට යැවීමට තීරනය කලේය. ඔහු රට හැර ගිය දිනට පසු දිනයේ “ත්‍රස්ත-විරෝධී” විශේෂ බලකායයන් විසින් ඔහුගේ නිවෙස ආක්‍රමනය කරන ලදී.

තුර්කියෙන් පිටතදී හලීල් ජාත්‍යන්තර “ට්‍රොට්ස්කිවාදී” ප්‍රවනතා සමඟ සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කලේය. සමාජ සේවා සේවකයෙකු ලෙස සිය ජීවනෝපාය උපයා ගනිමින් ඔහු උතුරු ජර්මනියේ බ්රීමන්හි වසර ගනනාවක් ජීවත් වූයේය.

එහිදී හලීල් තමන් තුර්කියේදී ලද අත්දැකීම් වලට සමාන ම අත්දැකීම් හරහා ජාත්‍යන්තර මට්ටමකදී ගමන් කලේය. ඔහු පැබ්ලෝවාදී හා මොරේනෝවාදී ප්‍රවනතා සමඟ සම්බන්ධ වෙමින් ඒවායේ නායකයන් බොහොමයක් දැන හැඳින ගත් නමුදු, ඔවුන් සමඟ සහයෝගීවීම සඳහා සප්‍රතිපත්තික පදනමක් ඇති කර ගැනීම නොකල හැක්කක් බව පෙනී ගියේය. දේශපාලනික එකඟතාවයෙන් තොරව සන්ධාන ඇති කරගන්නා ලද හා සහභාගීකරුවන් අතරට දෘඩ ස්ටැලින්වාදීන් පමනක් නොව විවෘත දක්ෂිනාංශිකයන් ද ඇතුලත් වූ ජාත්‍යන්තර සභා රැස්වීම්වලදී ලද තම අත්දැකීම් පිලිබඳව හලීල් පසුකලෙක නිරතුරු කථා කලේ නොසැඟවූ භීතියෙන් යුතුවය.

ඔහුගේ බලගතුම සම්බන්ධතාව පැවතියේ ආර්ජෙන්ටිනාවේ ජෝර්ජ් අල්ටමීරාගේ පාර්ටිඩෝ ඔබ්රෙරෝ (පීඕ) සංවිධානය ආධිපත්‍යය දැරූ හතරවැනි ජාත්‍යන්තරය යලි ගොඩනැඟීම සඳහා වූ සම්බන්ධීකරන කමිටුව (CRFI) සමඟය. 1999 දී ඇතැන්ස්හි දී ද, 2000 දී බුවනොස් අයර්ස්හි දී ද පැවැත්වූ එකී ප්‍රවනතාවයේ සම්මේලනවලට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී වීමට හලීල් ඇරයුම් ලැබීය. කෙසේවෙතත් සංවිධායකයෝ, තම කන්ඩායම හැකිතාක් විශාල ලෙස පෙනෙන්නට සැලැස්වීම කෙරේ පමනක් උත්සුක වූවෝ, දේශපාලන ප්‍රයුක්තීන් පැහැදිලි කර ගැනීමට උනන්දු නොවූහ. සමජවඅඩව පසුකලෙක සඳහනකල පරිදි, සීආර්එෆ්අයිය “පිහිටුවා ගෙන තුබුනේ, අතීත වෙනස්කම් පිලිබඳව හෝ ඒවාට ආශක්ත වූ විවිධ ප්‍රවනතාවල ඓතිහාසික වර්ධනය පිලිබඳව හෝ කිසිදු සාකච්ඡාවක් කිසිවිටෙකත් නොපැවැත්වීමේ ‘ප්‍රතිපත්තිය’ මතය.” “සීආර්එෆ්අයියට බැඳී ගත් සෑම කොටසකටම කිසිදු විවේචනයකින් හෝ මැදිහත්වීමකින් තොරව තමාගේම ජාතික අවස්ථාවාදී දේශපාලනය අනුයාමේ නිදහස දිගටම පවතින්නේය” යන පදනම මත හතරවැනි ජාත්‍යන්තරය “යලි උත්පාදනය” කල යුතුව තිබිනි.

