ඉන්දියාවේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආන්ඩුව, ප්‍රාන්ත ආන්ඩුව සහ මධ්‍යම ආන්ඩුව සමඟ ඇති සබඳතාවලට සිදුකරන ලද නීතිවිරෝධී වෙනස්කම්වලට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා, ආන්දෝලනාත්මක ජම්මු හා කාෂ්මීර කලාපයේ පෙර නොවූ විරූ මිලිටරි-ආරක්ෂක මර්දනයක් දියත් කරමින් සිටී.
මුස්ලිම් බහුතරයක් වාසය කරන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ජම්මු හා කාෂ්මීරය (ජේ හා කේ) තුල, ස්වාධීන ඉන්දියානු ව්‍යවස්ථාව බලගන්වන ලද 1950 පටන් ක්‍රියාත්මක කල විශේෂ අර්ධ ස්වයං පාලන තත්ත්වය ඉවත් කරමින්, බීජේපී ආන්ඩුව 5දා අලුයම, ව්‍යවස්ථා කුමන්ත්‍රනයකට සමාන ජනාධිපති නියෝගයක් නිකුත් කලේය. ඉන් පසුව ඉන්දියානු ආන්ඩුව, ජනගහනයෙන් අඩු නමුත් උපායමාර්ගිකව වැදගත් ලඩාක් ප්‍රදේශය ඉවත් කර, ජේ ඇන්ඞ් කේ බෙදීමට නියෝග කල අතර, ලඩාක් සහ ජේ ඇන්ඞ් කේ හි ඉතිරි කොටස මෙතැන් සිට සැලකිය යුතු තරම් අඩු බලතල සහිත යූනියන් ප්‍රදේශ දෙකකින් සමන්විත වන බව ප්‍රකාශ කලේය. ක්‍රියාකාරිත්වයේදී ජේ ඇන්ඞ් කේ, නවදිල්ලියේ සහ එහි දැඩි හින්දු වර්ගවාදී ආන්ඩුවේ නෛතික-දේශපාලනික අත යට තබනු ලැබීය. භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ ප්‍රතිගාමී, ප්‍රජාතන්ත්‍ර විරෝධී අරමුනු අවධාරනය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඔහුගේ හෙංචයියා වන ස්වදේශ කටයුතු ලේකම් අමිත් ෂා, ආර්එස්එස් සාමාජිකයෙක් වන රටේ ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ රාජ්‍ය නිලධරයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් සහ හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් විසින් කරන ලද කුමන්ත්‍රනයක් මඟින්, මෙම වෙනස්කම් රහසිගතව සකස් කර, රහසිගතව ක්‍රියාවට නංවන ලදී.
ජම්මු හා කාෂ්මීරයේ වැසියන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නොකල අතර ඔවුන්ගේ තේරී පත් වූ නියෝජිතයින්ගෙන්, ඉදිරියේදී සිදුවිය යුතු වෙනස්කම් පිලිබඳව විමසා සිටියේ නැත. විපක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයින් සහ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ භාරතීය ජනතා පක්ෂයේ ම සගයන් ද ඇතුලු සමස්ත ජනගහනයේ පිටුපසින්, ඉන්දියාවේ ඊනියා උත්තරීතර නීතිය යටතේ, වෙනස්කම් සිදුකරන ලදී. මෙම කුමන්ත්‍රනයට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ආවරනයක් සැපයීම සඳහා බීජේපීය පසුව, ජේ ඇන්ඞ් කේ හි ව්‍යවස්ථාමය තත්ත්වය, දේශසීමා සහ ආන්ඩුව වෙනස් කිරීම අනුමත කරන යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය. එහෙත් විවාදය පැය කිහිපයකට සීමා විය.
කාෂ්මීරය වටලෑමේ තත්වයක් යටතේ
5දා කුමන්ත්‍රනයට පෙර සතිවලදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, පාකිස්තානයේ සහාය ඇතිව ඉන්දීය විරෝධී කැරලිකරුවන් විශාල ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම්ව සිටිනවාය යන කඩතුරාව යටතේ, අතිරේක හමුදා දස දහස් ගනනක් ජේ ඇන්ඞ් කේ වෙත යැවීය.
ජේ ඇන්ඞ් කේ කලාපය 5දා සිට පෙර නොවූ විරූ මිලිටරි-ආරක්ෂක මෙහෙයුමකට යටත් කර ඇති අතර 1989 සිට කලාපය කලඹා ඉන්දු-පකිස්ථාන ආතතීන් උත්සන්න කල ඉන්දීය විරෝධී කැරැල්ලේ සන්දර්භය තුල පවා, එය පෙර නොවූ විරූ ය.
