ශ්‍රි ලංකා අගමැතිගේ ඉන්දියානු සංචාරය, ගැඹුරු වන භූ මූලෝපායික එදිරිවාදිකම් සලකුනු කරයි

කේ. රත්නායක
17 පෙබරවාරි 2020

මෙම ලිපිය 2020 පෙබරවාරි 14 දා ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 11දා ඉන්දියාවේ දින හතරක සිය සංචාරය අවසන් කලේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී තෙමසක් තුල කොලඹ ආන්ඩුවේ ප්‍රමුඛ පුද්ගලයින් නවදිල්ලියේ කල තුන්වන සංචාරය මෙය විය.

ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ [Credit: Wikimedia Commons]

ගෝඨාභය රාජපක්ෂ මැතිවරනය ජයගෙන දින තුනකට පසුව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා නායකයාට නවදිල්ලියට පැමිනෙන ලෙස ආරාධනා කිරීම පිනිස සිය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පිටත් කර එවීය. ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් අග දී දෙදින සංචාරයක යෙදෙමින් ඊට ප්‍රතිචාර දැක්වීය. ජනවාරි මස මුලදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන ද සාකච්ඡා සඳහා ඉන්දියාවට ගියේය.

නව ආන්ඩුව චීනය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ අඛන්ඩ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි කොටසකි මෙම සංචාර. අප්‍රිකාව සහ බටහිර ආසියාවේ සිට නැගෙනහිරින් මලක්කා සමුද්‍ර සන්ධිය දක්වා විහිදෙන ප්‍රධාන ඉන්දියානු සාගර මුහුදු මාර්ග හරහා මූලෝපායිකව පිහිටා ඇති දිවයින මත, බීජිනයේ බලපෑමට එරෙහිව කටයුතු කිරීමට වොෂිංටනය සහ නවදිල්ලිය අධිෂ්ඨාන කරගෙන සිටී.

2015 ජනවාරි ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හැර ඒ වෙනුවට, මෛත්‍රීපාල සිරිසේන පත් කිරීම සඳහා වූ එක්සත් ජනපද පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමට ඉන්දියාව සහාය දුන්නේය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයට සහ කොලඹ මර්දනකාරී ඒකාධිපති ක්‍රමවේදයන්ට එක්සත් ජනපදය හා ඉන්දියාව සහාය දුන් අතර, චීනය සමඟ රාජපක්ෂගේ සමීප සබඳතාවලට ඔවුහු සතුරු වූහ. ඉන්දියානු බුද්ධි අංශ නිලධාරීන් සහ විදේශ රටවල් තමාට එරෙහිව කටයුතු කල බව හිටපු ජනාධිපති රාජපක්ෂ පසුව කියා සිටිය ද ඔහු කිසි විටෙකත් ප්‍රසිද්ධියේ ඔවුන් නම් කලේ නැත.

සිරිසේන ජනාධිපති වීමෙන් පසුව, අගමැති රනිල් වික්‍රමසිංහගේ සහාය ඇතිව ඔහු, කොලඹ විදේශ ප්‍රතිපත්තිය, එක්සත් ජනපද හා ඉන්දියානු භූ-මූලෝපායික අවශ්‍යතා සමඟ පෙලගැස්වූ අතර, එක්සත් ජනපද පැසිෆික් අනදෙන මධ්‍යස්ථානය හා චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි සැලැස්ම සමඟ රටේ මිලිටරිය ඒකාබද්ධ කලේය.

එලෙසම, පැවති කොන්ග්‍රස් ආන්ඩුව හා මෝදි ආන්ඩුව, චීනයට එරෙහි වඩ වඩාත් ප්‍රකෝපකාරී ඇමරිකානු මෙහෙයුම් වලදී ඉන්දියාව, ක්‍රමානුකූලව පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය කලේය. ආර්ථික හා භූ මූලෝපායික තරඟකරුවෙකු ලෙස බීජිංහි නැගීම අවහිර කිරීමේ ව්‍යායාමයේදී වොෂින්ටනය, බීජිනයට එරෙහිව යුද්ධයට සූදානම් ය.

