එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන් තීන්දුව තම අතට ගනී

කොරෝනා වෛරසය මුල්කරගෙන පැනනැඟී ඇති ක්ෂනික වර්ජන රැල්ලට ප්‍රතිචාර වශයෙන්, උතුරු ඇමරිකාව පුරා මෝටර් රථ කම්හල් වසා දැමේ

මෙම ලිපිය 2020 මාර්තු 19 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

 ව්‍යාපාරික විධායකයන් සමඟ ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කිරීම තුලින්, කම්කරුවන් කර්මාන්තශාලාවල රඳවා තබා ගැනීමට, සති ගනනාවක් තිස්සේ යුනයිටඩ් ඔටෝ වර්කරස් (යූඒඩබ්ලිව්) සමිතිය උත්සාහ කර ඇත්තේ, එම කර්මාන්තශාලා ආරක්ෂිත යැයි ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමිනි. අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කලහොත් සේවයෙන් පහ කරන බවට තර්ජනය කිරීමේදී කලමනාකාරිත්වය සමඟ ඔවුහු අත්වැල් බැඳගත්හ. සිය ජීවිත ගැන යූඒඩබ්ලිව් දක්වන සාපරාධී උදාසීනත්වයට එරෙහිව මෝටර් රථ කම්කරුවන් තීන්දුව සියතට ගෙන තිබේ.

වෘත්තීය සමිති නොතකා ලෝක ව්‍යාප්ත ක්ෂනික වැඩ වර්ජන රැල්ලක නවතම එක, එක්සත් ජනපදයේ වැඩ නැවැත්වීමය. ඉතාලියේ, ස්පාඤ්ඤයේ සහ කැනඩාවේ මෝටර් රථ කම්කරුවන් මීට පෙර රැකියාවෙන් ඉවත්ව ගියේ, රටපුරා අගුලු දැමීම හමුවේ, කලමනාකාරිත්වය විසින්  නිෂ්පාදනය දිගටම කරගෙන යාමට ගත් තීරනයට විරෝධය පල කරමිනි. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ධනේශ්වර පන්තිය හිතාමතාම, “ද්වේෂ සහගත නොසලකා හැරීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කරති. මිලියන ගනනකගේ ජීවිතවලට තර්ජනයක් වන පූර්න  අකාර්යක්ෂමතාව මධ්‍යයේ, ට්‍රිලියන ගනනක් ඩොලර් කොටස් වෙලඳපොලවලට පොම්ප කිරීමෙන් පසුව,  ජාත්‍යන්තර කම්කරු පන්තියේ තීරනාත්මක කොටසක් චලනය වීමට පටන් ගෙන ඇති අතර වසංගතයට තමන්ගේම ප්‍රතිචාරය දක්වයි.

එෆ්සීඒ ඩන්ඩී යන්ත්‍ර කම්හලෙන් පිටව යන කම්කරුවෝ

ඩෙට්‍රොයිට් නගරාසන්නයේ ස්ටර්ලිං හයිට්ස් එකලස් කම්හලේ වැඩ නැවැත්වීම් ආරම්භ වූයේ 17දා රාත්‍රියේ ය. ස්ටර්ලින් හයිට්ස් කම්හලේ දෙදෙනෙකු ද ඇතුලුව කම්කරුවන් ගනනාවකට වෛරසය ආසාදනය වී ඇති බව දැන දැනත් යූඒඩබ්ලිව්-කලමනාකරන කාර්ය සාධක බලකාය විසින් ඩෙට්‍රොයිට් මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සියලු කර්මාන්තශාලා තරමක් වෙනස් කල කාලසටහන් මත අඛන්ඩව ක්‍රියාත්මක වන බව නිවේදනය කරනු ලැබින. නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම සඳහා කම්කරුවන් කැමති කරවා ගැනීමට අපොහොසත් වීමෙන් පසු කලමනාකාරිත්වය රාත්‍රී 10.30 ට වේලාසනින් කම්කරුවන් ගෙදර යැවීය.