ඉන්දියානු බලධාරීන් සියලු අන්තර්ජාල, ජංගම දුරකථන සහ කේබල් රැහැන් දුරකථන සහ සාමාන්‍ය රූපවාහිනී සේවාවන් කපා හැර ඇත. පාසල් වසා දමා ඇති අතර, ජේ ඇන්ඞ් කේ බොහෝමයක් ප්‍රදේශවල, බි්‍රතාන්‍ය යටත් විජිත අපරාධ නීති සංග්‍රහයේ 144 වගන්තිය යටතේ ක්‍රියාත්මක වූ පුද්ගලයන් 4 ක් හෝ වැඩි ගනනක් එක්රැස් වීම නීති විරෝධී කල රෙගුලාසි බලගන්වා ඇත. ජේ ඇන්ඞ් කේ හි මුස්ලිම් ප්‍රභූ පැලැන්තියේ සාම්ප්‍රදායික ඉන්දියානු ගැති අංශයේ ප්‍රමුඛ ප්‍රකාශකයන් ඇතුලු අවම වශයෙන් ප්‍රමුඛ දේශපාලන නායකයින් සියයක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයට හිටපු ජේ ඇන්ඞ් කේ මහඇමතිවරුන් දෙදෙනෙකු වන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මෙහබූබා මුෆ්ටි සහ ජේ ඇන්ඞ් කේ ජාතික සම්මේලනයේ ප්‍රධානී ඕමාර් අබ්දුල්ලා සහ මහජන සමුලුවේ සභාපති සජ්ජාඞ් ගානි ලෝන් ඇතුලත් වේ.
භාරතීය ජනතා පක්ෂ හිතවාදී ඉන්දියන් එක්ස්ප්‍රස් විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද ඇසින් දුටු සාක්ෂියක්, ජේ ඇන්ඞ් කේ හි විශාලතම නගරය වන ශ්‍රීනගර් හි වර්තමාන තත්ත්වය පිලිබඳ සිත්ගන්නාසුලු විස්තරයක් සපයයි: “(කාෂ්මීර) නිම්නයේ අභ්‍යන්තරයේ ද බාහිර ලෝකය ද සමඟ ඇති සම්බන්ධය කපා දමා ඇත; පදිංචිකරුවන්ට සිය වාසස්ථාන ප්‍රදේශ වලින් පිටවීමට ඉඩ නැත. පරිපාලනය තමන්ගේම සේවකයින්ට පවා ඇඳිරි නීති බලපත් නිකුත් කර නොමැති අතර ආරක්ෂක අංශ විසින් රජයේ හැඳුනුම්පත් බලපත්‍ර ලෙස භාර නොගනී.
“පුවත්පත් අලෙවිය පිලිගන්නේ නැත. ගුවනින් ප්‍රදේශයට පැමින ඇති බොහෝ රූපවාහිනී කාර්ය මන්ඩලිකයන් නගරයේ ශුන්‍ය පාලමේ වර්ග කිලෝමීටර 1 ක භූමි භාගයක ගාල් කර ඇත. බොහොමයක් රජයේ ගොඩනැගිලි, පාසල්, විද්‍යාල, උසාවි, ප්‍රාන්තයට පිටත සිට ගුවනින් පැමින සිටින පැරාමිලිටරි හමුදා විසින් අල්ලාගෙන ඇත. මාර්ග වසා දමා ඇත ... දිනපතා අත්‍යවශ්‍ය භාන්ඩ නිවාස වල හිඟ වෙමින් තිබේ. ”
රජයේ සේවකයින් ද ඇතුලුව ඔවුන්ට කතා කිරීමට හැකි වූ අය ඉන්දීය රජයේ ක්‍රියාමාර්ගවලට දැඩි ලෙස විරුද්ධ වන අතර ඔවුන් “ජම්මු හා කාශ්මීරයේ ජන විකාශනය වෙනස් කිරීම” අරමුනු කර ගෙන ඇති බවට බිය වී ඇතැයි ඉන්දියානු එක්ස්ප්‍රස් වාර්තාවේ කතුවරුන් තිදෙන, සඳහන් කර ඇත. එසේම “ජනගහනයේ මුස්ලිම්වරුන් අඩු කිරීම ගැන ද මිනිසුන් කනස්සල්ලට පත්ව ඇත.”
මෝඩිගේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයේ භූ මූලෝපායික හා දේශීය අරමුනු
භාරතීය ජනතා පක්ෂය විසින් ජම්මු හා කාශ්මීරයට පහර දෙනු ලැබීමට විවිධ අරමුනු ඇත.
පලමුව නව දිල්ලිය, සිය කොන්දේසි මත කාෂ්මීර කැරලිකාරිත්වය ඉක්මනින් අවසාන කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේය, ඒ සඳහා ඔවුන් නීතිමය-ව්‍යවස්ථාමය සම්මතයන් සහිතව කටයුතු කිරීමට සහ ජේ ඇන්ඞ් කේ හි සිදු කර ඇති “අතුරුදහන් කිරීම්” සහ සමූහ ඝාතන වලින් පිරී තිබෙන පසුගිය වසර තිහක කාලය තුල ඉන්දියානු පාලනයේ “අපිරිසිදු යුද්ධය” තීව්‍ර කිරීමට සූදානම් ය යන පනිවිඩය දීමට අදහස් කරයි.
ඒ හා සම්බන්ධ දෙවන අරමුන වන්නේ, පාකිස්තානය හා චීනයට එරෙහිව, නවදිල්ලියේ අත ශක්තිමත් කිරීමයි. මෝදි ආන්ඩුව කාෂ්මීරයට එල්ල කර ඇති “ව්‍යවස්ථා ප්‍රහාරය” පෙනෙන පරිදි, පාකිස්තානය සහාය දුන් ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, පෙබරවාරි අග දී පාකිස්තානය ඇතුලට එල්ල කල ගුවන් ප්‍රහාර සම්පූර්න කිරීමකි. එම ප්‍රහාරය සහ පසුව ජේ ඇන්ඞ් කේහි පකිස්තානය එල්ල කල එකට එක කිරීමේ ගුවන් ප්‍රහාරය මගින්, දකුනු ආසියාවේ ප්‍රතිවාදී න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන්, 1971න් පසුව පූර්න පරිමාන යුද්ධයක අද්දරටම ගෙන එන ලදී.
විවාදාත්මක භූමි ප්‍රදේශයක් ලෙස ජාත්‍යන්තරව පිලිගත් තත්ත්වය තිබියදීත්, ජේ ඇන්ඞ් කේ, ඉන්දියානු සංඟමය සමඟ “සම්පුර්නයෙන්ම ඒකාබද්ධ කිරීම” මගින් නවදිල්ලිය නිවේදනය කරන්නේ, ඉස්ලාමාබාද් සහ නවදිල්ලිය අතර ඕනෑම “සාම සංවාදයක” කොටසක් ලෙස, ජේ ඇන්ඞ් කේහි තත්ත්වය පිලිබඳව පාකිස්තානය කල ඉල්ලීම්වලට තවදුරටත් එකඟ නොවන බවයි.
“මෝදි ආන්ඩුව රටේ දිගු කාලීන අවශ්‍යතා සඳහා අවදානම් සහගත නමුත් අවශ්‍ය පියවර ගෙන තිබේ” යැයි හිටපු ඉන්දීය විදේශ ලේකම් කන්වාල් සිබල් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ලියා තිබේ. පාකිස්තානය සමඟ කිසිදු ‘විස්තීර්න‘ සංවාදයකදී, කාෂ්මීරයේ ‘කැපී පෙනෙන ප්‍රශ්නය‘ සාකච්ඡා කිරීමට දැන් ඉඩක් නැත. එයින් අදහස් කරන්නේ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඕනෑම සංවාදයක් නැවත ආරම්භ කිරීමේ සම්භාවිතාව තවදුරටත් අඩුවී ඇති බවයි. ඉන්දියාව පාකිස්තානය අභිබවා ගොස් ඇත.”
මේ අතර, දැනට පාකිස්තානය විසින් පාලනය කරනු ලබන, කලින් බ්‍රිතාන්‍ය ඉන්දියානු කුමාර රාජ්‍යයක් ව තිබුන ජම්මු හා කාශ්මීරයේ කොටසක් වන “අසාද් කාශ්මීරය” පිලිබඳ ස්වෛරීභාවය, ඉන්දියාව විසින් ප්‍රකෝපකාරී ලෙස යලිත් වරක් ප්‍රකාශ කර තිබේ. ජම්මු හා කාෂ්මීරය, 1947-48 දකුනු ආසියාවේ වාර්ගික බෙදීම්වල කොටසක් ලෙස, පැහැදිලිවම මුස්ලිම් පකිස්ථානයක් සහ ප්‍රධාන වශයෙන් හින්දු ඉන්දියාව ලෙස බෙදී ගියේය. එතැන් පටන් කාෂ්මීර ආරවුල, ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රතිගාමී මූලෝපායික එදිරිවාදිකම්වල කේන්ද්‍රස්ථානය වී ඇත. මෙය යුද්ධ හතරක් සහ නිමක් නැති දේශසීමා ගැටුම් හා යුද අර්බුදවලට තුඩු දුන් එදිරිවාදිකමකි.
