ශ්‍රී ලංකාවේ ආන්ඩුව කහටගහ මිනිරන් පතල පුද්ගලීකරනය කිරීමට සැරසෙයි

මෙම ලිපිය 2020 පෙබරවාරි 17 දින ඉංග්‍රීසියෙන් පලවිය

සීමාසහිත කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම (කේජීඑල්එල්) පුද්ගලික ආයෝජකයෙකු සමග රාජ්‍ය-පුද්ගල ඒකාබද්ධ ව්‍යවසායයක් බවට පත්කිරීමේ කැබිනට් පත්‍රිකාවකට ජනාධිපති රාජපක්ෂගේ කැබිනට්ටුව අනුමැතිය දී තිබේ.

කර්මාන්ත හා වානිජ ඇමති විමල් වීරවංශ අදාල සැලසුම ඉදිරිපත් කර ඇති බව හා එම අමාත්‍යාංශය “කහටගහ මිනිරල් පතල්වලට වටිනාකම් එකතු කිරීම සඳහා සුදුසු පාර්ශවකරුවෙකු සොයාගැනීම පිනිස ජාත්‍යන්තර මිල කැඳවීම් කිරීමට නියමිත” බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන පෙබරවාරි 5දා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ය. දැනට වටිනාකම් එකතු නො කල අමු මිනිරන් පතලෙන් අපනයනය කරන බව වීරවංශ කැබිනට්ටුවට ප්‍රකාශ කර ඇත.  

කැබිනට් පත්‍රිකාව පිලිබඳ අනෙකුත් විස්තර ප්‍රසිද්ධ කර නැති අතර, එය  සමාගම ලාබ ලබන තත්ත්වයට පත්කිරීම පිනිස, නිෂ්පාදනය ඉහල දැමීමට හා   රැකියා කප්පාදු කිරීමට කලමනාකාරීත්වයෙන් උත්සන්න කෙරෙන  ඉල්ලීම්වලට කම්කරුවන් මුහුන දෙනු ඇති පතල සම්පූර්නයෙන් පුද්ගලීකරනය කිරීමට තැබූ පලමු පියවරකි. එම පියවර ගැනෙන්නේ,  ලංකාවේ රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනය කිරීමට ජාත්‍යන්තර මූල්ල්‍ය අරමුදල (ජාමූඅ) කරන නියෝග සමගිනි.

පතල රාජ්‍ය-පුද්ගල ඒකාබද්ධ ව්‍යවසායයක් බවට පරිවර්තනය කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම් ඉදිරියට දමා ඇත්තේ, පසුගිය මාසයේ පතලේ කම්කරුවන් 130 දෙනා නිරත වූ තෙදින වැඩ වර්ජනයෙන් හා උපවාස විරෝධතාවෙන් අනතුරු ව ය. රජයට අයත් පතල දැනට මසකට මිනිරන් මෙටි්‍රක් ටොන් 65-70ක් පමන නිෂ්පාදනය කරයි.

ජනවාරි 21දා  පතල් කම්කරුවන්ගේ වර්ජනය ආරම්භ කෙරුනේ ඔවුන් සාමාජිකත්වය දරන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) හා එක්සත් ජාතික පක්ෂයට (එජාප) අනුබද්ධ නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමය ට  පිටින් ය. ශ්‍රීලනිප වෘත්තීය සමිතිය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) නායකත්වය දෙන ආන්ඩුවට සහයෝගය දෙයි.

කහටගහ පතල වාඩිලාගෙන සිටින කම්කරුවන්

ඉහල වැටුප් හා යහපත් සේවා කොන්දේසි ඉල්ලා වර්ජනයේ යෙදුනු කම්කරුවන් පතල් කර්මාන්ත හා වානිජ ඇමති විමල් වීරවංශ, ඔවුන්ගේ  දෛනික වැටුප මුස්පේන්තු  ලෙස රුපියල් 50කින් වැඩිකිරීමට හා අනෙකුත් ඉල්ලීම් මේ මාසය අවසන් වන විට ඉටුකරන බවට පොරොන්දු වීමෙන් පසු, වර්ජනය  අවසන් කලේ අකමැත්තෙනි.

ආන්ඩුවේ  ඉරිදා  සිළුමින, පත්‍රය  “ගැඹුරුතම පතලේ ප්‍රශ්නය සරල සාකච්ඡාවකින් විසඳෙයි” යන උද්ධෘතයෙන් යුත් වර්ජනය පිලිබඳ ලිපියක් ජනවාරි 25දා පලකලේ ය.     “කම්කරුවන්ගේ වීරයෙකු” ලෙස ඇමතිවරයා ව උත්කර්ෂයට නැංවූ පුවත්පත, රැවටිලිකාරී පතල් කලමනාකාරීත්වයේ පැත්ත ගනිමින් ආන්ඩුවට ස්තුති කලේ ය.

