කොරෝනා වෛරසය යුරෝපය පුරා පැතිරෙයි

මෙම ලිපිය 2020 මාර්තු 11 දා ඉංග්‍රීසි බසින් පලකෙරිනි.

යුරෝපය තුල ගෝලීය වසංගතයේ කේන්ද්‍රස්ථානය වන ඉතාලිය,  වෛරසය පැතිරීම නැවැත්වීමේ අරමුනින් රටපුරා අඩස්සියක්  ක්‍රියාත්මක කරන අතර ස්පාඤ්ඤය, ග්‍රීසිය, ප්‍රන්සය සහ ජර්මනිය තුල කලාපීය නිරෝධායන පනවා ඇත. රෝගය ස්කැන්ඩිනේවියාව හරහා බෝල්කන් ප්‍රදේශවලටද්ශවලට ඇතුලු විය.

ඉතාලියේ නව රෝගීන් 977 ක් හා මරන 168 ක් වාර්තා වූ අතර එය කොරෝනා වෛරස් වසංගතය  පැය 24 ක කාලයක් තුල වාර්තා කල විශාලතම සංඛ්‍යාව විය. ඒ තතු තුල ඉතාලියේ සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවැටීමේ අද්දරට ගෙන එනු ලැබීය. ඉතාලියේ රෝගීන් සංඛ්‍යාව 10,149 ක් වන අතර මරන 631 කි. වර්තමාන මරන අනුපාතය සියයට 6.2 කි. බ්‍රිතාන්‍ය එයාර්වේස්, රයන්එයා සහ එයාර් ප්‍රාන්ස් ඇතුලු බහුවිධ ගුවන් සමාගම් ඉතාලියට ගුවන් ගමන් නතර කල අතර ඔස්ට්‍රියාව සහ ස්ලොවේනියාව සිය ඉතාලි  දේශසීමා වසා දැමීය.

විශේෂයෙන් උතුරු ඉතාලියේ වසංගත රොගීන්ගෙන් රෝහල් පිරී යාම නිසා මාරාන්තික අනුපාතය ඉහල යමින් පවතී. වෛද්‍ය කාර්ය මන්ඩලය පැය 14 ක වැඩ මුරයක් සහ ඇඳන් සිය ගනනක් ඉතා බරපතල තත්වයේ කොරෝනා වෛරස්  රෝගීන් සඳහා වෙන් කර තිබුන ද කෘත්‍රිම වාතාශ්‍රය අවශ්‍ය වන අතර, රෝහල් තවමත් රෝගීන් හරවා යවනු ලැබේ. “අපට තවමත් බරපතල ශ්වසන ආබාධ ඇති රෝගීන් ඇතුලත් කර ගත හැකි නමුත් ද්විපාර්ශ්වික නියුමෝනියාව ඇති අය, ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර බැලිය යතු අතර ඔවුන් ගෙදර යැවිය යුතුයි” යනුවෙන් බර්ගමෝ වෛද්‍ය සංගමයේ ගයිඩෝ මැරිනෝනි ඩර් ස්පීගල්ට වෙත පැවසීය.

මුහුනු ආවරන සහ අත්වැසුම් පැලඳ සිටින සේවකයෙකු ඩසල්ඩෝෆ් හි කොරෝනා රෝග විනිශ්චය මධ්‍යස්ථානයේ දොර පිටුපස ඊලඟ රෝගියා එනතුරු බලා සිටී. (ඒපී ඡායාරූපය / මාටින් මීස්නර්)

“වසර ගනනාවක් තිස්සේ ඉතාලියේ සෞඛ්‍ය සේවා පද්ධතිය කප්පාදුවට ලක්ව ඇත. ඇඳන් අඩු කර, හෙදියන්ට අඩු වැටුප් ගෙවා ඇත” යනුවෙන් සඳහන් කරමින් ප්‍රවෘත්ති සඟරාව ,මිලාන්හි ලුයිගි සාකෝ රෝහලේ ප්‍රධාන වෛද්‍ය මැසිමෝ ගැලි උපුටා දක්වමින් කියා සිටියේ , වෛරස් විද්‍යාඥයින්, අභ්‍යන්තර වෛද්‍යවරුන් සහ ශ්වසන රෝග විශේෂඥයින් “හදිසි අවශ්‍යතාවයක්” බවයි .  ඔහු පැවසුවේ, “අධික ලෙස  ආසාදනය වූ කොරෝනා වෛරසයෙන් මරනයට පත්වේ යැයි සිතන ඕනෑම අයෙක් කරුනාකර අපගේ දෙපාර්තමේන්තුවට එන්න.”

