කොරෝනා වෛරස් වසංගතයට කම්කරු පන්තියේ ප්‍රතිචාරය

මෙම ලිපිය  2020 මාර්තු11 දින ඉංග්‍රීසියෙන් පලකෙරින.

එක්සත් ජනපදයේ කොරෝනා වෛරසයේ පැතිරීම සමාජ හා ආර්ථික ව්‍යසනයක් දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. දැවැන්ත ජීවිත හානි සිදුවීමේ හැකියාව ඇතුළුව, එහි බලපෑමේ පරිමාව ඉදිරි සතිවල දී ඉස්මතුවනු ඇත. කෙසේ වෙතත්, දැනටමත් වෛරසය, පාලක ප්‍රභූව පාර්ශ්වයේ නො සලකා හැරීමේ සාපරාධී මට්ටමේ ප්‍රතිවිපාක හෙලි කර තිබේ.

ඉතාලිය, ප්රංශය,,, ස්පාඤ්ඤය, ජර්මනිය හා ඉරානය යන රටවල නව ආසාදන සීඝ්රයෙන් වර්ධනය වීම සමගින් ලොව පුරා රෝගීන් සංඛ්‍යාව 120,000 ඉක්මවා ඇති අතර මරන සංඛ්‍යාව 4,200 කට වඩා වැඩි වී තිබේ. කෙසේ වෙතත්, සමාජ අසමානතාවේ  අන්ත මට්ටම් හා සමාජ යටිතල ව්‍යුහයේ ඛේදජනක තත්වය හේතුවෙන් එක්සත් ජනපදය වඩාත් දැඩි ලෙස පීඩාවට පත්විය හැකි ය.

එක්සත් ජනපදයේ මුළු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 955 ඉක්මවා ඇති අතර අවම වශයෙන් මරන 29 ක් වාර්තා වී තිබේ. වේගයෙන් පැතීරී යාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිව්යෝක් නගරයේ නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ පවසන පරිදි, අළුත් රෝගීහු “අධික ලෙස පැමිනෙමින්” සිටිති. තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 36 ක් වන අතර සමස්තයක් ලෙස ප්‍රාන්තයේ 173 ක් වාර්තා වේ.

2020 මාර්තු 10 වන අඟහරුවාදා ඉතාලිය සමඟ දේශ සීමාව හරහා ඔස්ට්‍රියානු ප්‍රාන්තයක් වන ටයිරොල් හි ග්‍රීස් ඇම් බ්‍රෙනර් අසල ඔටෝබාන් පාක් හිදී වෛද්‍ය කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකු සංචාරකයෙකුගේ උෂ්නත්වය මනිනු ලබයි (ඒපී ඡායාරූපය / කර්ස්ටින් ජොන්සන්)

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි ප්‍රජා සම්ප්‍රේෂනයෙන් පලමු වරට කොරෝනා වයිරස් රෝගය වාර්තා වූ අතර නගරයේ මුළු සංඛ්‍යාව 19 දක්වා ඉහල ගියේ ය. මැසචුසෙට්ස් ප්‍රාන්තය නව රෝගීන් 51 ක් ප්‍රකාශයට පත් කල අතර එම ප්‍රාන්තයේ මුළු සංඛ්‍යාව 92 දක්වා ඉහල ගියේය. මින් හැත්තෑවක් බොස්ටන් හි පැවති එක් සමුළුවකට සම්බන්ධ ය.  එයින් අදහස් වන්නේ ප්‍රාන්තයේ විශාලත ම නගරය තුල වෛරසය පැතිරීම වඩා පුළුල් බව යි.

එක්සත් ජනපදයේ පලමු වරට වාර්තා වූ සිද්ධියෙන් සති හයකට පසුව, පරීක්ෂා කිරීමේ මට්ටම පවතින්නේ සාපරාධී ලෙස අසමායෝජිතව ය. රටේ වෛරසය වාර්තා වී නොමැති ප්‍රෙද්ශවල, එසේ වී ඇත්තේ  රෝගය නොමැති වීමකට ම වඩා පරීක්ෂන හා සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් නොමැතිවීම නිසා බවට ඇඟවී ඇත.