අමාත්‍යාංශය විසින් රෝපනය කරන ලදැයි පෙනෙන මෙම ව්‍යාජ කතන්දරය, ඉතිහාසයේ පලමු වතාවට කම්කරුවන්ගේ සියලු‍ ඉල්ලීම් ප්‍රදානය කරන ලද බව ව්‍යාජ ලෙස කියා සිටියේ ය. කම්කරුවන්ගේ සියලු‍ ඉල්ලීම්වලට එකඟ වනවා වෙනුවට සති කිහිපයක් තුල ඇමති වීරවංශ කර ඇත්තේ, පතල පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාමාර්ගයට මුලපිරීමය. 

වර්ජනයේ යෙදී සිටින කහටගහ පතල් කම්කරුවෝ

2016 දී කහටගහ මිනිරන් පතල පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව දැරූ උත්සාහයන්, පතල් කම්කරුවන්ගේ දැඩි විරෝධයට ලක් විය. එම වසරේ ඔක්තෝබර් මාසයේ දී, කම්කරුවෝ දින හතක් පුරා වැඩ වර්ජනයක හා උපවාසයක  නිරත  වූ හ.

පතල රාජ්‍ය-පුද්ගල ව්‍යවසායයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාව, රජයට අයත් අනෙකුත් සංස්ථාවන් ද පුද්ගලීකරනය කිරීම පිනිස ශ්‍රීලපොපෙ නායකත්වය දෙන ආන්ඩුවෙහි පලල් සැලසුම්වල කොටසකි.

දැනට අකර්මන්‍ය සියලු‍ රජයට අයත් ව්‍යවසායයන් රාජ්‍ය-පුද්ගල ව්‍යවසාය සැලසුම් හරහා “යලි පනගන්වන”  බව පෙබරවාරි 10දා වීරවංශ මාධ්‍ය ට  ප්‍රකාශ කලේ ය. එවන් කියාපෑම් ව්‍යාජ ය. රාජ්‍ය-පුද්ගල සැලසුම්        යොදාගනු ලබන්නේ, විශාලතම පුද්ගලික ආයෝජකයන් හා ලාබය සඳහා ධාවනය විසින් සියලු‍ කලමනාකරන තීරන ගන්නා අතරතුර, රැකියා විනාශය හා පුද්ගලීකරනයේ අනෙකුත් සමාජීය වසයෙන් ප්‍රතිගාමී ප්‍රතිඵල කෙරෙහි කම්කරුවන් අතර පවතින සාධාරන උත්සුකයන් අපසරනය කිරීමට ය.

නැගෙනහිර පලාතේ වාලච්චේන කඩදාසි කම්හල  හා උතුරේ ලු‍නු ලේවාය, රාජ්‍ය-පුද්ගල මෙහෙයුම් බවට පරිවර්තනය කිරීම සඳහා සලකුනු කරනු ලැබ ඇති බව වීරවංශ මෑතක දී නිවේදනය කලේ ය. වාලච්චේන කඩදාසි කම්හල දැනට මිලිටරිය විසින් අලු‍ත්වැඩියා කරමින් තිබේ.

යුද්ධයෙන් ඉරිතැලු‍නු උතුරේ මුලතිවු ප්‍රදේශයේ ඔඞ්ඩුසුඩාන්හි පිහිටි රජයට අයත් ලංකා පිඟන් සංස්ථා කර්මාන්තශාලාව, ශ්‍රී ලංකාවේ පවුලකට අයත් විශාලතම ව්‍යාපාර සමූහයක් වන සැම්සන් රජරට ටයිල් පුද්ගලික සමාගම සමග  ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට නියමිත ය. වීරවංශ කියන ආකාරයට, ඔඞ්ඩුසුඩාන් කර්මාන්තාශාලාවේ ගොඩනැගිලි හා යන්ත්‍ර සූත්‍රවල අයිතිය ලංකා පිඟන් සංස්ථාව යටතේ පවතිනු ඇති නමුත්, නිෂ්පාදනය සැම්සන් රජරට ටයිල් සමාගම සමග ඒකාබද්ධ ව කරනු ඇත.

ලංකා ඛනිජ වැලි සමාගම විසින් නිස්සාරනය කරනු ලබන ඛනිජ වැලිවලින් නිපදවන “වටිනාකම් එකතුකල” අපනයනයන් වර්ධනය කිරීම සඳහා ද රාජ්‍ය-පුද්ගල මෙහෙයුමක් ස්ථාපනය කිරීමට කැබිනට්ටුව අනුමැතිය දී තිබේ.

ලංකාවේ පාලක ප්‍රභූව උත්සුක වන්නේ රට අමුද්‍රව්‍ය ද අපනයනය කිරීම මත රඳාපැවතීම අහෝසි කරමින්, එම භාන්ඩ ලෝක වෙලඳපොලට සපයන වටිනාකම් එකතුකල නිෂ්පාදනයන් බවට පරිවර්තනය කිරීම කෙරෙහි ය. 