සිරිසේන සහ වික්‍රමසිංහ පාලනය 2018 දී බිඳී ගිය ද වොෂිංටනය සහ නවදිල්ලිය කොලඹ සමඟ ඔවුන්ගේ දේශපාලන හා මිලිටරි සබඳතා වඩාත් ගැඹුරු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිති.

අගමැති රාජපක්ෂගේ මෑත සංචාරයේදී කොලඹ සහ නවදිල්ලිය අතර සැලකිය යුතු ගිවිසුමක් අත්සන් නොකල නමුත් මෝදි පැහැදිලි කලේ, තම ආන්ඩුව වර්ධනය නිරීක්ෂනය කරමින් සිටින බවයි.

අගමැති රාජපක්ෂ සමඟ කල සාකච්ඡාවෙන් පසු මෝදි ප්‍රකාශ කලේ, “ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය, ආරක්ෂාව සහ සමෘද්ධිය ඉන්දියාවේ අවශ්‍යතාව පමනක් නොව, සමස්ත ඉන්දීය සාගර කලාපයේම යහපතට හේතු වන” බවයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධනයෙහි “විශ්වාසවන්ත හවුල්කරුවෙකු” බව ඔහු තරයේ කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැවසූ දේ මෝදි යලිත් කියා සිටියේය: “දෙමල ජනතාවගේ අභිලාෂයන් වන, එක්සත් ශ්‍රී ලංකාවක් තුල සමානතාව, යුක්තිය, සාමය සහ ගෞරවය, කොලඹ ආන්ඩුව විසින් ඉටු කරනු ඇතැයි” තමා විශ්වාස කරන බවයි.

ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ, දෙමල ප්‍රභූව සමඟ සීමිත බලය බෙදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකාව තුල ඇති කිරීමයි. කොලඹ ආන්ඩුවල වසර 30 ක යුද්ධයේදී ලේවැකි මර්දනයකට ලක් වූ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන නවදිල්ලියට එතරම් සැලකිල්ලක් නැත. කෙසේ වෙතත්, බලය බෙදා ගැනීමේ වැඩපිලිවෙලක් මඟින් ශ්‍රී ලංකාවේ කටයුතුවලට බලපෑම් කිරීමට සහ ඉන්දියාවේ තමිල්නාඩු ජනතාවගේ දේශපාලන සහයෝගය ලබා ගැනීමට එයින් ඉඩ සැලසෙනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරයි.

චීනය සම්බන්ධයෙන් කොලඹ නව ආන්ඩුව සිටින්නේ කොතැනකදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වන ඉන්දීය මාධ්‍ය, අගමැති රාජපක්ෂගෙන් සමීපව ප්‍රශ්න කලේය.

ඉන්දියානු සාගරයේ ප්‍රධාන බල සන්ධානයන් ගැන සඳහන් කරමින් හින්දුස්ථාන් ටයිම්ස් මෙසේ ඇසීය: “එක් අතකින් ක්වාඩ් ද අනෙක් පැත්තෙන් චීනය සහ රුසියාව වැනි විශාල බලවතුන් ද සිටිති. ඇසුවොත් ශ්‍රී ලංකාව ක්වාඩ් සංවිධානයට සම්බන්ධ වේද? ” ක්වාඩ් හෝ චතුරස්‍රාකාරය යනු එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සම්බන්ධ, චීන විරෝධී මිලිටරි මූලෝපායික සන්ධානයකි.

මෙම ප්‍රශ්නය “තවමත් සාකච්ඡාවට පැමින නැති නමුත් අපට එය කිරීමට අවශ්‍ය නම්, ඒ ගැන මුලින්ම අප අතර කතා කල යුතුය” යනුවෙන් පවසමින් රාජපක්ෂ ප්‍රශ්නය යට ගැසීය.

“චීනයේ එක් තීරුවක් හා එක් මාවතක් මූලිකත්වය (බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව්) [බීආර්අයි] 'නය උගුලක වර්ධනයක් '“ යන මතය ඔහු ද දරා සිටින්නේ දැයි රාජපක්ෂගෙන් විමසන ලදී.

