2019 ගිම්හාන පාසැල

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ 1982-86 භේදයෙහි දේශපාලන මූලාරම්භයන් හා ප්‍රතිඵල

මෙම ලිපිය 2019 අගෝස්තු 03 දින ඉංග්‍රීසි බසින් පලවිය

මෙම සතියේ දේශන, 1982 සිට 1995 දක්වා බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) විසින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ න්‍යායික පදනම් හා දේශපාලන ක්‍රියාමාර්ගය සංශෝධනය කිරීම පිලිබඳ සවිස්තරාත්මක විචාරනයක ආරම්භක සූත්‍රගත කිරීමේ සිට ජාත්‍යන්තර කමිටුවේ ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීමට ගත් තීන්දුව දක්වා කාලයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අප අතීතයේ දී සහ විශේෂයෙන් 2015 ගිම්හාන පාසලේ දී කවිප සමග භේදයට තුඩු දුන් සිදුවීම් සමාලෝචනය කලෙමු. මෑත මාසවලදී පක්ෂ සාමාජිකයෝ, 1982 සිට 1985 දක්වා වර්කර්ස් ලීගය විසින් සකස් කරන ලද ලේඛන අධ්‍යයනය කරමින් සිටියහ.

මෙම පාසලේ ප්‍රධාන අවධානය යොමු වන්නේ, 1986 පෙබරවාරියේ දී කවිප සමඟ අවසන් භේදයෙන් පසුව අත්කරගෙන තිබෙන ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය කෙරෙහි ය. දේශන පුලුල් පරාසයක ලේඛන මත පදනම් වනු ඇති අතර එමඟින් මූලෝපායට, ක්‍රියාමාර්ගයට, ඉදිරිදර්ශනයන්ට සහ සංවිධානයට අදාල තීරනාත්මක කරුනු පිලිබඳව, ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා තුල පැවති සාකච්ඡා අධ්‍යයනය කිරීමට හැකි වේ.

නායකත්ව කමිටු තුල සාකච්ඡාවල පිටපත් මෙන්ම පක්ෂ නායකයින් අතර ලිපි හුවමාරුව ද ඇතුලත් නව තොරතුරු වලට, 1982-1991 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය නම් වූ ලේඛන ගොනුව ඇතුලත් වේ. මෙය පලමු වරට පක්ෂයේ සෑම සාමාජිකයෙකුට ම ලබා ගත හැකිය. මෙම ලියකියවිලි මගින් ජාත්‍යන්තර කමිටුව තුල කෙරෙන සාකච්ඡාවල ගැඹුර හා තීව්රතාවය ද එහි දේශපාලන-බුද්ධිමය ජීවිතයේ ජීවමාන ස්වභාවය ද හෙලිදරව් කෙරේ. ඒවා ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සඳහා මිල කල නොහැකි මූලාශ්‍රයන් වේ. 1985-86 අතර ජාත්‍යන්තර කමිටුවේ භේදයෙන් පසුව -එහි දී අපේක්ෂා කලා වූ- බරපතල සිද්ධීන් කෙරෙහි ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා විසින් සිය ප්‍රතිචාරය වර්ධනය කලා වූ දේශපාලන සන්තතිය පිලිබඳව පිරික්සා බැලීමට මෙම ලේඛනවලින් හැකියාව ලැබේ. විප්ලවවාදී මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් තුල මූලධර්මාත්මක දේශපාලන සාකච්ඡා පැවැත්වෙන්නේ කෙසේද යන්න පිලිබඳ සියුම් දැක්මක් මෙම ලේඛන මගින් සැපයෙයි.

මෙම පාසලේ විෂයන් තෝරා ගැනීමේදී සහ හජාජාක මෙම ලේඛන කෙරෙහි එහි අවධානය යොමු කිරීමේදී සැලකිල්ලට භාජනය වූයේ කවර කාරනා ද? ජාත්‍යන්තර කමිටුව සැලකිය යුතු වර්ධනයේ කාලයකට අවතීර්න වී ඇති බවට බොහෝ ඇඟවීම් තිබේ. අපි දැනටමත් අපගේ ව්‍යාපාරයට නව සාමාජිකයින් බොහෝ දෙනෙකු බඳවා ගනිමින් සිටින්නෙමු. හජාජාක දැනට පවතින ශාඛා වලට බඳවා ගැනීම පමනක් නොව, ලොව පුරා නව ශාඛා පිහිටුවීම ද මෙම සන්තතියට ඇතුලත් වේ. වෛෂයික සිදුවීම් වලින් මෙම වර්ධනයේ නිශ්චිත වේගය හා පරිමාව තීරනය කෙරෙනු ඇත. එහෙත්, අපගේ දේශපාලන වැඩ කටයුතු, ජාත්‍යන්තර පරිමානව ලෝක ධනවාදී ක්‍රමයේ උත්සන්න වන අර්බුදයෙන් පැනනංවනු ලබන පන්ති අරගලයේ ගමන් මඟ සමඟ අන්තර්ඡේදනය වෙමින් පවතී.

අප දශක ගනනාවක් තිස්සේ ගොඩනැගීමට සටන් වැදුනු අපගේ ව්‍යාපාරයේ වර්ධනය අපි සාදරයෙන් පිලිගනිමු. නමුත් සියලු සන්තතීන් සහජයෙන්ම පරස්පර විරෝධී වේ. නව හා අත්දැකීම් රහිත සාමාජිකයන් බඳවා ගැනීම වර්ධනය වන විට -ට්‍රොට්ස්කි 1923 දී ඔහුගේ නව මාවත පිලිබඳ විචාරනය තුල පැහැදිලි කල පරිදි -පක්ෂයේ න්‍යායික හා දේශපාලන මට්ටම පහත වැටීමේ අන්තරාය සෑම විටම පවතී. මෙය සෑම විටම වර්ධනයට සමගාමීව ඉස්මතුවන ස්වාභාවික ගැටලුවකි. විප්ලවවාදී වැඩකටයුතුවල අභියෝග හා ඉල්ලීම් තරුන සාමාජිකයින් ස්වයංක්‍රීයව තේරුම් ගනු ඇතැයි කිසිවෙකුට අපේක්ෂා කල නොහැකිය. අත්දැකීම් අඩුකම නිසා සිදුවීම් වලට ආවේගශීලීව හා තත්කාර්යවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවනතාවක් ඇතිවිය හැකිය. අවශ්‍ය ඉවසීමෙන් යුතුව නව සාමාජිකයින්ට සහාය වීම පැරනි සහෝදරවරුන්ගේ වගකීමකි.

එහෙත් පැරනි සහෝදරවරුන්, ඔවුන්ගේ වසර ගනනාවක අත්දැකීම් හේතුවෙන් සර්ව-නිර්දෝෂී දේශපාලන කුසලතාවයකින් අනූන වෙතැයි සිතීම වරදක් වනු ඇත. වියපත්වීම සමඟ වර්ධනය වන අත්දැකීම්වලට සැලකිය යුතු වටිනාකමක් ඇති නමුත්, ඒවායේම ගැටලු සහගත හා සෘනාත්මක ලක්ෂන නැත්තේ නොවේ. වයස්ගත වීම, ප්‍රඥාව ගෙන එන බවක් කියනු ලැබේ. මෙම ප්‍රස්තුතය වාච්‍යාර්ථයෙන් නොගත යුතු ය. වෛද්‍යවරයා හමුවීමට නිරතුරුව යෑමට අමතරව, වයස්ගතවීම, ගතානුගතිකත්වය හා අධානග්‍රාහිත්වය පිලිබඳ ප්‍රවනතාවක් ද ගෙන එයි. මෙම ආධානග්‍රාහිත්වය නම් නව්‍ය ගැටලුවලට මුහුන දීම සඳහා “අතීතයේ පාඩම්” ලෙස නිතර සඳහන් කෙරෙන දෙය, ප්‍රමානවත් ආවර්ජනයක් නොමැතිව ම, සෘජුවම යෙදීමට වඩා වැඩි යමක් අවශ්‍යම නැත යන වැරදි විශ්වාසයයි. “පාඩම්” යනුවෙන් හැඳින්වෙන දේ ඉතා නිවැරදිව නිර්වචනය කල යුතුය, එසේ නොකල හොත් පවත්නා තත්වයේ විශේෂත්වය අකාලික අධි-ඓතිහාසික සාමාන්‍යයක් බවට දියකර හැරීමේ අවදානමක් පැන නංවයි.

තීව්‍රවෙමින් පවත්නා දේශපාලන අභියෝගයන්ට මුහුන දීම උදෙසා, පැරනි සහ අලුත් සාමාජිකයන් යන දෙගොල්ලම ඇතුලු සමස්ත පක්ෂයේ න්‍යායික ම්ට්ටම් ඉහල නැංවීම සඳහා සමකාලීන වර්ධනයන් තුල තීව්‍රව නිමග්නවී ගැනීම ද “වර්තමානයේ” සාරභුත අන්තර්ගතය සමන්විතවන ඓතිහාසික සන්තතීන් අනන්‍යකොට ගෙන සවිචාර විශ්ලේශනයට භාජනය කිරීම ද අතර අන්තර්-ක්‍රියාකාරිත්වය අවශ්‍ය වෙයි. ටොම් හෙනහන්ගේ මරනයෙන් පසු පස්වන සංවත්සරය වෙනුවෙන් වසර ගනනාවකට පෙර 1982දී මා විසින් රචනා කරන ලද ලිපිවල මවිසින් උපුටා දැක්වූ හේගල්ගේ ප්‍රකාශයෙහි අර්ථය මෙයයි:

මෙසේ, ඥානනය අන්තර්ගතයේ සිට අන්තර්ගතය කරා පෙරට පෙරලී යයි. ....එහි සෑම ඉක්බිති නිර්නික අවධියක ම එය එහි පූර්ව අන්තර්ගතයේ සමස්ත රාශීය ඔසවාලයි. එපමනක් නොව, එය සිය අපෝහක ප්‍රගතිය මගින්, කිසිවක් නැති කොට නො ගනිමින් හා කිසිවක් අතරමඟ නොහෙලා, තමන් සමග තමන් අත්පත් කර ගත් සියල්ල ආඪ්‍ය කර ගනිමින් ද සංකේන්ද්‍රනය කර ගනිමින් ද ඉදිරියට උසුලා ගෙන යයි....(1)

න්‍යායික හා දේශපාලන අධ්‍යාපනයේ වැඩපිලිවෙලක් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය හා අභියෝගාත්මක කාර්යයකි. මාක්ස්වාදයේ “පදනම්”, එනම් දාර්ශනික භෞතිකවාදය, දේශපාලන අර්ථශාස්ත්‍රය සහ සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික සම්භවය පිලිබඳ දේශන සූදානම් කිරීමේ ඉමහත් අවශ්‍යතාවයක් පවතී. කෙසේ වෙතත්, එම පදනම් විෂයයන් පිලිබඳව පන්තිවල වැදගත්කම අවතක්සේරු නොකර ම, එම කාර්යය හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ දෘඩතර අධ්‍යයනයක් ඇතුලත් අධ්‍යාපනික වැඩසටහනක කොටසක් නොවන්නේ නම්, එය ශාස්ත්‍රීය කටයුත්තක් ලෙස පවතිනු ඇතැයි ද අනතුරු ඇඟවිය යුතුය. මෙම සුවිසල් විෂය පථය, ශතවර්ෂයකට ආසන්න කාලයක් තුල කම්කරු පන්තියේ විප්ලවීය අත්දැකීම් අන්තර්ගතකර ගනී.

එපමනක් නොව, මෙම අධ්‍යයනය නිවැරදි න්‍යායාත්මක විධික්‍රමයක් මගින් සකස් කල යුතුය. හේගල් සිය ඉතිහාසය පිලිබඳ දර්ශනවාදය තුල, ඉතිහාසය පිලිබඳ විවිධාකාර තත්කාර්යවාදී ප්‍රවිෂ්ටයන් සමච්චලයට ලක් කලේය. “නරකම ආකාරයේ තත්කාර්යවාදී ඉතිහාසඥයා, ආත්මීය චේතනා සොයන්නාවූ පටු මනෝ විද්‍යාඥයා වන්නේය.” “සදාචාරාමය උපදෙස් දෙන තත්කාර්යවාදියා ද එමෙන්ම නරක ය. . . . ඔහු වෙහෙසකර අවුල් ජාලයෙන් ඉඳහිට අවදිවන්නේ, ඔහුගේ සදාචාරමය ප්‍රහාරයන්ගෙන් සිද්ධීන්ට හා පුද්ගලයන්ගේ ඇලපතට ම පහර දෙමින් උපදේශ අදහසක් හා අනුශාසක වචනයක්, සදාචාර ධර්මයක් හෝ එවැන්නක් දමා ගසමින් ක්‍රිස්තියානි ඥානොපදේශ ඇද බෑමටය.” [2] හේගල් එලෙස සඳහන් කලේ පැහැදිලිවම රොබට් සර්විස් ගැනය.

හේගල් වෛෂයික විඥානවාදියෙකු විය. ඔහුගේ අපෝහකය විසින් ඓතිහාසික සන්තතිය හඳුන්වා දෙන ලද්දේ පරම චෙතන්‍යය නමැති දාර්ශනික මනසෙහි තාර්කානුකූල දිගහැරීම සහ ප්‍රතිනිර්මානයක් ලෙස ය. මාක්ස් සහ එංගල්ස් හේගල්ගේ ගූඪ විඥානවාදී ඉදිරිපත් කිරීමෙන්, ඉතිහාසය තුල ක්‍රියාත්මක වන්නාවූ සැබෑ භෞතිකවාදී සන්තතිය උපුටා ගත්හ. 1888 දී ලියන එංගල්ස්, හේගල්ගේ තත්කාර්යවාදී ඉතිහාසය පිලිබඳ විචාරය භෞතිකවාදී පදනමක් මත, යලි සකස් කලේ ය. ඉතිහාසය පිලිබඳ තත්කාර්යවාදී ප්‍රවිෂ්ටයේ මූලික දුර්වලතාවය නම්, “එය සෑම දෙයක් ම ක්‍රියාවේ චේතනාවෙන් විනිශ්චය කරයි; ඉතිහාසයේ ක්‍රියා කරන පුද්ගලයන් උත්තම හා අධම යන දෙවර්ගයට බෙදයි. නීතියක් වසයෙන්ම උත්තමයන් රැවටිල්ලට භාජනය වන බවත්, අධමයන් ජයග්‍රහනය ලබන බවත් එවිට එයට පෙනී යයි” එංගල්ස් සඳහන් කරයි. [3]

එංගල්ස් තවදුරටත් මෙසේ සඳහන් කරයි.

තතු එසේ හෙයින් ගවේශනය කල යුතු වන්නේ ඉතිහාසයෙහි ක්‍රියා කරන පුද්ගලයන්ගේ චේතනාවන්ට පිටුපසින් පවත්නා ගාමක බලවේගයන් ය. මේ ගාමක බලවේගයෝ එකී චේතනාවන්ට පිටුපසින් සවිඤ්ඤානකව හෝ අවිඤ්ඤානකව ද බෙහෙවින් අවිඤ්ඤානකව ම ද පවතිත්. ඉතිහාසයේ සැබෑ අවසාන ගාමක බලවේගයෝ නම් ඒවා වෙති. එසේ නම් අතිමහත් ජනකායන්, සමස්ත ජනතාවන් හා එකම ජනතාව අතර පවා සමස්ත පන්තීන් වහා නැසී යන තාවකාලික පිදුරු ගින්නක් ක්ෂනිකව දල්වා ලීම සඳහා නොව දැවැන්ත ඓතිහාසික විපර්යාසයකට හේතු වන චිරස්ථායී ක්‍රියාවක් සඳහා මෙහෙයවෙන්නේ විශේෂ පුද්ගලයන්ගේ චේතනාවන් විය නොහැකි ය; ඔවුන් කෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් යයි කියනු ලබන ඔවුන්ගේ නායකයන්ගේ සිත් තුලත් පැහැදිලිව හෝ නොපැහැදිලිව ද කෙලින්ම හෝ දෘෂ්ටිවාදාත්මක ස්වරූප ගන්වා උත්කර්ෂයට පත් කරනු ලැබ ද දැවැන්ත ඓතිහාසික විපර්යාසයක් තුල සවිඤ්ඤානක චේතනාවන් ලෙස පිලිබිඹුවන්නා වූ නිර්නයකාරී හේතූන් සොයා දැනගත යුතුය. ”[4]

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ අපගේ අධ්‍යයනයට අවශ්‍යයෙන් ම මඟ පෙන්වන ප්‍රවිෂ්ටය මෙයයි. අපගේ අවධානය යොමු වන්නේ එම ඉතිහාසය තුල විවිධ අවස්ථාවල දී ප්‍රධාන භූමිකාවන් ඉටු කල පුද්ගලයන්ගේ උපකල්පිත “චේතනාවන්” කෙරෙහි නොව, හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන අරගල තුල සවිඥානික ප්‍රකාශනයක් අත්පත් කර ගත් වෛෂයික, ඓතිහාසික හා සමාජ සන්තතිය වෙත ය.

1923 දී වාම විපක්ෂය, ආරම්භක ලක්ෂ්‍යය ලෙස අප සලකන්නේ නම්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, මුලු ශතවර්ෂයක් පුරාම වාගේ විහිද යයි. එම ඉතිහාසයේ විෂය වන්නේ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිතිව ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල සහ මූලෝපාය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මාක්ස්වාදී පෙරටු බලඇනියෙහි සවිඥානික අරගලයයි. මෙම ඉතිහාසයකලඹවාලන අන්තර්ගතය” නම්, යුද්ධ, විප්ලව හා ප්‍රතිවිප්ලව ආදී ප්‍රකෝටි සංඛ්‍යාත ජනයා අරගලයන්ට ඇදගත්තා වූ ද කෝටි ගනන් ජනයාගේ ජීවිත අහිමි කලා වූ ද විසිවැනි සියවසේ දැවැන්ත සිද්ධීන් ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී, ඔවුන් ඉටු කල කාර්යභාරය කෙතරම් වැදගත් වුවත්, එවැනි වැදගත් සිදුවීම් හුදෙක් පුද්ගලයන්ගේ චේතනාවන් අනුව ප්‍රමානවත් ලෙස පැහැදිලි කල නොහැකි ය. පක්ෂවල හා පුද්ගලයන්ගේ ක්‍රියාවන් තුල සිය ප්‍රකාශනය අත්පත් කරගන්නා -- දේශපාලන ක්‍රියාදාමය තුල ක්‍රියාකාරී වන අය විසින් බොහෝ විට ප්‍රමානවත් ලෙස හදුනාගනු නොලබන -- වෛෂයික කොන්දේසි, සමාජ බලවේග සහ පන්ති අවශ්‍යතා අනාවරනය කරගැනීමට නිරන්තර පරිශ්‍රමයක යෙදිය යුතුය.

තම ආත්මීය අභිමතයට අනුව ඉතිහාසය නමමින් සිටින බව සිතන අය නිරන්තරයෙන් වඩාත් ප්‍රතිගාමී සමාජ බලවේගයන්ගේ සහ දේශපාලන සන්තතීන්ගේ මෙවලම් බවට පත්වේ. ඉතිහාසය “ප්‍රගුන”කල හැක්කේ එහි අපෝහක නීති තේරුම් ගෙන ඇති තාක් දුරට සහ ඒවා මත ක්‍රියාත්මක විය හැකි තාක් දුරට බව මාක්ස්වාදී විප්ලවවාදියා තේරුම් ගනියි. ට්‍රොට්ස්කි සුපුරුදු දීප්තිමත් භාවයෙන් යුතුව මාක්ස්වාදී විශ්ලේෂනය සහ ආත්මීය විප්ලවවාදී අධිෂ්ඨානය අතර සම්බන්ධතාවය විස්තර කලේ ය:

කම්කරු පන්තිය සමඟ පමනක් සම්බන්ධ වියහැකි අපගේ යුගයේ විප්ලවවාදීහු, ඔවුන්ගේ ම විශේෂ මානසික ගති ලක්ෂන, බුද්ධිමය ගුනාංග සහ අධිෂ්ඨානය දරා සිටිති. අවශ්‍ය හා හැකි නම් විප්ලවවාදීහු ඓතිහාසික බාධක බලහත්කාරයෙන් බිඳ දමති. එසේ කල නොහැකි නම් ඔව්හු වට රවුමේ යති.. වට රවුමේ යා නොහැකි නම් විප්ලවවාදීහු, ඉවසිලිවන්තව හා නොනවත්වාම ඒවා සමඟ පොර බදමින් කල් බලති. විප්ලවවාදීන් වන්නේ ඔවුන්, බාධක බිඳ දැමීමට හෝ නිර්දය බලය යෙදවීමට බිය නොවන බැවිනි. මේ දේවල්වල ඓතිහාසික වටිනාකම ඔවුහු දැන සිටිති. සිය විනාශකාරී හා නිර්මානාත්මක කාර්යයේ පූර්න ධාරිතාව යෙදවීම ඔවුන්ගේ නිරන්තර උත්සාහයයි; එනම්, ලබා දී ඇති සෑම ඓතිහාසික තත්වයකින් ම විප්ලවවාදී පන්තියේ දියුනුව කරා යොමු කල හැකි උපරිමය ලබා ගැනීමයි.

ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල දී විප්ලවවාදීන් සීමා කරනු ලබන්නේ අභ්‍යන්තර බාධක මගින් නොව බාහිර බාධක මගිනි. එනම්, ඔවුන්ගේ තත්වය, ඔවුන්ගේ සමස්ත ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයේ භෞතික හා සංයුක්ත යථාර්ථය යනාදියෙහි ධනාත්මක හා සෘනාත්මක අංශයන් ඇගයීමට සහ නිවැරදි දේශපාලන ශේෂ පත්‍රය සකසා ගැනීමට ඔවුන් පුහුනු විය යුතුය”. [5]

මාක්ස්වාදී විප්ලවවාදියාගේ ඉතිහාසයට ඇති සම්බන්ධය ගතික ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එහි වර්තමාන විශ්ලේෂනය හා ක්‍රියාකාරිත්වය සමස්ත විප්ලවීය යුගයක සන්දර්භය තුල පිහිටුවීමට උත්සාහ දරයි. මෙම විනයගත විද්‍යාත්මක ප්‍රවේශය, පුද්ගලවාදී, ආවේගවාදී හා තත්කාර්යවාදී, එනම් අවස්ථාවාදී දේශපාලනය සමඟ නොපෑහෙයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉදිරිදර්ශනය නීර්නය කෙරෙන්නේ දවසේ අවශ්‍යතා මත නොව ඓතිහාසික යුගයේ ඉල්ලීම්වලට අනුව ය.

විප්ලවවාදී පක්ෂය එහි තීරනවල හා ක්‍රියාවන්හි ඓතිහාසික පදනම් සහ අනාගත ඇඟවුම් පිලිබඳව දැනුවත් විය යුතුය. එහෙත් මෙම ඉහල මට්ටමේ දේශපාලන විඥානය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක දැනුමක් අවශ්‍ය වේ.

මෙය ශතවර්ෂයකට ආසන්න කාලයක් පුරා විහිදුනු සුවිශාල විෂයයකි. එහෙත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහසයෙහි සුවිශේෂී අදියර හතරක් හඳුනාගත හැකිය. එවැනි කාලානුරූපීකරනයක වටිනාකම නම්, පලමුව, හතරවන ජාත්‍යන්තරයෙහි ඓතිහාසික වර්ධනයේ ගමන් පථය තුල ජාත්‍යන්තර කමිටුවේ ස්ථානය වඩාත් නිවැරදිව සොයා ගැනීමට අපට හැකි වීමයි. දෙවනුව, ධනවාදයේ ගෝලීය අර්බුදය සහ ලෝක සමාජවාදී විප්ලවයේ සන්තතියට හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික වර්ධනයේ සම්බන්ධතාවය පැහැදිලි කිරීමයි.

හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි පලමු අදියර, 1923 ඔක්තෝබර් මාසයේ වාම විපක්ෂය පිහිටුවීමේ සිට 1938 සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය දක්වා වසර 15 ක කාලපරිච්ඡේදයක් ආවරනය කරයි. ස්ටැලින්වාදී නිලධරයට හා තනි රටක සමාජවාදය පිලිබඳ එහි ජාතිකවාදී ඉදිරිදර්ශනයට එරෙහි අරගලය අධිකාරය දරන ලද මෙම ඛේදජනක කාලය තුල ට්‍රොට්ස්කි, ජර්මනියේ නාසීන් බලයට පත්වීමෙන් පසුව, පිහිටවූ හතරවන ජාත්‍යන්තරයෙහි න්‍යායික හා දේශපාලන පදනම් වර්ධනය කලේ ය. ස්ටැලින්වාදයට එරෙහි අරගලයට සහ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට මඟ පාදන ලද ප්‍රධාන මූලෝපායික මූලධර්ම 1928 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් වැඩසටහන පිලිබඳ ඔහුගේ සමාලෝචනය මගින් සූත්‍රගත කලේ ය.

ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යටතේ අධිරාජ්‍යවාදයේ යුගය වන, ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලනයේ යුගය වන අපගේ යුගයේ දී, තනි කොමියුනිස්ට් පක්ෂයකට තනිකරම හෝ ප්‍රධාන වශයෙන් තමන්ගේ රටේ වර්ධනයන්හි කොන්දේසි හා ප්‍රවනතාවන්ගෙන් පටන්ගෙන තම වැඩපිලිවෙල ස්ථාපිත කල නොහැකිය. සෝවියට් සංගමයේ දේශසීමාවන් තුල රාජ්‍ය බලය දරන පක්ෂයට ද මෙය මුලුමනින්ම බලපායි. 1914 අගෝස්තු 4 වන දින ජාතික ක්‍රියාමාර්ගයන්ට මලබෙරය හැඬවිනි. නිර්ධන පන්තියේ විප්ලවවාදී පක්ෂයට පදනම් විය හැක්කේ ධනවාදයේ ඉහලම වර්ධනයේ හා බිඳවැටීමේ යුගය වන වර්තමාන යුගයේ ස්වභාවය හා අනුරූප වන ජාත්‍යන්තර වැඩපිලිවෙලක් මත පමනි. ජාත්‍යන්තර කොමියුනිස්ට් වැඩපිලිවෙලක් කිසිසේත් ජාතික ක්‍රියාමාර්ගවල එකතුවක් හෝ ඒවායේ පොදු ලක්ෂනවල එකතුවක් නොවේ. ජාත්‍යන්තර වැඩපිලිවෙල සෘජුවම ඉදිරි ආරම්භය විය යුත්තේ ලෝක ආර්ථිකයේ සහ සමස්ත දේශපාලන සම්බන්ධතා පද්ධතියේ සියලු සම්බන්ධතා හා ප්‍රතිවිරෝධතා, එනම් එහි වෙන් වෙන් කොටස්වල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරෝධී අන්තර් රඳා පැවැත්ම සමඟ ගත් කොන්දේසි වලිනි. වර්තමාන යුගයේ දී, අතීතයට වඩා බොහෝ දුරට, නිර්ධන පන්තියේ ජාතික දිශානතිය ගලා යා යුත්තේ ද ගලා යා හැක්කේ ද ලෝක දිශානතියකින් මිස අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය සහ ජාතික සමාජවාදයේ සියලු ප්‍රභේද අතර මූලික හා ප්‍රධාන වෙනස ඇත්තේ මෙහි ය. [6]

පලමු අදියරේ දී මූලිකව ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ගේ පාවාදීම් හේතුකොට ගෙන සිදුවූ දේශපාලන ව්‍යසන මාලාවක් අත් දකින්ට ලැබුනි. එය මහජන පෙරමුනුවාදී කාල පරිච්ඡේදයයි, එනම්, ස්ටැලින්වාදී පක්ෂ විසින් කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ ධනේශ්වර ලිබරල් නියෝජිතයින්ට යටත් කිරීමේ හා රුසියානු කම්කරු පන්තිය ජයග්‍රහනය කරා මෙහෙයවන ලද බොල්ෂෙවික් කේඩරය විනාශ කෙරුනු, මොස්කව් නඩු විභාග සහ ස්ටැලින්වාදී ත්‍රස්තයේ යුගයයි. හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික අවශ්‍යතාව අවධාරනය කල ට්‍රොට්ස්කි, නව ජාත්‍යන්තරයක් ප්‍රකාශයට පත් කිරීමට තරම් තත්වය මෝරා නැතැයි කියා සිටි බොහෝ මාධ්‍යමික සංවිධානවලට විරුද්ධ විය. ජාත්‍යන්තරයක් ආරම්භ කිරීම සඳහා “මහා සිදුවීම්” අවශ්‍ය බව කියැවිනි.මහා සිදුවීම්” සිදුවී ඇතැයි ට්‍රොට්ස්කි පිලිතුරු දුන්නේ ය. කම්කරු පන්තිය ඉතිහාසයේ ලත් දැවැන්තම පරාජයන්. හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමෙන් හා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමෙන් පමනක් ම පරාජයේ රටාව ආපසු හැරවීමට හා සමාජවාදයේ ජයග්‍රහනය සුරක්ෂිත කිරීමට හැකි වනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි දෙවන අදියර, 1938 සැප්තැම්බරයේ ආරම්භක සම්මේලනයෙන් ආරම්භ වන අතර 1953 නොවැම්බරයෙන් අවසන් වන්නේ හතරවන ජාත්‍යන්තරයේ විශාල භේදයකින් ය. මෙම ඓතිහාසික කාලපරිච්ඡේදයට, ට්‍රොට්ස්කි ඝාතනය, දෙවන ලෝක සංග්‍රාමය, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් පිහිටුවීම, බටහිර යුරෝපයේ හා ජපානයේ ධනවාදය නැවත ස්ථාවර කිරීම, සීතල යුද්ධය පුපුරා යාම, චීන විප්ලවයේ ජයග්‍රහනය, කොරියානු යුද්ධය පුපුරා යාම සහ ස්ටාලින්ගේ මරනය ඇතුලත් වේ.

මෙම සියලු කැලඹිලිකාර සිදුවීම් හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන වර්ධනය තුල පිලිබිඹු විය. 1939 සැප්තැම්බරයේ දෙවන ලෝක සංග්‍රාමය පුපුරා යාමත් සමඟ, ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) තුල ක්ෂනික මතභේද පැන නැංවීය. 1939 අගෝස්තු මාසයේදී ස්ටැලින්-හිට්ලර් අතර අත්සන් තැබුනු අනාක්‍රමනික ගිවිසුමට ප්‍රතිචාර වශයෙන්, ජේම්ස් බර්න්හැම්, මැක්ස් ෂැට්මන් සහ මාටින් ඇබර්න් විසින් නායකත්වය දුන් සුලුතර කන්ඩායමක්, සෝවියට් සංගමය පිරිහුනු කම්කරු රාජ්‍යයක් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කලහ. එස්ඩබ්ලිව්පී තුල අරගලය, 1940 අප්‍රේල් මාසයේදී භේදයකින් කුලුගැන්වින. ට්‍රොට්ස්කි මෙම අරගලයට සහභාගිවෙමින් සිය ජීවිතයේ අවසන් මාස කිහිපය තුල අතිශයින් දීප්තිමත් හා දුරදක්නා ලේඛන ගනනාවක් සම්පාදනය කලේ ය.

සෝවියට් සංඟමයේ පන්ති ස්වභාවය නීර්නය කිරීමේදී යොදාගත යුතු වචන කවරේ ද යන ආරවුලට වැඩි දෙයක් මේ තීරනාත්මක අරගලයට සම්බන්ධ ය. ආරවුල හරි මැද තිබුනේ දේශපාලන හා ඓතිහාසික ඉදිරිදර්ශනය පිලිබඳ අති මූලික ප්‍රශ්නයන් ය. එනම්: මෙය සමාජවාදී විප්ලවයේ යුගයක් ද? කම්කරු පන්තිය සිය ඓතිහාසිකව ප්‍රගතිශීලී ක්‍රියා කලාපය අහෝසිවී ගොස් සමාජවාදී සමාජයක් ගොඩනැමෙහි ලා අසමත් බව ඔප්පු කර ඇත්ද? සෝවියට් නිලධරය සෝවියට් සංඟමයේ පසුගාමිත්වය සහ හුදෙකලාව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයන්ගෙන් පරාජයට පත්වීම වැනි සුවිශේෂ තත්වයන් මාලාවකින් නිෂ්පාදනය කෙරුනු පරපුටු කුලයක් ද? නො එසේ නම්, මාක්ස්වාදීන් විසින් පෙර නොදක්නා ලද පශ්චාත් ධනපති සූරාකෑමේ රූපය ගත් නව පාලක පන්තියක් ද?

1940 භේදයෙන් සති කිහිපයක් ඇතුලත බර්න්හැම්, ඔහුගේ න්‍යායික හා දේශපාලන සංකල්පවල තර්කනය මත ක්‍රියා කරමින් සමාජවාදය ප්‍රතික්ෂේප කර ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තුරුල්ලට වේගයෙන් ඇදී ගියේය. ෂැට්මන් සමාජවාදයෙන් බිඳී යාම, තරමක් වක්‍ර මාර්ගයක් ගත්තේ ය. සෝවියට් සංගමය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, එරට නාසි හමුදාවන්ගේ ආක්‍රමනයට මුහුන දුන් විට පවා, ෂැට්මන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමේ මූලධර්මය ප්‍රකාශයට පත් කලේ එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, දේශපාලන, මිලිටරි හා බුද්ධි ආයතන සමඟ සෘජු සහයෝගී වීමක්ව පැවතියදී ය.

යුද්ධය අතරතුර “ත්‍රිත්ව ප්‍රවාද” කන්ඩායම නම් වූ තවත් සංශෝධනවාදී ප්‍රවනතාවක් මතු විය. ෂැට්මන්ගේ මතයට සමානව ඉදිරියට යන අදහස් සහිත ත්‍රිත්ව ප්‍රවාද වලින් තර්ක කෙරුනේ, තුන්වන රීකය (තුන්වන ආධිරාජ්‍යය හෙවත් නාසි ජර්මනිය) ආරම්භ වූයේ, විශ්වීය වශයෙන් ඓතිහාසික පරාගතවාදී කාල පරිච්ඡේදයක බවත්, එමඟින් තවදුරටත් සමාජවාදය දේශපාලන සක්‍යතාවයක් නොදරන බවත්ය. මානව වර්ගයා සියවසක කාලයකට පසුපසට ඇද දමා ඇති අතර ඉදිරි පියවර නැවත පෙරලා සොයා ගැනීමට එයට බල කෙරී ඇති බවත් ය.. යුගයේ දේශපාලන අභියෝගය වූයේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ස්වාධීනත්වය යලි ස්ථාපිත කිරීමයි.

