විශ්ව විද්‍යාල තුල රාජ්‍ය ඔත්තුකරුවන් වහා ඉවත් කරනු! දේශපාලන සංවිධාන වලට විශ්ව විද්‍යාල තුල පනවා ඇති තහංචි අහෝසි කරනු!

පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල රාජ්‍ය ඔත්තුකරුවන් ක්‍රියාත්මක වන බව එහි උපකුලපතිවරයා, ජනවාරි 3 වැනිදා, ප්‍රසිද්ධියේ ප්‍ර‍කාශ කර ඇත. ඔහු එම ප්‍ර‍කාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට මෙම වසරේ අලු‍තින් බඳවා ගත් ශිෂ්‍ය කන්ඩායම ආමන්ත්‍රනය කරමිනි.

උපකුලපතිවරයාගේ කතාව ඇතුලත් වීඩියෝවක් සමාජ මාධ්‍යයන් හි සංසරනය වන අතර, එම කතාව තුල ඔහු මෙසේ පවසයි: “‍අපි හොඳින්ම දන්නා පරිදි අපි අතරේ රහස් පොලිසියේ කන්ඩායම් ඉන්නවා. ඔවුන් අපට විරුද්ධව වාර්තා කරන්නත් පුළුවන්. ඒක නිසා සියලු‍ දෙනාම ඉතා ප්‍රවේශම් විය යුතුයි. අප දන්නා පරිදි සෑම වසරකම ශිෂ්‍යයන්  විදියට, ආචාර්යවරුන් ලෙස, ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ලෙස බුද්ධි අංශ සාමාජිකයින් 34 ක් හෝ 35 ක් ඉන්නවා. අපි හැමෝම ප්‍රවේසම් විය යුතුයි”‍

මෙම ඔත්තුකරුවන් යොදවා ඇත්තේ විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක වන නවකවදය ආදී ක්‍රියාකාරකම් මැඩලීමට බව උපකුලපතිවරයා ඇගවූ නමුත් එවැනි යාන්ත්‍රනයක සැබෑ අරමුන වනුයේ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ප්‍රවිෂ්ට වන සිසුන් මෙන්ම, අධ්‍යන සහ අනධ්‍යන සේවකයන් දඩයම් කිරීමට ඔත්තු සැපයීම හා ප්‍රකෝපකරනයන් ඇදීමයි.  

මහපොල ශිෂ්‍යාධාර දීමනා වැඩි කිරීම සහ තවත් ඉල්ලීම කිහිපයක් මත විශ්ව විද්‍යාල සිසුන් විසින් ජනවාරි මුල පවත්වන ලද පාගමනට පෙර දින රාත්‍රියේ, ඊට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බියවැද්දීමට, විශ්වවිද්‍යාල සහ නේවාසිකාගාර තුලට පමනක් නොව, ඔවුන්ගේ නිවෙස්වලට පවා පොලිස් නිලධාරීන් යොමු කිරීමෙන්, මෙම ඔත්තුකරුවන් සැබෑවටම යොදා ගැනෙන්නේ කුමක් සඳහාදැයි හෙලිදරව් කෙරෙයි. 

අනුප්‍රාප්තික ආන්ඩු විසින්, විශ්වවිද්‍යාල පරිපාලනයේ සහයෝගය සහිතව, කලෙක සිට මෙම ඔත්තු ජාලයන් පවත්වාගෙන ගොස් ඇති බව උපකුලපතිවරයාගේ ප්‍ර‍කාශයෙන් තහවුරු වෙයි. පේරාදෙනියේ පමනක් නොව, ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයක් තුලම මෙවන් ඔත්තු ජාලයන් ක්‍රියාත්මකවන බව නිසැක ය. 

මේ අනුව, විශ්ව විද්‍යාල සිසුන්ට තම අධ්‍යන කටයුතුවල නියැලීමට සිදුව ඇත්තේ තමන් වෙත නිරතුරුව ඇස ගසාගෙන සිටින ඔත්තු ජාලයක් ක්‍රියාත්මක වන තතු තුලයි. මෙය, එලිමහන් සිර කඳවුරු තුල ජිවත් වීමට සමාන තත්වයකි.

