ශ්‍රී ලංකාවේ ජනාධිපති “කම්කරු වැඩ වර්ජන හා සිවිල් කැලඹීම” නතර කිරීමට පරිපාලනය මිලිටරීකරනය කරයි

විජිත් සමරසිංහ
14 මාර්තු 2020

සන්නද්ධ හමුදාවන්ගෙන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මූලික තනතුරුවලට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව රාජ්‍ය පරිපාලනය වේගයෙන් මිලිටරීකරනය කරමින් සිටී. මෙම නිලධාරීන්, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධයේ අවසන් අදියරේ දී ඉහල තානාන්තරවලට පත්වූ රාජපක්ෂගේ සමීපතමයන් ය.

පරිපාලනය මිලිටරීකරනය කිරීමෙහි ඉලක්කය වන්නේ කම්කරු පන්තිය මත කඩාපැනීම යි. සමාජ මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ සංසදයේ රැස්වීමක දී ආරක්ෂක ලේකම් වන විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න විසින් ආන්ඩුවේ ඉලක්කය ප්‍රකාශයට පත්කර ඇත.

“රැඩිකලීකරනය, ත්‍රස්තවාදය යලි හිස එසවීම, බෙදුම්වාදය, ආගමික අන්තවාදය, සංවිධිත අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම හා වැඩ වර්ජන වැනි අභ්‍යන්තර කැලඹීම්” ආන්ඩුවේ ප්‍රධාන අභියෝග වන බව ඔහු පැවසී ය. “ආපදාමය තත්ත්වයන්, කම්කරු වැඩ වර්ජන හා සිවිල් කැලඹීම්වල බලපෑම පාලනය කිරීමටත්, අවශ්‍ය වූ විට නායකත්වය ගැනීමටත්, පලමුව ප්‍රතිචාර දක්වන සිවිල් අංශ සමග වැඩ කිරීමේ හැකියාව මිලිටරියට ලබාදීමට ‘ඒකාග්‍රිත හදිසි සැලසුම්’හරහා ආන්ඩුව මිලිටරිය හා ශක්‍ය සිවිල් අංශ ඒකාග්‍ර කර ඇතැ” යි ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කීවේ ය. මේ සියලු ක්‍රියාකාරකම්වල අරමුන “රටෙහි ජාතික ආරක්ෂාව සහතික කිරීම” යි.

රාජපක්ෂ බලයට ආවේ, කම්කරු පන්තිය මෙන් ම ගම්බද දුගීන්, තරුනයන් හා දශක ගනනක් ඇදුනු වාර්ගික යුද්ධයට ගොදුරු වූවන් අතරින් වර්ධනය වූ සමාජ විරෝධය මධ්‍යයේ ය. මෙම අරගල අඛන්ඩ ව පෙරට ඇදේ. කඳු ගැසෙන නය බර සමගින් ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිටින ජනාධිපතිවරයා, වැඩ වර්ජන හා අතෘප්තිය ප්‍රකාශයට පත්වන අනෙකුත් රූපාකාරයන් තලා දැමීම සඳහා මර්දන යාන්ත්‍රනයට තෙල් දමමින් සිටී.

පලමු ව ආරක්ෂක ලේකම් ධුරයට පත්කරන ලද ගුනරත්නට පසුව සියලු අන්තර්ජාල සේවා, විදුලි සංදේශ හා ජංගම දුරකථන සේවා පාලනය කරන සිවිල් ඒජන්සියක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (ටීආර්සී) සභාපති ධුරය ප්‍රදානය කරනු ලැබී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුහුදු වරායන් කලමනාකරනය කරන්නා වූ ද කම්කරු පන්තියේ සටන්කාමී කොටසක් නියෝජනය කරන කම්කරුවන් දහස් ගනනක් සිටින ප්‍රධාන ආදායම් උපයන ආයතනයක් ද වන ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ධුරයට හිටපු යුද හමුදාපති දයා රත්නායක දෙසැම්බරයේ දී පත්කරන ලදී.

පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් පුද්ගලීකරනය කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහි ව ගෙවී ගිය වසර තුනේ අත්දුටු බලගතු කම්කරු වර්ජන මාලාවක් හේතුවෙන් වරාය අංශය සොලවාලනු ලැබී ය. කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීම පිනිස පැවති ආන්ඩුව ඉන්දියාව හා ජපානය සමග අත්සන් තැබූ ගිවිසුම වේගවත් කිරීම ඇතුලු ව මෙම පුද්ගලීකරන ක්‍රියාවලිය යලි තීව්‍ර කිරීමට අධිෂ්ඨානවත් බව වත්මන් ආන්ඩුව ඉඟිකොට ඇත. මෙම පියවරට එරෙහි ව අනිවාර්යයෙන් ම වරාය අංශයේ කම්කරුවන් අතර පුපුරා යනු ඇති විරෝධය මැඩලීම පිනිස, දැඩි පාලනයක් ඇති කරමින් ආන්ඩුව මේ සඳහා සූදානම් වේ.