ග්‍රීසියේදී, 1985 දී හජාජාකයෙන් බිඳී ගිය සහ මේ වන විට ක්‍රිස්ටියන් රකොව්ස්කි බෝල්කන් සමාජවාදී මධ්‍යස්ථානයේ කොටසක් ලෙස සීආර්එෆ්අයියට සහයෝගය දෙමින් හුන් සවාස් මයිකල්-මට්සාස්ගේ කම්කරු විප්ලවවාදී පක්ෂය (ඊඊකේ) සමඟ කලක් හලීල් කටයුතු කලේය. තමන් බෝල්කන් කලාපයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහි වන බවටත්, සමාජවාදී බෝල්කන් සමූහාන්ඩුවක් සඳහා අනුග්‍රහ දක්වන බවටත් බෝල්කන් සමාජවාදී මධ්‍යස්ථානය ව්‍යාජ ලෙස හඟවමින් සිටියේය. ඇත්තෙන්ම එය, සමාජවාදී හෝ ට්‍රොට්ස්කිවාදී නොවූ ප්‍රවනතාවන්හි ප්‍රතිපත්ති විරහිත අච්චාරුවක් විය. ප්‍රමුඛ කොටම ස්ටැලින්වාදී හා ජාතිකවාදී වටපිටාවෙන් පැමිනි මයිකල්-මට්සාස්ගේ මිතුරන්ගෙන් සමන්විත වූ මෙකී සමස්ත ව්‍යවසාය දේශපාලන ප්‍රෝඩාවක් බව පෙනී ගියේය.

හජාජාකයේ තුර්කි ශාඛාව ගොඩනැඟීම

සිය ජීවිතයේ මෙම කාල පරිච්ඡේදයෙන් තමන් උගත් පාඩම් පිලිබඳව පසුකලෙක හලීල් මෙසේ ලිවීය: “මෙම අත්දැකීම්වලින් පසුව මම, දූෂිත තනි පුද්ගලයන් හෝ කන්ඩායම් පිලිබඳව කෙරෙන සැඳැහුම් මඟින් මෙකී සියලු ප්‍රතිපත්ති විරහිත භේදයන් පැහැදිලි කල නොහැකි බවත්, ඒවා පසුපස ඓතිහාසික හා සාර්වභෞමික ද්‍රව්‍යමය සාධක පැවතිය යුතු බවත් යන නිගමනය කරා එලැඹීමි. ඒ අනුව හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය හා අත්දැකීම් මෙන්ම ධනේශ්වර ආර්ථිකය ද පිලිබඳව හැදෑරීමට අපි තීරනය කලෙමු. මේ කාර්යයට වසර පහක්ම පාහේ ගත විය.”

තමන් විදෙස්ගත වූ තැන් පටන්ම, “හතරවැනි ජාත්‍යන්තරය පිලිබඳව සොයා ගත හැකි වූ සෑම දෙයක්ම පරිවර්තනය කිරීමට” හලීල් ඒ වනවිටත් ස්වේච්ඡාවෙන්ම ආරම්භ කොට තිබිනි. ජාත්‍යන්තර වාම විපාර්ශවයේ ලේඛන, හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ ලේඛන හා තවත් බොහෝ දෑ ඊට ඇතුලත් විය. 1999 දී ඔහුට ප්‍රථමවරට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්නට ලැබුනු අතර, එහි පල වන ලිපි පරිවර්තනය කිරීමට පටන් ගත්තේය.

2003 දී හලීල් ඇතැන්ස්හි පැවැති ඊඊකේ ජාතික කමිටු රැස්වීමට සහභාගී විය. එහිදී ඔහු ජාත්‍යන්තර කමිටුවේ ලේඛන ඉදිරිපත් කරමින්, 1985 දී සවාස් මයිකල්-මට්සාස් ජාත්‍යන්තර කමිටුවේ ග්‍රීක ශාඛාවේ ලේකම් වශයෙන් කටයුතු කල සමයේ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මයිකල්-මට්සාස් අභියෝගයට ලක් කලේය. බි්‍රතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) අර්බුදය පුපුරා ගිය අවස්ථාවේ දී, එහි අවස්ථාවාදී පරිහානිය පිලිබඳව සාකච්ඡා කෙරුනු ජාත්‍යන්තර නායකත්වයේ රැස්වීම්වලට සහභාගිවීම ප්‍රතික්ෂේප කල මයිකල්-මට්සාස් ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී වෙන් වී ගියේය. ජාත්‍යන්තර සාකච්ඡාව පිලිබඳ සියලු තොරතුරු ඔහු තම සංවිධානයේ සාමාජිකත්වයෙන් වසං කලේය.

මයිකල්-මට්සාස් එම අවස්ථාවේ ගනන් බැලුවේ, ජාත්‍යන්තර කමිටුවේ සීමාවන්ගෙන් නිදහස්ව තමාට ග්‍රීසිය තුල නිර්බාධිතව ජාතිකවාදී හා අවස්ථාවාදී මාවතක ගමන් කල හැකි බවය. හජාජාක සමඟ භේදයට පෙරාතුව පවා ඔහු හජාජාකට හොරෙන් ඉරානයට සංචාරය කොට තිබින. එහි කොමෙයිනි තන්ත්‍රයට ඔහු සහයෝගය දුන්නේය.

භේදයෙන් පසුව ඔහු ග්‍රීසිය තුල ධනපති පැසොක් පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය සමඟ සන්ධානයන් ගොඩනඟා ගත්තේය. ජාත්‍යන්තර කරලියේදී ඔහු සෝවියට් සංගමය තුල ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීමට ප්‍රාරම්භකත්වය දුන් මිඛායෙල් ගොර්බචොෆ්ට සහය දුන්නේය.