බර්න්හැම්, ෂැට්මන් සහ පරාගතවාදීන්ගෙන් මෙලෙස පිලිබිඹු වූයේ, කම්කරු පන්තියෙන් හා සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් වෙන් වීමේ සන්තතියක සිටි මධ්‍යම පන්තික වාම බුද්ධිමතුන්ගේ කොටස් තුල වෙනස්වෙමින් පැවති දේශපාලන මනෝභාවයන් ය. එම ක්‍රියාවලියේ තවත් ප්‍රකාශනයක්, හතරවන ජාත්‍යන්තරයේ සංශෝධනවාදී ප්‍රවනතාවක ස්වරූපයෙන් මතුවිය. එහි නායකයන් වන මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල්, සෝවියට් මිලිටරි ජයග්‍රහනවලට සහ නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් ස්ථාපිත කිරීමට ප්‍රතිචාර දැක්වූයේ, ස්ටැලින්වාදී නිලධරයන්ට විප්ලවීය කාර්යභාරයක් ආරෝපනය කිරීමෙනි. සියවස් ගනනාවක් තුල සමාජවාදය සාක්ෂාත් කරගත හැකි දේශපාලන ආකෘතියක් නැගෙනහිර යුරෝපයේ “විකෘති කම්කරු රාජ්‍යයන්” තුලින් පැනනැඟී ඇතැයි ඔවුහු තර්ක කලහ. මෙම ක්‍රියාවලිය තුල ඓතිහාසික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීම කෙසේ වෙතත් හතරවන ජාත්‍යන්තරයට ස්වාධීනත්වයක් පවා නොතිබුනි.

1950 දශකයේ මුල් භාගය වන විට, පැබ්ලෝවාදී ප්‍රවනතාවය, හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ස්ටැලින්වාදී පක්ෂවලට පමනක් නොව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හා ධනේශ්වර ජාතිකවාදීන්ගේ ද සංවිධාන තුල දියකරහැරීම සඳහා උත්සාහ කලේය. 1953 වන විට හතරවන ජාත්‍යන්තරය තවදුරටත් දේශපාලනික වශයෙන් සමජාතීය සංවිධානයක් නොවීය. හතරවන ජාත්‍යන්තරය දියකර හැරීම වැලැක්වීම සඳහා, ජේම්ස් පී. කැනන්ගේ නායකත්වයෙන් යුත් සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන්ගේ කන්ඩායම හතරවන ජාත්‍යන්තරය තුල භේදයක් ද ජාත්‍යන්තර කමිටුව නිර්මානය කිරීම ද ප්‍රකාශය පත් කරමින් 1953 නොවැම්බර් මාසයේ විවෘත ලිපිය නිකුත් කලේය. මෙම භේදය හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි දෙවන අදියර නිමාවකට ගෙන ආවේය.

විවෘත ලිපිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තෙවන අදියර ආරම්භ වූ අතර 1985 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාත්‍යන්තර කමිටු සාමාජිකත්වය අත්හිටුවීම සහ 1986 පෙබරවාරි මාසයේ දී බ්‍රිතාන්‍ය ජාතික අවස්ථාවාදීන් සමඟ සියලු සබඳතා අවසන් කිරීම මගින් සමාප්ත විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු උත්පාත අවධිය මෙම කාල පරිච්ඡේදයට මුලුමනින්ම පාහේ ඇතුලත් වෙයි. කෘෂෙව්ගේ රහසිගත කථාව, හංගේරියානු විප්ලවය, විජිත විරෝධී අරගල රැල්ලක් පුපුරා යාම (එනම් වියට්නාමය, ඊජිප්තුව, ඇල්ජීරියාව, කොංගෝව), කියුබාවේ කැස්ත්‍රෝ තන්ත්‍රය පිහිටුවීම, එක්සත් ජනපදය වියට්නාමයට මැදිහත්වීම වැනි සිදුවීම් ඊට ඇතුලත් ය. ඉන් පසුව ලොව පුරා දැවැන්ත ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය පුපුරා යාම, 1965-66 ඉන්දුනීසියාවේ ප්‍රති-විප්ලවවාදී සංහාරය, චීනයේ සංස්කෘතික විප්ලවය, 1968 මැයි-ජූනි ප්‍රංශ මහා වැඩ වර්ජනය, 1971අගෝස්තු මාසයේ බ්‍රෙට්න්වුඞ්ස් ක්‍රමය බිඳ වැටීම, 1973 සැප්තැම්බරයේ ඇලෙන්ඬේ බලයෙන් පහ කිරීම, 1973 ඔක්තෝබර් අරාබි-ඊස්රායල් යුද්ධය, 1974 මාර්තු මාසයේ ටෝරි රජයට එරෙහිව බ්‍රිතාන්‍ය පතල් කම්කරුවන්ගේ ජයග්‍රහනය, 1974 අප්‍රේල් මාසයේ පෘතුගීසි විප්ලවය, 1974 ජූලි මාසයේ ග්‍රීක ජුන්ටාව බිඳ වැටීම, 1974 අගෝස්තු මාසයේදී නික්සන් ඉල්ලා අස්වීම, 1975 මැයි මාසයේ වියට්නාමයේදී එක්සත් ජනපදය පරාජය වීම, 1978-79 ඉරාන විප්ලවය, 1979 සහ 1980 දී තැචර් සහ රේගන් බලයට පත්වීම සහ ඉන් පසුව සමාජ හා දේශපාලන ප්‍රතිගාමිත්වයේ ක්‍රියාවලියක ආරම්භය.

සමාජවාදී විප්ලවයේ හැකියාව වෛෂයිකව මතුකල කම්කරු පන්තියේ බලගතු මහජන ව්‍යාපාර පැනනැගුනු මෙම පිපිරුම් සහගත කාලය තුල, ජාත්‍යන්තර කමිටුවට පොරබදීමට සිදු වූයේ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වෘත්තීය සමිති සහ ඒවා සමඟ සම්බන්ධකම් පැවැත්වු සංවිධානවල නිරන්තර පීඩනය සමඟ පමනක් නොවේ. ඉහත සඳහන් නිලධරයන් හා සුලු ධනේශ්වර රැඩිකල්වාදීන් සහ ප්‍රති ට්‍රොට්ස්කිවාදී බුද්ධිමතුන්ගේ පුලුල් ස්ථරයක් සමඟ සම්බන්ධ වූ පැබ්ලෝවාදී සංවිධාන, මාක්ස්වාදී න්‍යායේ සහ හතරවන ජාත්‍යන්තරයේ මූලධර්මයන්ගේ නිර්දය මුසාකරන, දේශපාලන හා සංවිධානාමය ප්‍රකෝප කිරීම් මාලාවක් සමඟ එකට ගලතමින් ජාත්‍යන්තර කමිටුව හුදෙකලා කිරීමට උත්සාහ කලහ.

පලමු හා දෙවන අදියර අවුරුදු 15 බැගින් වූ කාල පරාසයක් අලලාගනී. 1986 භේදයෙන් අවසන් වූ තුන්වන අදියර වසර 33 ක් පැවතුනි. සිව්වන අදියර 1986 දී ආරම්භ වී වර්තමානය දක්වාම ක්‍රියාත්මක වන අතර එය වසර 33 ක් පුරා විහිද යයි. 1985-86 භේදය ජාත්‍යන්තර කමිටුවේ වසර 66 ක ඉතිහාසයේ නිශ්චිත මධ්‍ය ලක්ෂ්‍යයේදී සිදුවිය. තෙවන හා සිව්වන අදියර අතර වෙනස දැක්වීම උපදේශාත්මක ය. 1953 සිට 1986 දක්වා පැබ්ලෝවාදී අවස්ථාවාදීන් හජාජාක ශාඛාවන් ඇතුලතින් හා පිටතින්, හතරවන ජාත්‍යන්තරයට දැඩි පීඩනයක් එල්ල කලහ. එය, දේශපාලන නොමඟ යැවීමේ හා ප්‍රකෝප කිරීම්වල නිමක් නැති ප්‍රවාහයකි. සමාජ නිර්නයකින් ගත් කල්හි, පැබ්ලෝවාදී සංවිධාන වනාහි, අධිරාජ්‍යවාදය ද එහි ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධාරිවාදී ඒජනතයින් ද විසින් ජාත්‍යන්තර කමිටුව කඩාකප්පල් කිරීම සහ හුදෙකලා කිරීම සඳහා ප්‍රති-මාක්ස්වාදී රැඩිකල් සුලු ධනේශ්වරය මෙහෙයවා ගත් මාධ්‍යය විය. එපමනක් නොව, 1968 සහ 1975 අතර කම්කරු පන්තියේ නැගිටීම පාලනය කිරීමට හා පීලිපැන්වීමටත් ජාත්‍යන්තර කමිටුව මත දේශපාලන පීඩනය තීව්ර කිරීමටත් පැබ්ලෝවාදී සංවිධාන සැලකිය යුතු ක්‍රියාකලාපයක් ඉටු කර තිබේ.

1953 දී පැබ්ලෝ සහ මැන්ඩෙල්ට විරුද්ධ වීමේදී ජාත්‍යන්තර කමිටුවේ ප්‍රන්ස හා බ්‍රිතාන්‍ය ශාඛා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. 1961 සහ 1963 අතර කාලයේ ප්‍රන්ස ශාඛාවේ සහාය ඇතිව බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු සංඟමය, (එස්එල්එල්) ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) ප්‍රතිපත්ති විරහිතව පැබ්ලෝවාදීන් සමඟ යලි එක්වීමට එරෙහි සටනට නායකත්වය දුන්නේය. . එහෙත් 1960 දශකයේ අග භාගයේදී, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ සමාජවාදී කම්කරු සංඟමය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තර සංවිධානය (ඕසීඅයි) රැවටිලිකාර ආකර්ශනීය සංවිධානමය වාසි රැසක් ලබා ගත්තේ වුවත් ඒවා සිය ඉදිරිදර්ශනය හා ක්‍රියාකාරීත්වය ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරය විසින් ආධිපත්‍යය දැරූ, පවත්නා ජාතික දේශපාලන වාතාවරනයට අනුගත කිරීමට පටන් ගත්හ. 1971 දී මෙම සංවිධාන අතර භේදය සිදු වූයේ ඕසීඅයි සහ එස්එල්එල් අතර දේශපාලන මතභේද පැහැදිලි නොකෙරුනු තත්වයන් යටතේ ය. මුලුමනින්ම ජාතික වශයෙන් පදනම් වූ උපායාත්මක උත්සුකයන්ගේ පදනම මත සිදු කෙරුනු එස්එල්එල් කවිප බවට පරිවර්තනය කිරීම බි්‍රතාන්‍ය ශාඛාවේ අවස්ථාවාදී පරිහානිය තවත් වේගවත් කලේය.

බ්‍රිතාන්‍ය සංවිධානයේ වඩ වඩාත් ජාතිකවාදී වූ යොමුව, ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයෙන් හා මූලධර්මවලින් වඩාත් පැහැදිලිව ඉවතට යාමට හේතු විය. නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය අතහැර දැමීම සහ අර්ධ සංවර්ධිත රටවල ජාතික ධනේශ්වරය වෙත එය නැඹුරු වීම තුල මෙය විශේෂයෙන් පෙනෙන්නට තිබුනි.

මෙම දක්ෂිනාංශික හා සාරාර්ථ වශයෙන් පැබ්ලෝවාදී ගමන, හජාජාකහි ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය සහ එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය යන දෙකෙහිම විරුද්ධත්වයට පාත්‍ර විය. මෙම ශාඛා දෙකෙහිම සම්භවය පැවතියේ, 1963 පැබ්ලෝවාදීන් සමඟ යලි එකමුතුවීමට ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂ නායකත්වය ගත් පියවරයන්ට එරෙහි හජාජාක විරුද්ධත්වය තුල ය. මෙය ශාඛා දෙකේම පසුකාලීන වර්ධනයේ තීරනාත්මක සාධකය විය. ඉන්දිරා ගාන්ධිගේ ධනේශ්වර ආන්ඩුවේ නියෝගයෙන් ඉන්දියාව නැගෙනහිර පාකිස්තානය ආක්‍රමනය කිරීමට බ්‍රිතාන්‍ය එස්එල්එල් දුන් සහාය පිලිබඳව 1971 තරම් ඈත දීම කීර්ති බාලසුරිය සහෝදරයා සහ විකොස නායකත්වය තම නො එකඟතා මතු කලේ ය. එහෙත් මෙම ප්‍රතිපත්තිගරුක විවේචන බි්‍රතාන්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර කමිටුව තුල සාකච්ඡාවකින් තොරව ම යටපත් කරන ලදී. එස්එල්එල්, තමන් විවේචනය කිරීම සම්බන්ධයෙන් විකොසෙන් පලිගැනීමට උත්සාහ කලේ, ශ්‍රී ලංකාවේ සංවිධානය හිතාමතාම හුදකලා කොට එහි නායකයින් දුෂ්ට ප්‍රකෝප කිරීම්වලට ලක් කිරීමෙනි.

වර්කර්ස් ලීගය තුල විරුද්ධත්වය වර්ධනය වීම තරමක් දිග්ගැස්සුනු හා සංකීර්න සන්තතියකට සම්බන්ධ විය. 1974 දී වුල්ෆර්ත් ජාතික ලේකම් ධුරයෙන් ඉවත් කිරීම, (ඔහු එස්ඩබ්ලිව්පීයට යලි එක්විය). සංවිධානයේ සමස්ත කේඩරයම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පදනම් කරගෙන ක්‍රමානුකූලව උගන්වා ගැනීමේ හැකියාව ඇති කලේය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ලෙස හැඳින්වෙන ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය අලලා ගත් තත්වයන් පිලිබඳ විමර්ශනය ආරම්භ කිරීම, වර්කර්ස් ලීගයේ දේශපාලන සංවර්ධනය සඳහා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය. යථා, වෛෂයික නිර්නයකින් ගත් කල, ධනපති රාජ්‍යයේ මෙන්ම ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී ඒජන්සිවලට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන ප්‍රහාරයක් ද එයින් නියෝජනය විය.

1974 න් පසුව වර්කර්ස් ලීගය අත්කරගත් සැලකිය යුතු වර්ධනය, 1982 දී ආරම්භ වූ දේශපාලන අරගලය සඳහා සංවිධානය සූදානම් කලේය. කවිපය සමඟ ආරම්භක මතභේද ඉදිරිපත් වුනේ මෙහිදීය. මෙම අරගලයේ පලමු අදියරේදී වර්කර්ස් ලීගය සම්පූර්නයෙන්ම හුදෙකලා වූ බවක් පෙනෙන්නට තිබුනි. එහෙත් යන්තම් වසර තුනකටත් අඩු කාලයකදී, කවිප පැබ්ලෝවාදී දේශපාලනයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විරෝධය ජාත්‍යන්තර කමිටුවේ තීරනාත්මක බහුතරයක් දිනා ගත්තේය. 1985 අගෝස්තු සිට 1986 පෙබරවාරි දක්වා ජාත්‍යන්තර කමිටුව තුල සිදු වූ පරිවර්තනය සන්සන්දනාත්මකව ගත් කල දේශපාලන විප්ලවයකට සමාන විය.

1985 ජනවාරියේ පැවති ඊනියා “ජාත්‍යන්තර කමිටුවේ දසවන සම්මේලනයේ” දී කම්කරු විප්ලවවාදී පක්ෂයේ නායකයින්, පෙර වසර තුන තුල වර්කර්ස් ලීගය විසින් මතු කරන ලද මතභේද පිලිබඳ කිසිදු සාකච්ඡාවකට ඉඩ නොදුන් බව මතක තබා ගන්න. කවිපය විසින් සම්මේලනයේ සාකච්ඡා කිරීම සඳහා සකස් කල ඉදිරිදර්ශන ලේඛනය අසම්බන්ධිත හා සාටෝප ප්‍රකාශයන්ගෙන් සමන්විත විය. පසුව, කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද? යන ප්‍රකාශනය තුල ඊට උචිත ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් එය හැඳින්වූයේ “ක්ලිෆ් ස්ලෝටර්ගේ තකතිරුකම් දහය” යනුවෙනි.

හීලි, බන්ඩා සහ ස්ලෝටර් ඔවුන්ගේ දේශපාලන බංකොලොත්කම වසා ගැනීමට උත්සාහ කලේ, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා වලට එරෙහිව එකකට පසුව තවෙකක් වශයෙන් කරන ලද දේශපාලන ප්‍රකෝප කිරීම් තුලින්ය. එහෙත් 1985 අවසානය වන විට, නොනවතින විප්ලවයේ න්‍යාය ආරක්ෂා කරන සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් අවසානයේ ජාත්‍යන්තර කමිටුවේ පාලනය නැවත ලබා ගත් අතර කවිප සාමාජිකත්වය අත්හිටුවනු ලැබිනි.

1982-86 ගැටුමෙහි ඉතිහාසය පිලිබඳව හැදෑරීමේ දී පක්ෂ අභ්‍යන්තර අරගලය ද භේදය වර්ධනය වූ ඓතිහාසික, දේශපාලන සහ සමාජ සන්දර්භය ද අතර සංකීර්න අන්තර්ඡේදනය අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. (මෙම භේදය එහි සවිඤ්ඤානික දේශපාලන ප්‍රකාශනයකි.)

මෙම පුලුල් සන්දර්භයෙන් තොරව 1982-86 සිදුවීම් සැබවින්ම වටහා ගත නොහැක. දර්ශනවාදය හා අපෝහක විධික්‍රමයට අදාල, වර්කර්ස් ලීගය සහ කම්කරු විප්ලවවාදී පක්ෂය අතර මතුවූ මතභේදවල වඩාත් වියුක්ත අංග පවා, හජාජාකට පිටත සිදුවන වර්ධනයන් හා සම්බන්ධ විය. කෙසේ වෙතත්, නව-හේගල්වාදී “ඥානනයේ භාවිතය” පිලිබඳ හීලිගේ අද්භූත, කැඳහැලියක් වැනි විමර්ෂන පෙන්නුම් කලේ, දාර්ශනික භෞතිකවාදයෙන් ඔහුගේ පසුබැසීම සහ අතිශය ආත්මීය හා ස්වේච්ඡා ක්‍රමවේදයක් වැලඳ ගැනීමයි. ඒවා තුල 1968 න් පසුව සුලු ධනේශ්වර බුද්ධිමතුන් අතර ආධිපත්‍යය දැරූ මාක්ස්වාද විරෝධී න්‍යාය පිලිබඳ බොහෝ අංඟ පුනර්කරනය වී තිබුනි.

1982 දී හීලිගේ මාක්ස්වාදය සංශෝධනය කිරීම් පිලිබඳ විචාරය වර්ධනය කිරීමේදී, 1843 සහ 1847 අතර කාලය තුල මාක්ස් සහ එංගල්ස් වාම හේගලියානුවාදයෙන් බිඳී වෙන්වීමේත් ඓතිහාසික භෞතිකවාදී සංකල්පය විස්තාරනය කිරීමේත් න්‍යායික හා බුද්ධිමය සන්තතිය ප්‍රතිනිර්මානය කිරීම අවශ්‍ය විය. වාම හෙගලියානුවන්ගේ ආත්මීය විඤ්ඤානවාදය සැබැවින්ම විකාර සහගත ආකාරයකින් පුනර්ජීවනය කල හා පුම්බන ලද අනෙකුත් නොගිනිය හැකි ඡේද පසෙක තැබුවද, මනුෂ්‍ය ඉතිහාසය වටහා ගත යුත්තේ, “හාම්පුතුන් සහ කම්කරු පන්තිය යන දෙපාර්ශවයේම නිර්මානාත්මක අංගයේ, මිනිසාගේ මූලිකත්වයේ වර්ධනය ලෙස ය” යන හීලිගේ කියාපෑම (7) නිශ්චිත දේශපාලන අරමුනකට සේවය කලේ ය: එනම් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම මත පදනම්වූ දේශපාලන ක්‍රියාමාර්ගය අතහැර දැමීමට ය. 1983 වන විට ක්ලිෆ් ස්ලෝටර් මෙම දේශපාලන ස්වාධීනත්වය කෙරෙහි වර්කර්ස් ලීගය විශාල වශයෙන්අවධාරනය කිරීමට” පහර දුන්නේය. මාක්ස්වාදී භෞතිකවාදයට මෙන්ම කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව කෙරෙහි එය යොදන අවධාරනයට ද යන දෙකටම පහර ගසමින් එම කාල පරිච්ඡේදය තුල ලිවූ බෝහෝ සුලු ධනේශ්වරය මාක්ස්වාද විරෝධී න්‍යායවාදීන් ගැන උදාහරන සැපයීම දුෂ්කර නොවේ.

ඉතා ප්‍රසිද්ධ එක් උදාහරනයක් පමනක් සැපයීම සඳහා, අර්නෙස්ටෝ ලැක්ලාව් සහ චැන්ටල් මූෆ් විසින් රචනා කරන ලද 1985 දී පැබ්ලෝවාදී ප්‍රකාශන ආයතනය වන වර්සෝ විසින් ප්‍රකාශයට පත්කරන ලද Hegomony and Socialist Strategy (ආධිපත්‍යය සහ සමාජවාදී මූලෝපාය), යන පොත මුලුමනින්ම කැප කෙරුනේ, වර්කර්ස් ලීගය කම්කරු පන්තිය මත “ඕනෑවට වැඩි අවධානයක්” යොදන්නේ යයි 1983 දී ක්ලිෆ් ස්ලෝටර් ඉදිරිපත් කල විවේචනය තහවුරු කිරීමටයි. ඔවුහු මෙසේ ලිවූහ: “දැන් අර්බුදයට පත්ව ඇත්තේ කම්කරු පන්තියේ සද්භාවාත්මක කේන්ද්‍රීයභාවය මත රඳා පවතින සමාජවාදය පිලිබඳ සමස්ත සංකල්පය මයි...” ස්ලෝටර් ගේ 1983 ලිපිය ගැන ලැක්ලාව් සහ මූෆ් කිසිවක් දැන නොසිටි බව ද කවිප පිලිබඳ මගේ විවේචන ගැන ස්ලෝටර් ඔවුන් සමඟ සාකච්ඡා නොකල බව ද මට විශ්වාසය. කෙසේ වෙතත්, ලැක්ලාව් සහ මූෆ් යන දෙදෙනාම පෙලගස්වන බුද්ධිමය හා දේශපාලන සංකල්ප සුලු ධනේශ්වර මාක්ස් විරෝධී න්‍යායවාදීන්ගේ පුලුල් කොටස් අතර ව්‍යාප්තව පැවතුනි.

ස්ටැලින්වාදයේ ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ද ධනේශ්වර ජාතිකවාදයේ ද ලෝක ධනවාදයේ ගෝලීය ප්‍රතිව්‍යුහකරනයේ ද වර්ධනය වන අර්බුදයෙන් වර්කර්ස් ලීගයේ විරුද්ධත්වය ඉබේ පහල නොවීය. නිසැකවමමෙය සමාජ බලවේගයන්ගේ නව සම්බන්ධතාවයක් සහ සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මානය කල අතර ට්‍රොට්ස්කි විරෝධී අවස්ථාවාදීන්ට සහ භ්‍රෂ්ඨයන්ට එරෙහිව ජයග්‍රහනයට දායක විය.

කෙසේ වෙතත්, කවිප පරාජය කිරීම සහ අවස්ථාවාදීන් ජාත්‍යන්තර කමිටුවෙන් නෙරපා හැරීම කල් තියා නියම කෙරුනු හා ස්වයංක්‍රීය ක්‍රියාවලියක් නොවීය. එය දැනුවත්ව හා හිතාමතාම කරන ලද අරගලයකි. එහෙත් ගැටුමේ ආරම්භය සහ එහි සංවර්ධනයේ ස්වරූපය ද ඓතිහාසික සාධක මගින් තීරනය කෙරුනු අතර එය වර්කර්ස් ලීගයේ නායකත්වයේ සහ කේඩරයේ දේශපාලන විඤ්ඤානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කලේය.

පැහැදිලිවම, අපෝහක භෞතිකවාදී අධ්‍යයන නමැති හීලිගේ ලියකියවිලි පිලිබඳ විවේචනයේ දී, අපි ඉතා සවිඤ්ඤානිකව මාක්ස්වාදී ව්‍යාපාරයේ සමස්ත න්‍යායාත්මක ප්‍රාග්ධනය මත පදනම් වූ අතර, එහි මූලාරම්භය දක්වාම ගමන් කලෙමු.

එපමනක් නොව, 1917 ඔක්තෝබර් විප්ලවයේ මූලධර්ම හා පරමාදර්ශ ආරක්ෂා කොට වර්ධනය කල ලියොන් ට්‍රොට්ස්කිගේ බුද්ධිමය හා දේශපාලන උරුමය ගැන අපි දැන සිටියෙමු. 2008 දී සසප ආරම්භක සමුලුවේදී සම්මත කරන ලද සමාජවාදී සමානාත්මතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලේඛනය තුල, ඉතිහාසයේ ට්‍රොට්ස්කි දරන ස්ථානය පිලිබඳ සංක්ෂිප්ත සාරාංශයක් ඉදිරිපත් කලේය:

මෙම විශිෂ්ට විප්ලවවාදියා ඔක්තෝබර් විප්ලවයේ සම නායකයා පමනක් නොව ස්ටැලින්වාදයේ අශාම්‍ය විරුද්ධවාදියා ද, හතරවන ජාත්‍යන්තරයේ මූලාරම්භකයා ද විය. 19 වන සියවසේ අවසාන දශකයේ හා 20 වන සියවසේ මුල් දශකයන් හි පැනනැගි කම්කරුවන්ගේ විප්ලවවාදී මහජන ව්‍යාපාරයට ආස්වාදය දුන් සම්භාව්‍ය මාක්ස්වාදයේ අවසාන හා ශ්‍රේෂ්ඨතම දේශපාලනික, බුද්ධිමය, සංස්කෘතික හා සදාචාර සම්ප්‍රදායන්ගේ අවසාන හා ශේෂ්ඨතම නියෝජිතයා වූයේ ඔහුය. දාර්ශනිකව භෞතිකවාදය තුල මුල් බැස ගත්තා වූ, වෛෂයික යථාර්ථය ඥානනය කිරීම සඳහා එලියට හැරී ගත්තා වූ ද, කම්කරු පන්තිය අධ්‍යාපනය ගත කොට දේශපාලනිකව බලමුලු ගැන්වීම කරා යොමු වූ ද ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයේ මූලෝපායිකව නිමග්න වූ ද විප්ලවවාදී න්‍යාය පිළිබඳ සංකල්පය ට්‍රොට්ස්කි විසිනි වර්ධනය කරනු ලැබීය. (8)

අපි වෙහෙස නොබලා අධ්‍යයනය කල ට්‍රොට්ස්කිගේ ලියවිලි, ස්ටැලින්වාදීන් විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමේ ස්වභාවය හෙලිදරව් කල අතර සමකාලීන ලෝකය තුල සමාජවාදී විප්ලවය සඳහා ක්‍රියාමාර්ගික පදනම් ද මූලෝපායික දිශාවනතිය ද වර්ධනය කලේය. එසේම අපි ශ්රේෂ්ඨ ඇමරිකානු විප්ලවවාදියා වූ ජේම්ස් පී කැනන්ගේ නායකත්වය යටතේ සමාජවාදී කම්කරු පක්ෂය වර්ධනය කල පුරෝගාමී වැඩකටයුතු වලින් ද දේශපාලන උත්තේජනයක් හා සැබෑ දැනුමක් ලබා ගත්තෙමු.

පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඬලය සමඟ එකතුව ජෝසප් හැන්සන් විසින් මෙහෙයවන ලද එස්ඩබ්ලිව්පී හි ප්‍රතිපත්ති විරහිත යලි එකමුතුවට එරෙහිව 1960 දශකයේ මුල් භාගයේදී එස්එල්එල් විසින් දියත් කරන ලද සටනකින් තොරව හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු කමිටුව පිහිටුවීම හෝ 1966 දී වර්කරස් ලීගය පිහිටුවීම සිදු නොවනු ඇත. 1970 දශකයේ මුල් භාගයේ වර්කර්ස් ලීගයට සම්බන්ධ වූ අය, Trotskyism verses Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) පලමු වෙලුම් හතරේ පල වූ ප්‍රධාන ලේඛන තරයේ හැදෑරූහ. වර්කර්ස් ලීගය කිසි විටෙකත් බැහැර නොකළ බි්‍රතාන්‍ය ශාඛාවේ ඉතිහාසයෙහි තීරනාත්මක අංගය එයයි.

වර්කර්ස් ලීගයට මුල් කාලයේ සිටම කම්කරු පන්තිය කෙරෙහි අධිෂ්ඨානශීලී දිශාවනතියක් තිබූ බව අවධාරනය කල යුතුය. එය මුහුන දුන් සියලු දුෂ්කරතා මධ්‍යයේ වුව ද වර්කර්ස් ලීගය ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව කෙරෙහි විශ්වාසය තබා තිබේ. “කැනන්වාදයේ” හොඳම සම්ප්‍රදායන් ප්‍රකාශ වූයේ මෙමගිනි.

වර්කරස් ලීගයේ දේශපාලන ඉතිහාසය ද ශාඛාවේ න්‍යායික-දේශපාලන වැඩ කටයුතු ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා මූලධර්ම සමඟ බැඳුනු වර්කරස් ලීගයේ නායකත්වය, වෛෂයික ආර්ථික ක්‍රියාවලීන් හා දේශපාලන සිදුවීම් කෙරෙහි සංවේදීගත කර තිබුනි. මෙය කවිප විසින් අනුගමනය කරන ලද මාවත කෙරෙහි දේශපාලන නොසතුටක් හා නොඑකඟත්වයක් ඇති කලේය.

වසර 40 කට ආසන්න කාලය වෙත ආපසු හැරී බැලීමේ වාසිය ලබා ගනිමින්, කිවහැක්කේ 1985 දෙසැම්බරයේ දී කවිප ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් කිරීම සහ 1986 පෙබරවාරි මාසයේදී සබඳතා සම්පූර්නයෙන් බිඳ දැමීම සමඟ අවසන් වූ මෙම විවේචනය මගින් ආරම්භ වූ ගැටුම ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ තීරනාත්මක සිදුවීමක් ලෙස හඳුනා ගත හැකි බවයි. හතරවන ජාත්‍යන්තරයේ පැවැත්ම ම අන්තරායකට මුහුනදී තිබුනි.. ජාත්‍යන්තර කමිටුව නොවන්නට ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය පැබ්ලෝවාදීන් විසින් දේශපාලනිකව දියකර හරින්නට ඉඩ තිබුනි. පැබ්ලෝවාදීන්ට සංවිධානාත්මක පාලනය අත්කර ගැනීමට හැකි වූ සෑම රටකම ට්‍රොට්ස්කිවාදී සංවිධාන ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානවල දේශපාලන අත්ගෙඩි බවට පත් කිරීමෙන් ඒවා විනාශ කර දමා තිබුනි. 1985 වන විට, පැබ්ලෝවාදයට යටත් වූ කම්කරු විප්ලවවාදී පක්ෂය එම විනාශකාරී මෙහෙයුම සම්පූර්න කිරීමට ආසන්න විය. අප පසුව සොයා ගත් පරිදි, හීලි සිය රහසිගත පනිවුඩ මගින්, මැද පෙරදිග ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ගේ හා බි්‍රතාන්‍ය වෘත්තීය සමිති නිලධරයේ පරිහරනයට කවිප සියලු සම්පත් කැපකරන බවට පොරොන්දු වෙමින් සිටියේ ය.

ඇත්ත වශයෙන්ම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පවත්වා ගෙන යාමේ සහ යලි ගොඩනැඟීමේ ප්‍රයත්නයන් පැවතිය යුතු විය. හතරවන ජාත්‍යන්තරය නැවත ගොඩනැඟීමට අධිෂ්ඨාන කරගෙන සිටි, ට්‍රොට්ස්කිවාදයට කැප වූ ජාත්‍යන්තර කමිටු සහෝදරවරුන් සෑම ශාඛාවකම සිටින්නට ඇති බව මට විශ්වාසය. එහෙත් 1985 අර්බුදයට මූලික හේතු පිලිබඳව ඉතා දියුනු විශ්ලේෂනයක් නොතිබුනි නම්, කවිප බිඳවැටීමෙන් පසුව ඇතිවිය හැකිව තිබූ අවුල් සහගත භාවය ඔවුන්ගේ උත්සාහයන්ට බාධකයක් වනු ඇත. සත්තකින්ම, ජෙරී හීලිගේ න්‍යායික වාචාලකම සහ කවිප පැබ්ලොවාදී සංශෝධනවාදයට යටත් වීම පිලිබඳව, 1982 සහ 1984 අතර වර්කර්ස් ලීගයේ නායකත්වය විසින් වර්ධනය කරන ලද සවිස්තරාත්මක ලිඛිත විවේචනයක් තිබීම මඟින්, කවිප දේශපාලන අර්බුදය සමස්ත ජාත්‍යන්තර කමිටුවේම “සම පරිහානියෙහි” එක් අංඟයක් යයි ගෙතූ ක්ලිෆ් ස්ලෝටර්ගේ නරුම බොරුව නිෂ්ප්‍රභා කෙරින. 1985-86 අර්බුදයෙන් ජාත්‍යන්තර කමිටුව නොනැසී පැවතුනේ නැත්නම්, දේශපාලනිකව එක්සත් ජාත්‍යන්තර විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් අද ලෝකයේ නොතිබෙනු ඇත.

එහෙත් ජාත්‍යන්තර කමිටුව අර්බුදයෙන් බේරුනා පමනක් නොවේ. එය භේදයෙන් ඉස්මතු වුනේ දැවැන්තව ශක්තිමත් වූ සංවිධානයක් ලෙස ය. 1985-86 භේදයේ දේශපාලන වැදගත්කම, භේදයට පෙර වසර 33 ක කාලය තුළ ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය, කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ භේද වීමෙන් පසු එහි දේශපාලන වර්ධනය සමඟ සංසන්දනය කරන විට පෙනී යයි. පැබ්ලොවාදී අවස්ථාවාදයේ තීරනාත්මක පරාජය හා නෙරපා හැරීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දැවැන්ත න්‍යායික, දේශපාලන හා සංවිධානාත්මක වර්ධනයක් සඳහා කොන්දේසි නිර්මානය කලේය. ජාතික අවස්ථාවාදීන් නෙරපා හැරීමෙන් පසුව කල හැකිවූ න්‍යායික හා දේශපාලන පැහැදිලි කිරීම්වල කාර්යය, ට්‍රොට්ස්කිවාදයේ පුනරුදයකට වඩා අඩු දෙයක් නොවේ.

1982 සිට 1986 දක්වා කාලය තුල සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීහු හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන උරුමය සහ වැඩපිලිවෙල ආරක්ෂා කලහ. ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍ය ඓතිහාසික වැදගත්කම, භේදයෙන් ඉක්බිතිව දිග හැරුනු ලෝක සිදුවීම් මගින් අනාවරනය විය. ඇත්ත වශයෙන්ම 1985-86 භේදය, දැවැන්ත ගෝලීය දේශපාලන, භූදේශපාලනික හා සමාජ-ආර්ථික වෙනස්කම් පෙර දුටු බව අපි දැන් දනිමු.