කහටගහ මිනිරන් මෙටි්‍රක් ටොන් එකක් ගෝලීය වෙලඳපොලේ එක්සත් ජනපද ඩොලර් 2,000කට විකිනුව ද මිනිරන්වලින් නිස්සාරනය කරන ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් ඩොලර් 5,000කට විකිනිය හැකි බව රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ කමිටුවක දී පසුගිය සැප්තැම්බර් 18දා ආන්ඩුවේ නිලධාරියෙක් අනාවරනය කලේ ය.. බැටරි නිෂ්පාදනය, ජලය පිරිපහදු කිරීම, මලකෑම වලකන තීන්ත හා බහු-අවයවික සංයුක්ත ද්‍රව්‍ය සඳහා ග්‍රැෆීන් යොදාගනු ලැබේ.

රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම සඳහා කලින් පැවති රජය කල සැලසුම් දැන් රාජපක්ෂගේ ශ්‍රීලපොපෙ තන්ත්‍රය විසින් ඉදිරියට ගෙනයනු ලබයි. ජාතික ආර්ථිකයක් යලි පනගැන්වීම පිලිබඳ සියලු‍ පූච්චානම් ප්‍රෝඩාවක් වන අතර, එය රට විදේශ ආයෝජකයන් සඳහා ලාබ උපයන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් වසන්  කිරීමේ උත්සාහයකි.

මෙම සැලසුම් සමග එකට ගැලපෙන පරිදි,  2008 දී පලමු වරට හඳුන්වා දෙන ලද මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත ජනාධිපති රාජපක්ෂ විසින් මෑත දී යලි සක්‍රීය කර ඇත. එය විදේශ ආයෝජකයන්ට ඇඟ කිලිපොලා යන 25-අවුරුදු බදු නිදහසක් සම්පාදනය කරයි. රජයට අයත් ලාබ නො ලබන හා නය බරින් මිරිකුනු සමාගම්වලට  ආධාර මුදල් සපයන්නේ නැති බව ද ආන්ඩුව අවධාරනය කර තිබේ.

ආන්ඩුවේ කප්පාදු පියවරයන් කෙරෙහි  කම්කරු පන්තිය අතරින් පැනනගින මහජන විරෝධය මතට ඉතා හොඳින් සූදානම් කල ප්‍රහාරයක් එය විසින් සංවිධානය කරමින් තිබෙන බව ලෝසවෙඅ කහටගහ පතල් කම්කරුවන්ට පෙබරවාරි 7දා අනතුරු ඇඟවී ය.

“තම සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියට එමින් සිටින අනෙකුත් කම්කරුවන්  මෙන්  ම කහටගහ මිනිරන් පතල් කම්කරුවන් ද හුදෙක් පතලේ කලමනාකාරීත්වයට පමනක් නො ව,  ආන්ඩුවේ ආයෝජක-හිතවාදී පිලිවෙත්, ජාමූඅ-නියෝග කරන කප්පාදු, ආඥාදායක තන්ත්‍රයක් දෙසට වන ධාවනය හා  ලාබ පද්ධතියට මුහුන දී සිටින”‍ බව  ලෝසවෙඅ ලිවී ය.

කහටගහ පතල රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ආන්ඩුව ගෙන ඇති තීරනය මෙම අනතුරු ඇඟවීම සනාථ කර තිබේ. රැකියා ආරක්ෂා කරගැනීමට ද හොඳ වැටුප් හා කොන්දේසි දිනාගැනීමට ද මිනිරන් පතල් කම්කරුවන් හා අනෙකුත් රාජ්‍ය-අංශ කම්කරුවන් ගෙන යන සටන ධනවාදය යටතේ තහවුරු කරගත නො හැකි අතර, එය කල හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් යටතේ කම්කරුවන්ගේ පාලනය හා සමාජවාදී සැලසුම් සඳහා සටන් කිරීමෙනි.

ඒ සඳහා කම්කරුවන්ට වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව හා ඒවාට එරෙහි දේශපාලන අරගලයකින් ගොඩනගන ඔවුන්ගේ ම සංවිධාන -එනම්, ඔවුන්ගේ ම අවශ්‍යතා සඳහා සටන් කිරීමටත් කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමග සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත තමන්ගේ අරගලය සම්බන්ධීකරනය කිරීම සඳහාත් වන ක්‍රියාකාරී කමිටු අවශ්‍ය වේ.

කතුවරයා නිර්දේශ කරන තවත් ලිපි

ශ්‍රී ලංකාවේ කහටගහ පතල් කම්කරුවන් සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් වැදිය යුතු ය

(7 පෙබරවාරි 2020)

ශ්‍රී ලංකාවේ මිනිරන් කම්කරුවෝ සසප උද්ඝෝෂකයන් සමග කතාකරති

(9 අගෝස්තු 2012)