2014 දී බලයට පත්වූ දා සිට මෝදි, පාකිස්තානය සමඟ “ක්‍රීඩාවේ නීති වෙනස් කිරීමට” අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, ඒ සඳහා යුද්ධයට සූදානම් බවත් පැහැදිලි කර තිබේ. පාකිස්තානයට එරෙහි “නිර්භීත” පියවරයන්ට සහාය දක්වන ප්‍රසිද්ධ නිලධාරීන් ඔහු වටකරගෙන ඇත. මෝඩිගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස නම් කිරීමට ටික කලකට පෙර අජිත් ධෝවාල්, පාකිස්තානයේ අනාගත මහා පරිමාන ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානය බිඳ දමන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. “ඔබ තවත් මුම්බායි වර්ගයේ එකක් කරන්න, ඔබට බලුකිස්තානය අහිමි වනු ඇත” යැයි ධෝවාල් ප්‍රකාශ කලේය.
ජේ ඇන්ඞ් කේ හි වෙනස්කම් ද චීනය ඉලක්ක කර ගෙන ඇත. භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව එහි වාර්ගික භාෂාමය සංයුතිය පෙන්වා දෙමින් ලඩාක්, ජම්මු හා කාශ්මීරයෙන් වෙන් කිරීම ප්‍රසිද්ධියේ යුක්ති සහගත කර තිබේ. (එහි පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් එකක් වන ලෙහි ජනගහනයෙන් බහුතරයක් ටිබෙට් භාෂාවක් වන ලඩාකි භාෂාව කතා කරන අතර බෞද්ධයෝ වෙති.) එහෙත් ඉන්දියානු මාධ්‍ය බොහොමයක් පවා මෙම තර්කය පිලිගන්නේ විනිවිද පෙනෙන උපහාසයකිනි.
වයඹ දෙසින් පාකිස්තානයටත්, නැගෙනහිරින් චීනයේ ටිබෙට් සහ සින්ජියැන්ග් “ස්වායත්ත කලාප” වලටත් මායිම්ව ඇති ලඩාක්, පාකිස්තානය හා චීනය සමඟ ඇතිව තිබෙන ඉන්දියාවේ යුද්ධ, දේශසීමා ගැටුම්වල පෙරමුනේම තිබුන ප්‍රදේශයකි.
ලඩාක් ඛන්ඩනය කිරීමෙන් හා තෝරා පත්කරගත් පාලන සභාවක් හා එවැනි ප්‍රාන්ත ආන්ඩුවක් පවා අහිමි කර ඇති, නව යූනියන් වැයික්කියක් බවට පත් වන ජම්මු හා කාශ්මීරයේ තත්වය හමුවේ නවදිල්ලිය, ඕනෑම මහජන විමසුමකින් තොරව, ඉන්දියාවේ වත්මන් ව්‍යවස්ථාව යටතේ ඉන්දියානු මිලිටරියට සිය මෙහෙයුම් සිදුකිරීමට හැකි උපරිම ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි..
ලඩාක්හි තත්වයෙහි වෙනස්කම් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ටික දිනකට පසු බීජිනය ඒවා හෙලා දුටුවේ, එම ප්‍රදේශය, ඉන්දියාව සමඟ ඇති නොවිසඳුනු දේශසීමා ආරවුලේ කොටසක් බව පෙන්වා දෙමිනි. නවදිල්ලිය පිලිතුරු දුන්නේ, “අභ්‍යන්තර කටයුතුවලට” බීජිංහි ඇඟිලි ගැසීම් හෙලා දකිමින් හා අක්‍රීයව පවතින බි්‍රතාන්‍ය කුමාර රාජ්‍යයක් වූ ජම්මු හා කාශ්මීරයේ සියලුම භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් ඉන්දියවේ අයිතිය කොහෙත්ම අත නොහරින බවට එදින උදේ ස්වදේශ ලේකම් අමිත් ෂා කල ප්‍රකාශය පුනරුච්චාරනය කරමින් ය. 1963 ගිවිසුමක කොටසක් ලෙස පාකිස්තානය චීනයට බාර කල ලඩාක් දේශ සීමාවට මායිම්ව පිහිටි අක්සායි චින් කලාපය මෙයට ඇතුලත් ය.
ඉන්දියානු ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයේ තුන්වන ප්‍රධාන අරමුන, කම්කරු පන්තිය බිය ගැන්වීම ද බෙදීම ද හින්දු වර්ගවාදය සහ යුදවාදී ජාතිකවාදය අවුස්සමින් ඉන්දියානු සමාජයේ වඩාත්ම ප්‍රතිගාමී බලවේග බලමුලු ගැන්වීම ය. ආයෝජක “ප්‍රතිසංස්කරන” සහ ඉන්දියානු ප්‍රභූවේ මහා බල අභිලාෂයන් වඩාත් ආක්‍රමනශීලී ලෙස ලුහුබැඳීමය. ජේ ඇන්ඞ් කේ හි විශේෂ ව්‍යවස්ථාමය තත්ත්වය අහෝසි කිරීම සහ ඉන්දියානු සංගමය සමඟ එහි “පූර්න ඒකාබද්ධතාවය” දශක ගනනාවක් තිස්සේ හින්දු අයිතියේ ප්‍රධාන ඉල්ලීම් වන අතර එය, ඉන්දියාව හින්දු රාෂ්ට්‍ර හෝ රාජ්‍යයක් බවට පත් කිරීමේ ඔවුන්ගේ ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය අංගයකි.
ඉන්දියාවේ පාලක ප්‍රභූව බොහෝ දුරට ජම්මු හා කාෂ්මීරයට එරෙහි රාජ්‍ය ප්‍රහාරය පිටුපස පෙල ගැසී සිටින අතර, එය අවදානම් සහිත “දාදු කැටය කැරකවීමක්” බව පිලිගෙන ඇත. විපක්ෂ කොන්ග්‍රස් පක්ෂය මුලින් ම ඉදිරිපත් වූයේ, ජේ ඇන්ඞ් කේ නීතිමය-ව්‍යවස්ථාමය යටත් කිරීමට එරෙහිව ය. එහෙත් කල් නොයවාම කොන්ග්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්වීම සඳහා රාහුල් ගාන්ධිගේ අනුප්‍රාප්තිකයා ලෙස පුලුල් ලෙස සලකනු ලබන ජෝතිරාදිත්‍ය සින්ඩියා ඇතුලු ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් රැසක් ප්‍රකාශ කලේ, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් “රටේ යහපත වෙනුවෙන්” භාරතීය ජනතා පක්ෂය සමඟ සිටින බවයි.
ඉන්දියාවේ දිලිත් (හිටපු අතපතගෑ නොහැකි) සුලුතරයේ දේශපාලන හඬ ලෙස පෙනී සිටින බහුජාන් සමාජ පක්ෂය (බීඑස්පී) ඇතුලු කලාපීය හා කුල පදනම් කරගත් පක්ෂ ගනනාවක් ද ඊට සහයෝගය පල කර තිබේ.
බොහෝ විට, හින්දු දක්ෂිනාංශයේ පදනම් ඉල්ලීම්වලින් එකක් සාක්ෂාත් කර ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය, ව්‍යවස්ථාව පිලිබඳ දැඩි මතයක් දැරීම, සමහර ලිබරල් මාධ්‍යවල අත් ඇඹරවීමට හේතු වී තිබේ. දේශපාලන හා මූලෝපායික විචාරකයෙකු සහ ඉන්දියානු වානිජ හා කර්මාන්ත සම්මේලනයේ (එෆ්සීසීඅයි) හිටපු මහලේකම් සංජයා බාරුගේ ප්‍රකාශය හොඳම නිදසුනකි. “මේ සතියේ ගත් පියවර ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂයට, තමන්ගේම දේශපාලන හේතු තිබෙන්නට ඇති අතර, ඉන්දීය රාජ්‍යයට ද එයට හේතු තිබේ. වෙහෙසට පත් මෘදු විකල්පයන් පසෙකලා, දැඩි විසඳුමක් තෝරාගෙන ඇත. කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ද ඇතුලු බොහෝ දේශපාලන පක්ෂ ආන්ඩුවේ ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම විශේෂත්වයකි. ඔවුන් අනිවාර්යයෙන්ම ආන්ඩුව ආරක්ෂා නොකරන අතර ඉන්දියානු රාජ්‍යයේ අවශ්‍යතා ආරක්ෂා කරයි.”
යුද්ධයේ ගෙරවුම් හඬ
ජම්මු හා කාෂ්මීරය පිලිබඳ ඉන්දියාවේ පියවරයන් පාකිස්තානය සමඟ මතභේද තව තවත් දැඩි කරනු ඇති අතර, මාස හයකට අඩු කාලයකට පෙර යුද්ධයට අවතීර්න වීමට ආසන්න වූ කලාපයක ආතතීන් උත්සන්න කරනු ඇත. එක්සත් ජනපදයෙන් ආරම්භ වී බටහිර ආන්ඩු වල ප්‍රතිචාරය පිරිහී ගොස් තිබේ. සෑම පැත්තකින්ම ඉල්ලා සිටින ආයාචනයක් 5දා වොෂින්ටනය විසින් වතාවතක් ලෙස නිකුත් කලේය.
දකුනු ආසියාවේ කලාපීය ආධිපතියා බවට පත්වීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ගනන් බැලීමක් නම්, චීනයට එරෙහි මිලිටරි මූලෝපායික ප්‍රතිබලයක් යක් ලෙස සේවය කිරීම සඳහා වොෂින්ටනය, ජපානය සහ යුරෝපා සංගමය තමන් දෙස බලා සිටින්නේ ය යන්නයි.. ඇත්ත වශයෙන්ම, දියුනු ආයුධ සඳහා ප්‍රවේශය සහ ඉන්දියානු සාගරය පොලිස්කාරකම කිරීමේදී නවදිල්ලියේ ප්‍රමුඛ භූමිකාව පිලිගැනීම ඇතුලු එක්සත් ජනපදයේ “මූලෝපායික අනුග්‍රහයන්” වෙනුවෙන්, මෝදි යටතේ ඉන්දියාව වැඩි වැඩියෙන් සේවය කරන මට්ටමට, ඉන්දු-එක්සත් ජනපද මිලිටරි මූලෝපායික සහයෝගීතාව නාටකාකාර ලෙස වැඩි කර තිබේ. චීනය සමඟ එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ගැටුමේ පෙරමුනු රාජ්‍යයක් ලෙස.
ජම්මු හා කාෂ්මීරය තුල ඉන්දියාවේ ප්‍රකෝපකාරී පියවරයන්ට ප්‍රතිචාර වශයෙන් 7දා, පාකිස්තානය ඉන්දීය තානාපති මහ කොමසාරිස් අජේ බිසාරියා නෙරපා හැර, ද්විපාර්ශ්වික වෙලඳාම අත්හිටුවා ඉන්දියාව සමඟ සබඳතා තවදුරටත් පහත හෙලීය. මීට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ, ජේ ඇන්ඞ් කේ හි ස්වාධීනත්වය අවලංගු කිරීමත් සමඟ, පසුගිය පෙබරවාරියේදී ඉන්දියානු කාෂ්මීරයේ පුල්වාමා හි දී ඉන්දියානු ආරක්ෂක හමුදාවන්ට එල්ල කල ප්‍රහාරයවැනි දේ “සිදුවීමට ඉඩ ඇති” බවයි. පුල්වාමා බෝම්බ පිපිරීමට ඉස්ලාමාබාදය සම්බන්ධ නැති බව ඔහු යලි යලිත් කියා සිටියේය.. එක්සත් ජනපදයේ පිටුබලය ඇතිව මෝදි ආන්ඩුව සඳහන් කලේ, පුල්වාමා ප්‍රහාරයෙන්, පකිස්තානය ඇතුලතට එල්ල කල නොසැලකිලිමත් ඉන්දියානු ගුවන් ප්‍රහාර යුක්ති සහගත වන බව ය.
පාකිස්තාන පාර්ලිමේන්තුව අමතමින් ඛාන් 6දා කියා සිටියේ ”ඔවුන් නැවතත් අපට දොස් පැවරීමට උත්සාහ කරනු ඇත. ඔවුන් අපට නැවත පහර දිය හැකිය, අපි ආපසු පහර දෙන්නෙමු. මා මෙය සිදුවේ යයි කල්තියාම පැවසුවා” යනුවෙනි.
googleoff: index
[මෙය 2019 අගෝස්තු 8 වැනි දින To enforce Monday’s constitutional coup India dramatically intensifies repression in Kashmir යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