හලීල් ජාත්‍යන්තර කමිටුවේ ලේඛන ඉදිරිපත් කරමින් මයිකල්-මට්සාස්ට අභියෝග කල විට සිදු වූයේ කුමක්දැයි ඔහු පසුව මෙම ලේඛකයාට කියා සිටියේ පරිහාසය හා අවඥාව මිශ්‍රිත ආකාරයකිනි. කෝපාවිෂ්ටව වියරු වැටුනු ආකාරයෙන් හැසිරුනු මයිකල්-මට්සාස් තමාගේම පක්ෂයේ නායක සාමාජිකයන්ට අශ්ලීල වචනවලින් අවමන් කරමින් බිරුසන් දී ඇත. මේ තැනැත්තා ප්‍රතිරූපකයෙකු බවත්, ඊඊකේය යනු ලබ්ධියක් බවත් හලීල් නිගමනය කලේය. ජාත්‍යන්තර කමිටුවේ ලේඛන වඩාත් ගැඹුරින් හැදෑරීමට මෙම අත්දැකීම ඔහු දිරිමත් කලේය.

මෙකී අධ්‍යයනයෙන් ඔහු එලැඹී ගත් නිගමනය වූයේ, “හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳව පැබ්ලෝවාදී නායකයන් කෙරෙන් අප උගෙන තුබූ සියල්ල සාවද්‍ය බව” හා “හජාජාක ලේඛනවලින් හතරවැනි ජාත්‍යන්තරයේ පදනම් මූලධර්ම ප්‍රකාශයට පත් වී ඇති බව”ය.

ඔහු දැන් ලෝසවෙඅය වඩාත් සමීපව අනුයාමට ද හජාජාක වැදගත් ලේඛන පිලිබඳව අභ්‍යන්තර අධ්‍යයනයන් සිදු කිරීමට ද පටන් ගති. අනෙකුත් ලේඛන අතර, 1998 ඕස්ටේ්‍රලියාවේ සිඞ්නිහි පැවැති ජාත්‍යන්තර ගිම්හාන පාසලක දී ජාත්‍යන්තර කමිටුවේ නායක නියෝජිතයන් විසින් “මාක්ස්වාදය හා විසිවන සියවසේ මූලික ගැටලු” යන මැයෙන් පවත්වනු ලැබූ දේශන නවය මෙන් ම, ස්පාර්ටසිස්ට් ප්‍රවනතාවට එරෙහි විවාදාත්මක ලේඛනයක් වූ GlobalizationandtheInternationalWorkingClass: AMarxistAssessment, (ගෝලීයකරනය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය) ද ඔහු විසින් පරිවර්තනය කරන ලදී.

මෙකී ලේඛන අධ්‍යයනය කිරීම මඟින් හලීල් හා ඔහුගේ සහෝදරවරුන්ට දේශපාලන පෙලගැස්ම පිලිබඳ වැදගත් ප්‍රශ්න පැහැදිලි කර ගැනීමේ අවස්ථාව සැලසින. ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති හා සවඅහ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඬේවිඞ් නෝර්ත් විසින් WhyareTradeUnionsHostiletoSocialism?“වෘත්තීය සමිති සමාජවාදයට සතුරුවන්නේ මක්නිසාද” යන මැයෙන් පවත්වන ලද දේශනය පිලිබඳ සාකච්ඡා කිරීමෙන් පසු ඔවුහු වෘත්තීය සමිති කෙරේ සිය ආකල්පය වෙනස් කර ගත්හ.

“වෘත්තීය සමිති යනු කම්කරු පන්ති සංවිධාන සියල්ලට වඩා වැඩි දියුනු ඒවා බවත්, කම්කරු පන්තියේ සමාජ උත්සුකයන් පිලිබඳ වඩාත්ම නියෝජනාත්මක ආකෘතිය බවත් පිලිගත යුතුය” යන සමාජවාදීන් අතර පුලුල්ව පැතිරුනු මතයට නෝර්ත් මෙහිදී එරෙහි වෙයි. පරීක්ෂාකාරී ඓතිහාසික හා සමාජයික විශ්ලේෂනයක් මත පදනම්ව, “ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවල පදනමේ නැඟී සිටින වෘත්තීය සමිතිවලට, ඒවායේ ස්වභාවයට අනුව ම, පන්ති අරගලය කෙරේ සතුරු ආකල්පයක් ගැනීමට බල කෙරෙන” බව ඔහු සාධනය කරයි. අවසානයේ ඔහු එලැඹෙන නිගමනය වන්නේ, “වෘත්තීය සමිතිවාදයේ ඓන්ද්‍රීය වර්ධනය සමාජවාදයේ දිශාවට නොව ඊට පටහැනි දිශාවට සිදුවන්නක්” බවයි.