ආන්ඩුවේ මූලික ආදායම් එක්රැස් කරන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පෙබරවාරි 19දා පත්කරනු ලැබී ය. මෙම පත්කිරීම, රේගු දෙපාර්තමේන්තුව මෙතෙක් අනුගමනය කල ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වන උසස් වීම් ලබාදීමේ පටිපාටිය ඍජු ව උල්ලංඝනය කිරීමකි.

ප්‍රමුඛ සිවිල් තනතුරුවලට හිටපු මිලිටරි නිලධාරීන් පත්කිරීමට අමතර ව, ආන්ඩුවේ පරිපාලන මෙහෙයුම් සඳහා මිලිටරිය ඍජු ව සම්බන්ධ කරගැනීම ආන්ඩුව විසින් අරඹා තිබේ. පෙබරවාරි 24 දා සිට යුද හමුදාවේ ශ්‍රී ලංකා මිලිටරි පොලිස් බලකායේ (එස්එල්සීඑම්පී) සාමාජිකයන් එහි ජංගම මෝටර් රථ හා මෝටර් සයිකල් සමගින් කොලඹ නාගරික රථවාහන කොට්ඨාසයට සහය වීම පිනිස දිගේලි කරනු ලැබ ඇත. මෙම ඒකාබද්ධ වැඩසටහන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අධීක්ෂනය කිරීමට නියමිත විය. උග්‍ර රථවාහන තදබදය සහිත ප්‍රදේශවල තදබදය පාලනය සඳහා නාවික හමුදාව හා ගුවන් හමුදාව ද දිගේලි කෙරෙනු ඇතැයි සිල්වා මාධ්‍යයට පැවසී ය.

රැකියා සඳහා අයදුම් කරන රැකියා විරහිත උපාධිධාරීන්ගේ හා ඩිප්ලෝමා ලාභීන්ගේ පවුල් පසුබිම් සෙවීමට තමන් ව උපයෝගී කරගනු ලබන බව මිලිටරි භටයන් හෙලිදරවු කලේ ය. 100,000ක් සේවයට බඳවා ගැනීමේ ආන්ඩුවේ වැඩසටහන යටතේ රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමා ලාභීන් ව සම්මුඛ පරීක්ෂනයන්ට ලක් කෙරෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පරීක්ෂන මන්ඩලවල මිලිටරි නිලධාරීහු වාඩි වෙති. මිලිටරි නිලධාරීන් අපේක්ෂකයන් පිලිබඳ ව වෙන වෙන ම ලිපිගොනු තබාගන්නා බව හෙලිදරවු විය.

සාමාන්‍යයෙන් සිවිල් සේවයක් ලෙස සැලකෙන, කලින් නීතිය හා සාමය අමාත්‍යංශය යටතේ පැවති පොලීසිය ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගනු ලැබ තිබේ.

ජනාධිපති රාජපක්ෂගේ නියෝග යටතේ, ආරක්ෂක ලේකම් විසින් පොලීසියේ සමහර කාර්යයන් පවරා ගැනීමට හෝ ඒවාට සහාය වීමට මිලිටරි භටයන් දිගේලි කොට ඇත. පෙබරවාරි අග දී, දැනට පොලීසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබඳ විමර්ශන, යුද හමුදා ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ජගත් අල්විස් ප්‍රධානත්වය දරන කාර්ය බලකායක් යටතට ගනු ලැබී ය. රටෙහි සියලු අපරාධ විමර්ශනයන් සිදුකිරීමට පොලීසියට බලය තිබෙන වත්මන් නෛතික ක්‍රියා පටිපාටියට ඍජු ව අත ගසන මෙය, නඩු ගෙනයාමේදී රාජ්‍යයට සහයෝගය දෙයි.