18දා උදෑසන වැඩේ නැවත ක්‍රියාත්මක වූ අතර, ඊලඟ රවුමේ කම්කරුවන් මෙවලම් බිම තබා වැඩ කිරීම ප්‍රතික්ෂේප කලේය. ඔවුන් සම්පූර්න නොකල වාහන එකලස් තීරු හරහා යැවීය. කම්හලේ තරුන සේවකයෙක් ලෝසවෙඅ වෙත පැවසුවේ “අපගේ කම්හලේ කම්කරුවන් 7,000 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර ඔවුහු නිරන්තරයෙන් එකිනෙකා සමඟ කටයුතු කරමින් එකම ට්‍රක් රථ යට නැඹුරු වී බඩගා යති.” මෙයට මෙතරම් කාලයක් ගත නොවිය යුතුයි

“මෙය අපගේ වරදක් නොවේ. අපට වාහකයන් වීමට අවශ්‍ය නැත. වෘත්තීය සමිතිය පවසන්නේ අපට විරැකියාව සඳහා ඉල්ලිය හැකි බවයි. නමුත් කිසිවක් ලබා ගැනීමට සති දෙකක් ගතවනු ඇත. අපට දැන් වන්දි ගෙවිය යුතුයි. අපි මෙම සමාගම් සඳහා බිලියන ගනනක් උපයා දී ඇති අතර ඔවුන් ක්‍රියා කරන්නේ අප ඔවුන්ගේ ඉත්තන් ලෙස සලකා ගෙන ය. ”

විරෝධය ඉක්මනින් අනෙකුත් ශාඛා වෙත ද පැතිර ගියේය. ජෙෆර්සන් උතුරු කම්හලේ කම්කරුවෝ, උදේ වරුවේ කම්හලට ඇතුලු වී පැය ගනනක් කිසිවකක් නොකර වාඩිවී සිටියහ. කම්කරුවන්ට අනුව, යූඒඩබ්ලිව් නිලධාරීන් සේවයෙන් පහ කරන බවට තර්ජනය කිරීම සඳහා කාර්යාලවලින් එලියට ආ නමුත් එයින් කිසිදු පලක් නොවීය. “සමිතිය අපිව විකුනුවා”  එක් කම්කරුවෙක් පැවසීය. “අපට මාරුවන වැඩමුර අවශ්‍ය නැත. අප කම්හල් වසා දැමිය යුතුය. ඔවුන්ට අප ගැනවත් අපේ පවුල් ගැනවත් තැකීමක් නෑ. සමිතිය පසුගිය රාත්‍රියේ එය ප්‍රදර්ශනය කලා.”

තවත් ජෙෆර්සන් සේවකයෙක් මෙසේ පැවසීය, “ඔවුන් සිතන්නේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවලට වඩා කම්කරුවන්ගේ වටිනාකම අඩු බවයි. අපගෙන් ඇති තරම් වැඩ ගත හැකි අතර අපගෙන් එක් අයෙකු මිය ගිය පසු, ඒ වෙනුවට වැඩ භාරගන්ට වෙනත් අය බලා සිටින අතර එමඟින් සමාගමට දිගටම මුදල් ඉපයිය හැකිය. ”

උතුරු ටොලිඩෝ එකලස් කිරීමේ කම්හලේදී, යූඒඩබ් 12 ලෝකලයේ උප සභාපති බ්‍රයන් සිම්ප් සමඟ වාද කරන මෝටර් රථ කම්කරුවෝ

වයඹදිග ඔහියෝහි උතුරු ටොලිඩෝ කම්හලේ කෝපාවිෂ්ට දර්ශන දැකගත හැකිවූ අතර, කම්කරුවන් දුසිම් ගනනක් වැඩෙහි යෙදවීම නිසා  12 ශාඛා උප සභාපති බ්‍රයන් සිම්ස් සමඟ ගැටුනි. වෙනත් කම්හල්වල වර්ජන සිදු නොවූ බවට බොරු කී හා  “සංසුන්ව සිටින ලෙස” කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි සිම්ස් හදිසියේම කමිටු කාමරයේ පස්සා දොරෙන් පිටව ගියේය.

ඈන් ආබර්හි ඩන්ඩි එන්ජින්හි ද කම්කරු විරොධතා ඇවිල ගියේය. සතිය මුලදී අර්ධ වශයෙන් වැඩ නැවැත්වූ වොරන් ට්‍රක් කම්කරුවන් ද වේලාසනින් පිට කරනු ලැබීය.

රටපුරා හෝ මහාද්වීපය පුරා ක්ෂනික වැඩ වැරීම් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් ෆියට් ක්‍රයිස්ලර්, ෆෝඩ් සහ ජෙනරල් මෝටර්ස් සමාගම්, මාර්තු 30 වනදා දක්වා මෙක්සිකෝව හා කැනඩාව ඇතුලු උතුරු ඇමරිකානු කර්මාන්තශාලා වසා දමන බව පසුව නිවේදනය කලහ. කෙසේ වෙතත්, විරුද්ධත්වය මැඬීමට සහ සම්පූර්න නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කිරීමට, කාලය මැරීම සඳහා සමාගම් සහ වෘත්තීය සමිති විසින් නිර්මානය කර ඇති තවත් උපාමාරුවකි මේ.

ජෙනරල් මෝටර්ස් හි ප්‍රධාන විධායක මේරි බාරා නිවේදනය කලේ “ක්‍රමානුකූල, විධිමත්” වැඩ අත්හිටුවීමක් ක්‍රියාත්මක කරන බවයි. යථාර්ථය නම්, මෙයින් අදහස් වන්නේ සමාගම විසින් අවම වශයෙන් සමහර කම්කරුවන් තවත් සතියක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවෙහි තබා ගැනීමට උත්සාහ කරමින්, මාර්තු 30 වන දින කර්මාන්තශාලා නැවත විවෘත කිරීමට පෙර කිසිදු කාලයක් අපතේ ගොස් නැති බව තහවුරු කර ගැනීමයි . ජෙනරල් මෝටර්ස්හි  ලැන්සිං ඩෙල්ටා ටවුන්ෂිප් කම්හල මාර්තු 27 වනදා දක්වා නොකඩවා නිෂ්පාදනයෙහි යෙදෙනු ඇති බව මුලින් කියා සිටිය ද  මාර්තු 20 දා සිට කම්හල වසා දමන බව කලමනාකාරිත්වය හදිසියේම නිවේදනය කලේය. 

වෙනත් මෝටර් රථ නිෂ්පාදකයින් උතුරු ඇමරිකානු නිෂ්පාදනය අඛන්ඬව කරගෙන යන අතර සමහර කම්හල් වඩාත් කෙටි දැනුමදීමකින් පසුව  වසා දමමින් සිටිති. හොන්ඩා ඊයේ නිවේදනය කලේ උතුරු ඇමරිකාවේ නිෂ්පාදනය දින හයකට පමනක් නතර කරන බවයි. ෆොක්ස්වැගන් සිය චැටනූගා, ටෙනසි කම්හල 16දා පැය 24 ක් වැනි කෙටි කාලයකට  වසා දැමීය. යූඒඩබ්ලිව් සම්බන්ධ කර්මාන්තශාලා ද ඇතුලුව, එකලස් කිරීමේ කම්හල්වලට ද වඩා දරුනු තත්වයන් යටතේ,මෝටර් රථ අමතර කොටස් නිපදවන කම්හල්වල ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට තවමත් වැඩ කිරීමට බල කෙරී ඇත.

ආන්ඩුව ප්‍රදේශයට  අගුලු දමා තිබියදීත්, ටෙස්ලා සිය  ෆ්‍රෙමොන්ට් හි කැලිෆෝනියා කම්හල සාමාන්‍ය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලේය. ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම තුල එය දැන් “අවම මූලික මෙහෙයුම්” වල පමනක් අඛන්ඩව යෙදී සිටියි. ඇලමෙඩා ප්‍රාන්තයේ නියෝගයට අනුව, “අත්‍යවශ්‍ය ව්‍යවසායක්” ලෙස හඳුන්වා ගැනීමට ටෙස්ලා විදුලි වාහන සමාගම උත්සාහ කරයි. දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව,  “ජාතික වශයෙන්  තීරනාත්මක යටිතල ව්‍යුහයේ” කොටසක් ලෙස කම්හල සලකනු ලබයි යන විකාර සහ නපුරු හේතු ඔවුහු ඉදිරිපත් කරති.

නිෂ්පාදනය හැකි තාක් දුරට පවත්වා ගෙන යාමට මෝටර් රථ සමාගම් දරන උත්සාහයන් තුල මංමුලාවේ ලක්ෂනයක් ද තිබේ. වසංගතයට පෙර පවා ලාභ හා අලෙවියේ පසුබෑමකට මුහුනපා සිටි මෝටර් රථ සමාගම්, කොටස් මිල දැන් එක දිගට කඩාවැටෙමින් ඇති වෝල් වීදියේ දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, අඛන්ඩව නිෂ්පාදනය කිරීමෙන් කොටස් හිමියන්ගේ වටිනාකම ඉහල නැංවීමට උත්සාහ දරයි. ඒ පාරිභෝගික ඉල්ලුම හැකිලී යමින් හා ඩොලර් මිලියන සිය ගනනක වාහන ගබඩාවල ඉතිරිව තිබියදීමය. 

ව්‍යාපාරික මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය හානි පාලනය සඳහා දැන් මුලු වැර යොදා වැඩකරමින් සිටී. අගුලු දැමීම් වාර්තා කරන මාධ්‍ය සිරස්තල, ක්ෂනික වැඩ වැරීම් පිලිබඳ කිසිවක් සඳහන් කිරීම ක්‍රමානුකූලව නතරකර, ඒ වෙනුවට අඟවන්නේ, කම්කරුවන්ගේ යහපැවැත්ම පිලිබඳ කනස්සල්ල නිසා, සමාගම් සහ වෘත්තීය සමිති, නිෂ්පාදනය දිගටම කරගෙන යනවාද යන්න හදිසියේම නැවත සලකා බැලූ බවයි. කම්හල්  “පූර්න විෂභීජ හරනයක” ට භාජනය වී ඇති බවට පසුගිය සතියේ සහතික කල සිරස්තල, සම්පූර්න මුසාවන් ලෙස දැන් හෙලි වී තිබේ. යථාර්ථය නම්, කිසිවක් කර නොතිබීමයි. අත් සේදීම සඳහා ජලය, අත්වැසුම්,මුහුනු ආවරන,  තුවා හෝ උනු වතුර පවා ලබා ගත නොහැකි බව කම්කරුවන් වාර්තා කරයි.

දිවංගත “ජීඑම්හි කොන්ග්‍රස් සභික” ජෝන් ඩිංගල්ගේ වැන්දඹුව වන ඩෙබී ඩිංගල් ඊයේ පස්වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, යූඒඩබ්ලිව්, කම්හල් වසා දැමීමේ සටනට නායකත්වය දුන් බවයි. “යූඒඩබ්ලිව් නායකත්වය අවධානය යොමු කලේ සිය සාමාජිකයින්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පලමු ප්‍රමුඛතාවය ලෙසය.” ඇය තවදුරටත් කියා සිටියේ, “වෘත්තීය සමිති හා සමාගම් කම්කරුවන් හා කර්මාන්තයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා සමීපව කටයුතු කල යුතු බවයි.” සරල භාෂාවෙන් කිවහොත්, වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා කම්කරුවන් නැවත කම්හල්  තුලට යැවීමට බල කිරීමයි.

යථාර්ථය නම්, ඊයේ සිදුවීම් ව්‍යාපාර ගැති වෘත්තීය සමිතිවලට එරෙහිව කම්කරුවන් තුල ගැඹුරින් මුල්බැසගත් කැරැල්ලකි. එය සන්ධිස්ථානයකි. යූඒඩබ්ලිව් සංවිධානයට එරෙහිව මූලිකත්වය ගෙන කටයුතු කිරීමෙන් කම්කරුවන්ට, පැය කිහිපයක් ඇතුලත මෝටර් රථ සමාගම් දනගැස්වීමටත්, අවම වශයෙන් නිෂ්පාදනය තාවකාලිකව නතර කිරීමටත් හැකි විය. යූඒඩබ්ලිව් නොමැතිව තමන් වඩා බලවත් බව මෝටර් රථ සේවකයින් තමන්ගේම භාවිතයෙන් තහවුරු කර ගැනීමට පටන් ගෙන තිබේ. කම්කරුවන්ගේ සාමූහික ශක්තිය ගැන සඳහන් කරමින්, ස්ටර්ලිං හයිට්ස් කම්කරුවෙක් පැවසුවේ  “මෙය බෙහෙවින් ආශ්වාදජනක දෙයක්” කියායි.

මෝටර් රථ කම්කරුවන් දැන් සමස්ත කම්කරු පන්තියේම පුලුල් ව්‍යාපාරයක හෙලි තුඩ බවට පත්විය යුතුය. මීලඟ පියවර වන්නේ, වැඩපොල වලින් ආරම්භ වී සියලුම කම්කරුවන් ඒකාබද්ධ කරන කම්කරු ජාල පිහිටුවීමයි. මෝටර් රථ කම්කරුවන්ගෙන් ආරම්භකර සියලු කම්කරුවන් ලෝක කම්කරු පන්තියත් සමඟ බද්ධ කල යුතුය.