විශ්ව විද්‍යාලය තුල ඔත්තු ජාලයක් ක්‍රියාත්මකවන බව “‍හොඳින්ම දන්නා”‍ බව පවසන උපකුලපතිවරයා, එම ජාලයට අඩංගු ඔත්තුකරුවන් සංඛ්‍යාව ද නිශ්චිතව සඳහන් කරයි. ඉන් තහවුරු වන්නේ, මෙම ඔත්තු ජාලය ඔහුගේ පුර්න දැනුවත්භාවය යටතේ ක්‍රියාත්මක වන බවයි. උප කුලපති මෙම රාජ්‍ය ඒජන්තයන් තබා ගැනීම වහා නතර කලයුතු ය. ඔහු ඔවුන් නම්කොට ඉවත් කිරීමට පියවර ගත යුතුය. 

උපකුලපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, ධනේශ්වර ප්‍ර‍හාරයන්ට එරෙහිව වේගයෙන් වැඩෙන පන්ති අරගල මැඩීම සඳහා, සිරිසේන-වික්‍ර‍මසිංහ පාලනය ඇතුලු‍ පසුගිය ආන්ඩු විසින් වර්ධනය කරන ලද රාජ්‍ය මර්දන යන්ත්‍රය, වත්මන් ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය විසින් නව ඉහලකට ගෙන යමින් සිටියදීය. 

විශ්ව විද්‍යාල, එම මර්දනයේ ප්‍රධාන ඉලක්කයකි. මෙම මස මුලදී උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්ධන විවෘත විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමග පැවති සාකච්ඡාවකදී කල ප්‍රකාශයකින් එය තහවුරු වෙයි. “‍මේ විදියට දිගින් දිගට ම උද්ඝෝෂන, පිකටිං කරන්න කිසියම් අදෘශ්‍යමාන බලවේගයක බලපෑම තිබෙනවා ද කියලා හොයන්න අපට අවශ්‍යයි. මේක දේශීය හෝ ජාත්‍යන්තර උවමනාවක මනදොල සපුරන්නට සිදුකෙරෙන දෙයක් ද කියලා සොයා බැලිය යුතු”‍ යැයි ගුනවර්ධන එහිදී පැවසීය.

සිසුන්ට, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්ට එරෙහිව ඔත්තු ජාලයක්  ක්‍රියාත්මක කරන අතරම, විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල තමන් කැමති දේශපාලනයක යෙදීමට  සිසුන්ට ඇති අයිතිය තහනම් කිරීමට බලධාරීන් ක්‍රියාකර ඇත. ජනවාරි 23 වන දා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයන් පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල දේශපාලන උද්ඝෝෂනයක යෙදෙද්දී ආරක්ෂක අංශය එය වැලක්වූයේය. 

විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති පරාක්‍ර‍ම කරුනාරත්න ට පැමිනිලි කලවිට ඔහු කෙලින්ම ප්‍රකාශ කලේ  “‍පිටස්තර”‍ දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් සසජාතශි ට සිසුන් අතර දේශපාලන සාකච්ඡා ගෙනයාමට අවසර දිය නොහැකි බවත් දේශපාලන පක්ෂවලට විශ්වවිද්‍යාල තුල ක්‍රියා කිරීමට අවසර නැති බවත් ය. එකී තහනම පැනවෙන්නේ කිනම් නීතිමය රෙගුලාසියක් යටතේදැයි ප්‍රශ්න කලවිට ඊට පිලිතුරු සැපයීමට නියෝජ්‍ය උපකුලපති අසමත් විය. මෙය තමන් කැමති දේශපාලනයක් කිරීමට සිසුන්ට ඇති අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. 

සසජාතශි විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව ගෙනයන මෙම ප්‍ර‍ජාතන්ත්‍ර‍-විරෝධී ඔත්තු බැලීමේ වැඩකටයුතු කොන්දේසි විරහිතව හෙලාදකී. 