ලොම්බාර්ඩි හි ප්‍රාදේශීය සෞඛ්‍ය කොමසාරිස් ජියුලියෝ ගලෙරා අනතුරු ඇඟවූයේ, “හදිසි කාමරවල සහ දැඩි සත්කාර ඒකකවල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව මෙතරම් වේගයෙන් වැඩිවීමේ  කොන්දේසි යටතේ සති දෙකක් හෝ තුනක් අපට මේ තත්වයවත් පවත්වා ගත නොහැක” යනුවෙනි. වෛද්‍යවරයකුට ඇති ශාරීරික හා මානසික ආතතිය පෙන්නුම් කරමින් “මම අද උදේ කෘතීම ශ්වසන යන්ත්‍රයට  සම්බන්ධ කල රෝගියාගේ ඇස් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

සියලුම විශාල මහජන එක්රැස්වීම් අත්හිටුවා, පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා, නගර මධ්‍යස්ථාන හිස්ව, ඉතාලියේ ආර්ථිකය එක දිගට කඩා වැටෙමින් තිබේ. සාප්පු හිමියෝ සිල්ලර බඩු රාක්ක පිරිසිදු කර ආහාර ගබඩා කරති. ඉතාලි භාන්ඩාගාරයේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ලොරෙන්සෝ කොඩොග්නෝ රොයිටර් පුවත් සේවයට පැවසුවේ, ඉතාලියේ සාමාන්‍ය දෛනික දල දේශීය නිෂ්පාදිතය සාමාන්‍ය මට්ටමට වඩා සියයට 10 ත් 15 ත් අතර ප්‍රමානයකින් පහත වැටී ඇත. එම නිසා වෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා නිරෝධායනය දිගුකලක් පවත්වාගෙන යාමට සිදුවුනොත් ඉතාලිය, ගැඹුරු අවපාතයකට ඇද වැටෙනු ඇත. මේ අතර, මිලියන ගනනක කම්කරුවන්  සිය ජීවිත ගැන අවිනිශ්චිතව සිටී.

ආර්ථික සංවර්ධන අමාත්‍ය ස්ටෙෆානෝ පටුනෙල්ලි යුරෝ බිලියන 10 ක ඇප ප්‍රධානයක් ඉල්ලා ඇති අතර, ඒබීඅයි බැංකු ලොබිය කියා සිටියේ , කොරෝනා වෛරස් අර්බුදයෙන් බලපෑමට ලක්වූ පවුල් සහ ව්‍යාපාර සඳහා උකස් ගෙවීම් අත්හිටුවිය හැකි බවයි. මෙය, ප්‍රධාන පොදු ඇප  අරමුදල් වලට ප්‍රවිෂ්ට වීමේ උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, පටුනෙල්ලි විසින් යෝජනා කරන ලද මුදල මුලුමනින්ම ප්‍රමානවත් නොවේ. එය දශක ගනනාවක් තිස්සේ පනවා ඇති යුරෝ බිලියන ගනනක යුරෝපා සෞඛ්‍ය කප්පාදුවලට විසඳුම් ලබා දීමට අපොහොසත් වනවා පමනක් නොව, පාසැල් වසා දැමීම් සඳහා, අවපාතය හමුවේ සමූහ දොට්ට දැමීම්වලට මුහුන දෙන කම්කරුවන්ට, ලමා රැකවරනය සඳහා, නැතිවූ වැටුප් සහ වෛද්‍ය බිල්පත් සඳහා කිසිවක් ලබා නොදේ.

කෙසේවෙතත්, යුරෝපය පුරා මහා නිරෝධායන ක්‍රියාත්මක කිරීම හෝ ඊට සූදානම් වීමක් සිදු වෙමින්  තිබුන ද මහාද්වීපය පුරා රෝගය පැතිරීම  හමුවේ රෝහල් පද්ධති බිඳ වැටීමේ තර්ජනය මතු කරයි. රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ග්‍රීසිය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල් සහ විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දමන බව නිවේදනය කලේය. මාර්තු 9 වන දින මැදපෙරදිග සංචාරය කල 40 හැවිරිදි කාන්තාවක්  කොරෝනා වෛරස්  රෝගියෙකු යයි ලෙස්බොස් දූපතේදී හඳුනා ගැනීම විශේෂ අවධානයට ලක්විය.