මෑන්හැටන් නගරයෙන් පිටත උප නගරයක් වන නිව් යෝක් ප්‍රාන්තයේ නිව් රොෂෙල් හි, කොරෝනා වෛරසය පිලිබඳ වාර්තා කෙරුනු ආරම්භක සිද්ධිය මාර්තු 2 වන දින සොයා ගැනුනි. කෙසේ වෙතත්, මෙම පුද්ගලයා පරීක්ෂාවට පෙර දින හතරක් රෝහලක ඉඳ ඇත. තදාසන්න ප්‍රදේශයේ ආසාධිත සංඛ්‍යාව මේ වන විට  90 ක් වන අතර, එය නැගෙනහිර වෙරල තීරයේ විශාලතම සංකේන්ද්‍රනය යි. සීඑන්එන් ඊයේ වාර්තා කලේ පැතිරීමකට ප්‍රතිචාර දැක්වීමෙන් පසු, වොෂිංටනයේ  කර්ක්ලන්ඩ් හි ගිනි නිවන භටයින් වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කල නමුත්, පමා ගොන්න කොපමනද යත් පරීක්ෂාවට ලක් කිරීමට පෙර ඔවුන්ගේ සාම්පල කල් ඉක්මවා තිබුනි.

වෛරසය පැතිරීම පිලිබඳ අවුල් සහගත ප්‍රතිචාරයට සමස්ත පාලක පන්තිය හා එහි රාජ්‍යය වග කිව යුතු ය.

දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු පාලක පන්තිය, ඩිමොක්‍රටිකයින් මෙන් ම  රිපබ්ලිකානුවන් යටතේ, කම්කරු පන්තියේ සිට ධනවතුන් වෙත ධනය යලි බෙදා හරින  පිලිවෙත් අනුගමනය කර ඇති අතර සමාජ පොදුකාර්ය පහසුකම් විනාස කර දමා  තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු සමාජයට වසංගතයට එරෙහි ව සටන් කිරීමට අවශ්‍ය සමාජ ප්‍රතිදේහ නොමැත. දුප්පත්කම, නිවාස නැතිකම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නොමැතිකම, අඩු වැටුප් සහිත වැඩ, ආර්ථික අනාරක්‍ෂිත බව වැනි ජනතාව මුහුන දෙන කොන්දේසි ඔවුන් විශාල වශයෙන් අවදානමට ලක් කර ඇත.

සෞඛ්‍ය හා සෞඛ්‍ය රැකවරන 

එක්සත් ජනපද වැඩිහිටියන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් රක්‍ෂනය නො කෙරුනු හෝ ඌනරක්‍ෂනය කෙරුනු (underinsured) අය වෙතැ යි යන්නෙන් අදහස් වන්නේ ඔවුන්ට සෞඛ්‍ය ආරක්‍ෂන ආවරනයක් මුළුමනින් ම නොමැති බව හෝ ඔවුන්ගේ ආවරනය ඉතා මිල අධික බැවින් එය භාවිතා කිරීම ඔරොත්තු නොදෙන බව ය. පසුගිය දශකය තුල, හා විශේෂයෙන් ඔබාමාකෙයාර් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු, ධනවත් හා ඉහල මධ්‍යම පංතියට සේවය කිරීම සඳහා වෙන ම පහසුකම් හා සේවාවන් (ඊනියා “භාරකාර” සෞඛ්‍ය සේවය) ස්ථාපිත කර, සෞඛ්‍ය ආරක්ෂනය පන්ති පදනමක් මත තවදුරටත් ප්‍රතිව්‍යුහගත කර ඇත. 

එක්සත් ජනපදයේ ඇත්තේ පුද්ගලයන් 1000 කට රෝහල් ඇඳන් 2.8 ක් පමනි (දකුනු කොරියාව හා ජපානය හා සසඳන විට එම රටවල ඇඳන් 12 කට වඩා ඇති අතර චීනයේ 1,000ට ඇඳන් 4.3 ක් ඇත). මෙයින් අදහස් කරන්නේ දැන් නො වැලැක්විය හැකි බව  පෙනෙන, වෛරසය විශාල වශයෙන් පැතිරීමක දී,  පවතින ඇඳන් ඉක්මනින් අවසන් වනු ඇති බව යි.