සිවිල් පරිපාලනයට මිලිටරියේ මැදිහත් වීම ගැඹුරින් විස්තීර්න කරමින්, මේ කන්නයේ වී අස්වනු සහතික මිලකට මිලට ගැනීමේ කඩිනම් වැඩසටහනක් ද මිලිටරියේ සහයෝගය සහිත ව ආන්ඩුව විසින් දියත් කොට ඇත. වැඩසටහනේ ප්‍රකාශිත අරමුන වූයේ, වී හා හාල්වල මිල පාලනය කරන අතරමැදියන් ඉවත් කිරීම යි. “මෙම උත්සාහයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව එයට සම්බන්ධ වීමයි” යි කියමින් වැඩසටහනේ සාර්ථකත්වය තහවුරු කිරීම සඳහා එයට මුදල් පොම්ප කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා රජයට අයත් බැංකු උනන්දු කලේ ය.

සිවිල් අංශයේ තනතුරුවලට පත්කරන ලද හිටපු මිලිටරි නිලධාරීන්, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි ඔවුන්ගේ හතුරුකම විවෘත ව ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත. “ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ආරක්ෂා කිරීමේ නාමයෙන් ජාතික ආරක්ෂාව පරදුවට තැබීමට” මෙම ආන්ඩුව ඉඩ නො දෙනු ඇතැයි ආරක්ෂක ලේකම් පැවසූ බව වාර්තා වෙයි.

රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරීකරනය කම්කරු පන්තිය අතර විරෝධය ඇවිලවීමේ සංඥා පවතී. මේජර් ජනරාල් රවිප්‍රිය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කිරීමට විරුද්ධ ව රේගු දෙපාර්තමේන්තුවේ බලගතු විරෝධයක් ප්‍රකාශ විය. රවිප්‍රිය තනතුර දරනු ඇත්තේ වසර දෙකකට පමනක් බවටත්, ඉන්පසු රේගු දෙපාර්තමේන්තුවේ සේවය ඇති නිලධාරියෙකු පෙරලා පත්කරනු ඇති බවටත් ජනාධිපති රාජපක්ෂ හා රේගු අධිකාරී වෘත්තීය සමිතිය අතර වූ එකඟතාවකින් අනතුරු ව එම විරෝධය තාවකාලික ව සමනය කෙරුනි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා විපාර්ශවික දේශපාලන පක්ෂවල සහයෝගය විසින් ආවරනය කරනු ලැබුව ද, විශේෂයෙන් ම අහස උසට නගින ජීවන වියදමේ හා රාජ්‍ය සේවාවන්වල වේගවත් බිඳවැටීමේ කොන්දේසි යටතේ, ආන්ඩුවේ වැඩෙන ආඥාදායක පියවරයන්ට එරෙහි ව කම්කරුවන් හා මහජනයා අතර කැකෑරෙන කෝපයක් පවතී.

1983 පටන් පැවති එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ කාලසීමාව තුල, ශ්‍රී ලංකාවේ මිලිටරිය භටයන් 300,000ක් දක්වා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ඉහල දමා ඇත්තේ සදාකාලික ව ඉහල යන ආරක්ෂක වියදම් වෙන් කරමිනි. පසුගිය වසරේ ප්‍රතිපාදනය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.6ක් හෙවත් රුපියල් බිලියන 393ක් විය.

ගොවිතැන හා රෝහල් නඩත්තු කිරීම වැනි ආර්ථික ක්‍රියාකාරකම්වල සන්නද්ධ හමුදා වැඩි වැඩියෙන් නිරත වෙති. සියල්ලටත් වඩා, රටෙහි දේශපාලන කටයුතු තීන්දු කරන ප්‍රධාන සාධකයක් බවට මිලිටරිය පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ මිලිටරීකරන ධාවනය තේරුම්ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමමින් ආඥාදායක පාලන ක්‍රමයක් දෙසට ගන්නා වේගවත් පියවරයන්ගේ නව අවධියක් ලෙස ය. කම්කරු පන්තිය මෙම සැලසුම් තියුනු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය.

තව ද සිවිල් අංශ මිලිටරීකරනය කිරීමේ ආන්ඩුවේ වැඩසටහන හුදකලා ප්‍රපංචයක් නො වේ. ජීවන කොන්දේසි හා සමාජ අයිතීන් මත එල්ල කරන ප්‍රතිවිප්ලවවාදී ප්‍රහාරයන්ට එරෙහි ව වැඩෙන කම්කරු පන්තියේ නැගිටීමට ප්‍රතිචාර ලෙස, ධනවාදයේ ගෝලීය අර්බුදය මධ්‍යයේ ලොව පුරා පාලක පන්තීන් ආඥාදායක පියවරයන්, ඒකාධිපතිත්වය හා ෆැසිස්ට්වාදය දෙසට හැල්මේ මාරු වෙමින් සිටී.