* එම ඔත්තුකරුවන් හෙලිදරව් කර තම ආයතන තුලින් වහා ඉවත් කිරීමට පියවර ගත යුතු බවට, සෑම විශ්ව විද්‍යාලයකම සිසුන්, ඒවායෙහි පරිපාලනයන්ට කියා සිටිය යුතුය. 

* ඒ සමගම, සිසුන්ට තමන් කැමති දේශපාලනයක් කිරීමට හා පක්ෂයකට බැඳීමට ඇති අයිතියට නීති විරෝධීව පනවා ඇති තහනම ඉවත් කිරීමට සිසුන් නොපමාව සටන් කල යුතු ය. 

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ මෙම සටන සිසුන්ට තීරනාත්මක ය. එනමුදු, විශ්ව විද්‍යාල සිසුන්ගේ නායකත්වයේ  ලැග සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) එවන් සටනකට පරම ලෙසින්ම සතුරු ය. 

විශ්වවිද්‍යාල තුල පැවතිය හැක්කේ “‍ශිෂ්‍ය දේශපාලනය”‍ පමනක් ය යන ප්‍ර‍තිගාමී තර්කය තොරොම්බල් කරමින්, සසජාතශි ඇතුලු‍ අනෙකුත් දේශපාලන සංවිධානවල මැදිහත්වීම් වලට අවිශිබම නිරතුරුවම එරෙහි වෙයි. විශ්ව විද්‍යාල පරිපාලනයේ දේශපාලන තහංචියට මුලු‍මනින්ම සහයෝගී වන මෙම ආස්ථානය ගලා එන්නේ අවිශිබම ට නායකත්වය දෙන, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ව්‍යාජ-වාම දේශපාලනයෙනි. 

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට මුලු‍මනින්ම එරෙහිව සිටින පෙසප, එවන් ව්‍යාපාරයක් වටා සිසුන් බලමුලු‍ ගැන්වීමට සටන් වදින එකම තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සසජාතශි, විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මකවීම වැලැක්වීම සඳහා හැකි සෑම තැනකදීම අවිශිබම මෙහෙයවයි. 

“‍ශිෂ්‍ය සංගමයේ නිලධාරින් ලෙස බුද්ධි අංශ සාමාජිකයින් සිටින”‍ බවට උපකුලපතිවරයා කල ප්‍රකාශය පිලිබඳව අවිශිබම කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතනගෙන් අප විමසූ විට ඔහු ප්‍රකාශ කලේ, ඇතැම් අවස්ථාවල ශිෂ්‍ය සංගම් තුල ඒවායේ ක්‍රියාකාරිකයන් ලෙස ව්‍යාජ නම් වලින් පෙනී සිටි ඔත්තුකරුවන් හඳුනා ගැනීමට ඔවුන්ට හැකිවූ බවයි.

මෙකී රාජ්‍ය ඔත්තු ජාලයන් පිලිබඳව අවිශිබම කලක් තිස්සේ දැනසිටි බව ජිනරතනගේ ප්‍රකාශයෙන් තහවුරු වෙයි. නමුත්, ඒ අන්තරාය පිලිබඳව සිසුන් දැනුවත් කිරීමට සහ ඔත්තුකරුවන් ඉවත් කිරීමට කවර හෝ පියවරක් නොගැනීමෙන්, අවිශිබම එම ජාලය පවත්වාගෙන යාමට අනුප්‍රාප්තික ආන්ඩුවලට සහාය වී ඇත.