දරිද්‍රතාවේ ඍජු ප්‍රතිඵලයක් ලෙස හා සෞඛ්‍ය පහසුකම් නොමැතිකම නිසා මිලියන සංඛ්‍යාත ඇමරිකානුවෝ කොරෝන වයිරසයේ බලපෑම තවත් උග්‍ර කරන, අභ්‍යන්තරික කොන්දේසි වලින් පීඩා විඳිති. ජනගහනයෙන් සියයට දහයක් හෙවත් මිලියන 34 ක ජනයාට දියවැඩියාව වැලඳී ඇත. සියළු වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් කිසියම් ආකාරයක හෘදවාහිනී රෝගයකින් පෙලෙන අතර,  මිලියන 25 කට වැඩි පිරිසකට ඇදුම රෝගය ඇත. පසුගිය දශක හතර තුල එහි ව්‍යාප්තිය වේගයෙන් ඉහල ගොස් ඇත.

රැකියා හා  සේවා ස්ථාන

සැබවින් ම සේවා ස්ථානවල ආරක්ෂා සහිත බව සහතික කිරීමට කිසිවක් කර නොමැත. ප්‍රධාන ඇමසන් සාඵල්‍යය මධ්‍යස්ථානයක හෝ මෝටර් රථ කම්හලක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ විට කුමක් සිදුවේ ද? ඒවාහි පොදුවේ රෝගය පැතිරීමට එරෙහිව කම්කරුවන්ට කිසිදු ආරක්ෂාවක් දැනට නොමැත.

වැටුප් සහිත ලෙඩ නිවාඩු සඳහා ප්‍රවේශයක් ඇත්තේ අඩු වැටුප් ලබන කම්කරුවන්ගෙන් සියයට 30 කට පමනක්ය යන්නෙහි අර්ථය වන්නේ, ඔවුන් හට අසනීප ව සිටියදී වැඩ කිරීම හෝ ආහාර, නිවාස හා වෙනත් අවශ්‍යතා සඳහා ගෙවීමට ප්‍රමානවත් ආදායමක් නොමැති ව සිටීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කෙරෙන බව යි. තවද, කොරෝනා  වෛරසය ව්‍යාප්ත වනවාත් සමග, බොහෝ ව්‍යාපාර ඔවුන්ගේ දොරවල් වසා දමනු ඇත්තේ, කම්කරුවන් ආදායමක් නැති තත්වයට ඇද දමමින් හා සෞඛ්‍ය සේවා සඳහා වන ඔවුන්ගේ ප්‍රවේශය තවදුරටත් සීමා කරමිනි.

පාසල්

එක්සත් ජනපදයේ වෛරසය පැතීරීමේ මධ්‍යස්ථානයක් වන, සියැටල් ප්‍රාන්තයේ  තදාසන්න නගරයක ඇති සිසුන් 23,000 ක් සිටින පාසැලක් ඇතුලුව පාසල් දිස්ත්‍රික්ක කිහිපයක් දැනටමත් වසා දමා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ දෙමව්පියන් වැටුප් රහිත නිවාඩු මත රැකියාවෙන් බැහැරව සිටිය යුතු ය නැත්නම් වෙනත් පිලිසරනක් පැතිය යුතුය. නොමිලේ හෝ මිල අඩු කෙරුනු ආහාර මත යැපෙන සිසුන්ටද පාසල් වැසීම විශාල ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත. එක්සත් ජනපදය පුරා මිලියන 20 කට වැඩි සිසුහු පාසල් හරහා පරිපාලනය කරනු ලබන මධ්‍යම ආන්ඩු ආහාර ආධාර වැඩසටහන් සඳහා සුදුසුකම් ලබති.

නිවාස නැතිකම

සලකා බලනු ලබන ඕනෑ ම දිනක ඕනෑ ම රාත්‍රියක එක්සත් ජනපදයේ මිලියන භාගයක පුද්ගලයින්ට නිවාස නොමැති අතර, අපිරිසිදු හෝ තදබද තතු යටතේ, වීදිවල හෝ නිවාස නොමැති අය සඳහා වන වාසස්ථානවල හෝ ජීවත් ‍වීමට සිදුව ඇත. නිවාස නොමැති අයට තමන් රෝගයට වඩාත් ගොදුරු කරවන, අභ්‍යන්තරික සෞඛ්‍ය තත්වයන් තිබීමේ ඉඩකඩ ද වැඩි ය. නිවාස නොමැති පුද්ගලයින් 150,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින, රෝගය  පැතිරීමේ මධ්‍යස්ථානයක් වන කැලිෆෝනියාවද ඇතුළුව, නිවාස නොමැති ප්‍රජාවන් මුහුන දෙන ගැටලු විසඳීම සඳහා නියත වශයෙන්ම කිසිවක් කර නොමැත.