ලෙස්බොස් යනු තුර්කියට ආසන්න ඊජියන් මුහුදේ ඇති දූපතකි. මැදපෙරදිග යුද්ධ සහ දරිද්‍රතාව නිසා පලා යන දස දහස් සංඛ්‍යාත සරනාගතයින් බිහිසුනු තත්වයන් යටතේ තබා ඇති කුප්‍රකට මොරියා රැඳවුම් කඳවුර පිහිටියේ මෙම දූපතෙහිය. යුරෝපා සංගමය විසින් පනවන ලද දුගී භාවයේ ද සෞඛ්‍යයට අහිතකර කොන්දේසි යටතේ ද ජීවත් වන දස දහස් ගනනක් සරනාගතයින් අතර මෙම බෝවන හා මාරාන්තික රෝගය පැතිර යාමේ  ආසන්න අවදානමක් දැන් පැනනැඟී තිබේ. එහි පමනක් මරන සංඛ්‍යාව දහස් ගනනක් දක්වා ඉහල යා හැකිය.

ප්‍රන්සයේ ලෙඩුන් ප්‍රමානය 372 කින්  වැඩිවී 1,784 ක් දක්වා ඉහලගොස් ඇති අතර , ස්පාඤ්ඤය 10දා සියලුම අධ්‍යාපන මධ්‍යස්ථාන වසා දමා ,මැඩ්රිඩ්, ලා රියෝජා සහ විටෝරියා සහ ලැබස්ටිඩාහි බාස්ක් නගරවල දහසකට අධික පිරිසක්  සම්බන්ධ වන ගෘහස්ත සිදුවීම් තහනම් කර ඇත.  ස්පාඤ්ඤයේ  ලෙඩුන් සංඛ්‍යාව  1674 දක්වා 443න් ඉහල නැඟ තිබේ. 2008-2009 අර්බුදයෙන් පසු යුරෝපා සංගමයේ වියදම් කප්පාදු නිර්දේශ ක්‍රියාත්මක කිරීම හමුවේ යුරෝ බිලියන 15 ත් 21 ත් අතර ප්‍රමානයකින් සෞඛ්‍ය සේවා ප්‍රතිපාදන අඩුකර ඇති ස්පාඤ්ඤ සෞඛ්‍ය සේවා යේ පද්ධතිය ද කොරෝනා වෛරසය විසින් ගිල දැමීමේ අවදානමක් පවතී .

බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය අතර, සම්පත්හිඟකම පිලිබඳ ජාතික සෞඛ්‍ය සේවා කාර්ය මන්ඩලයේ   දැඩි කනස්සල්ල මධ්‍යයේ , නව රෝගීන් 54 ක් කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂන වලින් අනාවරනය වී ඇත. එක්සත් රාජධානියේ වැසියන් 1,000 කට ඇත්තේ ඇඳන් 2.5 ක් පමනකි. එය යුරෝපයේ දෙවන අඩුම අනුපාතය වන අතර , රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යන තතු තුල, දරුනු අවදානමට ලක් වේ.

ජර්මනිය පුරා කොරෝනා වෛරස් ආසාදන සීග්‍රෙයන් ඉහල යාම  තුල 9දා වෛරසයට සම්බන්ධ පලමු මරන දෙක වාර්තා වූ අතර, ජර්මානු බලධාරීන් වඩාත් දැඩි හා මංමුලා සහගත පියවර ගැනීමට පටන් ගෙන තිබේ.

බර්ලින් අගනුවර සංස්කෘතික ජීවිතය මුලුමනින්ම පාහේ ඇනහිටිමින් තිබේ. 10දා සවස බර්ලිනයේ සංස්කෘතික සෙනෙට් සභික ක්ලවුස් ලෙඩරර් (වාම පක්ෂය) අධ්‍යක්ෂවරුන් සමඟ එකඟතාවයකින් යුතුව පාස්කු නිවාඩු කාලය අවසන් වන තෙක් රාජ්‍ය සිනමාහල්, ඔපෙරා සහ ප්‍රසංග ශාලා වල සියලුම උත්සව අවලංගු කිරීමට තීරනය කර ඇත. එනම් අප්‍රේල් 19දා වනතෙක්. විශාල පෞද්ගලික සිනමාහල් ද මෙලෙස කටයුතු කල යුතු යයි ඔහු නිර්දේශ කලේය.

කොලෝන් නගරයේ, ලිට්. දිකොලෝන් යන  අවස්ථා 200 කට වැඩි ප්‍රමානයක් සහ නරඹන්නන් 100,000 කට අධික සංඛ්‍යාවක් රැස්වන යුරෝපයේ විශාලතම සාහිත්‍ය උලෙල අත්හිටුවා තිබේ. සැලසුම් කරන ලද විවෘත කිරීමේ දිනයේදී ම නගරාධිපති හෙන්රියාට් රෙකර් විසින් උත්සවය අවලංගු කරන ලදී. “වර්තමාන තත්වය තලෙ ආසාදන දම්වැල බිඳ දැමීමට හැකි සෑම දෙයක්ම අප විසින් කල යුතුයි” යනුවෙන් ඇය පැවසුවාය. “එබැවින්, ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශවලට එරෙහිව මම, ලිට් කොලෝන් උත්සවය මේ අවස්ථාවේ නොපැවැත්විය යුතු බවට නියෝග කරන්නෙමි.”

සැක්සොනි-ඇන්හාල්ට් හි නව ආසාදන හතරක් වාර්තා වීමත් සමඟ, ජර්මනියේ සියලුම ෆෙඩරල් ප්‍රාන්තවලට දැන් කොරෝනා වෛරසයේ බලපෑම එල්ලවී ඇත. ජර්මනිය පුරා දැන් රසායනාගාර පරීක්ෂන වලින් තහවුරු වූ රෝගීන් 1,296 ක් සිටී. 

වෛරසය පැතිරීම හේතුවෙන් ෆෙඩරල් ප්‍රාන්ත හයක් මේ වන විට පුද්ගලයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් එකතුවන අවස්ථා තහනම් කර ඇත: බැවේරියා (අප්‍රේල් 10 දක්වා), නෝර්ත් රයින්-වෙස්ට්ෆේලියා (අනිශ්චිත කාලයකට), හෙස්සි, තුරින්ජියා, පහල සැක්සනි, බ්‍රෙමන් සහ ෂෙල්ස්විග්-හොල්ස්ටයින්. තුරින්ගියාවේ පුද්ගලයින් 500 කට වැඩි සංඛ්‍යාවක් රැස්වන අවස්ථාවන්හිදී පවා විශේෂ අනුමතියක් ගත යුතුය. රයින්ලන්ඩ්-පලටිනේට්, හෙස්සි සහ සාර්ලන්ඩ් විශාල සිදුවීම් පමනක් අවලංගු කර ඇත.

බැවේරියානු ප්‍රාන්ත ආන්ඩුව 9දා තීරනය කලේ, අමුත්තන් දහසකට වැඩි  උත්සව තහනම් කිරීමට ය. මෙය මුලදී ශුද්ධවූ සිකුරාදා දක්වා බලාත්මක වන නමුත් එය දීර්ඝ කල හැකිය. බොහෝ පාපන්දු තරඟවලට පමනක් නොව වසන්ත උත්සව හා ඩැචාවූ ගාල් කඳවුර මුදා ගැනීමේ 75 වන සංවත්සර සැමරුමට ද එය බලපානු ඇත.

විශේෂයෙන් මිලියන ගනනක් වයස්ගත පුරවැසියන්ට ක්ෂනික මාරාන්තික අවදානමක් ඇත. බර්ලිනයේ සුප්‍රසිද්ධ චරිටා හි වෛරස් විද්‍යා ආයතනයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ඩ්‍රොස්ටන් සිය දිනපතා පෝඩ්කාස්ට් හි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එසේ නොවුවහොත් මෙම වයස් කාන්ඬයෙන් පීඩාවට පත් වූවන්ගෙන් හතරෙන් එකක් පමන මිය යා හැකිය.

තමන්ගේ මුනුබුරු මිනිබිරියන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හා සමාජ ජීවිතය සීමා කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග සුදුසු වන්නේ මේ නිසා ය. තරුන පරම්පරාවන්ට තත්වය පැහැදිලි කරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමින් ඔහු මෙසේ  ද පැවසීය: “අපි ඔවුන් සමඟ කතා කර ඔවුන්ට මෙහි බරපතලකම පැහැදිලි කල යුත්තෙමු”. මෙම කන්ඩායමේ සමාජ ජීවිතය “මාස කිහිපයක්” නැවැත්විය යුතු යැයි ඩ්‍රොස්ටන් පැවසීය. පසුව ඔහු මෙසේ අනතුරු ඇඟවීය: “අනුපාත සියයට 20 ක පරාසයක පවතිද්දී, ඔබ මෙය බැරෑරුම් ලෙස නොසලකන්නේ නම්, මෙම පුද්ගලයින්ගෙන් සියයට 25 ක් මිය යනු ඇතැයි ඔබ සිතිය යුතුය.”

