ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගත අර්බුදය උත්සන්න වේ: ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී

මෙම ලිපිය 2020 මාර්තු 13 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

කොරෝනා වෛරස් වසංගතය සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතී. ඊයේ ගෝලීය වෙලඳපොල වල ඇති වූ බිඳවැටීම් හා විශේෂයෙන් ම 1987න් පසු වෝල් වීදියේ විශාලතම එක්දින අලාභය වාර්තා කල,  එක්සත් ජනපදයේ ඊයේ ඇති වූ දරුනු පහත වැටීම, පැන නැග්ගේ මේ වසංගතය ලෝක ආර්ථිකයට විශාල වශයෙන් බලපාන බව හා පවත්නා සමාජ පර්යාය ප්‍රගාඪ ලෙස කඩා බිඳ දමනු ඇති බව හඳුනා ගැනීමෙනි.

රෝගයෙන් සිදුවිය හැකි මරන සංඛ්‍යාව පිලිබඳ ඇස්තමේන්තු වැඩෙන කාංසාවට හේතු වෙමින් තිබේ. ලොව පුරා තහවුරු වී ඇති ආසාදන සංඛ්‍යාව 150,000 කරා ලඟා වෙමින් හා වේගයෙන් ඉහල යමින් පවතින නමුත්, මෙය විශාල වශයෙන් යතාර්ථය බෙහෙවින් අඩු කර දක්වයි. ප්‍රමානවත් පරීක්ෂනයක් නොමැතිකම හා රෝග ලක්ෂනවලට පෙර දීර්ඝ  කාලයක් සැඟ වී පැවතීම හේතුවෙන් සත්‍ය සංඛ්‍යාව බෙහෙවින් වැඩිවිය හැක. නිල මරන සංඛ්‍යාව මේ වන විට 5,000 ඉක්මවා ඇති අතර ලොව පුරා මිලියන ගනනකගේ ජීවිත අනතුරේ පවතී.

ඉතාලිය සිය ජාතික පරිමාන සීමා පැනවවීම් දැඩි කරමින් සිටින්නේ, සැබවින් ම සියලු ම වෙලඳසැල් පාහේ වසා දමා වීදි හිස් කරමිනි. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසා ඇත්තේ ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් ආසාදනයට ලක්වන බව යි, එයින් අදහස් වන්නේ මිලියන ගනනකට දැඩි සත්කාර අවශ්‍ය වන බව හෝ මියයෑමට සිදුවන බව යි. වාර්තාවන පරිදි ඉරානය සමූහ මිනී වලවල් හෑරීමට පටන් ගෙන ඇත්තේ වසංගතය පාලනයෙන් තොර ව සර්පිලාකාර පැතිරීමත් සමගිනි. ප්‍රන්ශය සියලුම පාසල් හා විශ්ව විද්‍යාල වසා දමමමින් සිටී. එක්සත් ජනපදයේ, ප්‍රධාන පොදු ක්‍රීඩා හා විනෝදාස්වාද ඉසව් අවලංගු කර ඇති අතර, සිල්ලර වෙලඳසැල්වල මූලික අත්‍යාවශ්‍ය දෑ ඉක්මනින් ම අවසන් වී ඇත.

2020 මාර්තු 12 වන බ්‍රහස්පතින්දා සියැටල් නගරයට ආසන්නයේ පහසුකම්පලක් තුල පිරිසිදු කිරීමේ යෙදුනු දිනක අවසානයේ වොෂින්ටන් නුවර කර්ක්ලන්ඩ්හි පිහිටි ජීවිතාරක්ෂක මධ්‍යස්ථානයෙන් ස'ව්ප්‍රෝ පිරිසිදු කිරීමේ කම්කරුවන්ට විෂබීජ නාශක ඉසිනු ලැබේ. (AP ඡායාරූපය / ටෙඩ් එස්. වොරන්)