මේවා මිලියන ගනනක් කම්කරුවන්ට වෛරසය බලපාන ආකාරය පිලිබඳ උදාහරන කිහිපයක් පමනකි. මිලියන 2 කට අධික පුද්ගලයන් සිරගත කර ඇති එක්සත් ජනපද බන්ධනාගාර අතර,  නැතහොත් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව අසල පිහිටුවා ඇති තදබද සංක්‍රමනික සිර කඳවුරු හා රැඳවුම් ගාල් කඳවුරුවල, කොරෝනා වෛරසය පැතිරීමට පටන් ගන්නා අවස්ථාවක කුමක් සිදුවේ ද? 

ආසාදන සංඛ්‍යාව අඩු කිරීම හා ජීවිත බේරා ගැනීම පිලිබඳව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගත් විට ඒ සඳහා වැයවෙන මුදල කොපමනක් වුවද වැලැක්විය නො හැක. අර්බුදය විසඳීම සඳහා ආන්ඩු හා සේවා යෝජකයන් හදිසි පියවර ගත යුතු යැයි කම්කරු පන්තිය ඉල්ලා සිටිය යුතු ය.

• ප්‍රවේශ විය හැකි හා විශ්වීය පරීක්ෂන! වියදම කුමක් වුවද රෝග ලක්ෂන පෙන්වන සියලු දෙනාට ම නොමිලේ පරීක්ෂන ලබා දිය යුතු ය.

• නොමිලේ උසස් තත්ත්වයේ ප්‍රතිකාර හා සත්කාරයේ සමානතාවය! ආදායම හෝ රක්ෂන ආවරනය නො සලකා වඩාත් ම දියුනු වෛද්‍ය ප්‍රතිකාර සෑම කෙනෙකුට ම ලබා දිය යුතු ය.

•සියලුම කම්කරුවන් සඳහා වැටුප් සහිත අසනීප නිවාඩු! අසනීප වුවහොත් තමන් හා අන් අය අනතුරේ හෙලමින් වැඩ කිරීමට කිසිවෙකුට බල නො කල යුතු ය.

•සරනාගතයින්, සිරකරුවන් හා නිවාස නොමැති අය ආරක්ෂා කරනු! රෝගය පැතිරීම වැලැක්වීම සඳහා සෑම කෙනෙකුට ම උසස් තත්ත්වයේ මෙන් ම පිරිසිදු ජීවන තත්වයන්ට ප්‍රවේශ තිබිය යුතු ය.

•සුරක්ක්ෂිත සේවා කොන්දේසි! සියලුම කම්කරුවන්ට සුරක්ක්ෂිත වැඩ පරිසරයක් තිබිය යුතු අතර වෛරසය පැතිරීමෙන් ආරක්ෂා කල යුතු ය. අනතුරක් ඇති තැන සේවා ස්ථාන හා පාසල් වසා දැමිය යුතු ය. රැකියාවෙන් බැහැරව සිටින සේවකයින්ට ඔවුන්ගේ සම්පූර්න ආදායම ලැබිය යුතු අතර, පාසැල් වසා දැමීමෙන් පීඩාවට පත් වූවන්ට ගෙවිය යුතු නිවාඩු දීමනා හා ආහාර ආධාර ඇතුලු ව සියලු සම්පත් ලබා දිය යුතු ය.