සෞඛ්‍ය සේවකයින්ගෙන් එන අනතුරු ඇඟවීම් පාලක පන්තිය විසින් ප්‍රදර්ශනය කරනු ලබන මිනිස් ජීවිතය පිලිබඳ වගකීම් විරහිතභාවයට හා නොසැලකිලිමත්කමට වඩා හාත්පසින්ම වෙනස් ය. “ජර්මනියේ ජනතාවගෙන් සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැ” යි චාන්සලර් ඇන්ජෙලා මර්කල් (සීඩීයූ) 10දා පැවති පාර්ලිමේන්තු කන්ඩායම් රැස්වීමේදී පැවසීය. සහභාගී වූවන්ට අනුව, මර්කල්ගේ ප්‍රකාශය කන්ඩායම තුල නිහඬතාවයක් ඇති කලේය.

ජර්මානු හෝ යුරෝපීය ජනගහනයෙන් තුනෙන් දෙකක් මෙම රෝගයට ගොදුරු විය යුතු බව පිලිගැනීමට හේතුවක් නැත. නිරෝධායන සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැවැන්ත මූල්‍ය හා සෞඛ්‍ය සම්පත් යෙදවීම මගින් වෛරසය නැවැත්විය හැකිය. චීනයේ, මේ වන විට 80,000 ක් දෙනා අතර මෙම රෝගය අසාදනයවී ඇතත්, නව දෛනික රෝගීන් සංඛ්‍යාව දුසිම් කිහිපයක් දක්වා පහත වැටී තිබේ. ඉන් බොහෝමයක් දැන් යුරෝපයෙන් ආනයනය කරනු ලබන ආසාදනයන්ය. රෝගය නැවැත්වීම සඳහා මූල්‍ය, කාර්මික හා විද්‍යාත්මක සම්පත් සම්බන්ධීකරනයක් තුලින් ගෝලීයව බලමුලු ගැන්වීමේ අවශ්‍යතාව මෙයින් පෙන්නුම් කෙරේ.

ඊට වෙනස්ව, එන්නතක් නිපදවීමට පෙර ජර්මානුවන් මිලියන 50 ත් 60 ත් අතර සංඛ්‍යාවක්ට රෝගය වැලඳී ඇත්නම්, දල වශයෙන් සියයට 20 ක් හෝ මිලියන 10 ත් 12 ත් අතර සංඛ්‍යාවකට එය බරපතල ප්‍රතිවිපාක ඇති කල හැකි අතර, සෞඛ්‍ය සේවා පද්ධතිය අඩාල වීමෙන් මිලියන ගනනක් මරනයට  පත්වනු ඇත. මිනිස් ජීවිතවලට ජාත්‍යන්තර පරිමානයෙන්  සිදුවන හානිය ගනනය කල නොහැකි වනු ඇත.

එවැනි ප්‍රතිපලයක් ගැන මර්කල්ට  සුමුදු ලෙස අනාවැකි කිව හැක්කේ, යුරෝපීය ධනවාදයේ බංකොලොත් භාවයට හා එහි කප්පාදු න්‍යාය පත්‍රයට පින්සිදු වන්නටය. රැකවරන සඳහා ඇති අයිතිය වෙනුවෙන් ද, වසංගතයෙන් පීඩාවට පත් කම්කරුවන් සහ කුඩා ව්‍යාපාර සඳහා පූර්න මූල්‍ය හා සමාජ සහයෝගය ලබා දීම  ද විනාශකාරී යුරෝපා සංගම් කප්පාදුව අවසන් කිරීම සඳහා ද කම්කරු පන්තිය බලමුලු ගැන්වීම දැන් තීරනාත්මක ය. ධනවාදය මානව වර්ගයා ව්‍යසනය කරා ගෙන යන අතර එය සමාජවාදය විසින් විස්ථාපනය කල යුතුය: ගෝලීය ආර්ථික සම්පත්  ලාභය සඳහා නොව, මනුෂ්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්, සැලසුම් සහගතව, තාර්කිකව හා ප්‍රජාතන්ත්‍රවාදීව  යොදාගත යුතුය.

Loading