කොරෝනා වයිරස් වසංගතය එවැනි අර්බුදයකට මුහුන දීමට ධනවාදී පද්ධතියට ඇති නොහැකියාව හෙලිදරව් කර තිබේ. ලොව පුරා ආන්ඩු ප්‍රතිචාර දක්වා ඇත්තේ නොහැකියාව හා අපිලිවලේ අතිවිශාල මට්ටමක් සමග ය. මුලුමනින්ම අපේක්ෂා කල හැකි ආපදාවක් සඳහා කිසිදු සූදානමක් සිදු කර නොමැත. එමගින් සම්පත් හිඟයෙන් පෙලෙන සෞඛ්‍ය සේවා පද්ධති දරාගත නොහැකි පීඩනයකට ලක් කෙරී ඇත.

ලෝකයේ පොහොසත් ම ධනවාදී රට වන එක්සත් ජනපදයට මෙම හදිසි තත්වයට ප්‍රතිචාර දැක්වීමට ඇති සම්පූර්න නොහැකියාව ආන්ඩුවට මෙන් ම සමස්ත ආර්ථික පද්ධතියටම එල්ල කෙරෙන අධිචෝදනා පත්‍රයකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා රාත්‍රියේ සිය ජාතිය අමතා කල දේශනයේ දී, ධනේශ්වර  කතිපයාධිකාරය මිලියන ගනනකගේ ජීවිත කෙරෙහි දක්වන උදාසීනත්වය නිරූපනය කලේ ය. ඔහුගේ ජාතිකවාදී වාග් ප්‍රහාරය මගින් මෙ “විදේශීය වෛරසය” ගැන චීනයට හා යුරෝපයට දොස් පැවරුවේය. 

ට්‍රම්ප්ගේ කථාව පැවත්වුන,  ජනාධිපතිවරයා කොටස් වෙලඳපොල මත අර්බුදයේ බලපෑම කෙරෙහි මුළුමනින් ම අවධානය යොමු කර, සියල්ල යහපත් බවත්, කොරෝනා වෛරසය බරපතල තර්ජනයක් නො වන බවත් ප්‍රකාශ කරමින් සති ගනනක් ගත කල පසුය. තමන්ගේ ජීවිත උඩුයටිකර  තිබෙනවා දකිමින් සිටින එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තර මහජනතාව වෙනුවෙන් අල්ප අනුකම්පාවක් හෝ දැක්වීමට ඔහු ඉදිරිපත් නො වී ය. පරීක්ෂන නොමැතිවීම හෝ සෞඛ්‍ය පහසුකම්වල අත්‍යන්ත හිඟය පියවා ගැනීමට ඔහු කිසිදු පියවරක් නිවේදනය නො කලේ ය.

කෙසේ වෙතත්, එය ධවල මන්දිරයේ වත්මන් පදිංචිකරුවාගේ සමාජද්‍රෝහි වියරු මානසිකත්වය පිලිබඳ කාරනයක් පමනක් නො වේ. ට්‍රම්ප් යනු ඇමරිකානු ධනවාදයේ ප්‍රතිඵලයක්, නැතහොත් පෙර නොවූ විරූ මට්ටමේ අසමානතාවන් මගින් ආධිපත්‍යය ගැනුනු, අනෙක් සියල්ලන්ගේම වියදමින් මූල්‍ය ප්‍රභූව විසින් දනය ගොඩගසා ගන්නා සමාජයක ප්‍රතිඵලයකි.