අර්බුදය වර්ධනය වන විට කම්කරු පන්තියට උදාසීන ව සිටිය නො හැක. එය සංවිධානය වී තම අවශ්‍යතා වෙනුවෙන් සටන් කල යුතු ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2020 පෙබරවාරි 28 දින සිය ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි:

ධනේශ්වර ආන්ඩු මෙම හදිසි පියවර ක්‍රියාත්මක කල යුතු යැයි ඉල්ලා සිටීමේ දී,  ජාත්‍යන්තර කම්කරු පන්තිය තම මූලික අරමුන වන ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම අත් නො හරියි. ඊට වෙනස් ව, හදිසි ක්‍රියාමාර්ග සඳහා වන අරගලය කම්කරු පන්තියේ  සවිඥානකත්වය ඉහල නංවමින් හා ජාත්‍යන්තර පන්ති සහයෝගීතාවේ අවශ්‍යතාව පිලිබඳ අවබෝධය වර්ධනය කරමින් එහි දේශපාලන ආත්ම විශ්වාසය වැඩි කරනු ඇත.

තම ක්‍රියාකාරකම් සම්බන්ධීකරනය කිරීම, තම සාමූහික ශක්තිය බලමුලු ගැන්වීම, රෝගී වූවන්ට සමාජ සහයෝගය ලැබීම සහතික කිරීම හා සුරක්ෂිත පරිසරයක් බලාත්මක කිරීමට සේවා කොන්දේසි අධීක්ෂනය කිරීම සඳහා කම්කරුවන්ගේ සේවා ස්ථාන සහ අසල්වැසි කමිටු පිහිටුවන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

රෝගයට ප්‍රතිචාර දැක්වීම ඩෙමොක්‍රටික හෝ රිපබ්ලිකානු ධනේශ්වර දේශපාලනඥයින්ට, පැවරිය නො හැක. ඔවුන්ගේ මූලික අවධානය යොමු වී ඇත්තේ කොටස් වෙලඳපොලේ උද්ධමනය තුලින් පාලක ප්‍රභූවේ ලාභය පවත්වා ගැනීමට යි. “ආර්ථික උත්තේජනයක්” ලෙස වැටුප් බදු කපා හැරීමට ට්‍රම්ප් පරිපාලනයෙන් ඊයේ ඉදිරිපත් කෙරුනු යෝජනාව රෝගය පැතිරීම වැලක්වීමට අපොහොසත් වනවා පමනක් නොව, සමාජ ආරක්ෂන හා වෙනත් සමාජ වැඩසටහන් කප්පාදු කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාවක් ලෙස එය යොදා ගනු ඇත.

පාලක ප්‍රභූව ක්‍රියාත්මක වන්නේ මෙම මූලධර්මයෙනි: කිසි විටෙකත් අර්බුදයක් නාස්ති වීමට ඉඩ නො දෙනු! ඉතාලියේ තුල ඇඳිරි නීතිය, සංචාරක තහනම හා මහජන රැස්වීම් තහනම් කිරීම සඳහා ආන්ඩුව හමුදාව හා පොලීසිය යොදවා ඇත. ප්‍රන්සයේ ද මෙවැනිම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අඟහරුවාදා නිව් යෝක් ප්‍රාන්ත ආන්ඩුකාරවරයා රෝගය පැතිරී යන සමහර ප්‍රදේශවලට ජාතික ආරක්ෂක භටයින් යොදවා ඇති බව නිවේදනය කලේ ය. රජයේ සන්නද්ධ හමුදා කොරෝනා වෛරසය විසින් ඇති කරන ලද මහා නොසන්සුන්තාව ඇතුලු සමාජ විරුද්ධත්වයේ ඕනෑම ප්‍රකාශනයක් අනිවාර්යයෙන් ම ඉලක්ක කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය හා අපගේ මැතිවරන ව්‍යාපාරය කම්කරු පන්තියට දේශපාලන හඬක් හා ක්‍රියාමාර්ගයක් සැපයීම සඳහා කම්කරු පන්තිය එක්සත් කිරීම හා සංවිධානය කිරීමේ අරගලයේ පෙරමුන ගනිමින් සිටී. කොරෝනා වෛරසය පැතිරීම මෙන් ම සියලු සමාජ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්විය යුතු මූලධර්මය සමාජ අවශ්‍යතාවය මිස පුද්ගලික ලාභය නො වන බව අපි අවධාරනය කරමු. සමාජවාදී පදනමක් මත ලෝක ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ජීවිතය හා මරනය පිලිබඳ හදිසි කාරනයකි.

ජෝසප් කිෂෝර් —සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක