වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිිිය පාර්ලිමේන්තු තනතුරකින් කප්පම් ලබයි

රොහන්ත ද සිල්වා
8 පෙබරවාරි 2020

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, (යූඑන්පී) රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) නායක සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ප්‍රදානය කලේය. ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්න වෙනුවට මෙම දිගු-කාලීන වෘත්තීය සමිති නිලධාරියා පසුගිය බදාදා දිවුරුම් දුන්නේය.

පැවති එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් රජයට කල ද්‍රෝහී සේවාව වෙනුවෙන්, වඩාත් පුලුල් ලෙස ගතහොත් වසර 20 කට වැඩි කාලයක් ලංකාවේ ධනවාදී පාලනය ආරක්ෂා කිරීම සඳහා ඔහු කල සේවය වෙනුවෙන්, ඇමරිකානු ගැති පක්ෂය මෙම වරප්‍රසාදය රත්නප්‍රියට ලබා දී ඇත. රත්නප්‍රිය, එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප හිතවතෙකි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නිලධරයන්ට බොහෝ විට පාර්ලිමේන්තු හා අමාත්‍ය තනතුරු පවා අල්ලස් ලෙස ලබා දී ඇතත්, රත්නප්‍රියගේ පත්වීම විශේෂයෙන් වැදගත් වේ. මහා ව්‍යාපාරිකයේ හා ධනේශ්වර රාජ්‍යයේ ඍජු මෙවලම් ලෙස වෘත්තීය සමිති පරිවර්තනයවීම හා එහි පරිහානිය, මෙමගින් තවදුරටත් හෙලිදරව් කරයි.

පුලුල් ලෙස අපකීර්තියට පත් සංස්ථාපිත වෘත්තීය සමිතිවලට විකල්පයක් ලෙස, “ස්වාධීන” සහ “දේශපාලනික නොවන” සටන්කාමී සමිති ලෙස, පෙර දී ප්‍රකාශයට පත් කෙරුනු වෘත්තීය සමිතිවල නිලධරයන්ගෙන් කෙනෙකු ලෙස රත්නප්‍රිය ඉස්මතු විය. 1980 සහ 1990 දශකවල එවන් ඊනියා ස්වාධීන වෘත්තීය සමිති ලංකාවේ මතුවිය.

1964 දී ලංකා සම සමාජ පක්ෂය (ලසසපය) සිය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලධර්ම පාවා දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනේශ්වර සභාග රජයට බැඳුනි. 1970 දී නැවතත් එය තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග රජයකට බැඳුනි. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) මෙම සන්ධානවලට ලැදියාවෙන් සම්බන්ධ විය.

ලසසපය සහ කොප සමඟ සම්බන්ධ වෘත්තීය සමිති මෙම රජයන්ට සහාය දුන් අතර වැඩ කරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔවුන්ගේ ප්‍රහාරයන්ට සහාය දැක්වූහ. මෙම සන්ධාන කාලය තුල ලසසපය හා කොප, සිය වෘත්තීය සමිති තුල සියලු‍ දේශපාලනය තහනම් කලහ. ඔවුන් මෙය කලේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) මෙම ප්‍රහාරයන්ට විරුද්ධ වීම සහ ඒ පිටුපස ඇති තීරනාත්මක දේශපාලන ප්‍රශ්න මතු කිරීම වැලැක්වීම සඳහා ය.

1980 ජුලි රාජ්‍ය අංශයේ මහා වැඩ වර්ජනය පරාජය කිරීමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ රජයට හැකි වූයේ, ලසසපයේ සහ කොපයේ වෘත්තීය සමිතිවල සහ “වාම-කථක” නව සම සමාජ පක්ෂයට (නසසපය) අනුබද්ධිත වෘත්තීය සමිතිවල පාවාදීම් දේශපාලනිකව ගසා කෑමෙනි. දේශපාලන විකල්පයක් යැයි ව්‍යාජ ලෙස කියා සිටි වික්‍රමබාහු කරුනාරත්න ඇතුලු ලසසප සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් 1976 දී නසසපය පිහිටුවන ලදී.

මෙම වෘත්තීය සමිති පිලිබඳව කම්කරුවන් අතර පුලුල් කෝපයක් හා කලකිරීමක් ඇති වූ තත්වයන් යටතේ, වඩාත් සටන්කාමී ක්‍රියාමාර්ගයක් දෙන බවට පොරොන්දු වෙමින් ඊනියා “ස්වාධීන” වෘත්තීය සමිතිවල නව ප්‍රභේදයක් මතුවීමට පටන් ගත්තේය.

1990 ගනන් වල මුල් භාගයේ දී, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ (රාසේඑහෙස) නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද විවේචනය කිරීම හේතුවෙන් රත්නප්‍රිය එම සංගමයෙන් නෙරපා හැරුනි. බෞද්ධ භික්ෂුවක් වූ ආනන්ද, සෑම ශ්‍රී ලාංකික රජයක් සමඟම සමීප සම්බන්ධතා පැවැත්වූ බවට කුප්‍රකට ය. රාජ්‍ය සේවා හෙද සේවකයන් සඳහා ඉදිරි මාවත ලෙස “ස්වාධීන” සහ “දේශපාලනික නොවන” සටන්කාමී සංවිධානයක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් රත්නප්‍රිය ජීඑන්ඕයූව පිහිටුවීය.

නව වෘත්තීය සමිතිය තුල ඇති සියලු‍ම “දේශපාලන” සාකච්ඡාවලට එරෙහිව රත්නප්‍රිය සහ ජීඑන්ඕයූ නායකත්වය ඉදිරියට යද්දී, එහි මවාපෑම් වේගයෙන් හෙලි විය. හෙදි සේවකයන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් මුහුන දෙන දේශපාලන ගැටලු පිලිබඳව සාකච්ඡා කල විකොසට සහ පසුව සසපට එරෙහිව මෙය විශේෂයෙන්ම යොමු විය.

දශක දෙකකට පසුව, “ස්වාධීන” ජීඑන්ඕයූව සහ අනෙකුත් වෘත්තීය සමිතිවල පරිහානිගත ස්වභාවය අතර කිසිදු වෙනසක් හඳුනා ගැනීම ඉතා අපහසුය.

රාසේඑහෙස ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු රජය සමඟ පෙල ගැසී ඇති අතර, රහෙනිස සහ රත්නප්‍රිය යන දෙදෙනාම වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

වෘත්තීය සමිතිවල පරිහානිය හා පරිවර්තනය ඔවුන්ගේ නායකත්වයන්ගේ දූෂිතභාවය හා ද්‍රෝහිත්වය පිලිබඳ කරුනක් නොවන නමුත් ඉන් වඩාත් මූලික සන්තතීන් ප්‍රකාශයට පත් කෙරෙයි. වෘත්තීය සමිති වලට, තම සාමාජිකයන් සඳහා සීමිත ආරක්ෂක යාන්ත්‍රනයක් ලෙස ජාතික රාමුව තුල වැඩ කිරීමට කලෙක පැවති හැකියාව, ධනවාදී නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ ලෝකයේ ඕනෑම තැනක අතිරික්ත වටිනාකම උකහා ගැනීම සඳහා ලාභ ශ්‍රම වේදිකා සෙවීමට ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ඇති වේගවත් හැකියාව මගින් යටපත් කෙරින.

සමන් රත්නප්‍රිය සමග නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න (කලු කන්නාඩියක් පැලඳ) දකුනෙන් සිටී

සිටීසියයට 65 ක වැටුප් වැඩිවීමක් සඳහා සටන් වැදි රාජ්‍ය අංශයේ සේවකයින් 200,000 ක ජාතික වැඩ වර්ජන හා විරෝධතා ආසන්නයේ, 2006 අප්‍රේල් 3 වන දින, සසප ප්‍රකාශයක් නිකුත් කලේය. ශ්‍රී ලංකාවේ රාජ්‍යය අංශයේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත යන මාතෘකාව යටතේ මෙම ප්‍රකාශය කම්කරු පන්තියේ මෙම කොටස මුහුන දෙන දේශපාලන ගැටලු‍ පැහැදිලි කලේය.

“මෙම උද්ඝෝෂනය කොතරම් විශාල හෝ සටන්කාමීබවත් පෙන්නුම් කලද, සමාජවාදී ඉදිරිදර්ශනයකින් තොරවුවහොත් එය පරාජයට මුහුන දෙන බව සසප නිසැකවම අනතුරු අඟවයි. වෘත්තීය සමිතිවල ‘දේශපාලනයක් නැත’ යනුවෙන් කෑ ගසන නායකයන් නැවත වරක් තම සාමාජිකයන් අන්ධ මාවතකට ගෙන යාමට සූදානම් වෙයි. වැසූ දොරවල් ඇතුලත, රජයේ ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධරයන් සමඟ කෙරෙන සාකච්ඡාවල දී දේශපාලනය ඇති තරම් තිබේ, නමුත් ඒ කම්කරු පන්තියේ අවශ්‍යතාවය වෙනුවෙන් නොවේ.

“1980 පැවති අවසන් ප්‍රධාන රාජ්‍ය වැඩ වර්ජනයේ දී සසපයේ පුරෝගාමියා වූ විකොස මැදිහත්වීමට එරෙහිව ‘දේශපාලනය එපා‘ යන සටන් පාඨය භාවිතා කරන ලදී. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවට හා එහි ආර්ථික ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලට එරෙහි දේශපාලන අරගලයක අවශ්‍යතාවය අවධාරනය කල විකොස දේශපාලන ඉල්ලීමට, ලසසපය, කොප සහ නසසපය යන සියල්ලෝම දැඩි ලෙස විරුද්ධ වූහ. සේවකයින් 150,000 ක් සේවයෙන් නෙරපා හැරීමට හේතු වූ එම ව්‍යසනකාරී පරාජයට, රාජ්‍ය අංශයේ සේවකයෝ තවමත් වන්දි ගෙවමින් සිටිති.

ජාතික වැටුප් ව්‍යාපාරය කැඳවනු ලැබුවේ “ස්වාධීන” වෘත්තීය සමිති සමූහයක් වන රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන වෘත්තීය සමිති කමිටුව (පීඑස්එස්ආර්ටීයූසී) විසිනි. රත්නප්‍රිය එහි කැඳවුම්කරුය.

සසප යේ මැදිහත්වීම වැලැක්වීමට උත්සාහකරමින් රත්නප්‍රියගේ ආධාරකරුවන් පිරිසක් ශාරීරික හිංසනයක තර්ජනය එල්ල කලහ. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී තර්ජනය අභියෝගයට ලක් කල විට, “එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් කොතැනකවත් නැතැ” යි රත්නප්‍රිය ප්‍රකාශ කලේය.

රත්නප්‍රිය විසින් මෑතදීම කරන ලද ද්‍රෝහී ක්‍රියාවක දී, 2015 ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමට උදව් කිරීම සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයින් සමඟ එකතු විය. මෙම පියවර, මහින්ද රාජපක්ෂ, චීනය සමඟ ඇති සමීප මිත්‍රත්වය නිසා බලයෙන් පහ කිරීමට, වොෂිංටනය විසින් නව දිල්ලියේ සහාය ඇතිව සිදු කල “පාලන තන්ත්‍රය වෙනස් කිරීම” මෙහෙයුමේ කොටසකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙකු වූ සිරිසේන, මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය ඇමතිවරයා විය.

සිරිසේනට පිටුබලය දීමටත්, ඔහු “ප්‍රජාතන්ත්‍රවාදියෙකු” සහ “ජනතාවාදියකු” ලෙසත් පින්තාරු කිරීමටත්, රත්නප්‍රිය “සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති” ආරම්භ කලේය. ඔහු, ව්‍යජ වාම කන්ඩායම්වල හා ශාස්ත්‍රාලිකයන්ගේ සන්ධානයක් වන “පුරවැසි බලය”හි ද කැඳවුම්කරු විය. සිරිසේන වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමේ වගකීම මොවුනට පැවරී තිබුනි.

සිරිසේන-වික්‍රමසිංහ සමගි ආන්ඩුව විසින්, එක්සත් ජනපද කඳවුර තුල ශ්‍රී ලංකාව නැංගුරම් ලූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර ක්‍රියාත්මක කලේය.

කෙසේ වෙතත්, ආන්ඩුවේ ප්‍රතිගාමී සමාජ ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරුවන් වැඩි වැඩියෙන් අරගලයට එලැඹීම නිසා “එක්සත්” රජය බිඳී ගියේය. කම්කරුවන් හා සිසුන්ගේ වැඩ වර්ජන හා විරෝධතා, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රන ලෙස හෙලා දැකීමට රත්නප්‍රිය වික්‍රමසිංහ සමඟ එක් විය.

පසුගිය වසරේ ජනාධිපතිවරන සමයේදී, රත්නප්‍රිය “ෆැසිස්ට්” ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, ඇමරිකානු ගැති එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදියකු යයි ප්‍රකාශ කර ඔහුට සහාය දැක්වීය. මෙය විවිධ වෘත්තීය සමිති, ව්‍යාජ-වාම කන්ඩායම්, ශාස්ත්‍රාලිකයන් සහ දෙමල පක්ෂ විසින්, ප්‍රේමදාස පිටුපස ජනතාව පෙල ගැස්වීමට ගෙනයන ලද ව්‍යාපාරයක කොටසකි. කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු‍ ගැන්වීම වැලැක්වීමේ මෙම උද්ඝෝෂනයෙන් ඇත්තටම සිදු කෙරුනේ ගෝඨාභය රාජපක්ෂට ආධාර කිරීමයි.

රත්නප්‍රිය යනු කම්කරු පන්තියේ ස්ථිරසාර සතුරෙකි. පසුගිය දශක දෙක තුල ඔහුගේ දක්ෂිනාංශික දේශපාලන ගමන් මඟ පෙන්නුම් කරන්නේ, ලංකාවේ ධනපති පන්තිය සහ එහි සියලු‍ කොටස් වලට එරෙහිව කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් ඉවත් වී, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගනිමින් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා බලමුලු‍ ගැන්වීමේ අවශ්‍යතාවයයි.