ඇමරිකානු ආන්ඩුවේ ප්‍රතිචාරයේ පන්ති ස්වභාවය බ්‍රහස්පතින්දා පැහැදිලිව හෙලිදරව් විය. ෆෙඩරල් මහ බැංකුව, වෝල් වීදියේ (කොටස් හෝ බැඳුම්කර) අඩු මිලට විකිනීම වැලැක්වීමේ මංමුලා සහගත හා නිෂ්ඵල උත්සාහයක දී, කොටස් හා වෙනත් වත්කම් මිල දී ගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන 1.5 ක් වෙන් කරන බව නිවේදනය කලේ ය. අනෙක් අතට, ඇමරිකානු කොන්ග්‍රසය, අහිමි වු හෝ වෙනත් ආකාරයකින් බලපෑමට ලක්වූවන්ට සහාය පිනිස යයි කියමින්, සැබෑ හදිසි අවශ්‍යතාව හා සසඳන විට ජල බිංන්දුවක් පමන වන, ඩොලර් බිලියන කිහිපයක් වෙන් කිරීම සම්බන්ධයෙන් කේවල් කරමින් සිටී. 

වසංගතය පැතිරී යාම හා එහි ප්‍රතිවිපාක තේරුම් ගත හැක්කේ පසුගිය දශක හතර තුල ගෝලීය ධනවාදයේ වර්ධනයේ සන්දර්භය තුල පමනි. මෙම දශක හතර මගින් හෙලිදරව් කර ඇත්තේ, සමාජ අවශ්‍යතාවන් පිලිබඳ සියළු සලකාබැලීම් ලාභය හා විශාල පෞද්ගලික ධනයට යටත් කෙරෙන, නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය මත පදනම් වූ පද්ධතියක සමාජීය ප්‍රතිගාමී ස්වභාවය යි. ධනේශ්වර කතිපයාධිකාරයේ ආදර්ශ පාඨය වන්නේ: “අපේ බිලියන ගනන් ධන සමුච්චයනයට මිලියන ගනනකගේ මරනය අවශ්‍ය නම්, එසේ වුනා වේ”යන්න යි.

1987 දී එක්සත් රාජධානියේ අගමැති මාග්‍රට් තැචර් “සමාජය යයි කියා දෙයක් නැත” යි  කුප්‍රකට ලෙස ප්‍රකාශ කලා ය. තැචර්ගේ නියමය වූයේ සමාජ වැඩසටහන් හා  යටිතල පහසුකම්වලට සමස්ත වශයෙන් පහරදීම හා කම්කරු පන්තියේ සිට ධනවතුන් වෙත විශාල වශයෙන් ධනය මාරු කිරීම යුක්තිසහගත කිරීම යි. දශක හතරක් තිස්සේ පාලක ප්‍රභූන්, විශේෂයෙන් ම එක්සත් ජනපදයේ, සමාජ කොල්ලකෑම්වල නිරත වී ඇත. සියලුම ප්‍රතිපත්ති පදනම් කෙරී ඇත්තේ සමාජයේ වියදමින් කතිපයාධිකාරීන් පෞද්ගලික ව පොහොසත් කිරීම කෙරෙහි ය.

ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකන් යන දේශපාලන පක්ෂ දෙකම මෙම සමාජ ගිනි තැබීම මත  මූලිකත්වය ගෙන ඇත. පසුගිය වසර තුනක කාලය තුල ට්‍රම්ප් කම්කරුවන් හා සංක්‍රමනිකයින් මත තම ප්‍රහාරයන් එල්ල කර තිබිය දී, ඩිමොක්‍රටිකයන් ප්‍රකාශ කලේ ඇමරිකානු ජනතාවට ඇති විශාලතම තර්ජනය පැමිනියේ රුසියාවෙන් බව ය. ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහි සියලු සමාජ විරෝධය මිලිටරි හා බුද්ධි අංශවල ප්‍රතිගාමී න්‍යායපත්‍රයට යටත් කෙරුනි.

එහි ප්‍රතිවිපාක දැන් අපි දකිමු. වෙනත් ඕනෑම රටකට වඩා, එක්සත් ජනපදය තුල පැවති පෙර-සූදානමේ ඉතා අඩු මට්ටම අපරාධයකට  නොදෙවනිය. ඔහියෝ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බ්‍රහස්පතින්දා ප්‍රකාශ කලේ, රෝගය ප්‍රජාවන් අතර පැතිරීම් පිලිබඳ සාක්ෂිවලින් පෙනී යන්නේ ප්‍රාන්තයේ පදිංචිකරුවන්ගෙන් සියයට 1 ක් හෝ 117,000 ක් ජනතාව ආසාදනය වී ඇති බව යි. ඇත්ත වශයෙන් ම පරීක්ෂාවට ලක් කර ඇත්තේ පුද්ගලයින් පස් දෙනෙකු පමනි.

රෝග පාලන මධ්‍යස්ථානවලට හැකියාව ඇත්තේ දිනකට පරීක්ෂන 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් පමනක් සැකසීමට ය. ප්‍රායෝගිකව එය පරීක්ෂා කරමින් සිටින්නේ ඊටත් වඩා අඩුවෙනි. මෙම සතිය තුල ම, වසංගතය රට පුරා ව්‍යප්තව තිබියදීත්, අඟහරුවාදා පරීක්ෂන අටක් පමනක් සිදු කෙරුනු අතර බදාදා කිසිවක් සිදු නො කෙරුනි. ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆෝසි බ්‍රහස්පතින්දා කොන්ග්‍රසය හමුවේ සාක්කි දෙමින්, “මෙම පද්ධතිය අපට දැන් අවශ්‍ය තත්වයට ඇත්තටම ගැලපෙන්නේ නෑ… එය අසාර්ථක වෙමින් තියෙන්නේ” යැයි පිලිගත්තේ ය.

රෝගය පැතිරෙත්ම එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉක්මනින්ම එය දරාගත නොහැකි තත්වයකට ඇද වැටෙනු ඇත. රෝහල් ඇඳන් හා දැඩි සත්කාර ඒකක සංඛ්‍යාව අපේක්ෂිත ඉල්ලුම සපුරාලීමට කිසිසෙත්ම ප්‍රමානවත් නො වේ. එයින් අදහස් වන්නේ දස දහස් ගනනකට සරලවම රැකවරනය ලබා ගැනීමට නො හැකිව, මරන සංඛ්‍යාව විශාල ලෙස ඉහල යා හැකි බවයි. මුව ආවරන හා වෙනත් අත්‍යවශ්‍ය ආම්පන්න ඇතුලු තීරනාත්මක සැපයුම් හිඟයකට සෞඛ්‍ය සේවා කම්කරුවන් මුහුන දෙන්නේ, තමන් මෙන් ම තම රෝගීන්ද දැඩි අවදානමට නිරාවරනය කරමිනි.

සේවා ස්ථාන වල ආරක්ෂාව සහතික කිරීමට පහසුකම් නොමති අතර බොහෝ කම්කරුවෝ , සබන් පමනක් නොව උනුසුම් ජලය පවා නැති අපිරිසිදු තත්වයන් වාර්තා කරති. බ්‍රහස්පතින්දා ඉන්දියානා හි ෆියට් ක්‍රයිස්ලර් (එෆ්සීඒ) කම්හලක මෝටර් රථ සේවකයෙකු මෙම රෝගයට ගොදුරු වී ඇති බව හෙලි වූ නමුත්, නිෂ්පාදනය සඳහා තීරනාත්මක හිරවුම් ලක්ෂයක් වන කම්හල, ,  එෆ්සීඒ විසින් විවෘතව තබා ඇත. වැටුප් සහිත අසනීප නිවාඩු නොමැති, මෙහි බොහො සේවා කම්කරුවෝ භයානක ලෙස අවදානමට ලක් වී සිටිති.

පාසල් හා විද්‍යාල වසා දමා ඇති හෙයින්, විකල්ප නිවාස සඳහා කිසිදු සැලසුමක් නොමැති ව සිය දහස් ගනනක් සිසුහු තම නේවාසිකාගාරවලින් ඉවත් වීමට මුහුන දී සිටිති. කිසිදු සහායක් නොමති තතු යටතේ මෙමගින් දෙමාපියන්ට බල කෙරී අත්තේ,  වැටුප් රහිත නිවාඩු ගැනීමට හෝ ලමා රැකවරන මධ්‍යස්තාන සෙවීමටය.

සෑම රටකම එකම කතාව පුනරාවර්තනය වේ. ආන්ඩු සංගතවල ලාභය සුරැකීම සඳහා දඟලමින් සිටින්නේ මිලියන සංඛ්‍යාත ජනතාව කිසිදු ආධාරයක් නොමැතිව ප්‍රතිවිපාකවලට මුහුන දී සිටීමත් සමගිනි. වසංගතය විසඳීමට සම්බන්ධීකරන හෝ සැලසුම් නොමැත. සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධීකරනයට  පවතින්නේ යැයි කියනු ලබන, ලෝක සෞඛ්‍ය සංවිධානය බල රහිත වන අතර, එහි මාර්ගෝපදේශ හා රෙගුලාසි විශ්වීය ලෙස නො සලකා හරිනු ලැබේ.

ගෝලීය වසංගතය මාරාන්තික ගම්‍යතාවකින් වර්ධනය වෙද්දී, වටිනා කාලය නාස්ති කෙරුනි. වසංගතය ප්‍රථම වරට වුහාන්හි ප්‍රකාශයට පත් වූ විට, වොෂින්ටනය උත්සුක වූයේ චීනයේ අර්බුදය එක්සත් ජනපදයේ භූදේශපාලනික වාසි සඳහා ගසා කන්නේ කෙසේ ද යන දෘෂ්ටි කෝනයෙන් වන වර්ධනයන් කෙරෙහි පමනි. ජනමාධ්‍ය තර්ජනය කෙරෙහි සීමිත අවධානයක් පමනක් යොමු කල අතර හදිසි හා ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත  ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටියේ නැත.

ඊට හාත්පසින් ම වෙනස් ව, කම්කරු පන්තියේ පොදු විශ්වීය අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දෙන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ඊට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ අන්තරාය හඳුනාගෙන අනතුරු ඇඟවීමක් කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය ජනවාරි 28 වන දින මෙසේ අනතුරු ඇඟවීය: “කිසිදු ධනපති ආන්ඩුවක් ප්‍රමානවත් ලෙස සූදානම් නොමැති අන්තරායන් වන මෙවන් ආසාදන රෝගවල නව පීඩාවන්ට වර්තමාන සමාජය මහා පරිමානයෙන් ගොදුරුවීමේ හැකියාව කෙතෙක් ද යන්න මෙම රෝගයේ පැතිර යාම මගින් හෙලිදරවු කර තිබේ.” වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත ක්‍රියාවන්ගේ හදිසි අවශ්‍යතාව ජාතික ගැටුම්වලින් යටපත් කෙරෙන බව ලෝසවෙඅ සඳහන් කලේ ය.

භයානක රෝගයක් ගෝලීය ව පැතිර යාම පරාජය කිරීමට ජාතික දේශ සීමා කපාගෙන යන තාර්කික සැලසුමක් තීරනාත්මක වන සමයක, එක්සත් ජනපදය හා චීනය නව “සීතල යුද්ධයක්” ලෙස හඳුන්වන වැඩෙන වෙලඳ යුද්ධයකට කොටු වි ඇත. නව රෝගකාරකයන් පරාජය කිරීමට සෑම මහාද්වීපයක ම විද්‍යාත්මක සම්පත් අවශ්‍ය වෙද්දී පවා, ලෝකයේ රටවල් රූපික හා සැබෑ ප්‍රාකාරයන් ගොඩනගමින් සිටිති.