බීජිනයේ අභිලාෂවත් බීආර්අයි ප්‍රවාහන ව්‍යාපෘතිය, යුරේසියාව හරහා ගොඩබිම හා මුහුදු මාර්ගයෙන් චීනයට සම්බන්ධ කිරීම සහ ලෝක වේදිකාවේ එරට ස්ථානය වර්ධනය කර ගැනීම අරමුනු කරයි. “නය උගුල” යන ප්‍රකාශය, බීආර්අයිට විරුද්ධව එක්සත් ජනපදය, යුරෝපීය බලවතුන් සහ ඉන්දියාව යන රටවල් දියත්කර තිබෙන ප්‍රචාරයකි.

රාජපක්ෂ මෙසේ පිලිතුරු දුන්නේය. “ශ්‍රී ලංකාව බීආර්අයි වල කොටසක් වීමෙන් බොහෝ පල ප්‍රයෝජන ලබා ඇත. එහිදී මම ඔබට මතක් කර දෙන්නම් - චීනයට ඇති අපගේ නය අපගේ සමස්ත බාහිර නය වලින් සියයට 12 ක් පමනි. ”

චීනයෙන් සහ වෙනත් තැන්වලින් දිගටම ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන, අරමුදල් හිඟයකට මුහුනපා සිටින ආන්ඩුවක නායකයෙක් ලෙස රාජපක්ෂ, බීජිනය තරහ කර නොගැනීමට ප්‍රවේසම් වෙමින් කියා සිටියේ, කොලඹ පාලනය සිය “නය පැහැර හැර” නොමැති බවයි. “අපි ඔවුන්ගෙන් ලබාගන්නා ඕනෑම මුදලක් භාවිතා කරන්නේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාය.”

දැනට ඩොලර් මිලියන 900 ක් පමන වන ඉන්දියාවෙන් ගෙන ඇති නය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් ඉල්ලා සිටින බව රාජපක්ෂ පැවසීය.

පසුගිය මාසයේ ඉන්දියාවේ කැබිනට් මට්ටමේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් ජනාධිපති රාජපක්ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා කොලඹට පැමිනියේය. සාකච්ඡා වලින් පසුව රාජපක්ෂ ට්විටර් පනිවුඩයකින් කියා සිටියේ, “ජාතික ආරක්ෂාව, බුද්ධි අංශ හුවමාරුව, නාවික ආරක්ෂාව සහ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම පිලිබඳ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් වී තිබෙන” බවයි.

ඩොවාල් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මිලිටරි ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ අතර නාවික පර්යේෂන සම්බන්ධීකරන මධ්‍යස්ථානයක් පිහිටුවීම පිලිබඳව සාකච්ඡා කලේය.

ඩොවාල්ගේ සංචාරයට පෙර චීන විදේශ ඇමති වැන්ග් යී, ජනාධිපති සහ අනෙකුත් දේශපාලන නායකයින් හමුවීමට ශ්‍රී ලංකාවට පැමිනියේ ය. වැන්ග් යී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ මූලෝපායික හවුල්කරුවෙකු වශයෙන් චීනය ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දිගටම පෙනී සිටිනු ඇත. අවශ්‍යයෙන්ම ශ්‍රී ලංකාව සැලකිලිමත්වන අභ්‍යන්තර කාරනාවලට මැදිහත් වීමට කිසිදු බාහිර බලවේගයකට අපි ඉඩ නොදෙමු. ”

මෙම වර්ධනයන්, එක් අතකින්, එක්සත් ජනපදය හා ඉන්දියාව ද අනෙක් පැත්තෙන් චීනය ද අතර වර්ධනය වන භූ දේශපාලනික අතතීන්හි ඉහල අදියරක් සනිටුහන් කරන අතර, එය මෙම න්‍යෂ්ටික බලවතුන් අතර විනාශකාරී යුද්ධයක් කරා ඇදී යයි. චීන විරෝධී පිලිවෙතට බැඳී සිටිය යුතු බව එක්සත් ජනපදය හා ඉන්දියාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට පැහැදිලිවම කියා තිබේ.