තියුනු වන ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වත්මන් ආන්ඩුවට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් පනවන නියෝග එකක් නෑර ක්‍රියාත්මක කිරීමට බලකෙරී ඇත. එම ප්‍ර‍හාරයන්ට එරෙහිව මතුවන මහජන අරගල රුදුරු ලෙස තලා දැමීම සඳහා සෑම අංශයක් තුලම රාජ්‍ය මර්දන යාන්ත්‍රනය පුලු‍ල් කරමින් ආඥාදායක පාලන තන්ත්‍රයක් දෙසට රාජපක්ෂ වේගයෙන් ගමන් කරයි. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස හමුදාවේ ඉහල නිලධාරීන් පත්කිරීම ඇතුලු‍ව සමාජයේ සෑම ක්ෂේත්‍ර‍කම සිදු කෙරෙන මිලිටරීකරනය එහි අත්‍යන්ත අංගයකි.

විශ්වවිද්‍යාල තුල ඔත්තු ජාලයන් ක්‍රියාත්මක කිරීම කම්කරු පන්තියට එරෙහි මෙම පුලු‍ල් ප්‍රහාරයේ කොටසකි. ඉදිරියේදී එම ජාලයන් වඩාත් තරකොට, අරගල වලට ප්‍රවිෂ්ට වන සිසුන් සහ කම්කරුවන් රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගසා, ඔවුන් දඩයම් කිරීමේ වඩා නිර්දය මෙහෙයුම් කරා යොමු කෙරෙනු ඇත. 

ධනපති ආන්ඩු විසින් විශ්ව විද්‍යාල තුල ගෙනයන මර්දනීය පිලිවෙත් වලට එරෙහි වෙමින් සිසුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාකාරීව මැදිහත්වන ලෙස කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.    ඒ සඳහා විශ්ව විද්‍යාල ආශ්‍රිතව කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමටත්, ඒවාට සිසුන් සහ අවශේෂ කම්කරුවන් සම්බන්ධකර ගැනීමටත්,  පෙරට එන ලෙස විශ්ව විද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන සේවකයන්ට අපි යෝජනා කරන්නෙමු. 

සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ කම්කරු පන්තිය වෙතට හැරී  සිය අරගලය සඳහා සහයෝගය දිනා ගන්නා ලෙසයි. මන්ද යත්, ධනපති ආන්ඩුවේ මර්දනය පරාජය කිරීමට හා එහි මූලය වන ධනපති පාලනය පෙරලා දැමීමට සමත් බලවේගය එය බැවිනි.   

ධනපති ක්‍ර‍මයේ පද්ධතිගත අර්බුදයෙන් ගලා එන මෙම ප්‍රහාරයන්, ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. එබැවින්, රාජ්‍ය මර්දනය පරාජය කොට අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ අරගලය, ධනපති ආන්ඩු සහ ධනපති ක්‍ර‍මය පෙරලා දැමීම එල්ලකර ගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය මත පාදක විය යුතුය.

අවිශිබම මෙම ඉදිරිදර්ශනයට මුලු‍මනින්ම සතුරු ය. සිසුන්, කම්කරු පන්තිය දෙසට හැරීම දැනුවත්ව  වලකාලන අවිශිබම, ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමේ විරෝධතා තුල ඔවුන් යලියලිත් සිරකොට තබයි.

සසජාතශි  දේශපාලන වැඩකටයුතු ධනපති ආන්ඩුවේ ප්‍රතිගාමිත්වයට මෙන්ම, සිසුන් දේශපාලනිකව නිරායුධ කරන අවිශිබමයේ මෙම බංකොලොත් දේශපාලනයට ද විරුද්ධය. ලෝක ධනපති පන්තියේ සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයන්ට සහ අධිරාජ්‍යවාදී ලෝක යුද තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමට සසජාතශි උරදී සිටියි.

විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වන ඔත්තු ජාලයන් සහ දේශපාලන තහංචි වහාම ඉවත් කරන ලෙස ඉල්ලා, සසජාතශි විසින් උද්ඝෝෂන, රැස්වීම් සහ සාකච්ඡා ගොඩනැගීමට තීන්දු කර ඇත. මෙම අරගලය ක්‍රියාශීලීව සහභාගි වන ලෙසත්, විශ්වවිද්‍යාල තුල සසජාතශි ශාඛා ගොඩනැගීමට පෙරට එන ලෙසත්, සියලු‍ සිසුන්ගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

Loading