දේශගුන වෙනස හා පාරිසරික ව්‍යසනයන්ගේ වැඩෙන තර්ජනය වැනි ගෝලීය වශයෙන් ව්‍යාප්ත වසංගතයන්ගේ තර්ජනයට එරෙහි ව මානව ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමට ධනවාදය අසමත්ව ඇති තත්වයක, සැලසුම්කරනයේ ඉහල මට්ටමක් හා ගෝලීය සහයෝගීත්වයක් අවශ්‍යම වෙයි. සමාජය, ධනපති ක්‍රමය හා එය ලෝකය මත පටවන අත්තනෝමතික බෙදීම් ඉක්මවා ගොස් ඇත. අතිශයින් ම අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා සම්පාදනය කිරීමට තාර්කික සැලැසුම්කරනය අවශ්‍ය වේ. එනම්, එයට සමාජවාදය ආවශ්‍යක වෙයි

 තීරනාත්මක සති හයක් පාලක කතිපයාධිකාරීන් විසින් නාස්ති කර ඇති අතර ගෝලීය තර්ජනය ඝාතීය ලෙස වර්ධනය වී තිබේ. ක්‍රියාත්මක විය යුතු ය.

අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මඟ පෙන්විය යුතු අත්‍යවශ්‍ය මූලධර්මය වන්නේ, සංගත ලාභ හා පෞද්ගලික ධනපතීන්ගේ ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා ලෝකයේ වැඩකරන ජනතාවගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ගත යුතු බව යි.

සමාජවාදී සමානතා පක්ෂය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, පරීක්ෂන පහසුකම් හා ආසාදිත සියලු දෙනා සඳහා ඉහලම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෙන් කිරීම ඇතුලුව, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට දැවැන්ත, ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත සමාජ සම්පත් බලමුලු ගැන්වීම ඉල්ලා සිටී. පන්තිය පදනම් කරගත් හා ලාභය හඹායන  සෞඛ්‍ය රැකවරන පද්ධතිය අහෝසි කර, ඒ වෙනුවට සමාන හා විශ්වීය ආවරනයක් ලබා දිය යුතු ය. අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරන නිෂ්පාදනය කිරීම සඳහා දැවැන්ත පොදු වැඩ වැඩසටහනක් ආරම්භ කල යුතු ය.

කම්කරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු ය. වෛරසය පැතිරීමේ අවදානමක් ඇති සේවා ස්ථාන වසා දැමිය යුත්තේ, බලපෑමට ලක්වූවන්ට සම්පූර්න ආදායම සහතික කරමිනි. පාසල් වසා ඇති විට, දෙමව්පියන්ට වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතු ය. නේවාසිකාගාරවලින් බලහත්කාරයෙන් නෙරපා හරින ලද සිසුන්ට ආරක්ෂිත නිවාස ලබා දිය යුතු ය. නෙරපා හැරීම් සහ උපයෝගිතා වැලක්වීම සම්බන්ධයෙන්  කල් දීමක් තිබිය යුත්තේ, කුලී ගෙවීම් හා වෙනත් හදිසි සහනාධාර මත කල් දීමක් සමග ඒකාබද්ධව යි.

බර්නි සෑන්ඩර්ස් මෙන්, ධනේශ්වර පද්ධතියට පෙරමුනු ප්‍රහාරයක් එල්ල කිරීමෙන්  තොරව ඕනෑම දෙයක් කල හැකි යැයි කියා සිටින සියල්ලෝ මුසාවාද තොරොම්බල් කරති. බ්‍රහස්පතින්දා කල කතාවක දී සෑන්ඩර්ස් ප්‍රකාශ කලේ,  කොරෝනා වෛරසයෙන් 400,000 ක් පමන මිය යා හැකි බවත් අර්බුදය “විශාල යුද්ධයක පරිමානයක් මත” පවතින බවත් ය. කෙසේ වෙතත්, සෑන්ඩර්ස් ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ දෙකේ ම ක්‍රියාමාර්ග තුලින් අර්බුදයට විසඳුම් සෙවිය හැකි ය යන තම ප්‍රකාශ  පුනුරුච්චාරනය කලේ ය.

ඇත්ත වශයෙන්ම, අර්බුදය සනාථ කරන්නේ එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව ධනවාදයට එරෙහිව සහ ලෝක ආර්ථිකයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා කම්කරු පන්තියේ දැවන්ත මහජන ව්‍යාපාරයක හදිසි අවශ්‍යතාව යි. අප අත්දකිමින් සිටින්නේ  ලාභ පදනම මත සංවිධානය වූ සමාජයක ප්‍රතිවිපාක යි. පුද්ගලයන් තිදෙනෙකු ජනගහනයෙන් අඩකට වඩා (ධනය)අයිති කර ගෙන සිටින සමාජයක් තුල මානව වර්ගයා මුහුන දෙන කිසිදු විශාල ගැටලුවක් විසඳීමට නො හැකි ය.

යෝධ බැංකු හා සංගත මහජන අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබිය යුතු ය. සෞඛ්‍ය සේවා, නිවාස, උපයෝගිතා හා වෙනත් සමාජ අවශ්‍යතා සඳහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීමට අරමුදල් සම්පාදනය කිරීම සඳහා ධනවතුන්ගේ අතිමහත් ධනය අත්පත් කර ගත යුතු ය. පුද්ගලික දේපලවල බාධක හා ලාභ චේතනාව ඉවත් කරමින් ගෝලීය, සැලසුම්ගත ආර්ථිකයක පදනම මත සියලු ආර්ථික ජීවිත ප්‍රතිසංවිධානය කල යුතුය. ඕනෑම කෙනෙකුගේ මනසෙහි අවසාන සලකා බැලීම විය යුත්තේ සංගත ලාභ සහ වෝල් වීදියේ කොටස් වටිනාකම් කෙරෙහි වන බලපෑම යි.

වසංගතය සමාජයේ මූලික ප්‍රතිව්‍යුහගත කිරීමක නො වැලැක්විය හැකි අවශ්‍යතාව පෙන්වා දී ඇත. මානව ප්‍රගතිය අසමානතාවට එරෙහි අරගලයෙන් වෙන් කල නො හැකි බව මහා අර්බුදයක් විසින් පෙන්නුම් කෙරුනු ඉතිහාසයේ පලමු අවස්ථාව මෙය නො වේ. The Great Leveler: Violence and the History of Inequality from the Stone Age to the Twenty-First Century  නම් වැදගත් නව පොතක, ඉතිහාසඥ වෝල්ටර් ෂීඩෙල් මෙසේ ලියයි.  “වාර්තාගත ඉතිහාසය පුරාම, වඩාත්ම බලගතු සමතැන් ගැන්වීම වෙනස් කල නො හැකි ලෙස ඇති වුනේ වඩාත්ම ප්‍රබල කම්පනවලිනි. එකිනෙකට වෙනස් සිව් ආකාරයේ ප්‍රචන්ඩකාරී ඉරිතැලීම්: එනම් දැවන්ත බලමුලු ගැන්වීමේ යුද්ධය, පරිවර්තනීය විප්ලවය, රාජ්‍ය අසාර්ථකත්වය හා මාරාන්තික වසංගත විසින් අසමානතාව සමතැන් ගන්වා ඇත. මා මේවා හඳුන්වන්නේ සමතැන් ගැන්වීමේ අශ්වාරෝහකයන් සිව්දෙනා ලෙස යි.” මේ සෑම අශ්වාරෝහකයෙකු දැන් අප ඉදිරියේ විද්‍යමානව ඇත.

මානව වර්ගයාගේ අනාගතය අනතුරේ පවතී. ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී. ජාත්‍යන්තර සමාජවාදයේ ධජය යටතේ කම්කරු පන්තිය ධනවාදයට එරෙහිව යුද්ධ කල යුතු ය.

Loading