2007 නොවැම්බරයේ සෝස්යලිසම්හි කර්තෘ කාර්ය මන්ඩලය, එවකට පැවැත්වෙමින් තුබූ සාකච්ඡා සම්බන්ධයෙන් හජාජාකයට මෙසේ ලියා එවූහ: “පසුගිය දෙවසර පුරා අප සව මඟින් හජාජාක සමීපව අනුයමින් සිටි බවත්, එහි ලේඛන වලින් සමහරක් තුර්කි භාෂාවට පරිවර්තනය කොට අභ්‍යන්තර සාකච්ඡාවලට භාජනය කල බවත් ඔබ දනිති. අප පැවැත්වූ රැස්වීම් හා සාකච්ඡා හරහා අප සිත් තුල තුබූ බොහෝ ගැටලුවලට පිලිතුරු සොයා ගන්නට අපි සමත් වීමු. කෙටියෙන් කිවහොත්, අප ඉස්තාන්බුල්හි දී පවත්වන ලද සාකච්ඡා නිසා අපගේ සහෝදරවරුන් හා ආධාරකරුවන් විසින් හජාජාකයේ මූලික ආස්ථානයන් වටහා ගනු ලැබීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් වී ඇත.”

2008 දී හලීල් හා ඔහුගේ සහෝදරවරු, “Prinkipo Yayincilik ” නමින් ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරමින්, (ප්‍රකාශන ආයතනයට එම නම යොදා ගෙන ඇත්තේ ලියොන් ට්‍රොට්ස්කි පිටුවාහල් කරන ලද ඉස්තාන්බුල් නගරයට ඔබ්බෙහි වූ දූපත පිලිබඳ සඳහනක් ලෙසය) පොත් තුනක්; එනම්, ෆ්‍රාන්ස් මෙරිංගේ OnHistoricalMaterialism (ඓතිහාසික භෞතිකවාදය ගැන), ලියොන් සෙඩොව්ගේ TheRedBookOntheMoscowTrials(රතු පොත - මොස්කව් අවනඩු පිලිබඳව) සහ හලීල් විසින්ම ලියන ලද පලමුවැනි ජාත්‍යන්තරය නම් පොත; ප්‍රකාශයට පත් කලෝය.

2007 ජූනියේ බර්ලිනයේ දී හලීල් මුල්වරට ජාත්‍යන්තර කමිටුවේ නායක සාමාජිකයන් මුන ගැසුනේය. මෙම හමුවීම මට ඉතා හොඳින් මතක තිබේ. හලීල් ඉංග්‍රීසි හා ජර්මන් භාෂා ඉතා හොඳින් කථා කලා පමනක් නොව, ඔහු අප කථා කල එම දේශපාලන භාෂාවම ද කථා කලේය. ඔහු ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය හා දේශපාලන ආස්ථානයන් දැන සිටි අතර, සාකච්ඡාව තුල දී තම වැටහීම වඩාත් ගැඹුරු කර ගැනීමෙහි ලා උත්සුකව සිටියේය.

ගත වූ කාලය පුරා මට මුන ගැසී ඇති අනෙකුත් බොහෝ ජාත්‍යන්තර සබඳතාවලට පටහැනි ආකාරයෙන්, හජාජාක අධිකාරය තුර්කිය තුල සිය ජාතික කටයුතු සඳහා භාවිතා කිරීම පිලිබඳව ඔහු සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වූයේ දේශපාලනික පෙලගැස්ම හා ඉදිරි දර්ශනය පිලිබඳ මූලික ප්‍රශ්න පැහැදිලි කර ගැනීමටය. තව ද, ව්‍යාජ වාම සංවිධානවල නායකයන් අතර නොඅඩුවම දැකිය හැකි අහංකාරකමින් හා මුරන්ඩු උද්ධච්චකමින් ද ඔහු විමුක්තව සිටියේය. ඉහලින්ම දේශපාලනික පුද්ගලයෙකු වූ නමුදු ඔහු සෑමවිටම, සංස්කෘතිය හා අනෙකුත් මාතෘකා සම්බන්ධ ප්‍රශ්න කෙරේ උනන්දුව දැක්වීය.

තුර්කිය තුල හජාජාක ශාඛාවක් ගොඩ නැඟීම කෙතරම් සංකීර්න හා අභියෝගකාරී කටයුත්තක් ද යන්න මෙම හමුවීමෙහි දීම පැහැදිලිව පෙනී ගියේය. ස්ටැලින්වාදී හා ජාතිකවාදී ධාරාවන් දශක ගනනාවක් පුරා කම්කරු ව්‍යාපාරයේ ආධිපත්‍යය දරා තුබූ රටක ආමන්ත්‍රනය කල යුතු වූ, පැහැදිලි කර දිය යුතු වූ හා වර්ධනය කල යුතු වූ නා නා විධ දේශපාලන ප්‍රයුක්තීන් පැවතින: කල් පමා වූ ධනේශ්වර වර්ධනයකින් යුත් රටක ධනපති පන්තියේ ස්වභාවය, තුර්කිය තුල හා මැද පෙරදිග මුලුල්ලේ පවතින ජාතික ප්‍රශ්නය, කම්කරු පන්තිය හා ගොවි ජනයා අතර සම්බන්ධතාවය ආදී වශයෙනි.