කම්කරුවන් වැඩ නතර කල පසුව පාලුවට ගිය උතුරු ජෙෆසන් එකලස් කිරීමේ කම්හලේ කොරිඩෝ

  මෙම කමිටුවලට සම්පූර්න වන්දි සහ රෝගීව සිටි දින වලට වැටුප් ගෙවීම ද සහිතව සියලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීමට බල කල හැකිය. වසංගතයට පිලියම් යෙදීම සඳහා ලොව පුරා ආන්ඩු විසින් ට්‍රිලියන ගනනක් මුදල් වෙන් කල යුතු බව මෙම කමිටු කියා සිටිය යුතුය. ධනවතුන් සහ ප්‍රධාන සමාගම් විසින් රැස්කරගෙන ඇති ධනය අත්පත් කරගෙන  සමාජ අවශ්‍යතා වෙනුවෙන් යෙදිය යුතු අතර, අවශ්‍ය වෛද්‍ය උපකරන සහ  අවශ්‍යම දේ නිෂ්පාදනය  සඳහා කර්මාන්ත නැවත සකස් කල යුතුය.

“කම්කරුවන් එක්සත් ව පිටතට ගොස් කම්හල්  වසා දමන්න” එක් වොරන් ට්‍රක් සේවකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. “කරන්න ඕන දේ අපි කරනවා. අපි අපේ සෞඛ්‍යය, අපේ දරුවන් සහ වැඩිහිටි දෙමාපියන් ආරක්ෂා කල යුතුයි. මෙය සියල්ලන්ට සාධාරනව ඉටු විය යුතුය. අපට සමානව සැලකිය යුතුය, සමාන විය යුතුය.

“අපි රට හදනවා. අපි හැම දෙයක්ම කරනවා. අප නැගී සිටිමින් අප දැනටමත් ගොඩනඟා ඇති දේ ආපසු ලබා ගත යුතුය. ‘ඔවුන්’ ධනපතියන් ය. 'ඔවුන්ට' අප බෙදීම අවශ්‍යයි. එය කලු සහ සුදු, සමලිංගික හා නොවන අය ගැන නොවේ, එය ධනපතියන් සහ දුප්පතුන් ගැන ය. මිනිසුන් වෙන් කිරීම  සඳහා නිර්මානය කර ඇති වාර්ගික බෙදීම් අප විසින් අවසන් කල යුතුය.

“ලෝකයේ ප්‍රමානවත් තරම් මුදල් තිබේ. එක් නිවාස නොමැති පුද්ගලයෙකු නොවිය යුතුය, වීදිවල නිවාස නොමැතියවුන් සිටිය යුතු නැත. ඔවුන් කොටස් වෙලඳපොලට බිලියන ගනන් මුදාහරියි, නමුත් අප ගැන කුමක් කිව හැකිද? ඩෙට්රොයිට් හි හිස් පාසල් ගොඩනැඟිලි ක්ෂනිකව රෝහල් බවට පත්කිරීම මෙන්ම නිවාස නොමැති අයට සහන ක්‍රමයට ලබාදිය යුතුය.  අපට පෙනෙන්නේ ඔවුන් ඒ කිසිවක් ගනන් ගන්නේ නැති බවයි.

“මෙය වෛරසය ගැන පමනක් නොවේ. එය වෛරසයට වඩා විශාල දෙයකි, එය ලොව පුරා ධනවත් හා දුප්පතුන් ගැන ප්‍රශ්නයකි. ඔවුන් කැමති වැඩිහිටි පුද්ගලයින්, සමහරවිට ලදරුවන් ද ඇතුලු, අතුගා දමා ජනගහනය පාලනය කිරීමටයි.

මෙය වෙනස් කිරීමට කම්කරු පන්තියට බලය ඇත. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් නායකත්වයක්. ධනවාදය සෑම දෙයක්ම විනාශ කරන අතර මම එයින් වෙහෙසට පත්ව සිටිමි. ”

කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය නොවන සියලුම නිෂ්පාදන වසා දමන්න! “කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කරන්නේ කෙසේද: කම්කරු පන්තිය සඳහා ක්‍රියාකාරී වැඩපිලිවෙලක්” යන අපගේ ප්‍රකාශය බෙදාහරින්න,  ඔබේ සේවා ස්ථානයේ ශ්‍රේනිගත කිරීමේ කමිටු පිහිටුවන්න. ඔබේ කම්හලේ සේවකයින් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබඳ තොරතුරු සහ ඒවා බෙදා හැරීම සඳහා, autoworkers@wsws.org හෝ  Facebook තුලින් වහාම අප අමතන්න.

Loading