කවිප ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, එය ධනේශ්වර ජාතිකවාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදීන් සහ ස්ටැලින්වාදී පක්ෂ තුල නව සගයන් සෙවීය. එය ජාත්‍යන්තර කමිටුවේ කුඩා ශාඛා දෙස බැලුවේ අවඥාවෙනි. එසේ නම් “ට්‍රොට්ස්කිවාදී කන්ඬායම්” මොකට ද? (භේදයට පෙර වසරවල වෙන කවරදාටත් වඩා මෙය වැඩියෙන් හීලි භාවිතා කල පදයකි) 1986 භේදයෙන් වසර පහක් ඇතුලත, නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර සියල්ලම විසුරුවා හරිනු ඇති බවත්, මහා ස්ටැලින්වාදී සංවිධාන කෑලි වලට කඩා බිඳ දමනු ඇති බවත් භ්‍රෂ්ඨයන්ට සිතාගැනීමටවත් නොහැකි විය. 1938 දී හතරවන ජාත්‍යන්තරය දියත් කරමින්, “මිනිස් සංහතිය මත වේගයෙන් පතිත වන මහා සිදුවීම්, මෙම කල් ඉකුත් වූ සංවිධානවල එක සලකුනක් වත් ඉතිරි නොකරනු ඇත” යන ට්‍රොට්ස්කිගේ අනාවැකිය සනාථ කලේය.

මිඛායෙල් ගොර්බචෙව් දේශපාලන විප්ලවයකට නායකත්වය දෙන බව විශ්වාස කරමින්, ශෝචනීය ලෙස අබලන්ව සිටි හීලි, 1989 දෙසැම්බරයේ ඔහුගේ සොහොන කරා ගියේය. භේදයෙන් පසුව ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් මධ්‍යයේ, ජාත්‍යන්තර කමිටුව, භ්‍රෂ්ඨයින් විසින් සිදු කර ඇති හානිය පිලිසකර කරගත්තා පමණක් නොවේ. හතරවන ජාත්‍යන්තරයේ දුරදිග යන න්‍යායික හා දේශපාලන නව්‍යකරනයක් සිදු කිරීමට එය භාරගත්තේය. හුරුපුරුදු දේශපාලන සූත්‍ර හා සටන් පාඨ පුනරුච්ඡාරනය කිරීමට පමණක් සීමා වීමෙන් මෙම අභියෝගයට මුහුණ දිය නොහැකි විය. ඓතිහාසික අත්දැකීම්වල ප්‍රිස්මයෙන් පෙරාගන්නා ලද, මාක්ස්වාදී විධික්‍රමය පෙර-නිමි පිලිතුරක් නැති පෙර නොවූ විරූ සිද්ධීන් විශ්ලේෂනය කිරීම සඳහා නිර්මානාත්මකව සහ පරිකල්පනාත්මකව යොදා ගැනීම අවශ්‍යය.

ජාත්‍යන්තර කමිටුව විසින් සිදු කරන ලද න්‍යායික කාර්යයේ විස්තාරය, භේදයෙන් පසු වසර හය තුළ පැවති එහි පූර්න රැස්වීම් සමාලෝචනයක දැක්වේ:

1986 මැයි 18 සිට ජූනි 9 දක්වා පැවති හජාජාක පලමු සැසිවාරය, කවිප පාවාදීම පිලිබඳ විශ්ලේෂනයක් සඳහා යොමු විය. කවිප බිඳවැටීම අවස්ථාවාදයේ නිමැවුමක් වූ බව එය තහවුරු කළේය. සති දෙකක කාලයක් පැවති එම සමුළුව අතරතුර, කීර්ති සහෝදරයා සහ මම එක්ව කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේ ද? 1973-1985 නමැති ප්‍රකාශනය ලිවීමට කටයුතු කලෙමු.

1986 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 12 දක්වා පැවති හජාජාක දෙවන සැසිය, ජාත්‍යන්තර කමිටුව පුරා කවිප අවස්ථාවාදයේ බලපෑම විමසා බැලූ අතර ජාත්‍යන්තර කමිටුවේ විවිධ ශාඛාවල ඉදිරිදර්ශන වර්ධනය විකෘති කළ “උපායාත්මක අවස්ථාවාදය” පිලිබඳ විවේචනයක් වර්ධනය කලේය. අපි බි්‍රතාන්‍යයේ ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය පිළිබඳ යෝජනාවක් ද සකස් කල අතර ශ්‍රී ලංකාවේ විකොස සඳහා ඉදිරිදර්ශනයේ වැඩ ආරම්භ කළෙමු.

1987 මාර්තු 10-23 කාලයේ පැවති හජාජාක තෙවන සැසිය, කවිප හා ආර්ජන්ටිනාවේ මාස් (සමාජවාදය සඳහා ව්‍යාපාරය) අතර සබඳතා පිලිබඳ විශ්ලේෂනයක් ඉදිරිපත් කල අතර බිල් වෑන් ඕකන් හා නික් බීම්ස් විසින් ලියන ලද පෙරෙස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් පිලිබඳ විශ්ලේෂනයක් වූ “සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ සිදුවන්නේ කුමක්ද” යන ප්‍රකාශය ද ඉදිරිපත් කරන ලදී. මාස් (සමාජවාදය සඳහා ව්‍යාපාරය) හි ඉතිහාසය සමාලෝචනය කිරීම වැදගත් වූයේ, ආර්ජන්ටිනාවේ සිදුවීම්වල නිසග වැදගත්කම නිසා පමනක් නොව, ඔවුන් ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී යාමෙන් පසුව, ආර්ජන්ටිනාවේ කුප්‍රකට අවස්ථාවාදියෙකු වන නහුවෙල් මොරෙනෝගේ සංවිධානය සමඟ සන්ධානයක් තුලින් හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමට නව පදනමක් ඇති බව ස්ලෝටර් සහ ඔහුගේ ආධාරකරුවන් කියාපෑ හෙයිනි.

1987 ජූලි 20-27 කාලයේ පැවති හතරවන සැසියේදී, ජාත්‍යන්තර ඉදිරිදර්ශන ලේඛනයක් කෙටුම්පත් කිරීම අරමුනු කරගත් සාකච්ඡා ආරම්භ විය. මාක්ස්වාදය සහ පන්ති අරගලයේ අතිමූලික මූලධර්ම පවා විශ්වීය වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන්හි නව රැල්ලකට පදනම දමනු ඇති ගෝලීය ආර්ථික හා භූදේශපාලනික වෛෂයික ගාමක බලවේගයන් විස්තාරනය කිරීමට හජාජාක යෙදී ගත යුතු බවට නියෝජිතයෝ එකඟ වූහ.

1987 නොවැම්බර් 11 සිට 20 දක්වා පස්වන සැසිය පැවැත්වුනේ, ඉදිරිදර්ශන පිලිබඳ කටයුතුවල කාලෝචිත භාවය ඒවන විටත් සනාථ කෙරී තිබුන කොන්දේසි යටතේ ය. 1987 ඔක්තෝබර් 19 වැනිදා ජාත්‍යන්තර කොටස් වෙලඳපොලවල් කඩා වැටී තිබුනි. මෙම සිදුවීම විශ්ලේෂනය කිරීමේ න්‍යායික පදනම මේ වන විටත්, නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ ලෝක වෙලඳපොල හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර තීව්‍ර වන ගැටුම පිලිබඳව, සිව්වන සැසියෙන් පසුව සිදු කරන ලද කටයුතුවල දී විස්තාරනය කර තිබුනි.. විප්ලවවාදී කොමියුනිස්ට් සංඝමයේ කර්තව්‍යයන් පිලිබඳ වැඩිදුර විශ්ලේෂනයක් ද මෙම සැසිය විසින් වර්ධනය කරන ලද අතර, ශ්‍රී ලංකා ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කලේය.

හජාජාක හි හයවන සැසිය (1988 පෙබරවාරි 9-13), 1987 දෙසැම්බර් 18 වන දින වයස අවුරුදු 39 දී සිදු වූ කීර්ති බාලසුරියගේ හදිසි හා අකල් මරනයෙන් සති කිහිපයකට පසුව පැවැත්විනි. මෙම සැසිය, හජාජාකහි ශාඛාවල වැඩ කිරීමේදී ජාත්‍යන්තර මූලෝපාය හා ජාතික උපාය මාර්ග අතර සම්බන්ධතාව වෙත අවධානය යොමු කලේය.

හජාජාක හි හත්වන සැසිය (1988 ජූලි 23-26) ජාත්‍යන්තර ඉදිරිදර්ශන යෝජනාව අධ්‍යයනය කර ඒකමතිකව සම්මත කලේය. (9)

හජාජාකහි අටවන සැසිය (1989 ජූනි 15-24), 1985-86 භේදයෙන් පසුව ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය සමාලෝචනය කලේය, එම සැසිය ගොර්බචෙව් පාලන තන්ත්‍රයේ ගැඹුරු වන අර්බුදය පිලිබඳව සාකච්ඡා කල අතර මා සෝවියට් සංගමයට යා යුතු යැයි තීරනය කලේය.

නවවන සැසිය (1989 දෙසැම්බර් 11-16) නැගෙනහිර යුරෝපයේ, විශේෂයෙන්ම (Deutsche Demokratische Republik) එවකට නැගෙනහිර ජර්මනියේ සිදුවීම් සමාලෝචනය කලේය. මම නොවැම්බරයේ දී සෝවියට් සංගමයට කල මාගේ සංචාරය පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කලෙමි. එහිදී මොස්කව්හි ඓතිහාසික-ලේඛනාගාර ආයතනයේ දී මා පැවැත්වූ දේශනයට 200ට ආසන්න පිරිසක් සහභාගී වූහ.

හජාජාක දසවන සැසිය (1990 මැයි 6-9) නැගෙනහිර ජර්මනිය විසුරුවා හැරීමේ දේශපාලන හා ඓතිහාසික අර්ථභාරය විමසා බැලුවේය.

හජාජාකහි එකොලොස් වන සැසිය (1991 මාර්තු 5-9) එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කිරීම පිලිබඳව පුලුල් සාකච්ඡාවක් පැවැත්වීය. එම වසර අවසානයේ දී අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර සමුලුවක් පැවැත්වීමට ජාත්‍යන්තර කමිටුව තීරනය කලේය. සැසියෙන් පසුව, ගල්ෆ් යුද්ධයේ අර්ථභාරය විභාග කල ප්‍රකාශයක් හජජාක විසින් නිකුත් කෙරුනු අතර එය ජාත්‍යන්තර සමුලුවක් සඳහා ක්‍රියාමාර්ගික පදනම සම්පාදනය කලේය.

හජාජාකහි දොලොස්වන සැසිය (1992 මාර්තු 11-14) ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ සන්දර්භය තුල සෝවියට් සංඟමය විසුරුවා හැරීම විමසා බැලුවේය. සැසිය, “මාක්ස්වාදය සඳහා අරගලය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” යන මාගේ වාර්තාවෙන් ඇරඹුනි.

භේදයෙන් පසු වසර හය තුල පවත්වන ලද සැසිවාර දොලහ පිලිබඳ මෙම සමාලෝචනයෙන් පැහැදිලි විය යුතු පරිදි, හජාජාක හි කාර්යයේ විෂය පථය ඉමහත් ය. මෙම එක් එක් සැසිවාරයේ සංක්ෂිප්ත සාරාංශයට, මෙම දේශපාලනික වශයෙන් තියුනු රැස්වීම්වල දී සමාලෝචනය කරන ලද සිදුවීම් සහ දේශපාලන අත්දැකීම්වල සම්පූර්න පරාසයම ඇතුලත් නොවන බව මා පෙන්වා දිය යුතුය. නිදසුනක් වශයෙන්, මෙම රැස්වීම් බොහොමයක දී, නොනවතින විප්ලවයේ මූලෝපාය වර්ධනය කිරීම සහ ජාතික ස්වයං නිර්නය සඳහා වන ඉල්ලීම කෙරෙහි හතරවන ජාත්‍යන්තරයේ ආකල්පය නැවත ඇගයීම සඳහා තීරනාත්මක වූ ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිලිබඳ පුළුල් සාකච්ඡා පැවැත්විණි. 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කරන විට තවත් සැසිවාර පහක් පවත්වා තිබුණි. 1995 අගෝස්තු මාසයේ පහළොස්වන සැසියේදී ලීගයන් පක්ෂ බවට පරිවර්තනය වීමට හේතු සහ ඇඟවුම් සාකච්ඡා කරන ලදී. 1998 ජනවාරියේ පැවති දහඅටවන සැසිය ලෝසවෙඅ දියත් කිරීම සඳහා අවසාන අනුමැතිය ලබා දුන්නේය.

මේ සෑම කටයුත්තකදීම අපගේ ව්‍යායාමයට මඟ පෙන්වූ මූලික දේශපාලන මූලධර්මය වූයේ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයයි. ජාතික උපායන් මත්තේ ලෝක මූලෝපායේ ප්‍රමුඛතාවය අප අවධාරනය කල අතර, ජාතික ක්ෂේත්‍රය තුල පැන නගින ගැටලුවලට සුදුසු ප්‍රතිචාරය ලබා ගත හැක්කේ ගෝලීය සන්තතීන් පිලිබඳ විශ්ලේෂනයක පදනම මත පමනි. මෙම පදනම මත, හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය තුල නොතිබූ ජාත්‍යන්තර සහයෝගීතා මට්ටමක් වර්ධනය කිරීමට ජාත්‍යන්තර කමිටුවට හැකි විය. ඇත්ත වශයෙන්ම, කවිප ජාතිකවාදී භ්‍රෂ්ඨයින් සමඟ භේදයෙන් ඉක්බිතිව හජාජාක ශාඛා අතර වර්ධනය වූ අන්තර්ක්‍රියාකාරිත්වයේ ස්වභාවය “සහයෝගීතාව” යන වචනයෙන් ප්‍රමානවත් ලෙස ප්‍රකාශ නොකරයි. 1989 ජුනි 25 වර්කර්ස් ලීගයේ ඩිට්‍රොයිට් සාමාජිකත්වයට ඉදිරිපත් කල මගේ වාර්තාවෙන් පැහැදිලි කල පරිදි:

මෙම ජාත්‍යන්තර සහයෝගීතාවයේ විෂය පථය, එක් එක් ශාඛාවේ ප්‍රායෝගික වැඩකටයුතුවල සෑම අංශයකම පාහේ එහි සෘජු බලපෑම, හජාජාක සහ එහි ශාඛාවල ස්වභාවය ගැඹුරින් හා ධනාත්මකව වෙනස් කර ඇත. එම ශාඛා, දේශපාලනිකව හා ප්‍රායෝගිකව අර්ථවත් ආකාරයකින් ස්වාධීන ආයතන ලෙස පැවතීම නතර වෙයි. පොදු දේශපාලන වැඩපිලිවෙලක පදනම මත, සෑම ශාඛාවක්ම එකට බැඳී ඇති සංකීර්න සම්බන්ධතා ජාලයක් හජාජාක තුල බිහි වී තිබේ. එනම්, ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛා, තනි දේශපාලන ජීවයක අන්තර් සම්බන්ධිත හා එකිනෙකට පරායත්ත වූ කොටස් වලින් සමන්විත වන බවයි.. එම සබදතාවය බිඳුනහොත්, සම්බන්ධ ශාඛාව තුළ විනාශකාරී බලපෑම් ඇති කරයි. සෑම ශාඛාවක්ම දැන්, දෘෂ්ටිමය හා ප්‍රායෝගික යන දෙඅංශයේදීම, සිය පැවැත්ම සඳහා මෙම ජාත්‍යන්තර සහයෝගීතාව සහ සහක්‍රියාකාරිත්වය මත රඳා පවතී. [9]

1986 සහ 1992 අතර කාලයේ ක්‍රියාමාර්ගය, ඉදිරිදර්ශනය සහ සංවිධානය යන ක්ෂේත්‍රවල දියුනුව, 1995-97 දී හජාජාක හි සංගම් පක්ෂ බවට පරිවර්තනය කිරීමටත්, 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීමටත් සංවිධානය සූදානම් කලේය.

පසුගිය සියවස් තුනෙන් එක තුල ජාත්‍යන්තර කමිටුව ලබා ඇති ප්‍රගතිය, අවස්ථාවාදීන් නෙරපා හැර මාක්ස්වාදී මූලධර්ම මත විප්ලවවාදී ව්‍යාපාරය වර්ධනය කිරීමට සමත් වූ විට හතරවන ජාත්‍යන්තරයට අත් කරගත හැකි දෙය කුමක්දැයි පෙන්නුම් කරයි.

ට්‍රොට්ස්කි 1938 ඔක්තෝබර් 18 දින සිය කතාවේදී නව ජාත්‍යන්තරයේ පදනම සකස් කල කාර්යයන් සමාලෝචනය කලේය:

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්, ජාත්‍යන්තර පුරෝගාමීන්, ලොව පුරා සිටින අපගේ සහෝදරවරු, අව්‍යාජ මාක්ස්වාදීන් ලෙස විප්ලවයේ මාවත සෙව්වේ ඔවුන්ගේ හැඟීම් හා ප්‍රාර්ථනා මත නොව, සිදුවීම්වල වෛෂයික ගමන විශ්ලේෂනය කිරීමෙන් ය. සියල්ලටත් වඩා අපට මඟ පෙන්වනු ලැබුවේ අන් අය හෝ අපවම රවටා නොගැනීමෙනි. අපි බැරෑරුම්ව හා අවංකව සොයා බැලුවෙමු. සමහර වැදගත් දේවල් අප විසින් සොයා ගන්නා ලදී. සිදුවීම් අපගේ විශ්ලේෂනය මෙන්ම අපේ පුරෝකථනය ද සනාථ කලේය. කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කල නොහැකිය. දැන් අපගේ ක්‍රියාමාර්ගයට සහ අපටම සත්‍යව සිටීම අවශ්‍ය වේ. එසේ කිරීම පහසු නැත. කාර්යයන් ඉමහත් ය, ගනන් කළ නොහැකි තරම් සතුරන් ය. ජුබිලි සැමරුම සඳහා අපගේ කාලය හා අපගේ අවධානය වැය කිරීමට අපට අයිතියක් ඇත්තේ, අතීතයේ පාඩම් වලින් අපට අනාගතය සඳහා සූදානම් විය හැකිනම් පමනක් ය. [10]

ට්‍රොට්ස්කි මෙම කථාව පටිගත කරන විට, ඔහු 1923 සිට 1938 දක්වා වසර 15 ක දේශපාලන වැඩකටයුතු සහ අරගලයේ ප්‍රතිපල සමීක්ෂනය කරමින් සිටියේ ය. අප දැන් ආපසු හැරී බලන්නේ එම කාලය මෙන් දෙගුනයකටත් වඩා වැඩි, එනම් වසර 33ක් තිස්සේ පැතිර ගිය වැඩ කටයුතු දෙස ය. ට්‍රොට්ස්කිගේ වචන දැඩි ලෙස අදාල වේ. අපගේ කර්තව්‍යයන් “ඉමහත්” වන අතර අපගේ සතුරන් “නොඟිනිය හැකි” ය. එහෙත් දශක තුනකට වැඩි කාලයක් තුළ “වැදගත් දේවල්” ද අපට හමු වූ අතර, සිදුවීම් මගින් අපගේ විශ්ලේශනය මෙන් ම අනාවැකි ද සනාථ කරනු ලැබ ඇත.

ජාත්‍යන්තර කමිටුව විසින් සම්පාදනය කරන ලද ලියකියවිලි හා සැසඳිය හැකි පරිදි, 1986 සහ 1992 අතර කාලය තුළ තමන් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන අනාවැකි සහ විශ්ලේෂණ පැවතීම ගැන සැලකිලිමත් විය හැකි නැතිනම් අභියෝග කල හැකි වෙනත් දේශපාලන පක්ෂයක් ලෝකයේ තිබේද? 1989-1991 අතර ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරීම ගැන කල්තියා දැන සිටීම කෙසේ වෙතත්, ගොර්බචෙව්ගේ පෙරෙස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වල ස්වභාවය නිවැරදිව තක්සේරු කළ විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ බුද්ධි මන්ඬල විශේෂඥයින් කවුරුත් සිටියා ද?

පැබ්ලෝවාදීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් කිසිවක් තේරුම් ගත්තේ ද, කිසිවක් කල්තියා දුටුවේ ද නැත. 1951 සිට මයිකල් පැබ්ලෝ සමඟ අර්නස්ට් මැන්ඩෙල් අවධාරනය කලේ, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමයට සහ නැගෙනහිර යුරෝපයේ එහි පරිවාර තන්ත්‍රයන්ට සමාජවාදය සඳහා මග පෙන්වන බවයි. මෙම මායාකාරී ඉදිරිදර්ශනයේ සාක්ෂාත් වීම ලෙස ඔහු ගොර්බචෙව් හුවාදැක්වීය. මැන්ඩෙල්ගේ චරිතාපදානය සිහිපත් කරන්නේ මෙසේ ය: “1989 දී ලන්ඩනයේ සහ පැරීසියේ එකවර ප්‍රකාශයට පත් කරන ලද ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ට්‍රොයිකා පිළිබඳ අධ්‍යයනයක් වන ඔහුගේ පෙරෙස්ට්‍රොයිකාවට ඔබ්බෙන්: සෝවියට් සංඟමය තුල ගොර්බචෙව්ගේ අනාගතය නම් ග්‍රන්ථයේ මැන්ඩෙල්, ගොර්බචෙව්ගේ ක්‍රියාවලිය පිලිබඳව කරුනු හතරක් සටහන් කලේය. ධනවාදය පුනරුත්ථාපනය කිරීම ගැන ඔහු එක වචනයක්වත් කැප කලේ නැත. ”(11)

මැන්ඩෙල් ගොර්බචෙව්ගේ ක්‍රෙම්ලිනය දෙස බැලූ විට දේදුන්නක් ඊට ඉහළින් දිලිසෙන බව දුටු අතර, ජාත්‍යන්තර කමිටුව එය අගාධයට එලඹෙන ආකාරය දුටුවේය. 1989 ජුනි 25 වන දින වර්කර්ස් ලීගයේ ඩෙට්‍රොයිට් සාමාජිකත්වයට ඉදිරිපත් කල වාර්තාවේ මම මෙසේ කීවෙමි:

අපගේ සියලු භ්‍රෂ්ඨ විරුද්ධවාදීන්ට සහ ඇත්ත වශයෙන්ම සියලුම පැබ්ලෝවාදීන්ට මෙම ලක්ෂනය පොදුවේ පවතී. එනම් සෝවියට් සංඟමයේ, නැගෙනහිර යුරෝපයේ හා චීනයේ ධනේශ්වර පුනස්ථාපනය ගැන කථා කිරීම ගැන ජාත්‍යන්තර කමිටුවට පහර දෙති. 1917 දී හෝ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව පිහිටුවන ලද රාජ්‍ය දේපල සබඳතා මත නිලධරය පදනම් වී ඇති බවටත් එය මුල් බැස ඇති බවටත් තර්ක කරමින්, නිලධරයට දේපල සම්බන්ධතාවයේ වෙනසක් සිදු කල නොහැකි බව ඔවුහු අවධාරනය කරති. ඔවුහු ට්‍රොට්ස්කිගේ ස්ථාවරය සම්පූර්නයෙන් මුසාකරනය කරති. කම්කරු පන්තිය විසින් පෙරලා නොදමන්නේ නම් ,නිලධරය අනිවාර්යයෙන්ම ධනේශ්වර දේපල පුනස්ථාපනය කිරීමේ දිශාවට ගමන් කරන බවට ට්‍රොට්ස්කි නැවත නැවතත් අනතුරු ඇඟවීය. [12]

මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ, චීනයේ තියානන්මෙන් චතුරශ්‍ර සංහාරයෙන් සති තුනකට පසුව සහ නැගෙනහිර ජර්මනියේ දේශපාලන අර්බුදය පුපුරා යාමට මාස තුනකටත් පෙර ය. නැගෙනහිර ජර්මනිය වේගයෙන් විසුරුවා හැරීමකට මුහුනපා සිටියේය.. එසේ වුවද ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂණ,ය දේශපාලන නිකායක මිත්‍යාවක් ලෙස බැහැර කරන ලදී. එහෙත් මෙම “නිකාය” සිය විශ්ලේෂනය ලියොන් ට්‍රොට්ස්කිගේ න්‍යායික කටයුතු මත පදනම් කිරීමේ අසමසම වාසිය හිමිකරගෙන සිටියේය..

ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන්ගේ ස්වභාවය ගැන කිසිවක් වටහා නොගත් හා එබැවින් ඒවා විසුරුවා හැරීම කල්තියා දැක ගැනීමට අපොහොසත් වූ ධනේශ්වර න්‍යායවාදීහු, 1989-91 සිදුවීම්වලින් ඉක්බිතිව ලෝක දේශපාලනයේ ගමන් මඟ පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂනයන් සකස් කිරීමේදී ඊට නොඅඩු ලෙස අසමත්වූ බව ඔප්පු කලහ. මීට වසර ගණනාවකට පෙර කිසිවෙකු විසින් බැරෑරුම් ලෙස සැලකීම නැවැත්වූ ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය” පිලිබඳ න්‍යාය සමාලෝචනය කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. එහි කතුවරයා විසින්ම ඔහුගේ නිර්මානය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇත. අභාවප්‍රාප්ත එරික් හොබ්ස්බෝම්ගේ “කෙටි විසිවන සියවස” සම්බන්ධයෙන් ගත් කල, සෝවියට් සංගමය විසුරුවා හැරීම කෙරෙහි ඔහු දැක්වූ ධාරනාවාදී ප්‍රතිචාරය, නිෂ්ප්‍රභා කෙරීඇත්තේ නව ශතවර්ෂයේ උග්‍රවන අර්බුද පසුගිය ඒවාට ඛේදනීය ආකාරයකින් සමානකමක් දැරීමේ ප්‍රත්‍යක්ෂ කාරනය මඟින් ය. [13]

සදොස් න්‍යායන්ට එවැනිම ප්‍රතිවිපාක හිමිවේ. ලිබරල් න්‍යායවාදීන් අපේක්ෂා කල, ධනවාදය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය ජයග්‍රහනය සාක්ෂාත් නොවීය. 1991 ප්‍රජාතන්ත්‍රවාදී දවල් සිහින, 2019 ෆැසිස්ට් බියකරු සිහිනවලට මග පෑදීය. හිට්ලර්ගේ තුන්වන රීකය කඩාවැටීමෙන් වසර 75 කට ආසන්න කාලයකට පසු ෆැසිස්ට්වාදය, ලොව පුරා වර්ධනය වන දේශපාලන බලවේගයකි. එක්සත් ජනපදයේ දී ට්‍රම්ප් පාවිච්චි කරන්නේ, ඇමරිකානු ජනාධිපතිවරයකු විසින් මීට පෙර කිසි දිනෙක අවම වශයෙන් ප්‍රසිද්ධියේ භාවිතා නොකළ භාෂාවකි. ඔහුගේ දිනපතා ට්වීට් ගැන සඳහන් නොකල ද ඔහුගේ කථා, විවෘත ෆැසිස්ට් ස්වභාවයක් ගනී.

නැගෙනහිර යුරෝපයේ අධිකාරය දරන්නේ වර්ගවාදී, ජාතිකවාදී පක්ෂයි. ඉතාලියේ නියෝජ්‍ය අගමැති මැටියෝ සල්විනි, බෙනිටෝ මුසොලිනි අගය කරන්නේ රහසේ නොවේ. යලි එක්වීමෙන් වසර 30 කට පසු ජර්මනියේම දේශපාලන ජීවිතය තුල, යලි පනගැන්වෙන ෆැසිස්ට්වාදය අධිකාරය දරයි . නව නාසි දක්ෂිනාංශයට ඇති දැඩි සතුරුකම නොතකා, රාජ්‍යය සහ දේශපාලන සංස්ථාපිතය තුල, අධිකාරවත් බලවේග සම්බන්ධ වන කුමන්ත්‍රනයකින් එය ක්‍රමානුකූලව සහාය සහ ශක්තිය ලබා ගනියි. ඒඑෆ්ඩී හෙවත් ජර්මනිය සඳහා විකල්පය, මෙම කුමන්ත්‍රනයේ නිල දේශපාලන හස්තයයි. සීඩීයූ-සීඑස්යූ-එස්පීඩී සභාග ආන්ඩුව, කුමන්ත්‍රනයේ දේශපාලන ආධාරකරුවා වන අතර තිරය පිටුපස උපාමාරු දමන්නේ, පසුගිය මැතිවරනයේදී සියයට 13 ක ඡන්ද ප්‍රතිශතයක් පමනක් හිමිකරගෙන තිබියදීත්, ඒඑෆ්ඩීය ජර්මනියේ වඩාත්ම බලගතු දේශපාලන පක්ෂය බවට පත් කිරීම සඳහා ය. දේශපාලන ඝාතන සිදුකරන විට පොලීසිය සහ බුද්ධි අංශ නාසි ත්‍රස්තවාදීන්ගේ ජාලය ආරක්ෂා කරයි. ඉතා මෑතකදී සීඩීයූ දේශපාලනඥ වෝල්ටර් ලුබ්කේගේ ඝාතනය සිදුකර ඇත්තේ, ෆැසිස්ට්වාදීන්ගේ පැරාමිලිටරි හමුදාවයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ශාඛාවක් වන ෆර්ෆසැංන්ෂූට්ස් (Verfassungsschutz) යනු, නව නාසි පුනර්ජීවනයේ අධිකරන හස්තයයි. ෆර්ෆසැංෂූට්ස් අවසන් වන්නේ කොතැනින්ද යන්න සහ සන්නද්ධ ත්‍රස්තවාදීන් ආරම්භ වන්නේ කොතැනින්ද යන්න තීරනය කිරීම අපහසුය. ඝාතකයින් ඔවුන්ගේ මෙහෙයුම් සිදු කරනුයේ ෆර්ෆසැංෂූට්ස් විසින් ඔවුන්ට අවශ්‍ය නීතිමය ආවරනයක් ලබා දෙනු ඇති බවට පූර්න විශ්වාසයෙන් යුතුව ය. ඕනෑම තත්වයක් යටතේ ඔවුහු, ජර්මානු ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය තුරන් කිරීමේ පොදු යුද්ධයේ දී සහයෝගයෙන් කටයුතු කරති.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ කඩාකප්පල්කාරී සංවිධාන ලැයිස්තුවට පක්ෂයේ නම ඇතුලුකිරීමට විරුද්ධව, ජර්මානු සසපය හෙවත් එස්ජීපීය විසින් ගොනුකර ඇති අභියාචනයට ප්‍රතිචාර වශයෙන් 2019 මැයි 23 වන දින ෆර්ෆසැංෂුට්ස්, පිටු 56 ක ලේඛනයක් නිකුත් කර ඇත. ෆර්ෆසැංෂුට්ස් ප්‍රතිචාරය පිලිබඳ වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂනයක් සහ දේශපාලන කටයුතුවල යෙදීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි මෙම ප්‍රහාරයට අපගේ ව්‍යාපාරයේ නෛතික හා දේශපාලනික පිලිතුර මේ සතිය අගදී ලැබෙනු ඇත. 1933 දී නාසීන් බලයට පත්වීමෙන් පසු හඳුන්වා දුන් ඒකාධිපති නීතිමය ධර්මතාවන් මත ෆර්ෆසැංෂුට්ස් ලේඛනය පැහැදිලිවම පදනම් වී ඇත. පවත්නා රාජ්‍යය හා සමාජ පර්යාය කෙරෙහි වෛරය හා දේශපාලන විරුද්ධත්වය දිරිමත් කෙරෙන සියලු අදහස්, අනාගතයේ කිසියම් නිශ්චිත අවස්ථාවකදී සාපරාධී කෙරෙන විලෙන්ස්ට්රාෆ්රෙෂ්ට් Willensstraffrechtධර්මතාව එය විසින් පුනර්ජීවනය කරනු ලබයි.

එස්ජීපී ය කටයුතු කරන්නේ, නීතියේ රාමුව තුලය යන්නට ෆර්ෆසැංග්ෂුට්ස් අභියෝග නොකරයි. ෆර්ෆසැංග්ෂුට්ස් ට අනුව සාපරාධී වන්නේ, එස්ජීපී යේ විවෘත ක්‍රියාවන් නොව, පක්ෂයේ අදහස් ය. සුවිශේෂිතවම, පන්තිය ජාතියට ප්‍රතිවිරුද්ධව පිහිටුවන සංකල්ප හා ප්‍රවර්ග භාවිතා කරමින් සිතීම, එය විසින් දිරිගන්වනු ලබයි; එය කම්කරු පන්තියේ විඥානය තුල සිය සමාජ අවශ්‍යතා වර්ධනය කිරීමට උත්සාහ කරයි; එය ධනවාදය කෙරෙහි සතුරුකම ප්‍රවර්ධනය කරයි; එය අධිරාජ්‍යවාදය සහ මිලිටරිවාදය හෙලා දකී. එය ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සමඟ සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරයි.

ෆර්ෆසැංග්ෂුට්ස් සිය ප්‍රතිචාරය පදනම් කර ගන්නේ, එස්ජීපීයේ ක්‍රියාමාර්ගය හා ප්‍රසිද්ධ ප්‍රකාශ, විශේෂයෙන් 2010 මැයි 23 වන දින ප්‍රසිද්ධ කරන ලද එහි ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් මතය. එයින් පහත ප්‍රකාශය උපුටා දක්වයි: “සමාජවාදී සමානතාව සඳහා පක්ෂයේ (එස්ජීපී) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි මූලෝපායික එල්ලය වනුයේ, කම්කරුවන්ගේ බලය ස්ථාපිත කිරීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීම අරමුනු කරගත් ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලය සඳහා කම්කරු පන්තිය දැනුවත් කිරීම හා සූදානම් කිරීම යි. ”[ෆර්ෆ්, පි. 8] එස්ජීපී ය “තමන් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස වටහාගෙන ඇති අතර, එහි දෘෂ්ටිවාදාත්මක දිශානතියට අනුව, එය සිය මූලික ලියවිලිවල දී, සියල්ලටම වඩා රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කි වෙත සැඳහුම් කරන අතර ඔහුගේ ඉගැන්වීම්වලට පක්ෂපාතී බව ප්‍රකාශ කරයි. ඊට අමතරව පැමිනිලිකරු [එස්ජීපී] විශේෂයෙන් කාල් මාක්ස්, ෆෙඞ්රික් එංගල්ස්, ව්ලැඩිමීර් ඉලිච් ලෙනින්, රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් මත පදනම් වේයයි එය අවධාරනය කරයි.[එම පි. 9]

ෆර්ෆසැංග්ෂුට්ස් මෙසේ පවසයි:

පෙන්වා දී ඇති පරිදි, ව්‍යවස්ථාවේ අදහස් සමග නොගැලපෙන, පන්තිය හා පන්ති අරගලය ප්‍රචලිත කිරීම සම්බන්ධ මාක්ස්වාදී චින්තනයේ පදනම මත, පැමිනිලිකරු ඉල්ලා සිටින්නේ, “ධනවාදය” පරාජය කොට එය පෙරලා දැමීමට ය. ඒ, ආර්ථික ක්‍රමයට සම්බන්ධ අර්ථයකින් පමනක් නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලික පර්යාය පරාජය කිරීම ලෙසය. කොමියුනිස්ට් අර්ථ නිරූපනයට අනුව, “ධනවාදය” සියලු දේශපාලන ප්‍රශ්න වලට වගකිව යුතු හරයාත්මක ගැටලුව ලෙස සැලකේ. එබැවින් ආර්ථික ක්‍රමයක් ලෙස පමනක් නොව සමාජ ක්‍රමයක් ලෙස ද එයට මූලික වශයෙන් විරුද්ධ වේ. පැමිනිලිකරු සමාජවාදී රාජ්‍යයක් හා සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමට විවෘතව උත්සාහ කරයි. [එම පි. 22]

මෙම අධිචෝදනාවේ මූලික උපකල්පනය, ධනවාදය සහ “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යාය” සමාන හා තුල්‍ය බවයි. ඇත්ත වශයෙන්ම, ඓතිහාසික දෘෂ්ටි ආස්ථානයකින්, මෙම තර්කය ඉදිරිපත් කල හැකිය. එහෙත් එය, මෙම “පර්යායේ” ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම් වලට වල කපයි. මක්නිසා ද යත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යාය ධනවාදයෙන් වෙන් කල නොහැකි නම්, කෙතරම් ගැටලු සහගත වුවද, ලිබරල් වාදය ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂාව සමග අනන්‍ය වනතාක් දුරට, “ලිබරල්” වීම එක්තරා අවස්ථාවක නතර විය යුතුය. මෙම නිර්වචනයේ රාමුව තුල, සමාජ පර්යාය වඩාත් ධනවාදී වන විට එයට ලිබරල් විය හැක්කේ වඩාත් අඩුවෙනි. මෙය සුප්‍රකට ඇමරිකානු ලිබරල් දාර්ශනිකයෙකු වූ ජෝන් ඩුවී විසින් 1935 දී රචිතලිබරල්වාදයේ අර්බුදය” නම් ලිපියෙන් ඉතා බලගතු ලෙස ඉදිරිපත් කරන ලද කරුනකි. නූතන සමාජයේ ආර්ථික වර්ධනයෙහි ප්‍රතිපල වශයෙන්, ධනවාදය සහ ලිබරල්වාදය එකිනෙකට නොගැලපෙන බවට ඔහු තර්ක කලේය. ඔහු මෙසේ ලිවීය:

සමාජයේ ද්‍රව්‍යමය සම්පත් සුලු පිරිසක් විසින් අත්පත්කර ගැනීම පිටුපස පවත්නේ, එම සුලු පිරිස විසින් තමන්ගේම අරමුනු වෙනුවෙන්, තමාගේ පුද්ගලික නිශ්පාදිතයක් නොවන, මානව වර්ගයාගේ සාමූහික කාර්යයෙහි නිශ්පාදිතයන් වන සංස්කෘතික, ආධ්‍යාත්මික සම්පත් සියල්ල භුක්ති විඳිමින් සිටීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයෙහි මූලාශ්‍රය අවබෝධකර ගන්නා තෙක් හා බුද්ධියෙහි සමාජයීයකෘත ව්‍යාප්තිය දිරිගැන්වෙන ආකාරයේ සමාජ සංවිධානයක් ගෙන ඒමට පියවර නොගන්නා තෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වය ගැන කතා කිරීම නිෂ්ඵල ය. [14]

කුහකකමින් හා වංචාවෙන් පුරවා දක්වා තිබෙන ෆර්ෆසැංග්ෂුට්ස් ප්‍රතිචාරය, ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය ගැන සැලකිල්ලක් නොදක්වයි. එය ආභාසය ලබා ගන්නේ ඩුවීගෙන් නොව කාල් ෂ්මිට් සහ ජෝසෆ් ගොබෙල්ස්ගෙනි. ධනවාදයට එරෙහි විරෝධය, නොවැලැක්විය හැකි ලෙස පවත්නා දේශපාලන හා ආර්ථික සංවිධානයට විරුද්ධව යන බැවින්, මාක්ස්වාදී සංකල්ප නීත්‍යානුකූල විය නොහැකි බවට එය පැහැදිලිවම තර්ක කරයි. ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය සහ පෞද්ගලික ආර්ථික අවශ්‍යතා අතර ඇති නොබිඳිය හැකි සම්බන්ධතාව එය අවධාරනය කරයි. මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී සංකල්ප නීතිමය මාර්ගයෙන් ප්‍රචාරය කරනු ලැබුවද ඒවා විප්ලවවාදී පෙරලා දැමීමක අවතාරය මතු කරයි. එබැවින් අදහස් තහනම් කර යටපත් කල යුතුය.

එස්ජීපී ය විසින් අධිරාජ්‍යවාදය සහ මිලිටරිවාදය හෙලා දකිනු ලැබීම, ධනවාදයට එය දක්වන විරුද්ධත්වයට වඩා, පවත්නා ධනේශ්වර පර්යාය කෙරෙහි අන්තරායකාරීභාවයෙන් අඩු නැත. 2017 ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, යුද්ධයට එරෙහි පක්ෂ අරගලය පැහැදිලි කරමින් ක්‍රිස්ටෝෆ් වැන්ඩි්‍රයර් සහෝදරයා විසින් කරන ලද ප්‍රකාශයන් ෆර්ෆසැංග්ෂුට්ස් උපුටා දක්වයි:

යුද්ධය වැලැක්වීම සඳහා ඔබ කල යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් (නිර්මානය) කිරීමයි. දේශපාලන සිදුවීම් තුලට මහජනතාව තෙමේම මැදිහත් විය යුතුය. ඔවුන් සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ධනවාදය ජාත්‍යන්තරව පෙරලා දමා, ජාතික රාජ්‍යයන් අභිබවනය කිරීම තුලින් ජාතික රාජ්‍යයන් ලෙස ලෝකය බෙදීම අවසන් කරන සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය අහෝසි කරන සමාජයක් ගොඩනැගිය යුතුය. [එම, පි. 34]

අර්ථභාරීව, “ඒවා ධනේශ්වර රාජ්‍යයේ අත් ශක්තිමත් කිරීමේ අන්තරාය මතු කරන බැවින්” එස්ජීපී ය “පුද්ගලයන්ගේ තනි ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කරයි” ඤඑම, පි.40% යන්න ෆර්ෆසැංග්ෂුට්ස් ප්‍රතිචාරය මුලුමනින්ම පිලිගනී. කෙසේ වෙතත් වාර්තාව ඉන්පසුව අවධාරනය කරන්නේ, “මෙම ප්‍රතික්ෂේප කිරීම අදාල වන්නේ ‘ප්‍රචන්ඩත්වයට යොමු වන තනි පුද්ගලයන්ට’ මිස කම්කරු පන්තියේ සාමූහික අරගලයට නොවන” බවයි.

කිසිදු තත්වයක් යටතේ එවැනි මහජන අරගල, නීතිමය හා “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායට” අනුකූල යැයි සැලකිය නොහැකි බව ෆර්ෆසැංග්ෂුට්ස් අවධාරනය කරයි. තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ෆැසිස්ට් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට කම්කරු පන්තියට ඇති අයිතිය පවා වාර්තාවෙන් ප්‍රතික්ෂේප කෙරේ. සංක්‍රමනීය ක්‍රියාමාර්ගය තුල “ආත්මාරක්ෂාව සඳහා කම්කරු කන්ඩායම් නිර්මානය කිරීමේ අත්‍යවශ්‍යභාවය ප්‍රචාරය කිරීම අනිවාර්ය වෙයි.” යන ට්‍රොට්ස්කිගේ ප්‍රකාශය වාර්තාවෙන් හෙලා දකිනු ලැබේ. මෙම ප්‍රකාශය නිකුත් කෙරුනේ, දැඩි ලෙස සන්නද්ධ ෆැසිස්ට්වාදීන්ගේ සංවිධානාත්මක කල්ලිවලට එක්සත් ජනපදයේ වැඩවර්ජක කම්කරුවන් නිරන්තරයෙන් මුහුන දී සිටියදී සහ හිට්ලර් විසින් ජර්මනිය හා මුසෝලිනී විසින් ඉතාලිය පාලනය කරද්දී ය. ධනවාදී රාජ්‍යයේ මර්දනකාරී බලවේග ගැන කවර කතා ද?

මාක්ස්වාදී විශ්ලේෂනයේ පදනම මත සිය ලිපි ලේඛන මඟින් ‘සමාජවාදී දිශානතියක්’ පාඨකයන් වෙත ලබා දීමට පැහැදිලිවම අදහස් කර ඇති” ඤඑම, පි. ඤ48% ලෝක සමාජවාදී වෙබ් අඩවිය ෆර්ෆසුංග්ෂුට්ස් හි හෙළා දැකීමට ලක්වේ. එස්ජීපී. හි ප්‍රකාශන අංශය වන මෙහ්රිං ෆර්ලාග් උපුටා දක්වමින් එය සඳහන් කරන්නේ, එයට්‍රොට්ස්කිගේ කෘතිවල ජර්මානු පරිවර්තන මෙන්ම ඬේවිඞ් නෝර්ත්ගේ කෘති ද ප්‍රකාශයට පත් කරයි.” [එම, පි. 48]

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහිව ෆර්ෆසැංග්ෂුට්ස් එල්ල කරන ප්‍රහාරයේ ප්‍රධාන හා ක්ෂණික ඉලක්කය එස්ජීපී ය සහ හජාජාක යි. එහි කතුවරුන් දේශපාලන මැරයන් නොවේ. ඔවුන් පැහැදිලිවම අපේ පක්ෂයේ ලියවිලි පරෙස්සමින් හදාරා තිබේ. ට්‍රොට්ස්කිගේ ද සමාජවාදයේ ශ්‍රේෂ්ඨ න්‍යායාචාර්යවරුන් වන මාක්ස් සහ එංගල්ස් කරා ආපසු යාමින ඔවුන්ගේ ද කෘතින් ගැන කවර කථා ද? එස්ජීපී ය සහ හජාජාක අද්‍යතන මාක්සියානු සමාජවාදයේ සම්මතධාරීන් ලෙස තමන් සලකන බව ෆර්ෆසුංග්ෂුට්ස් පැහැදිලි කරයි. එහෙත් එහි නෛතික ඇඟවුම් හා ප්‍රතිවිපාක අපගේ පක්ෂයේ අදහස් ඉක්මවා යයි. විලෙන්ස්ට්රාෆ්රෙක්ට් සංකල්පය හඳුන්වාදීම අරමුනු කර ඇත්තේ, ධනවාදයට, අධිරාජ්‍යවාදයට, සමාජ අසමානතාවයට සහ යුද්ධයට එරෙහි සෑම ආකාරයකම විරුද්ධත්වය සාපරාධීකරනයටයි. කම්කරු පන්තියේ වැඩෙන අතෘප්තිය සහ එහි දේශපාලන රැඩිකලීකරනය පිලිබඳ භීතියෙන් ෆැසිස්ට් අදහස් නීත්‍යානුකූල කිරීමට දරන උත්සාහයට රුකුල් දෙන, සමාජවාදයට එරෙහි දරුනු සතුරුකම, ෆර්ෆසුංග්ෂුට්ස් ලේඛනයේ ව්‍යාජ නෛතික ස්වරූපයෙන් ප්‍රකාශට පත් වෙයි. මහාචාර්ය ජෝග් බාබෙරොව්ස්කි හෙලිදරව් කිරීම සඳහා එස්ජීපී ය බොහෝ දේ කර ඇත. ඔහු කිසියම් හුදෙකලාවූ අමුතු ශාස්ත්‍රඥයෙකු නොවේ. ඒ වෙනුවට ඔහු, ‘ෆැසිස්ට් බුද්ධිමතා’ ලෙස 1920 සහ 1930 ගනන් වලදී ප්‍රකට වූ සමාජ සංසිද්ධියක ඉතා ක්‍රියාකාරී හා දෘශ්‍යමාන නියෝජිතයෙකි.

පිලිගත් ෆැසිස්ට් න්‍යායාචාරීන්ගෙන් සැලකියයුතු සංඛ්‍යාවක - මොවුන් අතරින් සමහරක් (උදා: කාල් ෂ්මිට් සහ ජුලියස් එවෝලා) මියගොස් ඇති නමුදු, බොහොමයක් (උදා: ඇලයින් ඩි බෙනොයිස්ට්, පෝල් ගොට්ෆ්‍රයිඞ් සහ ඇලෙක්සැන්ඩර් ඩුජින් ) ක්‍රියාශීලීව ජීවත් වෙයි -- ඔවුන්f්ග අදහස් ආන්ඩුවේ පිලිවෙත් තුල ප්‍රකාශයට පත්වීම හේතුවෙන් ඔවුහු වඩවඩාත් කැපී පෙනෙමින් පවතී. මෙම ෆැසිස්ට් මතවාදීන්ගෙන් බොහෝ දෙනෙක් එතරම් ප්‍රකට නැති නමුත් එයින් ඔවුන්ගේ දේශපාලන වැදගත්කම අඩු නොවේ.

ඔවුන්ගේ ප්‍රතිගාමී පිලිවෙත්වල සහ දේශපාලන උද්ඝෝෂනවල ෆැසිස්ට් ආවේශය කෙරෙහි අවධානය යොමු කිරීමට කැඳවුම් කිරීම ඥානවන්ත නොවන බව පාලක ප්‍රභූව සහ එහි නියෝජිතයෝ සැලකිල්ලට ගනිති. රැඩිකල් දකුනේ ප්‍රධාන චින්තකයෝ නමින් මෑතකදී ප්‍රකාශයට පත් කල වෙලුමේ සංස්කාරකවරයා මෙසේ අනතුරු අඟවයි:

[ග්‍රීක] ගෝල්ඩන් ඩෝන් හෝ [හංගේරියානු] ජොබ්බික් ඡන්දදායකයින්ගෙන් බොහෝ දෙනෙකු එවෝලා ගැන අසා නැත, ලිංගිකත්වය, යුද්ධය හෝ මිථ්‍යාදෘෂ්ටිය පිලිබඳ ඔහුගේ අදහස් බෙදාගන්නේ ඊටත් අඩු පිරිසකි, නමුත් එවෝලාගේ චින්තනය ග්‍රීක සහ හංගේරියානු දේශපාලනයට තවමත් වක්‍ර වැදගත්කමක් ඇත. නිසැකවම එය වෙනත් රටවල දේශපාලනය සඳහා ද අදාලය. ඒවායේ දේශපාලනඥයන් තම වෙබ් අඩවි වල පල කරන දෑ පිලිබඳවත් තමන් පෙරවදන් ලියන්නේ කුමන කතුවරුන් සහ ප්‍රකාශකයන් සඳහා ද යන්න ගැනත් වඩාත් ප්‍රවේශම් සහගත ය, නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ, ජනාධිපති ට්‍රම්ප්ගේ හිටපු “ප්‍රධාන උපායමාර්ගිකයා” වන ස්ටීව් බැනන්, එවෝලා සහ ඩුගන් ගැන සඳහන් කර ඇත්තේ නොපැහැදිලි ලෙස පමනක් වන අතර, එවෝලා සහ ඩුජින් යන දෙදෙනාටම ආභාෂය ලබා දුන් ප්‍රන්ස එසෝටරිස්ට්වාදියෙකු වන ගුවොන් අගයකර ඇත්තේ එක් වරක් පමනකි. රැඩිකල් දක්ෂිනාංශයේ මෙම ප්‍රධාන චින්තකයින්, දක්ෂිනාංශය නැවත හිස ඔසවමින් සිටින සෑම තැනකටම, එනම් ප්‍රන්සය, ග්‍රීසිය, රුසියාව සහ හංගේරියාව තරමටම, ඇමරිකාවට ද වැදගත් වේ. [15]

ස්ටැලින්වාදී තන්ත්‍රයන් විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමඟ වර්ධනය වූ “ධනවාදයේ විජයග්‍රහනය” සහ “මාක්ස්වාදයේ මරනය” පිලිබඳ ආඛ්‍යානයන්හි බංකොලොත්බව, ෆැසිස්ට්වාදයේ දෘෂ්ටිමය හා දේශපාලනික පුනර්ජීවනය මගින් අනාවරනය වෙයි. ඉමහත් දුරට, අවශ්‍ය ජනප්‍රිය වාක්‍ය යොදා ගනිමින් මෙම ආඛ්‍යාන ගොඩනඟා ඇත්තේ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ය. ඒවායේ විශ්ලේෂනාත්මක ආකාරයේ යමක් තිබුනේ නැති තරම්ය. එහෙත්, ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරීම හුවා දැක්වූවන් හෝ ඉන් අධෛර්යමත් වූවන් දැක්වූ ප්‍රතිචාරයන් සියල්ලේම පාහේ යටින් පැවති යේ, නැගෙනහිර යුරෝපයේ සහ පැරනි සෝවියට් සංඟමයේ කැලඹීම්, ඒ වනවිට හඳුනාගත නොහැකි වූ නමුත් එක්සත් ජනපදයට සහ අනෙකුත් සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ට පසුව දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දුන්, ගෝලීය පර්යායේ කුමන හෝ පුලුල් අර්බුදයකට සම්බන්ධ නැතැයි යන අදහසයි.

සිදුවීම් දිග හැරෙමින් තිබියදීම, ජාත්‍යන්තර කමිටුව විසින් වර්ධනය කරන ලද විශ්ලේෂන, යුක්තියුක්තව අසමසම යැයි විස්තර කල හැකි, ඓතිහාසිකව දැනුවත් දුරදක්නා මට්ටමක් පෙන්නුම් කලේය. 1990 මැයි මාසයේ පැවති ජාත්‍යන්තර කමිටුවේ දහවන සම්මේලනයේදී, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර විසුරුවා හැරීමේ අර්ථභාරය පිලිබඳව පුලුල් සාකච්ඡාවක් පැවැත්විනි. 1990 මැයි 6 වන දින ආරම්භ වූ එම දීර්ඝ සාකච්ඡාවේදී මම මෙසේ කීවෙමි.

නිසැකවම, නැගෙනහිර ජර්මනියේ සිදුවීම් සහ නැගෙනහිර ජර්මනියේ දී බීඑස්ඒ [Bund Sozialistische Arbeiter] ලැබූ අත්දැකීම් ඉතා වැදගත් වන අතර ඒවා සාකච්ඡා කර විශ්ලේෂනය කල යුතුය. නමුත් සාකච්ඡාවේ මෙම අවස්ථාවෙහිදී, අපගේ ජාත්‍යන්තර විශ්ලේෂනයේ රාමුව තුල මෙම සිදුවීම් වෙත එලැඹීමත්, ලෝක තත්වය අප තේරුම් ගන්නේ කෙසේද යන්න පිලිබඳව යම් නිගමනවලට එලැඹීමත් අවශ්‍ය වේ.

ධනවාදය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ තල්ලුව, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය නංවනු ඇතැයි යන ප්‍රකාශයේ පදනම මත අපට, නැගෙනහිර යුරෝපයේ ඉදිරිදර්ශනයක් වර්ධනය කළ හැකි යැයි මම විශ්වාස නොකරමි. ඇත්ත වශයෙන්ම එය සත්‍යයකි, නමුත් ඊට වඩා මූලික ප්‍රශ්න තිබේ. අපගේ විශ්ලේෂනයේ හදවතෙහිම තිබිය යුත්තේ, වර්තමානයේ අප දකින්නේ, දෙවන ලෝක යුද්ධය අවසානයේ ස්ටැලින්වාදයේ ආධාරයෙන් අධිරාජ්‍යවාදය විසින් පිහිටුවන ලද සියලු සබඳතා බිඳ වැටීම අවධාරනය කිරීමයි.

නැගෙනහිර යුරෝපයේ සිදුවීම් වලට අර්ථ නිරූපන දෙකක් ලබා දිය හැකිය. මෙය සමාජවාදය අභිබවා ධනවාදය ලත් ඓතිහාසික ජයග්‍රහනයක් නියෝජනය කරන බව කෙනෙකුට පැවසිය හැකිය; කම්කරු පන්තිය දැවැන්ත ඓතිහාසික පරාජයකට මුහුන දී තිබේ. සමාජවාදයේ ඉදිරිදර්ශනය සාකල්‍යයෙන්ම විනාශයට පත්ව ඇති අතර ධනවාදී සංවර්ධනයේ නව කාල පරිච්ඡේදයක එලිපත්ත මත අපි සිටිමු. නැතහොත් මෙසේ කිවහැක -- ඇත්තෙන්ම, මෙය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය වන අතර ම එමගින් අන් සියලු ප්‍රවනතාවයන්ගෙන් අප වෙන් කරනු ලබයි. අධිරාජ්‍යවාදී පර්යායේ බිඳවැටීම, දැවැන්ත දේශපාලන හා සමාජ අරගල තුලින් ජාත්‍යන්තරව විසඳෙනු ඇති ගැඹුරු අසමතුලිතතාවයේ කාලපරිච්ඡේදයක් විවර කරනු ඇත. අද දින ප්‍රබලතම වන්නේ, 1930 ගනන්වලින් පසුව කිසි කලෙක පැවති තත්වයට සම නොවන අස්ථාවර භාවයකි. අපගේ විශ්ලේෂනයට ඇත්ත වශයෙන්ම නැගෙනහිර යුරෝපයේ සිදුවීම්වල පලමු අදියරෙහි ප්‍රතිපල මත පදනම් කල නොහැක. මා සිතන්නේ, එසේ නොමැතිනම් යමෙකුට ඉතිරි වන්නේ ඉතා අශුභවාදී නිගමනයක් බවයි.

සාකච්ඡාව මැයි 7 වන දින ද අඛන්ඩව පැවතුනි. පශ්චාත් දෙවන ලෝක යුද්ධ පර්යායේ බිඳවැටීම හඳුනාගෙන තිබියදීත්, ලෝක ධනවාදයේ දීර්ඝ හා සාමකාමී සංවර්ධනයක් ඇති කල හැකි නව ගෝලීය සමතුලිතතාවයක් වේගයෙන් ස්ථාපිත කිරීම අපි කල්තියා දුටුවාද? මෙම ප්‍රශ්නයට පිලිතුරු දීමට මා උත්සාහ කරන්නේ පහත සඳහන් ආකාරයකටය:

පිලිතුරක් ලබා ගැනීමේදී අප සලකා බැලිය යුතු මෙම ප්‍රශ්නයේ පැති දෙකක් තිබේ: පලමුව, අධිරාජ්‍යවාදී බලවතුන් අතර සම්බන්ධතාවය සහ දෙවනුව, හුදෙක් ජාතික වශයෙන් නොව ලෝක පරිමානයෙන් පන්ති අතර සම්බන්ධතාවය ය. ප්‍රශ්නය නම්: සාමකාමීව නව හා ස්ථාවර සමතුලිතතාවක් ගොඩනඟා ගැනීමට අධිරාජ්‍යවාදීන්ට හැකි වේද? යන්නයි.

මෙය තීරනාත්මක ප්‍රශ්නයයි: අධිරාජ්‍යවාදීන්ට සාධාරන හා සාමකාමීව නව ලෝක බල තුලනයකට, නව ජාත්‍යන්තර සමතුලිතතාවයකට පැමිනිය හැකි යැයි අපේක්ෂා කළ හැකි ද? ජාත්‍යන්තර සමගිය වෙනුවෙන් ජාතික අවශ්‍යතා කැප කිරීමට ඔවුන් කැමතිද? ඔව් යැයි පිලිතුරු දීමෙන් මෙසේ උපකල්පනය කෙරෙයි. 1) ධනේශ්වරය අතීතයට වඩා මූලික වශයෙන් වෙනස් ලෙස හැසිරෙනු ඇතැයි සහ 2) අද අධිරාජ්‍යවාදීන් අතර පවතින ප්‍රතිවිරෝධතා 1914 සහ 1939 දී පැවති ඒවාට වඩා අඩු මට්ටමක පවතීි.

අතීත ඓතිහාසික අත්දැකීම්වලට පටහැනිව, ධනේශ්වරය එවැනි “ඥානාන්විත” පියවර ගැනීමට න්‍යායික වශයෙන් සමත් බව යමෙකු පිලිගත්තද, එනම්, ජාතික ධනේශ්වර බලවතෙකු ලෙස අති මූලික අර්ථයෙන් සිය අවශ්‍යතාවන්ට අහිතකර වන විධිවිධාන යෙදීමට ඔවුන් සූදානම් යැයි යමෙකු උපකල්පනය කල ද, ජාත්‍යන්තර කරලියක කුමන හෝ ජාතික ධනේශ්වරයක් විසින් දෙන සහන, දේශීය සීමාවන්ට කොටුවන්නේය යන කාරනය ඉතිරි වේ. ජාතික ධනේශ්වරය සිය අධිරාජ්‍යවාදී ප්‍රතිවාදීන්ට පිලිගත හැකි වන්දිය ගෙවන්නේ තමන්ගේම කම්කරු පන්තිය මත පීඩනය වැඩි කිරීමෙනි.

දැන් අපි දෙවන ප්‍රශ්නයට පැමිනෙමු, එනම් ජාත්‍යන්තර පන්ති සබඳතාවල තත්වයයි. උපකල්පනය කරන නව සමතුලිතතාවක්, විප්ලවීය පරිමානයක පන්ති අරගලයක් ජනනය නොකර සාමකාමීව ඇති කල හැකි ද? නායකත්වයේ පාවාදීම පැවතියේ වුව ද කම්කරු පන්තිය, සියවස ආරම්භයේ සිටියාට වඩා අද විශාල සමාජ බලයක් නියෝජනය කරයි. ඉතිහාසයේ ඔරලෝසුව ආපසු හැරවීමක් නැත. [15]

මෙම විශ්ලේෂනය සනාථ වී ඇත. එහෙත් අප දැන් සිටින්නේ දශක තුනකට පමන පෙර හජාජාක විසින් පැහැදිලිව හඳුනාගෙන තිබුනු අර්බුදයේ ඉතා දියුනු අවධියක ය. මෙම අර්බුදය විප්ලවවාදී අරගලයේ නව නැගීමක් ජනනය කරනු ඇතැයි අපි එකල පුරෝකථනය කලෙමු. එම නැගිටීමේ ආරම්භය අපි දැන් දකිමු.

මෙය අපව වඩාත් තීරනාත්මක ප්‍රශ්නය වෙත ගෙන එයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දීර්ඝ ඓතිහාසික ගමන්පථය සොයාගෙන, 1923 දී එහි මූලාරම්භය දක්වා සහ එහි වර්ධනයේ සුවිශේෂී අවධීන් හතර හඳුනාගෙන ඇති තතු හමුවේ අපගේ කාර්යයේ වර්තමාන අවධිය සංලක්ෂිත විය යුත්තේ කෙසේද?

ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කටයුතු සමඟ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවීය නැගිටීමක් අන්තර්ඡේදනය වීම අපි දැන් දකින්නෙමු. අප විශ්ලේෂනය කරමින් සිටින ලෝක අර්බුදය, ජාත්‍යන්තර කමිටුව වඩ වඩාත් ක්‍රියාශීලී හා සෘජු සහභාගිවන්නෙකු ලෙස සිටින එක් ක්ෂේත්‍රයකි.

පැබ්ලෝවාදීන් ඉවත් කිරීම, ජාත්‍යන්තර පදනමක් මත ජාත්‍යන්තර පක්ෂයක් නැවත ගොඩනැඟීම, හජාජාක හි ජාත්‍යන්තර මූලෝපාය විස්තාරනය කිරීම, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර කමිටුවේ සංඟම් පක්ෂ බවට පරිවර්තනය කිරීම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීම යන තීරනාත්මක කටයුතු, සිව්වන අදියරේ ප්‍රධාන ජයග්‍රහන විය. මෙම ජයග්‍රහන මගින් ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන බලපෑම පුලුල් කිරීමටත් එහි සාමාජිකත්වයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමටත් හැකි විය. මෙම අදියර අවසන්ව ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ පස්වන අදියර ආරම්භ කොට තිබේ. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස එහි විශාල වර්ධනයක් පෙන්නුම් කරන කරලිය මෙයයි. මීට වසර 30 කට පෙර ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනාගත් ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික සන්තතීන් තවදුරටත් දැවැන්ත වර්ධනයකට භාජනය වී තිබේ. සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කල නව තාක්ෂනය බිහිවීමත් සමඟ මීට වසර 25 කට පෙර පවා සිතාගත නොහැකි තරමට, මෙම ක්‍රියාදාමයන් පන්ති අරගලය ජාත්‍යන්තරකරනය කර ඇත්තේ ය. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය අන්තර් සම්බන්ධිත හා එක්සත් ලෝක ව්‍යාපාරයක් ලෙස වර්ධනය වනු ඇත. මෙම වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලියේ සවිඥානික දේශපාලන නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගෙනු ඇත. එය අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනවාදී දේශපාලනයට ප්‍රතිමුඛව ලෝක සමාජවාදී විප්ලවයේ පන්ති-පාදක මූලෝපාය ඉදිරිපත් කරනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි නව අවධියේ අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යය මෙයයි.

ෆර්ෆසුන්ෂුට්ස් අපගේ ජර්මානු ශාඛාවට එල්ල කරන ලද ප්‍රහාරය වනාහි අපගේ ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගයට සහ අදහස්වලට කම්කරු පන්තිය තුල විශාල අනුගාමිත්වයක් දිනාගැනීමේ විභවය ඇති බව පාලක ප්‍රභූව විසින් හඳුනාගෙන හඳුනාගෙන සිටින බවට සුපැහැදිලි ප්‍රකාශනයකි. 2017 සැප්තැම්බර් ෆෙඩරල් මැතිවරනයෙන් එස්ජීපීයට ලැබී ඇත්තේ සුලු ඡන්ද ප්‍රමානයකි. එනමුත්, ෆර්ෆසුන්ෂුට්ස් වහාම පහත සඳහන් අනතුරු ඇගවීම එක් කරයි: “අනෙක් අතට, පැමිනිලිකරු ජර්මානු ෆෙඩරල් මැතිවරනයට සහභාගිවීමෙන්, ඒ හා සම්බන්ධව පොදු විකාශන සංස්ථාවලින් ප්‍රචාරනයේ යෙදීමෙන් සැලකිය යුතු නිශ්චිත මට්ටමකින් මහජනයාගේ දැනුවත්වීමක් සහ අවධානයක් ද දිනා ගෙන ඇත.

එස්ජීපීයේ දේශපාලන ආයාමය පිලිබඳ මෙම පිලිගැනීම එක් අතකින් ප්‍රශංසාවකි. නමුත් තර්ජනයක් ද වන එය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය. ඊට උචිත දේශපාලන හා ප්‍රායෝගික ප්‍රතිපියවර ගත යුතුය.

පන්ති අරගලයේ මෙම ගෝලීය වර්ධනයෙහි ඉල්ලීම් සපුරාලීම සඳහා නම් ජාත්‍යන්තර කමිටුවේ කේඩරය අපගේ ලෝක පක්ෂයේ සමස්ත න්‍යායික හා දේශපාලන ප්‍රාග්ධනය උකහාගැනීම අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි මෙම නව පස්වන අදියරේදී පක්ෂයේ වැඩ කටයුතු වර්ධනය කරන පදනම මෙයයි.

පාද සටහන්:

[1] ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය, (කම්කරු මාවත ප්‍රකාශන, 2015), 36 පි.

[2] Lectures on the Philosophy of World History, by George Wilhelm Friedrich Hegel,( ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඞ්රික් හේගල් විසින් රචිත ලෝක ඉතිහාසයේ දර්ශනය පිලිබඳ දේශන), එච්. බී. නිස්බෙට් විසින් පරිවර්තනය කරන ලදි (කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 1973), පි. 20 යි

[3] ලුඩ්විග් ෆොයබාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය කම්කරු මාවත ප්‍රකාශන, පිටු 81-82

[4] “Feuerbach and the End of Classical German Philosophy,” in Marx Engels Collected Works, Volume 26 (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1990), පි. 389 කි

[5] එදිනෙදා ජීවිතයේ ගැටලු, ලියොන් ට්‍රොට්ස්කි (නිව් යෝර්ක්: පාත්ෆයින්ඩර්, 1973), 137-38 පි.

[6] https://www.marxists.org/archive/trotsky/1928/3rd/ti01.htm#p1-01

[7] “ජී. හීලිගේ අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනයන් පිලිබඳ විවේචනයක් සඳහා වූ දායකත්වය” උපුටා දක්වා ඇත. ”හතරවන ජාත්‍යන්තරය, 13 වන වෙලුම, අංක 2, සරත් 1986, පි.17

[8] සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් (කම්කරු මාවත ප්‍රකාශන), පිටු, 86-87

[9] වර්කර්ස් ලීග් අභ්‍යන්තර බුලටිනය, 3 වන වෙලුම, අංක 4, 1989 ජූනි, “පි. 2-3” හි “ඬේවිඞ් නෝර්ත් විසින් ඩෙට්‍රොයිට් සමුලුවට ඉදිරිපත් කල වාර්තාව”

[10] https://www.marxists.org/archive/trotsky/1938/10/foundfi.htm

[11] අර්නස්ට් මැන්ඩෙල්: ඒ. ඩ්‍රීම් ඩිෆර්ඞ්, ජෑන් විලම් ස්ටුට්ජේ (ලන්ඩන් සහ නිව් යෝර්ක්: වර්සෝ, 2009) පි. 240.

[12]වර්කර්ස් ලීගයේ අභ්‍යන්තර බුලටිනය, වෙලුම 3, අංක 4, ජූනි 1989, පි. 7 .

[13] ජෝන් ඩිවේ, ජො ඈන් බොයිඞ්ස්ටන් විසින් සංස්කරනය කරන ලද ද ලේටර් වර්ක්ස්, 11 වන වෙලුම [කාබොන්ඬේල් සහ එඞ්වර්ඞ්ස්විල්: සදර්න් ඉලිනොයිස් යුනිවර්සිටි ප්‍රෙස්, 1991], පි. 39

[14] රැඩිකල් දකුනේ ප්‍රධාන චින්තකයන්: ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට නව තර්ජනය පිටුපස, මාර්ක් සෙඞ්ග්වික් විසින් සංස්කරනය කරන ලදි (ඔක්ස්ෆර්ඞ් යුනිවර්සිටි ප්‍රෙස්, 2019), පි. xxv

[15] වර්කර්ස් ලීගයේ අභ්‍යන්තර බුලටීනය, වෙලුම 4, අංක 7, 1990 ජූනි,පිටු 13-17

මෙම සතියේ දේශන, 1982 සිට 1995 දක්වා බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) විසින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ න්‍යායික පදනම් හා දේශපාලන ක්‍රියාමාර්ගය සංශෝධනය කිරීම පිලිබඳ සවිස්තරාත්මක විචාරනයක ආරම්භක සූත්‍රගත කිරීමේ සිට ජාත්‍යන්තර කමිටුවේ ලීගයන් පක්ෂ බවට පරිවර්තනය කිරීමට ගත් තීන්දුව දක්වා කාලයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අප අතීතයේ දී සහ විශේෂයෙන් 2015 ගිම්හාන පාසලේ දී කවිප සමග භේදයට තුඩු දුන් සිදුවීම් සමාලෝචනය කලෙමු. මෑත මාසවලදී පක්ෂ සාමාජිකයෝ, 1982 සිට 1985 දක්වා වර්කර්ස් ලීගය විසින් සකස් කරන ලද ලේඛන අධ්‍යයනය කරමින් සිටියහ.

මෙම පාසලේ ප්‍රධාන අවධානය යොමු වන්නේ, 1986 පෙබරවාරියේ දී කවිප සමඟ අවසන් භේදයෙන් පසුව අත්කරගෙන තිබෙන ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය කෙරෙහි ය. දේශන පුලුල් පරාසයක ලේඛන මත පදනම් වනු ඇති අතර එමඟින් මූලෝපායට, ක්‍රියාමාර්ගයට, ඉදිරිදර්ශනයන්ට සහ සංවිධානයට අදාල තීරනාත්මක කරුනු පිලිබඳව, ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා තුල පැවති සාකච්ඡා අධ්‍යයනය කිරීමට හැකි වේ.

නායකත්ව කමිටු තුල සාකච්ඡාවල පිටපත් මෙන්ම පක්ෂ නායකයින් අතර ලිපි හුවමාරුව ද ඇතුලත් නව තොරතුරු වලට, 1982-1991 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය නම් වූ ලේඛන ගොනුව ඇතුලත් වේ. මෙය පලමු වරට පක්ෂයේ සෑම සාමාජිකයෙකුට ම ලබා ගත හැකිය. මෙම ලියකියවිලි මගින් ජාත්‍යන්තර කමිටුව තුල කෙරෙන සාකච්ඡාවල ගැඹුර හා තීව්රතාවය ද එහි දේශපාලන-බුද්ධිමය ජීවිතයේ ජීවමාන ස්වභාවය ද හෙලිදරව් කෙරේ. ඒවා ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සඳහා මිල කල නොහැකි මූලාශ්‍රයන් වේ. 1985-86 අතර ජාත්‍යන්තර කමිටුවේ භේදයෙන් පසුව -එහි දී අපේක්ෂා කලා වූ- බරපතල සිද්ධීන් කෙරෙහි ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා විසින් සිය ප්‍රතිචාරය වර්ධනය කලා වූ දේශපාලන සන්තතිය පිලිබඳව පිරික්සා බැලීමට මෙම ලේඛනවලින් හැකියාව ලැබේ. විප්ලවවාදී මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් තුල මූලධර්මාත්මක දේශපාලන සාකච්ඡා පැවැත්වෙන්නේ කෙසේද යන්න පිලිබඳ සියුම් දැක්මක් මෙම ලේඛන මගින් සැපයෙයි.

මෙම පාසලේ විෂයන් තෝරා ගැනීමේදී සහ හජාජාක මෙම ලේඛන කෙරෙහි එහි අවධානය යොමු කිරීමේදී සැලකිල්ලට භාජනය වූයේ කවර කාරනා ද? ජාත්‍යන්තර කමිටුව සැලකිය යුතු වර්ධනයේ කාලයකට අවතීර්න වී ඇති බවට බොහෝ ඇඟවීම් තිබේ. අපි දැනටමත් අපගේ ව්‍යාපාරයට නව සාමාජිකයින් බොහෝ දෙනෙකු බඳවා ගනිමින් සිටින්නෙමු. හජාජාක දැනට පවතින ශාඛා වලට බඳවා ගැනීම පමනක් නොව, ලොව පුරා නව ශාඛා පිහිටුවීම ද මෙම සන්තතියට ඇතුලත් වේ. වෛෂයික සිදුවීම් වලින් මෙම වර්ධනයේ නිශ්චිත වේගය හා පරිමාව තීරනය කෙරෙනු ඇත. එහෙත්, අපගේ දේශපාලන වැඩ කටයුතු, ජාත්‍යන්තර පරිමානව ලෝක ධනවාදී ක්‍රමයේ උත්සන්න වන අර්බුදයෙන් පැනනංවනු ලබන පන්ති අරගලයේ ගමන් මඟ සමඟ අන්තර්ඡේදනය වෙමින් පවතී.

අප දශක ගනනාවක් තිස්සේ ගොඩනැගීමට සටන් වැදුනු අපගේ ව්‍යාපාරයේ වර්ධනය අපි සාදරයෙන් පිලිගනිමු. නමුත් සියලු සන්තතීන් සහජයෙන්ම පරස්පර විරෝධී වේ. නව හා අත්දැකීම් රහිත සාමාජිකයන් බඳවා ගැනීම වර්ධනය වන විට -ට්‍රොට්ස්කි 1923 දී ඔහුගේ නව මාවත පිලිබඳ විචාරනය තුල පැහැදිලි කල පරිදි -පක්ෂයේ න්‍යායික හා දේශපාලන මට්ටම පහත වැටීමේ අන්තරාය සෑම විටම පවතී. මෙය සෑම විටම වර්ධනයට සමගාමීව ඉස්මතුවන ස්වාභාවික ගැටලුවකි. විප්ලවවාදී වැඩකටයුතුවල අභියෝග හා ඉල්ලීම් තරුන සාමාජිකයින් ස්වයංක්‍රීයව තේරුම් ගනු ඇතැයි කිසිවෙකුට අපේක්ෂා කල නොහැකිය. අත්දැකීම් අඩුකම නිසා සිදුවීම් වලට ආවේගශීලීව හා තත්කාර්යවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවනතාවක් ඇතිවිය හැකිය. අවශ්‍ය ඉවසීමෙන් යුතුව නව සාමාජිකයින්ට සහාය වීම පැරනි සහෝදරවරුන්ගේ වගකීමකි.

එහෙත් පැරනි සහෝදරවරුන්, ඔවුන්ගේ වසර ගනනාවක අත්දැකීම් හේතුවෙන් සර්ව-නිර්දෝෂී දේශපාලන කුසලතාවයකින් අනූන වෙතැයි සිතීම වරදක් වනු ඇත. වියපත්වීම සමඟ වර්ධනය වන අත්දැකීම්වලට සැලකිය යුතු වටිනාකමක් ඇති නමුත්, ඒවායේම ගැටලු සහගත හා සෘනාත්මක ලක්ෂන නැත්තේ නොවේ. වයස්ගත වීම, ප්‍රඥාව ගෙන එන බවක් කියනු ලැබේ. මෙම ප්‍රස්තුතය වාච්‍යාර්ථයෙන් නොගත යුතු ය. වෛද්‍යවරයා හමුවීමට නිරතුරුව යෑමට අමතරව, වයස්ගතවීම, ගතානුගතිකත්වය හා අධානග්‍රාහිත්වය පිලිබඳ ප්‍රවනතාවක් ද ගෙන එයි. මෙම ආධානග්‍රාහිත්වය නම් නව්‍ය ගැටලුවලට මුහුන දීම සඳහා “අතීතයේ පාඩම්” ලෙස නිතර සඳහන් කෙරෙන දෙය, ප්‍රමානවත් ආවර්ජනයක් නොමැතිව ම, සෘජුවම යෙදීමට වඩා වැඩි යමක් අවශ්‍යම නැත යන වැරදි විශ්වාසයයි. “පාඩම්” යනුවෙන් හැඳින්වෙන දේ ඉතා නිවැරදිව නිර්වචනය කල යුතුය, එසේ නොකල හොත් පවත්නා තත්වයේ විශේෂත්වය අකාලික අධි-ඓතිහාසික සාමාන්‍යයක් බවට දියකර හැරීමේ අවදානමක් පැන නංවයි.

තීව්‍රවෙමින් පවත්නා දේශපාලන අභියෝගයන්ට මුහුන දීම උදෙසා, පැරනි සහ අලුත් සාමාජිකයන් යන දෙගොල්ලම ඇතුලු සමස්ත පක්ෂයේ න්‍යායික ම්ට්ටම් ඉහල නැංවීම සඳහා සමකාලීන වර්ධනයන් තුල තීව්‍රව නිමග්නවී ගැනීම ද “වර්තමානයේ” සාරභුත අන්තර්ගතය සමන්විතවන ඓතිහාසික සන්තතීන් අනන්‍යකොට ගෙන සවිචාර විශ්ලේශනයට භාජනය කිරීම ද අතර අන්තර්-ක්‍රියාකාරිත්වය අවශ්‍ය වෙයි. ටොම් හෙනහන්ගේ මරනයෙන් පසු පස්වන සංවත්සරය වෙනුවෙන් වසර ගනනාවකට පෙර 1982දී මා විසින් රචනා කරන ලද ලිපිවල මවිසින් උපුටා දැක්වූ හේගල්ගේ ප්‍රකාශයෙහි අර්ථය මෙයයි:

මෙසේ, ඥානනය අන්තර්ගතයේ සිට අන්තර්ගතය කරා පෙරට පෙරලී යයි. ....එහි සෑම ඉක්බිති නිර්නික අවධියක ම එය එහි පූර්ව අන්තර්ගතයේ සමස්ත රාශීය ඔසවාලයි. එපමනක් නොව, එය සිය අපෝහක ප්‍රගතිය මගින්, කිසිවක් නැති කොට නො ගනිමින් හා කිසිවක් අතරමඟ නොහෙලා, තමන් සමග තමන් අත්පත් කර ගත් සියල්ල ආඪ්‍ය කර ගනිමින් ද සංකේන්ද්‍රනය කර ගනිමින් ද ඉදිරියට උසුලා ගෙන යයි....(1)

න්‍යායික හා දේශපාලන අධ්‍යාපනයේ වැඩපිලිවෙලක් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය හා අභියෝගාත්මක කාර්යයකි. මාක්ස්වාදයේ “පදනම්”, එනම් දාර්ශනික භෞතිකවාදය, දේශපාලන අර්ථශාස්ත්‍රය සහ සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික සම්භවය පිලිබඳ දේශන සූදානම් කිරීමේ ඉමහත් අවශ්‍යතාවයක් පවතී. කෙසේ වෙතත්, එම පදනම් විෂයයන් පිලිබඳව පන්තිවල වැදගත්කම අවතක්සේරු නොකර ම, එම කාර්යය හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ දෘඩතර අධ්‍යයනයක් ඇතුලත් අධ්‍යාපනික වැඩසටහනක කොටසක් නොවන්නේ නම්, එය ශාස්ත්‍රීය කටයුත්තක් ලෙස පවතිනු ඇතැයි ද අනතුරු ඇඟවිය යුතුය. මෙම සුවිසල් විෂය පථය, ශතවර්ෂයකට ආසන්න කාලයක් තුල කම්කරු පන්තියේ විප්ලවීය අත්දැකීම් අන්තර්ගතකර ගනී.

එපමනක් නොව, මෙම අධ්‍යයනය නිවැරදි න්‍යායාත්මක විධික්‍රමයක් මගින් සකස් කල යුතුය. හේගල් සිය ඉතිහාසය පිලිබඳ දර්ශනවාදය තුල, ඉතිහාසය පිලිබඳ විවිධාකාර තත්කාර්යවාදී ප්‍රවිෂ්ටයන් සමච්චලයට ලක් කලේය. “නරකම ආකාරයේ තත්කාර්යවාදී ඉතිහාසඥයා, ආත්මීය චේතනා සොයන්නාවූ පටු මනෝ විද්‍යාඥයා වන්නේය.” “සදාචාරාමය උපදෙස් දෙන තත්කාර්යවාදියා ද එමෙන්ම නරක ය. . . . ඔහු වෙහෙසකර අවුල් ජාලයෙන් ඉඳහිට අවදිවන්නේ, ඔහුගේ සදාචාරමය ප්‍රහාරයන්ගෙන් සිද්ධීන්ට හා පුද්ගලයන්ගේ ඇලපතට ම පහර දෙමින් උපදේශ අදහසක් හා අනුශාසක වචනයක්, සදාචාර ධර්මයක් හෝ එවැන්නක් දමා ගසමින් ක්‍රිස්තියානි ඥානොපදේශ ඇද බෑමටය.” [2] හේගල් එලෙස සඳහන් කලේ පැහැදිලිවම රොබට් සර්විස් ගැනය.

හේගල් වෛෂයික විඥානවාදියෙකු විය. ඔහුගේ අපෝහකය විසින් ඓතිහාසික සන්තතිය හඳුන්වා දෙන ලද්දේ පරම චෙතන්‍යය නමැති දාර්ශනික මනසෙහි තාර්කානුකූල දිගහැරීම සහ ප්‍රතිනිර්මානයක් ලෙස ය. මාක්ස් සහ එංගල්ස් හේගල්ගේ ගූඪ විඥානවාදී ඉදිරිපත් කිරීමෙන්, ඉතිහාසය තුල ක්‍රියාත්මක වන්නාවූ සැබෑ භෞතිකවාදී සන්තතිය උපුටා ගත්හ. 1888 දී ලියන එංගල්ස්, හේගල්ගේ තත්කාර්යවාදී ඉතිහාසය පිලිබඳ විචාරය භෞතිකවාදී පදනමක් මත, යලි සකස් කලේ ය. ඉතිහාසය පිලිබඳ තත්කාර්යවාදී ප්‍රවිෂ්ටයේ මූලික දුර්වලතාවය නම්, “එය සෑම දෙයක් ම ක්‍රියාවේ චේතනාවෙන් විනිශ්චය කරයි; ඉතිහාසයේ ක්‍රියා කරන පුද්ගලයන් උත්තම හා අධම යන දෙවර්ගයට බෙදයි. නීතියක් වසයෙන්ම උත්තමයන් රැවටිල්ලට භාජනය වන බවත්, අධමයන් ජයග්‍රහනය ලබන බවත් එවිට එයට පෙනී යයි” එංගල්ස් සඳහන් කරයි. [3]

එංගල්ස් තවදුරටත් මෙසේ සඳහන් කරයි.

තතු එසේ හෙයින් ගවේශනය කල යුතු වන්නේ ඉතිහාසයෙහි ක්‍රියා කරන පුද්ගලයන්ගේ චේතනාවන්ට පිටුපසින් පවත්නා ගාමක බලවේගයන් ය. මේ ගාමක බලවේගයෝ එකී චේතනාවන්ට පිටුපසින් සවිඤ්ඤානකව හෝ අවිඤ්ඤානකව ද බෙහෙවින් අවිඤ්ඤානකව ම ද පවතිත්. ඉතිහාසයේ සැබෑ අවසාන ගාමක බලවේගයෝ නම් ඒවා වෙති. එසේ නම් අතිමහත් ජනකායන්, සමස්ත ජනතාවන් හා එකම ජනතාව අතර පවා සමස්ත පන්තීන් වහා නැසී යන තාවකාලික පිදුරු ගින්නක් ක්ෂනිකව දල්වා ලීම සඳහා නොව දැවැන්ත ඓතිහාසික විපර්යාසයකට හේතු වන චිරස්ථායී ක්‍රියාවක් සඳහා මෙහෙයවෙන්නේ විශේෂ පුද්ගලයන්ගේ චේතනාවන් විය නොහැකි ය; ඔවුන් කෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් යයි කියනු ලබන ඔවුන්ගේ නායකයන්ගේ සිත් තුලත් පැහැදිලිව හෝ නොපැහැදිලිව ද කෙලින්ම හෝ දෘෂ්ටිවාදාත්මක ස්වරූප ගන්වා උත්කර්ෂයට පත් කරනු ලැබ ද දැවැන්ත ඓතිහාසික විපර්යාසයක් තුල සවිඤ්ඤානක චේතනාවන් ලෙස පිලිබිඹුවන්නා වූ නිර්නයකාරී හේතූන් සොයා දැනගත යුතුය. ”[4]

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ අපගේ අධ්‍යයනයට අවශ්‍යයෙන් ම මඟ පෙන්වන ප්‍රවිෂ්ටය මෙයයි. අපගේ අවධානය යොමු වන්නේ එම ඉතිහාසය තුල විවිධ අවස්ථාවල දී ප්‍රධාන භූමිකාවන් ඉටු කල පුද්ගලයන්ගේ උපකල්පිත “චේතනාවන්” කෙරෙහි නොව, හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන අරගල තුල සවිඥානික ප්‍රකාශනයක් අත්පත් කර ගත් වෛෂයික, ඓතිහාසික හා සමාජ සන්තතිය වෙත ය.

1923 දී වාම විපක්ෂය, ආරම්භක ලක්ෂ්‍යය ලෙස අප සලකන්නේ නම්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, මුලු ශතවර්ෂයක් පුරාම වාගේ විහිද යයි. එම ඉතිහාසයේ විෂය වන්නේ 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිතිව ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල සහ මූලෝපාය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මාක්ස්වාදී පෙරටු බලඇනියෙහි සවිඥානික අරගලයයි. මෙම ඉතිහාසයකලඹවාලන අන්තර්ගතය” නම්, යුද්ධ, විප්ලව හා ප්‍රතිවිප්ලව ආදී ප්‍රකෝටි සංඛ්‍යාත ජනයා අරගලයන්ට ඇදගත්තා වූ ද කෝටි ගනන් ජනයාගේ ජීවිත අහිමි කලා වූ ද විසිවැනි සියවසේ දැවැන්ත සිද්ධීන් ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී, ඔවුන් ඉටු කල කාර්යභාරය කෙතරම් වැදගත් වුවත්, එවැනි වැදගත් සිදුවීම් හුදෙක් පුද්ගලයන්ගේ චේතනාවන් අනුව ප්‍රමානවත් ලෙස පැහැදිලි කල නොහැකි ය. පක්ෂවල හා පුද්ගලයන්ගේ ක්‍රියාවන් තුල සිය ප්‍රකාශනය අත්පත් කරගන්නා -- දේශපාලන ක්‍රියාදාමය තුල ක්‍රියාකාරී වන අය විසින් බොහෝ විට ප්‍රමානවත් ලෙස හදුනාගනු නොලබන -- වෛෂයික කොන්දේසි, සමාජ බලවේග සහ පන්ති අවශ්‍යතා අනාවරනය කරගැනීමට නිරන්තර පරිශ්‍රමයක යෙදිය යුතුය.

තම ආත්මීය අභිමතයට අනුව ඉතිහාසය නමමින් සිටින බව සිතන අය නිරන්තරයෙන් වඩාත් ප්‍රතිගාමී සමාජ බලවේගයන්ගේ සහ දේශපාලන සන්තතීන්ගේ මෙවලම් බවට පත්වේ. ඉතිහාසය “ප්‍රගුන”කල හැක්කේ එහි අපෝහක නීති තේරුම් ගෙන ඇති තාක් දුරට සහ ඒවා මත ක්‍රියාත්මක විය හැකි තාක් දුරට බව මාක්ස්වාදී විප්ලවවාදියා තේරුම් ගනියි. ට්‍රොට්ස්කි සුපුරුදු දීප්තිමත් භාවයෙන් යුතුව මාක්ස්වාදී විශ්ලේෂනය සහ ආත්මීය විප්ලවවාදී අධිෂ්ඨානය අතර සම්බන්ධතාවය විස්තර කලේ ය:

කම්කරු පන්තිය සමඟ පමනක් සම්බන්ධ වියහැකි අපගේ යුගයේ විප්ලවවාදීහු, ඔවුන්ගේ ම විශේෂ මානසික ගති ලක්ෂන, බුද්ධිමය ගුනාංග සහ අධිෂ්ඨානය දරා සිටිති. අවශ්‍ය හා හැකි නම් විප්ලවවාදීහු ඓතිහාසික බාධක බලහත්කාරයෙන් බිඳ දමති. එසේ කල නොහැකි නම් ඔව්හු වට රවුමේ යති.. වට රවුමේ යා නොහැකි නම් විප්ලවවාදීහු, ඉවසිලිවන්තව හා නොනවත්වාම ඒවා සමඟ පොර බදමින් කල් බලති. විප්ලවවාදීන් වන්නේ ඔවුන්, බාධක බිඳ දැමීමට හෝ නිර්දය බලය යෙදවීමට බිය නොවන බැවිනි. මේ දේවල්වල ඓතිහාසික වටිනාකම ඔවුහු දැන සිටිති. සිය විනාශකාරී හා නිර්මානාත්මක කාර්යයේ පූර්න ධාරිතාව යෙදවීම ඔවුන්ගේ නිරන්තර උත්සාහයයි; එනම්, ලබා දී ඇති සෑම ඓතිහාසික තත්වයකින් ම විප්ලවවාදී පන්තියේ දියුනුව කරා යොමු කල හැකි උපරිමය ලබා ගැනීමයි.

ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල දී විප්ලවවාදීන් සීමා කරනු ලබන්නේ අභ්‍යන්තර බාධක මගින් නොව බාහිර බාධක මගිනි. එනම්, ඔවුන්ගේ තත්වය, ඔවුන්ගේ සමස්ත ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයේ භෞතික හා සංයුක්ත යථාර්ථය යනාදියෙහි ධනාත්මක හා සෘනාත්මක අංශයන් ඇගයීමට සහ නිවැරදි දේශපාලන ශේෂ පත්‍රය සකසා ගැනීමට ඔවුන් පුහුනු විය යුතුය”. [5]

මාක්ස්වාදී විප්ලවවාදියාගේ ඉතිහාසයට ඇති සම්බන්ධය ගතික ය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එහි වර්තමාන විශ්ලේෂනය හා ක්‍රියාකාරිත්වය සමස්ත විප්ලවීය යුගයක සන්දර්භය තුල පිහිටුවීමට උත්සාහ දරයි. මෙම විනයගත විද්‍යාත්මක ප්‍රවේශය, පුද්ගලවාදී, ආවේගවාදී හා තත්කාර්යවාදී, එනම් අවස්ථාවාදී දේශපාලනය සමඟ නොපෑහෙයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉදිරිදර්ශනය නීර්නය කෙරෙන්නේ දවසේ අවශ්‍යතා මත නොව ඓතිහාසික යුගයේ ඉල්ලීම්වලට අනුව ය.

විප්ලවවාදී පක්ෂය එහි තීරනවල හා ක්‍රියාවන්හි ඓතිහාසික පදනම් සහ අනාගත ඇඟවුම් පිලිබඳව දැනුවත් විය යුතුය. එහෙත් මෙම ඉහල මට්ටමේ දේශපාලන විඥානය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ සවිස්තරාත්මක දැනුමක් අවශ්‍ය වේ.

මෙය ශතවර්ෂයකට ආසන්න කාලයක් පුරා විහිදුනු සුවිශාල විෂයයකි. එහෙත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහසයෙහි සුවිශේෂී අදියර හතරක් හඳුනාගත හැකිය. එවැනි කාලානුරූපීකරනයක වටිනාකම නම්, පලමුව, හතරවන ජාත්‍යන්තරයෙහි ඓතිහාසික වර්ධනයේ ගමන් පථය තුල ජාත්‍යන්තර කමිටුවේ ස්ථානය වඩාත් නිවැරදිව සොයා ගැනීමට අපට හැකි වීමයි. දෙවනුව, ධනවාදයේ ගෝලීය අර්බුදය සහ ලෝක සමාජවාදී විප්ලවයේ සන්තතියට හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික වර්ධනයේ සම්බන්ධතාවය පැහැදිලි කිරීමයි.

හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි පලමු අදියර, 1923 ඔක්තෝබර් මාසයේ වාම විපක්ෂය පිහිටුවීමේ සිට 1938 සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය දක්වා වසර 15 ක කාලපරිච්ඡේදයක් ආවරනය කරයි. ස්ටැලින්වාදී නිලධරයට හා තනි රටක සමාජවාදය පිලිබඳ එහි ජාතිකවාදී ඉදිරිදර්ශනයට එරෙහි අරගලය අධිකාරය දරන ලද මෙම ඛේදජනක කාලය තුල ට්‍රොට්ස්කි, ජර්මනියේ නාසීන් බලයට පත්වීමෙන් පසුව, පිහිටවූ හතරවන ජාත්‍යන්තරයෙහි න්‍යායික හා දේශපාලන පදනම් වර්ධනය කලේ ය. ස්ටැලින්වාදයට එරෙහි අරගලයට සහ හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට මඟ පාදන ලද ප්‍රධාන මූලෝපායික මූලධර්ම 1928 දී කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ කෙටුම්පත් වැඩසටහන පිලිබඳ ඔහුගේ සමාලෝචනය මගින් සූත්‍රගත කලේ ය.

ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යටතේ අධිරාජ්‍යවාදයේ යුගය වන, ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලනයේ යුගය වන අපගේ යුගයේ දී, තනි කොමියුනිස්ට් පක්ෂයකට තනිකරම හෝ ප්‍රධාන වශයෙන් තමන්ගේ රටේ වර්ධනයන්හි කොන්දේසි හා ප්‍රවනතාවන්ගෙන් පටන්ගෙන තම වැඩපිලිවෙල ස්ථාපිත කල නොහැකිය. සෝවියට් සංගමයේ දේශසීමාවන් තුල රාජ්‍ය බලය දරන පක්ෂයට ද මෙය මුලුමනින්ම බලපායි. 1914 අගෝස්තු 4 වන දින ජාතික ක්‍රියාමාර්ගයන්ට මලබෙරය හැඬවිනි. නිර්ධන පන්තියේ විප්ලවවාදී පක්ෂයට පදනම් විය හැක්කේ ධනවාදයේ ඉහලම වර්ධනයේ හා බිඳවැටීමේ යුගය වන වර්තමාන යුගයේ ස්වභාවය හා අනුරූප වන ජාත්‍යන්තර වැඩපිලිවෙලක් මත පමනි. ජාත්‍යන්තර කොමියුනිස්ට් වැඩපිලිවෙලක් කිසිසේත් ජාතික ක්‍රියාමාර්ගවල එකතුවක් හෝ ඒවායේ පොදු ලක්ෂනවල එකතුවක් නොවේ. ජාත්‍යන්තර වැඩපිලිවෙල සෘජුවම ඉදිරි ආරම්භය විය යුත්තේ ලෝක ආර්ථිකයේ සහ සමස්ත දේශපාලන සම්බන්ධතා පද්ධතියේ සියලු සම්බන්ධතා හා ප්‍රතිවිරෝධතා, එනම් එහි වෙන් වෙන් කොටස්වල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරෝධී අන්තර් රඳා පැවැත්ම සමඟ ගත් කොන්දේසි වලිනි. වර්තමාන යුගයේ දී, අතීතයට වඩා බොහෝ දුරට, නිර්ධන පන්තියේ ජාතික දිශානතිය ගලා යා යුත්තේ ද ගලා යා හැක්කේ ද ලෝක දිශානතියකින් මිස අනෙක් අතට නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය සහ ජාතික සමාජවාදයේ සියලු ප්‍රභේද අතර මූලික හා ප්‍රධාන වෙනස ඇත්තේ මෙහි ය. [6]

පලමු අදියරේ දී මූලිකව ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ගේ පාවාදීම් හේතුකොට ගෙන සිදුවූ දේශපාලන ව්‍යසන මාලාවක් අත් දකින්ට ලැබුනි. එය මහජන පෙරමුනුවාදී කාල පරිච්ඡේදයයි, එනම්, ස්ටැලින්වාදී පක්ෂ විසින් කම්කරු පන්තිය අධිරාජ්‍යවාදයේ හා මූල්‍ය ප්‍රාග්ධනයේ ධනේශ්වර ලිබරල් නියෝජිතයින්ට යටත් කිරීමේ හා රුසියානු කම්කරු පන්තිය ජයග්‍රහනය කරා මෙහෙයවන ලද බොල්ෂෙවික් කේඩරය විනාශ කෙරුනු, මොස්කව් නඩු විභාග සහ ස්ටැලින්වාදී ත්‍රස්තයේ යුගයයි. හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික අවශ්‍යතාව අවධාරනය කල ට්‍රොට්ස්කි, නව ජාත්‍යන්තරයක් ප්‍රකාශයට පත් කිරීමට තරම් තත්වය මෝරා නැතැයි කියා සිටි බොහෝ මාධ්‍යමික සංවිධානවලට විරුද්ධ විය. ජාත්‍යන්තරයක් ආරම්භ කිරීම සඳහා “මහා සිදුවීම්” අවශ්‍ය බව කියැවිනි.මහා සිදුවීම්” සිදුවී ඇතැයි ට්‍රොට්ස්කි පිලිතුරු දුන්නේ ය. කම්කරු පන්තිය ඉතිහාසයේ ලත් දැවැන්තම පරාජයන්. හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමෙන් හා විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමෙන් පමනක් ම පරාජයේ රටාව ආපසු හැරවීමට හා සමාජවාදයේ ජයග්‍රහනය සුරක්ෂිත කිරීමට හැකි වනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි දෙවන අදියර, 1938 සැප්තැම්බරයේ ආරම්භක සම්මේලනයෙන් ආරම්භ වන අතර 1953 නොවැම්බරයෙන් අවසන් වන්නේ හතරවන ජාත්‍යන්තරයේ විශාල භේදයකින් ය. මෙම ඓතිහාසික කාලපරිච්ඡේදයට, ට්‍රොට්ස්කි ඝාතනය, දෙවන ලෝක සංග්‍රාමය, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් පිහිටුවීම, බටහිර යුරෝපයේ හා ජපානයේ ධනවාදය නැවත ස්ථාවර කිරීම, සීතල යුද්ධය පුපුරා යාම, චීන විප්ලවයේ ජයග්‍රහනය, කොරියානු යුද්ධය පුපුරා යාම සහ ස්ටාලින්ගේ මරනය ඇතුලත් වේ.

මෙම සියලු කැලඹිලිකාර සිදුවීම් හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන වර්ධනය තුල පිලිබිඹු විය. 1939 සැප්තැම්බරයේ දෙවන ලෝක සංග්‍රාමය පුපුරා යාමත් සමඟ, ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) තුල ක්ෂනික මතභේද පැන නැංවීය. 1939 අගෝස්තු මාසයේදී ස්ටැලින්-හිට්ලර් අතර අත්සන් තැබුනු අනාක්‍රමනික ගිවිසුමට ප්‍රතිචාර වශයෙන්, ජේම්ස් බර්න්හැම්, මැක්ස් ෂැට්මන් සහ මාටින් ඇබර්න් විසින් නායකත්වය දුන් සුලුතර කන්ඩායමක්, සෝවියට් සංගමය පිරිහුනු කම්කරු රාජ්‍යයක් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කලහ. එස්ඩබ්ලිව්පී තුල අරගලය, 1940 අප්‍රේල් මාසයේදී භේදයකින් කුලුගැන්වින. ට්‍රොට්ස්කි මෙම අරගලයට සහභාගිවෙමින් සිය ජීවිතයේ අවසන් මාස කිහිපය තුල අතිශයින් දීප්තිමත් හා දුරදක්නා ලේඛන ගනනාවක් සම්පාදනය කලේ ය.

සෝවියට් සංඟමයේ පන්ති ස්වභාවය නීර්නය කිරීමේදී යොදාගත යුතු වචන කවරේ ද යන ආරවුලට වැඩි දෙයක් මේ තීරනාත්මක අරගලයට සම්බන්ධ ය. ආරවුල හරි මැද තිබුනේ දේශපාලන හා ඓතිහාසික ඉදිරිදර්ශනය පිලිබඳ අති මූලික ප්‍රශ්නයන් ය. එනම්: මෙය සමාජවාදී විප්ලවයේ යුගයක් ද? කම්කරු පන්තිය සිය ඓතිහාසිකව ප්‍රගතිශීලී ක්‍රියා කලාපය අහෝසිවී ගොස් සමාජවාදී සමාජයක් ගොඩනැමෙහි ලා අසමත් බව ඔප්පු කර ඇත්ද? සෝවියට් නිලධරය සෝවියට් සංඟමයේ පසුගාමිත්වය සහ හුදෙකලාව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයන්ගෙන් පරාජයට පත්වීම වැනි සුවිශේෂ තත්වයන් මාලාවකින් නිෂ්පාදනය කෙරුනු පරපුටු කුලයක් ද? නො එසේ නම්, මාක්ස්වාදීන් විසින් පෙර නොදක්නා ලද පශ්චාත් ධනපති සූරාකෑමේ රූපය ගත් නව පාලක පන්තියක් ද?

1940 භේදයෙන් සති කිහිපයක් ඇතුලත බර්න්හැම්, ඔහුගේ න්‍යායික හා දේශපාලන සංකල්පවල තර්කනය මත ක්‍රියා කරමින් සමාජවාදය ප්‍රතික්ෂේප කර ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තුරුල්ලට වේගයෙන් ඇදී ගියේය. ෂැට්මන් සමාජවාදයෙන් බිඳී යාම, තරමක් වක්‍ර මාර්ගයක් ගත්තේ ය. සෝවියට් සංගමය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, එරට නාසි හමුදාවන්ගේ ආක්‍රමනයට මුහුන දුන් විට පවා, ෂැට්මන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමේ මූලධර්මය ප්‍රකාශයට පත් කලේ එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, දේශපාලන, මිලිටරි හා බුද්ධි ආයතන සමඟ සෘජු සහයෝගී වීමක්ව පැවතියදී ය.

යුද්ධය අතරතුර “ත්‍රිත්ව ප්‍රවාද” කන්ඩායම නම් වූ තවත් සංශෝධනවාදී ප්‍රවනතාවක් මතු විය. ෂැට්මන්ගේ මතයට සමානව ඉදිරියට යන අදහස් සහිත ත්‍රිත්ව ප්‍රවාද වලින් තර්ක කෙරුනේ, තුන්වන රීකය (තුන්වන ආධිරාජ්‍යය හෙවත් නාසි ජර්මනිය) ආරම්භ වූයේ, විශ්වීය වශයෙන් ඓතිහාසික පරාගතවාදී කාල පරිච්ඡේදයක බවත්, එමඟින් තවදුරටත් සමාජවාදය දේශපාලන සක්‍යතාවයක් නොදරන බවත්ය. මානව වර්ගයා සියවසක කාලයකට පසුපසට ඇද දමා ඇති අතර ඉදිරි පියවර නැවත පෙරලා සොයා ගැනීමට එයට බල කෙරී ඇති බවත් ය.. යුගයේ දේශපාලන අභියෝගය වූයේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ස්වාධීනත්වය යලි ස්ථාපිත කිරීමයි.

බර්න්හැම්, ෂැට්මන් සහ පරාගතවාදීන්ගෙන් මෙලෙස පිලිබිඹු වූයේ, කම්කරු පන්තියෙන් හා සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයෙන් වෙන් වීමේ සන්තතියක සිටි මධ්‍යම පන්තික වාම බුද්ධිමතුන්ගේ කොටස් තුල වෙනස්වෙමින් පැවති දේශපාලන මනෝභාවයන් ය. එම ක්‍රියාවලියේ තවත් ප්‍රකාශනයක්, හතරවන ජාත්‍යන්තරයේ සංශෝධනවාදී ප්‍රවනතාවක ස්වරූපයෙන් මතුවිය. එහි නායකයන් වන මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල්, සෝවියට් මිලිටරි ජයග්‍රහනවලට සහ නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් ස්ථාපිත කිරීමට ප්‍රතිචාර දැක්වූයේ, ස්ටැලින්වාදී නිලධරයන්ට විප්ලවීය කාර්යභාරයක් ආරෝපනය කිරීමෙනි. සියවස් ගනනාවක් තුල සමාජවාදය සාක්ෂාත් කරගත හැකි දේශපාලන ආකෘතියක් නැගෙනහිර යුරෝපයේ “විකෘති කම්කරු රාජ්‍යයන්” තුලින් පැනනැඟී ඇතැයි ඔවුහු තර්ක කලහ. මෙම ක්‍රියාවලිය තුල ඓතිහාසික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීම කෙසේ වෙතත් හතරවන ජාත්‍යන්තරයට ස්වාධීනත්වයක් පවා නොතිබුනි.

1950 දශකයේ මුල් භාගය වන විට, පැබ්ලෝවාදී ප්‍රවනතාවය, හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ස්ටැලින්වාදී පක්ෂවලට පමනක් නොව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හා ධනේශ්වර ජාතිකවාදීන්ගේ ද සංවිධාන තුල දියකරහැරීම සඳහා උත්සාහ කලේය. 1953 වන විට හතරවන ජාත්‍යන්තරය තවදුරටත් දේශපාලනික වශයෙන් සමජාතීය සංවිධානයක් නොවීය. හතරවන ජාත්‍යන්තරය දියකර හැරීම වැලැක්වීම සඳහා, ජේම්ස් පී. කැනන්ගේ නායකත්වයෙන් යුත් සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන්ගේ කන්ඩායම හතරවන ජාත්‍යන්තරය තුල භේදයක් ද ජාත්‍යන්තර කමිටුව නිර්මානය කිරීම ද ප්‍රකාශය පත් කරමින් 1953 නොවැම්බර් මාසයේ විවෘත ලිපිය නිකුත් කලේය. මෙම භේදය හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි දෙවන අදියර නිමාවකට ගෙන ආවේය.

විවෘත ලිපිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තෙවන අදියර ආරම්භ වූ අතර 1985 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාත්‍යන්තර කමිටු සාමාජිකත්වය අත්හිටුවීම සහ 1986 පෙබරවාරි මාසයේ දී බ්‍රිතාන්‍ය ජාතික අවස්ථාවාදීන් සමඟ සියලු සබඳතා අවසන් කිරීම මගින් සමාප්ත විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු උත්පාත අවධිය මෙම කාල පරිච්ඡේදයට මුලුමනින්ම පාහේ ඇතුලත් වෙයි. කෘෂෙව්ගේ රහසිගත කථාව, හංගේරියානු විප්ලවය, විජිත විරෝධී අරගල රැල්ලක් පුපුරා යාම (එනම් වියට්නාමය, ඊජිප්තුව, ඇල්ජීරියාව, කොංගෝව), කියුබාවේ කැස්ත්‍රෝ තන්ත්‍රය පිහිටුවීම, එක්සත් ජනපදය වියට්නාමයට මැදිහත්වීම වැනි සිදුවීම් ඊට ඇතුලත් ය. ඉන් පසුව ලොව පුරා දැවැන්ත ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය පුපුරා යාම, 1965-66 ඉන්දුනීසියාවේ ප්‍රති-විප්ලවවාදී සංහාරය, චීනයේ සංස්කෘතික විප්ලවය, 1968 මැයි-ජූනි ප්‍රන්ස මහා වැඩ වර්ජනය, 1971අගෝස්තු මාසයේ බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය බිඳ වැටීම, 1973 සැප්තැම්බරයේ ඇලෙන්ඩේ බලයෙන් පහ කිරීම, 1973 ඔක්තෝබර් අරාබි-ඊස්රායල් යුද්ධය, 1974 මාර්තු මාසයේ ටෝරි රජයට එරෙහිව බ්‍රිතාන්‍ය පතල් කම්කරුවන්ගේ ජයග්‍රහනය, 1974 අප්‍රේල් මාසයේ පෘතුගීසි විප්ලවය, 1974 ජූලි මාසයේ ග්‍රීක ජුන්ටාව බිඳ වැටීම, 1974 අගෝස්තු මාසයේදී නික්සන් ඉල්ලා අස්වීම, 1975 මැයි මාසයේ වියට්නාමයේදී එක්සත් ජනපදය පරාජය වීම, 1978-79 ඉරාන විප්ලවය, 1979 සහ 1980 දී තැචර් සහ රේගන් බලයට පත්වීම සහ ඉන් පසුව සමාජ හා දේශපාලන ප්‍රතිගාමිත්වයේ ක්‍රියාවලියක ආරම්භය.

සමාජවාදී විප්ලවයේ හැකියාව වෛෂයිකව මතුකල කම්කරු පන්තියේ බලගතු මහජන ව්‍යාපාර පැනනැගුනු මෙම පිපිරුම් සහගත කාලය තුල, ජාත්‍යන්තර කමිටුවට පොරබදීමට සිදු වූයේ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, වෘත්තීය සමිති සහ ඒවා සමඟ සම්බන්ධකම් පැවැත්වු සංවිධානවල නිරන්තර පීඩනය සමඟ පමනක් නොවේ. ඉහත සඳහන් නිලධරයන් හා සුලු ධනේශ්වර රැඩිකල්වාදීන් සහ ප්‍රති ට්‍රොට්ස්කිවාදී බුද්ධිමතුන්ගේ පුලුල් ස්ථරයක් සමඟ සම්බන්ධ වූ පැබ්ලෝවාදී සංවිධාන, මාක්ස්වාදී න්‍යායේ සහ හතරවන ජාත්‍යන්තරයේ මූලධර්මයන්ගේ නිර්දය මුසාකරන, දේශපාලන හා සංවිධානාමය ප්‍රකෝප කිරීම් මාලාවක් සමඟ එකට ගලතමින් ජාත්‍යන්තර කමිටුව හුදෙකලා කිරීමට උත්සාහ කලහ.

පලමු හා දෙවන අදියර අවුරුදු 15 බැගින් වූ කාල පරාසයක් අලලාගනී. 1986 භේදයෙන් අවසන් වූ තුන්වන අදියර වසර 33 ක් පැවතුනි. සිව්වන අදියර 1986 දී ආරම්භ වී වර්තමානය දක්වාම ක්‍රියාත්මක වන අතර එය වසර 33 ක් පුරා විහිද යයි. 1985-86 භේදය ජාත්‍යන්තර කමිටුවේ වසර 66 ක ඉතිහාසයේ නිශ්චිත මධ්‍ය ලක්ෂ්‍යයේදී සිදුවිය. තෙවන හා සිව්වන අදියර අතර වෙනස දැක්වීම උපදේශාත්මක ය. 1953 සිට 1986 දක්වා පැබ්ලෝවාදී අවස්ථාවාදීන් හජාජාක ශාඛාවන් ඇතුලතින් හා පිටතින්, හතරවන ජාත්‍යන්තරයට දැඩි පීඩනයක් එල්ල කලහ. එය, දේශපාලන නොමඟ යැවීමේ හා ප්‍රකෝප කිරීම්වල නිමක් නැති ප්‍රවාහයකි. සමාජ නිර්නයකින් ගත් කල්හි, පැබ්ලෝවාදී සංවිධාන වනාහි, අධිරාජ්‍යවාදය ද එහි ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධාරිවාදී ඒජනතයින් ද විසින් ජාත්‍යන්තර කමිටුව කඩාකප්පල් කිරීම සහ හුදෙකලා කිරීම සඳහා ප්‍රති-මාක්ස්වාදී රැඩිකල් සුලු ධනේශ්වරය මෙහෙයවා ගත් මාධ්‍යය විය. එපමනක් නොව, 1968 සහ 1975 අතර කම්කරු පන්තියේ නැගිටීම පාලනය කිරීමට හා පීලිපැන්වීමටත් ජාත්‍යන්තර කමිටුව මත දේශපාලන පීඩනය තීව්ර කිරීමටත් පැබ්ලෝවාදී සංවිධාන සැලකිය යුතු ක්‍රියාකලාපයක් ඉටු කර තිබේ.

1953 දී පැබ්ලෝ සහ මැන්ඩෙල්ට විරුද්ධ වීමේදී ජාත්‍යන්තර කමිටුවේ ප්‍රන්ස හා බ්‍රිතාන්‍ය ශාඛා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. 1961 සහ 1963 අතර කාලයේ ප්‍රන්ස ශාඛාවේ සහාය ඇතිව බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු සංඟමය, (එස්එල්එල්) ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) ප්‍රතිපත්ති විරහිතව පැබ්ලෝවාදීන් සමඟ යලි එක්වීමට එරෙහි සටනට නායකත්වය දුන්නේය. . එහෙත් 1960 දශකයේ අග භාගයේදී, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ සමාජවාදී කම්කරු සංඟමය සහ කොමියුනිස්ට් ජාත්‍යන්තර සංවිධානය (ඕසීඅයි) රැවටිලිකාර ආකර්ශනීය සංවිධානමය වාසි රැසක් ලබා ගත්තේ වුවත් ඒවා සිය ඉදිරිදර්ශනය හා ක්‍රියාකාරීත්වය ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරය විසින් ආධිපත්‍යය දැරූ, පවත්නා ජාතික දේශපාලන වාතාවරනයට අනුගත කිරීමට පටන් ගත්හ. 1971 දී මෙම සංවිධාන අතර භේදය සිදු වූයේ ඕසීඅයි සහ එස්එල්එල් අතර දේශපාලන මතභේද පැහැදිලි නොකෙරුනු තත්වයන් යටතේ ය. මුලුමනින්ම ජාතික වශයෙන් පදනම් වූ උපායාත්මක උත්සුකයන්ගේ පදනම මත සිදු කෙරුනු එස්එල්එල් කවිප බවට පරිවර්තනය කිරීම බ්‍රිතාන්‍ය ශාඛාවේ අවස්ථාවාදී පරිහානිය තවත් වේගවත් කලේය.

බ්‍රිතාන්‍ය සංවිධානයේ වඩ වඩාත් ජාතිකවාදී වූ යොමුව, ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයෙන් හා මූලධර්මවලින් වඩාත් පැහැදිලිව ඉවතට යාමට හේතු විය. නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය අතහැර දැමීම සහ අර්ධ සංවර්ධිත රටවල ජාතික ධනේශ්වරය වෙත එය නැඹුරු වීම තුල මෙය විශේෂයෙන් පෙනෙන්නට තිබුනි.

මෙම දක්ෂිනාංශික හා සාරාර්ථ වශයෙන් පැබ්ලෝවාදී ගමන, හජාජාකහි ලංකා ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය සහ එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය යන දෙකෙහිම විරුද්ධත්වයට පාත්‍ර විය. මෙම ශාඛා දෙකෙහිම සම්භවය පැවතියේ, 1963 පැබ්ලෝවාදීන් සමඟ යලි එකමුතුවීමට ඇමරිකාවේ සමාජවාදී කම්කරු පක්ෂ නායකත්වය ගත් පියවරයන්ට එරෙහි හජාජාක විරුද්ධත්වය තුල ය. මෙය ශාඛා දෙකේම පසුකාලීන වර්ධනයේ තීරනාත්මක සාධකය විය. ඉන්දිරා ගාන්ධිගේ ධනේශ්වර ආන්ඩුවේ නියෝගයෙන් ඉන්දියාව නැගෙනහිර පාකිස්තානය ආක්‍රමනය කිරීමට බ්‍රිතාන්‍ය එස්එල්එල් දුන් සහාය පිලිබඳව 1971 තරම් ඈත දීම කීර්ති බාලසුරිය සහෝදරයා සහ විකොස නායකත්වය තම නො එකඟතා මතු කලේ ය. එහෙත් මෙම ප්‍රතිපත්තිගරුක විවේචන බ්‍රිතාන්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර කමිටුව තුල සාකච්ඡාවකින් තොරව ම යටපත් කරන ලදී. එස්එල්එල්, තමන් විවේචනය කිරීම සම්බන්ධයෙන් විකොසෙන් පලිගැනීමට උත්සාහ කලේ, ශ්‍රී ලංකාවේ සංවිධානය හිතාමතාම හුදකලා කොට එහි නායකයින් දුෂ්ට ප්‍රකෝප කිරීම්වලට ලක් කිරීමෙනි.

වර්කර්ස් ලීගය තුල විරුද්ධත්වය වර්ධනය වීම තරමක් දිග්ගැස්සුනු හා සංකීර්න සන්තතියකට සම්බන්ධ විය. 1974 දී වුල්ෆර්ත් ජාතික ලේකම් ධුරයෙන් ඉවත් කිරීම, (ඔහු එස්ඩබ්ලිව්පීයට යලි එක්විය). සංවිධානයේ සමස්ත කේඩරයම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පදනම් කරගෙන ක්‍රමානුකූලව උගන්වා ගැනීමේ හැකියාව ඇති කලේය. ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය ලෙස හැඳින්වෙන ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය අලලා ගත් තත්වයන් පිලිබඳ විමර්ශනය ආරම්භ කිරීම, වර්කර්ස් ලීගයේ දේශපාලන සංවර්ධනය සඳහා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය. යථා, වෛෂයික නිර්නයකින් ගත් කල, ධනපති රාජ්‍යයේ මෙන්ම ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී ඒජන්සිවලට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන ප්‍රහාරයක් ද එයින් නියෝජනය විය.

1974 න් පසුව වර්කර්ස් ලීගය අත්කරගත් සැලකිය යුතු වර්ධනය, 1982 දී ආරම්භ වූ දේශපාලන අරගලය සඳහා සංවිධානය සූදානම් කලේය. කවිපය සමඟ ආරම්භක මතභේද ඉදිරිපත් වුනේ මෙහිදීය. මෙම අරගලයේ පලමු අදියරේදී වර්කර්ස් ලීගය සම්පූර්නයෙන්ම හුදෙකලා වූ බවක් පෙනෙන්නට තිබුනි. එහෙත් යන්තම් වසර තුනකටත් අඩු කාලයකදී, කවිප පැබ්ලෝවාදී දේශපාලනයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විරෝධය ජාත්‍යන්තර කමිටුවේ තීරනාත්මක බහුතරයක් දිනා ගත්තේය. 1985 අගෝස්තු සිට 1986 පෙබරවාරි දක්වා ජාත්‍යන්තර කමිටුව තුල සිදු වූ පරිවර්තනය සන්සන්දනාත්මකව ගත් කල දේශපාලන විප්ලවයකට සමාන විය.

1985 ජනවාරියේ පැවති ඊනියා “ජාත්‍යන්තර කමිටුවේ දසවන සම්මේලනයේ” දී කම්කරු විප්ලවවාදී පක්ෂයේ නායකයින්, පෙර වසර තුන තුල වර්කර්ස් ලීගය විසින් මතු කරන ලද මතභේද පිලිබඳ කිසිදු සාකච්ඡාවකට ඉඩ නොදුන් බව මතක තබා ගන්න. කවිපය විසින් සම්මේලනයේ සාකච්ඡා කිරීම සඳහා සකස් කල ඉදිරිදර්ශන ලේඛනය අසම්බන්ධිත හා සාටෝප ප්‍රකාශයන්ගෙන් සමන්විත විය. පසුව, කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේ ද? යන ප්‍රකාශනය තුල ඊට උචිත ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් එය හැඳින්වූයේ “ක්ලිෆ් ස්ලෝටර්ගේ තකතිරුකම් දහය” යනුවෙනි.

හීලි, බන්ඩා සහ ස්ලෝටර් ඔවුන්ගේ දේශපාලන බංකොලොත්කම වසා ගැනීමට උත්සාහ කලේ, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා වලට එරෙහිව එකකට පසුව තවෙකක් වශයෙන් කරන ලද දේශපාලන ප්‍රකෝප කිරීම් තුලින්ය. එහෙත් 1985 අවසානය වන විට, නොනවතින විප්ලවයේ න්‍යාය ආරක්ෂා කරන සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් අවසානයේ ජාත්‍යන්තර කමිටුවේ පාලනය නැවත ලබා ගත් අතර කවිප සාමාජිකත්වය අත්හිටුවනු ලැබිනි.

1982-86 ගැටුමෙහි ඉතිහාසය පිලිබඳව හැදෑරීමේ දී පක්ෂ අභ්‍යන්තර අරගලය ද භේදය වර්ධනය වූ ඓතිහාසික, දේශපාලන සහ සමාජ සන්දර්භය ද අතර සංකීර්න අන්තර්ඡේදනය අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. (මෙම භේදය එහි සවිඤ්ඤානික දේශපාලන ප්‍රකාශනයකි.)

මෙම පුලුල් සන්දර්භයෙන් තොරව 1982-86 සිදුවීම් සැබවින්ම වටහා ගත නොහැක. දර්ශනවාදය හා අපෝහක විධික්‍රමයට අදාල, වර්කර්ස් ලීගය සහ කම්කරු විප්ලවවාදී පක්ෂය අතර මතුවූ මතභේදවල වඩාත් වියුක්ත අංග පවා, හජාජාකට පිටත සිදුවන වර්ධනයන් හා සම්බන්ධ විය. කෙසේ වෙතත්, නව-හේගල්වාදී “ඥානනයේ භාවිතය” පිලිබඳ හීලිගේ අද්භූත, කැඳහැලියක් වැනි විමර්ෂන පෙන්නුම් කලේ, දාර්ශනික භෞතිකවාදයෙන් ඔහුගේ පසුබැසීම සහ අතිශය ආත්මීය හා ස්වේච්ඡා ක්‍රමවේදයක් වැලඳ ගැනීමයි. ඒවා තුල 1968 න් පසුව සුලු ධනේශ්වර බුද්ධිමතුන් අතර ආධිපත්‍යය දැරූ මාක්ස්වාද විරෝධී න්‍යාය පිලිබඳ බොහෝ අංඟ පුනර්කරනය වී තිබුනි.

1982 දී හීලිගේ මාක්ස්වාදය සංශෝධනය කිරීම් පිලිබඳ විචාරය වර්ධනය කිරීමේදී, 1843 සහ 1847 අතර කාලය තුල මාක්ස් සහ එංගල්ස් වාම හේගලියානුවාදයෙන් බිඳී වෙන්වීමේත් ඓතිහාසික භෞතිකවාදී සංකල්පය විස්තාරනය කිරීමේත් න්‍යායික හා බුද්ධිමය සන්තතිය ප්‍රතිනිර්මානය කිරීම අවශ්‍ය විය. වාම හෙගලියානුවන්ගේ ආත්මීය විඤ්ඤානවාදය සැබැවින්ම විකාර සහගත ආකාරයකින් පුනර්ජීවනය කල හා පුම්බන ලද අනෙකුත් නොගිනිය හැකි ඡේද පසෙක තැබුවද, මනුෂ්‍ය ඉතිහාසය වටහා ගත යුත්තේ, “හාම්පුතුන් සහ කම්කරු පන්තිය යන දෙපාර්ශවයේම නිර්මානාත්මක අංගයේ, මිනිසාගේ මූලිකත්වයේ වර්ධනය ලෙස ය” යන හීලිගේ කියාපෑම (7) නිශ්චිත දේශපාලන අරමුනකට සේවය කලේ ය: එනම් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම මත පදනම්වූ දේශපාලන ක්‍රියාමාර්ගය අතහැර දැමීමට ය. 1983 වන විට ක්ලිෆ් ස්ලෝටර් මෙම දේශපාලන ස්වාධීනත්වය කෙරෙහි වර්කර්ස් ලීගය විශාල වශයෙන්අවධාරනය කිරීමට” පහර දුන්නේය. මාක්ස්වාදී භෞතිකවාදයට මෙන්ම කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව කෙරෙහි එය යොදන අවධාරනයට ද යන දෙකටම පහර ගසමින් එම කාල පරිච්ඡේදය තුල ලිවූ බෝහෝ සුලු ධනේශ්වරය මාක්ස්වාද විරෝධී න්‍යායවාදීන් ගැන උදාහරන සැපයීම දුෂ්කර නොවේ.

ඉතා ප්‍රසිද්ධ එක් උදාහරනයක් පමනක් සැපයීම සඳහා, අර්නෙස්ටෝ ලැක්ලාව් සහ චැන්ටල් මූෆ් විසින් රචනා කරන ලද 1985 දී පැබ්ලෝවාදී ප්‍රකාශන ආයතනය වන වර්සෝ විසින් ප්‍රකාශයට පත්කරන ලද Hegomony and Socialist Strategy (ආධිපත්‍යය සහ සමාජවාදී මූලෝපාය), යන පොත මුලුමනින්ම කැප කෙරුනේ, වර්කර්ස් ලීගය කම්කරු පන්තිය මත “ඕනෑවට වැඩි අවධානයක්” යොදන්නේ යයි 1983 දී ක්ලිෆ් ස්ලෝටර් ඉදිරිපත් කල විවේචනය තහවුරු කිරීමටයි. ඔවුහු මෙසේ ලිවූහ: “දැන් අර්බුදයට පත්ව ඇත්තේ කම්කරු පන්තියේ සද්භාවාත්මක කේන්ද්‍රීයභාවය මත රඳා පවතින සමාජවාදය පිලිබඳ සමස්ත සංකල්පය මයි...” ස්ලෝටර් ගේ 1983 ලිපිය ගැන ලැක්ලාව් සහ මූෆ් කිසිවක් දැන නොසිටි බව ද කවිප පිලිබඳ මගේ විවේචන ගැන ස්ලෝටර් ඔවුන් සමඟ සාකච්ඡා නොකල බව ද මට විශ්වාසය. කෙසේ වෙතත්, ලැක්ලාව් සහ මූෆ් යන දෙදෙනාම පෙලගස්වන බුද්ධිමය හා දේශපාලන සංකල්ප සුලු ධනේශ්වර මාක්ස් විරෝධී න්‍යායවාදීන්ගේ පුලුල් කොටස් අතර ව්‍යාප්තව පැවතුනි.

ස්ටැලින්වාදයේ ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ද ධනේශ්වර ජාතිකවාදයේ ද ලෝක ධනවාදයේ ගෝලීය ප්‍රතිව්‍යුහකරනයේ ද වර්ධනය වන අර්බුදයෙන් වර්කර්ස් ලීගයේ විරුද්ධත්වය ඉබේ පහල නොවීය. නිසැකවම මෙය සමාජ බලවේගයන්ගේ නව සම්බන්ධතාවයක් සහ සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මානය කල අතර ට්‍රොට්ස්කි විරෝධී අවස්ථාවාදීන්ට සහ භ්‍රෂ්ඨයන්ට එරෙහිව ජයග්‍රහනයට දායක විය.

කෙසේ වෙතත්, කවිප පරාජය කිරීම සහ අවස්ථාවාදීන් ජාත්‍යන්තර කමිටුවෙන් නෙරපා හැරීම කල් තියා නියම කෙරුනු හා ස්වයංක්‍රීය ක්‍රියාවලියක් නොවීය. එය දැනුවත්ව හා හිතාමතාම කරන ලද අරගලයකි. එහෙත් ගැටුමේ ආරම්භය සහ එහි සංවර්ධනයේ ස්වරූපය ද ඓතිහාසික සාධක මගින් තීරනය කෙරුනු අතර එය වර්කර්ස් ලීගයේ නායකත්වයේ සහ කේඩරයේ දේශපාලන විඤ්ඤානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කලේය.

පැහැදිලිවම, අපෝහක භෞතිකවාදී අධ්‍යයන නමැති හීලිගේ ලියකියවිලි පිලිබඳ විවේචනයේ දී, අපි ඉතා සවිඤ්ඤානිකව මාක්ස්වාදී ව්‍යාපාරයේ සමස්ත න්‍යායාත්මක ප්‍රාග්ධනය මත පදනම් වූ අතර, එහි මූලාරම්භය දක්වාම ගමන් කලෙමු.

එපමනක් නොව, 1917 ඔක්තෝබර් විප්ලවයේ මූලධර්ම හා පරමාදර්ශ ආරක්ෂා කොට වර්ධනය කල ලියොන් ට්‍රොට්ස්කිගේ බුද්ධිමය හා දේශපාලන උරුමය ගැන අපි දැන සිටියෙමු. 2008 දී සසප ආරම්භක සමුලුවේදී සම්මත කරන ලද සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලේඛනය තුල, ඉතිහාසයේ ට්‍රොට්ස්කි දරන ස්ථානය පිලිබඳ සංක්ෂිප්ත සාරාංශයක් ඉදිරිපත් කලේය:

මෙම විශිෂ්ට විප්ලවවාදියා ඔක්තෝබර් විප්ලවයේ සම නායකයා පමනක් නොව ස්ටැලින්වාදයේ අශාම්‍ය විරුද්ධවාදියා ද, හතරවන ජාත්‍යන්තරයේ මූලාරම්භකයා ද විය. 19 වන සියවසේ අවසාන දශකයේ හා 20 වන සියවසේ මුල් දශකයන් හි පැනනැගි කම්කරුවන්ගේ විප්ලවවාදී මහජන ව්‍යාපාරයට ආස්වාදය දුන් සම්භාව්‍ය මාක්ස්වාදයේ අවසාන හා ශ්‍රේෂ්ඨතම දේශපාලනික, බුද්ධිමය, සංස්කෘතික හා සදාචාර සම්ප්‍රදායන්ගේ අවසාන හා ශ්‍රේෂ්ඨතම නියෝජිතයා වූයේ ඔහුය. දාර්ශනිකව භෞතිකවාදය තුල මුල් බැස ගත්තා වූ, වෛෂයික යථාර්ථය ඥානනය කිරීම සඳහා එලියට හැරී ගත්තා වූ ද, කම්කරු පන්තිය අධ්‍යාපනය ගත කොට දේශපාලනිකව බලමුලු ගැන්වීම කරා යොමු වූ ද ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයේ මූලෝපායිකව නිමග්න වූ ද විප්ලවවාදී න්‍යාය පිලිබඳ සංකල්පය ට්‍රොට්ස්කි විසිනි වර්ධනය කරනු ලැබීය. (8)

අපි වෙහෙස නොබලා අධ්‍යයනය කල ට්‍රොට්ස්කිගේ ලියවිලි, ස්ටැලින්වාදීන් විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමේ ස්වභාවය හෙලිදරව් කල අතර සමකාලීන ලෝකය තුල සමාජවාදී විප්ලවය සඳහා ක්‍රියාමාර්ගික පදනම් ද මූලෝපායික දිශාවනතිය ද වර්ධනය කලේය. එසේම අපි ශ්‍රේෂ්ඨ ඇමරිකානු විප්ලවවාදියා වූ ජේම්ස් පී කැනන්ගේ නායකත්වය යටතේ සමාජවාදී කම්කරු පක්ෂය වර්ධනය කල පුරෝගාමී වැඩකටයුතු වලින් ද දේශපාලන උත්තේජනයක් හා සැබෑ දැනුමක් ලබා ගත්තෙමු.

පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඬලය සමඟ එකතුව ජෝසප් හැන්සන් විසින් මෙහෙයවන ලද එස්ඩබ්ලිව්පී හි ප්‍රතිපත්ති විරහිත යලි එකමුතුවට එරෙහිව 1960 දශකයේ මුල් භාගයේදී එස්එල්එල් විසින් දියත් කරන ලද සටනකින් තොරව හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු කමිටුව පිහිටුවීම හෝ 1966 දී වර්කරස් ලීගය පිහිටුවීම සිදු නොවනු ඇත. 1970 දශකයේ මුල් භාගයේ වර්කර්ස් ලීගයට සම්බන්ධ වූ අය, Trotskyism verses Revisionism (සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය) පලමු වෙලුම් හතරේ පල වූ ප්‍රධාන ලේඛන තරයේ හැදෑරූහ. වර්කර්ස් ලීගය කිසි විටෙකත් බැහැර නොකල බ්‍රිතාන්‍ය ශාඛාවේ ඉතිහාසයෙහි තීරනාත්මක අංගය එයයි.

වර්කර්ස් ලීගයට මුල් කාලයේ සිටම කම්කරු පන්තිය කෙරෙහි අධිෂ්ඨානශීලී දිශාවනතියක් තිබූ බව අවධාරනය කල යුතුය. එය මුහුන දුන් සියලු දුෂ්කරතා මධ්‍යයේ වුව ද වර්කර්ස් ලීගය ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව කෙරෙහි විශ්වාසය තබා තිබේ. “කැනන්වාදයේ” හොඳම සම්ප්‍රදායන් ප්‍රකාශ වූයේ මෙමගිනි.

වර්කරස් ලීගයේ දේශපාලන ඉතිහාසය ද ශාඛාවේ න්‍යායික-දේශපාලන වැඩ කටයුතු ද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා මූලධර්ම සමඟ බැඳුනු වර්කරස් ලීගයේ නායකත්වය, වෛෂයික ආර්ථික ක්‍රියාවලීන් හා දේශපාලන සිදුවීම් කෙරෙහි සංවේදීගත කර තිබුනි. මෙය කවිප විසින් අනුගමනය කරන ලද මාවත කෙරෙහි දේශපාලන නොසතුටක් හා නොඑකඟත්වයක් ඇති කලේය.

වසර 40 කට ආසන්න කාලය වෙත ආපසු හැරී බැලීමේ වාසිය ලබා ගනිමින්, කිවහැක්කේ 1985 දෙසැම්බරයේ දී කවිප ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් කිරීම සහ 1986 පෙබරවාරි මාසයේදී සබඳතා සම්පූර්නයෙන් බිඳ දැමීම සමඟ අවසන් වූ මෙම විවේචනය මගින් ආරම්භ වූ ගැටුම ලෝක මාක්ස්වාදී ව්‍යාපාරයෙහි ඉතිහාසයේ තීරනාත්මක සිදුවීමක් ලෙස හඳුනා ගත හැකි බවයි. හතරවන ජාත්‍යන්තරයේ පැවැත්ම ම අන්තරායකට මුහුනදී තිබුනි.. ජාත්‍යන්තර කමිටුව නොවන්නට ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය පැබ්ලෝවාදීන් විසින් දේශපාලනිකව දියකර හරින්නට ඉඩ තිබුනි. පැබ්ලෝවාදීන්ට සංවිධානාත්මක පාලනය අත්කර ගැනීමට හැකි වූ සෑම රටකම ට්‍රොට්ස්කිවාදී සංවිධාන ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානවල දේශපාලන අත්ගෙඩි බවට පත් කිරීමෙන් ඒවා විනාශ කර දමා තිබුනි. 1985 වන විට, පැබ්ලෝවාදයට යටත් වූ කම්කරු විප්ලවවාදී පක්ෂය එම විනාශකාරී මෙහෙයුම සම්පූර්න කිරීමට ආසන්න විය. අප පසුව සොයා ගත් පරිදි, හීලි සිය රහසිගත පනිවුඩ මගින්, මැද පෙරදිග ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ගේ හා බි්‍රතාන්‍ය වෘත්තීය සමිති නිලධරයේ පරිහරනයට කවිප සියලු සම්පත් කැපකරන බවට පොරොන්දු වෙමින් සිටියේ ය.

ඇත්ත වශයෙන්ම, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පවත්වා ගෙන යාමේ සහ යලි ගොඩනැඟීමේ ප්‍රයත්නයන් පැවතිය යුතු විය. හතරවන ජාත්‍යන්තරය නැවත ගොඩනැඟීමට අධිෂ්ඨාන කරගෙන සිටි, ට්‍රොට්ස්කිවාදයට කැප වූ ජාත්‍යන්තර කමිටු සහෝදරවරුන් සෑම ශාඛාවකම සිටින්නට ඇති බව මට විශ්වාසය. එහෙත් 1985 අර්බුදයට මූලික හේතු පිලිබඳව ඉතා දියුනු විශ්ලේෂනයක් නොතිබුනි නම්, කවිප බිඳවැටීමෙන් පසුව ඇතිවිය හැකිව තිබූ අවුල් සහගත භාවය ඔවුන්ගේ උත්සාහයන්ට බාධකයක් වනු ඇත. සත්තකින්ම, ජෙරී හීලිගේ න්‍යායික වාචාලකම සහ කවිප පැබ්ලොවාදී සංශෝධනවාදයට යටත් වීම පිලිබඳව, 1982 සහ 1984 අතර වර්කර්ස් ලීගයේ නායකත්වය විසින් වර්ධනය කරන ලද සවිස්තරාත්මක ලිඛිත විවේචනයක් තිබීම මඟින්, කවිප දේශපාලන අර්බුදය සමස්ත ජාත්‍යන්තර කමිටුවේම “සම පරිහානියෙහි” එක් අංඟයක් යයි ගෙතූ ක්ලිෆ් ස්ලෝටර්ගේ නරුම බොරුව නිෂ්ප්‍රභා කෙරින. 1985-86 අර්බුදයෙන් ජාත්‍යන්තර කමිටුව නොනැසී පැවතුනේ නැත්නම්, දේශපාලනිකව එක්සත් ජාත්‍යන්තර විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක් අද ලෝකයේ නොතිබෙනු ඇත.

එහෙත් ජාත්‍යන්තර කමිටුව අර්බුදයෙන් බේරුනා පමනක් නොවේ. එය භේදයෙන් ඉස්මතු වුනේ දැවැන්තව ශක්තිමත් වූ සංවිධානයක් ලෙස ය. 1985-86 භේදයේ දේශපාලන වැදගත්කම, භේදයට පෙර වසර 33 ක කාලය තුල ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය, කම්කරු විප්ලවවාදී පක්ෂය සමඟ භේද වීමෙන් පසු එහි දේශපාලන වර්ධනය සමඟ සංසන්දනය කරන විට පෙනී යයි. පැබ්ලොවාදී අවස්ථාවාදයේ තීරනාත්මක පරාජය හා නෙරපා හැරීම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දැවැන්ත න්‍යායික, දේශපාලන හා සංවිධානාත්මක වර්ධනයක් සඳහා කොන්දේසි නිර්මානය කලේය. ජාතික අවස්ථාවාදීන් නෙරපා හැරීමෙන් පසුව කල හැකිවූ න්‍යායික හා දේශපාලන පැහැදිලි කිරීම්වල කාර්යය, ට්‍රොට්ස්කිවාදයේ පුනරුදයකට වඩා අඩු දෙයක් නොවේ.

1982 සිට 1986 දක්වා කාලය තුල සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීහු හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන උරුමය සහ වැඩපිලිවෙල ආරක්ෂා කලහ. ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍ය ඓතිහාසික වැදගත්කම, භේදයෙන් ඉක්බිතිව දිග හැරුනු ලෝක සිදුවීම් මගින් අනාවරනය විය. ඇත්ත වශයෙන්ම 1985-86 භේදය, දැවැන්ත ගෝලීය දේශපාලන, භූදේශපාලනික හා සමාජ-ආර්ථික වෙනස්කම් පෙර දුටු බව අපි දැන් දනිමු.

කවිප ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, එය ධනේශ්වර ජාතිකවාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදීන් සහ ස්ටැලින්වාදී පක්ෂ තුල නව සගයන් සෙවීය. එය ජාත්‍යන්තර කමිටුවේ කුඩා ශාඛා දෙස බැලුවේ අවඥාවෙනි. එසේ නම් “ට්‍රොට්ස්කිවාදී කන්ඬායම්” මොකට ද? (භේදයට පෙර වසරවල වෙන කවරදාටත් වඩා මෙය වැඩියෙන් හීලි භාවිතා කල පදයකි) 1986 භේදයෙන් වසර පහක් ඇතුලත, නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර සියල්ලම විසුරුවා හරිනු ඇති බවත්, මහා ස්ටැලින්වාදී සංවිධාන කෑලි වලට කඩා බිඳ දමනු ඇති බවත් භ්‍රෂ්ඨයන්ට සිතාගැනීමටවත් නොහැකි විය. 1938 දී හතරවන ජාත්‍යන්තරය දියත් කරමින්, “මිනිස් සංහතිය මත වේගයෙන් පතිත වන මහා සිදුවීම්, මෙම කල් ඉකුත් වූ සංවිධානවල එක සලකුනක් වත් ඉතිරි නොකරනු ඇත” යන ට්‍රොට්ස්කිගේ අනාවැකිය සනාථ කලේය.

මිඛායෙල් ගොර්බචෙව් දේශපාලන විප්ලවයකට නායකත්වය දෙන බව විශ්වාස කරමින්, ශෝචනීය ලෙස අබලන්ව සිටි හීලි, 1989 දෙසැම්බරයේ ඔහුගේ සොහොන කරා ගියේය. භේදයෙන් පසුව ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් මධ්‍යයේ, ජාත්‍යන්තර කමිටුව, භ්‍රෂ්ඨයින් විසින් සිදු කර ඇති හානිය පිලිසකර කරගත්තා පමනක් නොවේ. හතරවන ජාත්‍යන්තරයේ දුරදිග යන න්‍යායික හා දේශපාලන නව්‍යකරනයක් සිදු කිරීමට එය භාරගත්තේය. හුරුපුරුදු දේශපාලන සූත්‍ර හා සටන් පාඨ පුනරුච්ඡාරනය කිරීමට පමනක් සීමා වීමෙන් මෙම අභියෝගයට මුහුන දිය නොහැකි විය. ඓතිහාසික අත්දැකීම්වල ප්‍රිස්මයෙන් පෙරාගන්නා ලද, මාක්ස්වාදී විධික්‍රමය පෙර-නිමි පිලිතුරක් නැති පෙර නොවූ විරූ සිද්ධීන් විශ්ලේෂනය කිරීම සඳහා නිර්මානාත්මකව සහ පරිකල්පනාත්මකව යොදා ගැනීම අවශ්‍යය.

ජාත්‍යන්තර කමිටුව විසින් සිදු කරන ලද න්‍යායික කාර්යයේ විස්තාරය, භේදයෙන් පසු වසර හය තුල පැවති එහි පූර්න රැස්වීම් සමාලෝචනයක දැක්වේ:

1986 මැයි 18 සිට ජූනි 9 දක්වා පැවති හජාජාක පලමු සැසිවාරය, කවිප පාවාදීම පිලිබඳ විශ්ලේෂනයක් සඳහා යොමු විය. කවිප බිඳවැටීම අවස්ථාවාදයේ නිමැවුමක් වූ බව එය තහවුරු කලේය. සති දෙකක කාලයක් පැවති එම සමුලුව අතරතුර, කීර්ති සහෝදරයා සහ මම එක්ව කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේ ද? 1973-1985 නමැති ප්‍රකාශනය ලිවීමට කටයුතු කලෙමු.

1986 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 12 දක්වා පැවති හජාජාක දෙවන සැසිය, ජාත්‍යන්තර කමිටුව පුරා කවිප අවස්ථාවාදයේ බලපෑම විමසා බැලූ අතර ජාත්‍යන්තර කමිටුවේ විවිධ ශාඛාවල ඉදිරිදර්ශන වර්ධනය විකෘති කල “උපායාත්මක අවස්ථාවාදය” පිලිබඳ විවේචනයක් වර්ධනය කලේය. අපි බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර කොමියුනිස්ට් පක්ෂය පිලිබඳ යෝජනාවක් ද සකස් කල අතර ශ්‍රී ලංකාවේ විකොස සඳහා ඉදිරිදර්ශනයේ වැඩ ආරම්භ කලෙමු.

1987 මාර්තු 10-23 කාලයේ පැවති හජාජාක තෙවන සැසිය, කවිප හා ආර්ජන්ටිනාවේ මාස් (සමාජවාදය සඳහා ව්‍යාපාරය) අතර සබඳතා පිලිබඳ විශ්ලේෂනයක් ඉදිරිපත් කල අතර බිල් වෑන් ඕකන් හා නික් බීම්ස් විසින් ලියන ලද පෙරෙස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් පිලිබඳ විශ්ලේෂනයක් වූ “සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ සිදුවන්නේ කුමක්ද” යන ප්‍රකාශය ද ඉදිරිපත් කරන ලදී. මාස් (සමාජවාදය සඳහා ව්‍යාපාරය) හි ඉතිහාසය සමාලෝචනය කිරීම වැදගත් වූයේ, ආර්ජන්ටිනාවේ සිදුවීම්වල නිසග වැදගත්කම නිසා පමනක් නොව, ඔවුන් ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී යාමෙන් පසුව, ආර්ජන්ටිනාවේ කුප්‍රකට අවස්ථාවාදියෙකු වන නහුවෙල් මොරෙනෝගේ සංවිධානය සමඟ සන්ධානයක් තුලින් හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමට නව පදනමක් ඇති බව ස්ලෝටර් සහ ඔහුගේ ආධාරකරුවන් කියාපෑ හෙයිනි.

1987 ජූලි 20-27 කාලයේ පැවති හතරවන සැසියේදී, ජාත්‍යන්තර ඉදිරිදර්ශන ලේඛනයක් කෙටුම්පත් කිරීම අරමුනු කරගත් සාකච්ඡා ආරම්භ විය. මාක්ස්වාදය සහ පන්ති අරගලයේ අතිමූලික මූලධර්ම පවා විශ්වීය වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන්හි නව රැල්ලකට පදනම දමනු ඇති ගෝලීය ආර්ථික හා භූදේශපාලනික වෛෂයික ගාමක බලවේගයන් විස්තාරනය කිරීමට හජාජාක යෙදී ගත යුතු බවට නියෝජිතයෝ එකඟ වූහ.

1987 නොවැම්බර් 11 සිට 20 දක්වා පස්වන සැසිය පැවැත්වුනේ, ඉදිරිදර්ශන පිලිබඳ කටයුතුවල කාලෝචිත භාවය ඒවන විටත් සනාථ කෙරී තිබුන කොන්දේසි යටතේ ය. 1987 ඔක්තෝබර් 19 වැනිදා ජාත්‍යන්තර කොටස් වෙලඳපොලවල් කඩා වැටී තිබුනි. මෙම සිදුවීම විශ්ලේෂනය කිරීමේ න්‍යායික පදනම මේ වන විටත්, නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ ලෝක වෙලඳපොල හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර තීව්‍ර වන ගැටුම පිලිබඳව, සිව්වන සැසියෙන් පසුව සිදු කරන ලද කටයුතුවල දී විස්තාරනය කර තිබුනි.. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කර්තව්‍යයන් පිලිබඳ වැඩිදුර විශ්ලේෂනයක් ද මෙම සැසිය විසින් වර්ධනය කරන ලද අතර, ශ්‍රී ලංකා ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කලේය.

හජාජාක හි හයවන සැසිය (1988 පෙබරවාරි 9-13), 1987 දෙසැම්බර් 18 වන දින වයස අවුරුදු 39 දී සිදු වූ කීර්ති බාලසුරියගේ හදිසි හා අකල් මරනයෙන් සති කිහිපයකට පසුව පැවැත්විනි. මෙම සැසිය, හජාජාකහි ශාඛාවල වැඩ කිරීමේදී ජාත්‍යන්තර මූලෝපාය හා ජාතික උපාය මාර්ග අතර සම්බන්ධතාව වෙත අවධානය යොමු කලේය.

හජාජාක හි හත්වන සැසිය (1988 ජූලි 23-26) ජාත්‍යන්තර ඉදිරිදර්ශන යෝජනාව අධ්‍යයනය කර ඒකමතිකව සම්මත කලේය. (9)

හජාජාකහි අටවන සැසිය (1989 ජූනි 15-24), 1985-86 භේදයෙන් පසුව ජාත්‍යන්තර කමිටුවේ වර්ධනය සමාලෝචනය කලේය, එම සැසිය ගොර්බචෙව් පාලන තන්ත්‍රයේ ගැඹුරු වන අර්බුදය පිලිබඳව සාකච්ඡා කල අතර මා සෝවියට් සංගමයට යා යුතු යැයි තීරනය කලේය.

නවවන සැසිය (1989 දෙසැම්බර් 11-16) නැගෙනහිර යුරෝපයේ, විශේෂයෙන්ම (Deutsche Demokratische Republik) එවකට නැගෙනහිර ජර්මනියේ සිදුවීම් සමාලෝචනය කලේය. මම නොවැම්බරයේ දී සෝවියට් සංගමයට කල මාගේ සංචාරය පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කලෙමි. එහිදී මොස්කව්හි ඓතිහාසික-ලේඛනාගාර ආයතනයේ දී මා පැවැත්වූ දේශනයට 200ට ආසන්න පිරිසක් සහභාගී වූහ.

හජාජාක දසවන සැසිය (1990 මැයි 6-9) නැගෙනහිර ජර්මනිය විසුරුවා හැරීමේ දේශපාලන හා ඓතිහාසික අර්ථභාරය විමසා බැලුවේය.

හජාජාකහි එකොලොස් වන සැසිය (1991 මාර්තු 5-9) එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කිරීම පිලිබඳව පුලුල් සාකච්ඡාවක් පැවැත්වීය. එම වසර අවසානයේ දී අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර සමුලුවක් පැවැත්වීමට ජාත්‍යන්තර කමිටුව තීරනය කලේය. සැසියෙන් පසුව, ගල්ෆ් යුද්ධයේ අර්ථභාරය විභාග කල ප්‍රකාශයක් හජජාක විසින් නිකුත් කෙරුනු අතර එය ජාත්‍යන්තර සමුලුවක් සඳහා ක්‍රියාමාර්ගික පදනම සම්පාදනය කලේය.

හජාජාකහි දොලොස්වන සැසිය (1992 මාර්තු 11-14) ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ සන්දර්භය තුල සෝවියට් සංඟමය විසුරුවා හැරීම විමසා බැලුවේය. සැසිය, “මාක්ස්වාදය සඳහා අරගලය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” යන මාගේ වාර්තාවෙන් ඇරඹුනි.

භේදයෙන් පසු වසර හය තුල පවත්වන ලද සැසිවාර දොලහ පිලිබඳ මෙම සමාලෝචනයෙන් පැහැදිලි විය යුතු පරිදි, හජාජාක හි කාර්යයේ විෂය පථය ඉමහත් ය. මෙම එක් එක් සැසිවාරයේ සංක්ෂිප්ත සාරාංශයට, මෙම දේශපාලනික වශයෙන් තියුනු රැස්වීම්වල දී සමාලෝචනය කරන ලද සිදුවීම් සහ දේශපාලන අත්දැකීම්වල සම්පූර්න පරාසයම ඇතුලත් නොවන බව මා පෙන්වා දිය යුතුය. නිදසුනක් වශයෙන්, මෙම රැස්වීම් බොහොමයක දී, නොනවතින විප්ලවයේ මූලෝපාය වර්ධනය කිරීම සහ ජාතික ස්වයං නිර්නය සඳහා වන ඉල්ලීම කෙරෙහි හතරවන ජාත්‍යන්තරයේ ආකල්පය නැවත ඇගයීම සඳහා තීරනාත්මක වූ ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිලිබඳ පුළුල් සාකච්ඡා පැවැත්විණි. 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කරන විට තවත් සැසිවාර පහක් පවත්වා තිබුණි. 1995 අගෝස්තු මාසයේ පහලොස්වන සැසියේදී ලීගයන් පක්ෂ බවට පරිවර්තනය වීමට හේතු සහ ඇඟවුම් සාකච්ඡා කරන ලදී. 1998 ජනවාරියේ පැවති දහඅටවන සැසිය ලෝසවෙඅ දියත් කිරීම සඳහා අවසාන අනුමැතිය ලබා දුන්නේය.

මේ සෑම කටයුත්තකදීම අපගේ ව්‍යායාමයට මඟ පෙන්වූ මූලික දේශපාලන මූලධර්මය වූයේ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයයි. ජාතික උපායන් මත්තේ ලෝක මූලෝපායේ ප්‍රමුඛතාවය අප අවධාරනය කල අතර, ජාතික ක්ෂේත්‍රය තුල පැන නගින ගැටලුවලට සුදුසු ප්‍රතිචාරය ලබා ගත හැක්කේ ගෝලීය සන්තතීන් පිලිබඳ විශ්ලේෂනයක පදනම මත පමනි. මෙම පදනම මත, හතරවන ජාත්‍යන්තරයේ සමස්ත ඉතිහාසය තුල නොතිබූ ජාත්‍යන්තර සහයෝගීතා මට්ටමක් වර්ධනය කිරීමට ජාත්‍යන්තර කමිටුවට හැකි විය. ඇත්ත වශයෙන්ම, කවිප ජාතිකවාදී භ්‍රෂ්ඨයින් සමඟ භේදයෙන් ඉක්බිතිව හජාජාක ශාඛා අතර වර්ධනය වූ අන්තර්ක්‍රියාකාරිත්වයේ ස්වභාවය “සහයෝගීතාව” යන වචනයෙන් ප්‍රමානවත් ලෙස ප්‍රකාශ නොකරයි. 1989 ජුනි 25 වර්කර්ස් ලීගයේ ඩිට්‍රොයිට් සාමාජිකත්වයට ඉදිරිපත් කල මගේ වාර්තාවෙන් පැහැදිලි කල පරිදි:

මෙම ජාත්‍යන්තර සහයෝගීතාවයේ විෂය පථය, එක් එක් ශාඛාවේ ප්‍රායෝගික වැඩකටයුතුවල සෑම අංශයකම පාහේ එහි සෘජු බලපෑම, හජාජාක සහ එහි ශාඛාවල ස්වභාවය ගැඹුරින් හා ධනාත්මකව වෙනස් කර ඇත. එම ශාඛා, දේශපාලනිකව හා ප්‍රායෝගිකව අර්ථවත් ආකාරයකින් ස්වාධීන ආයතන ලෙස පැවතීම නතර වෙයි. පොදු දේශපාලන වැඩපිලිවෙලක පදනම මත, සෑම ශාඛාවක්ම එකට බැඳී ඇති සංකීර්න සම්බන්ධතා ජාලයක් හජාජාක තුල බිහි වී තිබේ. එනම්, ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛා, තනි දේශපාලන ජීවයක අන්තර් සම්බන්ධිත හා එකිනෙකට පරායත්ත වූ කොටස් වලින් සමන්විත වන බවයි.. එම සබදතාවය බිඳුනහොත්, සම්බන්ධ ශාඛාව තුළ විනාශකාරී බලපෑම් ඇති කරයි. සෑම ශාඛාවක්ම දැන්, දෘෂ්ටිමය හා ප්‍රායෝගික යන දෙඅංශයේදීම, සිය පැවැත්ම සඳහා මෙම ජාත්‍යන්තර සහයෝගීතාව සහ සහක්‍රියාකාරිත්වය මත රඳා පවතී. [9]

1986 සහ 1992 අතර කාලයේ ක්‍රියාමාර්ගය, ඉදිරිදර්ශනය සහ සංවිධානය යන ක්ෂේත්‍රවල දියුනුව, 1995-97 දී හජාජාක හි සංගම් පක්ෂ බවට පරිවර්තනය කිරීමටත්, 1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීමටත් සංවිධානය සූදානම් කලේය.

පසුගිය සියවස් තුනෙන් එක තුල ජාත්‍යන්තර කමිටුව ලබා ඇති ප්‍රගතිය, අවස්ථාවාදීන් නෙරපා හැර මාක්ස්වාදී මූලධර්ම මත විප්ලවවාදී ව්‍යාපාරය වර්ධනය කිරීමට සමත් වූ විට හතරවන ජාත්‍යන්තරයට අත් කරගත හැකි දෙය කුමක්දැයි පෙන්නුම් කරයි.

ට්‍රොට්ස්කි 1938 ඔක්තෝබර් 18 දින සිය කතාවේදී නව ජාත්‍යන්තරයේ පදනම සකස් කල කාර්යයන් සමාලෝචනය කලේය:

බොල්ෂෙවික්-ලෙනින්වාදීන්, ජාත්‍යන්තර පුරෝගාමීන්, ලොව පුරා සිටින අපගේ සහෝදරවරු, අව්‍යාජ මාක්ස්වාදීන් ලෙස විප්ලවයේ මාවත සෙව්වේ ඔවුන්ගේ හැඟීම් හා ප්‍රාර්ථනා මත නොව, සිදුවීම්වල වෛෂයික ගමන විශ්ලේෂනය කිරීමෙන් ය. සියල්ලටත් වඩා අපට මඟ පෙන්වනු ලැබුවේ අන් අය හෝ අපවම රවටා නොගැනීමෙනි. අපි බැරෑරුම්ව හා අවංකව සොයා බැලුවෙමු. සමහර වැදගත් දේවල් අප විසින් සොයා ගන්නා ලදී. සිදුවීම් අපගේ විශ්ලේෂනය මෙන්ම අපේ පුරෝකථනය ද සනාථ කලේය. කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කල නොහැකිය. දැන් අපගේ ක්‍රියාමාර්ගයට සහ අපටම සත්‍යව සිටීම අවශ්‍ය වේ. එසේ කිරීම පහසු නැත. කාර්යයන් ඉමහත් ය, ගනන් කළ නොහැකි තරම් සතුරන් ය. ජුබිලි සැමරුම සඳහා අපගේ කාලය හා අපගේ අවධානය වැය කිරීමට අපට අයිතියක් ඇත්තේ, අතීතයේ පාඩම් වලින් අපට අනාගතය සඳහා සූදානම් විය හැකිනම් පමනක් ය. [10]

ට්‍රොට්ස්කි මෙම කථාව පටිගත කරන විට, ඔහු 1923 සිට 1938 දක්වා වසර 15 ක දේශපාලන වැඩකටයුතු සහ අරගලයේ ප්‍රතිපල සමීක්ෂනය කරමින් සිටියේ ය. අප දැන් ආපසු හැරී බලන්නේ එම කාලය මෙන් දෙගුනයකටත් වඩා වැඩි, එනම් වසර 33ක් තිස්සේ පැතිර ගිය වැඩ කටයුතු දෙස ය. ට්‍රොට්ස්කිගේ වචන දැඩි ලෙස අදාල වේ. අපගේ කර්තව්‍යයන් “ඉමහත්” වන අතර අපගේ සතුරන් “නොඟිනිය හැකි” ය. එහෙත් දශක තුනකට වැඩි කාලයක් තුළ “වැදගත් දේවල්” ද අපට හමු වූ අතර, සිදුවීම් මගින් අපගේ විශ්ලේශනය මෙන් ම අනාවැකි ද සනාථ කරනු ලැබ ඇත.

ජාත්‍යන්තර කමිටුව විසින් සම්පාදනය කරන ලද ලියකියවිලි හා සැසඳිය හැකි පරිදි, 1986 සහ 1992 අතර කාලය තුළ තමන් විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන අනාවැකි සහ විශ්ලේෂණ පැවතීම ගැන සැලකිලිමත් විය හැකි නැතිනම් අභියෝග කල හැකි වෙනත් දේශපාලන පක්ෂයක් ලෝකයේ තිබේද? 1989-1991 අතර ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරීම ගැන කල්තියා දැන සිටීම කෙසේ වෙතත්, ගොර්බචෙව්ගේ පෙරෙස්ට්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වල ස්වභාවය නිවැරදිව තක්සේරු කළ විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ බුද්ධි මන්ඬල විශේෂඥයින් කවුරුත් සිටියා ද?

පැබ්ලෝවාදීන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් කිසිවක් තේරුම් ගත්තේ ද, කිසිවක් කල්තියා දුටුවේ ද නැත. 1951 සිට මයිකල් පැබ්ලෝ සමඟ අර්නස්ට් මැන්ඩෙල් අවධාරනය කලේ, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමයට සහ නැගෙනහිර යුරෝපයේ එහි පරිවාර තන්ත්‍රයන්ට සමාජවාදය සඳහා මග පෙන්වන බවයි. මෙම මායාකාරී ඉදිරිදර්ශනයේ සාක්ෂාත් වීම ලෙස ඔහු ගොර්බචෙව් හුවාදැක්වීය. මැන්ඩෙල්ගේ චරිතාපදානය සිහිපත් කරන්නේ මෙසේ ය: “1989 දී ලන්ඩනයේ සහ පැරීසියේ එකවර ප්‍රකාශයට පත් කරන ලද ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ට්‍රොයිකා පිළිබඳ අධ්‍යයනයක් වන ඔහුගේ පෙරෙස්ට්‍රොයිකාවට ඔබ්බෙන්: සෝවියට් සංඟමය තුල ගොර්බචෙව්ගේ අනාගතය නම් ග්‍රන්ථයේ මැන්ඩෙල්, ගොර්බචෙව්ගේ ක්‍රියාවලිය පිලිබඳව කරුනු හතරක් සටහන් කලේය. ධනවාදය පුනරුත්ථාපනය කිරීම ගැන ඔහු එක වචනයක්වත් කැප කලේ නැත. ”(11)

මැන්ඩෙල් ගොර්බචෙව්ගේ ක්‍රෙම්ලිනය දෙස බැලූ විට දේදුන්නක් ඊට ඉහළින් දිලිසෙන බව දුටු අතර, ජාත්‍යන්තර කමිටුව එය අගාධයට එලඹෙන ආකාරය දුටුවේය. 1989 ජුනි 25 වන දින වර්කර්ස් ලීගයේ ඩෙට්‍රොයිට් සාමාජිකත්වයට ඉදිරිපත් කල වාර්තාවේ මම මෙසේ කීවෙමි:

අපගේ සියලු භ්‍රෂ්ඨ විරුද්ධවාදීන්ට සහ ඇත්ත වශයෙන්ම සියලුම පැබ්ලෝවාදීන්ට මෙම ලක්ෂනය පොදුවේ පවතී. එනම් සෝවියට් සංඟමයේ, නැගෙනහිර යුරෝපයේ හා චීනයේ ධනේශ්වර පුනස්ථාපනය ගැන කථා කිරීම ගැන ජාත්‍යන්තර කමිටුවට පහර දෙති. 1917 දී හෝ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව පිහිටුවන ලද රාජ්‍ය දේපල සබඳතා මත නිලධරය පදනම් වී ඇති බවටත් එය මුල් බැස ඇති බවටත් තර්ක කරමින්, නිලධරයට දේපල සම්බන්ධතාවයේ වෙනසක් සිදු කල නොහැකි බව ඔවුහු අවධාරනය කරති. ඔවුහු ට්‍රොට්ස්කිගේ ස්ථාවරය සම්පූර්නයෙන් මුසාකරනය කරති. කම්කරු පන්තිය විසින් පෙරලා නොදමන්නේ නම් ,නිලධරය අනිවාර්යයෙන්ම ධනේශ්වර දේපල පුනස්ථාපනය කිරීමේ දිශාවට ගමන් කරන බවට ට්‍රොට්ස්කි නැවත නැවතත් අනතුරු ඇඟවීය. [12]

මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ, චීනයේ තියානන්මෙන් චතුරශ්‍ර සංහාරයෙන් සති තුනකට පසුව සහ නැගෙනහිර ජර්මනියේ දේශපාලන අර්බුදය පුපුරා යාමට මාස තුනකටත් පෙර ය. නැගෙනහිර ජර්මනිය වේගයෙන් විසුරුවා හැරීමකට මුහුනපා සිටියේය.. එසේ වුවද ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂණ,ය දේශපාලන නිකායක මිත්‍යාවක් ලෙස බැහැර කරන ලදී. එහෙත් මෙම “නිකාය” සිය විශ්ලේෂනය ලියොන් ට්‍රොට්ස්කිගේ න්‍යායික කටයුතු මත පදනම් කිරීමේ අසමසම වාසිය හිමිකරගෙන සිටියේය..

ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන්ගේ ස්වභාවය ගැන කිසිවක් වටහා නොගත් හා එබැවින් ඒවා විසුරුවා හැරීම කල්තියා දැක ගැනීමට අපොහොසත් වූ ධනේශ්වර න්‍යායවාදීහු, 1989-91 සිදුවීම්වලින් ඉක්බිතිව ලෝක දේශපාලනයේ ගමන් මඟ පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂනයන් සකස් කිරීමේදී ඊට නොඅඩු ලෙස අසමත්වූ බව ඔප්පු කලහ. මීට වසර ගණනාවකට පෙර කිසිවෙකු විසින් බැරෑරුම් ලෙස සැලකීම නැවැත්වූ ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය” පිලිබඳ න්‍යාය සමාලෝචනය කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. එහි කතුවරයා විසින්ම ඔහුගේ නිර්මානය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇත. අභාවප්‍රාප්ත එරික් හොබ්ස්බෝම්ගේ “කෙටි විසිවන සියවස” සම්බන්ධයෙන් ගත් කල, සෝවියට් සංගමය විසුරුවා හැරීම කෙරෙහි ඔහු දැක්වූ ධාරනාවාදී ප්‍රතිචාරය, නිෂ්ප්‍රභා කෙරීඇත්තේ නව ශතවර්ෂයේ උග්‍රවන අර්බුද පසුගිය ඒවාට ඛේදනීය ආකාරයකින් සමානකමක් දැරීමේ ප්‍රත්‍යක්ෂ කාරනය මඟින් ය. [13]

සදොස් න්‍යායන්ට එවැනිම ප්‍රතිවිපාක හිමිවේ. ලිබරල් න්‍යායවාදීන් අපේක්ෂා කල, ධනවාදය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය ජයග්‍රහනය සාක්ෂාත් නොවීය. 1991 ප්‍රජාතන්ත්‍රවාදී දවල් සිහින, 2019 ෆැසිස්ට් බියකරු සිහිනවලට මග පෑදීය. හිට්ලර්ගේ තුන්වන රීකය කඩාවැටීමෙන් වසර 75 කට ආසන්න කාලයකට පසු ෆැසිස්ට්වාදය, ලොව පුරා වර්ධනය වන දේශපාලන බලවේගයකි. එක්සත් ජනපදයේ දී ට්‍රම්ප් පාවිච්චි කරන්නේ, ඇමරිකානු ජනාධිපතිවරයකු විසින් මීට පෙර කිසි දිනෙක අවම වශයෙන් ප්‍රසිද්ධියේ භාවිතා නොකළ භාෂාවකි. ඔහුගේ දිනපතා ට්වීට් ගැන සඳහන් නොකල ද ඔහුගේ කථා, විවෘත ෆැසිස්ට් ස්වභාවයක් ගනී.

නැගෙනහිර යුරෝපයේ අධිකාරය දරන්නේ වර්ගවාදී, ජාතිකවාදී පක්ෂයි. ඉතාලියේ නියෝජ්‍ය අගමැති මැටියෝ සල්විනි, බෙනිටෝ මුසොලිනි අගය කරන්නේ රහසේ නොවේ. යලි එක්වීමෙන් වසර 30 කට පසු ජර්මනියේම දේශපාලන ජීවිතය තුල, යලි පනගැන්වෙන ෆැසිස්ට්වාදය අධිකාරය දරයි . නව නාසි දක්ෂිනාංශයට ඇති දැඩි සතුරුකම නොතකා, රාජ්‍යය සහ දේශපාලන සංස්ථාපිතය තුල, අධිකාරවත් බලවේග සම්බන්ධ වන කුමන්ත්‍රනයකින් එය ක්‍රමානුකූලව සහාය සහ ශක්තිය ලබා ගනියි. ඒඑෆ්ඩී හෙවත් ජර්මනිය සඳහා විකල්පය, මෙම කුමන්ත්‍රනයේ නිල දේශපාලන හස්තයයි. සීඩීයූ-සීඑස්යූ-එස්පීඩී සභාග ආන්ඩුව, කුමන්ත්‍රනයේ දේශපාලන ආධාරකරුවා වන අතර තිරය පිටුපස උපාමාරු දමන්නේ, පසුගිය මැතිවරනයේදී සියයට 13 ක ඡන්ද ප්‍රතිශතයක් පමනක් හිමිකරගෙන තිබියදීත්, ඒඑෆ්ඩීය ජර්මනියේ වඩාත්ම බලගතු දේශපාලන පක්ෂය බවට පත් කිරීම සඳහා ය. දේශපාලන ඝාතන සිදුකරන විට පොලීසිය සහ බුද්ධි අංශ නාසි ත්‍රස්තවාදීන්ගේ ජාලය ආරක්ෂා කරයි. ඉතා මෑතකදී සීඩීයූ දේශපාලනඥ වෝල්ටර් ලුබ්කේගේ ඝාතනය සිදුකර ඇත්තේ, ෆැසිස්ට්වාදීන්ගේ පැරාමිලිටරි හමුදාවයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ශාඛාවක් වන ෆර්ෆසැංන්ෂූට්ස් (Verfassungsschutz) යනු, නව නාසි පුනර්ජීවනයේ අධිකරන හස්තයයි. ෆර්ෆසැංෂූට්ස් අවසන් වන්නේ කොතැනින්ද යන්න සහ සන්නද්ධ ත්‍රස්තවාදීන් ආරම්භ වන්නේ කොතැනින්ද යන්න තීරනය කිරීම අපහසුය. ඝාතකයින් ඔවුන්ගේ මෙහෙයුම් සිදු කරනුයේ ෆර්ෆසැංෂූට්ස් විසින් ඔවුන්ට අවශ්‍ය නීතිමය ආවරනයක් ලබා දෙනු ඇති බවට පූර්න විශ්වාසයෙන් යුතුව ය. ඕනෑම තත්වයක් යටතේ ඔවුහු, ජර්මානු ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය තුරන් කිරීමේ පොදු යුද්ධයේ දී සහයෝගයෙන් කටයුතු කරති.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ කඩාකප්පල්කාරී සංවිධාන ලැයිස්තුවට පක්ෂයේ නම ඇතුලුකිරීමට විරුද්ධව, ජර්මානු සසපය හෙවත් එස්ජීපීය විසින් ගොනුකර ඇති අභියාචනයට ප්‍රතිචාර වශයෙන් 2019 මැයි 23 වන දින ෆර්ෆසැංෂුට්ස්, පිටු 56 ක ලේඛනයක් නිකුත් කර ඇත. ෆර්ෆසැංෂුට්ස් ප්‍රතිචාරය පිලිබඳ වඩාත් සවිස්තරාත්මක විශ්ලේෂනයක් සහ දේශපාලන කටයුතුවල යෙදීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහි මෙම ප්‍රහාරයට අපගේ ව්‍යාපාරයේ නෛතික හා දේශපාලනික පිලිතුර මේ සතිය අගදී ලැබෙනු ඇත. 1933 දී නාසීන් බලයට පත්වීමෙන් පසු හඳුන්වා දුන් ඒකාධිපති නීතිමය ධර්මතාවන් මත ෆර්ෆසැංෂුට්ස් ලේඛනය පැහැදිලිවම පදනම් වී ඇත. පවත්නා රාජ්‍යය හා සමාජ පර්යාය කෙරෙහි වෛරය හා දේශපාලන විරුද්ධත්වය දිරිමත් කෙරෙන සියලු අදහස්, අනාගතයේ කිසියම් නිශ්චිත අවස්ථාවකදී සාපරාධී කෙරෙන විලෙන්ස්ට්රාෆ්රෙෂ්ට් Willensstraffrechtධර්මතාව එය විසින් පුනර්ජීවනය කරනු ලබයි.

එස්ජීපී ය කටයුතු කරන්නේ, නීතියේ රාමුව තුලය යන්නට ෆර්ෆසැංග්ෂුට්ස් අභියෝග නොකරයි. ෆර්ෆසැංග්ෂුට්ස් ට අනුව සාපරාධී වන්නේ, එස්ජීපී යේ විවෘත ක්‍රියාවන් නොව, පක්ෂයේ අදහස් ය. සුවිශේෂිතවම, පන්තිය ජාතියට ප්‍රතිවිරුද්ධව පිහිටුවන සංකල්ප හා ප්‍රවර්ග භාවිතා කරමින් සිතීම, එය විසින් දිරිගන්වනු ලබයි; එය කම්කරු පන්තියේ විඥානය තුල සිය සමාජ අවශ්‍යතා වර්ධනය කිරීමට උත්සාහ කරයි; එය ධනවාදය කෙරෙහි සතුරුකම ප්‍රවර්ධනය කරයි; එය අධිරාජ්‍යවාදය සහ මිලිටරිවාදය හෙලා දකී. එය ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සමඟ සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරයි.

ෆර්ෆසැංග්ෂුට්ස් සිය ප්‍රතිචාරය පදනම් කර ගන්නේ, එස්ජීපීයේ ක්‍රියාමාර්ගය හා ප්‍රසිද්ධ ප්‍රකාශ, විශේෂයෙන් 2010 මැයි 23 වන දින ප්‍රසිද්ධ කරන ලද එහි ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් මතය. එයින් පහත ප්‍රකාශය උපුටා දක්වයි: “සමාජවාදී සමානතාව සඳහා පක්ෂයේ (එස්ජීපී) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි මූලෝපායික එල්ලය වනුයේ, කම්කරුවන්ගේ බලය ස්ථාපිත කිරීම සහ සමාජවාදී සමාජයක් ගොඩනැගීම අරමුනු කරගත් ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලය සඳහා කම්කරු පන්තිය දැනුවත් කිරීම හා සූදානම් කිරීම යි. ”[ෆර්ෆ්, පි. 8] එස්ජීපී ය “තමන් ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ලෙස වටහාගෙන ඇති අතර, එහි දෘෂ්ටිවාදාත්මක දිශානතියට අනුව, එය සිය මූලික ලියවිලිවල දී, සියල්ලටම වඩා රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කි වෙත සැඳහුම් කරන අතර ඔහුගේ ඉගැන්වීම්වලට පක්ෂපාතී බව ප්‍රකාශ කරයි. ඊට අමතරව පැමිනිලිකරු [එස්ජීපී] විශේෂයෙන් කාල් මාක්ස්, ෆෙඞ්රික් එංගල්ස්, ව්ලැඩිමීර් ඉලිච් ලෙනින්, රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් මත පදනම් වේයයි එය අවධාරනය කරයි.[එම පි. 9]

ෆර්ෆසැංග්ෂුට්ස් මෙසේ පවසයි:

පෙන්වා දී ඇති පරිදි, ව්‍යවස්ථාවේ අදහස් සමග නොගැලපෙන, පන්තිය හා පන්ති අරගලය ප්‍රචලිත කිරීම සම්බන්ධ මාක්ස්වාදී චින්තනයේ පදනම මත, පැමිනිලිකරු ඉල්ලා සිටින්නේ, “ධනවාදය” පරාජය කොට එය පෙරලා දැමීමට ය. ඒ, ආර්ථික ක්‍රමයට සම්බන්ධ අර්ථයකින් පමනක් නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලික පර්යාය පරාජය කිරීම ලෙසය. කොමියුනිස්ට් අර්ථ නිරූපනයට අනුව, “ධනවාදය” සියලු දේශපාලන ප්‍රශ්න වලට වගකිව යුතු හරයාත්මක ගැටලුව ලෙස සැලකේ. එබැවින් ආර්ථික ක්‍රමයක් ලෙස පමනක් නොව සමාජ ක්‍රමයක් ලෙස ද එයට මූලික වශයෙන් විරුද්ධ වේ. පැමිනිලිකරු සමාජවාදී රාජ්‍යයක් හා සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමට විවෘතව උත්සාහ කරයි. [එම පි. 22]

මෙම අධිචෝදනාවේ මූලික උපකල්පනය, ධනවාදය සහ “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යාය” සමාන හා තුල්‍ය බවයි. ඇත්ත වශයෙන්ම, ඓතිහාසික දෘෂ්ටි ආස්ථානයකින්, මෙම තර්කය ඉදිරිපත් කල හැකිය. එහෙත් එය, මෙම “පර්යායේ” ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම් වලට වල කපයි. මක්නිසා ද යත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යාය ධනවාදයෙන් වෙන් කල නොහැකි නම්, කෙතරම් ගැටලු සහගත වුවද, ලිබරල් වාදය ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂාව සමග අනන්‍ය වනතාක් දුරට, “ලිබරල්” වීම එක්තරා අවස්ථාවක නතර විය යුතුය. මෙම නිර්වචනයේ රාමුව තුල, සමාජ පර්යාය වඩාත් ධනවාදී වන විට එයට ලිබරල් විය හැක්කේ වඩාත් අඩුවෙනි. මෙය සුප්‍රකට ඇමරිකානු ලිබරල් දාර්ශනිකයෙකු වූ ජෝන් ඩුවී විසින් 1935 දී රචිතලිබරල්වාදයේ අර්බුදය” නම් ලිපියෙන් ඉතා බලගතු ලෙස ඉදිරිපත් කරන ලද කරුනකි. නූතන සමාජයේ ආර්ථික වර්ධනයෙහි ප්‍රතිපල වශයෙන්, ධනවාදය සහ ලිබරල්වාදය එකිනෙකට නොගැලපෙන බවට ඔහු තර්ක කලේය. ඔහු මෙසේ ලිවීය:

සමාජයේ ද්‍රව්‍යමය සම්පත් සුලු පිරිසක් විසින් අත්පත්කර ගැනීම පිටුපස පවත්නේ, එම සුලු පිරිස විසින් තමන්ගේම අරමුනු වෙනුවෙන්, තමාගේ පුද්ගලික නිශ්පාදිතයක් නොවන, මානව වර්ගයාගේ සාමූහික කාර්යයෙහි නිශ්පාදිතයන් වන සංස්කෘතික, ආධ්‍යාත්මික සම්පත් සියල්ල භුක්ති විඳිමින් සිටීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වයෙහි මූලාශ්‍රය අවබෝධකර ගන්නා තෙක් හා බුද්ධියෙහි සමාජයීයකෘත ව්‍යාප්තිය දිරිගැන්වෙන ආකාරයේ සමාජ සංවිධානයක් ගෙන ඒමට පියවර නොගන්නා තෙක් ප්‍රජාතන්ත්‍රවාදයේ අසාර්ථකත්වය ගැන කතා කිරීම නිෂ්ඵල ය. [14]

කුහකකමින් හා වංචාවෙන් පුරවා දක්වා තිබෙන ෆර්ෆසැංග්ෂුට්ස් ප්‍රතිචාරය, ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය ගැන සැලකිල්ලක් නොදක්වයි. එය ආභාසය ලබා ගන්නේ ඩුවීගෙන් නොව කාල් ෂ්මිට් සහ ජෝසෆ් ගොබෙල්ස්ගෙනි. ධනවාදයට එරෙහි විරෝධය, නොවැලැක්විය හැකි ලෙස පවත්නා දේශපාලන හා ආර්ථික සංවිධානයට විරුද්ධව යන බැවින්, මාක්ස්වාදී සංකල්ප නීත්‍යානුකූල විය නොහැකි බවට එය පැහැදිලිවම තර්ක කරයි. ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය සහ පෞද්ගලික ආර්ථික අවශ්‍යතා අතර ඇති නොබිඳිය හැකි සම්බන්ධතාව එය අවධාරනය කරයි. මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී සංකල්ප නීතිමය මාර්ගයෙන් ප්‍රචාරය කරනු ලැබුවද ඒවා විප්ලවවාදී පෙරලා දැමීමක අවතාරය මතු කරයි. එබැවින් අදහස් තහනම් කර යටපත් කල යුතුය.

එස්ජීපී ය විසින් අධිරාජ්‍යවාදය සහ මිලිටරිවාදය හෙලා දකිනු ලැබීම, ධනවාදයට එය දක්වන විරුද්ධත්වයට වඩා, පවත්නා ධනේශ්වර පර්යාය කෙරෙහි අන්තරායකාරීභාවයෙන් අඩු නැත. 2017 ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, යුද්ධයට එරෙහි පක්ෂ අරගලය පැහැදිලි කරමින් ක්‍රිස්ටෝෆ් වැන්ඩි්‍රයර් සහෝදරයා විසින් කරන ලද ප්‍රකාශයන් ෆර්ෆසැංග්ෂුට්ස් උපුටා දක්වයි:

යුද්ධය වැලැක්වීම සඳහා ඔබ කල යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් (නිර්මානය) කිරීමයි. දේශපාලන සිදුවීම් තුලට මහජනතාව තෙමේම මැදිහත් විය යුතුය. ඔවුන් සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ධනවාදය ජාත්‍යන්තරව පෙරලා දමා, ජාතික රාජ්‍යයන් අභිබවනය කිරීම තුලින් ජාතික රාජ්‍යයන් ලෙස ලෝකය බෙදීම අවසන් කරන සහ නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය අහෝසි කරන සමාජයක් ගොඩනැගිය යුතුය. [එම, පි. 34]

අර්ථභාරීව, “ඒවා ධනේශ්වර රාජ්‍යයේ අත් ශක්තිමත් කිරීමේ අන්තරාය මතු කරන බැවින්” එස්ජීපී ය “පුද්ගලයන්ගේ තනි ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රතික්ෂේප කරයි”[එම, පි.40] යන්න ෆර්ෆසැංග්ෂුට්ස් ප්‍රතිචාරය මුලුමනින්ම පිලිගනී. කෙසේ වෙතත් වාර්තාව ඉන්පසුව අවධාරනය කරන්නේ, “මෙම ප්‍රතික්ෂේප කිරීම අදාල වන්නේ ‘ප්‍රචන්ඩත්වයට යොමු වන තනි පුද්ගලයන්ට’ මිස කම්කරු පන්තියේ සාමූහික අරගලයට නොවන” බවයි.

කිසිදු තත්වයක් යටතේ එවැනි මහජන අරගල, නීතිමය හා “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පර්යායට” අනුකූල යැයි සැලකිය නොහැකි බව ෆර්ෆසැංග්ෂුට්ස් අවධාරනය කරයි. තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ෆැසිස්ට් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට කම්කරු පන්තියට ඇති අයිතිය පවා වාර්තාවෙන් ප්‍රතික්ෂේප කෙරේ. සංක්‍රමනීය ක්‍රියාමාර්ගය තුල “ආත්මාරක්ෂාව සඳහා කම්කරු කන්ඩායම් නිර්මානය කිරීමේ අත්‍යවශ්‍යභාවය ප්‍රචාරය කිරීම අනිවාර්ය වෙයි.” යන ට්‍රොට්ස්කිගේ ප්‍රකාශය වාර්තාවෙන් හෙලා දකිනු ලැබේ. මෙම ප්‍රකාශය නිකුත් කෙරුනේ, දැඩි ලෙස සන්නද්ධ ෆැසිස්ට්වාදීන්ගේ සංවිධානාත්මක කල්ලිවලට එක්සත් ජනපදයේ වැඩවර්ජක කම්කරුවන් නිරන්තරයෙන් මුහුන දී සිටියදී සහ හිට්ලර් විසින් ජර්මනිය හා මුසෝලිනී විසින් ඉතාලිය පාලනය කරද්දී ය. ධනවාදී රාජ්‍යයේ මර්දනකාරී බලවේග ගැන කවර කතා ද?

මාක්ස්වාදී විශ්ලේෂනයේ පදනම මත සිය ලිපි ලේඛන මඟින් ‘සමාජවාදී දිශානතියක්’ පාඨකයන් වෙත ලබා දීමට පැහැදිලිවම අදහස් කර ඇති” [එම, පි. 48] ලෝක සමාජවාදී වෙබ් අඩවිය ෆර්ෆසුංග්ෂුට්ස් හි හෙළා දැකීමට ලක්වේ. එස්ජීපී. හි ප්‍රකාශන අංශය වන මෙහ්රිං ෆර්ලාග් උපුටා දක්වමින් එය සඳහන් කරන්නේ, එයට්‍රොට්ස්කිගේ කෘතිවල ජර්මානු පරිවර්තන මෙන්ම ඩේවිඩ් නෝර්ත්ගේ කෘති ද ප්‍රකාශයට පත් කරයි.” [එම, පි. 48]

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහිව ෆර්ෆසැංග්ෂුට්ස් එල්ල කරන ප්‍රහාරයේ ප්‍රධාන හා ක්ෂනික ඉලක්කය එස්ජීපී ය සහ හජාජාක යි. එහි කතුවරුන් දේශපාලන මැරයන් නොවේ. ඔවුන් පැහැදිලිවම අපේ පක්ෂයේ ලියවිලි පරෙස්සමින් හදාරා තිබේ. ට්‍රොට්ස්කිගේ ද සමාජවාදයේ ශ්‍රේෂ්ඨ න්‍යායාචාර්යවරුන් වන මාක්ස් සහ එංගල්ස් කරා ආපසු යමින් ඔවුන්ගේ ද කෘතින් ගැන කවර කථා ද? එස්ජීපී ය සහ හජාජාක අද්‍යතන මාක්සියානු සමාජවාදයේ සම්මතධාරීන් ලෙස තමන් සලකන බව ෆර්ෆසුංග්ෂුට්ස් පැහැදිලි කරයි. එහෙත් එහි නෛතික ඇඟවුම් හා ප්‍රතිවිපාක අපගේ පක්ෂයේ අදහස් ඉක්මවා යයි. විලෙන්ස්ට්රාෆ්රෙක්ට් සංකල්පය හඳුන්වාදීම අරමුනු කර ඇත්තේ, ධනවාදයට, අධිරාජ්‍යවාදයට, සමාජ අසමානතාවයට සහ යුද්ධයට එරෙහි සෑම ආකාරයකම විරුද්ධත්වය සාපරාධීකරනයටයි. කම්කරු පන්තියේ වැඩෙන අතෘප්තිය සහ එහි දේශපාලන රැඩිකලීකරනය පිලිබඳ භීතියෙන් ෆැසිස්ට් අදහස් නීත්‍යානුකූල කිරීමට දරන උත්සාහයට රුකුල් දෙන, සමාජවාදයට එරෙහි දරුනු සතුරුකම, ෆර්ෆසුංග්ෂුට්ස් ලේඛනයේ ව්‍යාජ නෛතික ස්වරූපයෙන් ප්‍රකාශට පත් වෙයි. මහාචාර්ය ජෝග් බාබෙරොව්ස්කි හෙලිදරව් කිරීම සඳහා එස්ජීපී ය බොහෝ දේ කර ඇත. ඔහු කිසියම් හුදෙකලාවූ අමුතු ශාස්ත්‍රඥයෙකු නොවේ. ඒ වෙනුවට ඔහු, ‘ෆැසිස්ට් බුද්ධිමතා’ ලෙස 1920 සහ 1930 ගනන් වලදී ප්‍රකට වූ සමාජ සංසිද්ධියක ඉතා ක්‍රියාකාරී හා දෘශ්‍යමාන නියෝජිතයෙකි.

පිලිගත් ෆැසිස්ට් න්‍යායාචාරීන්ගෙන් සැලකියයුතු සංඛ්‍යාවක - මොවුන් අතරින් සමහරක් (උදා: කාල් ෂ්මිට් සහ ජුලියස් එවෝලා) මියගොස් ඇති නමුදු, බොහොමයක් (උදා: ඇලයින් ඩි බෙනොයිස්ට්, පෝල් ගොට්ෆ්‍රයිඞ් සහ ඇලෙක්සැන්ඩර් ඩුජින් ) ක්‍රියාශීලීව ජීවත් වෙයි -- ඔවුන්f්ග අදහස් ආන්ඩුවේ පිලිවෙත් තුල ප්‍රකාශයට පත්වීම හේතුවෙන් ඔවුහු වඩවඩාත් කැපී පෙනෙමින් පවතී. මෙම ෆැසිස්ට් මතවාදීන්ගෙන් බොහෝ දෙනෙක් එතරම් ප්‍රකට නැති නමුත් එයින් ඔවුන්ගේ දේශපාලන වැදගත්කම අඩු නොවේ.

ඔවුන්ගේ ප්‍රතිගාමී පිලිවෙත්වල සහ දේශපාලන උද්ඝෝෂනවල ෆැසිස්ට් ආවේශය කෙරෙහි අවධානය යොමු කිරීමට කැඳවුම් කිරීම ඥානවන්ත නොවන බව පාලක ප්‍රභූව සහ එහි නියෝජිතයෝ සැලකිල්ලට ගනිති. රැඩිකල් දකුනේ ප්‍රධාන චින්තකයෝ නමින් මෑතකදී ප්‍රකාශයට පත් කල වෙලුමේ සංස්කාරකවරයා මෙසේ අනතුරු අඟවයි:

[ග්‍රීක] ගෝල්ඩන් ඩෝන් හෝ [හංගේරියානු] ජොබ්බික් ඡන්දදායකයින්ගෙන් බොහෝ දෙනෙකු එවෝලා ගැන අසා නැත, ලිංගිකත්වය, යුද්ධය හෝ මිථ්‍යාදෘෂ්ටිය පිලිබඳ ඔහුගේ අදහස් බෙදාගන්නේ ඊටත් අඩු පිරිසකි, නමුත් එවෝලාගේ චින්තනය ග්‍රීක සහ හංගේරියානු දේශපාලනයට තවමත් වක්‍ර වැදගත්කමක් ඇත. නිසැකවම එය වෙනත් රටවල දේශපාලනය සඳහා ද අදාලය. ඒවායේ දේශපාලනඥයන් තම වෙබ් අඩවි වල පල කරන දෑ පිලිබඳවත් තමන් පෙරවදන් ලියන්නේ කුමන කතුවරුන් සහ ප්‍රකාශකයන් සඳහා ද යන්න ගැනත් වඩාත් ප්‍රවේශම් සහගත ය, නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ, ජනාධිපති ට්‍රම්ප්ගේ හිටපු “ප්‍රධාන උපායමාර්ගිකයා” වන ස්ටීව් බැනන්, එවෝලා සහ ඩුගන් ගැන සඳහන් කර ඇත්තේ නොපැහැදිලි ලෙස පමනක් වන අතර, එවෝලා සහ ඩුජින් යන දෙදෙනාටම ආභාෂය ලබා දුන් ප්‍රන්ස එසෝටරිස්ට්වාදියෙකු වන ගුවොන් අගයකර ඇත්තේ එක් වරක් පමනකි. රැඩිකල් දක්ෂිනාංශයේ මෙම ප්‍රධාන චින්තකයින්, දක්ෂිනාංශය නැවත හිස ඔසවමින් සිටින සෑම තැනකටම, එනම් ප්‍රන්සය, ග්‍රීසිය, රුසියාව සහ හංගේරියාව තරමටම, ඇමරිකාවට ද වැදගත් වේ. [15]

ස්ටැලින්වාදී තන්ත්‍රයන් විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය කිරීමත් සමඟ වර්ධනය වූ “ධනවාදයේ විජයග්‍රහනය” සහ “මාක්ස්වාදයේ මරනය” පිලිබඳ ආඛ්‍යානයන්හි බංකොලොත්බව, ෆැසිස්ට්වාදයේ දෘෂ්ටිමය හා දේශපාලනික පුනර්ජීවනය මගින් අනාවරනය වෙයි. ඉමහත් දුරට, අවශ්‍ය ජනප්‍රිය වාක්‍ය යොදා ගනිමින් මෙම ආඛ්‍යාන ගොඩනඟා ඇත්තේ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ය. ඒවායේ විශ්ලේෂනාත්මක ආකාරයේ යමක් තිබුනේ නැති තරම්ය. එහෙත්, ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් විසුරුවා හැරීම හුවා දැක්වූවන් හෝ ඉන් අධෛර්යමත් වූවන් දැක්වූ ප්‍රතිචාරයන් සියල්ලේම පාහේ යටින් පැවති යේ, නැගෙනහිර යුරෝපයේ සහ පැරනි සෝවියට් සංඟමයේ කැලඹීම්, ඒ වනවිට හඳුනාගත නොහැකි වූ නමුත් එක්සත් ජනපදයට සහ අනෙකුත් සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ට පසුව දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දුන්, ගෝලීය පර්යායේ කුමන හෝ පුලුල් අර්බුදයකට සම්බන්ධ නැතැයි යන අදහසයි.

සිදුවීම් දිග හැරෙමින් තිබියදීම, ජාත්‍යන්තර කමිටුව විසින් වර්ධනය කරන ලද විශ්ලේෂන, යුක්තියුක්තව අසමසම යැයි විස්තර කල හැකි, ඓතිහාසිකව දැනුවත් දුරදක්නා මට්ටමක් පෙන්නුම් කලේය. 1990 මැයි මාසයේ පැවති ජාත්‍යන්තර කමිටුවේ දහවන සම්මේලනයේදී, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර විසුරුවා හැරීමේ අර්ථභාරය පිලිබඳව පුලුල් සාකච්ඡාවක් පැවැත්විනි. 1990 මැයි 6 වන දින ආරම්භ වූ එම දීර්ඝ සාකච්ඡාවේදී මම මෙසේ කීවෙමි.

නිසැකවම, නැගෙනහිර ජර්මනියේ සිදුවීම් සහ නැගෙනහිර ජර්මනියේ දී බීඑස්ඒ [Bund Sozialistische Arbeiter] ලැබූ අත්දැකීම් ඉතා වැදගත් වන අතර ඒවා සාකච්ඡා කර විශ්ලේෂනය කල යුතුය. නමුත් සාකච්ඡාවේ මෙම අවස්ථාවෙහිදී, අපගේ ජාත්‍යන්තර විශ්ලේෂනයේ රාමුව තුල මෙම සිදුවීම් වෙත එලැඹීමත්, ලෝක තත්වය අප තේරුම් ගන්නේ කෙසේද යන්න පිලිබඳව යම් නිගමනවලට එලැඹීමත් අවශ්‍ය වේ.

ධනවාදය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ තල්ලුව, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය නංවනු ඇතැයි යන ප්‍රකාශයේ පදනම මත අපට, නැගෙනහිර යුරෝපයේ ඉදිරිදර්ශනයක් වර්ධනය කළ හැකි යැයි මම විශ්වාස නොකරමි. ඇත්ත වශයෙන්ම එය සත්‍යයකි, නමුත් ඊට වඩා මූලික ප්‍රශ්න තිබේ. අපගේ විශ්ලේෂනයේ හදවතෙහිම තිබිය යුත්තේ, වර්තමානයේ අප දකින්නේ, දෙවන ලෝක යුද්ධය අවසානයේ ස්ටැලින්වාදයේ ආධාරයෙන් අධිරාජ්‍යවාදය විසින් පිහිටුවන ලද සියලු සබඳතා බිඳ වැටීම අවධාරනය කිරීමයි.

නැගෙනහිර යුරෝපයේ සිදුවීම් වලට අර්ථ නිරූපන දෙකක් ලබා දිය හැකිය. මෙය සමාජවාදය අභිබවා ධනවාදය ලත් ඓතිහාසික ජයග්‍රහනයක් නියෝජනය කරන බව කෙනෙකුට පැවසිය හැකිය; කම්කරු පන්තිය දැවැන්ත ඓතිහාසික පරාජයකට මුහුන දී තිබේ. සමාජවාදයේ ඉදිරිදර්ශනය සාකල්‍යයෙන්ම විනාශයට පත්ව ඇති අතර ධනවාදී සංවර්ධනයේ නව කාල පරිච්ඡේදයක එලිපත්ත මත අපි සිටිමු. නැතහොත් මෙසේ කිවහැක -- ඇත්තෙන්ම, මෙය ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය වන අතර ම එමගින් අන් සියලු ප්‍රවනතාවයන්ගෙන් අප වෙන් කරනු ලබයි. අධිරාජ්‍යවාදී පර්යායේ බිඳවැටීම, දැවැන්ත දේශපාලන හා සමාජ අරගල තුලින් ජාත්‍යන්තරව විසඳෙනු ඇති ගැඹුරු අසමතුලිතතාවයේ කාලපරිච්ඡේදයක් විවර කරනු ඇත. අද දින ප්‍රබලතම වන්නේ, 1930 ගනන්වලින් පසුව කිසි කලෙක පැවති තත්වයට සම නොවන අස්ථාවර භාවයකි. අපගේ විශ්ලේෂනයට ඇත්ත වශයෙන්ම නැගෙනහිර යුරෝපයේ සිදුවීම්වල පලමු අදියරෙහි ප්‍රතිපල මත පදනම් කල නොහැක. මා සිතන්නේ, එසේ නොමැතිනම් යමෙකුට ඉතිරි වන්නේ ඉතා අශුභවාදී නිගමනයක් බවයි.

සාකච්ඡාව මැයි 7 වන දින ද අඛන්ඩව පැවතුනි. පශ්චාත් දෙවන ලෝක යුද්ධ පර්යායේ බිඳවැටීම හඳුනාගෙන තිබියදීත්, ලෝක ධනවාදයේ දීර්ඝ හා සාමකාමී සංවර්ධනයක් ඇති කල හැකි නව ගෝලීය සමතුලිතතාවයක් වේගයෙන් ස්ථාපිත කිරීම අපි කල්තියා දුටුවාද? මෙම ප්‍රශ්නයට පිලිතුරු දීමට මා උත්සාහ කරන්නේ පහත සඳහන් ආකාරයකටය:

පිලිතුරක් ලබා ගැනීමේදී අප සලකා බැලිය යුතු මෙම ප්‍රශ්නයේ පැති දෙකක් තිබේ: පලමුව, අධිරාජ්‍යවාදී බලවතුන් අතර සම්බන්ධතාවය සහ දෙවනුව, හුදෙක් ජාතික වශයෙන් නොව ලෝක පරිමානයෙන් පන්ති අතර සම්බන්ධතාවය ය. ප්‍රශ්නය නම්: සාමකාමීව නව හා ස්ථාවර සමතුලිතතාවක් ගොඩනඟා ගැනීමට අධිරාජ්‍යවාදීන්ට හැකි වේද? යන්නයි.

මෙය තීරනාත්මක ප්‍රශ්නයයි: අධිරාජ්‍යවාදීන්ට සාධාරන හා සාමකාමීව නව ලෝක බල තුලනයකට, නව ජාත්‍යන්තර සමතුලිතතාවයකට පැමිනිය හැකි යැයි අපේක්ෂා කළ හැකි ද? ජාත්‍යන්තර සමගිය වෙනුවෙන් ජාතික අවශ්‍යතා කැප කිරීමට ඔවුන් කැමතිද? ඔව් යැයි පිලිතුරු දීමෙන් මෙසේ උපකල්පනය කෙරෙයි. 1) ධනේශ්වරය අතීතයට වඩා මූලික වශයෙන් වෙනස් ලෙස හැසිරෙනු ඇතැයි සහ 2) අද අධිරාජ්‍යවාදීන් අතර පවතින ප්‍රතිවිරෝධතා 1914 සහ 1939 දී පැවති ඒවාට වඩා අඩු මට්ටමක පවතීි.

අතීත ඓතිහාසික අත්දැකීම්වලට පටහැනිව, ධනේශ්වරය එවැනි “ඥානාන්විත” පියවර ගැනීමට න්‍යායික වශයෙන් සමත් බව යමෙකු පිලිගත්තද, එනම්, ජාතික ධනේශ්වර බලවතෙකු ලෙස අති මූලික අර්ථයෙන් සිය අවශ්‍යතාවන්ට අහිතකර වන විධිවිධාන යෙදීමට ඔවුන් සූදානම් යැයි යමෙකු උපකල්පනය කල ද, ජාත්‍යන්තර කරලියක කුමන හෝ ජාතික ධනේශ්වරයක් විසින් දෙන සහන, දේශීය සීමාවන්ට කොටුවන්නේය යන කාරනය ඉතිරි වේ. ජාතික ධනේශ්වරය සිය අධිරාජ්‍යවාදී ප්‍රතිවාදීන්ට පිලිගත හැකි වන්දිය ගෙවන්නේ තමන්ගේම කම්කරු පන්තිය මත පීඩනය වැඩි කිරීමෙනි.

දැන් අපි දෙවන ප්‍රශ්නයට පැමිනෙමු, එනම් ජාත්‍යන්තර පන්ති සබඳතාවල තත්වයයි. උපකල්පනය කරන නව සමතුලිතතාවක්, විප්ලවීය පරිමානයක පන්ති අරගලයක් ජනනය නොකර සාමකාමීව ඇති කල හැකි ද? නායකත්වයේ පාවාදීම පැවතියේ වුව ද කම්කරු පන්තිය, සියවස ආරම්භයේ සිටියාට වඩා අද විශාල සමාජ බලයක් නියෝජනය කරයි. ඉතිහාසයේ ඔරලෝසුව ආපසු හැරවීමක් නැත. [15]

මෙම විශ්ලේෂනය සනාථ වී ඇත. එහෙත් අප දැන් සිටින්නේ දශක තුනකට පමන පෙර හජාජාක විසින් පැහැදිලිව හඳුනාගෙන තිබුනු අර්බුදයේ ඉතා දියුනු අවධියක ය. මෙම අර්බුදය විප්ලවවාදී අරගලයේ නව නැගීමක් ජනනය කරනු ඇතැයි අපි එකල පුරෝකථනය කලෙමු. එම නැගිටීමේ ආරම්භය අපි දැන් දකිමු.

මෙය අපව වඩාත් තීරනාත්මක ප්‍රශ්නය වෙත ගෙන එයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දීර්ඝ ඓතිහාසික ගමන්පථය සොයාගෙන, 1923 දී එහි මූලාරම්භය දක්වා සහ එහි වර්ධනයේ සුවිශේෂී අවධීන් හතර හඳුනාගෙන ඇති තතු හමුවේ අපගේ කාර්යයේ වර්තමාන අවධිය සංලක්ෂිත විය යුත්තේ කෙසේද?

ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කටයුතු සමඟ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවීය නැගිටීමක් අන්තර්ඡේදනය වීම අපි දැන් දකින්නෙමු. අප විශ්ලේෂනය කරමින් සිටින ලෝක අර්බුදය, ජාත්‍යන්තර කමිටුව වඩ වඩාත් ක්‍රියාශීලී හා සෘජු සහභාගිවන්නෙකු ලෙස සිටින එක් ක්ෂේත්‍රයකි.

පැබ්ලෝවාදීන් ඉවත් කිරීම, ජාත්‍යන්තර පදනමක් මත ජාත්‍යන්තර පක්ෂයක් නැවත ගොඩනැඟීම, හජාජාක හි ජාත්‍යන්තර මූලෝපාය විස්තාරනය කිරීම, හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර කමිටුවේ සංඟම් පක්ෂ බවට පරිවර්තනය කිරීම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීම යන තීරනාත්මක කටයුතු, සිව්වන අදියරේ ප්‍රධාන ජයග්‍රහන විය. මෙම ජයග්‍රහන මගින් ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන බලපෑම පුලුල් කිරීමටත් එහි සාමාජිකත්වයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමටත් හැකි විය. මෙම අදියර අවසන්ව ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ පස්වන අදියර ආරම්භ කොට තිබේ. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස එහි විශාල වර්ධනයක් පෙන්නුම් කරන කරලිය මෙයයි. මීට වසර 30 කට පෙර ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනාගත් ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික සන්තතීන් තවදුරටත් දැවැන්ත වර්ධනයකට භාජනය වී තිබේ. සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කල නව තාක්ෂනය බිහිවීමත් සමඟ මීට වසර 25 කට පෙර පවා සිතාගත නොහැකි තරමට, මෙම ක්‍රියාදාමයන් පන්ති අරගලය ජාත්‍යන්තරකරනය කර ඇත්තේ ය. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය අන්තර් සම්බන්ධිත හා එක්සත් ලෝක ව්‍යාපාරයක් ලෙස වර්ධනය වනු ඇත. මෙම වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලියේ සවිඥානික දේශපාලන නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගෙනු ඇත. එය අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනවාදී දේශපාලනයට ප්‍රතිමුඛව ලෝක සමාජවාදී විප්ලවයේ පන්ති-පාදක මූලෝපාය ඉදිරිපත් කරනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි නව අවධියේ අත්‍යවශ්‍ය ඓතිහාසික කාර්යය මෙයයි.

ෆර්ෆසුන්ෂුට්ස් අපගේ ජර්මානු ශාඛාවට එල්ල කරන ලද ප්‍රහාරය වනාහි අපගේ ව්‍යාපාරයේ ක්‍රියාමාර්ගයට සහ අදහස්වලට කම්කරු පන්තිය තුල විශාල අනුගාමිත්වයක් දිනාගැනීමේ විභවය ඇති බව පාලක ප්‍රභූව විසින් හඳුනාගෙන හඳුනාගෙන සිටින බවට සුපැහැදිලි ප්‍රකාශනයකි. 2017 සැප්තැම්බර් ෆෙඩරල් මැතිවරනයෙන් එස්ජීපීයට ලැබී ඇත්තේ සුලු ඡන්ද ප්‍රමානයකි. එනමුත්, ෆර්ෆසුන්ෂුට්ස් වහාම පහත සඳහන් අනතුරු ඇගවීම එක් කරයි: “අනෙක් අතට, පැමිනිලිකරු ජර්මානු ෆෙඩරල් මැතිවරනයට සහභාගිවීමෙන්, ඒ හා සම්බන්ධව පොදු විකාශන සංස්ථාවලින් ප්‍රචාරනයේ යෙදීමෙන් සැලකිය යුතු නිශ්චිත මට්ටමකින් මහජනයාගේ දැනුවත්වීමක් සහ අවධානයක් ද දිනා ගෙන ඇත.

එස්ජීපීයේ දේශපාලන ආයාමය පිලිබඳ මෙම පිලිගැනීම එක් අතකින් ප්‍රශංසාවකි. නමුත් තර්ජනයක් ද වන එය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය. ඊට උචිත දේශපාලන හා ප්‍රායෝගික ප්‍රතිපියවර ගත යුතුය.

පන්ති අරගලයේ මෙම ගෝලීය වර්ධනයෙහි ඉල්ලීම් සපුරාලීම සඳහා නම් ජාත්‍යන්තර කමිටුවේ කේඩරය අපගේ ලෝක පක්ෂයේ සමස්ත න්‍යායික හා දේශපාලන ප්‍රාග්ධනය උකහාගැනීම අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි මෙම නව පස්වන අදියරේදී පක්ෂයේ වැඩ කටයුතු වර්ධනය කරන පදනම මෙයයි.

පාද සටහන්:

[1] ලියොන් ට්‍රොට්ස්කි සහ මාක්ස්වාදයේ වර්ධනය, (කම්කරු මාවත ප්‍රකාශන, 2015), 36 පි.

[2] Lectures on the Philosophy of World History, by George Wilhelm Friedrich Hegel,( ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඞ්රික් හේගල් විසින් රචිත ලෝක ඉතිහාසයේ දර්ශනය පිලිබඳ දේශන), එච්. බී. නිස්බෙට් විසින් පරිවර්තනය කරන ලදි (කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 1973), පි. 20 යි

[3] ලුඩ්විග් ෆොයබාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය කම්කරු මාවත ප්‍රකාශන, පිටු 81-82

[4] “Feuerbach and the End of Classical German Philosophy,” in Marx Engels Collected Works, Volume 26 (මොස්කව්: ප්‍රෝග්‍රෙස් පබ්ලිෂර්ස්, 1990), පි. 389 කි

[5] එදිනෙදා ජීවිතයේ ගැටලු, ලියොන් ට්‍රොට්ස්කි (නිව් යෝර්ක්: පාත්ෆයින්ඩර්, 1973), 137-38 පි.

[6] https://www.marxists.org/archive/trotsky/1928/3rd/ti01.htm#p1-01

[7] “ජී. හීලිගේ අපෝහක භෞතිකවාදය පිලිබඳ අධ්‍යයනයන් පිලිබඳ විවේචනයක් සඳහා වූ දායකත්වය” උපුටා දක්වා ඇත. ”හතරවන ජාත්‍යන්තරය, 13 වන වෙලුම, අංක 2, සරත් 1986, පි.17

[8] සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් (කම්කරු මාවත ප්‍රකාශන), පිටු, 86-87

[9] වර්කර්ස් ලීග් අභ්‍යන්තර බුලටිනය, 3 වන වෙලුම, අංක 4, 1989 ජූනි, “පි. 2-3” හි “ඩේවිඩ් නෝර්ත් විසින් ඩෙට්‍රොයිට් සමුලුවට ඉදිරිපත් කල වාර්තාව”

[10] https://www.marxists.org/archive/trotsky/1938/10/foundfi.htm

[11] අර්නස්ට් මැන්ඩෙල්: ඒ. ඩ්‍රීම් ඩිෆර්ඞ්, ජෑන් විලම් ස්ටුට්ජේ (ලන්ඩන් සහ නිව් යෝර්ක්: වර්සෝ, 2009) පි. 240.

[12]වර්කර්ස් ලීගයේ අභ්‍යන්තර බුලටිනය, වෙලුම 3, අංක 4, ජූනි 1989, පි. 7 .

[13] ජෝන් ඩිවේ, ජො ඈන් බොයිඩ්ස්ටන් විසින් සංස්කරනය කරන ලද ද ලේටර් වර්ක්ස්, 11 වන වෙලුම [කාබොන්ඩේල් සහ එඩ්වර්ඩ් විල්: සදර්න් ඉලිනොයිස් යුනිවර්සිටි ප්‍රෙස්, 1991], පි. 39

[14] රැඩිකල් දකුනේ ප්‍රධාන චින්තකයන්: ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට නව තර්ජනය පිටුපස, මාර්ක් සෙඩ්ග්වික් විසින් සංස්කරනය කරන ලදි (ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2019), පි. xxv