මෙම හමුවීමෙන් පසුව හලීල්, හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය, ගෝලීයකරනය, ජාතික ප්‍රශ්නය, වෘත්තීය සමිති, ස්ටැලින්වාදය හා අනෙකුත් ප්‍රයුක්තීන් සම්බන්ධයෙන් තුර්කිය තුල සම්මන්ත්‍රන මාලාවක් පැවැත්වීය. ඉස්තාන්බුල්හි දී සිදු වූ තවත් හමුවකින් පසුව සොස්ස්‍යලිසම්හි කර්තෘවරු ජාත්‍යන්තර කමිටුව සමඟ සමීපව කටයුතු කිරීමට තීරනය කලෝය.

ඉස්තාන්බුල්හි හමුවීමේ දී, සමස්ත “වම” ධනේශ්වර වැඩ පිලිවෙලකට යටත් කිරීමේ වැදගත් යාන්ත්‍රනයක් වූ කුර්දි ප්‍රශ්නය පිලිබඳ දීර්ඝ සාකච්ඡාවක් පවත්වන ලදී. කුර්දි “වම” තුල පැවැති ආකල්පය වූයේ තුර්කි රාජ්‍යය විසින් කුර්ද්වරුන්ට එරෙහිව සිදු කල වෙනස්කම් හේතුවෙන්, ස්වයං-නිර්නය සඳහා කුර්ද්වරුන්ට ඇති අයිතිය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවයි. ඔවුහු මෙය කුර්දිෂ් ජාතිකවාදයට පරිපූර්නව යටත්වීමක් බවට පෙරලා ගත්හ. කුර්ද්වාදී ‘අද දවස’ පක්ෂය - එච්ඩීපී - (මෙම පක්ෂය යලියලිත් තහනමට පත් වීම නිසා සිය නම හා සංයුතිය නැවත නැවතත් වෙනස් කිරීමට ඊට සිදු විය) හුදෙක්ම ධනේශ්වර වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරත්දීම, “වාම” කන්ඩායම් එය වෙනුවෙන් උද්ඝෝෂනය කලෝය.

හලීල් හා ඔහුගේ සහෝදරවරු ද, කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ප්‍රථම සම්මේලනයේ ලේඛන මත පදනම් වෙමින් කුර්ද්වරුන්ගේ ස්වයංනිර්නය අයිතිය වෙනුවෙන් ඉහත දී පෙනී සිටි නමුදු, ඔවුන් ඒ සා අවිවේචනාත්මක ලෙස එච්ඩීපීයට හා එහි පූර්වගාමින්ට අනුගත වී නොතිබින. සියලු පැති අලලා ගනිමින් වර්ෂයක් පමන කාලයක් පුරා පැවැති බරපතල සාකච්ඡාවලින් පසු ඔවුහු 2007 දී සිය ආස්ථානයන් වෙනස් කලෝය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ජාත්‍යන්තර කමිටුව, ජාතීන්ගේ ස්වයංනිර්නය අයිතිය සම්බන්ධ සිය ආස්ථානය පිලිබඳව බරපතල සමාලෝචනයක් සිදු කොට තිබින. මේ කාල පරිච්ඡේදය තුල අධිරාජ්‍යවාදී බලවත්හු තමන්ගේම උත්සුකයන් තහවුරු කර ගනු වස් ජාතිකවාදී, වාර්ගික හා ආගමික ආතතීන් හිතාමතාම ඇවිස්සීමට කටයුතු කලෝය. යුගෝස්ලාවියාවේ, ඉහත සෝවියට් සංගමයේ හා මැද පෙරදිග ජාතික ව්‍යාපාර, ඉන්දියාවේ හා චීනයේ ජාතික ව්‍යාපාරයන් සිදු කල පරිදි අධිරාජ්‍යවාදයට එරෙහි පොදු අරගලයක් තුල විවිධාකාර ජනයා එක්සත් කිරීමට ප්‍රයත්න නොදැරූ අතර, ඒ වෙනුවට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හා දේශීය සූරාකන්නන්ගේ උත්සුකයන්ට අනුව පවත්නා රාජ්‍ය කැබලි කිරීමේ ප්‍රයත්නයක යෙදී ගත්හ. එවැනි බෙදුම්වාදී ව්‍යාපාරවලට එරෙහිව විවේචනාත්මක හා සතුරු ආකල්පයක් ගත් ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුකම ඔවුන්ට මුහුනට මුහුන සිටින සේ පිහිටවීය. මැද පෙරදිග දී මෙහි අර්ථය වූයේ ජාතික, වාර්ගික හා ආගමික සුලුතර ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කොට ගත හැක්කේ නව දේශසීමා ලකුනු කිරීමෙන් නොව, මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයක රාමුව තුල පමනෙකිය යන්නයි.

ඉක්බිතිව එලැඹි වසරවලදී ජාත්‍යන්තර කමිටුව හා හලීල්ගේ කන්ඩායම අතර සහයෝගීතාවය වඩවඩාත් සමීප එකක් බවට පත් විය. 2014 ගිම්හානයේදී හලීල් ජාත්‍යන්තර කමිටුවේ පූර්න සැසි වාරයකට සහභාගී වූයේය. තුර්කියේ ආර්ථික හා දේශපාලන තත්වය ධනවාදයේ ගෝලීය අර්බුදයේ සන්දර්භය තුල බහා විශ්ලේෂනය කෙරෙන විස්තරාත්මක වාර්තාවක් ඔහු ඊට ඉදිරිපත් කලේය. එහිදී ඔහු සමාජ අසමානතාවයේ දැවැන්ත ඉහල යාම, තුර්කි කම්කරු පන්තියේ වර්ධනය, අර්ඩොගන්ගේ ස්වදේශ හා විදේශ ප්‍රතිපත්ති, සහ විවිධ සුලු ධනපති “වාම” පක්ෂවල කාර්යභාරය යන මාතෘකාවලට ආමන්ත්‍රනය කලේය.

මෙම පුන්සැසිය පහත යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කලේය: “හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පූර්න සැසිවාරය, තුර්කිය තුල ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැඟීමේ එල්ලය මත සාකච්ඡා ආරම්භ කිරීමට ඕගනයිසේෂන් ටොප්ලම්සල් එසිට්ලික් (සමාජ සමානතා කන්ඩායම) වෙනුවෙන් එච් සහෝදරයා ඉදිරිපත් කල ඉල්ලුම්පත නිල වශයෙන් පිලිගනියි. ආරම්භක සම්මේලනයක් සඳහා දේශපාලනික හා න්‍යායික සූදානම් වීමෙහි ලා සහායවීමට ජාත්‍යන්තර කමිටුව තුර්කි සහෝදරවරුන් සමඟ සමීපව කටයුතු කරනු ඇත.”

මෙම සාකච්ඡාව තුල ඬේවිඞ් නෝර්ත් මෙසේ අවධාරනය කලේය: “දැන් ජාත්‍යන්තර කමිටුව විසින් භාර ගනු ලැබිය යුතු ප්‍රධාන අභියෝගය වනුයේ තුර්කිය තුල ශාඛාවක් වර්ධනය කර ගැනීමයි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ මීට සම්බන්ධ වන සහෝදරවරුන්ගේ සංඛ්‍යා ව නොවේ. වඩාත්ම වැදගත් කරුන නම් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳවත්, කම්කරු පන්තිය පසුකොට පැමින ඇති මූලෝපායාත්මක අත්දැකීම් පිලිබඳවත් පවතින දේශපාලනික පැහැදිලි කමේ හා අවබෝධයේ මට්ටමයි. ඕනෑම රටක දේශපාලනික අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමට හැකි වන්නේ එකී ජාත්‍යන්තර පදනම මත පමනෙකි.”

ඉනික්බිති හලීල් ජාත්‍යන්තර කමිටුව සමඟ සිය සහයෝගය වඩාත් ගැඹුරු කලේය. තුර්කි කර්තෘ මන්ඩලය ක්‍රමානුකූලව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලට සමෝධානය කෙරින. තුර්කි භාෂාවට පරිවර්තනය කල ලිපි හා එම භාෂාවෙන් ලියවුනු ලිපි දිනපතාම පාහේ ලෝසවෙඅහි පල කෙරුනු අතර, 2014 වසන්තයේ සිට ඉංග්‍රීසි භාෂා අඩවිය හලීල්ගේ කර්තෘත්වයෙන් යුතු ලිපි නිරතුරුව පලකලේය. ඔහු ප්‍රධාන වශයෙන්ම ලියූවේ තුර්කිය තුල දේශපාලන හා සමාජයීය වර්ධනයන් පිලිබඳව හා මැද පෙරදිග යුද්ධ සම්බන්ධයෙනි.

2017 අප්‍රේල් 5 වන දිනසව, අර්ඩොගන්ගේ ව්‍යවස්ථාමය සංශෝධන පිලිබඳ ජනමත විචාරනය ප්‍රතික්ෂේප කරන ලෙස ද, යුරෝපයේ හා මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩු රාජ්‍යයක් සඳහා සටන් වදින ලෙස ද කැඳවමින් ටොප්ලම්සල් එසිට්ලික් කන්ඩායම විසින් නිකුත් කෙරුනු විස්තීර්න ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කලේය. මෙම ප්‍රකාශනය, මැද පෙරදිග යුද තර්ජනය, ජාතික රාජ්‍ය පද්ධතියේ අර්බුදය, කුර්දි ජාතිකවාදය හා අධිරාජ්‍යවාදයේ සුලු ධනපති ආරක්ෂකයන් පිලිබඳව පරීක්ෂාවට ලක් කරයි. කම්කරු පන්තියේ ස්වාධීන පිලිවෙතක් සඳහා පෙනී සිටින එය, තුර්කිය හා සමස්ත මැද පෙරදිග තුල හජාජාක ශාඛා ගොඩ නැඟීමට කැඳවුම් කරයි.

2018 ගිම්හානයේ ටොප්ලම්සල් එසිට්ලික් කන්ඩායම, ඔවුන් ප්‍රකාශ කල පරිදි හේතු දෙකක් මත, සිය නම සෝස්ස්‍යලිස්ට් එසිට්ලික් (සමාජවාදී සමානතා කන්ඩායම) ලෙස වෙනස් කලේය: “(1) එස්ඊය හජාජාක සියලු නිල ශාඛාවන් විසින් භාවිතා කෙරෙන නම (සමාජවාදී සමානතා පක්ෂය - සෝෂලිස්ට් ඊක්වලිටි පාර්ටි) අනුව යන නමක් භාවිතයට ගන්නා අතර, එමඟින් හතරවැනි ජාත්‍යන්තරයේ තුර්කි ශාඛාව බවට පත්වීමට ඇති එහි අධිෂ්ඨානය තිරසාර ලෙස ප්‍රකාශයට පත් කරයි; (2) ‘සමාජවාදී’ යන වචනය කන්ඩායමේ නම තුල යොදා ගැනීම මඟින් එස්ඊය තම මූලික අරමුන; එනම්, ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා සියලු ජාතික, වාර්ගික, ආගමික හා නිකායික බෙදුම් රේඛා හරහා මැද පෙරදිග කම්කරුවන් හා තරුන ජනයා සිය සහෝදරයන් හා සහෝදරියන් සමඟ ජාත්‍යන්තරව එක්සත් කිරීමේ හා සමාජවාදී සමාජයක් ගොඩනැඟීමේ අරමුන; පිලිබඳව අවධාරනය කරයි.”

හලීල් භාර ගත් කර්තව්‍යයන් අතරින් වඩාත්ම වැදගත් එකක් වූයේ ජාත්‍යන්තර කමිටුවේ පොත් පරිවර්තනය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමයි. මෙය, සැලකිය යුතු වැඩ කන්දරාවක් වීමට ද අතිරේකව සංවිධානමය හා මූල්‍යමය අභියෝගයක් ද වූ ප්‍රමුඛ පෙලේ වගකීමක් විය.

ඩේවිඩ් නෝර්ත් විසින් හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය සම්බන්ධයෙන් සම්පාදිත පිටු කිහිප සියයක සම්ප්‍රදානයක් වූ The Heritage We Defend (අප රක්නා උරුමය) හලීල් තුර්කි භාෂාවට පරිවර්තනය කලේය. තුර්කි භාෂාවෙන් පල වූ සංස්කරනය 2018 ජනවාරි මස, හලීල්ගේ ඉල්ලීමකට අනුව ඬේවිඞ් නෝර්ත් විසින් ලියන ලද නව සංඥාපනයක් ද සහිතව පල කෙරිනි. ප්‍රකාශකයා වූයේ ඊට ඉහත වර්ෂයේ ආරම්භ කෙරුනු මෙරිං යයින්සිලික් ප්‍රකාශන ආයතනයයි.

එම පොත ප්‍රකාශයට පත් කිරීමේ වැදගත්කම පිලිබඳව හලීල් සවඅහමෙසේ ලිවීය: “ස්ටැලින්වාදය, මාඕවාදය හා සුලු ධනපති ජාතිකවාදී ප්‍රවනතාවයන් විසින් කම්කරු පන්තිය හා පොදුවේ සමාජවාදී ව්‍යාපාරය තුල දශක ගනනාවක් පුරා ආධිපත්‍යය දරනු ලැබූ රටක, කම්කරුවන් හා තරුන ජනයා අතර සමාජවාදී විඥානය වර්ධනය කිරීම සඳහා මේ පොත් අතිශයින්ම වැදගත් වෙයි. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරනු ලබන අද්‍යතන මාක්ස්වාදී සාහිත්‍යය තුර්කි භාෂාවෙන් පල කිරීම, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකයේ) තුර්කි ශාඛාව ගොඩනැඟීම සඳහා න්‍යායික හා දේශපාලන පදනම සම්පාදනය කිරීමෙහි ලා දායක වනු ඇතැයි අපි විශ්වාස කරමු.”

හතරවැනි ජාත්‍යන්තරයට තුර්කි ශාඛාවක් ගොඩනැඟීමේ ඇති වැදගත්කම ඩේවිඩ් නෝර්ත් තුර්කි සංස්කරනයට ලියූ සංඥාපනය තුල මෙසේ පැහැදිලි කලේය: ”‘අප රක්නා උරුමය’ කෘතියේ මෙම නව පරිවර්තනය ප්‍රකාශයට පත්වීමට සුවිශේෂී වැදගත්කමක් හිමිවන්නේ හුදු ට්‍රොට්ස්කි තුර්කියේ ගෙවූ පිටුවාහල් දිවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය අතර පවත්නා සම්බන්ධතාව නිසා පමනක් නොවේ. ලෝක අධිරාජ්‍යවාදී පර්යායේ භූ දේශපාලනය තුල තුර්කිය සතු තීරනාත්මක ස්ථානය නිසාම, මෙම රට තුල පන්ති අරගලය අතිවිශාල මානයකට නැගෙනු නිසැකය. එබැවින්, තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැඟීම හතරවැනි ජාත්‍යන්තරයේ අත්‍යවශ්‍ය මූලෝපායික කර්තව්‍යයක් වේ. මේ සඳහා, විවිධ ආකාරයන්හි ප්‍රතිමාක්ස්වාදී සංශෝධනවාදයන්ට - විශේෂයෙන්ම මයිකල් පැබ්ලෝ (1911 - 1996) සහ අර්නස්ට් මැන්ඬේල් (1923 - 1995)ගේ දියකරහැරීම්වාදී සංකල්ප සමඟ සම්බන්ධ වූ සංශෝධනවාදයට - එරෙහිව ශාස්ත්‍රීය ට්‍රොට්ස්කිවාදීන් විසින් දියත් කෙරුනු දීර්ඝ අරගලයේ ඉතිහාසය සම්බන්ධයෙන් තුර්කි කම්කරු පන්තියේ හා තරුනයන්ගේ වැඩි දියුනු කොටස්වලට අධ්‍යාපනය ලබා දීම අවශ්‍ය වේ.”

අපරකඋරමය කෘතිය සමඟ තවත් ග්‍රන්ථ හතරක් ප්‍රකාශයට පත් කෙරින:Castroism and the Politics of Petty-Bourgeois Nationalism (කස්ත්‍රෝවාදය හා සුලු ධනපති ජාතිකවාදයේ දේශපාලනය), 2017 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය, එජසමජවසමනතපකෂයඓත්‍යනතරපදනම, සහ සමජවදයධයටඑරඅරගලය එම පොත් හතරයි.

පසුගිය සියවසේ වැදගත් දේශපාලන හා මූලෝපායාත්මක පාඩම් සාරාංශගත කෙරෙන, ඩේවිඩ් නෝර්ත් විසින් රචිත තවත් කෘතියක් වන ලවයවනයවස හි පරිවර්තනය තම ජීවිතයේ අවසාන මාස කිහිපය තුල හලීල් විසින් නිම කෙරින. ඉන් කෙටි කලකට පසු, සැප්තැම්බරයේ, ඔහුගේ මාරක ව්‍යාධිය හඳුනා ගැනිනි.

ප්‍රකාශන ආයතනය හා සව වෙනුවෙන් ඔහු කල කටයුතුවලට සමාන්තරව හලීල්, හජාජාක ඓතිහාසික හා දේශපාලන පදනම් පිලිබඳ දැනුම තරුන කම්කරුවන්ට සමීප කිරීම් වස් බලගතු දේශපාලන හා අධ්‍යාපනික කටයුතුවල නිරත විය. අවුරුදු 57 ක් වැනි වයසක දී සිදු වූ ඔහුගේ අකල් මරනය ජාත්‍යන්තර කමිටුව ද, තුර්කියේ ඔහුගේ සහෝදරවරුන් ද මත පතිත වූ බලගතු පහරක් වෙයි. එහෙත් ජාත්‍යන්තර කමිටුවේ තුර්කි ශාඛාවක් පිහිටුවීම සඳහා හලීල් විසින් ස්ථිරසාර පදනමක් දමනු ලැබ ඇත. කන්ඬායම ඔහු කර ගෙන ගිය කටයුතු අඛන්ඩව ඉදිරියට පවත්වා ගෙන යනු ඇත. හලීල් සහෝදරයාට දැක්විය හැකි ඉහලම ගෞරවය වනුයේ සෝස්ස්‍යලිස්ට් එසිට්ලික් කන්ඩායම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුර්කි ශාඛාව ලෙස ගොඩනැඟීමේ ඔහුගේ ඉලක්කය සඵල කර ගැනීමයි.

Loading